Tuesday, March 10, 2015

"යොවුන් හදවත් තුළ සදාකල්හිම ලැගුම් ගත් විරහ ගීතයේ මුදුන් මල්කඩ"





ශ්‍රී ලාංකීය සංගීතයේ නොමැකෙන මියුරු හැඟුම්බර කට හඬ ඔහුම විය. යොවුන් හදවත් තුළ සදාකල්හිම ලැගුම් ගත් විරහ ගීතයේ මුදුන් මල්කඩ ද ඔහුම විය. මිල්ටන් මල්ලවාරච්චි නම් ඒ අග්‍රගන්‍ය ගායන ශිල්පියා සහෘද රසවතා ඔබ අතරින් සමුගෙන අදට වසර 17  සපිරෙයි.ශ්‍රී ලාංකීක ගීත ක්‍ෂේත්‍රයේ විරහ ගීතයේ කිරුළ හැමදාමත් මිල්ටන් මල්ලවාරච්චි නාමයට හිමිවෙනු ඇත. ස්‌වතත්ත්‍ර ගීත නිර්මාණය අතරින් අතිශය ජනප්‍රිය ගීත වැඩිම සංඛ්‍යාවක්‌ ගායනා කිරීමේ කිරුළ හිමි වන්නේ ඔහුටමය. යුග යුග ගණන් කාලය ගෙවී ගියද මේ මිහිදෙරණේ ගුවන් ගැබ පුරාවට මිල්ටන් මල්ලවාරච්චි ගී හඬ යොවුන් හදවත් තුළ සදාකාලිකවම ලැඟුම් ගනු ඇත.ඔහුගේ වැඩිම ගීත සංඛ්‍යාවක රචකයානන් වූ සහ ළබැඳි සහෘද මිතුරා වූ කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් විසින් රචිත මේ ගීත මෙසේ අද ඔහු වෙනුවෙන් ගැයෙනු ඇත.කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් තුල සිටි ගීපද රචකයා මතුකරගන්නට කෙසේ හේතුවූවා දැයි යන්න මේ පිළිබඳව ප්‍රිය බිරිඳ සමදරා කෝට්ටගේ ධර්මවර්ධන මහත්මිය සිළුමිණ පුවත්පතට දැක්වූ මෙම අදහස් වලින් පිළිබිඹු වෙනවා.

“කේ. ඩී. කේ. සතුව පැවති ප්‍රතිභාව ඔහුට සහජයෙන්ම උරුම වූ අසාමාන්‍ය ප්‍රතිභාවක් ලෙසයි මට හැඟෙන්නේ. සහජයෙන් ගී පද රචකයකු වුණා වගේම මහනුවර ධර්මරාජ විදුහලෙන් මල්වතු විහාරයේ වෑඋඩ දේවමිත්‍ර නායක ස්වාමින් වහන්සේගෙන් සිංහල, පාලි සහ සංස්කෘත භාෂා හැදෑරීමෙන් උපමා රූපක යොදමින් බස හැසිරවීමට ද කේ. ඩී. කේ. වඩාත් පරිණත වී තිබෙනවා. පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් ගී පද රචනය කළ යුතු ආරත් මිල්ටන් මල්ලවආරච්චි වෙනුවෙන් ගී පද රචනය කළ යුතු ආරත් අතර වෙනස තේරුම් අරගෙන සාර්ථකව නිර්මාණකරණයේ නියැලෙන්න කේ. ඩී. කේ. ට පුළුවන් වුණේ භාෂා පිළිබඳ ඔහු සතු එම පරිණතභාවය නිසා යි. කේ. ඩී. කේ. ගේ නිවේදන කලාවට බෙහෙවින්ම කැමැති කෙනෙකු තමා මිල්ටන්. ඒ වගේම ඔවුන් දෙන්නා හොඳ මිතුරෝ. ගීත ලියන්න කේ. ඩී. කේ. ට මුලින්ම ආරාධනා කර තියෙන්නේ මිල්ටන්මයි. ඒ අනුව මිල්ටන්ට ලියූ “ආදරයේ මිහිර රැඳී” ගීතය කේ. ඩී. කේ. ගේ මුල්ම ගී පද රචනය වුණා. එකල එය එතරම්ම සාර්ථක ගීතයක් නොවුණු නිසා ගී පද රචනයට කේ. ඩී. කේ. උදාසීන වෙලා ටික කාලයක් ඉන්න කොට මිල්ටන් නැවතත් බලකර තියෙනවා ඔහුට ගීතයක් ලියන්න කියලා. ඒ නිසා ලියු “දෙඅදර විලිකුන් සුරත් පලේ” ගීතය සාර්ථක නිර්මාණයක් වීමත් සමඟ තමයි කේ. ඩී. කේ. සෘජුවම ගී පද රචනයට පිවිසී තියෙන්නේ.”




01.මුහුදු වෙරළේ නිසල පියසේ

මුහුදු වෙරළේ නිසල පියසේ
කඳුළු අරණේ සතුට වැළපේ...
පෙර මේ වාගේ ආදර ගීයේ
ශෝකය මුසු වී නෑ

යළි ඒ වාගේ ජීවන ගීයේ
සතුට රැඳෙන්නේ නෑ...
සොමි සඳපානේ මා වෙත යාවූ
ඒ රුව අමතක නෑ

සඳ පෙර වාගේ කෝ අද අහසේ
ඈ අද මා ළඟ නෑ...

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

02.ඈත රන් කැළුම් අතරින්

ඈත රන් කැළුම් අතරින්
සිහින තරු කසුන් යායේ
මගේ පැතුම ඔබේ පැතුම්
මල් පීදෙන්නයි...

පැලෙන් එහා ඈත කැලේ
දම් බෝවිටි හිඹුටු කැලේ
හවස තනිව යන්න එපා
මගෙ රන් මැණිකේ...

පාළු පැලේ පැල් රකින්න
මට තනියට කවි කියන්න
මා එනතුරු දීග නොයන්
මගෙ රන් මැණිකේ...

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : පැට්‍රික් දෙනිපිටිය
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

03.හද පතුලේ

හද පතුලේ
හසරැල්ල කඳුළැල්ල
කැළඹිල්ල මා නම් ඔබේ...
දිවි කතරේ
ගඟුලැල්ල නල රැල්ල
සැනසිල්ල වෙන්නම් ඔබේ...

මුසාවන් ගොතා අනුන් කී කතා
නොමැකී තිබේ දෝ සිතේ
අතීතේ කතා එපා දැන් එපා
මා දැන් ඔබේ ජීවිතේ...

අපේ ආදරේ බිඳී යා නොහේ
හිනැහෙන්න පියුමී මගේ
පැතූ සේ සදා ඔබේ මා ඔබේ
නැළවෙන්න පියුමී මගේ...

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි


04.හඬන්නෙපා දැන් 

හඬන්නෙපා දැන්
ළඟින් සිටින්නම්
සිතින් බැඳෙන්නම්
සිනාසෙන්න දැන්...

අප හමු වූ දිනේ රඟහලේ
සිත බැඳුණේ ඔබේ මා කෙරේ
අප බිඳුණේ කෙසේ නොදැනේ...

සිත තැළුණූ නියා මා දනී
නෙත රතු වූ නියා මා දනී
යළි හමු වූ නියා මා දනී...

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීත නිර්මාණය : ස්ටැන්ලි පීරිස්
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

05.පා සිනහා

පා සිනහා...
ඈ නැළවේවී
මධු සුර ගී මුමුණාවී...
සේද වලාවෝ ගත දවටාලා
සීත සඳේ රන් කැළුම් වෙළාලා
සිහින සඳැල්ලේ පාව නිදැල්ලේ
එනු සියුමැල්ලේ සීත රැයේ...
ඒ ළය ළං වේ මේ ළය සැනහේ
ආලය ලියලා මල් පල ගැන්වේ
හෝපලු තැන්නේ ළා දලු යහනේ
ඈ සතපන්නේ සීත රැයේ...

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීත නිර්මාණය : වික්ටර් රත්නායක
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

06.දෙඅදර විලිකුන්

දෙඅදර විලිකුන් සුරත් පලේ
පෙම් මදිරා අයැදිමින් සැලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ...

මධුවිත සැණෙකින් හිස් වෙනවා
දිවි තවලම කතරක යනවා
යෞවන බව හෙට නැති වෙනවා
කල් බැලු අය ඉඳ ලතවෙනවා
ජීවිතේ පිනි බිංදුව ක් වාගේ...

මුවරද රොන්සුණු සුවඳ විතේ
මින්දද දවසක ගෙනෙනු ඇතේ
නිලුපුල් නෙත් රත් තඹුරු වෙතේ
කැඳවයි ඔබ තව්තිසා වෙතේ
ජීවිතේ මී බිංදුවක් වාගේ...

පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

07.ඝන අඳුරේ...

ඝන අඳුරේ රළ පතරේ
ජීවය පරදුවට තබා
වියත රකින මහ සම්පත්
නෙළා ගන්න මුහුදු ගියා...

තෝරු මෝරු පොකිරිස්සෝ
අපෙ දුක සැප විමසනවා...
තොරතුරු ගැන කම්පා වී
අපේ දැළට ළංවෙනවා
කම්පා වී ළංවෙනවා...

පණ කෙන්දට බිය ඇත්තෝ
මුහුදු යන්න බිය වෙනවා...
බිය සැක නැති අය දුටුව ම
මහ මුහුදත් බිය වෙනවා
මහ මුහුදත් බියවෙනවා...

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

08.රන් මසු නැහැ කියා

රන් මසු නැහැ කියා
මා දිළිඳුයි කියා
කීවා...
මට තව මතකයි ඒවා...

මැදුරේ දොරගුළු ලූ නියා
අඳුරේ මා තනිවූ නියා
මට සිහිවෙනවා මේ දැන් වාගේ
නෑ මා හැඬුවේ එදා...

බැලුවේ ඔබ අද මා දිහා
පට පිළි දවටා ආ නිසා
ඇයි පෙර වාගේ මා තනි නොකළේ
කිමදෝ හඬනූ ඔයා...


පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : පැට්‍රික් දෙනිපිටිය
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

09.ආදරයේ මිහිර රැඳී

ආදරයේ මිහිර රැඳී
වියෝගයේ සුසුම් මැකී
සෙනේහයේ සුවය රැඳී
මහද පැසේ පැතුම් පිරී

අතීතය බොරළු තලා
පිනට ඔබේ සැඟවීලා
තුෂාරයේ සිහිල වෙළා
දිය දහරා මතු වීලා...

සදාදරේ අමා සරේ
හැඬ වු ළඳේ මහද වෙණේ
ජීවිතයේ සොඳුරු සුවේ
ඔබේ සිනා රැල්ල ගෙනේ......

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
(කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් ගේ මුල්ම ගීත රචනාව වූයේ මෙයයි)

10.සිහිනෙන් ඔබ මට පෙනෙනව නම් 

සිහිනෙන් ඔබ මට පෙනෙනව නම්
අවදි නොවී ඉන්නම්
කිසිදා ඔබේ අත නොලැබේ නම්
හැමදා තනි වෙන්නම්...

ආසිරි ගී මැද පෝරුව මත හිඳ
මහපටැඟිලි බැඳ අත පැන් වත්කර
ඔබ කැඳවා යන්නම්
නැතිනම් තනි වෙන්නම්...

ජීවන ගමනේ බාධක දුක සැප
එක සේ පිළිගෙන හිනැහෙනු මැන ඔබ
තනියට ළඟ ඉන්නම්
නැතිනම් තනි වෙන්නම්...

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : සෝමපාල රත්නායක
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

11.අද හෙට ඔබ මා 

අද හෙට ඔබ මා
අතහැර යන බව
දැන ගන්නට ලැබුණා
රහසින් මට ඇසුණා...

ඔබ රවටා නැත
ඔබ හඬවා නැත
දැන දැන මා නම්
වැරදි කළේ නැත
ඔබ ගැන මට පුදුමයි
වෙනසට තතු නොහැඟෙයි...

යොමු වී වෙනතක
ඔබ තනි වූ දින
තනියට සිටියේ
මා පමණකි ළඟ
දැන් ඔබ මා රිදවා
යළි වෙනතක බැඳිලා...

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

12.රනඹර ඉඳුදුනු

රනඹර ඉඳුදුනු සිතුවම් වෙලා
බිඟුවැල් මල් කෙමි මත මත් වෙලා
වසන්තේ උදා වුණා වසන්තේ උදා වුණා...

රන් බඳ රන් කුඹු රන් සළු වෙළා
චන්දන අංජන දෙනෙතේ උලා...
දෙපයේ කිංකිණි නූපුර සොලවා
මා වෙත ඈ එනවා...

ඇගෙ ළැම රන්ගිරි බෙයද මැදේ
මගෙ ජීවන රජ මැදුර සැදේ...
සිහින විමානේ ආදර මතඟන
මා වෙත ඈ එනවා...

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

13.පැරදීලා පලා ගියේ නෑ

පැරදීලා පලා ගියේ නෑ
රැවටීලා හඬා වැටී නෑ
පිටු පාලා සොවේ හෙළා නෑ
මා කවදාවත් වෙනස් වුණේ නෑ

දුක සංකා හැර දිගැසේ
සැනසීලා ඉනු නොලසේ
ළයෙ හී රන් ගිරි සිරසේ
රැඳෙමී මා විත් වලාකුළක් සේ

රන් කාසී කොහෙන් ගෙනෙම් දෝ
රන් මාලා කෙසේ සොයම් දෝ
හිස් දෑතින් කෙසේ එමී දෝ
මා එනතුරු ඔබ බලා හිඳී දෝ

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

14.දෑසින් කියූ ඒ හැඟුම්

දෑසින් කියූ ඒ හැඟුම්
ආදරේ හැඟුම්
රැඳීලා බැඳීලා
මා හදවතේ...

දෑසින් කියූ ඒ හැඟුම් ආදරේ හැඟුම්...
වනමල් පිපී බිඟු වැල් වෙළී
රස කල්පනා යා කළා
අද මෙන් හෙටක් නෑ
හමුවූවොතින් නම්
තෙපලන්න ඕනේ හෙමින්...

දෙකොපුල් සලා පෑ මල් සිනා
රස කල්පනා යා කළා
අද මෙන් හෙටක් නෑ
හමුවූවොතින් නම්
තෙපලන්න ඕනේ හෙමින්...

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

15.උපුල් කොපුල්

උපුල් කොපුල් වෙහෙසී ඇතේ
සුරත් නුවන් පියවී යතේ
තොලේ අමා ගෑවේ
එහා ලොවේ පාවේ

හදේ තැවුල් තුනිවී යතේ
හිරුයි සඳූයි තරුයි නැගී පායා
නොනිවී තියේදෝ දිලී
පිණිවාගේ වැනසේවී
ඔබගේ ඇයගේ යොවුන් වසන්තේ

පමා වෙලා නෙතින් සලා සෝකේ
ලොවේ දිනූ කිසිවෙක් නැතේ
පිණිවාගේ වැනසේවී
ඔබගේ ඇයගේ යොවුන් වසන්තේ

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි


16.වීණා බිඟු වීණා

වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ
සේනා බිඟු සේනා විමසන්නේ ආදරේ
නිල් උපුල් සිනා දී යදින්නේ ආදරේ
වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ

රෑට සසැලෙන්නෙ පැරදී හැඬූ තාරකා
දෑත ළතැවෙන්නෙ ඒ දෑත තනි වූ නිසා
සිහින මායාවෙ පැටලීලා නින්දේ පවා
දෑස විමසන්නෙ හුරු දෑසදෝ

වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ
සේනා බිඟු සේනා විමසන්නේ ආදරේ

සීත සඳ කැල්ම කිරි සාගරේ නැවතිලා
වාසනාවන්ත තුරු වැල් එතී ළං වෙලා
ප්‍රේම ආලිංගනේ රංගනේ මත් වෙලා
දෑස නලවන්න සිත් වූවදෝ

වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ
සේනා බිඟු සේනා විමසන්නේ ආදරේ
නිල් උපුල් සිනා දී යදින්නේ ආදරේ
වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ


පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව  : ග්‍රේෂන් ආනන්ද
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

17.සිටු කුමාරියේ ඔබේ සිනහ සඳළුතලාවේ

සිටු කුමාරියේ ඔබේ සිනහ සඳළුතලාවේ
මගේ හැඟුම් බිඟුම් හොරෙන් බමාලා
මට ගෙනා කතා ඒ උන් කියූ කතාවේ
මගේ හැඟුම් බිඟුම් කියූ රහස් මේ

පෙරදාක වෙන කවුද ලං වූ බවයි
ඔබ ඉන් මුලා වූ වගයි
මධු යාමයේ ගීත සෝ ගී වෙතැයි
ඔබගේම දෙනුවන් කියයි

සිටු කුමාරියේ ඔබේ සිනහ සඳළුතලාවේ....

ලංවීම වෙන්වීම ඔබගේ ලොවේ
එකදාක අරුමේ නොවේ
හැමදාම ඔබ ඒ වගේ නම් ලදේ
ඔය මල් හිනා නෑ අගේ

සිටු කුමාරියේ ඔබේ සිනහ සඳළුතලාවේ....

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

18.කෙසේ කියන්නද

කෙසේ කියන්නද
ඔබ මා අතහැර ඉවත ගියා කියලා
මගේ මුවින් මම ලොවට කියා ඇත
ඔබ ගුනවත් කියලා

කිසිවෙකු කිසිවිට අදහන්නේ නැත
ඔබ වැරදිය කියලා
ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
මා වැරදිය කියලා

සෙනෙහස බිදුනද මේ අවමානෙන්
ගැලවිය යුතු හින්දාම විසින් ඔබ අත් හලෙමී පවසමි
ලොවටම ඇසෙන නිසා..
කෙසේ කියන්නද ඔබ මා

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

19.ඉවුරු තලා ගංගා

ඉවුරු තලා ගංගා බැස යනවා
මහද සලා ඔබ ඉවතට යනවා
ඉවුරු තලා ගංගා බැස යනවා
මහද සලා ඔබ ඉවතට යනවා

මන්දර පව්වේ හිම පියසේ
චන්දන අරණේ මද සිසිලේ
සුව නොලබා ගියෙ දෝ කෙසේ

ඉවුරු තලා.....

නඩුපුල් නෙලලා පිණි ඉසලා
රණ්හුය පටලා අමුණාලා
සිටියෙම් මා ඔබ එන තුරා

ඉවුරු තලා.....

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : පැට්‍රික් දෙනිපිටිය
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

20.සයුරු තෙරේදී අවන්හලේදී

සයුරු තෙරේදී අවන්හලේදී
දෙනෙත් කතාවෙන් සිත් යාවුණේ
සිරවී රැඳී ඉන් කිමද ප්‍රියේ අප
තවම කතා නොකළේ

තඹුරු පිපී බමරු පිරී
සොඳුරු කතාවන් පවසා යතේ
නොනැඟේවිදෝ ඔබගේ ලයේ
එවැනි හැඟුම් රහසේ

පියවී ලොවේ නොලද සුවේ
සොයමි රැයේ මම සිහින ලොවේ
නොනැඟේවිදෝ ඔබගේ ලයේ
එවැනි හැඟුම් රහසේ

සයුරු තෙරේදී අවන්හලේදී
දෙනෙත් කතාවෙන් සිත් යාවුණේ
සිරවී රැඳී ඉන් කිමද ප්‍රියේ අප
තවම කතා නොකළේ

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : පැට්‍රික් දෙනිපිටිය
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

21.ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ...
දවනු දැනේ සිසි කිරණ පවා...

සිසිල නොදේ මඳ පවන පවා...
ඔය මුව පියුමේ තොල්පෙති අතරේ
ඔහුගේ නම රැඳුණාවේ...

ඔබ වෙනුවෙන්...

සුවඳ දැනේ ඔබෙ උදය හවා
කඳුළු නැගේ මට රැයද දිවා
ඔබ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුණාවේ...

ඔබ වෙනුවෙන්...

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
තනුව - සෝමපාල රත්නායක


සියලූම ගීත මෙතැනින්

-------------------------------------------------------------------
ප .ලි
මිල්ටන් මලලවාරච්චි නම් සොඳුරු මිනිසාගේ 17 වන සමරුව වෙනුවෙන්  තෝරා ගත් ගීත කීපයක් පමණි . ඔබත් දන්නා සොඳුරු මතකයන් හැමෝමත් එක්ක බෙදා ගන්න ...
(වැරදි අඩුපාඩු පෙන්න්වා දෙන්න )