Saturday, October 13, 2018

නිහඬ කල්පනා ලොවක තනිවෙලා


හේමසිරි හල්පිට.......වෙදදුව හෙවත් වාද්දුවේ උපත ලද හේමසිරි හල්පිට වාද්දුව මැදි විදුහලේ අධ්‍යාපනය ලබන කාලයේ සිටම ලිවීමට ඇබ්බැහි වූවෙකි.එම වකවානුවේ ලංකාදීප,වනිතා විත්ති,ඇතුළු පුවත්පත්,සඟරා රාශියකට ලිපි ලිවීමෙන් ඔහූ කලා ලොවට ඇතුලත් විය.ගී පදරචනයේ අති දක්ෂයෙකු හැටියට සැලකුම් ලැබූ හල්පිටගේ සුරතින් ගී නිර්මාණ 6000ට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය විය. ජනප්‍රිය ගායක නිහාල් නෙල්සන් මහතා විසින් ඔහු වෙත දෙන ලද අභියෝගය නොවන්නට හල්පිට ගීත රචකයෙකු නොවීමට ද තිබුණි.එය ශ්‍රී ලංකාවේ දෙවන කැසට් පටය ලෙසද දැක්විය හැක.එහෙත් එය නිහාල් නෙල්සන් මහතාගේ ප්‍රථම කැසට් පටයයි."ගුනේ අයියගේ බජවු කාමරේ"ලෙස හැඳින්වූ එය ශ්‍රී ලංකාව සිසාරා අති ජනප්‍රිය විය.හල්පිටගේ මෙන්ම නිහාල් නෙල්සන් මහතාගේ මුල් නිර්මාණය වූ එය තවත් අති දක්ෂ සංගීත අධ්‍යක්සකවරයෙකු වූ ලාල් තේනබදු මහතාගේ මුල්ම ගී තනු නිර්මාණයයි.එපමණක් ද නොව ඔහු ජිප්සීස් වෙනුවෙන් රචනය කරන ලද ලුණු දෙහි,කුරුමිට්ටෝ,ඔජායේ ද ප්‍රෙඩ් සිල්වාට රචනා කල තේ කුඩය,එඩ්වඩ් ජයකොඩි වෙනුවෙන් රචනා කරන ලද "නිහඬ කල්පනා ලොවක තනිවෙලා"මෙන්ම කීර්ති පැස්කුවල් වෙත රචනා කල "නීල අහසේ සැදැ වලාවන්" නාමල් උඩුගමට රචනා කල "නිසල වෙලා හද "ග්‍රෂන් ජයමහ වෙත රචනා කල "සුදු මීදුම"රූකාන්ත-චන්ද්‍රලේඛා යුවලට රචනා කල "මනලෝලි මනමාලියේ"මෙන්ම මායා දමයන්ති මහත්මියට රචනා කල "පුර හඳ ලෙස ඔබ සමකල",සශිකා නිසන්සලාට "සඳ රෑට රෑට"T M ජයරත්න මහතා ට රචනා කල "සොවින් බර නුවන්"සහ "සීගිරි ළඳුනේ" මෙන්ම ගැලක්සීස් වෙනුවෙන් රචනා කල "සඳ බොඳවී"සහ "සඳ සිසිලේ"ගීත ද වුහ.එපමණක් ද නොව HR ජෝතිපාල මහතාට සහ මායා දමයන්ති මහත්මියට "ඔබට දිවුරා කියන්නම් "චිත්‍රපටය ඇතුළු චිත්‍රපට 200ට පමණ පසුබිම් රචනය කළේය.මේ අපූරු කලාකරුවා 2006 අප්‍රේල් මස 28 වන දින මෙලොව හැර ගියේය.

-------------------------------------------------------------------------------------------------
එතුමා ගැන චන්ද්‍රලාල් තේවහෙට්ටිගේ සරසවි පුවත් පතේ ලියු සටහන පහතින්

-"අප හැරදා ඔහු නික්ම ගියේ 2006 අප්‍රේල් 28 වනදායි. මගේ මතකයේ හැටියට ඔහු මට මුලින්ම හමුවන්නේ 70 දශකයේ මුල් අවධියේ විය හැක. ඒ ප්‍රවීණ ගීත රචක සරත් මුණසිංහයන්ගේ (මීගහවෙල සුමන ශාන්ත හිමි නමින් දැනට පැවිදිව සිටින) මධුබිංදු සඟරාවට මා විසින් විවිධ ලිපි කලාකරුවන් ගැන ලියන අවධියයි.

එවකට මධුබිංදු කාර්යාලය මරදානේ ජීවන සේයා චිත්‍රාගාරයේ උඩු මහලේ පවත්වාගෙන ගියේය. හල්පිටත් ගායක - ගායිකාවන්ගේ ජීවන තොරතුරු මධුබිංදු වෙත ලියා එවයි. ඒ අතරතුර ඉඳහිට පැමිණ හමුවී සතුටු සාමිච්චියේ යෙදී සිට ඉවත්ව යයි. එවකට මා ප්‍රසංග වේදිකාවේ නිවේදකයකු වශයෙන් අගනුවරට හා තදාසන්න ප්‍රදේශයන්හි කාගේත් කථා බහට ලක්වී සිටියාහ. කාලයාගේ අවෑමෙන් හල්පිටත් සමග පසු කලෙක ගම් පළාතේ අවුරුදු උත්සවයන්හි නිවේදන කටයුතුවල නියැලෙන්නට මග පෑදුණි.

කලකට පෙර දිනක් වාද්දුව ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් සඳහා ශිල්පීන් සම්බන්ධීකරණය කරමින් නිවේදන කටයුතු සඳහා මා සහභාගි විය. පසුකලකදි හල්පිට විසින්ම මා හට පවසා සිටියේ එදා මා නිවේදක වශයෙන් ප්‍රසංගය ඉදිරිපත් කළ දිනයේ උදේ එම උත්සවයේම අංගයක් වූ බයිසිකල් ධාවන තරගයේ නිවේදන කටයුතු හල්පිට කළ බවත් රාත්‍රියේ මා ප්‍රසංගය මෙහෙයවන ආකාරය ඔහු බලා සිටිය බවත්ය.

එම සිද්ධිය සරත් ද අල්විස් සහ නිහාල් නෙල්සන්ට දිනක් මා ඉදිරියේ පැවසූ බව මතකයි. විවිධ උත්සව අවස්ථාවන් ආවරණය කරමින් කල එළියට ආ හල්පිට ස්වකීය කුසලතාව හා වාසනා මහිමය නිසාම සංගීත ප්‍රසංග නිවේදකයෙකු හැටියට මුළු රටේම ජනප්‍රියත්වයට පත් විය.

ඉතා කෙටි කලකින් ඔහුට කැසට්පට සංයුක්ත තැටි මෙන්ම චිත්‍රපට රාශියකට ගීත දහස් ගණනක් රචනා කරන්නට වාසනාව උදා විය. කලක් ප්‍රසංග වේදිකාවේ අතිශය කාර්ය බහුලම නිවේදකයා වූයේ හල්පිටයි.

සමහර අවස්ථාවකදී ප්‍රසංග වේදිකාවේදී අප දෙදෙනාම එකට නිවේදන කටයුතු කරන විට මා විසින් ඔහු හඳුන්වා දෙන්නේ ප්‍රසංග වේදිකාව ආක්‍රමණය කළ මහා කළු සිංහලයා හේමසිරි හල්පිට කියායි. ඔහු කම්මැළිකමට නිකරුණේ කාලය ගෙවූ අයෙකු නොවේ.

ජීවිතයේ හැම තත්පරයකම කාර්ය බහුලව සිටි හල්පිට ලැබෙන ආරාධනය මුදල හෝ නොතකා සහභාගි වේ. මුල් වකවානුවේ ප්‍රසංගවලට ගියේ යතුරු පැදියෙනි. මටත් සමහර දිනක ඔහුගේ යතුරුපැදිය පිහිට වී ඇත.

ඉතාමත් කඩිසර බවින් තම රාජකාරිය අකුරටම ඉටුකරන හල්පිට වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු බව වැඩිදෙනෙකු නොදන්නා අප්‍රකට කරුණකි. ජීවිත සටන ජයගන්නට නොපසුබට උත්සාහයක් දැරූ ඔහු කාර්යබහුලත්වය නිසාම අධික දුම්වැටි භාවිතයට පෙලඹුණි. ඒ හේතුවෙන රෝගී වූ බවක් මා අසා ඇත.

අවධියෙන් සිටින හැම විටම හල්පිටගේ පන්හිද සුරතේ රැඳී ඇත්තේ ගීතයක පද පේළි ගළපන්නටයි. අප නොසිතූ මොහොතක ලක් දෙරනේ සහෘද සංගීත කාමීන්ගේ හදවත් කම්පා කරමින් අකාලයේ ඔහු අපෙන් සමුගත්තේ 2006 අප්‍රේල් 28 වෙනිදාය. ඔහුගේ ආදාහන උත්සවයට බොරැල්ල කනත්තට සපැමිණි කලාකාමි ජනගඟ හල්පිටගේ ලෙන්ගතු භාවයට හොඳම නිදසුනකි.

වියෝවෙන් දස වසරක් සපිරෙන මේ මොහොතේ හේමසිරි හල්පිට මිතුරාට නිවන් පුර රුවන් දොර විවර වේවායි පතමු

(චන්ද්‍රලාල් තේවහෙට්ටිගේ)



ඔහු පිලිබඳ ස්වාධින රුපවාහිනියේ ප්‍රචාරය වුනු "සෙනෙහසේ නවාතැන"
-----------------------------------------------------------------------------------------------------------

Friday, July 13, 2018

සිහිල් සුළං රැල්ලේ


හෙළ හවුලේ ප්‍රකට පඬිවරයෙකු වූ ජයන්ත වීරසේකරයන්ගේ එකම පුතු ලෙස 1942 මැයි 02 වැනිදා අගනුවර දී උපත ලැබූ සේන වීරසේකර ජල තරංග වාදනයෙහි ප්‍රවීණයෙකි. 1968 ගුවන් විදුලි සංස්ථාවේ වාදක මණ්ඩලයට සම්බන්ධ වූ ඔහු මෙරට සෑම ප්‍රවීණ සංගීතඥයකු යටතේම වාද්‍ය ශිල්පියකු ලෙස කටයුතු කළේය. 1968 ඊවා රණවීර නිෂ්පාදනය කළ ‘ඉහළට වහළ නිල් අහසයි’ නාට්‍යයෙන් සංගීත අධ්‍යක්‍ෂවරයකු ලෙස දොරට වැඩි ඔහු චෙරි උයන, මේස, රයිනෝසිරස්, සොක්‍රටීස් ඇතුළු නාට්‍ය රාශියක සංගීත අධ්‍යක්‍ෂණය කළේය.

‘මලට නොඑන බඹරු’, ‘ගොළු මුහුදේ කුණාටුව’, ‘සයනයේ සිහිනය’, ‘තුන්වැනි ඇහැ’, ඔහුගේ සංගීතයෙන් හැඩ ගැන්වූ චිත්‍රපට වේ.

තාරාදේවී, සෙක්කු ගෙදර, ඉසිවර ආසපුව ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවක සංගීතය සැපයූ සේන මිය යන විට සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය සංගීත කණ්ඩායමේ උපදේශකවරයා ලෙස කටයුතු කළේය.

Monday, July 9, 2018

ඔබ දුන් ඔවදන් අරුණාලෝකය





1912 ජූනි මස 12 වැනි දින රත්නසභාපති  නමැති ධනවත් කොළඹ චෙට්ටි පවුලට දාව මහනූවර ගලගෙදරදී ඡන්ම ලාභය ලැබූ කෝකිලදේවීගේ මුල් නාමය වන්නේ "ගර්ට්‍ රූඩ් අමලියා රත්නසභාපති " වේ .පසුව ඒ යුගයේ ගායිකාවන්ට අනිරූප වන ලෙසින් රූපසිංහ මාස්ටර් විසින් එය "කෝකිලදේවී රත්නසභාපති" ලෙසින්  වෙනස් කළා.කෝකිල දේවී දැරිය මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ මොරටූව ලේඩීස් වික්ටෝරියා කන්‍යාරාමයේදී. සර්පිනාව හා ඕගන් වාදනයට දකෂතම අම්මා කෝකිලදේවි දියණියට හාපූරා කියා "සරිගම" රාගතාල අත්වැල ලබාදීමෙන් ඇය සංගීත කලාවෙන් ප්‍රමූදිත වූවා පමණක් නොව, එය ඇයගේ ජීවිතයේ විශාල විපර්යාසයකට මූල පිිරීමක්ද විය.

1925 දී ඇයගේ ජීවිතයේ සන්ධිස්ථානයක් වුයේ මාස්ටර් මැනිස් පට්ටිආරච්චි හමුවීමය. පට්ටිආරච්චි මාස්ටර් යටතේ ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය හැදෑරීම සිදු කලාය .මේ කාලය වන විට ඉන්දියානූ කර්ණාට සංගීතය ශ්‍රී ලංකාවේ සංගීත රසිකයන් හා කලා ශිල්පීන්ගේ හදවත් ආක්‍රමණය කළ යූගයක් විය. කෝකිල දේවි පසූපස කර්ණාට සංගීත හඬ හඹා ආවේ ඇයගේ දෛවය හැසිරවීමට දෙව්ලොව පන්සිළු විසින් දෙන ලද අණක් ලෙසටය. මූල් වරට ඇය වීණා තතකින් නැඟෙන මියූරු සංගීත රිද්මයක රස වින්දනය හඳුනාගත්තේ ඉන්දියානූ සංගීතඥ වීණා ෂම්මූගන්ගේ වීණාවෙනි. මේ අතර සූක්කලිංගම් නමැති ද්‍රවිඩ සංගීත ශිල්පියා ඇයගේ මියූරු කටහඬ තබ්ලාවටත්, සර්පිනාවටත්, වීණාවටත් උචිත ලෙස හැසිරවීමට මඟපෙන්වා දුන්නේය. මේ වන විට ඇය විශිෂ්ට ශ්‍රේණියේ ගුවන් විදුලි ගායිකාවක් ලෙස උසස්වීමක් ලබා සිටියාය. කෝකිල දේවී ගීත කෝකිලාව ගුවන් විදුලියට ගැයූ මූල්ම ගීතය වූයේ "මූළු ලෝකයෙ පිරුණූ කීර්තිය  සිටූ දේවිය විශාඛා..." යන නිර්මාණයයි.මෙරට ගුවන්විදුලියේ පළමු සිංහල ගායිකාව වූයේද  කෝකිල දේවී මහත්මිය යි .(මුල් සිංහල ගීතය ගුවන් විදුලියට ගැයුවේ කෝකිලදේවී රත්නසභාපති නමින්.පසුව ඇය වීරතුංග නඩුකාරතුමා හා විවාහයෙන් පසු කෝකිලදේවී වීරතුංග වූවාය) ද්‍රවිඩ භාෂාවෙන් ගීත ගායනා කළ ප්‍රථම සිංහල කාන්තාව ද ඇයයි. 1986 වසරේදී ඇය කලා මාතාව යන සම්මානයෙන් පිදුම් ලැබුවාය.

Friday, April 6, 2018

තරුණ හිතට මිහිර රැගෙන ආපු කුරුල්ලා


ඔහු සී. (කොම්පඤ්ඤගේ) ඩී. (ඩැනියෙල්) ෆොන්සේකා ය.ඉතාම මියුරු ගීත රැසක් ගී ලොවට එක් කළ අති දක්ෂ ගායකයෙක් කිසිදු ඇගැයීමකින්, බුහුමනයකින් තොරව මීට අවුරුදු 30 කට ඉහතදී (1986 මැයි 11) අපෙන් සදහටම සමුගෙන ගියේ ය.1932 පෙබරවාරි 27 වැනි දින වැල්ලවත්තේ උපන් සී.ඩී. ෆොන්සේකා කතෝලිකයෙකි. මූලික අධ්‍යපනය ලැබුවේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙනි.ඔහුගේ පියා (සී.ඒ. ෆොන්සේකා) ටවර්හෝල් යුගයේ ප්‍රකට සංගීතවේදියෙකි. සී.ඩී. පියා වෙතින් මෙන් ම සංගීතඥ මහේෂ් ෂින්නයියා වෙතින් ද ගායනය හදාරා ඇත. 1956 දී ගුවන් විදුලි සරල ගී ගායකයකු ලෙස සී.ඩී. ගායන ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූයේ ය. ‘කඳුකරේ කිරි ඇල්ලෙහි පාවී’ ඔහු ගැයූ මුල් ම ගීතය වන්නේ ය. ඉන්පසු ඔහු ගැයූ ‘ඔයාට රත්නෙ මං ආදරෙයි’, ‘කවටකමට ඔබෙයි මගෙයි නම ලියා’, ‘පුළුන් වගෙ සුදු රැවුල් දිගයි’ (ඇන්ජලින් ගුණතිලක සමඟ) ‘සිහිල් සුළං පාවී ලොව දසත හමන්නේ, මේ නත්තල් කාලේ බව ලොවට කියන්නේ’, ‘දෑස පුරා සිත නළවන ලතාවයි’ වැනි ගීත අතිශය ජනප්‍රිය වූයේ ය.සී.ඩී. ප්‍රතිපත්තියක් වශයෙන් කිසිදාක අනුකාරක ගී ගායනා කළේ නැත. ඔහු ගැයූ ගී බොහොමයකම තනු ඔහු මෙන් ම කිසිදා ඇගැයීමකට පාත්‍ර නොවූ සංගීතඥ පැට්රික් දෙනිපිටියගේ ය. ඇතැම් ගී තනු සී.ඩී. ගේම ය. උදා. ඔයාට රත්නේ, ඈත කඳුරැලි, පුංචි රැහැයියෝ, පාවඩ දාලා, සෙඳ් තනියට වැනි ගීත සඳහන් කල හැක .‘පුංචි රැහැයියෝ නාඩන්’, ‘රහසේ කීව ප්‍රේමකතා නෑ’, ‘සමන් වැලේ මල් ජයට පිපීලා’ (දියණිය ශර්මිලා සමඟ), ‘කැකිරි පැලෙන හිනා’, ‘සඳේ තනියට පහන් තරුවක්’ සී.ඩී. එකල ගැයූ තවත් ගීත කීපයකි.

සී.ඩී. ගැයූ එක්තරා ගීත දෙකක් මෙරට පොප් සංගීත කලාවේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කරයි. ඒ ඔහු රසිනා යකීම් ගැයූ ‘උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ’ හා මිනෝන් රත්නම් සමඟ ගැයූ ‘පාවඩ දාලා පා ඔසවාලා, මංගල යුවළ පැමිණ සිනා නඟාලා’ නම් වූ ගීතයයි. සී.ඩී. චිත්‍රපට පසුබිම් ගායකයකු වශයෙන් දැක්වූ දායකත්වය ද ඇගැයුමට ලක්විය යුතුය. ‘තරුණ හිතට මිහිර රැගෙන ආපු කුරුල්ලා’ (සැනසුම කොතැනද?) ‘ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිලා’ (සැඟවුණ මැණික - සී.ටී. ප්‍රනාන්දු සමඟ) ‘සුරපුර වැනි සැණකෙළියක් ගමට ගෙනැල්ලා’ (පේනවා නේද - එම්.එස්. ප්‍රනාන්දු, සී.ටී. ප්‍රනාන්දු සමඟ) ‘සල්ලි සල්ලි සල්ලි (රන්ඔංචිල්ලා) ‘සරා සළෙල හැඟුම් බරට’ (කතුරු මුවත් ඇන්ජලින් ගුණතිලක සමඟ) එවන් ගී කීපයකි.

එකල සී.ඩී. ගේ ගීත මොනතරම් ජනප්‍රිය වීද කිවහොත් ඔහුගේ ‘උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ’ නම් වූ ගීතය ‘රුහුණු කුමාරි’ චිත්‍රපටයට ඇතුළත් කර ගැනිණි.වෘත්තිමය වශයෙන් සී.ඩී. ටෛම්ස් ඔෆ් සිලෝන් සමාගමේ සේවය කළ අතර පසුකලෙක ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේද සේවය කළේ ය.සී.ඩී. විවාහ වී සිටියේ ශීලා ෆොන්සේකා සමඟ ය. ශිරෝමා, ඩිලන්තා, ශිරාන්, ඩිල්රුක්ෂා හා ශර්මිලා සී.ඩී. ගේ ආදරණීය දරුවන් පස්දෙනා ය.ඔවුන් සියල්ල හැරදා සී.ඩී. 1986 මැයි මස 11 වැනි දින මෙලොවින් සමුගත්තේ ය.

උපුටා ගැනීම සිළුමිණ පුවත්පතිනි 
(විශේෂ ස්තුතිය - මුලාශ්‍ර නිවැරදි කරගැනීමට සහාය වූ මහාචාර්ය සුනිල් ආරියරත්නට හා ගාමිණී ගුණතිලකට./සුනිල් මිහිඳුකුල - ජෝර්ජ් රොබ්සන් ද සිල්වා)
---------------------------------------------------------------------
මොණරා මෙන්න මේ ලෙසේ
කියා රඟයි මගේ ප්‍රියේ
ඔයාට රත්නේ මන් ආදරෙයි
රඟන්නේ ඒකයි විනෝදයේ
මොණරා මෙන්න මේ ලෙසේ
කියා රඟයි මගේ ප්‍රියේ ...

පුංචි පුංචි මල් පිපිලා හරිම ලස්සනයි
රංචු රංචු බඹර රාසි ඒ වටේ දුවයි
රොන් උරන්න රොන් උරන්න තවත් පැණි පිරෙයි
ආදරේට ආදරේම එක වුනා වගෙයි ..

පුන් සඳේ කැළුම් වැදිලා රන් ගොයම් නැටේ
තාරුකා දිලෙන්නේ ඈගේ නෙත් කුසුම් වගේ
සුන්දරිගේ මුණ වාගේ රත් පියුම් දිලෙයි
ආදරේ කියන්න ඔබට මේ පැයේ අගෙයි

ගායනය/සංගීතය - සි ඩි ෆොන්සේකා
ගී පද - ජෝජ් ලෙස්ලි රණසිංහ

----------------------------------------------------------------------
තරුණ හිතට මිහිර රැගෙන ආපු කුරුල්ලා
සිහින ලොවක නටන්න මනමාල කුරුල්ලා
මල්සරා...මල්සරා.....

මල්සරාගෙ දුන්න අපේ අතෙයි තියෙන්නේ
මහ බඹාට මගුල් නැකත අපියි හදන්නේ
මල්සරා....මල්සරා.....

මල්හීයක් ඇදී ගොසින් උක්දඩු දුන්නේ
තරුණ ළදක ගෝමර ඇති ළමැද හැපෙන්නේ
යොවුන් වියේ සුපෙමි හැගුමි ඇයි හංගන්නේ
ළගදිම මංගල යෝගය උදා කරන්නේ
මල්සරා.....මල්සරා...

මල් පැණියෙන් ඔද වැඩිලා හැගුමි මැවෙන්නේ
තරුණ හිතක ආදරයයි එතන උපන්නේ...

ගී පද - ධර්මසිරි ගමගේ
ගායනය - සි.ඩි ෆොන්සේකා
සංගීතය - ප්‍රේමසිරි කේමදාස

----------------------------------------------------------------------

උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ
කඳුරටතිලකේමනහරඋඩරටමැණිකේ
ඔසරි මාල වළලු කූරු හවඩි ඔබට හරි හැඩයි
සුනිල් ජලේ රණ හංසිය වාගේ
ලළිත ගමන සිත නලවයි මගේ
සුභ ගමන් යන්න සැන්දෑවට නුවර වැව වටේ
මිණි පහන ඔබයි කන්ද උඩරටේ

තෙල් මල් ගෙන දළදා මන්දීරේ
වඳින්න යයි පියගැටපෙල පාරේ
ඔබ දිහා බලන එක බැල්මට වැවේ මල් පිපේ
මනමාලි ඔබයි කඳුකරේ අපේ

නුවර ඇසළ පෙරහැර ඇති කාලේ
මුලු රටම දකී ඔබෙ කෝමල තාලේ
මට මලක් වෙන්න හිතයි ප්‍රියේ ඔබේ පෙම් විලේ
රූ රැජින තමයි මැණික සිංහලේ
උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ…


පද රචනය: ?
තනුව: පැට්‍රික් දෙණිපිටිය (1958 දී පැට්‍රික් මුල් වරට නිර්මාණය කළ ගීත ත්‍රිත්වයෙන් එකකි)
ගායනය: සී. ඩි. ෆොන්සේකා, ආර්. එස්. මෙන්ඩිස්, රසිනා යකීම් සහ ඇනජලීන් ගුණතිලක

----------------------------------------------------------------------
සමන්වැලේ මල් ජයට පිපීලා
මුළු මිදුල මැ සුවඳයි
අපේ මේ මුළු මිදුල මැ සුවඳයි
හැම ගෙදර මැ මල් රුවට පිපේ නම්
ගම්මානෙමැ සොඳුරුයි.....
දුවේ මේ ගම්මානෙ මැ සොඳුරුයි...

ගමින් ගමට මල් කැකුළු පිපෙන විට
මගෙ රට හරි සුවඳයි...
පියාණනි..මගෙ රට හරි සුවඳයි
රටින් රට ට සුව සුවඳ දුවන විට
මුළු ලෝකෙම සුවඳයි
දුවේ මේ මුළු ලෝකෙම සුවඳයි

සමන් මලක් වී පිපෙන්න ආසයි
මගෙ මේ ගේ මිදුලේ...
පියාණනි මගෙ මේ ගේ මිඳුලේ
සමන් වැලක් වී පිපෙන් දුවේ
ජීවිත මල් ගොමුවේ
පරවී හැලුනත් මිනිස් මලේ
පවතී සුවඳ ලොවේ......

ගායනය - සී. ඩී. ෆොන්සේකා - ශර්මිලා ෆොන්සේකා
ගී පද - අරිසෙන් අහුබුදු
සංගීතය - සී.ඩී.ෆොන්සේකා

----------------------------------------------------------------------
මම වෙමි තාත්තගේ බඩ පිස්සී
එමි ඔබ විදියට හැඩ ගැස්සී
අගේ රිදී රන් රුවන් නොවේ
මගේ නිධානය ඔබයි දුවේ

වින්ද දුකට හද මින් පෙර දා
වන්දි ගෙවන්නද මා කවදා
සුදු මල් කැකුළු ය ගැහැණු ළමයි
හැම කමටම ලොකු හැදුනු කමයි

සෙවනෙහි කීකරු වී ඉන්නම්
සැපදුක එක ලෙස විඳ ගන්නම්
හැදුනොත් ලෝකෙන් දොස් නාසා
දෙවියොත් වස්තුවේ වෙයි ආසා

ගායනය -  සී ඩී ෆොන්සේකා සහ ෂර්මිලාෆොන්සේකා

----------------------------------------------------------------------
දෑස පුරා සිත නලවන ලතාවයි
මුහුණ පුරා රස වෑහෙන හිනාවයි
සිරස පුරා මල් සැරසුණු කලාවයි
මගේ පැලට ඔබ හරි වාසනාවයි..
අහන්න රහස ලංවෙලා කියන්න කනට කොඳුරලා
ලස්සන මුහුණ බල බලා සුසුම් හෙලා...

කටට රහට බතට ඇඹුල හදාලා
ඔබේ අතින් කන්නම් රස බලාලා
විඩා නිවන රස කව් ගී ගයාලා
සැනසෙන්නම් ගමේ පාළු මකාලා
අහන්න රහස ලං වෙලා......

ගලන දියේ දිය රැළි මතූඋනාවේ
රුක් සෙවණේ සිසිළස කැටි උනාවේ
වැලි තලයේ සටහන් ලියවුණාවේ
මගේ හදට ඔබෙ හද එක් වුණාවේ
අහන්න රහස ලංවෙලා කියන්න කනට කොඳුරලා.....

ගායනය -  සී ඩී ෆොන්සේකා

Tuesday, April 3, 2018

කොවුල් සරින් මියුරු - අවුරුදු ඇවිදින් සුමිතුරු...!


සිංහල අවුරුදු ගී හැදුණේ මෙහෙමයි

හෙළයේ මහා මංගල්‍යය “සිංහල දෙමළ අලුත් අවුරුද්ද” ය. ශ්‍රී ලාංකේය ජන ජීවිතය සමඟ බැඳී පවතින සංස්කෘතිකාංගයක් ලෙස සැලකෙන මෙම අවුරුදු සමය තේමා කරගෙන ගුවන් විදුලි, චිත්‍රපට සහ කැසට් ගී රැසක් නිර්මාණය වී ඇත. එම ඇතැම් ගී දශක ගණනාවක් පැරැණි නමුත් අදත් අපේ මතකයේ රැඳී ඇති ගීත වේ. ඒ මතක සමඟින් “සිංහල අවුරුද්ද” විෂය කර ගත් ජනපි‍්‍රය ගීත කීපයකට ගී පද රචනයෙන් සහ ගායනයෙන් දායක වූ කලාකරුවන් කීප දෙනකු සමඟ කරන ලද ආවර්ජනයකි, මේ.

“සිංහල අවුරුද්දේ - මංගල ගී සද්දේ” (ජයන්ත වීරසේකර / සුනිල් ශාන්ත) - “බුලත් හුරුල්ලක් ගෙන අවුරුදු එනවාලු” (මර්සලින් ජයකොඩි පියනම / ෂර්ලි පෙරේරා) - “වඩින්න අප වෙත අවුරුදු කුමරියනේ” - (මහගමසේකර / පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව) - “මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී” (අරිසෙන් අහුබුදු / පණ්ඩිත් අමරදේව) - “අතුරු මිතුරු දඹ දිවතුරු ගහ වැල මල් ලන පියකරු” (සුනිල් සරත් පෙරේරා / පණ්ඩිත් අමරදේව) - “බඹරුන් පිස්සු වැටිලා මල් සිඹැ සිඹැ යන මාසේ” (නිමල් ගුණරත්න) - “බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද” (පියසිරි විජේරත්න) - “මේ අවුරුදු කාලේ හිනාවෙයන් රාලේ” (ජයතිස්ස බොරළුගොඩ / ලයනල් රන්වල) - “සිරි ලංකාවම එක නුවරක් වෙයි” (මහාචාර්ය සුනිල් ආරියරත්න / ටී. එම්. ජයරත්න) - “කිරි ඉතිරේවා නව වසරේ” (චිත්‍රානන්ද අබේසේකර / විශාරද දයාරත්න රණතුංග) - “කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ” (ආචාර්ය අජන්තා රණසිංහ / මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි, සුජාතා අත්තනායක) - “කොහෝ මල් වාරම්” (ආචාර්ය අජන්තා / එච්. ආර්. ජෝතිපාල, සුජාතා) - “ආවා අවුරුදු දේවී” (කරුණාරත්න අබේසේකර / ජෝතිපාල) - “නව අවුරුදු දා බක් මාසේ” (තිස්ස ඩයස් / ජෝතිපාල) - “මී බී මත්වුණු කොවිළිඳු” (සුනිල් ගුණවර්ධන / කෝලිත භානු දිසානායක, නිර්මලා රණතුංග) - “පුංචි පැලත් මේ කාලේ මාළිගා රජ මාළිගා දොළොස් මහේ නැකත ඇවිල්ලා” (විජය කුමාරතුංග, චන්ද්‍රලේඛා පෙරේරා) වැනි සිංහල අවුරුද්ද විෂය කරගෙන නිර්මාණය වී ඇති ගීතාවලියට චිත්‍රපට ගීත ක්ෂේත්‍රයෙන් එක් වූ “ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා” (“ධීවරයෝ” චිත්‍රපටයට කරු / මොහිදින් බෙග්, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, මල්ලිකා කහවිට) - “කන්ද උඩින් සඳ පායන ලීලා” (“බක්මහ දීගේ” චිත්‍රපටයට දයානන්ද / ආචාර්ය වික්ටර් රත්නායක) - “බුලත් අතයි රබන් හඬයි කොහා හඬන මිහිරි නදයි” (“පොඩි මල්ලී” චිත්‍රපටයට ධර්මසිරි ගමගේ / සමූහ ගැයුමකි) - “මී අඹ අත්තේ කොහෝ කොහෝ” (“චංචල රේඛා” චිත්‍රපටයට ආචාර්ය අජන්තා / මිල්ටන් මල්ලවආරච්චි, නීලා වික්‍රමසිංහ) වැනි ගීත ද මේ වසන්ත සමයේ උදාන ගීතයන් ය.

ජනප්‍රියම ගීතයකට දායක වෙන්න ලැබුණා
ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා
ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ලා වරෙල්ලා වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා...!

(පද - කරුණාරත්න අබේසේකර)
(ගායනය - මොහිදින් බෙග්, ක්‍රිස්ටි ලෙනාඩ්, මල්ලිකා කහවිට)

සිංහල අවුරුදු ගී අතරින් වැඩි ජනප්‍රියත්වයක් හිමි කර ගත් “ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා” ගීතය නිර්මාණය කිරීමේ දී ගායනයෙන් දායක වූ ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා මෙම ගීතය පිළිබඳ අප සමඟ මතක අවදි කරමින් මුලින්ම අප සමඟ කතාබහට එක්වූවේ මෙලෙසින් ය.

“මම, මොහිදින් බෙග් සහ මල්ලිකා කහවිට සමඟයි මේ ගීතය ගායනා කළේ. මේ ගීතය නිර්මාණය කරන්න දායක වූ ගී පද රචක කරුණාරත්න අබේසේකර, සංගීතඥ එම්. කේ. රොක්සාමි වගේම රඟපෑමෙන් දායක වුණු ගාමිණි ෆොන්සේකා සහ විජිත මල්ලිකා ඇතුළු කිසිවකු මේ වන විට ජීවතුන් අතරේ නැහැ. ඉන්නේ මල්ලිකා කහවිටයි මමයි විතරයි.

මේ ගීතය රූපගත කළේ හැඳල විජය චිත්‍රාගාරය අසල එළිමහනේදියි. ගාමිණි, විජිත මල්ලිකා සමඟ මමත් පෙනී සිටියා ඒ ජවනිකා වල. අපි ඒ රූප රාමුවල ගීතය ගයමින් නටනවා.

ගාමිණි වෙනුවෙන් ගායනය කළේ බෙග්. ඉන්පසු අවුරුදු හතළිහක් පමණ කාලයක් ගෙවී ගිහිල්ලත් තවමත් මේ ගීතය හැම සිංහල අවුරුද්දකදීම ඇහෙද්දී හරිම සතුටක් දැනෙන්නේ,

මේ රටේ ජනපි‍්‍රයම ගීතයකට ගායනයෙන් දායක වෙන්න ලැබීම ගැන.”

අමරදේවයන්ගේ තනුවඉතා කදිමයි
සුනිල් සරත් පෙරේරා
අතුරු මිතුරු දඹ දිවිතුරු - ගහ වැල මල් වන පියකරු
කොවුල් සරින් මියුරු - අවුරුදු ඇවිදින් සුමිතුරු...!

(පද - සුනිල් සරත් පෙරේරා)
(ගායනය - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව)

“ගුවන් විදුලියේ විශේෂ සිංහල අවුරුදු වැඩ සටහනකටයි ‘අතුරු මිතුරු දඹ දිවතුරු’ ගීතය මම මුලින්ම ලියුවේ. පසුව රූපවාහිනියේ ‘අවුරුදු සිරිත’ වැඩ සටහනේ තේමා ගීතය ලෙස මේ ගීතය යොදා ගැනීම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. සිංහල අවුරුද්ද තේමා කරගෙන මේ ගීතය පමණක් නොවේ, තවත් ගීත කිහිපයක් මං ලියා තිබෙනවා. ‘දුහුළු වළා පෙළ පාවඩ එළලා අවුරුදු කුමරිය එනවා’ (දීපිකා ප්‍රියදර්ශනී පීරිස්) - ‘බක් මහේ නැකත් ඇවිත් ලක් දනන් සුවපත් කරයි’ (එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී පීරිස්) - ‘සැණකෙළි සිරි සිරිලක රඳවා ඔන්චිලි චිලි වාරම් ගයනවා’ (රොඩ්නි වර්ණකුල) වැනි ගී ඒ අතර තිබෙනවා. සිංහල අවුරුද්ද මම රසවින්ද ගමත් සමඟ බැඳුණු සංස්කෘතික වශයෙන් අගයක් ඇති උත්සව සමයක්. මගේ පියාගේ පුරුද්දක් තිබුණා අවුරුද්දට කන්දේ විහාරේ යන. ඒ වගේම උග්ගල්බොඩ තිබුණු ගම් මඩුව බලන්නත් අපි ගියා. බාල, තරුණ, වැඩිහිටි කාටත් ප්‍රබෝධවත් මානසිකත්වයක් ඇති වන කාලයක් ලෙස මේ සිංහල අවුරුදු කාලය හඳුන්වන්න පුළුවන්. ‘අතුරු මිතුරු දඹ දිවතුරු’ ගීතයට පණ්ඩිත් අමරදේවයන් යොදා ඇති තනුව ඉතා කදිමයි. ඔන්චිල්ලා උඩ යනවා වැනි හැඟීමක් දනවන තනුවක්නේ මේ ගීතයට අමරදේවයන් යොදා තිබෙන්නේ. මේ ගීතය ශ්‍රවණය කිරීමේදී ප්‍රබෝධවත් මානසිකත්වයක් ඇති වෙන බවයි මගේ වැටහීම.

හැම අවුරුද්දකම නොවරදවා මේ ගීය ඇසෙනවා
දයාරත්න රණතුංග
කිරි ඉතිරේවා නව වසරේ
ප්‍රීතියෙන් සාමයෙන් පා නගා
ජය මගේ
සතුටු සාගරේ ගිලෙමු
මේ නව වසරේ
කිරි ඉතිරේවා නව වසරේ...!

(පද - චිත්‍රානන්ද අබේසේකර)
(ගායනය - දයාරත්න රණතුංග)

මෙම වසන්ත සමය එළැඹෙන විට කොහෝ ගී නාදය නොවරදවාම ඇසෙන්නාක් මෙන් සංගීතඥ සහ විශාරද ගායන ශිල්පී දයාරත්න රණතුංගයන්ගේ හඬින් ගැයෙන “කිරි ඉතිරේවා නව වසරේ” ගීතය ද නොවරදවාම ඇසෙන්නේ ය.

තරමක අසනීප තත්ත්වයෙන් පසු වුවද දයාරත්නයන් අපේ කතාබහ මග නොහැරියේ ය. “මගේ මේ ගීතය ජනප්‍රිය වෙන්න පෙර ‘බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද’ ගීතය තමයි සිංහල අවුරුදු ගීත අතර ගුවන් විදුලියේ ජනප්‍රිය වෙලා තිබුණේ. ‘කිරි ඉතිරේවා’ ගීතය 1978 දීයි චිත්‍රානන්ද අබේසේකරයන් මට ලියා දුන්නේ. ඒ කාලේ ගුවන් විදුලියේ උන්නු රෝහිත විජේසූරියගේ තනුව සහ සංගීතයටයි මං මේ ගීතය ගායනය කෙරුවේ. මෙය හැම සිංහල අවුරුද්දකදීම නොවරදවාම ඇහෙන ගීතයක්නේ. මේ රටේ ජනතාවට ආසිරි ප්‍රාර්ථනා කරන ජනතා ප්‍රසාදය හිමි වූ මෙවැනි ගීතයක් ගයන්න ලැබීම මගේ ගායන දිවියේ භාග්‍යයක් ලෙස මං සලකනවා.”

මෙය ‘බෞද්ධ’ - ‘හින්දු’ අලුත් අවුරුද්ද විය යුතුයි!
මහින්ද දිසානායක
මිණිමුතු මල් මාල දමා
බක් මාසේ
නිල්ල මැදින්
එබී බලනවා
අවුරුදු කුමරි
වසන්ත සමයේ
රූප ශ්‍රියාවී...!

(පද - මහින්ද දිසානායක)
(ගායනය - ජැක්සන් ඇන්තනී, කුමාරි මුණසිංහ)

“මම මේ ගීතය ලියුවේ 1998 දී ‘මියුරුසර වසන්තේ’ ගී වැඩ සටහනේ ‘වැව් බැඳී දනව්වෙන් ගී දිය දෝතක්’ නමින් නාට්‍ය ස්වරූපයෙන් ඉදිරිපත් කළ රූපවාහිනී නිර්මාණයටයි. දැන් සිංහල අවුරුදු සමයේ දී මෙම ගීතය නිතර ප්‍රචාරය කරනවා. මගේ ගම අනුරාධපුර දුනුමඬලාව සුන්දරයි. ඒ වගේම කටුකයි. මෙහි මිනිසුන් විවේකයක් නැතුවම වැඩ කරන ජන කොටසක් වුවත් දුක දිනා සෞන්දර්ය විඳිනවා. මෙහි මිනිසුන්ගේ කෘෂිකාර්මික ජීවන රටාව බැලුවාම ඔවුන්ට මේ අවුරුදු දවස් වලදී තමයි විවේකයක් ලැබෙන්නේ. අවුරුදු නැකැත් වලින් ඔවුන් නව ජීවයක් ලබනවා. බක් මාසේ වෙන කොට කුඹුරු වල ගොයම් පැහිලා රන්වන් කරල් තියෙන්නේ. මේ පරිසරය, මිනිස්සු, මේ ගීතය ලියද්දී මගේ මනස් රූ අතරේ ඹ්වමාන වුණා. එහෙත් මෙවැනි ගීතයකින් පොදුවේ මේ රටේ සියලුම ජනතාව නියෝජනය විය යුතු හෙයින් ‘සත හට සෙත දෙන නැකැත් බලන්නට කදමලු බැඳගෙන නෑගම් යන්නට’ වැනි යෙදුම් යොදා ගෙන මේ ගීතය පද රචනය කළා. මේ ගීතය ලියද්දී මා කුඩා කාලයේ දී පටන් දැක පුරුදු පරිසරය, සිංහල අවුරුද්ද සහ දැන ඉගෙන ගෙන සිටි කාරණා ඇසුරු කරගත්තා.

ජෝති වෙනුවෙන් ලියැවුණු අවුරුදු ගීයක්!
තිස්ස ඩයස්
නව අවුරුදු දා බක් මාසේ
දේශයේ ග්‍රාමයේ
සාමය රැව් පිළිරැව් නැගේ
නව අවුරුදු දා බක් මාසේ...!

(පද - තිස්ස ඩයස්)
(ගායනය - එච්. ආර්. ජෝතිපාල)

“මුලින්ම මා ජෝතිපාලයන්ට ගීත ලියූ “අම්මා” කැසට් පටයට තමයි මේ ගීතය ඇතුළත් වුණේ. එම කැසට් පටයේ නිෂ්පාදක හෙන්රි ප්‍රනාන්දුයි සිංහල අවුරුදු ගීතයක් ලියන්න කියා ආරාධනා කළේ. ‘කිරි ඉතිරේවා නව වසරේ’ ගීතයේම තනුවටයි ‘නව අවුරුදු දා බක් මාසේ’ ගී පද රචනය කෙරුවේ. සරත් වික්‍රම සංගීතයේ දී වෙනසක් කළා. ‘අම්මා’ කැසට් පටය ලංකාවේ අලෙවි කිරීමට පෙර මැද පෙරදිග රටවලයි අලෙවි කළේ. එහිදී ජෝතිපාලයන් සමඟ ඇන්ජලින් ගායනා කළ ‘දෙදෙනා දෙරටක අද අවුරුදු සමරනවා’ ගීතයටත් විශාල ජනප්‍රියත්වයක් හිමි වුණා. මේ ගීත සංකල්පනාවෙන් පැවසෙන්නේ රටවල් දෙකකට වී සිංහල අවුරුදු සමරන සැමියකු සහ බිරියකගේ සංවාදයක්. මගේ මිතුරන්ට මෙන්ම මේ රටේ තව බොහෝ දෙනකුට මේ අත්දැකීමට මුහුණ දීමට සිදු වී තිබුණා. එම අත්දැකීම් ද ඇසුරු කරගෙන තමයි මේ ගීතය රචනා කෙරුවේ.

(උපුටා ගත්තේ - ජෝජ් රොබ්සන් ද සිල්වා)
-------------------------------------------------------------------------------------
කන්ද උඩින් හඳ පායන ලීලා
ලන්ද වෙලේ රුක් අත්තන පිපීලා
මන්ද කොහෝ හඬලනු හැංගීලා
එන්න තමා බක් මහ ළංවීලා

දුන්න බහක් හින්දා මම කැන්දා
යන්න කෙනෙක් ඇත ආදරෙ හන්දා
උන්නෙ මෙතෙක් නැකතක් එන සන්දා
ඉන්න එතෙක් ඉවසන්න ද මන්දා

ගායනය - අමිතා වැදිසිංහ
සංගීතය - සෝමදාස ඇල්විටිගල
ගී පද රචනය - දයානන්ද ගුණවර්ධන
-------------------------------------------------------------------------------------
කොහෝ කොහෝ
කොහේ ඉඳන්
කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන් පදේ
උඹට ඇහෙනවදෝ
කොහෝ කොහෝ

කජු නාඹර රස මී අඹ
ගස් යට වැහි වැහැලා
කොහෝ අන්න අර බලපන්
මී වද පැණි පිරිලා

කොහෝ කොහෝ
බක් මාසේ මඟුල් නැකත් මටත් කියනවදෝ

රබන් හඬට බඹරු නටන
ලස්සන ගම් මැද්දේ
කොහෝ උඹත් ගී කියපන්
සිංහල අවුරුද්දේ

කොහෝ කොහෝ කොහේ ඉඳන්
කොහෝ කියනවදෝ
අවුරුද්දට අපේ ගමේ නෑගම් එනවදෝ

සංගීතය - සනත් නන්දසිරි
ගායනය - සනත් නන්දසිරි, සුජාතා අත්තනායක
ගී පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
-------------------------------------------------------------------------------------
මේ අවුරුදු කාලේ

මේ අවුරුදු කාලේ හිනාවෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
අ අ ආ ආ..
දොං තරිකිට කැත්ත දොදොන්
පිළිවට කර කැත්ත දොදොන්
දමා තැල්ල ඩිඟිසි ඩිගොයි
දමා තැල්ල තක තෙයියත්තා

කැවුම් කොකිස් තෙලේ බැදෙයි
කැවිලි සුවඳ සිතට දැනෙයි
බා.. බා.. බා... රන් කිකිළි
ඊයේ උදේ ගිය කිකිළි
බා.. බා.. බා...
ගතිරිඤ්ඤ රිඤ්ඤං ගති ගතගෝ
ගති ගත ගෝ
ඔන්චිලි චිලි වාරම් ගම දෙවනත් වන්නා
මැංගිරි ඩිනිකෝ අවුරුදු ආවෝ
දොං තරිකිට කැත්ත දොදොන්
පිළිවට කර කැත්ත දොදොන්
දමා තැල්ල ඩිඟිසි ඩිගොයි
දමා තැල්ල තකතෙයියන් තා
ගමේ රබන් දොරට වඩී
සිනා මුහුණු අවට පෙනේ
බා... බා.. බා... රන් කිකිළි
ඊයෙ උදේ ගිය කිකිළි
තාම ආවෙ නැ කිකිළි
බා.. බා.. බා...
ගතිරිඤ්ඤං රිඤ්ඤං
ගති ගතගෝ ගති ගත ගෝ
සිංහල අවුරුද්දේ මල් කැකුලක් සේ දිලිසේ
මැංගිරි ඩිනිකෝ
අවුරුදු ආවෝ

පද රචනය – ජයතිස්ස බොරලුගොඩ
සංගීතය – ලයනල් රන්වල
ගායනය – රන්වල සංගීත කණ්ඩායම
-------------------------------------------------------------------------------------
මල් ගොමු  ගුමු ගුමු ගන්වන්නී
මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරන් කන් පිනවන්නී
මුළු ලෝ උයනක් කරවන්නී

ජම්බු ගහට රත පොරවන්නී
බක් මී ගහ කහ අන්දන්නී
අඹ දළු ළා රත තවරන්නී
ලෝ කත විසිතුරු කැරලන්නී

එරබදු පැහැයෙන් දුලවන්නී
නා ගස් සුවඳින් බැඳලන්නී
විලේ නෙලුම් මල් පොබයන්නී
නෙත ගිය ගිය පණවන්නී

ගමේ මෑ පුහුලම් ඉදවන්නී
සොරුන් බවට වවුලන් ලන්නී
නෙ තැනැ වවුලු පළවල් දෙන්නී
ගම් දරුවන් හට වැඩ දෙන්නී

මල් සර හට ගී සපයන්නී
යොවුනන් සිත් ඉන් බැඳලන්නී
දෙක දෙක එක් කැර ඈඳන්නී
නොමිලේ කපු කම් කරවන්නී

වෙන් වූවන් සිත කලඹන්නී
පරණ තරහ හැම යට ලන්නී
ආයෙත් එකමුතු කරවන්නී
පවුල් අවුල් විසඳාලන්නී

කොල්ලන් කෙල්ලන් බැඳලන්නී
මහලු සිතෙත් කෙළි රිසි ලන්නී
ගෙයි ගෙයි බක් වෙස් ගන්වන්නී
අවුරුදු කිරි බත උයවන්නී

දස දෙස සුවඳින් බැඳලන්නී
ගතට සිතට නව පණ දෙන්නී
කුඹුරට ආසිරි සලසන්නී
රට වටැ සොම්නස ගෙනැ යන්නී

සංගීතය හා ගායනය - ඩබ්ලිව්. ඩී. අමරදේව
ගී පද රචනය - අරිසෙන් අහුබුදු
-------------------------------------------------------------------------------------

ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ලා වරෙල්ලා වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා
කොවුලා බට ලී පිඹිනවා කොට්ටෝරුව බෙර ගහනවා
ලේන ගසයි කයිතාලම අවිච්චියා එහි නටනවා

කැවුම් කොකිස් මුං අළුවා කිරිබත්වල රස බැලුවා
ගමේ ළඳුන් කොමල පපා උදේ රබානක් පැලුවා
හබුන් කටයි සුබ නැකතයි දෙගුරුන් හට බුලත් අතයි
ලැබූ අලුත් අවුරුද්දේ කිරි ඉතිරෙයි අපට සෙතයි

ගායනය - මොහිදීන් බෙග්
ගායනය සහාය - ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා සහ පිරිස
සංගීතය - එම්. කේ. රොක්සාමි
ගී පද රචනය - කරුණාරත්න අබේසේකර
-------------------------------------------------------------------------------------
නව අවුරුදු දා බක් මාසේ
නව අවුරුදු දා බක් මාසේ
දේශයේ ග්‍රාමයේ සාමය රැව් පිළි නැගේ
නව අවුරුදු දා බක් මාසේ
ගමින් ගමට දේශයේ
නව අවුරුදු සාමයේ
රැව් පිළි රැව් හඬදිදී
මල් බුලතින් සැරසෙති
පන්සලේ හඬ නැගි ගාන්ඨාර රැව් දෙති
නව අවුරුදු දා බක්මාසේ
රබාන රත් කර හොඳින්
පියන් නගයි නව රැඟුම්
කොහෝ ඉඳන් ගී ගයයි
රබාන හැඬවෙන හඬින්
අක්කලා මල්ලිලා එක්කලා නැකත ළංවෙලා
නව අවුරුදු දා බක්මාසේ

ගායනය - එච්. ආර්. ජෝතිපාල
-------------------------------------------------------------------------------------
මී අඹ අත්තේ
මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොළොස් මහේ මඟුල් දොහේ
රබාන රත්වෙන නැකත් වෙලාවට
නලාව පිඹපන් කොහෝ කොහෝ

ගිරා නිලෙන් දිලි ගොයම් ලියද්දේ
උඩින් උඩින් වර පෙත්තප්පු
හෝරාවෙන් නොනගතේ ගෙවෙද්දී
නෑගම් එනවද පෙත්තප්පු

ගම් මැද්දේ සරු අවුරුද්දේ
පච්ච වඩම් පළඳා
හිසතෙල් ගානා ආදර නැකතින්
ඉහෙන් බහින උවදුරු දුරු වී

නෙත් දෙක වාගේ අයිය නගාලට
පින් පල දේ අවුරුදු ජය වී
එක මව් කුසයේ ඉපදේවා අප
මතු මතු සංසාරේ

ගායනය - මිල්ටන් මල්ලවආරච්චි, නීලා වික්‍රමසිංහ
සංගීතය - සරත් දසනායක
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
-------------------------------------------------------------------------------------
ප.ලි
ලිපිය උපුටා ගත්තේ සිළුමිණ පත්තරෙන් ....වෙබ් ලින්කුව වැඩ නැති නිසා පොස්ට් එකක් විදිහට දැම්මේ හැමෝටම බලන්න ...

Tuesday, January 2, 2018

"සංගීතයේ රසයේ වෙළී තනි වූ අපි"




විජිත් කුමාර් සේනාරත්න සංගීතය ගැන විශේෂයෙන් දක්ෂ සංගීත ශිල්පීන් ගැන විශේෂාංග ලිපි ලියන ප්‍රවීණ ලේඛකයෙක්. සුනිල් සාන්තගේ ‍ගෝලයෙක් වශයෙන් සංගීතය පිළිබඳ එක්තරා දැනුමක්ද ඔහුට තිබෙනවා. හෙළ හවුලටද හෙතෙම සම්බන්ධයි.

‘විජිත්ගේ’ ‘රස මතක අසිරිය’ ඔහු ලියූ තුන්වැනි පොත. එමගිනුත් ඔහු දක්ෂ සංගීත ශිල්පීන් සමාජයට හඳුන්වලා දෙන්න උත්සුකව තිබෙනවා. මේ සංගීත ශිල්පීන් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලින් ඒතරම් ප්‍රචාරය නොලබන, බොහෝ විට තමන්ගේ පාඩුවේ පැත්තකට වෙලා සිටින පිරිසක්. නාමික වශයෙන් සඳහන් කරන්නේ නම් පියදාස අතුකෝරල, එම්. ඩබ්ලිව්. පීරිස්, චන්දදාස බෝගොඩ, වී. හේමපාල පෙරේරා, ශාන්ති ගීතදේව, සරත් සන්දනායක ගන්ට පුළුවන්. ඔවුන් අතරේ නාලිනී රණසිංහ වැනි ගායිකාවකද සිටිනවා.

මොවුන්ගෙන් සංගීත ක්ෂේත්‍රයේ එක්තරා යුගයක ඉතිහාසය අනාවරණය වෙනව වගේම ඔවුන්ගේ නිර්මාණ කවරේදැයි රසිකයන්ට දැනගන්ට කරුණු සැලැස්වෙනවා. අප ඇතැම් නිර්මාණ අසා රසවිඳ තිබුණත් ගායක ගායිකාවන් හැරුනුකොට ඒවාට දායක වූ සෙසු ශිල්පීන් කවුරුන්දැයි දන්නේ අ‍ල්ප වශයෙන්. සමහරවිට දන්නෙම නැහැ.

එම්.ඩබ්ලිව්. පීරිස් ගුවන්විදුලිය ගැන කියා ඇති කරුණු වලින් ගුවන්විදුලියට කීර්තිමත් මෙන්ම අපකීර්තිමත් ඉතිහාසයක් ඇති වගද අපට පසක් කරන්නට පුළුවන්. එක්තරා ඇමැතිවරයකු යටතේ ගුවන්විදුලිය තිබියදී කිසිම සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට නොදන්නා අයෙක් වාදක මණ්ඩලයට පත්කර ගැනුණා. ඔහු රාජකාරිය වශයෙන් කර ඇත්තේ පැමිණීමේ හා පිටවීමේ අත්සන් දෙක තැබීම පමණයි. ඒ අතර කාලයේ ඔහු අතුරුදන්වෙලා තිබෙනවා. එසේම වරක් හමුදාවෙන් පැමිණි එක්තරා පුද්ගලයෙක්ට වාදක මණ්ඩලයේ නායකත්වය භාරදීලා තියෙනවා. එය කර ඇත්තේ ඒ තනතුරට සුදුසු ජ්‍යෙෂ්ඨ ශිල්පීන් සිටියදී. මේ සියල්ල වුණේ රාජ්‍ය ආයතනයක් වශයෙන් ගුවන්විදුලිය දැඩි දේශපාලනකරණය වීමේ ප්‍රතිඵලයක් වශයෙන්. මෙතෙක් අසා තිබුණු ආකාරයට ගුවන්විදුලියෙන් අසාධාරණයක් වුණේ සුනිල් සාන්ත, බී. ඇස්. පෙරේරා වැනි ප්‍රවීණ සංගීතවේදීන්ට පමණක් කියායි.

ඉහත සිද්ධීන්වලින් එම්. ඩබ්.පීරිස් බලවත් සේ කලකිරුණු ශිල්පියෙක්. වඩාත්ම ඛේදජනක සිද්ධිය වන්නේ අසාධාරණයට එරෙහිව නැඟී සිටීමේ වරදට ඔහුට පිහි ඇනුම් කෑමට සිදුවීමයි. එයින් අතේ ඇඟිලිවලට සම්බන්ධ සියුම් නහර කැපීම හේතුකරගෙන ඔහුට බටනළාව ඇල්ලීමට නොහැකි වුණා. පීරිස් මහතාගේ සංගීත භාණ්ඩය වුණේ බටනළාව. අමරදේවයන් ගයන “ඔබේ දෑසයි ඔබේ දෑසයි” ‘සිනිදු සුදු මුතු තලාවේ’, අදර හැඟුම්’, ‘පිපුණු කුසුම පරවූවා’, නන්දා මාලනී ගයන , ‘මලකින් මලකට ගොස් පැණි බොන්නද’, ‘ඔබට මතක නැහැ මට මතකයි’, ‘පිපුණ මලේ රුව’, වික්ටර් රත්නායක ගයන ‘සිහිල් සුළං රැල්ලේ’, ‘තොටුපළ අයිනේ’, ‘සොඳුරිය ඔබගේ වුවන මලක්’ වැනි ප්‍රකට ගී බොහෝමයකට ඔබට ඇසෙන්නේ පීරිස්ගේ වස්දඬු රාවයයි. එබඳු දක්ෂයකුට තමයි මේ හතුරුකම් කෙරුණේ.

පියදාස අතුකෝරල දක්ෂ සිතාර් වාදකයෙක්. ‘සත්සමුදුර’, ‘සාරවිට’, ‘ගොළු හදවත’ වැනි සිනමාපටවල වයන බටනළා හඬ, විශේෂයෙන් ‘‍ගොළු හදවතේ’ සුගත් - දම්මි ප්‍රේමයේ සියුම් සංවේදනා ඔහු මූර්තිමත් කළේ අපූර්ව ලෙසින්. ඒ විතරක් නෙමේ ‘මධුවන්ති’,’ස්වර වර්ණ’, ‘රස මියුරු’ වැනි සංගීතමය විචිත්‍රාංගවල තේමා වාදනවල අසන්නට ලැබෙන්නේ ඔහුගේ සිතාරයෙන් නැ‍ඟෙන මධුර ස්වරයයි.

චන්ද­්‍රදාස බෝගොඩ මිහිරි ගීතනු නිර්මාපක‍ෙයක් ‘නීලවර්ණ නීල කොබෙයියෝ’, ‘මා ප්‍රිය හිමියනි’, ‘පෙම් කළ වරදට’, ‘මගේ නීල නෙතු සඟලේ’, ‘සීත දියවැල් සලා’, ඔහුගේ සුමධුර ගී තනුවලට උදාහරණය. බෝගොඩ පරම්පරාවම සංගීතයට දක්ෂතා දක්වන අය. රෝහණ, චන්ද්‍රපාල, විනිත් ඔහුගේ සොහොයුරන්. ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රානි බෝගොඩ ඔහුගේ සොහොයුරියක්. මේ කුසලතා පූර්ණ සංගීතවේදියා ගැන මා මුලින්ම දැනගත්තේ මේ පොතෙන්. ඒ අනුව මේ පොත සංගීත ඉතිහාසයේ හිස්තැන් නිවැරදිව පිරවීමක් ලෙසත් සලකන්නට පුළුවන්.

වී. හේමපාල පෙරේරා ප්‍රකට අන්ධ බටනළා වාදකයා. ඔහුගේ සංගීත ප්‍රතිභාව වික්ටර් රත්නායකගේ ‘තනිවෙන්නට මගේ ලොවේ’, සුනිල් එදිරිසිංහගේ ‘පුංචි සාවියේ’, එඩ්වඩ් ජයකොඩිගේ ‘මාරම්බරී’, නිරංජලා සරෝජනීගේ ‘කෙදිනද කූඩු හදන්නට’ ගී ඔස්සේ විශද වෙනවා. ‘තනිවෙන්නට මගේ ලොවේ’ ගීතයේ ආරම්භයේ හා අතර මැද ඇසෙන මැන්ඩලින් වාදනය හේමපාලගේය. මෙබඳු දක්ෂ ශිල්පීන් ගැන කතා වෙන්නේ කවුද? අඩුම ගානේ ගුවන්විදුලියේ පළවන සඟරාවකවත් ඔවුන් ගැන ලියැවෙනවාද?

සරත් සන්දනායක, නාලිනී රණසිංහ වැනි ගායක ගායිකාවන් ගැන රසිකයන් අසා තිබුණත් ඔවුන්ගේ නිර්මාණ මොනවාදැයි දන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඔවුන්ගේ ගී අසා තිබුණත් ඒවා ගායනා කරන්නේ මොවුන්දැයි දන්නේ නැහැ. අද ගුවන්විදුලි සේවාවල ගීත රචකයාගේ හා සංගීතඥයාගේ නම තියා ගායකයාගේ නමවත් ප්‍රචාරය නොවන තරම්. එබඳු පසුබිමක් මේ පොතෙත් ඒ අඩුවත් යම් තරමකින් හෝ පිරිමැසෙනවා.

සරත් සන්දනායක හා දයා හේමන්තා අබේසේකර ගයන ‘මද සීත නළ රැල්ල’ ගීතය පසුකලෙක රූකාන්ත - චන්ද්‍රලේඛා යුවළ ගායනා කළා. ඒ නිසා බොහෝ දෙනෙක් හිතුවේ ඒ ගීතය ඔවුන්ගේ බවයි. ඒ ගැන ‘රස මතක අසිරියේ’ මෙසේ සඳහන් කර තිබෙනවා.

“සිය නැඟණිය වූ දයා හේමන්තා අබේසේකර සමගින් ‘වහල් දූපත’ තිර පටයට ගැයූ ‘මඳ සීත නළ රැල්ල’ ගීය ඔවුන් ජීවත්ව සිටියදීම වෙනත් ගායක ගායිකා යුවළක් යළි ගැයීමේ නොහොබිනා ක්‍රියාව ගැන සරත් තුළ දැඩි කලකිරීමක් හා කනගාටුවක් ඇති විය. සොරා කා මුසා ඇද බා ඒ බවට පුරාජේරු දෙසන තරමට පිරිහුණු රටෙක ඒ නහීන ක්‍රියාව සාධාරණී කිරීමට ඉදිරිපත් වන්නන්ද සිටීම මවිතයට නොතරම්ය.”

‘අක්කේ ටිකක් එන්නකෝ’, ‘ජීවිතේ අපේ වාසනාවේ’, මල් පීදුණා’, ‘සක්වළ ලෝකයක් කළා’ ලෝකය සිහිනයක් කළා’ ‘මා මිණි මාමිණි මා දෙයියා’

(විමල් ජේ. සාගර සමග) සරත්ගේ රස සමාහිත තවත් ගී කීපයක්.

නාලිනී රණසිංහගේ මනරම් ගී හඬ අප මුලින්ම ඇසුවේ ‘මී මැස්සෝ’ චිත්‍රපටයෙන්. ඒ චිත්‍රපටයේ එන සහන් සුවය ඇලුම් වැඩූ ඒ දුනුකේ මල’ ගීතය ගැයුවේ ඇය. ඉන්පසු සුනිල් සාන්තගේ ගීවලට ඇය සහාය ගායිකාවක් විදියට දායක වුණා. ‘එම්බා ගංගා’, ‘තෙල්ගාලා හිස පීරන් නෑනෝ’, ‘සරද වලා ගැබ’, ‘මල් ගොමු ගුමු ගුමු ගන්වන්නි’, ‘මලේ මලේ’ වැනි ගීත ඊට නිදසුන් . මර්සලීනු ජයකොඩි පියතුමාගේ විශිෂ්ට නිබන්ධනයක් වන ‘කහවන් ගොයමට රන්දිය වැහැලා’, ගීතයත් නාලිනීගේ.

විජිත් කුමාර් හෙළ හවුලෙන් ලද ආභාසය නිසා ඉතාම ව්‍යක්ත භාෂාවක් පරිහරණය කරනවා. ඒත් අන්තවාදී විය යුතු නැහැ. ගුවන් විදුලියට ‘රෙදෙව්ව’ කියා කීමෙන් ඇති ප්‍රායෝගික වැදගත්කමක් නැහැ. ඒක හරියට සෙන්ට් පීටර්ස් රෝඩ්’ කියන එක ‘උපාසක පීටර්ගේ වත්ත’ කියා ලිවීමක් බඳුයි. ඒවා හාස්‍යජනකයි.

අද ගුවන්විදුලියේ දැඩි පරිහානියක් දක්නට ලැබෙනවා. එක කකුලක් පත්තර කන්තෝරුවලත් අනිත් කකුල ගුවන්විදුලියෙත් තියාගෙන ආධිපත්‍යයක් පැතිරවීමට තනන අඥාන උපදේශකවරුන් යහපාලන ආණ්ඩුවත් අමාරුවේ දාලයි නවතින්නේ. ගිය ආණ්ඩුවත් අමාරුවේ දැම්මේ මේ වගේ කලාකාරයෝ ටිකක් තමයි. ඔවුන්ට පන්න පන්නා පහර නොදී මේ මාධ්‍ය රැකගන්න බැහැ කියා මා අවධාරණය කරනවා.

අවසාන වශයෙන් විජිත් කුමාර්ගේ ඊළඟ පොත ලිවීමේදී අවධානය යොමු විය යුතු සංගීත ශිල්පීන් කිහිප දෙනෙකුගේ නම් සඳහන් කරමින් මේ තීරුව අවසන් කරනවා.

විජය සිරිවර්ධන පොළොන්ඕවිට, සෝමසිරි ඉලේසිංහ, ගලගෙදර එම්.එම්. ඒ.හක්, ටියුලින් ජයරත්න, වීරසේන ගුණතිලක, ඩික්සන් ගුණරත්න (‘ගෝල්ඩන් චයිම්ස්’ වාදක මණ්ඩලයේ හිටපු ලංකාවේ දක්ෂතම ලීඩ් ගිටාර් වාදකයා) දේවානන්ද වෛද්‍යසේකර, ප්‍රේමදාස මුදුන්කොටුව මොවුන්ගෙන් කීප දෙනෙක් ජීවතුන් අතර ඉන්නවාද නැද්ද කියලා කියන්න නම් මං දන්නේ නැහැ.

(සුනිල් මිහිඳුකුල)
-----------------------------------------------------------------------------------------
ප.ලි 
මේ ලිපිය වැදගත් නිසා දිනමිණ පුවත් පතින් උපුටා ගත්තේ ...බ්ලොග් පාළු වෙන නිසා මේ අවුරුද්දේ වත් ලියන්නම් .තරහ අවසර ..