Tuesday, September 5, 2017

"අන්ධ බව නොපෙනෙ ද මහා මිනිසුන්ගේ"



------------------------------------------------------------------------------------------------------
මෙන්න මේ වීඩියෝව දැක්කම හිතුනා හෙන්රි ජයසේනයන් ගැන ලියන්න ඕන කියලා .විස්තර ටික හොයනකොට හම්බ වුනා අපුරු විස්තර සහිත ලිපියක් .මම ලිව්වත් මෙච්චර හොඳට ලියන්න බැරි නිසා ඒ විස්තර ටික මෙතැනට ගෙනත් දැම්මා හැමෝටම කියවන්න ....


මෙරට නූතන වේදිකා නාට්‍ය ඉතිහාසයේ පුරෝගාමි මෙහෙවරක යෙදෙමින්, එහි අභිවෘද්ධියට කැප වූ ඔහු 1931 ජූලි මස 06 දින ගම්පහ බැන්ඩියමුල්ලේදී මෙලොව එළිය දුටුවේ ය. ලිපිකරුවකු, ගුරුවරයකු ලෙස වෘත්තීය ජීවිතයක් ගත කළ ඔහු පසුව ජීවිත කාලය ම වේදිකා නාට්‍ය කලාව වෙනුවෙන් කැප කළේ යැ යි පැවසීම අතිශයෝක්තියක් නො වේ. රංගධරයකු, නාට්‍ය රචකයකු, පරිවර්තකයකු හා අධ්‍යක්ෂවරයකු ලෙස ඔහු ඉටු කළ සේවය සදා අනුස්මරණීය වේ. හෙන්රි ජයසේන නම්වූ මේ අපූරු සෞන්දර්යවේදියා භෞතිකව අප අතර නොසිටියත් ඔහුගේ නිර්මාණකාය තවමත් අපේ හද මනස පෝෂණය කරයි. එතුමන්ගේ 85වන ජන්ම දිනය සැමරෙන මේ මොහොතේ ‘දිනමිණ’ – ‘රසමංජරිය’ කරන ආවර්ජනාවකි.

‘නොව පැරණිය වන රමණිය විටින්විට’ යනුවෙන් සැලළිහිණි අස්නෙහි සිරි රාහුල හිමියන් කැලණිවෙහෙර ගැන සඳහන් කරන්නාක්මෙන්, මෙරට නාට්‍ය ඉතිහාසය තුළ නොමැකෙන මතකයක් හෙන්රි ජයසේනයන්ට හිමිවේ. එමෙන්ම ඔහුගේ නාට්‍ය බලන සෑම මොහොතක් පාසාම නව අරුත් ගම්‍යකරමින් රමණීයව අප ඉදිරියෙහි සෝභමානව පවතී. මේ අප්‍රමාන මිනිසා පිළිබඳව කියන්නට දුහුනෙකු වූ මා කෙසේනම් සුදුසු වන්නේද? අපි ඔහුට ම ඉඩදෙමු,
“රුක්මණී දේවි ඇතුළු පිරිස සිය නාට්‍ය ඇක්ට් කරන්නේ මෙහි ද? ඔවුන් රඟපාන්නේ මෙහි ද? මා කවදාවත් නාට්‍යයක් දැක නැත. එය කෙබන්දක් දැ යි මට සිතාගැනීමට පවා නුපුළුවන. මා දැන් හුදෙකලාව නැගී සිටින වේදිකාව නමැති මෙම දැව තලය මගේ ඉදිරි ජීවිතයේදී මට බොහෝ සේ බලපාන බැව් මම ඒ මොහොතේ දැන නොසිටියෙමි.”
(කරළියක කතාවක් - 19 පිටුව)

Monday, August 28, 2017

රජ්ජුරුවෝ උඩයි උඩයි

තැන තැන රවුමට ඉඳගෙන
ඉඳහිට එබිකම් කර කර
ලේන්සු හංගන්න ළමයි එක්‌ රොක්‌ වෙන්නා
රවුම වටේ යන විට කවිපද කියෑවෙන්නා

කොපර කොපර පිපිඤ්ඤා
පස්‌ස බැලුවොත් දෙසඤ්ඤා

ළමා කැළ අතරද වැඩිහිටියන් අතරද අතිශය ජනප්‍රිය වූ කොපර කොපර පිපිඤ්ඤා ගීතය තරමටම එහි ගේය කාව්‍ය රචකයා ජනප්‍රිය වූයේ නැත. ජනප්‍රිය වීමට උවමනාවක්‌ද ඔහුට තිබුණේ නැත. ගීතය ජනප්‍රිය වුවද ඒ පිළිබඳ පුරසාරම් දෙසීමටද ඔහු කැමති නැත. ඔහු වඩාත්ම කැමති වූයේ කැලණිය ගුරුකුල විද්‍යාලයේ සිංහල ගුරුතුමා ලෙස පෙනී සිටින්නටය.

අද අධ්‍යාපන ක්‍ෂේත්‍රය දෙස විමසිලිමත්ව බලන කල හොඳ ගුරුවරයෙක්‌ වීම සාරා සංෙඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ පෙරුම් පුරා බුදු බව ලබන තරමටම වටනේය. දේශපාලන රැවටිලි කාරයන්ගෙන් පිරිහුණු අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ අමරසේන කංකානම්ගේ ගුරුතුමා වැනි ගුරුවරුන් දෙවිවරුන් හා සාමානය. ඔහු කෘතහස්‌ත ළමා ගේය කාව්‍ය රචකයෙකු වන්නේද ඔහු ළමා ලොව තුළ සැරිසරන කෘතහස්‌ත ගුරුවරයකුද වන නිසාවෙනි. අමරසේන කංකානම්ගේ ගේය කාව්‍ය රචකයා බුහුමනට ලක්‌වන්නේද කැලණිය ගුරුකුල විද්‍යාලයේ ඔහුගේ සෙවණේ හැදී වැඩී නැණැස පාදාගත් ඔහුගේම ගෝල පරම්පරාව අතිනි. මේ කිනම් අසිරියක්‌ද.

මාතර අපරැක්‌ක, අමරසේනයන්ගේ උපන් බිමය. ඔහු පින්න මලේ සුද දකින්නේ මේ බිමේදීය. කන්ද කපා හඳ ගෙට එනු දකින්නේද මේ බිමේදීය. ඔහුගේ ගීතවලින් වහනය වන අව්‍යාජ ගැමි සුවඳ ඔහු අපට බෙදන්නේ අතීතයේ ඔහු හා බැඳුණු ගමේකමය. ඔහුගේ හැම ගීතයක්‌ තුළින්ම ගැමි වහර කට වහර විද්‍යමාන වෙයි. ආධුනික ගේය කාව්‍ය රචකයන්ට අමරසේනයන්ගේ ගී තුළින් මතු කෙරෙන භාෂාත්මක ව්‍යවහාරය තවත් තක්‌සලාවක්‌ වනු ඇත.

පින්න මලේ සුද ඇන්න ගිහින් වද
මූණ පුරා පෙම් පිරිලා
ඉන්න එපා නුඹ හැන්දැකරේ දොර
කන්ද කපා හඳ ගෙට එන්නා

අමරසේනයන් කුඩා වියේදීම තාත්තා මිය යැම හේතුවෙන් ඔහුට අපරැක්‌ක අතහැර කොළඹට පැමිණීම සඳහා අපරැක්‌ක මහා විද්‍යාලයෙන්ද සමුගන්නට සිදුවෙයි. කුඩා අමරසේනයන්ගේ දඩබ්බරකම් හිතුවක්‌කාරකම් හඳුනා ගන්නා සිය මව කොළඹ පදිංචි තම වැඩිමහල් දියණිය බාරයට ඔහු පත් කරයි එතැන් සිට කොළඹ ලංකා සභා විද්‍යාලයේදී අමරසේනයන් සාමාන්‍ය පෙළ දක්‌වා අකුරු උගනී. මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයෙන් උසස්‌ පෙළ හදාරයි. එවක අද ප්‍රවීණ ගේය කාව්‍ය රචකයකු වන සුනිල් සරත් පෙරේරා මහතාද ඔහුගේ පංති සගයෙකු වෙයි.

විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ශාස්‌ත්‍රවේදී (බී ඒ) උපාධිය ලද අමරසේනයන් ගුරු වෘත්තියම කරකාර බැඳ ත්‍රිකුණාමලයේ මහවැලිගම මහා විද්‍යාලයට මුල්ම පත්වීමක්‌ ලබයි. ඒ ආසන්න වසරේදීම 1971 දී ඔහු තරුණ කැරැල්ලේ සැකකටයුතු පුද්ගලයෙකු ලෙස අනුරාධපුර බන්ධනාගාර ගත වෙයි. ප්‍රකට නවකතා රචකයකු වන ජයසේන ජයකොඩිද ඔහු සමග එකම සිර මැදිරියකට කොටුවෙයි. බන්ධනාගාරයෙන් නිදහස්‌ව පෙරළා මහවැලිගම මහා විද්‍යාලයට පැමිණි ඔහු බන්ධනාගාර ගතවීමේ වරදට වැඩ තහනමකට ලක්‌වෙයි.

වැඩ තහනමට ලක්‌වූ මෙසමය තුළ ඔහු කුමාර් රූපසිංහ මහතාගේ ජන වේගය වැඩසටහනේ ක්‍රියාකාරී සාමාජිකයකු විය. හිටපු අමාත්‍යවරයකු වන අමරසිරි දොඩංගොඩ හිටපු මහජන බැංකු සභාපති සී. කරුණාජීව මහත්වරුන් සමග වෘත්තීය සමිති ව්‍යාපාරයේද ප්‍රධාන නියමුවකු විය.

නිල් නුවන් පෙඟෙන අඳුර ගලා
නුරාවෙන් වෙලී
මල් පිපෙන සුළඟ නීල වළා
තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී - නිල් දියමතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි සොඳුර නුඹ නමින්

සොඳුර නමින් හදේ දොරටු විවර කර ගත් පසු අමරසේන කංකානම්ගේ මහතා කැලණිය ගුරුකුල විද්‍යාලයේ සිංහල ගුරුතුමා ලෙස පත්වීම් ලබයි. එතැන්හිදී හමුවන සංගීත ගුරුතුමා විශාරද එඩ්වඩ් ජයකොඩි ගායන ශිල්පියාණන්ය. එඩ්වඩ් ජයකොඩි ශිල්පියාණන් විසින් ඉදිරිපත් කළ රූපවාහිනී ගායනා වැඩසටහනට අමරසේනයන් ඔහුගේ ප්‍රථම ළමා ගීය ඉදිරිපත් කරයි. එතැන් සිට වැඩිපුරම ළමා ගීයට ජීවය දුන් අමරසේනයන් 2008 වසරේදී සංස්‌කෘතික අමාත්‍යාංශය මගින් ප්‍රශස්‌ථතම ළමා කාව්‍ය රචකයා ලෙස පිදුම් ලබයි. එසේම ඔහු ගේය කාව්‍ය වපසරිය තුළ සිංහල භාෂා භාවිතය පිළිබඳව පෙළහර පාන්නේ සිංහල භාෂාව සඳහා ශාස්‌ත්‍රපති (එම් ඒ) උපාධිධාරියකු වන බැවිනි.

(සුනිල් ආර්. ගමගේ)
-----------------------------------------------------------------------------------
රජ්ජුරුවෝ උඩයි උඩයි
මිටි කොල්ලෝ බිමයි බිමයි 
රජ්ජුරුවෝ ....
උඩයි උඩයි
මිටි කොල්ලෝ බිමයි බිමයි

මතකද ඒ පුංචි අපේ සෙල්ලම් කාලේ
පුංචි අපිත් එක මොහොතක් රජවුණි බාලේ

කොස් කොළ ගෙන ඔටුණු හදල හිස පළඳින්නා
සිංහාසනයක් අටවා එහි රජ වෙන්නා
යුක්තිය පසිඳා ලන්නට නඩු විසඳන්නා
වැරදි හොයා රජු කාටත් දඬුවම් දෙන්නා

රජ්ජුරුවෝ උඩයි උඩයි
මිටි කොල්ලෝ බිමයි බිමයි 
රජ්ජුරුවෝ ....
උඩයි උඩයි
මිටි කොල්ලෝ බිමයි බිමයි

මතකද ඒ පුංචි අපේ සෙල්ලම් කාලේ
පුංචි අපිත් එක මොහොතක් රජවුණි බාලේ

එකෙක් ඇතෙකු වී රජු ඒ ඇතු පිට යන්නා
කෙසෙල් පතුරු කඩුව අරන් යුද්ධ කරන්නා
එකින් එකා පොරකාගෙන රජකම ගන්නා
ඒ රජකම ගෙනියන හැටි තවම නොදන්නා

රජ්ජුරුවෝ උඩයි උඩයි
මිටි කොල්ලෝ බිමයි බිමයි 
රජ්ජුරුවෝ ....
උඩයි උඩයි
මිටි කොල්ලෝ බිමයි බිමයි

මතකද ඒ පුංචි අපේ සෙල්ලම් කාලේ
පුංචි අපිත් එක මොහොතක් රජවුණි බාලේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි
ගී පද - අමරසේන කංකානම්ගේ
තනුව - එඩ්වඩ් ජයකොඩි
-----------------------------------------------------------------------------------
ඉස්සර විදියට දුව පැන යන එක
මතකද තහනම් කරපු දිනේ
සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද
කියන්න පොඩි හාමුදුරුවනේ

කරඹ කැලෑවට වවුලෝ ඇවිදින්
රෑ තුන්යම රජ මඟුල් කතී
පාළුව දැනුණම මෙරු රැළ තරහින්
වැලි මාළිග වට කුලල් කතී

ඉස්සර විදියට දුව පැන යන එක
මතකද තහනම් කරපු දිනේ
සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද
කියන්න පොඩි හාමුදුරුවනේ

රෑ කල තනි යහනේ සැතපෙන විට
දැනුණිද මවකගෙ සෙනෙහෙ ගුණේ
බුදු බණ එතකොට සිහියට එනවද
කියන්න පොඩි හාමුදුරුවනේ

ඉස්සර විදියට දුව පැන යන එක
මතකද තහනම් කරපු දිනේ
සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද
කියන්න පොඩි හාමුදුරුවනේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි
ගී පද - අමරසේන කංකානම්ගේ
තනුව - රෝහණ වීරසිංහ
-----------------------------------------------------------------------------------
පින්න මලේ සුද ඇන්න ගිහින්වද
මුහුණ පුරා පෙම් පිරිලා
ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර
කන්ද කපා හඳ ගෙට එන්නා ....

දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන්
අන්න බලාපන් අත වනතේ
මන්ද නඟේ උඹ යන්නෙ ගමෙන් පිට
ගං ගොඩ වෙල් එළි පාළු වෙතේ


ඉන්නෙ මොකෝ වැට ඉන්න වගේ නුඹ
එන්නෙ අළුත් අවුරුදු කාලේ
ගන්න එපා පර දේස සිරිත් නෙක
මේක අපේ සිංහල දේසේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි
ගී පද - අමරසේන කංකානම්ගේ
තනුව - රෝහණ වීරසිංහ
-----------------------------------------------------------------------------------
තැන තැන රවුමට ඉඳගෙන
ඉඳහිට එබිකම් කර කර...//
ලේන්සු හංගන්න ළමයි එක් රොක් වෙන්නා
රවුම වටේ යන විට කවි පද කියවෙන්නා

කොපර කොපර පිපිඤ්ඤා
පස්ස බැලුවොත් දෙසඤ්ඤා..//

පැණි මොර මල් පිපුණු රෑට
කජු පුහුලන් ඉදුණු දාට
පුංචි අපේ සිත් තුළ සතුටක් මතුවෙන්නා
එවන් අසිරි සිරි දුටු සිත් පිනෙන් පිරෙන්නා

කොපර කොපර පිපිඤ්ඤා
පස්ස බැලුවොත් දෙසඤ්ඤා..//

කුන්දු පැනල නැටුවෙත් අපි
වච්චි කියල දිව්වෙත් අපි
හරිම වැඩේ අද ළමයින් ඒව නොදන්නා
වෛයිවාරණ සෙල්ලම් බඩු ගමට ඇවිල්ලා

කොපර කොපර පිපිඤ්ඤා
පස්ස බැලුවොත් දෙසඤ්ඤා..//

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ ළමා කැළ
ගී පද - අමරසේන කංකානම්ගේ
තනුව - එඩ්වඩ් ජයකොඩි
-----------------------------------------------------------------------------------
චක් ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු ගුඩේ කියල
ගුඩු පනින්න එමුයි කියල

කොල්ලො කොල්ලො එකට ඉඳල
දෙන්න දෙන්න දෙකට බෙදිල ...//
උච්චි උච්චි තෝල් තෝල්...//

ඉර ද? හඳ ද? ඉර ...

යාළු යාළු දෙකට බෙදිල සටනට සැරසෙයි
නායකයා පොඩි එකාම සටනට පොළඹයි
බඳ හොළවයි
දණ නටවයි
ඉර පැන දඟලයි
ඔහු වැටුණොත් බැට දෙන්නට මුළ පිල පොරකයි

අව්ව ද? වැස්ස ද? වැස්ස...
ඇල්ලු ඇලුලු අය දැවේවි පිල පැන ආවොත්
තල්ලු කරති පිලෙන් යන්න ඔහු ගුටි කෑවොත්
ඇහැ කරකයි
බිම පොරකයි

සටනට ආවොත්
ඔහේ අදිමු උන් දෙන ගුඩු අපි හැමදාමත්
අහස ද? පොළව ද? අහස...

ගායනය - එඩ්වඩ් ජයකොඩි
ගී පද - අමරසේන කංකානම්ගේ
තනුව - එඩ්වඩ් ජයකොඩි
-----------------------------------------------------------------------------------
ප.ලි 
මේ ලිපිය දිවයිනේ පලවූ එකක් .කවුරුත් නොදන්නා ගීත රචකයෙක් ගැන හැමෝටම දැ න ගන්න මෙතැනට ගෙනාවා ... 

Thursday, August 10, 2017

නිකිණි මහේ පරවී ගිය සුවඳ හමන කවි මල්,,,


සිංහලයාගේ ජීවය බඳු හෙළ කවි වෘක්‌ෂයෙන් ගිsලිහී ගිය සුවඳැති මල් කොපමණ ඇද්ද? කෙසේ වෙතත් පර වී ගිය මල්වලින් තවමත් සුවඳ හමන වග අප කවුරුත් පිළිගන්නා සත්‍යයකි. නිකිණි මගේ එසේ පරවී ගිය කවිමල් ගැන මෙසේ සටහන් කර තබන්නෙමු.

ඩෝල්ටන් අල්විස්‌ (ජීවිතයෙන් සමුගත් දිනය 1987.08.01)
ගාලු දිස්‌ත්‍රික්‌කයේ බෙන්තොට ප්‍රදේශයේ උපත ලද මොහු මීතොටමුල්ලේ යූ. ඒ. ඇස්‌. පෙරේරා (සිරි අයියා) කවියාගේ මග පෙන්වීමෙන් කවි ලෝකයට පිවිසියේය.
බොහෝ විට ජාතිකත්වයෙන් ප්‍රබෝධයට පත් වූ ඩෝල්ටන් අල්විස්‌ නම් අපූරු මිනිසා කවියකු මෙන්ම ප්‍රබුද්ධ ගීත රචකයෙක්‌ ද විය.

නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනින් උදාරයි

පණ්‌ඩිත් අමරදේවයන් විසින් ගයන එම ගීතය වගේම නන්දා මාලිනියන් ගයන " උඩඟුලියන් ගොතා බඳින නීල වරල සරසන්නට", රන් දහඩිය බිංදු බිංදු, කවුරුදෝ අර කවුලුවෙන්, එගොඩහ යන්නෝ, ආදී තවත් බොහෝ ගීත රචනා කළ ඩෝල්ටන් අල්විස්‌ කිවිවරයාගේ ගීතවල ජාතික අභිමානය මෙන්ම සාහිත්‍යමය රසයක්‌ දක්‌නට ලැබීම සුවිශේෂී කරුණක්‌ විය. කොළඹ තරුණ බෞද්ධ සංගමයේ පුස්‌තකාලයාධිපති ලෙසද සේවය කළේය.
සිංහල භාෂාව, සාහිත්‍යය පමණක්‌ නොව, ඉංග්‍රීසි භාෂාව මෙන්ම, ඒ හා බැඳුණු සාහිත්‍යය පිළිබඳවද හසළ දැනුමක්‌ ඩෝල්ටන් අල්විස්‌ කවියාට තිබිණි.
1987 අගෝස්‌තු 01 වැනිදා දෙමටගොඩ කොළොන්නාව නිවසේදී දැයෙන් සමුගත් ඩෝල්ටන් අල්විස්‌ නම් වූ සුන්දර කලාකරුවා හෙළ පද්‍යවලියේ සහ ගීතාවලියේ සදා නොමැකෙන නාමයකි.
"පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා"

Sunday, June 25, 2017

නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන දයාව වෑහෙනවා..



70 දශකයේ මෙරට ගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගයේ, සුභාවිත ගීතයෙන් කලාකෙත පෝෂණය කරන්නට සිය නිර්මාණ දායකත්වය සැපයූ ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා, සිය නිර්මාණ ඔස්සේ මෙරට ගීත ශ්‍රාවකයින්ගේ රුචිකත්වය වර්ධනයට මහඟු මෙහෙවරක් ඉටුකළ ගීත රචකයෙකි.

පණ්ඩිත් අමරදේවයන්ගේ සිට වර්තමාන නව පරපුර දක්වාම සිය නිර්මාණ තිළිණ කරමින් ගීත සාහිත්‍යයේ වර්ධනයට ඔහු කළ මෙහෙවර අමිලය.

සුනිල් සරත් පෙරේරා ගීත රචනා කලාවට පිවිස ඇත්තේ ගුවන් විදුලියේ ළමා මණ්ඩපයෙනි. ඔහු සිය ප්‍රථම ගීතය රචනා කර ඇත්තේ කරුණාරත්න අබේසේකර ගේ ‘මිණි කිංකිණි’ වැඩසටහනටය. ගීතය ගායනා කර ඇත්තේ ලාලිනී සේමසිරිය.ගී තනු නිර්මාණය තිලකසිරි ප්‍රනාන්දුගේය.

ගීත රචකයෙකු වශයෙන් නිර්මාණ ඔස්සේ කළ මෙහෙවරින් නොනැවතී ඔහු රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්ව සිටි අවදියේ ගීතය රූපවාහිනි මාධ්‍යයට රැගෙන ඒමේ සුවිශේෂිතා හඳුන්වා දෙමින් ‘මනෝහාරී’ ප්‍රාසාංගික වැඩසටහන හඳුන්වා දුන්නේය.

”මනෝහාරි ප්‍රාසාංගික වැඩසටහන මුල් කාලයේ හඳුන්වා දුන්නේ ගීත සාහිත්‍යයට ප්‍රාසාංගික මුහුණුවරක් එක්කරමින්. එදායින් පස්සේ අද වනතුරු එය අනුකරණය කළා මිස ඉන් එහා ගිය නිර්මාණාත්මක දෙයක් කරන්න හිතුවේ නෑ. එදා ‘මනෝහරි’ කළේ මාධ්‍ය අවකාශය තුළ කරපු විශේෂිත අත්දැකීමක් විදියට. ජනපි‍්‍රය, විදග්ධ සහ ජන සංස්කෘතික තුන අතර ගොඩනඟපු පාලමක් විදියට මෙය හඳුන්වා දෙන්න පුළුවන්.

’පෙර දිනයක මා පෙම් කළ යුවතිය’, ‘අනෝතප්ත විල’, ‘මේ මහ කන්ද’, ‘කන්දෙන් ලන්දෙන්’, ‘නිල්ල මැදින් රැල්ල දිලෙන’, ‘පියාසර කර ආමි’, ‘සනරාමර හිමි’ ඇතුළු ගීත රැසක් පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් රචනා කළේය. ‘මගේ රටට දළදා හිමි සරණයි’, ‘ඈත එපිට ගම්මානෙන්’, ‘යශෝදරා’, ‘සැන්දෑ කළුවර’, ‘සිනා නඟන්නී’, ‘නවාතැනින් ඈ යනවා’ සංගීත් නිපුන් සනත් නන්දසිරි වෙනුවෙන් රචනා විය.

මේ අතර සෝමතිලක ජයමහ ගයන ‘මහා වරුසාවට පසු’, ‘ඔබ ඇසේ මුදු පහස’, ‘ඔබ දැකුමෙන් යළි’, ‘ගලා යයි ගඟ’, දයාරත්න රණතුංග ගයන ‘සැන්දෑ අහසේ’, ‘මේ අපේ මාතෘ භූමියයි’, නීලා වික්‍රමසිංහ ගයන ‘උදාවුණ හිරු’, ගුණදාස කපුගේ ගයන ‘පසක් කොට ඇති’ ආදියද සුනිල් සරත් පෙරේරා අතින් රචනා වූ ඒවාය.

සුනිල් සරත් පෙරේරා පරිසර සාහිත්‍යයටත් බෙහෙවින් ආදරය කරන කලාකරුවෙකි. ‘සොබා පරිසර සඟරාව‘ ඔහු අතින් නිමවූවකි. ‘ගීත පද රචනා විමර්ශන’, ‘විද්‍යුත් මාධ්‍ය උපදේශන විග්‍රහය’ වැනි ග්‍රන්ථ කිහිපයක්ද රචනා කර ඇති ඔහු කලක් පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වශයෙන්ද, රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් ද, ශි‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති වශයෙන්ද කටයුතු කළ අත්දැකීම් සපිරි පරිපාලකවරයෙකි.

”අද බොහෝ වෙලාවට අපට ඇසෙන්නේ හරසුන් බොළඳ ගී පද. විශේෂයෙන් ඒවායේ කිසිදු අර්ථ රසයක් නෑ. ගීතය කියන්නේ සාමූහික ප්‍රයත්නයක්. ඒ වගේම ගීතය සාහිත්‍ය අංගයක්. අදත් අපි අමරදේවයන්ගේ, සුනිල් එදිරිසිංහගේ ගීත රස විඳින්නේ ඒ සාහිත්‍ය අංගය ගීතවල නොමඳව තිබෙන නිසා. ගීතය කියන සාමූහික කලා මාධ්‍යය සංගීතඥයාගෙන් රසවත් වෙනවා. සාහිත්‍යය සදාකාලික වෙනවා. අද ඉන්නේ ගායකයෝ නොවෙයි ඝෝෂකයෝ. අපට ඇහෙන්නේ අරුත් සුන් ඝෝෂාවක් විතරයි.


(උ .ගැනීමකි )

♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫

ඔබ මා සමඟ - අතිනත ගන්නා දවස
මේ මහ කන්ද - බැලුවා හිඳ ගම් සිරස

ඔබ මා අතැර - වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා - හොරැහින් මදෙස

වෑ දිය නිල්ල - සුදු නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහුබඳින කිරලා - හඬා වැටෙයි

නොකියූ රහස හද උතුරා - වාං දමයි
මතකය සුවඳ - තවමත් මා හදට දැනෙයි


පද - සුනිල් සරත් පෙරේරා
ගායනය සහ සංගීතය – විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේවයන්
♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫
මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි

නුඹ සඳක් වෙලා පායා
මට එළිය වුණු වගයි
නුඹ සඳක් සේම බැස යයි
මට ඉතිරි කළුවරයි

මගෙ මතක එපමණයි
සඳ එළිය අයිති ලොවටයි
සඳ අයිති අහසටයි
පිණි කඳුළු බිංදු විතරක්
මේ බිමට වැටෙනු ඇයි
මට ඉතිරි එපමණයි


ගායනය - සුනිල් එදිරිසිංහ
ගේය පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫

මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්‌කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි

ඇළ දොළ පාමුල ගොළුවුන ගීයකි
අප හදවත් බැඳි සොඳුරු සෙනේ
අද නොදකින ඔබ හෙට දකිනාතුරු
මඟ බලමින් මා සිත ලතැවේ

ඔබ මට හමුවුන මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවඳයි
විටකදි නැගුනත් සැක බිය ශෝකය
පිවිතුරු සෙනෙහස හද උතුරයි

පදමාලාව - සුනිල් සරත් පෙරේරා
තනුව - රෝහණ වීරසිංහ
ගායනය - සෝමතිලක ජයමහ
♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫


සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්
කාලය කවුලු දොරින් මිය යනවා
සැන්දෑ අහසේ........
ඈත අතීතෙන් පියවර නගමින්
කණ වැල අල්ලන් කවුදෝ එනවා
බලාපොරොත්තුව ලයට තුරුල් වී
ඈ එන පෙර මග බලා සිටිනවා
සැන්දෑ අහසේ.....

දුකට මිහිර දෙන පාලුව තනිකම
මා වට දැවටී කඳුළු සලනවා
අදත් එදා මෙන් නුපුරුදු සුවඳක්
ඒ අතරේ මා වෙතට ඇදෙනවා


ගායනය - දයාරත්න රණතුංග
♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫

ඈත එපිට ගම්මානෙන් නැග එන
බටලී හඬ අතරේ..
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ..//

මලානිකව හද එලිය ගලා එන
අම්බලමක හෙවනේ..//
බලාහිදිමි ඔබ හිදින විමන් දොර
දැල්වෙන එලිය බදේ..

ඈත එපිට ගම්මානෙන්...

වේදනාව නෙතු අගට ගලාලා
ඉකිලන නිහඬ රැයේ..//
නීල නුවන් තරු කැට බොදවෙනවා
කාටත් හොර රහසේ..

ඈත එපිට ගම්මානෙන්...

ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : සුනිල් සරත් පෙරේරා
♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫


කන්දෙන් ලන්දෙන් බැස දිවැ එන්නේ..
මා දං බෝවිටියා රස දන්නේ..
නින්දේ දුටු සිහිනය එලි වන්නේ..
සැන්දෑ කුමරිය ගඟට බසින්නේ..

පුරා උදුල ඇගෙ වත සොමි උන්දා
සරා සදක් වේ සිත බැදි ලොල්ලා
නුරා බසක් වී හද එලි දල්ලා
පුරා බඳුන් වී සතුට ගෙනැල්ලා..

කන්දෙන් ලන්දෙන්...

නවම් මහේ මගෙ පැලට වඩින්නේ
උවම් මොටද ඉන් දුක් දුරුවන්නේ..
දෑත සුරල් ගී රබන් වයන්නේ
ගීත සවන් වී බඳුන් පිරෙන්නේ..

කන්දෙන් ලන්දෙන්...

ගායනය : පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය : සුනිල් සරත් පෙරේරා
♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫

පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා...
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා..//

නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා..//
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා

හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා..//
නෙත් අදන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකි යනවා..

එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පූදිනවා..//
නොකා නොබී දුක් වින්ද අතීතය
යළි මට සිහිවෙනවා..

පෙර දිනයක මා...

ගායනය  : පණ්ඩිත් ඩ්බ්.ඩී. අමරදේව
පද රචනය : සුනිල් සරත් පෙරේරා
සංගීතය : පණ්ඩිත් ඩ්බ්.ඩී. අමරදේව
♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫

ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිද මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා...
ඇය යන්න ගියා මැකිලා...
පිණි කඳුලක් මල්පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කදුවැටි අතරේ
සඳ එලියේ මං පෙත පාදා
රහසක් සඟවා ගොළුවූ හදකින්
යන්න ගියා මැකිලා

ඇය යන්න ගියා මැකිලා...

යලි කවදාවත් හමුනොවෙනා බව..
මද පවණක් හිස අතගා කීවද..
අදහාගන්නට නොහැකිය කිසිදින..
ඇය යලි නොයෙතැයි ගිම්හානෙට පෙර..

ඇය යන්න ගියා මැකිලා...

ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : සුනිල් සරත් පෙරේරා
සංගීතය : එච් එම් ජයවර්ධන
♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫


පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..
කෙලෙස් නේරංජාව තරණය
කලේ අප මහ බෝ සතා..
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..

නිසල බෝ මැඬ වෙසෙන අතරෙදි
සසල කෙරුමට අචල හිමි සිතු
නොයෙක් වෙස් පෑ සිතුම් සේනා
ගෙවා ඇත රුදු මාර දෙව් පුතු..

පසක් කොට ඇති...

පෙරුම් දම් බලයෙන් මරුන් බිඳ
බවුන් වඩවා බුදු වු ලොව්තුරු
සහන් එළියක් ලෙසින් මතුවින
නසා තිලොවක අවිදු ගණඳුරු...

පසක් කොට ඇති...

ගායනය : ගුණදාස කපුගේ
සංගීතය : ගුණදාස කපුගේ
පද රචනය : සුනිල් සරත් පෙරේරා
♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫
ප.ලි.
(වැරදි අඩුපාඩු පෙන්වා දෙන්නෝ .ගොඩක් දවසකින් ලියන්න බැරි වුනා .කම්මැලි වෙලා වාගේ .මෙතුමාගේ ඔබ කැමති ගීත සඳහන් කරන්න .පොස්ටුවට එක් කරන්නම් .)

Friday, April 21, 2017

"නියඟයත් වැසිත් සදන අහස - සේම විඳිමු ගැරහුම් "





වීඩියෝව දැකලා මතක් වුනා ගීත කීපයක් එකම තැනකට ගන්න හිතුවේ ....තව මේ වාගේ ගීත මතක් කරමුද ? (මිනිස්කම ගැන ,දුප්පත් කම ගැන ලියවුන ගීත )

Monday, March 13, 2017

"හත් වලාමෙ වෙච්චි දේට"

ප්‍රවීණ පුණත්පත් කලාවේදියකු සහ ජනප්‍රිය ගී පද රචකයකු වූ දෙල්තොට චන්ද්‍රපාලයන් 1938 පෙබරවාරි 28 වැනිදා උපත ලැබූ අතර එච්.ඇම්. කුඩලිගම කවියා ගේ යොමු කිරීමක් අනුව එවකට ජනතා පත්‍රයේ කතුවරයාව සිටි ජ්‍යෙෂ්ඨ තම පුවත්පත් කලාවේදී ඩී.එෆ්. කාරියකරවනයන් විසින් දෙල්තොට චන්ද්‍රපාලයන් , සිළුමිණ පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ ධුරයද හෙබවිය.තවද දිනමිණ සහ ලංකාදීප පුවත්පත්වල ප්‍රධාන කර්තෘ ලෙස දිගු කාලයක් සේවය කළේය.ජන දින, ජන සතිය, ලංකාදීප ආදි පත්තරවල උප කතු වරයකු වූ දෙල්තොට සිය ප්‍රගතිශීලී චින්තනය නිසා සමහර ආයතන වලින් විසි වී ගිය නමුදු කාලයාගේ අවෑමෙන් යළිත් ඒ තැන්වලින් ම ඉස්මතු ව නැගී සිටියේ ය.

විපරීත වී යමින් පවතින සමාජ ආකල්ප මෙ ලෙස තියුණු උපහාසයට ලක් කරන දෙල්තොට චන්ද්‍රපාල ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු, ගත්කතුවරයකු, ගීත නිබන්ධකයකු වශයෙන් කීර්තිමත් නමක් දිනා ගැනීමට පෙර රසික ප්‍රතිචාරයට ලක්වූයේ කිවිවරයකු වශයෙනි.ඔහු ඉංගිරිසි සිංහල දෙබසෙහිම හසළ ලේඛකයෙකි.කලාවටම ජීවිතය කැප කළ ඔහු මනුස්සත්වයෙන් පිරුණු හදවතක් තිබූ සුන්දර මිනිසෙකු විය.

‘මල පොතේ අකුරු බෑ කිව් මිනිහා, එක කුඩයක් යට ගෑවී නොගෑවී, පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩාගෙන, මල් ගෙන ආවේ නෑ සමිඳුනි’ වැනි ජනප්‍රිය ගීත රැසක් රචනා කරමින් ගීත ක්ෂේත්‍රයට අමිල සේවයක් කළ චන්ද්‍රපාලයන් ළමා පොත් විශාල ප්‍රමාණයක් ද රචනා කළේය. 2006 ඔක්තෝම්බර් 03 වැනිදා ඔහු මෙලොව හැර ගියේය.ඔහු ගේ ජනපි‍්‍රය ගීත නිබන්ධන ඊයේ අද මෙන් හෙටත් රසික ප්‍රතිචාරයට ලක්වෙමින් පවතිනු නොඅනුමානය.

------------------------------------------------------------------------------------

Sunday, January 29, 2017

"සිත් සනහාලන මුතුවන් වරුසා"


1932 ජනවාරි 21 වැනිදා තලංගම දී උපත ලැබූ පසිඳුගේ ප්‍රේමදාස පෙරේරා පාසල් යන කාලයේදීම පුවත්පත් සඟරා ආදියට කවි සහ ලිපි ලිවීම ආරම්භ කළ ඔහු සිළුමිණ, ලංකාදීප, ජනතා, පුවත්පත් සඳහා වැඩි වශයෙන් ලිපි, කෙටි කතා, කවි ආදිය ලීවේය. ‘බටහිර ලේඛකයෝ’ නම් කෘතිය රචනා කරමින් ග්‍රන්ථකරණයට පිවිසි ඔහු ‘ජගත් සුරංගනා කතා, සීනි ගෙදර නපුරු ආච්චි, අමරණීය පුද්ගලයෝ, සිතිවිලි රේඛා, පද්‍ය තරංගනී, නව සඳක්, පාළු අඳුර නිල් අහස මමයි, මිහිර පැතූ ආදරේ, පූජෝපහාරය සහ චීන මධුසමය’ වැනි පොත් විශාල සංඛ්‍යාවක් රචනා කළේය.මා නවකතා, නවකතා, කෙටි කතා ග්‍රන්ථ ලියා රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබුහ .

තලංගම ප්‍රේමදාස සම්මානනීය ගීත රචකයකු ද  වූයේය.තලංගම ප්‍රේමදාස යන නාමය වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ ගුවන් විදුලිය නිසාය. සිරි අයියාගේ ළමා පිටියෙන් ගුවන් විදුලියට එක් වුණු ඔහු, විචිත්‍රාංග රැසක් සහ ගීත විශාල ප්‍රමාණයක් රචනා කළේය. විල්බට් ඇන්තනි ගැයූ ‘හිරු පායා එන සුන්දර මොහොතක’, රෝහිත විජේසූරිය ඇතුලු පිරිස ගැයූ ‘රන් විමනේ දොර ඇරිලා’, ‘රත්නදීප රත්නදීප ලංකදීප සෝබනී’ වැනි දේශාභිමානී ගීත ද, සෝමතිලක ජයමහ ගැයූ ‘දස බිම්බර මාර සෙනඟ’, ‘බුදු හිමිගේ මුව කමලේ’ සහ වික්ටර් රත්නායක ගැයූ ‘සිත් සනහාලන මුතුවන් වරුසා’ වැනි බොදු බැති ගීත ද ,කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ ‘බයිසිකල් හොරා’ චිත්‍රපටයේ එන ජේ. ඒ. මිල්ටන් පෙරේරා ගැයූ ‘ජීවිත රෝදේ කැරකෙනවා’, ‘කතුරු මුවාත් ‘ චිත්‍රපටයට ඇතුළත් වූ ‘කතුරු මුවාත් පිහිය මුවාත්’ යන ගීත ලියුවේ ද තලංගම ප්‍රේමදාසයන්ය . ඔහු ලියූ සුනිල් එදිරිසිංහ ගැයූ සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ ‘අධිෂ්ඨාන’ චිත්‍රපටයෙහි එන ‘මායා මිරිඟුව පිරුණු ලෝතලේ’ නම් වූ ගීතයට 1979 දී පැවති මුල්ම ජනාධිපති සම්මාන උලෙළේදී සම්මානයක් ද හිමි විය.

තිමති වීරරත්න අධ්‍යක්ෂණය කළ ‘රජ දවසක්’ චිත්‍රපටයේ තිර නාටක රචකයා වූයේ ද තලංගම ප්‍රේමදාසය. සතිස්චන්ද්‍ර එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ ‘හොටබරි යුද්දේ’ වේදිකා නාට්‍යයෙහි රචකයා ද ඔහුය.‘සූකිරි’ සහ ‘යහළු’ තලංගම ප්‍රේ්මදාසයන් අතින් සංස්කරණය වූ ළමා පුවත්පත්ය. ඔහු භාෂා පරිවර්තකයකු ලෙස ලංකා ගමනා ගමන මණ්ඩලයෙහි සේවය කළේය. 1986 ඔක්තෝබර් 24 වැනිදා ඔහු මෙලොවින් සමු ගත්තේ අම්මට සිරි ලංකාවේ තවත් කිසිම ඇගයීමක් නැති කලාකරුවෙකු ලෙසය .... 
(විස්තර උපුටා ගත්තේ සරසවිය පුවත් පතින් )