Saturday, October 13, 2018

නිහඬ කල්පනා ලොවක තනිවෙලා


හේමසිරි හල්පිට.......වෙදදුව හෙවත් වාද්දුවේ උපත ලද හේමසිරි හල්පිට වාද්දුව මැදි විදුහලේ අධ්‍යාපනය ලබන කාලයේ සිටම ලිවීමට ඇබ්බැහි වූවෙකි.එම වකවානුවේ ලංකාදීප,වනිතා විත්ති,ඇතුළු පුවත්පත්,සඟරා රාශියකට ලිපි ලිවීමෙන් ඔහූ කලා ලොවට ඇතුලත් විය.ගී පදරචනයේ අති දක්ෂයෙකු හැටියට සැලකුම් ලැබූ හල්පිටගේ සුරතින් ගී නිර්මාණ 6000ට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය විය. ජනප්‍රිය ගායක නිහාල් නෙල්සන් මහතා විසින් ඔහු වෙත දෙන ලද අභියෝගය නොවන්නට හල්පිට ගීත රචකයෙකු නොවීමට ද තිබුණි.එය ශ්‍රී ලංකාවේ දෙවන කැසට් පටය ලෙසද දැක්විය හැක.එහෙත් එය නිහාල් නෙල්සන් මහතාගේ ප්‍රථම කැසට් පටයයි."ගුනේ අයියගේ බජවු කාමරේ"ලෙස හැඳින්වූ එය ශ්‍රී ලංකාව සිසාරා අති ජනප්‍රිය විය.හල්පිටගේ මෙන්ම නිහාල් නෙල්සන් මහතාගේ මුල් නිර්මාණය වූ එය තවත් අති දක්ෂ සංගීත අධ්‍යක්සකවරයෙකු වූ ලාල් තේනබදු මහතාගේ මුල්ම ගී තනු නිර්මාණයයි.එපමණක් ද නොව ඔහු ජිප්සීස් වෙනුවෙන් රචනය කරන ලද ලුණු දෙහි,කුරුමිට්ටෝ,ඔජායේ ද ප්‍රෙඩ් සිල්වාට රචනා කල තේ කුඩය,එඩ්වඩ් ජයකොඩි වෙනුවෙන් රචනා කරන ලද "නිහඬ කල්පනා ලොවක තනිවෙලා"මෙන්ම කීර්ති පැස්කුවල් වෙත රචනා කල "නීල අහසේ සැදැ වලාවන්" නාමල් උඩුගමට රචනා කල "නිසල වෙලා හද "ග්‍රෂන් ජයමහ වෙත රචනා කල "සුදු මීදුම"රූකාන්ත-චන්ද්‍රලේඛා යුවලට රචනා කල "මනලෝලි මනමාලියේ"මෙන්ම මායා දමයන්ති මහත්මියට රචනා කල "පුර හඳ ලෙස ඔබ සමකල",සශිකා නිසන්සලාට "සඳ රෑට රෑට"T M ජයරත්න මහතා ට රචනා කල "සොවින් බර නුවන්"සහ "සීගිරි ළඳුනේ" මෙන්ම ගැලක්සීස් වෙනුවෙන් රචනා කල "සඳ බොඳවී"සහ "සඳ සිසිලේ"ගීත ද වුහ.එපමණක් ද නොව HR ජෝතිපාල මහතාට සහ මායා දමයන්ති මහත්මියට "ඔබට දිවුරා කියන්නම් "චිත්‍රපටය ඇතුළු චිත්‍රපට 200ට පමණ පසුබිම් රචනය කළේය.මේ අපූරු කලාකරුවා 2006 අප්‍රේල් මස 28 වන දින මෙලොව හැර ගියේය.

-------------------------------------------------------------------------------------------------
එතුමා ගැන චන්ද්‍රලාල් තේවහෙට්ටිගේ සරසවි පුවත් පතේ ලියු සටහන පහතින්

-"අප හැරදා ඔහු නික්ම ගියේ 2006 අප්‍රේල් 28 වනදායි. මගේ මතකයේ හැටියට ඔහු මට මුලින්ම හමුවන්නේ 70 දශකයේ මුල් අවධියේ විය හැක. ඒ ප්‍රවීණ ගීත රචක සරත් මුණසිංහයන්ගේ (මීගහවෙල සුමන ශාන්ත හිමි නමින් දැනට පැවිදිව සිටින) මධුබිංදු සඟරාවට මා විසින් විවිධ ලිපි කලාකරුවන් ගැන ලියන අවධියයි.

එවකට මධුබිංදු කාර්යාලය මරදානේ ජීවන සේයා චිත්‍රාගාරයේ උඩු මහලේ පවත්වාගෙන ගියේය. හල්පිටත් ගායක - ගායිකාවන්ගේ ජීවන තොරතුරු මධුබිංදු වෙත ලියා එවයි. ඒ අතරතුර ඉඳහිට පැමිණ හමුවී සතුටු සාමිච්චියේ යෙදී සිට ඉවත්ව යයි. එවකට මා ප්‍රසංග වේදිකාවේ නිවේදකයකු වශයෙන් අගනුවරට හා තදාසන්න ප්‍රදේශයන්හි කාගේත් කථා බහට ලක්වී සිටියාහ. කාලයාගේ අවෑමෙන් හල්පිටත් සමග පසු කලෙක ගම් පළාතේ අවුරුදු උත්සවයන්හි නිවේදන කටයුතුවල නියැලෙන්නට මග පෑදුණි.

කලකට පෙර දිනක් වාද්දුව ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් සඳහා ශිල්පීන් සම්බන්ධීකරණය කරමින් නිවේදන කටයුතු සඳහා මා සහභාගි විය. පසුකලකදි හල්පිට විසින්ම මා හට පවසා සිටියේ එදා මා නිවේදක වශයෙන් ප්‍රසංගය ඉදිරිපත් කළ දිනයේ උදේ එම උත්සවයේම අංගයක් වූ බයිසිකල් ධාවන තරගයේ නිවේදන කටයුතු හල්පිට කළ බවත් රාත්‍රියේ මා ප්‍රසංගය මෙහෙයවන ආකාරය ඔහු බලා සිටිය බවත්ය.

එම සිද්ධිය සරත් ද අල්විස් සහ නිහාල් නෙල්සන්ට දිනක් මා ඉදිරියේ පැවසූ බව මතකයි. විවිධ උත්සව අවස්ථාවන් ආවරණය කරමින් කල එළියට ආ හල්පිට ස්වකීය කුසලතාව හා වාසනා මහිමය නිසාම සංගීත ප්‍රසංග නිවේදකයෙකු හැටියට මුළු රටේම ජනප්‍රියත්වයට පත් විය.

ඉතා කෙටි කලකින් ඔහුට කැසට්පට සංයුක්ත තැටි මෙන්ම චිත්‍රපට රාශියකට ගීත දහස් ගණනක් රචනා කරන්නට වාසනාව උදා විය. කලක් ප්‍රසංග වේදිකාවේ අතිශය කාර්ය බහුලම නිවේදකයා වූයේ හල්පිටයි.

සමහර අවස්ථාවකදී ප්‍රසංග වේදිකාවේදී අප දෙදෙනාම එකට නිවේදන කටයුතු කරන විට මා විසින් ඔහු හඳුන්වා දෙන්නේ ප්‍රසංග වේදිකාව ආක්‍රමණය කළ මහා කළු සිංහලයා හේමසිරි හල්පිට කියායි. ඔහු කම්මැළිකමට නිකරුණේ කාලය ගෙවූ අයෙකු නොවේ.

ජීවිතයේ හැම තත්පරයකම කාර්ය බහුලව සිටි හල්පිට ලැබෙන ආරාධනය මුදල හෝ නොතකා සහභාගි වේ. මුල් වකවානුවේ ප්‍රසංගවලට ගියේ යතුරු පැදියෙනි. මටත් සමහර දිනක ඔහුගේ යතුරුපැදිය පිහිට වී ඇත.

ඉතාමත් කඩිසර බවින් තම රාජකාරිය අකුරටම ඉටුකරන හල්පිට වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු බව වැඩිදෙනෙකු නොදන්නා අප්‍රකට කරුණකි. ජීවිත සටන ජයගන්නට නොපසුබට උත්සාහයක් දැරූ ඔහු කාර්යබහුලත්වය නිසාම අධික දුම්වැටි භාවිතයට පෙලඹුණි. ඒ හේතුවෙන රෝගී වූ බවක් මා අසා ඇත.

අවධියෙන් සිටින හැම විටම හල්පිටගේ පන්හිද සුරතේ රැඳී ඇත්තේ ගීතයක පද පේළි ගළපන්නටයි. අප නොසිතූ මොහොතක ලක් දෙරනේ සහෘද සංගීත කාමීන්ගේ හදවත් කම්පා කරමින් අකාලයේ ඔහු අපෙන් සමුගත්තේ 2006 අප්‍රේල් 28 වෙනිදාය. ඔහුගේ ආදාහන උත්සවයට බොරැල්ල කනත්තට සපැමිණි කලාකාමි ජනගඟ හල්පිටගේ ලෙන්ගතු භාවයට හොඳම නිදසුනකි.

වියෝවෙන් දස වසරක් සපිරෙන මේ මොහොතේ හේමසිරි හල්පිට මිතුරාට නිවන් පුර රුවන් දොර විවර වේවායි පතමු

(චන්ද්‍රලාල් තේවහෙට්ටිගේ)



ඔහු පිලිබඳ ස්වාධින රුපවාහිනියේ ප්‍රචාරය වුනු "සෙනෙහසේ නවාතැන"
-----------------------------------------------------------------------------------------------------------