Monday, December 19, 2016

"නුඹේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින්"


මම එබඳු වෙනත් මිනිසකු ගැන නොදනිමි. මා දන්නා මහලු ම ඉලන්දාරියා ඔහු ය. නූගත් ම උගතා ඔහු ය. වඩාත් ම ගැමි නාගරිකයා ද ඔහු ය. එසේ ම වාණිජකරණයට හසු නොවී, ගමට වී පාඩුවේ, උපේක්ෂා සහගතව සිටින, අලෙවි වීමට වඩාත්ම විභවයක් සහිත නිර්මාණකරුවා ද ඔහු වන්නේ ය. මා එසේ පවසන්නේ ඇයි?

ගල්ගමුවේ මොරගොල්ලාගම මඩදොඹේ විදුහලෙන් හේ හෝඩිය පමණක් සමත් විය. හෝඩිය පමණක් සමත්ව සාහිත්‍ය අනුමණ්ඩලය නියෝජනය කළ එක ම ලාංකිකයා පොඩිරත්න අඟමලේ විය යුතු ය. එමෙන් ම, ඔහු සිංහල භාෂාව ඉතා ම ව්‍යක්තව හසුරවන අතළොස්සක් දෙනාගෙන් කෙනෙකි. ඔහු ලියා ඇති කාව්‍ය, ගීත හා කෙටි කතා කියවන ඔබට, සමහර විට ගැටපද විවරණ අවශ්‍යයැයි හැඟෙන්නේ එහෙයිනි . ඔහු දමිළ බස ද ඉතා ව්‍යක්තව හසුරුවයි. දමිළ බසින් අලංකාරව අකුරු අමුණයි. ඔහුගේ ඉංගිරිසිය ද ජාම බේරා ගැනීමට ප්‍රමාණවත් ය. හෝඩියට පමණක් අධ්‍යාපනය ලැබූ මේ නූගතා තරම් උගතෙක් නැතැයි මා පැවසුවේ එහෙයිනි. ජාතික රූපවාහිනිය හා ජාතික පුවත්පත් නිබඳවම ඔහුගේ සේවය බලාපොරොත්තු වුව ද, වාණිජකරණය ඔහුට රුචි නොවේ.

හැටපහ පැන්නද ඔහුගේ මිතුරන් බොහෝ දෙනෙක් තරුණයෝ ය. ඔහු තරම් ප්‍රශ්නයක් දෙස නවීන ලෙස බැලීමට හා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සමත් තරුණයන් කීදෙනෙක් අප අතර සිටීදැයි ප්‍රශ්නයකි. චින්තනයෙන් පමණක් නොවේ. ගතින් ද ඔහු තරුණයෙකි. හේ ප්‍රාංශු දේහධාරී ය. නිරෝගී ය. මුහුණ සිනාවෙන් ප්‍රභාමත් ය. ඔහු හඳුනාගැනීමට නම් ඔබ භාෂණයේදී මනාව ඉවසිලිමත් විය යුතුයි. ඔහු පවසන දෙයට සූක්ෂ්මව සවන් දිය යුතු ය. ඔහු දිගහරින ජීවන අත්දැකීම් පමණක් නොව, ඒවා පිළිබඳ ඔහුගේ දැක්ම ද ග්‍රහණය කරගත යුතු ය. කතාබහට ඔහු ගමන් සඟයකු වැනි ය.

මේ ආඛ්‍යානය තරමක අතිශෝක්තීන්ගෙන් ගහන බව ඔබ දැනටමත් තීරණය කර සිටිනවා විය හැකි ය. එහෙත්, මේ යථාර්ථය බව මම නැවතත් ඔබට පවසමි. හොඳයි ,ඔහුගේ මේ කථනයට සවන් දෙන්න.