Monday, December 19, 2016

"නුඹේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින්"


මම එබඳු වෙනත් මිනිසකු ගැන නොදනිමි. මා දන්නා මහලු ම ඉලන්දාරියා ඔහු ය. නූගත් ම උගතා ඔහු ය. වඩාත් ම ගැමි නාගරිකයා ද ඔහු ය. එසේ ම වාණිජකරණයට හසු නොවී, ගමට වී පාඩුවේ, උපේක්ෂා සහගතව සිටින, අලෙවි වීමට වඩාත්ම විභවයක් සහිත නිර්මාණකරුවා ද ඔහු වන්නේ ය. මා එසේ පවසන්නේ ඇයි?

ගල්ගමුවේ මොරගොල්ලාගම මඩදොඹේ විදුහලෙන් හේ හෝඩිය පමණක් සමත් විය. හෝඩිය පමණක් සමත්ව සාහිත්‍ය අනුමණ්ඩලය නියෝජනය කළ එක ම ලාංකිකයා පොඩිරත්න අඟමලේ විය යුතු ය. එමෙන් ම, ඔහු සිංහල භාෂාව ඉතා ම ව්‍යක්තව හසුරවන අතළොස්සක් දෙනාගෙන් කෙනෙකි. ඔහු ලියා ඇති කාව්‍ය, ගීත හා කෙටි කතා කියවන ඔබට, සමහර විට ගැටපද විවරණ අවශ්‍යයැයි හැඟෙන්නේ එහෙයිනි . ඔහු දමිළ බස ද ඉතා ව්‍යක්තව හසුරුවයි. දමිළ බසින් අලංකාරව අකුරු අමුණයි. ඔහුගේ ඉංගිරිසිය ද ජාම බේරා ගැනීමට ප්‍රමාණවත් ය. හෝඩියට පමණක් අධ්‍යාපනය ලැබූ මේ නූගතා තරම් උගතෙක් නැතැයි මා පැවසුවේ එහෙයිනි. ජාතික රූපවාහිනිය හා ජාතික පුවත්පත් නිබඳවම ඔහුගේ සේවය බලාපොරොත්තු වුව ද, වාණිජකරණය ඔහුට රුචි නොවේ.

හැටපහ පැන්නද ඔහුගේ මිතුරන් බොහෝ දෙනෙක් තරුණයෝ ය. ඔහු තරම් ප්‍රශ්නයක් දෙස නවීන ලෙස බැලීමට හා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සමත් තරුණයන් කීදෙනෙක් අප අතර සිටීදැයි ප්‍රශ්නයකි. චින්තනයෙන් පමණක් නොවේ. ගතින් ද ඔහු තරුණයෙකි. හේ ප්‍රාංශු දේහධාරී ය. නිරෝගී ය. මුහුණ සිනාවෙන් ප්‍රභාමත් ය. ඔහු හඳුනාගැනීමට නම් ඔබ භාෂණයේදී මනාව ඉවසිලිමත් විය යුතුයි. ඔහු පවසන දෙයට සූක්ෂ්මව සවන් දිය යුතු ය. ඔහු දිගහරින ජීවන අත්දැකීම් පමණක් නොව, ඒවා පිළිබඳ ඔහුගේ දැක්ම ද ග්‍රහණය කරගත යුතු ය. කතාබහට ඔහු ගමන් සඟයකු වැනි ය.

මේ ආඛ්‍යානය තරමක අතිශෝක්තීන්ගෙන් ගහන බව ඔබ දැනටමත් තීරණය කර සිටිනවා විය හැකි ය. එහෙත්, මේ යථාර්ථය බව මම නැවතත් ඔබට පවසමි. හොඳයි ,ඔහුගේ මේ කථනයට සවන් දෙන්න.

“මම බස් රථ රියදුරෙක් විදියට ඔය කාලෙ අනුරාධපුර ඩිපෝවෙ වැඩ කළේ. බස් එක කැකිරාවෙදි කැඩුණා. අඳුරත් බෝවෙලා තිබුණෙ. මම කැකිරාව ඩිපෝව ළඟදි මගීන් බස්සලා ඒක හදාගන්න බස් එක ඩිපෝවට ගත්තා. දරුවෙක් වඩාගෙන බස් එකෙන් බැස්ස දුප්පත් පාට ගැහැනිය මට හොඳට මතකයි. මොකද , දරුවා අඬ අඬා හිටියෙ. ඒත් මම ඒ ගැන කිසි විමසීමක් කළේ නෑ. මම ඒ ගැන මට කවදාවත් සමාව දෙන්නෙ නෑ.”

ඔහු කතාව මදකට නතර කර , වචන අමතක වූවා සේ මදක් බලා හිඳ, නැවත හඬ අවදි කරයි.

“නොහිතපු විදියට බස් රථය අලුත්වැඩියා කර ගන්න පැය දෙකක් විතර ගියා. මම බස් එක හරවාගෙන පාරට එද්දි, බස් එකේ ආව මගීන් ඔක්කොම වෙන බස්වල නැගලා යන්න ගිහින්. අර අඬන ළමයා වඩාගෙන හිටි ගැහැනිය විතරක් තාමත් කළුවර දිහා බලාගෙන ඉන්නවා. මට එක පාරටම දැනුනා මොකක්දෝ හදාගන්න බැරි වැරැද්දක් සිදුවෙලා තියනවා කියලා. ඔව් , ඒ ගෑනිට දරුවට කන්න අරන් දෙන්නවත් වෙන බස් එකක නැගලා යන්නවත් අතේ සල්ලි තිබිලා නෑ. ඒ වෙලාවෙ සල්ලාල පිරිමියෙක් කරපු යෝජනාවකට කැමති වෙලා ඒකිගෙ චරිතෙ විකුණලා.”

ඒක තමයි පොඩි අයියා පාවිච්චි කරපු වචනෙ. ‘චරිතෙ විකුණලා’

“ඉතිං මම බොහොම කම්පාවට පත්වුණා මේ සිදධියෙන්. මම රුපියල් 25 ක් උන්දැගෙ අතේ තියලා, බස් එකට ගොඩවුණා. ඒත් ඒ මනුස්සයා බස් එකට ගොඩවුණේ නෑ. ජනේලෙන් රුපියල් විසිපහ මගෙ ඔඩොක්කුවට විසි කළා.

“මම ආපහු හැරෙනවා මහත්තයෝ. මම දැන් ඒ ගමන යන්න සුදුසු නෑ. ආපහු අම්මලාගෙ ගෙදර යනවා.”

මට මගෙ හෘදය සාක්ෂියෙන් ගැලවෙන්න බැරි වුණා. ඒත් මට ඒ ගෑනි ආයෙ කවදාවත් හමුවුණේ නෑ. මම හිත හදාගත්තෙ ඒ සිද්ධිය පාදක කරගෙන කෙටිකතාවක් ලියලා. ඒක තමයි අම්බපාලී හමුවීම . ”

මේ කතාව ඔබට පවසන්නේ බස් රියැදුරෙකි. බස් රියැදුරකු සාහිත්‍යධරයකු වන්නේ, ඔහුගේ මේ මානව දයාව නිසා ය. ඔහු අවට සිදුවන ඛේදවාචකය හඳුනාගෙන, ඊට සංවේදී වීම නිසා ය. බස් රස්සාව පොතක් පතක් කියැවීමට හෝ සාහිත්‍ය නිර්මාණය කරන කටයුත්තකට විවේකයක් ලැබෙන රැකියාවක් නොවේ. ඩිපෝවෙන් දුර බැහැරක නම් බසය තුළ ම රැය පහන් කළයුතු වන්නේය. එමෙන් ම එය මහත් වෙහෙසකර රස්සාවක් වන්නේය.

වරෙක ඔහු නාච්චාදූව පැත්තෙ මඩවල පාරේ බස් ධාවනයේ යෙදුණේ ය.

ඔහු කොන්දොස්තරවරයාත් සමඟ දවසේ ධාවනය අවසන් කොට, සුපුරුදු පරිදි බසය ඇළ කණ්ඩියක් උඩ නවතා, බසය තුළ ම නිදාගන්නට සැරසුණේ ය. එවිට අමුත්තකු පැමිණ, පොඩි අයියාට පැවසුවේ, අසල නිවෙසක ගැබිනි කාන්තාවක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි.

“අපි මේ වෙලාවෙ කර අරින්න නරකයි. මේ ගෑනිව අනුරාධපුරේ ස්පිරිතාලෙට එක්ක යමු” පොඩි අයියා කොන්දොස්තරවරයාට යෝජනා කළේ ය.

“ මට ඔය වැඩේට හවුල්වෙලා රස්සාව නැතිකර ගන්න බෑ. තරහ වෙන්න එපා. ” කොන්දොස්තරවරයා ඊට එරෙහි වුණේ ය.

බසයක් ධාවන කාල සටහනට පිටින් ධාවනය කිරීම බරපතළ වරදක් බව ඔහු දනී. කොන්දොස්තර බසයෙන් බැස්සූ පොඩි අයියා, සිද්ධිය පිළිබඳ ලොග් සටහනක් තබා, තනියම බස් රථය පදවා ගෙන, ගැබිණි කාන්තාව ගේ නිවෙසට ගියේ ය. ඇගේ සැමියාත් සමඟ ඇය බස් රථයට නංවාගෙන, අනුරාධපුර රෝහල වෙත යන්නට පිටත් වුණේ ය.

අවාසනාවකි! වැඩි දුර යාමට පෙර ටිකට් පරීක්ෂක මහත්තුරු බසයට අත දැම්මෝය. එතැනදී ඇතිවුණු දෙබස කෙසේවත් පොඩි අයියාට වාසිදායක බවක් පෙනුණේ නැත. ඔවුන්ට රිසිසේ රාජකාරි කරන්නටැයි පැවසූ පොඩි අයියා, වේගයෙන් බසය පදවාගෙන අනුරාධපුර රෝහල වෙත ගොස් , විලිරුදාවෙන් කෑගසමින් සිටි කාන්තාව,

සැමියාත් සමඟ එකතුවී ඔසොවාගෙන රෝහලට දිව්වේ ය. ඇය වාට්ටටුවට ඇතුළු කිරීමටත් පෙර, ට්‍රොලිය මතදීම දරුවා ලැබුණි.

ටිකට් පරීක්ෂක මහත්වරුන් රියැදුරු පොඩිරත්න අඟමලේට ධාවන සටහනෙන් බැහැරව බස් රථය ධාවනය කිරීමට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළහ. එම කිලෝමීටර් ගණනට අදාළව දඩ මුදල ඔහුගෙන් අය කරගැනීමට තීරණය කෙරිණි.

මෙහිදී ඔහු විසින් තබා තිබූ ලොග් සටහන කියැවූ ඩිපෝ අධිකාරිවරයා, පොඩි අයියා වෙනුවෙන් එම දඩ මුදල ගෙවා ඇත්තේ ඔහුට ප්‍රසංශා ද කරමින්, නිලධාරීන් අතර ද උතුම් මනුස්සකම් ඇති බව පෙන්වමිනි. පොඩිරත්න අඟමලේ විසින් ලියා පළ කර ඇති 15 කට අධික පොත් හෝ පුවත්පත් ලිපි හෝ රූපවාහිනී වැඩසටහන් ගැන කතා නොකර , මෙසේ ඔහුගේ ජීවන අත්දැකීම් පිළිබඳ දිගින් දිගටම සඳහන් කරන්නේ මන්දැයි ඔබට සිතෙන්නට පුළුවන.

වර්තමාන කලාකරුවන් අතර පොඩිරත්න අඟමලේ දුර්ලභ චරිතයක් වන්නේ මන්ද? නිසි පරිදි ප්‍රාථමික පාසල් අධ්‍යාපනය පවා නොලත් ගැමි දරුවකු වන ඔහු උගත්තේ, ජීවිත තක්සලාවෙනි. එම දැනුම ඔහු සමාජයට දායාද කරන්නේ සකල විධ කලා මාධ්‍ය හරහා ය. විටෙක ඔහු කවියෙකි. තවත් විටෙක ගීත රචකයෙකි. තවත් විටෙක කෙටි කතාකරුවකු ද, තීරු ලිපි රචකයකු ද වෙයි. මේ කුමන මාධ්‍යක් හරහා වුව ද, ඔහු සමාජයට මුදාහරින්නේ මේ ජීවන අරගලයෙන් උපන් සංවේදනා ය. නිරන්තරයෙන් ඔහු පෙළූ අගහිඟකම් , නැතිබැරිකම් හමුවේ හැඟීම් විරහිත හිත් පිත් නැති හතරැස් මිනිසකු නොවී, එම අත්දැකීම් කාව්‍ය අනුභූති බවට පරිවර්තනය කොට , ඒ හරහා දයාර්ද බැල්මක් සමාජය වෙත හෙළීමට තරම් ඔහු උතුම් මිනිසකු වෙයි.

බලන්න!ඔහුගේ සෘජු අත්දැකීමක් කාව්‍ය අනුභූතියක් බවට පත්වී, ජීවිතයට ආදරේ හිතෙන ගේය පද රචනයක් වන අන්දම.

හඬන පොඩි පුතු නළවා ගන්නට නිදන මට රහසින් 
රැයේ තුන්යම නිදිවරා නුඹ නොවිඳිනා දුකකින් 
කහට පොද ගෙන කුරුලු කූජන සමග ළඟ ඉඳිමින් 
සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින් 

ලිහා බත් මුල බුදින මොහොතේ මිතුරු කැළ සමගින් 
වහා දස අත සුවඳ පිරුණා නුඹේ ගුණ සුවඳින් 
කම්හලේ දැති රෝද නැගු රළු පරළු හඬ අතරින් 
නුඹේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින් 

අපට අපමය පිහිට පිළිසරණයද යන හැඟුමින්
සැපත දුක ළඟ සමව සැනසී නිබඳ ඉවසීමෙන් 
මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන් 
සොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිදුන් 

ගී පද -පොඩිරත්න අඟමලේ 
ගී තනු - රෝහණ වීරසිංහ 
ගායනය - සුනිල් එදිරිසිංහ

සුනිල් එදිරිසිංහයන් ගයන මේ ගීය අනේක විධ දුක් කම් කටොළු විඳින බිරියක , ඒ සියල්ල විඳිමින්, තම සැමියා ගැන දක්වන නොසිඳ ගත් ආදර සැලකිල්ල පිළිබඳ කතාවයි. ඒ වෙනත් බිරියක් නොව, ඔහුගේම සහකාරියයි.

මේ ගීතය පිළිබඳ පේළියෙන් පේළිය විග්‍රහ කරන විචාර අවශ්‍ය නොවන්නේ ඇයි? එය එතරම් ම සරල හා අව්‍යාජ වන හෙයිනි. එහි කාව්‍යමය අලංකාරෝත්ති හෝ උපමා රූපක නොමැත. පොඩි අයියා ලංගම රියැදුරෙක් ලෙස සේවයට බැඳීම ද අපූරු කතාවකි. ඔහු උඩුවේරිය බෝධිරුක්ඛාරාමයේ පිරිවෙනේ හාමුදුරුවන්ගෙන් 5 ශ්‍රේණිය සමත් බවට අධ්‍යාපන සහතිකයක් ඉල්ලා සිටියේ ය. ඒ අදහසට එකඟ නොවූ උන්වහන්සේ, පොඩි අයියාට පුද්ගලික අපේක්ෂකයකු ලෙස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට කටයුතු යෙදූහ. මාස කීපයක් පෙළ පොත් කියවා විභාගයට මූණ දුන් පොඩි අයියාට ලැබුණේ විස්මයජනක ප්‍රතිඵලයකි. ඔහු විශිෂ්ට සම්මාන හතරක් සහිතව විභාගය සමත්ව තිබිණි.

ඒ පොඩි රත්නගේ විදිහයි. ඔහු ලැබෙන ඉඩ ප්‍රයෝජනයට ගනිමින් ඉදිරියට යයි. ඔහුට කලාකාරයකු වීම සඳහා ඔහුගේ මේ සහජ බුද්ධි ප්‍රභාව ද හේතු වූවා විය හැකි ය. ඔහුගේ ගී පද රචනා සඳහා බහුලව බලපා ඇත්තේ ජනශ්‍රැතියයි. මේ ගීය පද විමසා බලන්න.

මිහිකත නුහුලන බර උහුලන්නේ
හිතට බරක් නොදැනෙද අම්මේ
දෑසට ඔය හැටි කඳුළැලි එන්නේ
අහසින් වැහි වැහැලද අම්මේ
සැමට එපා වුණු දූ දරුවෝ ඇයි
නුඹට එපා නූනේ අම්මේ
දුක සඟවාගෙන සතුට බෙදන්නේ
නුඹ විතරයි ඒ ඇයි අම්මේ
රසමසවුළු දරුවනට පුදා
කුසගිනි දැරුවේ කොහොමද අම්මේ
නින්දා නෙක අපහාස ඇසෙද්දිත්
උහුලනුයේ කොහොමද අම්මේ
සියොගත රුහිරය කිරට හැරෙන්නේ
මොන බල මහිමයටද අම්මේ
කරුණා ගුණ ළය මඩල පිරෙන්නේ
අපි ලස්සන වෙන්නද අම්මේ..
අරුණක සුපිපුණු කුසුමක රැඳුණේ
නුඹගේ ගුණ සුවඳ ද අම්මේ
දෙරණත සිඹිනා මුදු මද නළ පොද
නුඹගේ මුව සුවඳ ද අම්මේ
නිරුදක කතරක කෙම්බිම වූයේ
ඒ සිහිලස සිහිලද අම්මේ
ඉර හඳ මහ සාගරය පොළෝ ගැබ
නුඹ මිස වෙන කවුරුද අම්මේ.

පොඩිරත්න අඟමලේ ගේ මේ කවිකම ඔස්සේ, මුදාහරින මානව ප්‍රේමය සමාජයට දායාදයකි. ඔහු රියැදුරකු ‍ලෙස බොහෝ මගීන් ගමනාන්තය කරා ගෙන ගියේ ය. කවියකු , ගීත රචකයකු මතු නොව, රාජ්‍ය සම්මාන ලාභී නාට්‍ය රචකයකු ලෙස ඔහු අපේ ජීවිත ගමනේ ගමන් සගයකුව, අපේ ජීවන දාහය පිසහරින්නේ ය.


ඉර තනියට ඉරවට යන ගිරවුන් දුටිමී..
සඳ තනියට සඳ මත ඇඳි සාවුන් දුටිමි..
මල තනියල පෙති සිඹිනා බමරුන් දුටිමී..
මගෙ තනියට නුඹ විතරක් නැතිබව දුටිමී..

කියූ කතා දහස් වරේ සවනට එනවා..
මැවූ මැදුරු නටඹුන් ලඟ සිත වැලපෙනවා..
නිවූ වේදනා ගිනි සියොලඟ මැලවෙනවා..
ගෙවූ දවස ඔච්චම් කර මට හිනැහෙනවා..

මා අතහැර නුඹ නොපෙනී ගිය මග ලඳුනේ..
මේ කඳුලිනි උඳුපියලිය පියවිලි හැදුනේ..
ඒ සිත තාමත් නැතිබව වෙනතක බැඳුනේ..
ඈ හට පවසනු මැන, පායන හිරු සඳුනේ..

පද රචනය - පොඩිරත්න අඟමලේ
සංගීතය - එම්. ආර්. චූලසිංහ
ගායනය - ඩබ්.ඩී. ආරියසිංහ

ජයන්ත කහටපිටිය
ඡායාරූපය-සාලිය ජයසේකර
----------------------------------------------------------------------------------------------------------
ප.ලි
දක්ෂ කෙටි­ක­තා­ක­රු­වකු, ගීත රච­ක­යකු සහ රංගන ශිල්පි­යකු වන පොඩි­රත්න අඟ­මලේ ප්‍රතිභා සම්පන්න කවි­යෙක් ද වෙයි. වෘත්ති­යෙන් රියැ­දු­රකු වූ පොඩි­රත්න අද විශ්‍රාම සුව­යෙන් පසු වේ. මිනි­ස­ත්කම මංමුළා වී අඳුරේ අත­පතගාන සම­යක, වන්නියේ අතු පැළ­කින් බිහි වී දණබඩගා දෙප­යින් සිට­ගත් පොඩි­රත්න අඟ­මලේ නමැති ප්‍රතිභා සම්පන්න ලේඛ­කයා පිළි­බඳ මෙම ලිපිය දිනමිණ පුවත්පතින් උපුටා ගත් බව කරුණාවෙන් සලකන්න .වටිනා විස්තරයක් නිසා හැමෝමත් එක්ක බෙදා ගන්න හිතුවේ ....

21 comments:

  1. පුවත්පතක ලිපියක් වුනත් උපුටාගෙන පළකරපු එක වටිනවා සින්දුවෝ.අපුරු මිනිසෙක්.මින් පෙර ඔහු ගැන මා නම් අසා තිබුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මම මෙතුමා ගැන ලිපියක් දාන්න හොයනකොට මේක හම්බ වුනේ මචෝ ..එක වටිනවා .ගොඩක් දෙනා මෙවැනි මිනිසුන් ගැන දන්නේ නැ ...අපේ මිඩියා වලට පින් සිද්දවෙන්න

      Delete
  2. අපෝ වැඩක් නෑ... ඩිග්‍රියක් නෑ නේ....

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත මාතේ ..පට්ට ගොඩේ පොරක් ...අනික සිටිබි කාරයෙක් නෙහ් .. හැක් හැක්

      Delete
  3. Replies
    1. ස්තුතියි මචෝ ..උඹ කොහොමත් මෙවැනි විස්තර වලට කැමතියිනේ

      Delete
  4. Very interesting Article Sindu Ano .. Never heard about him before

    Thanks for sharing this wonderful information

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රාජ්

      Delete
  5. කලින් අහලා තිබුන්නෑ... ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. සතුටුයි මචෝ ...ජයවේවා !!

      Delete
  6. මේ වගේ ලිපි මෙතනට ගෙනත් දාන එක බොහොම හොඳයි. පොඩිරත්න අඟමලේ ගැන මෙහෙම හරි කියවන්න ලැබෙනවනේ. මේ වගේ වැඩිපුර මාධ්‍ය තුල කතා නොවෙන චරිත තියෙනවා. එහෙම අය ගැනත් ලිපි හොයා ගන්න පුලුවන් නම් මරු සින්දු ඇනෝ. උදා..ඩැනිස්ටර් පෙරේරා, කේ. එම්. අයි. ස්‌වර්ණසිංහ,නාලක අංජන කුමාර,කරුණාරත්න විඡේවර්ධන, මහින්ද දිසානායක, මහින්ද චන්ද්‍රසේකර,

    ReplyDelete
    Replies
    1. අරූ අයියේ මේක ගේන්නත් පොඩි බයක් තිබුනා කට්ටිය බනියි කියලා ...එත් බැනුමට වඩා ලිපිය වටිනා නිසා ගෙනැත් දැම්මා ...මගේ හිතේ තියන ලොකු ආසාවක් තමයි මේ බ්ලොග් එකේ හැමෝම කතා නොකරන කලාකාරයෝ අඩුම තරමේ 100 ක් ගැනවත් ලිපි එකතු කරන්න ...බොහොම ස්තුතියි දිරිමත් කිරීම ගැන ..

      Delete
    2. ////හැමෝම කතා නොකරන කලාකාරයෝ අඩුම තරමේ 100 ක් ගැනවත් ලිපි////
      ++++++++++++++++

      Delete
  7. බුකියේ මේ ලිපිය කවුරු හරි දාල තිබුන. කියවනං හිතන් හිටියත් බැරි වුණා. මේ සින්දු අහල නැහැ. ඒත් හරවත් ඇඟට දැනෙන්න ලියපුව. ස්තුතියි දැම්මට. කෙටි කතා පොතත් හොයා ගන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මම බුකියේ මගේ වෝල් එකෙත් දාලා තිබුනා අයියේ ...
      ජයවවේවා !!

      Delete
  8. නියමයි සිංදුවො.. මේතරම් විස්තරයක් දැනගත්තෙ උඹෙන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝ ..

      Delete
  9. මේ චරිතය ගැන මම කවදාවත් අහලා තිබුනෙ නෑ....ඔහු ගැන තොරතුරු අප වෙත ගෙන ආවාට ස්තූතියි සින්දුවො.

    සිරා කොලුවා ඇතුලු බ්ලොග් නඩයක් දිඹුලාගල අසරණ පාසලකට උදව් වෙන වැඩ පිළිවෙලක් පටන් ගත්තා. කාමරේ පැත්තෙ අැවිත් බලලා හැකියාවක් තියෙනවා නම් සහයෝගයක් දියං...අපිට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ගොඩක් වටිනා මිනිස්සු ගැන ගොඩක් දෙනා දන්නේ නැ බන් ....
      ගොඩක් දවසකින් ඒ පැත්තේ එන්නත් බැරි වුනා ..ඇවිත් බලන්නම් මචෝ ..

      Delete
  10. පුරේ කොල්ලෙක් නම් ඉතින් එල ද බ්‍රා
    උබ දැකපු කල්

    ReplyDelete