Friday, April 6, 2018

තරුණ හිතට මිහිර රැගෙන ආපු කුරුල්ලා


ඔහු සී. (කොම්පඤ්ඤගේ) ඩී. (ඩැනියෙල්) ෆොන්සේකා ය.ඉතාම මියුරු ගීත රැසක් ගී ලොවට එක් කළ අති දක්ෂ ගායකයෙක් කිසිදු ඇගැයීමකින්, බුහුමනයකින් තොරව මීට අවුරුදු 30 කට ඉහතදී (1986 මැයි 11) අපෙන් සදහටම සමුගෙන ගියේ ය.1932 පෙබරවාරි 27 වැනි දින වැල්ලවත්තේ උපන් සී.ඩී. ෆොන්සේකා කතෝලිකයෙකි. මූලික අධ්‍යපනය ලැබුවේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙනි.ඔහුගේ පියා (සී.ඒ. ෆොන්සේකා) ටවර්හෝල් යුගයේ ප්‍රකට සංගීතවේදියෙකි. සී.ඩී. පියා වෙතින් මෙන් ම සංගීතඥ මහේෂ් ෂින්නයියා වෙතින් ද ගායනය හදාරා ඇත. 1956 දී ගුවන් විදුලි සරල ගී ගායකයකු ලෙස සී.ඩී. ගායන ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූයේ ය. ‘කඳුකරේ කිරි ඇල්ලෙහි පාවී’ ඔහු ගැයූ මුල් ම ගීතය වන්නේ ය. ඉන්පසු ඔහු ගැයූ ‘ඔයාට රත්නෙ මං ආදරෙයි’, ‘කවටකමට ඔබෙයි මගෙයි නම ලියා’, ‘පුළුන් වගෙ සුදු රැවුල් දිගයි’ (ඇන්ජලින් ගුණතිලක සමඟ) ‘සිහිල් සුළං පාවී ලොව දසත හමන්නේ, මේ නත්තල් කාලේ බව ලොවට කියන්නේ’, ‘දෑස පුරා සිත නළවන ලතාවයි’ වැනි ගීත අතිශය ජනප්‍රිය වූයේ ය.සී.ඩී. ප්‍රතිපත්තියක් වශයෙන් කිසිදාක අනුකාරක ගී ගායනා කළේ නැත. ඔහු ගැයූ ගී බොහොමයකම තනු ඔහු මෙන් ම කිසිදා ඇගැයීමකට පාත්‍ර නොවූ සංගීතඥ පැට්රික් දෙනිපිටියගේ ය. ඇතැම් ගී තනු සී.ඩී. ගේම ය. උදා. ඔයාට රත්නේ, ඈත කඳුරැලි, පුංචි රැහැයියෝ, පාවඩ දාලා, සෙඳ් තනියට වැනි ගීත සඳහන් කල හැක .‘පුංචි රැහැයියෝ නාඩන්’, ‘රහසේ කීව ප්‍රේමකතා නෑ’, ‘සමන් වැලේ මල් ජයට පිපීලා’ (දියණිය ශර්මිලා සමඟ), ‘කැකිරි පැලෙන හිනා’, ‘සඳේ තනියට පහන් තරුවක්’ සී.ඩී. එකල ගැයූ තවත් ගීත කීපයකි.

සී.ඩී. ගැයූ එක්තරා ගීත දෙකක් මෙරට පොප් සංගීත කලාවේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කරයි. ඒ ඔහු රසිනා යකීම් ගැයූ ‘උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ’ හා මිනෝන් රත්නම් සමඟ ගැයූ ‘පාවඩ දාලා පා ඔසවාලා, මංගල යුවළ පැමිණ සිනා නඟාලා’ නම් වූ ගීතයයි. සී.ඩී. චිත්‍රපට පසුබිම් ගායකයකු වශයෙන් දැක්වූ දායකත්වය ද ඇගැයුමට ලක්විය යුතුය. ‘තරුණ හිතට මිහිර රැගෙන ආපු කුරුල්ලා’ (සැනසුම කොතැනද?) ‘ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිලා’ (සැඟවුණ මැණික - සී.ටී. ප්‍රනාන්දු සමඟ) ‘සුරපුර වැනි සැණකෙළියක් ගමට ගෙනැල්ලා’ (පේනවා නේද - එම්.එස්. ප්‍රනාන්දු, සී.ටී. ප්‍රනාන්දු සමඟ) ‘සල්ලි සල්ලි සල්ලි (රන්ඔංචිල්ලා) ‘සරා සළෙල හැඟුම් බරට’ (කතුරු මුවත් ඇන්ජලින් ගුණතිලක සමඟ) එවන් ගී කීපයකි.

එකල සී.ඩී. ගේ ගීත මොනතරම් ජනප්‍රිය වීද කිවහොත් ඔහුගේ ‘උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ’ නම් වූ ගීතය ‘රුහුණු කුමාරි’ චිත්‍රපටයට ඇතුළත් කර ගැනිණි.වෘත්තිමය වශයෙන් සී.ඩී. ටෛම්ස් ඔෆ් සිලෝන් සමාගමේ සේවය කළ අතර පසුකලෙක ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේද සේවය කළේ ය.සී.ඩී. විවාහ වී සිටියේ ශීලා ෆොන්සේකා සමඟ ය. ශිරෝමා, ඩිලන්තා, ශිරාන්, ඩිල්රුක්ෂා හා ශර්මිලා සී.ඩී. ගේ ආදරණීය දරුවන් පස්දෙනා ය.ඔවුන් සියල්ල හැරදා සී.ඩී. 1986 මැයි මස 11 වැනි දින මෙලොවින් සමුගත්තේ ය.

උපුටා ගැනීම සිළුමිණ පුවත්පතිනි 
(විශේෂ ස්තුතිය - මුලාශ්‍ර නිවැරදි කරගැනීමට සහාය වූ මහාචාර්ය සුනිල් ආරියරත්නට හා ගාමිණී ගුණතිලකට./සුනිල් මිහිඳුකුල - ජෝර්ජ් රොබ්සන් ද සිල්වා)
---------------------------------------------------------------------
මොණරා මෙන්න මේ ලෙසේ
කියා රඟයි මගේ ප්‍රියේ
ඔයාට රත්නේ මන් ආදරෙයි
රඟන්නේ ඒකයි විනෝදයේ
මොණරා මෙන්න මේ ලෙසේ
කියා රඟයි මගේ ප්‍රියේ ...

පුංචි පුංචි මල් පිපිලා හරිම ලස්සනයි
රංචු රංචු බඹර රාසි ඒ වටේ දුවයි
රොන් උරන්න රොන් උරන්න තවත් පැණි පිරෙයි
ආදරේට ආදරේම එක වුනා වගෙයි ..

පුන් සඳේ කැළුම් වැදිලා රන් ගොයම් නැටේ
තාරුකා දිලෙන්නේ ඈගේ නෙත් කුසුම් වගේ
සුන්දරිගේ මුණ වාගේ රත් පියුම් දිලෙයි
ආදරේ කියන්න ඔබට මේ පැයේ අගෙයි

ගායනය/සංගීතය - සි ඩි ෆොන්සේකා
ගී පද - ජෝජ් ලෙස්ලි රණසිංහ

----------------------------------------------------------------------
තරුණ හිතට මිහිර රැගෙන ආපු කුරුල්ලා
සිහින ලොවක නටන්න මනමාල කුරුල්ලා
මල්සරා...මල්සරා.....

මල්සරාගෙ දුන්න අපේ අතෙයි තියෙන්නේ
මහ බඹාට මගුල් නැකත අපියි හදන්නේ
මල්සරා....මල්සරා.....

මල්හීයක් ඇදී ගොසින් උක්දඩු දුන්නේ
තරුණ ළදක ගෝමර ඇති ළමැද හැපෙන්නේ
යොවුන් වියේ සුපෙමි හැගුමි ඇයි හංගන්නේ
ළගදිම මංගල යෝගය උදා කරන්නේ
මල්සරා.....මල්සරා...

මල් පැණියෙන් ඔද වැඩිලා හැගුමි මැවෙන්නේ
තරුණ හිතක ආදරයයි එතන උපන්නේ...

ගී පද - ධර්මසිරි ගමගේ
ගායනය - සි.ඩි ෆොන්සේකා
සංගීතය - ප්‍රේමසිරි කේමදාස

----------------------------------------------------------------------

උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ
කඳුරටතිලකේමනහරඋඩරටමැණිකේ
ඔසරි මාල වළලු කූරු හවඩි ඔබට හරි හැඩයි
සුනිල් ජලේ රණ හංසිය වාගේ
ලළිත ගමන සිත නලවයි මගේ
සුභ ගමන් යන්න සැන්දෑවට නුවර වැව වටේ
මිණි පහන ඔබයි කන්ද උඩරටේ

තෙල් මල් ගෙන දළදා මන්දීරේ
වඳින්න යයි පියගැටපෙල පාරේ
ඔබ දිහා බලන එක බැල්මට වැවේ මල් පිපේ
මනමාලි ඔබයි කඳුකරේ අපේ

නුවර ඇසළ පෙරහැර ඇති කාලේ
මුලු රටම දකී ඔබෙ කෝමල තාලේ
මට මලක් වෙන්න හිතයි ප්‍රියේ ඔබේ පෙම් විලේ
රූ රැජින තමයි මැණික සිංහලේ
උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ…


පද රචනය: ?
තනුව: පැට්‍රික් දෙණිපිටිය (1958 දී පැට්‍රික් මුල් වරට නිර්මාණය කළ ගීත ත්‍රිත්වයෙන් එකකි)
ගායනය: සී. ඩි. ෆොන්සේකා, ආර්. එස්. මෙන්ඩිස්, රසිනා යකීම් සහ ඇනජලීන් ගුණතිලක

----------------------------------------------------------------------
සමන්වැලේ මල් ජයට පිපීලා
මුළු මිදුල මැ සුවඳයි
අපේ මේ මුළු මිදුල මැ සුවඳයි
හැම ගෙදර මැ මල් රුවට පිපේ නම්
ගම්මානෙමැ සොඳුරුයි.....
දුවේ මේ ගම්මානෙ මැ සොඳුරුයි...

ගමින් ගමට මල් කැකුළු පිපෙන විට
මගෙ රට හරි සුවඳයි...
පියාණනි..මගෙ රට හරි සුවඳයි
රටින් රට ට සුව සුවඳ දුවන විට
මුළු ලෝකෙම සුවඳයි
දුවේ මේ මුළු ලෝකෙම සුවඳයි

සමන් මලක් වී පිපෙන්න ආසයි
මගෙ මේ ගේ මිදුලේ...
පියාණනි මගෙ මේ ගේ මිඳුලේ
සමන් වැලක් වී පිපෙන් දුවේ
ජීවිත මල් ගොමුවේ
පරවී හැලුනත් මිනිස් මලේ
පවතී සුවඳ ලොවේ......

ගායනය - සී. ඩී. ෆොන්සේකා - ශර්මිලා ෆොන්සේකා
ගී පද - අරිසෙන් අහුබුදු
සංගීතය - සී.ඩී.ෆොන්සේකා

----------------------------------------------------------------------
මම වෙමි තාත්තගේ බඩ පිස්සී
එමි ඔබ විදියට හැඩ ගැස්සී
අගේ රිදී රන් රුවන් නොවේ
මගේ නිධානය ඔබයි දුවේ

වින්ද දුකට හද මින් පෙර දා
වන්දි ගෙවන්නද මා කවදා
සුදු මල් කැකුළු ය ගැහැණු ළමයි
හැම කමටම ලොකු හැදුනු කමයි

සෙවනෙහි කීකරු වී ඉන්නම්
සැපදුක එක ලෙස විඳ ගන්නම්
හැදුනොත් ලෝකෙන් දොස් නාසා
දෙවියොත් වස්තුවේ වෙයි ආසා

ගායනය -  සී ඩී ෆොන්සේකා සහ ෂර්මිලාෆොන්සේකා

----------------------------------------------------------------------
දෑස පුරා සිත නලවන ලතාවයි
මුහුණ පුරා රස වෑහෙන හිනාවයි
සිරස පුරා මල් සැරසුණු කලාවයි
මගේ පැලට ඔබ හරි වාසනාවයි..
අහන්න රහස ලංවෙලා කියන්න කනට කොඳුරලා
ලස්සන මුහුණ බල බලා සුසුම් හෙලා...

කටට රහට බතට ඇඹුල හදාලා
ඔබේ අතින් කන්නම් රස බලාලා
විඩා නිවන රස කව් ගී ගයාලා
සැනසෙන්නම් ගමේ පාළු මකාලා
අහන්න රහස ලං වෙලා......

ගලන දියේ දිය රැළි මතූඋනාවේ
රුක් සෙවණේ සිසිළස කැටි උනාවේ
වැලි තලයේ සටහන් ලියවුණාවේ
මගේ හදට ඔබෙ හද එක් වුණාවේ
අහන්න රහස ලංවෙලා කියන්න කනට කොඳුරලා.....

ගායනය -  සී ඩී ෆොන්සේකා

14 comments:

  1. Replies
    1. බෝම ස්තුතියි තඩියෝ ...

      Delete
    2. අර මුල්ම සින්දුවේ ඔයාට රත්නේ කෑල්ල නෑ

      Delete
  2. රටට අදාළ නැත :) මාතලන්

    ReplyDelete
  3. කිසිදිනෙක ඇගයීමකට ලක්නොවූ අති දක්ෂ ගායකයෙක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඇගයීමට ලක් නොවුන කළා කාරයෝ අතර තවත් එක සුවිශේසී ගායකයෙක්

      Delete
  4. තරුණ හිතට මිහිර රැගෙන ආපු කුරුල්ලා ............. චූ පැත්ත නෙමෙයිද බං

    ReplyDelete
  5. සමන් වැලේ කියුව ශර්මිලා ... එයාගේ දුව ශර්මිලාමද ....

    ඒ සින්දුවේ තියෙන්නේ මිදුල කියලචද ගම්මානෙම කියලද

    ReplyDelete
  6. ඉතා වටිනා විග්‍රහයක්. ස්තුතියි ඇනෝ

    ReplyDelete
  7. Excellent as usual. If I remember correctly, CD, as a young boy, has sung the welcome song at J R Jayawardena's wedding. One of those talented artists who never reached the heights they were capable of reaching.

    ReplyDelete
  8. ඇත්තට ම. ජීවිතයේ එක්තරා අවදියක නිරතුරු ව මතකයේ රුඳුණු ගීත කිහිපයක් හා ගායකයෙක්. මොකක්දෝ හේතුවක් නිසා යුග පරිවර්තනයත් සමග හැමෝට ම අමතක ව ගිහින් තිබුණා. ඔබේ මේ ලිපිය ඉතාමත් අගය කරනවා මල්ලි.

    ReplyDelete
  9. මේ ගීත එක්ක මුසුවූ අපේ පාසල් කාලයේ අත්දැකීම් නැවතත් ආවර්ජනා කරන්න සමත්.
    ස්තූතියි ඇනෝ...
    සිහිනපුරේ දිහාත් ඇවිදින් යන්න එන්න
    http://sihinapure.blogspot.com

    ReplyDelete
  10. වටිනා සටහනක් ඇනෝ!
    උඩරට මැණිකේ ගීතය රචනා කළේ කරැණාරත්න අබේසේකරයන්...

    ReplyDelete