Monday, April 4, 2016

"නුවන් පියෙන තුරා ඉඳිමු අපි හස‍රැල්ලෙන්"



                                              කිසිදිනක නොමියෙන සත්‍යයේ හඬ කපුගේ 
ගාලු දිස්‌ත්‍රික්‌කයේ ගඟබඩපත්තුවේ මිරිස්‌වත්ත නම් වූ පිටිසර ග්‍රාමයේ ඇල්ලලමුල්ල කපුගේ ප්‍රැන්සිස්‌ සහ දෝන සිරිබද්දන ඇලිස්‌නෝනා යුවළට 1945 අගෝස්‌තු මස 07 වැනිදා උපන් පිරිමි දරුවාට "ඇල්ලල මුල්ල කපුගේ ගුණදාස" යන නම තබන විට ඒ දෙමව්පියන් මේ කුඩා බිළි¹ කවදා හෝ දවසක රටේම ආදරය දිනා ගන්නා මිනිසකු වේ යෑයි සිතන්නට නැත.

ක්‍රමයෙන් වැඩෙන ගුණාදාස දරුවාව කවුරුත් පාහේ හැඳින් වූයේ කලුමහත්තයා" යන ආදරණීය නාමයෙනි. ඒරමුල්ල කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පහේ ශිෂ්‍යත්වය සමත්ව කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වූ කලුමහත්තයාට දෛවයේ අපූරු තීරණයකට අනුව සංගීතය හදාරන්aනට අවස්‌ථාව ලැබිණි. ඔහුගේ මුල්ම සංගීත ගුරුවරුන් වූයේ ඩබ්. චූලරත්න සහ එන්. ඩී. ප්‍රේමසිරි මහත්වරුන්ය. කලු මහත්තයාගේ මාමණ්‌ඩිය වූ එස්‌. එඩ්මන් මහතා වෘත්තියෙන් විදුහල්පතිවරයකි. සංගීතය පිළිබඳ මනා ප්‍රායෝගික දැනුමක්‌ තිබූ ඔහු ගමේ වේදිකා නාට්‍ය ටීටර් සඳහා සර්පිනා වාදනය කරමින් සංගීතය පිළිබඳ අත්දැකීම් රැසක්‌ හිමිකරගත් අයෙකි. එඩ්මන් මාමාගේ මග පෙන්වීම අනුව යමින් කලු මහත්තයා සංගීතය තම දිවියට වඩාත් සමීප කර ගත්තේය. එඩ්මන් මාමා නිතර සහභාගි වූ ගමේ ටීටර් සඳහා කලුමහත්තයාවද එක්‌කරගනිමින් ඔහු ලවා ගීත ගායනා කිරීමටද උනන්දු වූයේ කලුමහත්තයා තුළ ගායනයට කිසියම් දක්‍ෂතාවක්‌ උපතින්ම තිබෙන බව හඳුනාගත් නිසාවෙනි.

කලුමහත්තයා අපි මෙතැන් සිට කපුගේ කියා අමතමු 

කරන්දෙණිය මහ විදුහලෙන් පසුව ගාල්ල නාගොඩ විදුහලේත්, ඉන්පසුව අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලෙත් අධ්‍යාපනය හදාල කපුගේ 1959 වසරේ ගාලු දිස්‌ත්‍රික්‌කයේ පාසල් අතර පැවැති ගායනා තරගයේ ප්‍රථම ස්‌ථානය හිමිකර ගත්තේය. තම පාසල් දිවියේ තවත් එක්‌ කඩඉමක්‌ පසුකරමින් 1963 වසරේදී ඔහු රජයේ ලලිත කලායතනයට (හේවුඩ්) ඇතුළුවිය. 1965 වසරේද කලුමහත්තයා ඉන්දියාව බලා පිටත් වන්නේ ලක්‌නව්හි භාත්කණ්‌ඩි සංගීතය විද්‍යාලයේ වැඩිදුර සංගීත අධ්‍යාපනය ලබාගැනීමටයි. ඔස්‌තාද් ලෙලේ, පණ්‌ඩිත් හරි ශංකර් මිස්‌රා, ඔස්‌තාද් මක්‌ෂුඩ් අලි, පණ්‌ඩිත් රතන ජංකර් සහ සිතා ශිරන් සිං වැනි ප්‍රවීන සංගීත වේදීන්ගේ ගුරු හරුකම් යටතේ කළ ඔහුගේ අධ්‍යාපන කටයුතු නිමා වූයේ 1969 වසරේදී සංගීත විශාරද උපාධිය හිමිකර ගිනිමිනි. 

ඇල්ලල මුල්ල කපුගේ ගුණදාස ලෙසින් භාරතයට ගිය කලුමහත්තයා නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ "විශාරද ගුණදාස කපුගේ" නමිනි. 1969 වසරේදීම ගුවන් විදුලි සංස්‌ථාවේ ශබ්ද පරිපාලකවරයකු ලෙස ඔහුට රැකියාවක්‌ හිමිවන්නේ දෛවය ඔහුව ගුවන් විදුලිය වෙත සමීප කරවීමට තරම් කාරිණික වූ නිසාවෙනි. තාවකාලික පදනමට රැකියාවට පත් වූ ගුණදාස කපුගේ 1970 දී ස්‌ථිර විය. 

1973 වසරේදී එකල සිංහල සේවා අධ්‍යක්‍ෂවරයෙකු වූ එච්. එම්. ගුණසේකර මහතාගේ විශේෂ අවසරය මත කපුගේට ගුවන් විදුලියේ ගීතයක්‌ ගැයීමට ඉඩකඩ ලැබිණි. එහෙත් ඒවන විට කපුගේ අනුමත සරල ගායකයකු නොවේ. එනිසාම එම විශේෂ අවසරය මත එම ගීතය ගායනා කිරීමට ඔහුට සිදුවිය. ප්‍රියානන්ද විඡේසුන්දර ලියූ ගී පද මාලාවට කපුගේ සරළව නිමැවූ තනුවට විශාරද සනත් නන්දසිරි නිර්මාණය කළ සංගීත රටාව සමග රසික හදවත් තදින් ඇද බැඳ ගත් එම ගීතය අදද අපට ආනන්දයක්‌ම ගෙන එනු ඇත. 

"දෑස නිලුපුල් තෙමා - කඳුළු මුතු ලැල් සලා 
දෙතොල සුසුමින් පුරා - ඉකිබිඳ - හඬනු මල් මාලියේ" 

1975 දී කපුගේ ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදක තනතුර දක්‌වා උසස්‌ වීම් ලබා තිබිණි. කපුගේ තම සිතුවිලි මාක්‌ස්‌වාදී චින්තනය ඔස්‌සේ මෙහෙයවීමට නිරන්තරව උත්සාහ කළ එම වකවානුවේ ඔහු වඩාත් සැලකිල්ලක්‌ දැක්‌වූයේ දුප්පත්කමින් හා සූරාකෑමෙන් පීඩිත ජන කොටස්‌වල ජීවන තත්ත්වය ගැනය. මේ නිසාම ධනවාදී දේශපාලනයේ විරුද්ධ පාර්ශ්වය නියෝජනය කරන කලාකරුවන් අතරට කපුගේද එක්‌විය. 1977 දී බලයට පත් රජය කපුගේගේ ගීත ගුවන් විදුලියෙන් ප්‍රචාරය වීම වළක්‌වාලීමට වාරණ නියෝගයක්‌ පැනවීය. නමුත් කපුගේ සෙලවුණේ නැත. ඔහු සිනාසුනා පමණි. 

1978 වසර කපුගේ තරුණයාට විශේෂ වසරකි. ඔහුගේ විවාහය සිදුවූයෙත්, ඔහුගේ රැකියාව අහිමි වූයේත් එම වසරේදීය. ප්‍රේමා නම් නව යොවුන් තරුණිය කපුගේට හිමිවී රැකියාව ඔහුට අහිමි වූයේ දෛවයේ අභියෝගාත්මක සරදමක්‌ ලෙසිනි. 

කියුබාවේ හවානා නුවර ජාත්‍යන්තර තරුණ සමුළුවක්‌ පැවැත්විණ. ආරාධනා ලැබූ අය අතර කපුගේද විය. එයට සහභාගි වීම සඳහා නිවාඩු ඉල්ලා යොමු කළ ලිපිය බලධාරීන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදී. රැකියාව නිසා නිලධාරිවාදය ඉදිරියේ දණින් නොවැටී තමාගේ ගමන යැමට තරම් කපුගේගේ මනස අදීන විය. ඒ අනුව 1978 ජූලි 22 දා වන විට කපුගේ සිටියේ කියුබාවේ හවානා නුවරයි. කපුගේ තම දිවියේ තිස්‌තුන් විය සැමරුවේ හවානා නුවරදීය. නැවත කපුගේ ශ්‍රී ලංකාවට එන විට සේවය අතහැර ගියා සේ සැලකෙන ලිපිය ගුවන් තොටුපළටම ගෙනැවිත් බාරදීමට තරම් නිලධාරීහු කාර්යක්‍ෂමව සිටියහ. රැකියාව අහිමි වූවන් අතර කපුගේද එක්‌විය. 

1979 වසරේදී කපුගේට යළි රැකියාව ලැබිණි. එහෙත් ඒ වසරේම ඔක්‌තෝබරයේදී එවක අගමැතිවරයාට අපහාස කළේය යන චෝදනාව මත පොලිස්‌ අත්අඩංගුවට පත්වීමට සිදුවිය. චෝදනා විමර්ශනයේදී කපුගේ නිදහස්‌ විය. අත්අඩංගුවෙන් නිදහස්‌ වුවද කපුගේට ගුවන් විදුලිය තහනම් ප්‍රදේශයක්‌ බවට පත්විය. පුරා වසරකුත් මාස දහයක රැකියා විරහිත ඒ කාලය චිත්‍රපට කිහිපයකම සංගීතය නිර්මාණය කිරීමට ඔහුට ඉඩ කඩ සැලසනි. ඒ අතරට ලූෂන් බුලත්සිංහලගේ "තාරාවෝ ඉගිලිති" වේදිකා නාට්‍යයට සංගීතය සපයමින් කපුගේ සුවිශේෂී කඩඉමක්‌ සනිටුහන් කළේය. "තාරාවෝ ඉගිලිති" වේදිකා ගත වූ එක්‌ දිනෙක එය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්‍ෂකයන් අතර එවකට ගුවන් විදුලි සංස්‌ථා සභාපති ඒමන් කාරිය කරවන මහතාද සිටියේය. නාට්‍යයේ නිර්මාණාත්මක සංගීතයෙන් අපමණ රසයක්‌ විඳි ඔහුට ගුණදාස කපුගේ නම් විශිෂ්ට සංගීත වේදියාගේ සේවය කිසියම් නිලධාරි පිරිසකගේ වුවමනා එපාකම් මත තම සංස්‌ථාවට අහිමි කොට ඇති බව සැළවිය. වහාම ක්‍රියාත්මක වන ලෙස ඊළඟ සතියේදී කපුගේ නැවත සේවයේ පිහිටුවන ලද්දේ එහි ප්‍රතිඵලයක්‌ ලෙසයි. 

ප්‍රධාන කාර්යාලයේ සේවයට එක්‌ වුවත් කපුගේට දඬුවම් මාරුවක්‌ ලෙස රජරට සේවයට වාර්තා කිරීමට සිදුවන්නේ කපුගේගේ දෛවය තවත් අපූරු අත්දැකීම් 

රැසක්‌ ඔහුට ලබාදීමටයි. 1981 අගෝස්‌තු මාසයේ රජරට දවන ගිම්හානයේ රජරටට කපුගේ වසන්තයක්‌ ලෙස පැමිණියේ දෛවයේ ඒ තීරණයට අනුවයි. රාජ්‍ය සේවයේ රාජකාරි කළ සමය කපුගේ නැවත ජන්මය ලැබූ කාලවකවානුවක්‌ බව ඔහුගේ සමීපතමයින්ගේ අදහස විය. එයට හේතුවක්‌ වූයේ දඬුවම් මාරුවක්‌ ලැබ රජරටට පැමිණි ඔහු ඒ දඬුවම ආශිර්වාදයක්‌ ලෙස සලකා කටයුතු කිරීමයි. රාජ්‍ය සේවයේ ස්‌වර්ණ ශ්‍රී බණ්‌ඩාර කලාකරුවා සමග එක්‌වී ප්‍රදේශයේ නවක ගීපද රචකයන් - ගායක ගායිකාවෝ - සංගීතවේදීන් ජාතික තලයට ඔසවා තැබීමේ අදිටනින් විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ පුරෝගාමියෙක්‌ ලෙස ස්‌වර්ණ ශ්‍රී බණ්‌ඩාර හා ගුණදාස කපුගේ රජරට ගුවන් විදුලි වංශ කතාවට එක්‌වේ. ස්‌වර්ණ ශ්‍රී බණඩාරයන්ගෙන් පසුව ප්‍රාදේශීය සේවා අධ්‍යක්‍ෂවරයා වූ විජයානන්ද ජයවීර මහතා කපුගේ තුළ ඇති නිර්මාණාත්මක හැකියාව සංගීතයට පමණක්‌ සීමා නොවන බව වටහා ගත් නිසා, සංගීතය ඇසුරුකර ගනිමින් කිසියම් වෙනස්‌ අන්දමක විචිත්‍රාංගමය වැඩසටහන් නිෂ්පාදනය කිරීමේ වගකීම කපුගේ වෙත පවරනු ලැබුවා. තමා විසින්ම ලියූ පිටපත තම හඬින්ම ඉදිරිපත් කරමින් විවිධ සංගීතාංග හා වෙනත් තොරතුරු කලා අංග ඇතුළත් අඩහෝරාව ඔහු නම් කළේ "මන්දාකිණිය" නමිනි. සංගීතය කලාව මෙන්ම දේශපාලනයද ඉතා සමබරව යොදාගනිමින් කපුගේ ඉදිරිපත් කළ මන්දාකිණිය බොහෝ ශ්‍රාවකයන් අතර වැළඳගත් වැඩසටහනක්‌ විය.

1989 - 90 රට තුළ කැළඹිලි සහිත තත්ත්වයක්‌ තිබූ කාලයේ තම ජීවිතයට එල්ල වූ නොයෙක්‌ මරණ තර්ජන හමුවේ සිනා මුසු මුහුණින් නොබියව කටයුතු කළ ඔහු නැවත දෛවයේ සරදමට ලක්‌වෙමින් 1990 වසරේ ජනවාරි 29 වැනිදා අනවාර්ය නිවාඩු යෑවේ. 

ඉන් අනතරුව කම්පන ප්‍රසංගයත් සමග යළි ජනතාව අතරට ආ කපුගේ ඉතා සාර්ථක ලෙස ජන හදවත් කම්පනයට පත් කොට පැහැදිලි යථාර්ථය ගීතය නම් වූ කලා මාධ්‍යය ඔස්‌සේ ජනතාවට සන්නිවේදනය කළේය. කම්පන ප්‍රසංගයට මද කලක්‌ විරාමය තැබූ කපුගේ "ප්‍රකම්පන" නම් වූ තම දෙවන ප්‍රසංගය රසිකයන්ට පුදන්නට සූදානම් වූයේ එතෙක්‌ මෙතෙක්‌ තම සංගීත දිවියේදී මුහුණ දුන් සියලු හැල හැප්පීම්, ආත්ම ප්‍රකාශනයක්‌ ලෙස එළිදැක්‌වීමේ අභිලාෂය සමගයි. එහෙත් මෙවර දෛවය ඔහුට අවසන් වරට සරදම් කොට තම කාර්යය හමාර කළේය. 2003 වසරේ අප්‍රේල් 03 වැනිදා "ගුණදාස කපුගේ මිය ගියේය" යන පුවතින් ප්‍රකම්පනය වූ අපි තවමත් ඒ කම්පනයේ ගැස්‌ම සමග සිටිමු. කොහේදෝ ඈතක සිට ඔහු ගැයූ ගීතයක්‌ සෙමින් ඇසේ. "කපුගේ ඔබ මියගියේ නැත. කිසිදා ඔබ මිය යනන්නේද නැත. 

(රන්ජන් රූපසිංහ )
තොරතුරු සපයා ගැනීම - විශාරද ගුණදාස කපුගේ ඔහුගේ නිර්මාණ සහ සමකාලීන සාහිත්‍ය කලා විමර්ශන. 
සංස්‌කරණය - තිඹිරියාගම බණ්‌ඩාර, මහින්ද කුමාර දළුපොත, යසනාත් ධම්මික බණ්‌ඩාර.
"උපුටා ගත්තේ මෙතැනින් "
-------------------------------------------------------------------------------------------------------
සෙනෙහෙ සිතින් සැනසිල්ලෙන් එක සිතිවිල්ලෙන්
වෙමින් එකම මවකගෙ දරුවන්
නුවන් පියෙන තුරා ඉඳිමු අපි හස‍රැල්ලෙන්..//

එකම අහස හිමි කාටත් සෙවන ලැබෙන්නේ
පොලව සැවොම සම සිතකිනි උසුලා ඉන්නේ
එවන් පොලව මත යුද වැද උරුම සොයන්නේ
තරඟ වැදී නොමිනිස්කම් ඇයි මිනිසුන්නේ..

සෙනෙහෙ සිතින් සැනසිල්ලෙන් එක සිතිවිල්ලෙන්
වෙමින් එකම මවකගෙ දරුවන්
නුවන් පියෙන තුරා ඉඳිමු අපි හස‍රැල්ලෙන්..

බෙදුම් පවුරු සීමා මැද පිල් බැඳ ගන්නේ
තමන් සුව පතා අනුනට තැවුල් සදන්නේ
කෙනෙක් නසන මං සලසා කෙනෙක් දිනන්නේ
ජීවත් වන මේ ටික ඇයි සටන් වදින්නේ..

සෙනෙහෙ සිතින් සැනසිල්ලෙන් එක සිතිවිල්ලෙන්
වෙමින් එකම මවකගෙ දරුවන්
නුවන් පියෙන තුරා ඉඳිමු අපි හස‍රැල්ලෙන්..

ගායනය : ගුණදාස කපුගේ 
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : කුලරත්න ආරියවංශ
-------------------------------------------------------------------------------------------------------
සිත නිවා පහන් කල සඳ එලිය නිවි නිවී..
සිනා කෙලි කවට බස් ගනඳුරට මුවා වේ..
මතක වක්කඩ බිඳී සෝ සුසුම් රල නැඟේ..
ජීවිතේ මදින් මද මාවතෙන් දුරස් වේ..

විශ්වයම නිදාගත් පාලු රෑ මැදියමේ
කඳු පියස සිප වැලඳ සීතලට තුරුලු වී
අන්ධකාරය ගයන සුසුම් ගී ගායනා
මගේ දෙසවන ‍රැඳේ හංස ගීයක් වෙලා..

සෙනෙහසින් වැලඳගෙන නොනිමි දුක් වේදනා
මහ පොලව සේ නිබඳ ජීවිතේ උහුලනා
දෑත පා ගිය එහැම යදින මා මිතුරනේ
බැති පෙමින් ඔබ දකිමි මරණයේ කවුලුවෙන්..

සිත නිවා පහන් කල සඳ එලිය නිවි නිවී..
සිනා කෙලි කවට බස් ගනඳුරට මුවා වේ..
මතක වක්කඩ බිඳී සෝ සුසුම් රල නැඟේ..
ජීවිතේ මදින් මද මාවතෙන් දුරස් වේ..

ගායනය: ගුණදාස කපුගේ
-------------------------------------------------------------------------------------------------------
මගේ කියා මට මමවත් නැති ලොව
කුමටද වතුපිටි නිධානයක්,
රඟේ පෙනේ රෝ දුකින් පෙලෙන කල
ධනයද සතුටද නිමේශයක් ..

කල්ප ගණන් කල් සෙවූ ධනය කෝ
ඉතිරි වුනේ ලොකු තණ්හාවක්,
සතර අපා දුක් විඳ ගොඩ වෙන්නේ
මෙහෙම ලඟින්නද තව සැරයක්

කෙලෙස් නසන්නට සසර මිදෙන්නට
පාමි මේ තව බණ පදයක්,
හීනෙන් දෙසන්න නිවන් මඟට එන
මගේ කියා මට නැතේ ලොවක්

මගේ කියා මට මමවත් නැති ලොව
කුමටද වතුපිටි නිධානයක්,
රඟේ පෙනේ රෝ දුකින් පෙලෙන කල
ධනයද සතුටද නිමේශයක්..

ගායනය: ගුණදාස කපුගේ
ගී පද : ඒ .එච් .එල් .යසවර්ධන
-------------------------------------------------------------------------------------------------------
දවසේ කරදර කර උඩ 
ගෙට ඇවිදින් ගෙයි පිල උඩ
මූදේ කර වටක් ගිලී ඉර හිනැහෙන්නේ
සසර දුකට මේ හැටි ඇයි
අපි ලතැවෙන්නේ..

හෙන්දිරික්කා මල් පිපේවි
පන්සල් ගණ්ඨා වැදේවි
රෑන ගිරවු හිනාවෙවී ගෙදර ගියාවේ
ඉගිලෙන්නට බැරි අපටත් ත‍ටු මැවුනාවේ..

බණ්ඩි පැටව් මඟට ඒවි
උන් අම්මා පිලට ඒවි
හිස් අත් දෙක කියන කතා
රස දැනුනාවේ
අග හිඟකම් මුතු වැස්සේ අප තෙමුණාවේ..

සංගීතය / ගායනය - ගුණදාස කපුගේ
ගී පද : ලූෂන් බුලත්සිංහල
-------------------------------------------------------------------------------------------------------
සාමයේ සුදු පියාපත් යුග
කොතැන කෙලෙසක කඩා වැ‍ටුණේ
කවුද කොතනද කඩා දැමුවේ
කියා දීපන් නොමිනිසුන්නේ..

රුදුරු දම්වැල් පා විලංගුව
සැලෙන හඬ නම් ඇසෙනවා..
සිපිරි ගෙදරක ක‍ටුක පාලුව
හදවතට දැන් දැනෙනවා..

සාමයේ සුදු පියාපත් යුග
කොතැන කෙලෙසක කඩා වැ‍ටුණේ
කවුද කොතනද කඩා දැමුවේ
කියා දීපන් නොමිනිසුන්නේ..

සා පිපාසා තියුණු වුනු නුඹ
නොදැක හඬ නම් ඇසෙනවා
නුඹේ අවසන් සුසුම් පොද
හෙලන හඬ නම් ඇසෙනවා..

සාමයේ සුදු පියාපත් යුග
කොතැන කෙලෙසක කඩා වැ‍ටුණේ
කවුද කොතනද කඩා දැමුවේ
කියා දීපන් නොමිනිසුන්නේ..

ගායනය: ගුණදාස කපුගේ
-------------------------------------------------------------------------------------------------------
නාගල ගම් වීදියේ වතුර ගැලූ වංගියේ
තෙමිච්ච කිකිලි වගේ ලෑලි පැලේ උඹ උන්නා..
කටකර අම්මණ්ඩියේ..

කැළණි ගඟානෝ උතුරා ගංවතුරක් ගැලුවා
වතුර බැස්ස සුමානෙ අද අපි උඹවත් සෙව්වා
වැලි තරමට බෑ කද නම් උහුලන්නට බෑ
කටකර අම්මණ්ඩි කොහෙද කවුරුත් දන්නෑ

ඔහේ පාලුවට ගිය ඒ ලෑලි පැලත් වනසා
බුල්ඩෝසර් ගියා දොහක මහ ගජසෙන් බිඳදා
අනේ අනිච්චං කියල කිවුව කෙනෙක් නෑ
කටකර අම්මණ්ඩි කොහෙද දන්න කෙනෙක් නෑ

නාගල ගම් වීදියේ වතුර ගැලූ වංගියේ
තෙමිච්ච කිකිලි වගේ ලෑලි පැලේ උඹ උන්නා..
කටකර අම්මණ්ඩියේ..

ගායනය: ගුණදාස කපුගේ සමඟ නිරංජලා සරෝජිනි
-------------------------------------------------------------------------------------------------------
මතක තියේ.. මතක තියේ..
සොඳුරු අතීතය මතක තියේ..
පෙර එක දිනයක මේ මල් උයනේ
ඔබ හමු වූ බව මතක තියේ
සොඳුරු අතීතය මතක තියේ..

කැකුලු වියේදී අප දෙදෙනා
මල්සර නද අතරින් ඇදුනා..
එනමුදු ඔබ හා දොඩනට පලමුව
යෙහෙලිය ඔබ කැඳවා...
වෙනතක යන්න ගියා..
මතක තියේ.. මතක තියේ..
සොඳුරු අතීතය මතක තියේ..

ඔබ අද බිරිඳකි මවකි ළඳේ
දෙනුවන් තැනුවෙකු අසල ‍රැඳේ
මා යුග දිවියට පිවිසෙන දිනයක
සෙනෙහස හද රඳවා..
එනු මැන ඔබ දෙදෙනා
මතක තියේ.. මතක තියේ..
සොඳුරු අතීතය මතක තියේ..

ගායනය: ගුණදාස කපුගේ
-------------------------------------------------------------------------------------------------------
මහමෙර මුදුනට නැඟලා බැලුවත්
ඊට උසයි නුඹෙ සෙනෙහස අම්මේ..
ලේ උණු දා මට කිරි පෙවුදා මට
සසල වුනා මහ පොලවත් අම්මේ
සසල වුනා මහ පොලවත් අම්මේ..

බුදුවෙන බෝසත් ජීවිතයක් ඒ
පාරමිතා පිරුවා සසරේ..//
අම්මා කෙනෙකුට මෙහෙවර ඉ‍ටුකර
නුඹ බුදු වෙනවා මතු සසරේ
නුඹ බුදු වෙනවා මතු සසරේ..

දරුවන් වෙනුවෙන් විඳි මහ දුක් කඳ
හැඬුමක් නොම විය නුඹගෙ ලයේ..//
දරුවන් හැඬුවත් සෙත් කවියක් වී
අම්මා කෙනෙකුට කඳුලු පිරේ
අම්මා කෙනෙකුට කඳුලු පිරේ..

මහමෙර මුදුනට නැඟලා බැලුවත්
ඊට උසයි නුඹෙ සෙනෙහස අම්මේ..
ලේ උණු දා මට කිරි පෙවුදා මට
සසල වුනා මහ පොලවත් අම්මේ
සසල වුනා මහ පොලවත් අම්මේ..

ගායනය: ගුණදාස කපුගේ
-------------------------------------------------------------------------------------------------------
කරලිය ළඟා කර ඉනිමන් ඇත දතන
වැඩිහිටි මහලු ගුරු වෙසෙනා තැන කොතන
කෙතල පටානෝ නිතරම උඩ යට යානෝ..
කෙතල පටානෝ නිතරම උඩ යට යානෝ..

හැන්දෙන් කමින් හැන්දට ගරහා සිටින
දුප්පත් එවුන් වෙනුවෙන් යයි හඬ තලන
පීඩිත අහිංසක ඇරයුම් ඉවතලන
කුමටද අපේ කත මුනිවත ‍රැක තිබෙන
කෙතල පටානෝ නිතරම උඩ යට යානෝ..
කෙතල පටානෝ නිතරම උඩ යට යානෝ..

දරු සෙනෙහසින් අත අල්ලා පෙර‍ටු කරන්
සිරිපා මුවින් අප කරලිය තුලට අරන්..
ඇසුවට මහල්ලගෙ වත ගොත කනින් කොනින්
ඉහිලිය නොහැකි බර පොදි බැඳ එලොව ගිහින්
කෙතල පටානෝ නිතරම උඩ යට යානෝ..
කෙතල පටානෝ නිතරම උඩ යට යානෝ..

ගායනය: ගුණදාස කපුගේ
-------------------------------------------------------------------------------------------------------
රුවන් ගෙන මව නික්මුන වී මා තනි වුන අඳුරක..
ගොඩ වී දුක සැප විමසන අවරගලේ තරුවේ..
මගෙ පැටවුන් ගිය රටකට පායාපන් තරුවේ..
මා මල විට පුංචි උන්ට පායාපන් තරුවේ..

උන් තනිවී බියෙන් සැකෙන් ඉර ගිලුනට බරක් දි දී..
වැස්ස වලා පමා නොවී අවරගලේ තරුවේ..
මා වෙනුවට පුංචි උන්ට පායාපන් තරුවේ..
උන්ගෙ කඳුලු ලිහිල් වෙන්න පායාපන් තරුවේ..

දිනෙක මගේ දරුවන්ගේ හෙවන නිමා නොවුනේ
සැඳෑ අඳුර උදා වෙද්දි අවරගලේ තරුවේ..
ඒ හෙවනැලි ලිහිල් වෙන්න පායාපන් තරුවේ..
සෝඩි කකුල් ලිහිල් වෙන්න පායාපන් තරුවේ..

සංගීතය / ගායනය - ගුණදාස කපුගේ
ගී පද : රන්බණ්ඩා සෙනෙවිරත්න
-------------------------------------------------------------------------------------------------------
අඳුර වැටී එයි වේදිකාව මත
දුම්රිය ඇවිදින් කතා කරන සඳ..
ගොලුවත සඟවා කතා කරමු අපි
නෙතුපිය පටලා බලා හිඳිමු අපි..

බලා ඉන්න බැහැ දෙනුවන් රතු වෙයි..
බලා ඉන්න බැහැ දුම්රිය පැමිණෙයි..
පමා වෙන්න බැහැ ගෙදරින් පැමිණෙයි..
ළංව ඉන්න බැහැ මිනිසුන් හමුවෙයි..

අඳුර වැටී එයි වේදිකාව මත
දුම්රිය ඇවිදින් කතා කරන සඳ..
ගොලුවත සඟවා කතා කරමු අපි
නෙතුපිය පටලා බලා හිඳිමු අපි..

නින්ද නොයෙන රෑ හිම වැටෙනා සඳ
‍රැස් වූ පිරිසෙන් ගිය හැටි මතකද..
නැවතත් ආවේ නැත්තේ යන්නට
වැස්සක් එනතුරු බලා හිඳිමු අපි..

ගායනය: ගුණදාස කපුගේ 
-------------------------------------------------------------------------------------------------------
පාලු අමු සොහොනේ..
සක්වල ගලේ හෙවනේ
වින කරන යකුනේ..
වරෙව් මේ දොල ගන්න බැරි වෙයි
වරෙව් මේ දොල ගන්න බැරි වෙයි..

ඉන්න වෙලේ ගිරි මුදුනේ මදන යකා..
අන්ධකාර සෙවනැල්ලෙන් ඇදෙන යකා..
නින්ද වැටී සිටි මගෙ පුතු ගෙන සැනෙකා..
කන්ද දෙසට කැන්දන්නේ මන්ද යකා..

මහ ‍රැයක ගෙට පැන
මගෙ පොඩි එකා ඩැහැගෙන..
ගියේ උරා බී ගෙන..
ගියා මහ මඟ දමා මළකුණ
ගියා මහ මඟ දමා මළකුණ..

කාටත් දොසක් නොමැතිව මගෙ පුතු හැදුවේ
මේ පත් විපත කෙලෙසක ඉවසමි ඉතිනේ..
ජීවත් වෙලා මොකටද පුතු නැති සඳිනේ..
මාවත් අරන් පල මල සොහොනට යකුනේ..
මාවත් අරන් පල මල සොහොනට යකුනේ

ගායනය: ගුණදාස කපුගේ 
-------------------------------------------------------------------------------------------------------
බිතු සිතුවම් රූ මෙන් පැවතී
හිත මිතුරන් විරසක නොවැටී
එක මලකට පෙම් බැන්ද පවින්
මිතුරු දමින්.. සමු ගමුද ඉතින්
හෙවනැල්ලෙන් සමු ගමුද ඉතින්

මතකයෙ නෑ මට ඔබ පෙම් කල වග
කීවා නම් මා පෙම් කරන්නෙ නෑ තව
මොටදෝ පෙමකට නොහිඳී සතුටින්
අප දෙදෙනා සමු ගත යුතු නෑ නෑ

බිතු සිතුවම් රූ මෙන් පැවතී
හිත මිතුරන් විරසක නොවැටී
එක මලකට පෙම් බැන්ද පවින්
මිතුරු දමින්.. සමු ගමුද ඉතින්
හෙවනැල්ලෙන් සමු ගමුද ඉතින්

තරුට කියන්නම් මා පෙම් නොකරන වග
සමාවෙයන්කෝ මට ඕනෑ මිතු දම
බැඳි පෙම ජයගෙන සතුටින් ඉනු මැන
මා නම් හිත රිදවන්නේ නෑ නෑ

බිතු සිතුවම් රූ මෙන් පැවතී
හිත මිතුරන් විරසක නොවැටී
එක මලකට පෙම් බැන්ද පවින්
මිතුරු දමින්.. සමු ගමුද ඉතින්
හෙවනැල්ලෙන් සමු ගමුද ඉතින්
මිතුරු දමින්.. සමු ගමුද ඉතින්
හෙවනැල්ලෙන් සමු ගමුද ඉතින්

ගායනය: ගුණදාස කපුගේ සමඟ ලක්ෂ්මන් හේවාවිතාරණ
-------------------------------------------------------------------------------------------------------
සරසවි කඳුලු පාය 
ගුටි කෑ කරුණු බොහොය
දුක් විඳ ඇඬුවෙ රෑ දනන්
රට ගැන හිතුව සොහොයුරන්
ඒකයි කඳුලු මේ තරම්..

සටනට පෙරට ආව 
සරසවි කඳුලු පෑන කැඩුවේ වීර දූ පුතුන්
සරසවි කඳුලු මාල සොරකම් කරපු දාය
දිනුවේ පපුව ගින්දරෙන්
ඒකයි කඳුලු මේ තරම්..

සරසවි කඳුලු පාය 
ගුටි කෑ කරුණු බොහොය
දුක් විඳ ඇඬුවෙ රෑ දනන්
රට ගැන හිතුව සොහොයුරන්
ඒකයි කඳුලු මේ තරම්..

සරසවි කඳුලු යාය ගම් බිම් පැතිර යාය
සටනට කඳුලු බත් බැඳන්
පරහිත තරුණයාය පෙර මඟ කොඩිය දාය
රට තොට බඳිව් මහ තොරන්
රට තොට බඳිව් මහ තොරන්..

සරසවි කඳුලු පාය 
ගුටි කෑ කරුණු බොහොය
දුක් විඳ ඇඬුවෙ රෑ දනන්
රට ගැන හිතුව සොහොයුරන්
ඒකයි කඳුලු මේ තරම්..

ගායනය: ගුණදාස කපුගේ සමඟ එඩ්වඩ් ජයකොඩි
ගී පද : රඹුකන සිද්ධාර්ථ හිමි
-------------------------------------------------------------------------------------------------------
රැලි පාලම් සුදු පාවඩ නැතිවත් යන ගමනේ
ලේ පැල්ලම් තනි මංසල පාර කියන්නේ

පිළිමල්ලන් කර පින්නනා
අමු සොහොනේ සඟවා
දිනුවා ද ලොවක් - දිනුවේ ද කුමක්

මං දිනුවයි අසුරු සැනින්
අස්වැසුමක් ලැබූ ඔබම
හැරී බලන් ගෙල හරවා
තණ්හා උල් හොටක් අමෝරා
ගිජුලිහිණියන් පිළිකන්නේ
හොල්මන් කරනා

ස්මුදුර ගං හෝ පරයා
ඔබ වැගිරූ මිනිස් ලෙයින්
අපරාජිත මිනිස් ලොවක්
කවුරුද ලැබුවේ

සහස් පහන් සිළු දිළි රූ
කළු කම්බිලි ඇඟ පොරවා
කණවැල අල්ලා යන්නේ
අක්මුල් නැති ගමනක් දෝ

ගී පද -අජන්තා රණසිංහ
සංගීතය- වික්ටර් රත්නායක
ගායනය- ගුණදාස කපුගේ
-------------------------------------------------------------------------------------------------------
සලන සුසුම සැඩ සුළඟයි
ගලන කඳුළු වැසි වතුරයි
දුකින් වෙළී අන්ධකාරයේ
යන මේ ගමනේ
අපේ පැතුම් නැවුම් ලොවට පාර කියනවා

ජීවිතයේ පීඩිත හද වේදනා යටින්
රණ ගීයක ජය නාදය ඈත ඇසෙනවා
මේ ගමනට ඒ ගීයෙන් දිරිය ලැබෙනවා

පහන් තරුව පායා එන
නවෝදයට දොර අරින්න
ඔබේ දෑත අපට දෙන්න
සොහෝයුරනි - සොහොයුරියනි

සංගීතය / ගායනය - ගුණදාස කපුගේ
ගී පද - මහගම සේකර
-------------------------------------------------------------------------------------------------------
හී සර වැදුණු පසුව නෑ රඟ මඩල උරුම
කිඳුරු කුමාරියනි මට යන්න අවසරයි
මේ රජ ඇඳුම් වලට මා අස්වසනු හැකිද
කිඳුරු කුමරුවාණනෙ මං තවම ඔබගෙ මයි

මල් පෙති බැන්ද ගෙලට රන්දම් පළඳවන්න
අගනගරයට එන්න ඔබට අත වනයි
සඳගිරි පව්ව මිසෙක නුහුරුයි ඈත නුවර
නුපුරුදු දෙපා බියෙන් සැලී පටලැවෙයි

හී සර වැදුණු පසුව නෑ රඟ මඩල උරුම
කිඳුරු කුමාරියනි මට යන්න අවසරයි
මේ රජ ඇඳුම් වලට මා අස්වසනු හැකිද
කිඳුරු කුමරුවාණනෙ මං තවම ඔබගෙ මයි

කමතේ අඳුර අතැර එන්නැයි සුපිරි ලොවට
කැමරා විදුලි බුබුලු ඔබට ඉඟි මරයි
ඊතල වලට මිසක බිය නෑ කාසි වලට
නිළියක නොවේ මෙමා තවම කිඳුරියයි..

හී සර වැදුණු පසුව නෑ රඟ මඩල උරුම
කිඳුරු කුමාරියනි මට යන්න අවසරයි
මේ රජ ඇඳුම් වලට මා අස්වසනු හැකිද
කිඳුරු කුමරුවාණනෙ මං තවම ඔබගෙ මයි

ගායනය - ගුණදාස කපුගේ සමඟ මාලිනී බුලත්සිංහල
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
-------------------------------------------------------------------------------------------------------
ඝාතකයා.. ඝාතකයා
සූ සැට දහසක් ජීවිත බිලිගත් ඝාතකයා..
ලෝහිත ගඟුලේ.. නොනිදා ගැලවූ පාලකයා..
කවුරුද කියා දියන් ලංකා ඉතිහාසේ
කවුරුද කියා දියන් ලංකා ඉතිහාසේ.. 
ඝාතකයා.. ඝාතකයා..

සඟ වෙද ගුරු ගොවි කම්කරුවන්
නීතිවේදියන් ලේඛකයන්..
එක්කර කම්කරු නායකයන්
දරු දැරියන් නව යෞවනයන්..
බිලිගත් ඝාතකයා..
කවුරුද කියා දියන් ලංකා ඉතිහාසේ
කවුරුද කියා දියන් ලංකා ඉතිහාසේ.. 
ඝාතකයා.. ඝාතකයා..

කුංචනාද කල මහ ගිජිඳුන්
සිංහ නාද පෑ සිහ රජිඳුන්..
කොඳු ඇට පෙල සිඳ පාලුව ලන්නට
හිංසා කරගත් නායකයා..
කවුරුද කියා දියන් ලංකා ඉතිහාසේ
කවුරුද කියා දියන් ලංකා ඉතිහාසේ.. 
ඝාතකයා.. ඝාතකයා..

එකම ඇසකින් දකිමින් බලි බිලි.. සැණකෙලි
එකම අතින් දරමින් යුද වැදි.. ගිනි අවි
එකම හදින් කියමින් සෙත්කවි.. වස්කවි
ඇස් ඇති දුර්ජන ඉන්ද්‍රජාලිකයා..
කවුරුද කියා දියන් ලංකා ඉතිහාසේ
කවුරුද කියා දියන් ලංකා ඉතිහාසේ.. 

ගායනය: ගුණදාස කපුගේ සමඟ නන්දා මාලිනී ඇතුලු පිරිස
-------------------------------------------------------------------------------------------------------
සුමුදු කුමුදක් පිපී පුරුදු සුවඳක් ගෙනෙයි
සොලොස් කලා පිරි සඳක් සිනාසෙන මේ රාත්‍රි යාමයේ.. 
මං බාලේ උර තලයේ රන්දා අනන්ත ආදරයෙන්
දුන්න ඔවා මට තාම ඇසේ රහසේ
පියාණනේ.. පියාණනේ..
පියාණනේ.. පියාණනේ..

ආශිර්වාද ඇසේ ලොවෙන් නින්දා වරුසාවන් අතරේ
මට දැනුදු දැනේ.. ඔබේ අගේ දිවා ‍රැයේ
නින්දා අභියස මහමෙර වන් පියාණනේ..

මල් මාලා ගෙලට ඇතී අවමන් වරුසාවන් අතරින්
මට දැනුදු ඇසේ.. ඔබේ අගේ දිවා ‍රැයේ
අවමන් අභියස නොසැලී හුන් ඔබේ සෙනේ..

සුමුදු කුමුදක් පිපී පුරුදු සුවඳක් ගෙනෙයි
සොලොස් කලා පිරි සඳක් සිනාසෙන මේ රාත්‍රි යාමයේ.. 
මං බාලේ උර තලයේ රන්දා අනන්ත ආදරයෙන්
දුන්න ඔවා මට තාම ඇසේ රහසේ
පියාණනේ.. පියාණනේ..
පියාණනේ.. පියාණනේ..

ගායනය: ගුණදාස කපුගේ
-------------------------------------------------------------------------------------------------------
මල් තරුණ සමය
රන් මසුරන් වටිනා නිසා
කිසි දිනක නොයනු
සොහොයුරනේ ගැතියන් නියා...

ඔබෙ අතමයි හෙට දවසේ
මගෙ රට දියුණුව ඇත්තේ
අද අඳුරෙහි ඔබ ගිලුනොත්
මගෙ රට පර හට අත්වේ
සැම තප්පරයක් පාසා
දැය දියුණට සිත ගත පා
එන්න සොයුර එන්න මිතුර
පෙරට පා තබා

දැය දිනුවොත් අපි දිනුවා
මුළු ලොව අප හට යට වෙ
ලොව දිනුවත් අප පැරදී
මොකටද පළ නැත සොයුරේ
එනු මැන සොයුරනි අප හා
නැගුමට ඔබ දිනු රට දැය
එන්න සොයුර එන්න මිතුර
පෙරට පා තබා

ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: ගුණදාස කපුගේ
ගායනය: ගුණදාස කපුගේ, කාන්ති වික්‍රමසිංහ ඇතුළු පිරිස
-------------------------------------------------------------------------------------------------------
උන්මාද සිතුවම් මැවී පෙනේ
මීදුම වලා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිණිගත් හදවත්
තනිවේවි එක්ටැම්ගේ

දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කොට සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනිවේවි එක්ටැම්ගේ

අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාළු හුදකලා සුළඟ පමණි උරුමේ
හඞා වැටෙන් සිත සදාසරණ මට
තනිවේවි එක්ටැම්ගේ

දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කොට සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනිවේවි එක්ටැම්ගේ

ගායනය : ගුණදාස කපුගේ
සංගීතය : සරත් දසනායක
ගී පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
-------------------------------------------------------------------------------------------------------
විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැළී
නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ

එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා
ඔබේ හඬ කිදී සිදී යයි
කතා සරිත් සාගරේ

සුරාගෙන පිරූ විතේ
විසුළු කෙලි නැටුම් සිනා
යොමා ඇස බලන් යළි සොඳුරේ
මැදුරු දොර දිහා

දෙන්න කන්න බොන්න නොකියා
දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා

ඔබේ මන්දිරෙන් එහා
මගේ ලොව බලා සිටී
පළා යයි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී

සංගීතය / ගායනය - ගුණදාස කපුගේ
ගී පද - ලූෂන් බුලත්සිංහල.
-------------------------------------------------------------------------------------------------------
සීත පිණිබිඳු කඳුළු සළනා
මලානික තරු වැළපෙනා
පාළුමාවත තනිවෙලා
නැගණියේ නුඹ කා පතාදෝ
මඟ බලා ඉන්නේ

සොයුරියන් ලොව වෙසෙන නුඹ වන්
සැතපෙනා මේ මැදියමේ
නුඹට ඒ සුව අහිමි වී ඇත
අඳුරු මහමග උරුම වී ඇත

සොයුරියන් ඇති අයම නුඹවන්
නිසා මහමග උරුම වූ
නුඹට ගරහන රුදු ලොවක් මිස
හඳුණගන්නා හදවතක් වෙද

ගායනය :ගුණදාස කපුගේ 
සංගීතය :රෝහණ වීරසිංහ 
ගී පද :කුලරත්න ආරියවංශ 
-------------------------------------------------------------------------------------------------------
ලෙළිතළන නුඹෙ අතට
රන්මුදුව ගොරහැඩිද දෝණී
සෙනසුරුට පෙම්බඳින දෝණී

නෙලූ රංකෙඳි අතුල යහනේ
ප්‍රේමයේ ඇටසැකිළි සැතපේ
මනමාළකම් කරන නිවට දුප්පත්කුමරු
බින්න බැහැලා වගෙයි ගෙපැලේ

ලෙළි දමන පල්වතුර පොකුණේ
රන්පියුම නැතිද තව පිපුනේ
තලාපං දෝණියේ ඉඟිමරණ කුරිරුකම්
සෙනසුරා හැර දුවයි අපලේ...

ගී පද :රත්න ශ්‍රී විජේසිංහ 
සංගීතය / ගායනය - ගුණදාස කපුගේ
-------------------------------------------------------------------------------------------------------
ලොවේ දුක දැක දයාබර වී 
නෙතින් කඳුලක් නොහෙලුවේ නම් 
ඔබේ නාමෙන් කුමට සත්සර රාව නංවා 
හිඳිමි ගොළුවී මං….

දුගී දෑතට අත්වැලක් වී 
දිරිය සවිබල නොපිරුවේනම් 
කුමට සත්සර රාව නංවා 
හිඳිමි ගොළුවී මං….

මගේ මේ ගී ඔබේ ලයගිනි නිවනු වෙනුවට 
අවුලුවානම් කුමට සත්සර රාව නංවා 
හිඳිමි ගොළුවී මං…..

ගී පද - පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි 
සංගීතය / ගායනය - ගුණදාස කපුගේ
-------------------------------------------------------------------------------------------------------
මාරියාවේ.....මාරියාවේ ...මාරියාවේ ...
ඔහෙ නවතින්නේ
සමාවෙලා මේ දුක අහපන්නේ
වියරු විලාසෙන් ඇයිනුඹ එන්නේ
වලාලයට ඉඩදී පලයන්නේ

නුඹ ආදා සිට නිවුනු ලිපේගිනි
හදතුල මෙලවී ඇවිලෙන්නේ
මේ දුක්දෙන්නට ඇයිනුඹ එන්නේ
වලාලයට ඉඩදි පලයන්නේ

නුඹ ආදා සිට පැල අඳුරේමයි
සතුට සාම සොම්නස නොරැදෙන්නේ
මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ
වලාලයට ඉඩ දි පලයන්නේ
මාරියාවේ..

ගී පද :උදය මානවසිංහ
සංගීතය :සේන ජයන්ත වීරසේකර 
ගායනය :ගුණදාස කපුගේ
-------------------------------------------------------------------------------------------------------
ඒ කමතෙත් සිංහලයෝ
මේ කමතෙත් සිංහලයෝ
කමත මැදින් හරක් වළේ
වටකරගෙන ගොයම් කොළේ
අඬහැරපානා අඬැරපානා
ඕරයිරේ ඔයිරාමා
කොළමැඩපන් ඔයිරාමා

දියබැඳලා පුරන්කොටා එකයායට වී වපුරා
සිංහලකෙත සරුකරලා අස්වනු ගෙන්වා
රන්ලියබඳු රන්කෙවිටෙන් රිදී නගුල්
ඕරයිරේ ඔයිරාමා කොළමැඩපන් ඔයිරාමා

සූර්ය දෙවියනේ අප රැකගන්නේ
චන්ද්‍ර දෙවියනේ වරමක් දෙන්නේ
ඕරයිරේ ඔයිරාමා 
කොළ මැඩපන් ඔයිරාමා

අලුත් බතක් ගෙට ගන්නයි
අලුත් ලොවක් දැකගන්නයි
හෙල ජාතික සමගිබලේ සවිමත් වේවා

ගී පද:ප්‍රභාත් මානවසිංහ 
සංගීතය / ගායනය - ගුණදාස කපුගේ 
 -------------------------------------------------------------------------------------------------------
රාත්‍රිය මම වෙමිය සුදුමල් කැකුළ
පිනිබරව හෙට උදෑසන පිපෙන මල් කැකුළ
ගනඳුරේ සැඟව ඇති ශාන්‍තිය හා නින්ද
ඔබට පුද දී දෙනත පියා හිඳිනෙමි සොඳුර

මලක් වී හෙට උදේ ඔබ පිපෙන සුබ මොහොත
කලක් සිට මම බලාගෙන හිඳිමි පිය කැකුල
වසන්තය සේ පැමිණ හොරෙන් යම්කිසි දිනෙක
ඔබේ පෙති අතර පිනිබිඳක් වී සැඟවෙමිය

ඔබ එලිය වූ මොහොත මම අඳුර වෙමි සොඳුර 
ඔබ ජලය වූ සඳෙහි මම පවස වෙමි නිබඳ
දිගම දිග රාත්‍රිය සෙමෙන් පියවර මනින
මලක්වී හරි ඒ ප්‍රභාතය ඔබය 

ගී පද :ඩබ්. ඒ .අබේසිංහ 
සංගීතය / ගායනය - ගුණදාස කපුගේ.
 -------------------------------------------------------------------------------------------------------
කියව මඟිය එනු කොහි සිට
හසර නොදැන යනු කොතැනට
ගිරිකුලු දහසකි හිස පිට
ගිනි පුපුරුය දෙපතුල යට

කාන්තාරයේ.. නිරුදක කාන්තාරයේ..
ආදරයේ පහන් තරුව පෙරදිග අහසේ බැබලුණ
නිවී ගියා.. රෑ මැදියම යලි ආවේ නෑ අලුයම
ඒ ආදර පහන් තරුව පායා එනතුරු ද ගමන

ආදරයේ කුසුම් ගොමුව කෝටි ගණන් මල් සුපිපුණ
දැවී ගියා.. ලැව් ගිනි මැද යලි පිපුණේ නෑ කිසි දින
ඒ ආදර කුසුම් ගොමුව විකසිත වනතුරු ද ගමන

ගායනය : ගුණදාස කපුගේ
 -------------------------------------------------------------------------------------------------------
පිහිටක් නැති සරණක් නැති
සතුටක් ඇති මුහුණක් නැති
මේ සසර දනව්වේ....
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා....බුදු හාමුදුරුවනේ.....

හබලක් නැති ඔරුවක් ඇති
මිනිසුන් වෙති වෙරලක් නැති
සසර දනව්වෙ...
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ.....

නිවනක් ඇති ගෙදරක් නැති
ගමනක් වෙති වෙහෙසක් නැති
මේ සසර දනව්වේ....
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ.....

ගායනය/සංගීතය : ගුනදාස කපුගෙ
ගී පද - රඹුක්කන සිද්ධාර්ථ හිමි
 -------------------------------------------------------------------------------------------------------
නා කොළ අන්දම් පෙන නොවටින්නේ
බෝ කොළ අන්දම් පෙනය දියන්නේ
පෙනේ නැතුව අපි කොහොමද ඉන්නේ
සමාවෙයන් නයි හාමී
සමාවෙයන් නයි හාමී..

දරමිටි බඳිනා කඹය කියාවි
දරණුව හදනා වළද කියාවි
කැබිලිති අරගෙන ගැරඬි නටාවී
පෙනේ නැතුව අපි අසරණ වේවී
පෙනේ දියන් නයි හාමී
පෙනේ දියන් නයි හාමී..

ඉහින් කනින් හිස වැගිරෙන ලෝකේ
හිසෙන් නුඹේ පණ නැති වග තේරේ
සුළං යැවූ මේ සර්ප විමානේ
හොඳින් ඉන්න අපටත් සං‍තෝසේ
පෙනේ දියන් නයි හාමී
පෙනේ දියන් නයි හාමී..

ගායනය - ගුණදාස කපුගේ
 -------------------------------------------------------------------------------------------------------
ප.ලි.
ගුණදාස කපුගේ නම් අපේ අසාහය ගායකයා ගැන කලක සිට ලියන්නට හිටියත් ඒක හැමදාම පරක්කු වුනා .දිවයින පුවත් පතේ පළවූ මේ ලිපිය දුටු විට මම මොනවා ලියන්නද කියලා හිතුනා .මෙතන ලියන්න ,කියන්න තියන ඔක්කොම තියනවා .මගේ කිසිම දායකත්වයක් නම් නැ ...(දැන් ඉතින් බැනපියව් ) කියවලා බලන්න ..නිතරම නොඇසෙන ගීත වල පද වැල් ටිකක් එකතු කළා ...

ප.ප.ලි.
නෙළුම්යායෙන් සංගීත අංශයේන් තුන්වන තැනට සම්මානයක් ලැබුනා නොවැ ..එකටත් ෆුල් හැපී .ගන්න යන්න බැරි වුනා.ඒ ගැන  නෙළුන් අජිත් ඇතුළු හැමගෙන් සමාව ඉල්ලනවා ...

76 comments:

  1. දවසේ කරදර කර උඩ
    ගෙට ඇවිදින් ගෙයි පිල උඩ
    මූදේ කර වටක් ගිලී ඉර හිනැහෙන්නේ
    සසර දුකට මේ හැටි ඇයි
    අපි ලතැවෙන්නේ..

    දවසක් පරක්කුයි මල්ලි.. මම උඹ මේ පොස්ට් එක ඊයේ දායි කියලා බලං හිටියා..

    වැඩිය ඇහෙන්නේ නැති මල් මසුරන් සින්දු ටික.. ෆ්‍රොම් වන් ඇන්ඩ් ඔන්ලි සිංදු ඇනොගෙන් .. උඹ අර ලබ්බේ බුකියේ රෙජිස්ටර් වෙච්චි එක ගැන මගේ බලවත් මෙව්වා එක..

    ReplyDelete
    Replies
    1. වෙලාවකට මටත් හිතෙනවා බං බුකියට වෙලා ඉන්ඩ

      Delete
    2. ස්තුතියි කමියෝ ...මේක ඊයේ පබිලිස් වෙන්න දාලා තිබුනේ ...අද උදේ බැලුවේ මචෝ ..බුකියේ වැඩ ගොඩක් තිබුනා ...හැක හැක ...
      බුකියේ රෙජිස්ටර් වුනේ නැ බන්..බ්ලොග් වල එක දිගටම කියවන්න දෙයක් තිබුනෙම නැති නිසා ඒ පැත්තට ගියේ ...

      Delete
    3. @අටමෝ & කසුටු ...උඹලා කොහොමත් ඉන්නවානේ ඒ පැත්තේ ..

      Delete
    4. සින්දු බ්ලොග් කොච්චර තියනවද කියවන්නම

      Delete
  2. කපුගේගෙ හඬින් නැඟෙන්නේ අපේ යටිසිතේ දෝංකාරයයි..අපට කපුගේ මෙතරම් සමීප ඒ නිසයි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති මචෝ ...මට කපුගේ කාලයක් එපා කෙරෙව්වා "සුර්යකාන්තලා" ...කොහොම වුනත් උන් හින්දා කපුගේ නැවත ජනප්‍රිය වුනා ..
      ස්තුතියි මචෝ ..ජයවේවා !!!

      Delete
  3. සමහර මිනිස්සු ඉන්නවා පුරෝගන්න බලන. ඒ අතර බෙදාගන්න හදන ජීවිතේ විඳින, හැකි හැම විටම අතහරින මිනිසුන් කිහිප දෙනෙකුත් ඉන්නවා. එයින් අයෙකු කපුගේ.. ඊටත් වඩා ඔහු සමාජයට ආදරය කරන කෙනෙක්. කළාකරුවා කියන්නේ එහෙම කෙනෙක් තමා. නමුත් බහුතරය කළාකරුවන් නෙමෙයි..

    කපුගේ ගැන සුන්දර මතකයක් තියෙනවා. ඒක මියෙන තුරාම පවතීවි..

    ReplyDelete
    Replies
    1. නළා කාරයෝ ගොඩක් අතර කළා කාරයෙක් කිව්වොත් හරි ද මචෝ ...
      ජයවේවා !!!
      (නෙළුන් යායේදී මම වෙනුවෙන් සම්මානය ගන්න ගිය එකට මාගේ ස්තුතිය ..හැක් හැක් )

      Delete
    2. ඒත් අන්තිම තත්පරේ හිතුනා මට නැති සම්මාන මොකට ගන්නවද කියල මං සුරුස් ගාලා දොරෙන් මාරු උනා.. හැක්

      Delete
    3. අන්තිමට පුකත් නැ අඹුඩෙත් නැ ...හැක්

      Delete
  4. කපුගේගෙ ආච්චිට හාල් ගරන්න කොයි වේලාවේද යකෝ මම අහලා නැති සින්දු දෙකක් මු කියලානේ ..
    චෑ චෑ මෙහම විලි ලැජාවක් යකෝ මං හිතාගෙන හිටියේ පුරේ කොල්ලෝ කපුගේගේ බාප්පා ගේ පුතා කියලා
    ඇයි කපු මට මෙහම විලි ලැජාවක් කරේ දැන් ඉතින් මම අර සින්දුවට මුණ දෙන්නේ කොහමද ..

    මචෝ සුමනෝ සින්දුව දාපංකෝ

    ReplyDelete
    Replies
    1. එකම දේ කියන්න එපා මෙන්ඩා. උඹ මීට අවුරුදු දෙකකට විතර කලිනුත් ඔය කතාවම කි්ව්වා මට මතකයි.. හැක්

      Delete
    2. එලද බ්‍රා ...!!!!

      පබළු නඟේ නාමල් තිලකේ
      පුංචි ඔසරි මැණිකේ
      සුමනෝ... උඹ ඇයි නැත්තේ

      වැවේ දියේ ඇති නිකින්නි නිල්ලේ
      අඩ හඳ යායට කෙකටිය පිපිලා
      වැව් කන්දේ බෝ ගස් හෙවනේ
      මම අද තනියම ඔළිඳ ගනිනවා
      වෙනදා වාගෙම තල මල් පිපිලා
      තිබුණට ඇළ ළඟ වත්තේ
      සුමනෝ... උඹ ඇයි නැත්තේ

      මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ
      මිහින්තලා ගල පැත්තේ
      පිරුවට හැඳ පෙට්ටියක තියාලා
      පහන් දෙකක එළි මැද්දේ
      මදටිය වැටෙද්දි හඳ කැලතෙන ඇළ
      ඒ දණ්ඩේ ඉස්මත්තේ
      සුමනෝ... උඹ ඇයි නැත්තේ

      සංගීතය / ගායනය - ගුණදාස කපුගේ
      ගී පද - රං බණ්ඩා සෙනෙවිරත්න

      Delete
    3. @දේශා
      ඇත්ත මචෝ එදත් මු දාලා තිබුනේ මම අහලා නැති සින්දුවක් අද දෙකක් ඉතින් කොහමද අපි කාලා ඇදලා ඉන්නේ

      Delete
  5. ආදරණීය කපුගේ..
    ගිහිං එන්න..

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි පත්තර මල්ලි ...!!!!
      නැවත එන්න ..

      @#$%&*()_+ $#%@#

      Delete
  6. ආදරණීය කපුගේ....අපි කොච්චර පිස්සුවැටිලා හිටිය ගායකයෙක්ද? ඒ කටහඬට වශීවුන තරමක්...හැමදාම හිතන් හිටියේ කපුගේගේ ඔක්කොම සි/න්දු අහලා තියනවා කියලා.ඒත් මේ ලඟදීත් "ඇසුවත් නෑසෙන දුටුවත් නොදකින" අහලා ඒක බොරුවක් බවට පත්කලා.ඒ නහයෙන් පිටවන ගැඹුරු කටහඬ මනුස්සකම කියන්නේ මොකද්ද කියලා රටටම පෙන්නුවා.සංගීතමය පැත්තෙන් බැළුවොත් හිටපු විශිෂ්ඨතමයා ඔහු නොවෙන්න පුළුවන්.ඒත් අපේ පරම්පරාවේ විශිෂ්ඨතමයා ඔහුයි.

    "ඝාතකයා" සිංදුවේ ලින්ක් එකක් තියනවනම් එවපන්.7 වසරේදී විතර ඕක ඇහුවේ නන්දා මාලනියගේ කැසට් පටයකින්.එදා ඉදන් ඕක හොයනවා.තාම හම්බවුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. අපි කොච්චර පිස්සුවැටිලා හිටිය ගායකයෙක්ද?
      ++++++++++++++++++++++++++++++++++++
      දේශා කියලා තියනවා වාගේ කටක් ඇරලා කළාකරුවෙක් කියලා කියන්න පුළුවන් මනුස්සයෙක් ...
      බොහොම ස්තුතියි කසුට්ටෝ ...

      Delete
  7. අහෝ! කපුගේ ඔබ අවසානයේ ජාතිවාදී අසූචි ගොඩට වැටුනේ ඇයි ?

    ReplyDelete
  8. හොඳ විස්තරයක් සිංදුවෝ.අපට එතරම් සමීප නැති ගීත කීපයකුත් දීල තියෙනවා නේද.බොහොම සතුටුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලපේ අය්යේ ..මම මෙතනට එකතු කලේ නිතර ඇහෙන්නේ නැති ගීත ටිකක් ..

      Delete
  9. සින්දුවෝ............. ගායකයෙක් වුණ හැබෑ මිනිහෙක් ගැන කතාවක් තමා අද උඹ කියලා තියෙන්නේ...... කපුගේගෙන් අපේ මිනිස්සු උගත යුතු පාඩම මනුස්සකම කියලයි අපිටනං හිතෙන්නේ.... කපුගේ කියන්නේ හැම මිනිහෙක්ට ම සින්දු කියපු ගායකයෙක්.... අනික් බහුතර ගායකයෝ හැම ජනකොට්ඨාශයකට ම ආමන්ත්‍රණය කරලා නැහැ..... ඒ නිසා කපුගේ විශේෂයි.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුරුට්ටෝ ..කියන්න තියන ඔක්කොම උඹලා කියලා තියනවානේ ...ප්‍රේම් ලා කපුගේලා නැති කළා ලෝකයක් ගැන හිතාගන්නත් බෑ වාගේ නේද ?

      Delete
    2. // ප්‍රේම් ලා කපුගේලා නැති කළා ලෝකයක් ගැන හිතාගන්නත් බෑ වාගේ නේද ?//

      කොල්ලො කුරුට්ටො එක්කහු වෙලා සිංදුවක් අල්ලද්දි එකම සිංදුව දෙපාරක් කියන සිංදු තියෙන්නෙ අතේ ඇඟිලි ගානට මචං..
      එතනින් එක අතක් තනිකරම කපුගේගෙ !!!!!
      ආයෙ උන්දැට වෙනිං මොන සම්මානදෑ……

      Delete
    3. කපුගේ කියන්නේ කොහොමත් අතේ සල්ලි වියදං කරගෙන අනුන් වෙනුවෙන් සින්දු හදපු, තනු ගොතපු, ගීත කියපු මිනිහෙක්.... අපි සින්දුවක් ලියාගෙන ගියත් ඒක තමන්ගේ වැඩක් කරගෙන කපුගේ කියනවා ෂුවර්...... ඒ තරම් මනුස්සකමක් තිබුණ කලාකරුවෙක්..... කපුගේගේ මනුස්සකම හොරාකාපු සංවිධායකයොත් බොහොමයක් ඉන්නවා... කපුගේට ආරාධනා කරලා බොන්න දීලා සින්දු කිව්වා ම පාරවල් අයිනේ දාලා ගිය පිරිසත් බොහොමයි... උන්ට මේවා රිදෙනවා ඇති.. ඒත් ඇත්ත මේකයි..... කැම්පස් වලට ආවා ම සින්දු කියන්න කලින් කොල්ලෝ එක්ක එකට සෙට් වෙලා රෑටත් කොල්ලොන්ගේ හොස්ටල් එකකම නිදාගෙන දෙන සල්ලි ටික උන්ට ම දීලා එන මනුස්සයෙක් තමා කපුගේ.... ඉතින් කපුගේ ගැන තවත් කතා මොකට ද ??????????

      Delete
  10. ඒ නාට්‍යයට සම්බන්ධ සියඵ කලාකරුවන්ගේ පරණ පිනකට වාසනාවකට තාරාවෝ ඉගිළෙති යටි අරුත එවක රාජ රාජමහමත්‍යයන්ට දැනගන්නට නොලැබී ඇති සෙයක්‌ මට හැගේ
    ්‍ර(පසුව එසේ වූවාදැයි නොදනී)

    එසේවූවා නම් ගුවන් විදුලියේ සුභසාධක සංගමයට ආධාර පිනිස ඒ නාට්‍යය තෝරානෙගැනෙනු ඇත

    එවකට තිබුණු එකම විද්Hqත් මාධ්‍යය වූ ගුවන් විදුලියෙන් ඉහත කරුණ නිසා ඒ නාට්‍යයට අසමිත ප්‍රචාරයක්‌ ලැබීම ලුෂන් බුලත්සිංහලයන්ගේ හා කන්ඩායමට ආශිර්වාදයක්‌මය

    උදේ දවල් රැ සෝබාව දේ ගීතය පට්‌ට ගසන ලදී (1981 කාලයේ)

    ලංකාව සිංගප්පූරුවක්‌ කරනවා යෑයි පාරම් බෑ බලධාරින්ට එල්ල කළ සියුම් ප්‍රහාරයකි ඒ නාට්‍යය

    ඇණෝ මාමේ

    මේක දිග වැඩියි කොට කරවා නම් හොඳා ආ ආ ආ යි ........

    ජය ශ්‍රී

    ReplyDelete
    Replies
    1. රාජසුරිය මහත්තයා වාගේ අපි වාසනාවන්ත වුනේ නැ වෙවැනි කලාකරුවන් ඇසුරු කරන්න .එත් වාසනාවට ඔබතුමාලා ඒ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නා එකම ලොකු දෙයක් ..
      ගී පද ටික තමා දිගට තියෙන්නේ ...
      ජයවේවා !!!

      Delete

  11. ඕන්න මාත් ආවා..නියම හඩ පෞරුෂයක් තිබුන ගායකයෙක් තමයි කපුගේකියන්නේ.. මං කැමති “හොඳටම කෙට්ටු වෙලා ගණ දෙවි රූපේ" මේ වෙලාවේ ඒ සිංදුවේ මුල අමතකයි... රත්නශ්‍රී ලියපු කපුගේ කියන සිංදු ටිකත් හරිම අගෙයි.

    ReplyDelete
    Replies
    1. සාධරයෙන් පිලිගන්නවා නිර්මාණි .....මෙන්න

      අල්ලට ශිල්ප සිඟා සරසවි පාරේ
      වල් කොල අතට නිඳා බෝඩින් යානේ..
      හොඳටම කෙට්ටු වෙලා ගණ දෙවි රූපේ
      පාළුයි සිහින විමානේ.. පාළුයි සිහින විමානේ..

      සූ සැට ශිල්ප කලා සල් පිළකට නොගැනේ
      හඳ එළියෙන් කිසිදා ළිප ගිනි දැල් නොනැගේ
      සත් රුවනින් වැසි වස්සන මන්තර ගුරුකම් හුරු කල
      කොම්පියුටර් නොදැනේ..... කොම්පියුටර් නොදැනේ.....

      ඡන්දෙට පැල් රැක්කා ගිනි තැප්පට සරියේ
      මව් පිය කඳුලු වැටී සහතික පත් මැකුනේ
      රන් අකුරින් නම ලියවුනු රන් කැටි පුතුනට පමණයි
      සිංහාසන සැදුනේ........ සිංහාසන සැදුනේ........

      ගායනය - ගුණදාස කපුගේ

      Delete
    2. බොහොම ස්තුතී සිංදු සිංදුවේ වචන ටිකට. මේ සිංදුව ලියුවේ කවුද??

      Delete
    3. ගී පද - රත්න ශ්‍රී විජේසිංහ

      Delete
  12. කපුගේ කියන්නේ අපි හැමෝගෙම ගායකයා.මම හිතන්නේ නැහැ ජනතාවාදී ගායකයා ලෙස කපුගේ දැරූ කිරුල දරන්න පුළුවන් අයෙකු තව ඇතැයි කියා.

    ReplyDelete
    Replies
    1. ජනතාවාදී ගායකයා
      ++++++++++++++++++++
      මෙන්න මේක තමයි ඇත්ත මනෝජ් ..

      Delete
  13. අනේ බං අයියණ්ඩී... මං හිතාගෙන හිටියෙ මං කපුගේගෙ හැම ගීතයක්ම වගේ අහල තියෙනවා කියලා.මොකද ඔහු මගේ ප්‍රියතම ගායකයා නිසා.මගේ ලෝකෙ වීරයෙක් හින්ද.ඒත් අද මට විළිලැජ්ජාවෙ බෑ... ඔහු අපව හැරගිහින් දහතුන් අවුරුද්දක් ගිහින්..ඒත් අපිට අපි මැරෙනකල්වත් එතුමාගේ හැම ගීයක්ම අහන්න බැරිවෙයිද.. අපි තාමත් කොතනද ඉන්නෙ.

    අනේ කපුගේ හිටියනම්.. හැබෑවටම ඔහුගෙ හඬ ඇහෙනවනම්..

    ReplyDelete
    Replies
    1. ලජ්ජා වෙන්න දෙයක් නැ මනෝ ...තව අපි අහපු නැති සින්දු කියක් නම් ඇද්ද ?
      ජයවේවා !!

      Delete
    2. මනෝ
      උබත් මම වගේ කලිසම ගලවලා ඔලුවේ ඔතා ගනනින්

      Delete
  14. කපුගේ කලින්ම මල එක හොඳයි... නැත්නම් එයාට දිවිය ළෝකේ යන්න බැරි වෙනවා... මරලා හරි ගනිමු සෑර් කියන ටීම් එකේ අනිවාර්ය සමාජිකයෙක් වෙනවා...

    ReplyDelete
    Replies
    1. හොඳ මිනිස්සු ඉක්මනින් යනවා මාතේ ......

      Delete
    2. අරුමේ කිම වඳවෙන සඳ හිරු සදිසි මිනිස්සු..

      Delete
  15. ඔහුට කළහැකි උපරිමය ඔහු කළා. එය ආදර්ශයට ගෙන ඉදිරියට යන අය නැතිවීම ගැනයි දුක.

    ReplyDelete
    Replies
    1. විචා ,,දැන් ඉන්නේ බිසිනොස් කාරයෝ මිසක් කළා කාරයෝ නෙවෙයි ..ජනතා වාදී කලාකරුවෝ නැ ...

      Delete
  16. මේකේ තියෙන සින්දු ගොඩක් ඒවා අහල නැහැ...
    කපුගේ කියන්නේ මමත් ගොඩක් ආස ගායකයෙක්...

    උඹ අහල තියෙනවද මේ සින්දුව,

    නිර්මලා නම් දැරිය හිමි සළු වඩන මැණිකේ නිර්මලා...
    මල් හිනා නුඹේ තැවරිලා කිරි ඉද්ද මල් වැට පීදිලා...
    කුල ගෙවල් සැරසිලි කලත් අපි සළු වඩා පාවඩ හෙළා...
    නිර්මලා නිර්මල නැතැයි මා ඔබේ ලොවින් පිටමං කලා...

    මේක අහම්බෙන් අහන්න ලැබිච්ච මම ආසම සිංදුවක්...

    ///ඝාතකයා.. ඝාතකයා
    සූ සැට දහසක් ජීවිත බිලිගත් ඝාතකයා..
    ලෝහිත ගඟුලේ.. නොනිදා ගැලවූ පාලකයා..
    කවුරුද කියා දියන් ලංකා ඉතිහාසේ
    කවුරුද කියා දියන් ලංකා ඉතිහාසේ..
    ඝාතකයා.. ඝාතකයා..

    සඟ වෙද ගුරු ගොවි කම්කරුවන්
    නීතිවේදියන් ලේඛකයන්..
    එක්කර කම්කරු නායකයන්
    දරු දැරියන් නව යෞවනයන්..
    බිලිගත් ඝාතකයා..
    කවුරුද කියා දියන් ලංකා ඉතිහාසේ
    කවුරුද කියා දියන් ලංකා ඉතිහාසේ..
    ඝාතකයා.. ඝාතකයා.. ///

    මේ සිංදුව ප්‍රසිද්ධ කලා කියල රනිල් උඹව අල්ලලා හිරේ දායිද දන්නේ නැහැ...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අඩේ...ඕක දැරිය නෙමෙයි.ඇහෙන්නෙනම් එහෙම තමයි .ඒත් හරිවචනේ
      නිර්මලා නම් ලොන්ඩරිය හිමි සළු වඩන මැනිකේ නිර්මලා...."

      Delete
    3. "නම් ලොන්ඩරියත්" නෙමෙයි බං.
      "නිර්මලා ලොන්ඩරිය හිමි සළු වඩන මැනිකේ නිර්මලා"

      ලොන්ඩරිය කියන එක කෑලි දෙකකට කියන්නේ.ලොන්....ඩරිය කියලා.ලොන් කියන එක ඇහෙන්නේ නම් වගේ.ඩරිය කියන එක ඇහෙන්නේ දැරිය වගේ.

      Delete
    4. සමාවෙයන් කටුස්සෝ ..මම වැඩිය බැලුවේ නැ වචන ටික දිහා ..ලොකු වැරද්දක් වුනේ ..මෙන්න හැදුවා ...

      නිර්මලා ලොන්ඩරිය හිමි සළු
      වඩන මැණිකේ නිර්මලා..
      මල් හිනා නුඹෙ තැවරිලා කිරි
      ඉද්ද මල්වැට පීදිලා..

      කුල ගෙවල් සැරසිලි කළත් අපි
      සළු වඩා පාවඩ එලා..
      නිර්මලා නිර්මල නැතැයි මා
      ඔබෙ ලොවින් පිටමන් කළා..

      පන්තියේ මිතුරන් එදා කළ
      විහිළුවෙන් හිත රිදුනු දා..
      මා හෙළුෑ කඳුළක් මගේ දින
      පොතක තිබිලා හමුවුනා..

      යුධ වැදී නෑ සියන් බළමුළු
      අපේ ලොව ගිනි වැදුනු දා..
      මා හෙළුෑ කදුලින් තෙමූ සළු
      පිළි තවම නෑ වේලිලා..

      දොවා ලන්නට බැරි පිළී ගඳ
      කහට කුලමල තවරලා..
      මගෙ ඇදුම් ඔබෙ අතට දෙන එක
      දරන්නට බෑ නිර්මලා..

      එදා සෙනෙහස නොකිලිටිව ඔබෙ
      හිත පුරා පවතින නිසා..
      හිමිනැතත් මට හුරු සුවඳ ඒ
      ඇඳුම් අතරේ තියනවා..

      නිර්මලා...

      ගායනය : ගුණදාස කපුගේ, නිරන්ජලා සරෝජිනී
      පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
      සංගීතය : ගුණදාස කපුගේ

      Delete
    5. ලොන්ඩරිය කියල කිව්වම එහෙම ඇහෙනවා, නමුත් මට හිතෙන විදිහට ඒ වචනය ඒ සින්දුවේ අර්ථය සහමුලින්ම කාල දානවා...
      කුල බේදය නිසා නතරවෙන පාසල් කාලයේ ලස්සන ආදරයක් ඒ එක වචනෙන් අතරමං කරලා දානවා...

      මම මේ පැදි පෙලෙන් දැක්කේ ඉස්කෝලේ කාලේ ඇති වෙච්ච අහිංසක ආදරයක් කුල බේදය නිසා නතර වෙන බවත්, කුලයෙන් ඉහල අයගේ ගෙවල් වල සිදු කෙරෙන රෙදි නැන්දා කෙනෙකුගේ කටයුත්තක් මිසක් ලොන්ඩරියක් තුලින් සිදුකරන කටයුත්තක් නෙමෙයි කියලත්...

      ///දොවා ලන්නට බැරි පිළී ගඳ
      කහට කුලමල තවරලා..
      මගෙ ඇදුම් ඔබෙ අතට දෙන එක
      දරන්නට බෑ නිර්මලා..///
      මෙතනින් මම දකින්නේ කුලමල නිසා අත්හැරුණු තම ආදරවන්තියගේ අතට තමාගේ ඇඳුම් සේදීමට දෙන එක ගැන ඇතිවෙන පසුතැවිල්ල නෙවේද...
      එවැනි හැඟීමක් ඇති වෙන්නේ ලොන්ඩරියක් ආශ්‍රිතවද, එහෙමත් නැත්නම් කුලයෙන් ඉහල ගෙවල් වල අයගේ රෙදි සෝදමින්, උත්සව කටයුතු වල පාවඩ එලන වැඩ කරන තරුණ රෙදි නැන්දා කෙනෙක් ආශ්‍රිතවද...

      අනේ මන්දා බං රත්න ශ්‍රී ත්...

      Delete
  17. මමත් හිතන් හිටියෙ මම කපුගේ ගෙ සිංදු ඔක්කොම අහල තියනව කියල. මෙතන තියන සිංදු තුනක් අහල නෑ. උඹ එදා සම්මාණ උත්සවේ දවසෙ හම්බවෙන්න බලාපොරොත්තුවෙන් හිටියෙ.

    ReplyDelete
    Replies
    1. එදා එන්නම තමයි හිටියේ මචෝ ..අත්‍යවශ්‍ය කටයුත්තක් නිසා එන්න බැරි වුනා ...

      Delete
  18. සින්දු දානවාටත් වඩා මං කැමති එකක් තමයි සින්දු ඇනෝ ගීත, ගායකයින්, පද රචකයින් හා සංගීතඥයන් ගැන කතා දාන එක.

    ReplyDelete
    Replies
    1. මමත් ප්‍රා ගායකයි ගැන කියනවාට වඩා පද රචකයින් හා සංගීතඥයන් ගැන කතාකරන්න ...
      ඒ දෙගොල්ල ගැන කවුරුත් කතා කරන්නේ නැ ...
      ස්තුතියි මචෝ ...

      Delete
  19. කපුගේ කියන්නෙ ගායකයෙක් නෙමෙයි යුගයක්. ඒ යුගය අපි එක්කම ඉවර වෙයි!


    මෙන්න ඔබ නැසූ කපුගේගේ සහ අමරා රණතුන්ගගේ එක්ටැම් ගේ.

    මේ සින්දුවත් අහල තියෙද බලහන්.




    ReplyDelete
    Replies
    1. කපුගේ කියන්නෙ ගායකයෙක් නෙමෙයි යුගයක්. ඒ යුගය අපි එක්කම ඉවර වෙයි!
      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
      සිංහයෝ දුකෙන් වුනත් කියන්න තියන ඇත්ත මෙන්න මේක තමයි ...
      ගීත දෙකනම් අහලා තියනවා ...
      "කියව මගිය " ගීතය බිතු සිතුවම් ෆිල්ම් එකේ ගීතයක් නේද ..
      ලිව්වේ සුනිල් ආරියරත්න , සංගීතය සරත් දසනායක ගේ ..

      ජයවේවා !!!

      Delete
    2. ඒත් ඕගොල්ලන්ගෙන් පස්සෙ යුගයෙ ඉපදුණ අපිත් කපුගේට අප්‍රමාණ ව ආදරෙයි.. ඔහු එහෙම අමතක කරන්න පුළුවන් කෙනෙක් නොවෙයි..!

      Delete
  20. බොහෝ දේ කියන්නට නෑ.කපුගේ කියන්නේ ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වූ සුන්දර ම මනුෂ්‍යෙයක්.. ඒ වගෙම පපුව රිදවන කටහඬක්.. තමන්ගෙ අරමුණ වෙනුවෙන් පෙනී සිටිය මිනිසෙක්..

    මේ එක දවසක් මං ඔහු ගැන ලියා තැබූවක්.

    http://wehimandarama.blogspot.com/2013/04/blog-post.html

    ReplyDelete
  21. ස්තුතියි මචං මේ විස්තරවලට.
    කපුගේ කියන්නේ අසහාය ගායකයෙක්ගේ වගේම ඒ කටහඩ නොමියෙන කටහඩක්

    ReplyDelete
    Replies
    1. කපුගේ කියන්නේ අසහාය ගායකයෙක්ගේ වගේම ඒ කටහඩ නොමියෙන කටහඩක්++++++++++++++++++++++සමාවෙයන් රිප්ලයි පරක්කු උනාට

      Delete
  22. කපුගේ මගේ මල්ලිගෙ ප්‍රියතම සිංහල ගායකයා ඒ දවස්වල නම්. දැන් නම් කොහොමද දන්නේ නෑ.

    මම මේ හැටි විස්තරයක් නම් කපුගේ ගැන දෙනගෙන හිටියේ නෑ. ආණ්ඩුවක් මාරුවෙන ගානේ ඔය ආණ්ඩුවේ මාධ්‍ය ආයතනවල වැඩ කරන උන් මාරු වෙනවා. ඒක ලංකාවෙ සම්ප්‍රදාය.

    උඹේ ජයග්‍රහණයට මගේ ඩෙනිමේ සහ මගේ සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඩුඩ් අයියේ ...

      Delete
  23. Replies
    1. බලපන් උඹ කපුගේගෙ මම ආසම සින්දුව මෙතන ලියලා නෑනේ

      සේද සිහින සුදු දුන්හිඳ ඔබ
      උස සීත නමුණුකුළ ගිරි හිස මම
      මූණ බලාගෙන මේ විදියට
      මතු ජාති ජාතියෙත් උපදින්නද.............

      නීල නුවන් නිල් තරු එළියට
      පෙම් ගීත ගයන මළ හිරුදෝ මම
      පාරමිතාවෙන් යළි උපදින
      බැස යන්නද ජීවිත පියගැටපෙළ.............

      මාළිගාව ළඟ පය පාමුල
      සුදු නෙළුමද මම සඳකඩ පහනක
      නාද නගන සඳ සඳළුව මත
      ඉමි පාද සළඹ ගීයට පෙම් බැඳ............

      https://www.youtube.com/watch?v=uGpZdYv4n_8

      Delete
    2. ජිවිතේට අහලා නැහැ

      Delete
    3. මමත් බැලුවේ නිතරම ඇහෙන්නේ නැති ගීත සෙට් එකක් දාන්න ...මේක මිස් වෙලා මචෝ ...බොහොම ස්තුතියි !!

      @අජිත් අයියා menna
      https://www.youtube.com/watch?v=XJedpIY7yzg

      Delete
  24. සින්දුනෝ, ඔබ අකමැති කොමෙන්ටු වලටත් ඉඩ දෙන්න. නියම සංවාදය එවිටයි.

    ReplyDelete
    Replies
    1. කෙමෙන්ටු වාරණයක් කරලා නැහැ මම දන්නා තරමින්

      Delete
  25. //"තාරාවෝ ඉගිලිති" වේදිකා ගත වූ එක්‌ දිනෙක එය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්‍ෂකයන් අතර එවකට ගුවන් විදුලි සංස්‌ථා සභාපති ඒමන් කාරිය කරවන මහතාද සිටියේය. නාට්‍යයේ නිර්මාණාත්මක සංගීතයෙන් අපමණ රසයක්‌ විඳි ඔහුට ගුණදාස කපුගේ නම් විශිෂ්ට සංගීත වේදියාගේ සේවය කිසියම් නිලධාරි පිරිසකගේ වුවමනා එපාකම් මත තම සංස්‌ථාවට අහිමි කොට ඇති බව සැළවිය. වහාම ක්‍රියාත්මක වන ලෙස ඊළඟ සතියේදී කපුගේ නැවත සේවයේ පිහිටුවන ලද්දේ එහි ප්‍රතිඵලයක්‌ ලෙසයි// හැම රජයකම හිටි පහළ නිලධාරීන් කල/කරන අනුවන ක්‍රියා

    ReplyDelete
    Replies
    1. හැම රජයකම හිටි පහළ නිලධාරීන් කල/කරන අනුවන ක්‍රියා++++++++++++++++++++++++++++++++++

      Delete
  26. ඇත්තම කියනවා නම් සින්දු ඇනොගෙන් ලිපියක් බලාපොරොත්තු වුන කපුගේ ගේ උපන් දිනයද. දාන්න එකක් හොයා ගන්න බැරි වුණා. දිවයිනේ එකක් නිසා මම දැම්මේ නැහැ. බ්ලොග් ලිපියක් කවුරුත් ලියල නැහැ නේද?

    ReplyDelete