Thursday, December 31, 2015

"ඉර හැරුනට ඇයි අඩන්නේ සඳක් උදා වෙන්නේ "




2015 ත් ඉවරයි ....2016 ට ඔන්න මෙන්න ..මොනා වෙන්නද එකත් ඉක්මනින්ම ඉවරවෙලා යයි .ඕන් එහෙනන් හැමෝටම "මිනිසත්කම සපිරි ශ්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා!!! " කියලා ප්‍රර්ථනා කරනවා ...ජයවේවා !!! 

++++++++++++++++++++++++++++++++++++++++++++++++
සිනාවයි ඉනාවයි සදා වාසනාවයි
නවෝදේ ප්‍රබෝදේ විනෝදෙ උදාවෙයි
නැටුම් ගැයුම් විහිළු තහළු ගමන් බිමන් යන්නේ
සිනාවෙන්ම පිනා ගොසින් මනාපයෙන් ඉන්නේ
වනේ කුසුම් නැත්නම් මී වාදයේ පැණිද නැත්තේ
සෙනේ මෙන්ම ගුනේ මිහිර මිතුරා ළඟ ඇත්තේ ......

සුවඳ හමන සඳුන් කඳක් පවා දිරා යන්නේ
ඉර හැරුනට ඇයි අඩන්නේ සඳක් උදා වෙන්නේ
නම්බු හොයලා හම්බ කරලා තට්ටු ගහලා ඉන්නේ
තුට්ටුවකුත් නැතිව නිකන් හිස් අතින්ම යන්නේ ......

ලෝකෙට අපි තෑගි කරමු හැම දේ හැම තිස්සේ
ලෝකෙම හොඳ එවිට ලැබෙයි අප වෙත තුති වැස්සේ
ඊයේ ආයේ නෑ හෙට වී එන්නේ
කාලා බිලා ඉන්නයි අද වෙන්නේ
වාද භේද බින්න බලය මත්තේ
වාසනාවේ පාර පෑදී ඇත්තේ .........

ගායනය - එම් .එස් ප්‍රනාන්දු
ගී පද - සිරිල් ඒ සීලවිමල
සංගීතය - ටී .එෆ් ලතිෆ්
(චිත්‍රපටිය- "සිනාවයි ඉනාවයි" - 1973)

"ගීතය මෙතැනින් "

Sunday, December 20, 2015

"මැව්වාද කව්රු ප්‍රේමේ මේ හින දීන ලෝකේ"


                                                 ඒ ශ්‍රී ලාංකීය සරළ ගී සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක් වූ 60- 70 දශකයි.ගායක එච්.ආර්. ජෝතිපාල,ඡේ. ඒ. මිල්ටන් පෙරේරා බඳු ගායකයන් ඒ යුගය සිය හඬ මාධූර්යයෙන් ඔපවත් කරද්දී ගේය පද කලාවට එවැනිම මෙහෙවරක්‌ කළ ගීත රචකයන් සුලභ නොවීය.ඇලෝයි ගුණවර්ධන එබඳු ගීත රචකයෙකි.

කොටහේන හිල් වීදියේ පදිංචිය අතහැර රාගම ප්‍රදේශයේ සුන්දර පරිසරයක පදිංචියට යාමත් සමඟ  ඒ ගැමි පරිසරය ඇලෝයිගේ සිතේ නැවුම් හැඟුම් ඇති කළා වන්නට ඇත . ඒ හැඟුම් කවි හා ගී පද ලෙස  ඔහුගේ පන්හිඳෙන් සටහන් විය..කොටහේනේ කුමාර සහ ගුණානන්ද විදුහල් වලින් අධ්‍යාපනය ලද ඇලෝයි නිවේදන, ගායන, කවි, නාට්‍ය සහ ගී පද රචනය වැනි කලා අංශයන්ට දස්කම් පෑහ ..1952 දී පමණ සිට කොටහේන හිල් වීදියේ මහවත්තේ ‘රත්තරන් පොත’, ‘ඇස් දෙක’, ‘කාගෙද පුටුව’ යන නාට්‍ය සහ වෙසක් නාට්‍ය ආදිය රචනා කර රඟ දැක්වූ අතර ,  1976 දී ලයනල් වෙන්ඩ් රඟහලේ එළිදැක් වූ ‘තාත්තයි පුතයි මමයි’ වේදිකා නාට්‍ය හා  ‘දකුණේ සිද්ධාර්ථ’ නාට්‍යයටත් රචනයෙන් ඇලෝයි ගුණවර්ධනයන් දායක වුහ.ඔහු නිර්මාණය කළ හැම වේදිකා නාට්‍යයකම ගීත රචනා සියල්ල ස්වතන්ත්‍ර නිර්මාණ විය .

Saturday, December 5, 2015

"ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් "



සිංහල ගීත අඹරේ සදා දිදුළන මහා පහන් ටැඹ පණ්ඩිත් අමරදේව ශුරින් අද දින සිය ප්‍රතාපවත් ජීවන ගමනේ 88 වන ජන්ම දිනය සමරයි.වන්නකු වත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා යන නමින් 1927 දෙසැම්බර් මස 5 වන දින වඩුගේ දොන් ජිනොරිස් සහ මැගී වෙස්ලියානා යන දෙපළට දාව මොරටුව, කොරලවැල්ලේදී  උපත ලැබූ එතුමන් හට සිය මව් පියන් නම් තබන ලද්දේ වාන්නකුල වත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා ලෙසින්ය.‘අමරදේව’ යන නාමය ඔහු ලැබුවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතිනි.මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විසින් ඇල්බට් පෙරේරා යන්න වෙනුවට ඩබ්ලිව්.ඞී. අමරදේව යන නම යෝජනා කරනු ලැබූ අතර එතැන් පටන් ඔහු ඩබ්ලිව්.ඞී. අමරදේව යන නම භාවිත කලේය .

Monday, November 30, 2015

"දකින දසුනේ දෙනෙත රැඳුනේ සොඳුරු රුව ඔබ වේ"




ගීතයක්‌ රස විඳින්නට විශේෂ තුන් කට්ටුවක සුසංයෝගය  ඉතා වැදගත් වෙයි. ගීතයක පදමාලාව ගායනය මෙන්ම ඊට ඉතා මියුරු තනු නිර්මාණයක්‌ ඇතුළත් නොවුණහොත් එය සාර්ථක ගීතයක්‌ ලෙස අපේ හදවතේ සදාකාලිකව සටහන් නොවේ.

* දකින දසුනේ දෙනෙත රැඳුනේ සොඳුරු රුව ඔබ වේ....
* හිටින්න පොඩ්ඩක්‌ හිටින්න දුවන්නේ ඇයි ඔයා..
* හංස ධෙනුව හංසයාගේ
* පැන පැන එන සඳේ
* සීතලේ මල්වනේ පාවෙලා 
* හද සන්තානේ ඇති සන්තෝසේ
* ආදරණීය බබෝ 
* ප්‍රංශයෙන් රැජන ආවා 
* ඈත වනපෙත සරසාලා
* පායයි මේ රෑ සඳවතී 
* අලුත් කලාවක් හොයා ගත්තා මං
* නොයිඳුල් වන මල්,  
                                        ආදි ජනප්‍රිය ගීත වල තනු හා සංගීතය නිර්මාණය කල සංගීතවේදියා මතකද ? ඔබට විස්වාස කිරීමට හැකිද ඒ තනු නිර්මාණ කරුවා සංගීතය ගැන මූලික දෙයක් වත් ඉගෙන නොගත් කෙනෙකු කියා ...ඔහුගේම වචන වලින් කිවහොත් "මම සංගීතයේ මුල අකුරවත් ඉගෙන ගෙන නම් නෑ. කොටින්ම සංගීතය ගැන මට කිසිම දැනුමක් නෑ. මේසයකට තාලයකට තට්ටුවක් දානවා ඇරුනහම කිසිම සංගීත භාණ්ඩයක් වාදනය කරන්න මම දන්නෙ නෑ"...ඒ වෙනකෙකු නොව රටක් ජනතාවක් නැළවෙන ගී තනු නිර්මාණය කල "මොහමඩ් මොහිදීන් අබ්දුල් හක්" එහෙම නැත්නම් "ගලගෙදර හක්" කියන සංගීතවේදියා. එතුමාගේ විශිෂ්ඨ නිර්මාණ කීපයක්   තමයි මේ . උපතින්ම මුස්‌ලිම් ජාතිකයෙක්‌ වන මෙතුමාගේ  උපන් ගම ගලගෙදර. මුලින්ම අධ්‍යාපනය ලැබුවේ ගම්පොළ සහිරා විදුහලෙන් . ඉන් පසුව 6 ශ්‍රේණියේ සිට උසස්‌ පෙළ දක්‌වා යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙන ගත්තා. 

Monday, November 16, 2015

"තුරුණු සිතක පැතුම් වැළඳ ඈත පාවෙලා - සිහින නිම්නයේ සැරිසරා"


මොරටුව කටුකුරැන්ද ගමේ වෙළෙඳ ව්‍යාපාරික දොන් ධර්මපාල දසනායක සහ මළලගේ පොඩිනෝනා පිරිස් දෙමව්පියන්ගේ දෙවෙනි දරුවා ලෙස "දීපා මිල්ටන් සරත් දසනායක" උපන්නේ 1942 අගෝස්තු මස 13 වන දින ය. මව ගුරුවරියක් වූ බැවින් මවගේ පාසල වූ නාවලපිටිය අනුරැද්ධ විද්යාලෙයන් අතපොත් තැබූ සරත් දසනායක අනතුරැව ජාඅැල නිවන්දම විද්යාලය, ලක්ෂපතියේ ශික්ෂාදාන විද්යාලය හුණුමුල්ල මැදි විදුහල් පසු කරමින් 1957 දී හොරණ දොන් පේදිරිස් විද්‍යාලයෙන් ජේෂ්ඨ පොදු සහතික පත් විභාගය සමත් විය.1959 ඔක්තෝබර් 08 දින හොරණ ශ්‍රී පාලියට ගිය ඔහුට දැන ගන්නට ලැබුනේ එ දින එඩ්ව්න් සමරදිවාකරයන්ගේ අාදාහනය නිසා නිවාඩු දිනයක් බවය. නමුත් එහි සිටි සංගීත ගුරුවරයෙකු වූ හේවගේ ප්‍රේමදාසයන් හා නැටුම් ගුරුවරයෙකු වූ වීරසේන ගුණතිලකයන් සරත් දසනායක අමතා නැසී ගිය කළාකරු එඩ්ව්න් සමරදිවාකරයන් වෙනුවට නව කළාකරුවෙකු බිහිවේවායි පතමින් සරත් දසනායකයන්ට සංගීත ලොවට පිවිසෙන්නට මග හෙළි කලහ.1960 දශකයේ අග භාගයේ දී රජයේ සංගීත විද්‍යාලයට (සෞන්දර්ය විශ්ව විද්‍යාලය) බැඳුනි.1961 දී ප්‍රවීන සංගීතවේදී අාර් මුත්තුසාමි ගේ වාදක මණ්ඩලයේ සිතාර් වාදකයා ලෙස අැතුල්විමට වාසනාව සරත්ට හිමි විය.බිබිල මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයෙකු වශයෙන් 1966 වසරේදී  මුල්ම පත්වීම ලැබූ සරත් දසනායක ඉන් අවුරුදු දෙකකට පසුව පිළියන්දල මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙස පත්වීය .ඉන් අනතුරුව අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ සංගීත පරීක්ෂක ලෙස හා 1977 සිට කොළඹ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ලෙස සේවය කළේය. "සිතිජය " චිත්‍රපටියේන් සිනමා සංගීතය ආරම්භ කල මෙතුමා"සදහටම ඔබ මගේ" (අමරපෙම් ලතාවේ, වාසනාව දෙර අැරලා, පෙම් රස වෑහන, දෑසේ මාගේ සැතෙපනා) "දිනුම්කණුව" (ඉරට අකීකරු, මියුරැ කල්පනා) ,"කස්තුරි සුවඳ"(පාට පාට පොදක් තිලක ලා, හද විමන් දොරින්, ලස්සන ලෝකෙක) ,"අාවා සොයා අාදරේ"(රොන් සොයා, රන් මසු රන්),"සංගීතා" වැනි චිත්‍ර පටි 125 කට පමණ සංගීත නිර්මාණයෙන් දායක වී ඇත .හැත්තෑව දශකය වන විට හින්දි ගීත ඒකාධිකාරයක් ව තිබු සිංහල චිත්‍රපට ගීතය මුදාගැනීම  සඳහා මුලික වූ මෙතුමා , ශංකර් ජායිකිෂන්ලාව, ලක්ෂ්මිඛාන්ත් පෙයාර්ලාල්ලාව අබිබවා යමින් ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණය කරමින් සිනමා සංගීතය හින්දි ඒකාධිකාරියෙන් සිංහල චිත්‍රපට ගීතය මුදවා ගත්තේය.
         

Thursday, November 12, 2015

"අවුරුද්දක් තිස්සේ කළ කී දේ"

"අවුරුද්දක් තිස්සේ කළ කී දේ
මතක් වෙනකොටත් සමහර එව්වට
මටම හිනා මස්සිනේ
අවුරුද්දක් තිස්සේ කල කී දේ
මතක් වෙන කොටත් සමහර එව්වට
මට ඇඬෙනව මස්සිනේ" ...

තැනින් තැන බ්ලොග් පොස්ට් වල කොමෙන්ට් කොට කොටා හිටිය මාව "සින්දු ඇනෝ " නමින් බ්ලොග් ලෝකෙට ඇවිත් අවුරුද්දකුත් වෙලා ...
එදා ඉඳලා මාත් එක්ක ඉඳිමින් මාව දිරිමත් කල හැමෝටම බොහොම ස්තුති කරනවා ..විශේෂයෙන් කියන්න ඕනා  "පත්තර මලයයි , මනොශයයි" මාව උනන්දු කලේ නැත්නම් මෙහෙම බෝගක් අටවා ගන්න එකකුත් නැ .. "මාතලන් "බොස්ට පිං  සිද්ධ වෙන්න බෝගක් අටවා ගන්නේ කොහොමද කියලා දැනගත්තා .අපි වගේ අලුතෙන් එන එවුන්ට මාතා ලොකු ශක්තියක් වුනා . "දේශකයාගේ "මේ පොස්ට් නිසාත් මම පොඩ්ඩක් මුදුනා උනා ..හැක් හැක්..මෙහෙම එකින් එක නම් කියන්න ගියොත් හැමෝගෙම ලියන්න වෙනවා ..එකක් හරි අමතක උනොත් මට සොරි වෙන නිසා හැමෝටම බොහොමත්ම ස්තුතියි අවුරුද්දක් පුරා දුන්න සහයෝගයට ...ජයවේවා !!!

Monday, November 9, 2015

"සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ"


1939 ජනවාරි 28 වැනිදා කුරුණෑගල වැලිගන්වත්තේ දී උපත ලද "සෙනරත් බණ්ඩාර ආනන්ද කුලතිලක" නොහොත් "බණ්ඩාර කේ.විජේතුන්ගයන්" බදුල්ල සාන්ත බීඩ් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලද  පසුව කොළඹ ආනන්ද විදුහලට ඇතුළු වූයේ ය.ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගය විශිෂ්ඨ ලෙස සමත් වූ ඔහුට ආනන්ද විද්‍යාලය කළා කුසලතා සඳහා තෝතැන්නක් විය .ඔහු ආනන්ද විදුහලේ සිටියදී ලේඛන කලාවෙන් හා චිත්‍ර කලාවෙන් දැක්වූයේ අසමසම කුසලතාවකි.1957 දී අනතර් පාඨශාලීය චිත්‍ර තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත්තේය .1958 දී "The Anandian" නමැති විද්‍යාලිය සඟරාවේ සම සංස්කාරක ධුරය දැරිය ,හොඳම ස්වතන්ත්‍ර නිර්මාණය ,හොඳම රචනාව ,හොඳම ඉංග්‍රීසි රචනාව ,හොඳම චිත්‍ර නිර්මාණය සඳහා වූ ත්‍යාග වසර ගණනාවක් අඛණ්ඩව දිනා ගත්තේය .
           බණ්ඩාර කලා ක්ෂේත්‍ර කීපයකින් ම ප්‍රතිභාව පෑවේය. ඔහු ලේඛකයෙකි, කවියෙකි, චිත්‍ර ශිල්පියෙකි, අකුරු නිර්මාණ සැලසුම් ශිල්පියෙකි, ගීත රචකයෙකි, නිවේදකයෙකි, චිත්‍රපට ප්‍රචාරක සැලසුම් ශිල්පියෙකි, ගුවන් විදුලි නාට්‍ය රචකයෙකි, සහ ගුවන් විදුලි නාට්‍ය නළුවෙකි.බණ්ඩාර ගේ කුසලතා මුලින් ම මතු වූයේ ලේඛන කලාවෙනි. ශ්‍රීයා රත්නකාර මහත්මිය සංස්කරණය කළ ‘වනිතා විත්ති’ පුවත්පතට ඔහු ලිපි ලිව්වේ "ආනන්දනී විජයතුංග" යන ස්ත්‍රී නාමයෙනි.එකල මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, සුනන්දා මහේන්ද්‍ර නමින් ද කරුණාරත්න අමරසිංහ, කරුණා අමරසිංහ නමින් ද, අසෝක කොළඹගේ, අසෝකා කොළඹගේ නමින් ද, අජන්තා රණසිංහ එම නමින් ද එලෙස කාන්තා පුවත්පතක් වූ ‘වනිතා විත්ති’ යට ලිපි ලියූ බව මෙහිදී සිහිපත් කළ හැකි ය.
       

Wednesday, November 4, 2015

"කිත්සිරි රැන්දු කේසර සිංහයා ජිවිතයේ අනිත්‍ය බව පසක් කරමින් සදහටම අපෙන් සමු ගනී "




‘කේසර සිංහයෝ’, ‘ගිජු ලිහිණියෝ’, ‘විජය ගීතා’ හා ‘සසල රේඛා’ ‘මධුමාලි’, ‘ධීවර සම්පත’ හා ‘සෙනාලි’ වැනි තිරගත වූ හා නොවූ චිත්‍රපට රැසක ද කඳපොල කුමාර තුංගයන්ගේ ‘ධවල මන්දිර’, ‘සත් රුවන් වරුසා’, ‘ගිම්හානෙට පසු’, සුසිර රත්නකුමාර ගේ ‘බෝනික්කා’ යන ටෙලිනාට්‍ය වලද සුගතපාල සෙනරත් යාපාගේ ‘මැටි කරත්තය’ යනාදි වේදිකා නාට්‍ය රැසක හා මිල්ටන් පෙරේරා හා ශ්‍රීමති තිලකරත්න ගැයූ 'සන්සුන් රුවන් හද මන්දිරයේ ' ධර්මදාස වල්පොල ගැයූ ‘දිළිඳුන් අතරේමයි විමානේ දෙවියන්ගේ’ සුජාතා අත්තනායක ගැයූ ‘සිහිනයකි මේ ජීවිතේ’ ටී.එම්. ජයරත්න ගැයූ සුදු හුණුකූරෙන් අයන්න ලියලා’, නීලා වික්‍රමසිංහ ගැයූ ‘මීට වඩා ලෝකය තව ලස්සන වුණු දාක දුවේ’ ලතා වල්පොල ගැයූ "කිත්සිරි රැන්දු " වැනි ගී රැසක් සඳහා සංගීතය නිර්මාණය කල "ප්‍රේමදාස අතුකෝරල" මාස්ටර් ඊයේ රාත්‍රී අප අතරින් සදහටම සමු ගත්තා .සිංහල සංගීත කලාවට අමිල මෙහෙවරක් කල එතුමාට නිවන් සුව පතමු !!



Friday, October 23, 2015

"අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවා මායාවේ නළුවො අපි"




ජනකාන්ත ගායක සංගීතවේදී "බජ්ජල වලව්වේ ග්‍රේෂන් ආනන්ද අබේකෝන්" නොහොත්  "ග්‍රේෂන් ආනන්ද" , ජෝතිපාලයන් සහ මිල්ටන් මල්ලවආරච්චි වැනි සමකාලීනයන් සමඟ චිත්‍රපට පසුබිම් පසුබිම් සංගීතය තුල නොමැකෙන සටහනක් තැබීමට සමත් විය.ඔවුන්ගෙන් පසුව සිංහල සිනමාවේ ප්‍රමුඛ පසුබිම් ගායකයා වූයේ ග්‍රේෂන්ය. ඔවුන් සිටියදීද ග්‍රේෂන් ගී ගැයුවත් පෙරමුණටම ආවේ ඔවුන්ගේ ඇවෑමෙනි. ගාමිණී,රවීන්ද්‍ර , සනත් , ජීවන්, සිට චන්න පෙරේරා, අර්ජුන කමලනාත් යන වර්තමාන නළුවන් වෙනුවෙන් ද ග්‍රේෂන් චිත්‍රපට පසුබිම් ගී ගයා ඇත. ඔහු පළමුවරට සංගීතය අධ්‍යක්‍ෂණය කළේ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ "දුර්ගා" චිත්‍රපටයේය. පසුව ළඳුනි ඔබ දෙවඟනක්, රන්දෙනිගල සිංහයා, ධවල පුෂ්පය ඇතුළු චිත්‍රපට දහ අටක පමණ සහ ටෙලි නාට්‍ය කිහිපයක සංගීතය අධ්‍යක්‍ෂණය කළේය. ග්‍රේෂන් ආනන්ද චිත්‍රපට දෙසීයක පමණ පසුබිම් ගීත ගයා තිබේ. "රජ දරුවෝ" චිත්‍රපටයට ග්‍රේෂන් ගැයූ "බිළිඳුනේ දරුවනේ මගේ" ගීය වෙනුවෙන් ඔහු පළමු වරට සම්මානයක්‌ දිනා ගත්තේය.
       

Tuesday, October 6, 2015

"එක මලක නම් නොවේමයි මල් යායක සිරස නැමෙයි"



ඕන් අද ගුරු දිනය ලු......ගුරුවරයා ගැන මෙන්න මෙහෙම ලියා තිබුනා තැනක .

"ගරු කිරීමට සුදුසු තැනැන්තා, ගුරුවරයා වෙයි. සිය ගෞරවාන්විත සේවාව නිසා සමාජයේ වන්දනීයත්වයට භාජනය වන එකම තැනැත්තා ද ගුරුවරයා වෙයි. ගුරුවරයා වෘත්තිකයෙකි. නමුත් සෙසු වෘත්තිකයන් නොලබන සමාජ ගෞරවය, වන්දනීය බව ලබන්නේ, ගුරුවරයා පමණකි.සෑම ප්‍රශස්ත ගුරුවරයකුගේම අරමුණ වන්නේ තමා තරුවක් නම් තම සිසුවා සුර්යයා මෙන් බබළනු දැකීමයි. එබඳු උදාර වූ, උතුම් වූ චින්තනයකින් පිරිපුන්ව සිය සේවාව සිදු කරන එකම වෘත්තිකයාද ගුරුවරයා පමණකි."


මට මතකයක් නැ එහෙම දිනයක් අපි ඉස්කෝලේ යන කාලේ තිබුනාද කියලා .තිබුනත් නොතිබුනත් අපි හැමදාම ඒ ගුරුවරුන්ට ගරු කළා .නමුත් මේ කාලේ අහන්න දකින්න ලැබෙන දේ වලින් ඔය උඩින් කියලා තියන දේ "ගුරුවරයා" ගැනද එහෙම නැත්නම් වෙන කෙනෙක් ගැනද කියන්නේ කියලා හිතෙනවා .... 
ඒ මොනදේ උනත් අද අපි ඉන්න මේ තත්වයට හරි එන්නට මඟ පෑදු ඒ "ගුරු උතුමන්ට" උපහාරයක්ම වේවා !!!!

Thursday, October 1, 2015

"විසකුරු රළු මිනිස්සුන් මග හිඳිවී බිළින්දෝ"

අද ඔක්තෝබර් පළමුවැනිදා..ළමා දිනයලු.....
(ළමා ගීත සෙට් එකක් දාන්න හදලත් මේ වෙන දේවල් වලට මොන සින්දුද කියලා හිතුනා )

“මගේ රත්තරන් දුවේ පුතේ….
ඔයා මිනිස් ලොව උපන්නේ වැරදි තැනක මයෙ දුවේ පුතේ….
මේ ලෝකෙ සිරියාවන්ත නෑ දුවේ පුතේ,කියන තරම් ලස්සන නෑ දුවේ පුතේ…"


-----------------------------------------------------------

සිඟිති මා බිළින්දෝ
මොටද මල් පිය පොඩි ඔසවන්නේ
ටිකිරි මා බිළින්දෝ
මිනිස් ලොව දොරටුව වෙත යන්නයි
කැකුළු පිනි විසිරුණු අරුණලු පියැවිල්ලේ
අසනු මා බිළින්දෝ
නිසල දිය ඇති තැන වෙයි ගැඹුරූ
සිතනු මා බිළින්දෝ
මලක නටු අතරෙද විස කටු තියෙයි
රුසිරු හිම කඳුවැටි අතරෙ ද ගිනි කඳු තියේ
කිරි පැණි හඳ හාමි ලා
ඒ ලෝකෙ නෑ බිළින්දෝ
අවිහිංසක හා පැටව් ඒ ලෝකෙ නෑ බිළින්දෝ
පිරිසිදු සිත් සැහැල්ලූ සොයනු බෑ
විසකුරු රළු මිනිස්සුන් මග හිඳීවී බිළින්දෝ...
කැකුළු මා බිළින්දෝ
කුමට දත් විදහා හිනැහෙන්නේ
ටිකිරි මා බිළින්දෝ
මිනිස් ලොව විසිතුරු දැකගන්න යි
කැකුළු පිනි විසිරුණු අරුණලු පියැවිල්ලේ
රතුකැට අත ඇති තුරා
වටවේවි බෝ බිළින්දෝ
හිත මිතුරන් නුඹ වටා
හැමදාම නෑ බිළින්දෝ
කඳුළෙදි දුක ඉහිල්ලූ යහළුවෝ
වැලපෙන තැන හිනැස්සු
අය හිඳින්නේ බිළින්දෝ
කිරි පැණි හඳ හාමි ලා
ඒ ලෝකෙ නෑ බිළින්දෝ
අවිහිංසක හා පැටව්
ඒ ලෝකෙ නෑ බිළින්දෝ
පිරිසිදු සිත් සැහැල්ලූ
සොයනු බෑ
විසකුරු රළු මිනිස්සුන්
මග හිඳිවී බිළින්දෝ
කිරි පැණි හඳ හාමි ලා
ඒ ලෝකෙ නෑ බිළින්දෝ
අවිහිංසක හා පැටව්
ඒ ලෝකෙ නෑ බිළින්දෝ
රතුකැට අත ඇතිතුරා
වටවේවි බෝ බිළින්දෝ
හිත මිතුරන් නුඹ වටා
හැමදාම නෑ බිළින්දෝ...


පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : සරත් ද අල්විස්
ගායනය : සුජාතා අත්තනායක



Wednesday, September 9, 2015

"හුස්ම උඩට ඇදෙනවා දෑසින් කඳුළු වැටෙනවා"




අහම්බෙන් මෙන්න මේ වීඩියෝ දැක්කේ .හිතට මොකක්දෝ අඩුවක් දැනුනා .මට මතක් වුන සින්දු දෙක තුනක් එක්ක ඔන්න හැමෝටම බලන්න දැම්මා ....



සද්ද නැතිව මේ සින්දු ටික අහන්නකො ........අපිට මොනා හරි දෙයක් අතපසුවෙලා වාගේ දැනෙනවාද ? 
-----------------------------------------------------------------
සෙක්කු ගෙදර මංගලිකා
දීග ගියේ නෑ තාමත්
මං හිතන්නේ උඹ එනකං බලා ඉන්නවා
මෙදා අවුරුද්දටවත් ඇවිදින්
යන්න වරෙන් මගේ පුතේ
එංගලන්තෙ නම් දුර බව මාත් දන්නවා

මං සද්ද කළත් උඹලා මොකෝ
සද්ද නැතුව ඉන්නෙ කියල
දොරකඩ කොස් ගහේ ඉදං
කොහා අහන්නේ
අපි සද්ද කරන්නේ කොහොමද
කොච්චර කල් ඇද්ද මකුළුදැල් බැඳලා
බිත්ති කොනේ එල්ලු රබානේ

හරි හම්බකරල මේ ගේ දොර
හදා ගත්ත මිසක් අපේ
සන්තකයට ඉතිරි කරපු
කිසිම දෙයක් නැහැ
පුතේ උඹට උගන්වන්න
උකස් කරපු ගේ දොරත්
උගසට සින්න වුණොත් නං
අපට යන්න තැනක් නැහැ

ගුරු පාර දිගේ පුංචි එවුන්
ඉස්කෝලෙට යන එන කොට
වෙල් නියරේ මං ඉඳගෙන බලා ඉන්නවා
අහස් යානාවක් ගමට උඩින්
ගියොත් එදා නොකා නොබී
අම්මා බලා ගත්ත අතේ
බලා ඉන්නවා
හුස්ම උඩට ඇදෙනවා
දෑසින් කඳුළු වැටෙනවා..............

ගායනය / ගී පද / සංගීතය - රෝහණ බැද්දගේ




---------------------------------------------------------------------------------------
හෙවණැලි මියයන හැන්දෑවේ
ඉර උඩ ඉඳගෙන ඈත බලා ඉන්නේ
සීපද මුමුණන්නේ......
ඒ හඬ ඇහෙවදෝ........
නෙත් යුග තෙත් වෙන්නේ......
ඒ හඬ දැනෙනවදෝ........

වැලි බත් ඉවු මිදුලේ
පළඟැටියන් රජවී
පුතු ගැන සිහි වෙනවා.
මතකය බොඳ වෙනවා

මගෙ හිරු මියෙන ලෙසේ
ඹබෙ හිරු පිබිදෙනවා
නෙතු පිය වෙන්න කලින්
එනවද මගෙ පුතුනේ

හෙවණැලි මියයන හැන්දෑවේ...


ගායනය: අමරදේව
ගී පද: මෛත්‍රී පනාගොඩ
සංගීතය: රෝහණ වීරසිංහ



-----------------------------------------------------------------------------------

සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ
දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ
ලේලිය කැටුව මගෙ පුතු වෙන් විය රහසේ
මං විතරයි තනියම දැන් මගෙ නිවසේ...

උඹලගෙ තාත්තා ඇත දුර බලාගෙන
කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන
වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන
මං ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන

දරුවන් ඇඳුම් ඇඟැලුම් ගෙන සිඹින්නෙමී
මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමී
මරණයෙ දොරකඩට සපැමිණ සිටින්නෙමී
ලේකිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී

ගායනය  - නන්දා මාලනී. 
ගී පද  - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය - නන්දා මාලිනී


------------------------------------------------------------------------

සඳ නාවත් කමක් නැතේ රත්තරං පුතේ..
හිරු නාවත් කමක් නැතේ රත්තරං පුතේ..
ඕන දුකක් ඉහිලිය හැකි මහළු ජීවිතේ..
ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩි හිතේ..

කුස ගින්නට රස මසවුලු ලැබුණත් මොකටද..
මගේ පුතේ නුඹේ ඉඳුල් රජ බෝජුනකි මට..
මහළු මඩම දඟ ගෙයක්ය දඟ ගෙයි ලෑමට..
ලොකුම වරද නුඹේ පියා වයසට යෑමද..

සඳ නාවත් කමක් නැතේ..

පාළොස්වක පෝය දාට ගමේ විහාරෙට..
හිත දුවලා වැඳ ලා එයි මම හැදූ පිළිමෙට..
මගේ පුතා මතු බුදු වෙයි එකක් කළොත් හෙට..
නුඹේ අතින් බත් දෙකටක් කවාපන්කෝ මට..

සඳ නාවත් කමක් නැතේ..

ගායනය : අසංක ප්‍රියමන්ත පීරිස්



-----------------------------------------------------------------

Wednesday, September 2, 2015

"සුන්දර මොහොතේ මා සිහිවෙනවද"


මිනිසා විසින් මිනිසාටම වරද කළෙන්
වැළලුන මිනිස්‌කම හාරමු යළිඳු වළෙන්
මානව බැති පෙමේ ලොව්තුරු කමල විලෙන්
නාවමු මනස සාමයෙ රං වතුර කළෙන්

අනුවණ කමින් නීති ඇය එළියට දැම්මා
ඒ සාපයෙන් ලොව විඳි දුක්‌ නැති නිම්මා
දැලේ දෙනෙත් සැනසිලි කිරිදෙන පෙම්මා
සාමය තමා මුළු ලෝකයට මැ අම්මා

(ඩෝල්ටන් අල්විස්)

1928 දෙසැම්බර් 07 වැනි දින බෙන්තර ප්‍රදේශයේ උපත ලැබූ ඩෝල්ටන් අල්විස්‌ මහතා අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙනි. පියාගේ ඉල්ලීම පරිදි වෛද්‍යවරයකුවීම පිළිබඳ අදහසක්‌ තිබුණත් පසු කාලයේදී එය වෙනස්‌ වී රජයේ ලලිත කලායතනයදී චිත්‍ර කර්මය හැදෑරීය. එයින් පසු යූ. ඒ. එස්‌. පෙරේරා මහතාගේ මඟපෙන්වීම යටතේ කවි ලොවට පිවිසි ඔහු ගුවන්විදුලියේ දී විවිධ වැඩසටහන් මගින් රසිකයන්ගේ හදවත් දිනා ගත් ඩෝල්ටන් අල්විස්‌ ප්‍රබුද්ධ ගීත රචකයකු බවට පත්විය. ඔහුගේ විශේෂය වූයේ ලියූ ගේය පදවල නිවහල් සිතුවිලි තිබීමයි. බොරැල්ල තරුණ බෞද්ධ සමිති පුස්‌තකාලයේ පුස්‌තකාලයාධිපති ලෙස කලක්‌ සේවය කළ ඩෝල්ටන් අල්විස්‌ මහතා පොතපතේ දැනුම ලබාගත් ගීත රචකයෙකි.

ඔහු ලියූ දේශාභිමානී ගීත අතර "සසර වසන තුරු" ගීතය ජනාදරයට ලක්‌ වූවකි. අපේ ජනවහර ඇසුරෙන් නිර්මාණය කරන ලද මෙම ගීතය තුළ බෞද්ධ අදහස්‌ ද තිබීම විශේෂයකි. දේශාභිමාන ගීතයක්‌ ලෙස ප්‍රකට ඔහු ලියූ "නිවහල් සිතුවිලි සිතනා සිතක්‌ උදාරයි" ගීතය අපේ රට ජාතිය පිළිබඳව හැඟීම් අති කරවන්න දරන ප්‍රයත්නය ළඟා කරනුයේ රටේ අවට ඇති සම්පත් පෙන්වීමෙනි. මවුබිමේ වගකීම කුඩා කාලයේදීම ලබාදිය යුතු බවත් ඒ පිළිබඳ යුතුකම හා වගකීම දරුවාගේ සිතට ඇතුළු කිරීමට මේ තුළින් ඔහු උත්සාහ කරයි. උඩඟුලියන්, අවසන් ලියුමයි, කවුරුදෝ අර කවුළුවෙන්, කුණ්‌ඩලකේෂි, රන්දහදිය, නිසංසල රෑ, තාරකා ඇස්‌ වැනි ගීත රසික මතකයෙහි අදත් පවතී.

ලේඛකයකු ලෙස ඩෝල්ටන් අල්විස්‌ මහතා රිවිරැසහි ශාස්‌ත්‍රීය ලිපි පළ කළහ. කවියෙහි බස්‌වහර, කවියෙහි ප්‍රතිභාවය පිළිබඳ දිගින් දිගට ලිපි ලියූ ඩෝල්ටන් "කොනේ කාමරේ" නමින් නාට්‍යයක්‌ ද ලියා ඇත.

ඩෝල්ටන් අල්විස්‌ පිළිබඳ සිය මතකය අවදි කරමින් ආචාර්ය පණ්‌ඩිත් අමරදේවයන් සඳහන් කරන්නේ "මා මිතුරු ඩෝල්ටන් අල්විස්‌ මියගිය බව ඇසූ කෙණෙහි මසිත් ගැබ සිසාරා රැව් දුන් ගී පද සමූහයයි මේ. සසර වසන තුරු, නිවහල් සිතුවිලි, කුණ්‌ඩලකේෂි, උඩඟුලියන්, රන්දහදිය, නිසංසල රෑ, තාරකා ඇස්‌, ඈත නීල ආකාසේ, ඈ ගී නූතන සිංහල ගී පලසෙහි විසුළ මල් පෙති සේය. රසික මතකයෙහි අදත් ගලා යන්නේ ඒ ගී මල් සුවඳයි. එදා ගුවන්විදුලියේ ළමා පිටියෙන් නිබැදුම් බහ තේරූ ඩෝල්ටන් අල්විස්‌ කුමරුවන් පසුගියදා මියයන විට නූතන සිංහල ගුවන්විදුලි ගීතයේ ගමන්මඟ හෙළි පෙහෙළි කළ ප්‍රවීන කවියකු බවට පත්ව සිටීම කියා පෑවේය. සකුවට, පාලියට මෙන්ම හුදු හෙළයට වුවද අනිසි ලෙස ගැති නොවී ගැමි වහරත්, පුර වහරත්, සේ වහරින් පැහැපත් කොට තමාටම ආවේණික සුගම සුකුමාර බස්‌ වහරක්‌ ඇසු කිරීම ඩෝල්ටන් ගී ආර සුරැසු වෙසෙසේ ගුණයයි" යනුවෙනි.

මිතුරන් අතරේ ඉතා ගුණ ගරුක යහපත් මිතුරකු වූ ඩොල්ටන් අල්විස් 1987 අගෝස්තු 01 වැනි දා සියල්ලන්ගෙන් වෙන් වී යන්නට ගියේය.
-------------------------------------------------------------------------------------
*බකිණි ගහේ බකිණි මලෙන්

බකිණි ගහේ බකිණි මලෙන් පාර අසන්නේ
කුරුන්ද ළඟ දෙල්ගහ යට නිවෙස තියෙන්නේ
කවදද එන්නේ
කවදද එන්නේ

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියම එන්නේ
තනියම එන්නේ

කැකිරි වැලේ මල් පිපිලා ගෙයි පිලිකන්නේ
ඒ මල් පෙති වලින් ඔබට පවන් සලන්නේ
දෙමාපියන්නේ වරද නොවන්නේ

සේල වළලු රන් පවලම් නැතුවයි එන්නේ
හදේ සුවඳ ආදරයයි අරගෙන එන්නේ
හනිකට එන්නේ
හනිකට එන්නේ

පද රචනය- ඩෝල්ටන් අල්විස්
ගායනය - එඩ්වඩ් ජයකොඩි සමග පුණ්‍යා කත්‍රිආරච්චිපද 
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
---------------------------------------------------------------
*මගේ නීල නෙතු සඟළින්

මගේ නීල නෙතු සඟළින්
මොනවද ඔබ ඉල්ලන්නේ
නළලේ කුංකුම තිලකය
ඔබට නේද අමතන්නේ

මගේ නීල නෙතු සඟළින්
මිදුලේ නිල් බුනීල මල්
හැන්දෑවේ කාන්තියෙන්
ඔබ මට දුන් ඔබේ කවිය
උදුරාගෙන කියවනවා

මගේ නීල නෙතු සඟළින්
මොනවද ඔබ ඉල්ලන්නේ
නළලේ කුංකුම තිලකය
ඔබට නේද අමතන්නේ

හඳ එළියේ කාන්සියේ
ඒ කවියේ රස වින්දා
එදා රැයේ මගේ දෑස
ඔබේ නමින් ඉකි බින්දා

පද රචනය- ඩෝල්ටන් අල්විස්
ගායනය - ඉන්ද්‍රනි බෝගොඩ
තනුව - චන්ද්‍රදාස බෝගොඩ
--------------------------------------------------------------------------------
*සසර වසන තුරු

සසර වසන තුරු නිවන් දකින තුරු ...
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා හේතු වාසනා

රත්නමාලි සෑ කිරණයි 
මහ බෝ සෙවණයි
තිසා වැවයි සීගිරියයි 
මගේ උරුමයයි ...

සසර වසන තුරු
නිවන් දකින තුරු ...
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා 
හේතු වාසනා

පද රචනය- ඩෝල්ටන් අල්විස්
ගායනය - පණඩිත් ඩබ්.ඩී. අමරදේව
තනුව - පණඩිත් ඩබ්.ඩී. අමරදේව
-------------------------------------------------------------------
*කවුරුදෝ අර කවුළුවෙන්


කවුරුදෝ අර කවුළුවෙන් 
හිනාවී එබිකම් කලේ...
ඒ හිනාවෙන් මා වෙලන්නද
මා වෙලාගෙන මට තලන්නට
ඈ හිනාවෙන්නේ...

හිතින් මට බැ ඈත යන්නට 
ඒ නුවන් දැහැනින් මිදීලා...
කවුළුවේ දොර හදින් හැරගෙන
නෙත් ලඟින් ඉන්නම්....

කතා නොකරන තාරකාවක් 
පාර කීවත් මම නොයන්නම්...
කවුළුවෙන් දොර හදින් හැරගෙන
නෙත් ලඟින් ඉන්නම්....

පද රචනය- ඩෝල්ටන් අල්විස්
ගායනය : සනත් නන්දසිරි
සංගීතය : සනත් නන්දසිරි
-------------------------------------------------------------------------------
*නිවහල් සිතුවිලි සිතනා

නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි 
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැළුම් වර ජෝතිය පිනෙන් උදාරයි 

නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙ
නවෝදයේ තෙද ‍රැඳි හිරු පිපී දිලෙන්නෙ 
පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි 

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැළුම් වර ජෝතිය පිනෙන් උදාරයි 

පද රචනය- ඩෝල්ටන් අල්විස්
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ පිරිස
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
----------------------------------------------------------------------------
*හදේ සුසුමක් පතිත වීමෙන්


හදේ සුසුමක් පතිත වීමෙන්
බකිණි මල් පෙති පර නොවේවා
ඔබේ සුවඳැති හිනා පියුමෙන්
මගේ හදවත සුවඳ වේවා

ලොවේ කෙදිනද ආදරේ 
මඟදෙපස කරදර හමුනොවන්නේ
ගමේ පිපි මලගමේ තනිවී 
මා නිසා නොවැ දුක් විඳින්නේ 

සුවඳ නැති මල් ඉරිසියාවෙන් 
ඔබේ රුව දැක උමතු වන්නේ
ඇගේ මුවගින්දොලේ ගීතය
හේන අසලින් මට ඇසෙන්නේ

නීල අහසේසේද පටුනේ
සැඳෑ කාලේ නැළැවි නැළවී 
ඈත පාවෙන වලාකුළ සේ 
වරළ පිට මැද උනාලන්නේ
එහි සුගන්දය ගීතයක් වී 
මගේ තනියට අසල ඉන්නේ 

පද රචනය- ඩෝල්ටන් අල්විස්
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
තනුව - ඩී.ආර්. පීරිස්
----------------------------------------------------------------------
*රන් දහදිය බිංදු බිංදු

රන් දහදිය බිංදු බිංදු
ඉසුරු සුවඳ රැන්දු රැන්දු
රන් දහදිය බිංදු බිංදු
ඉසුරු සුවඳ රැන්දු රැන්දු
ගතිනි හලා - ගයමු
රන් ගොයමේ සින්දු සින්දු
රන් ගොයමේ සින්දු සින්දු
රන් ගොයමේ සින්දු සින්දු

දෑතේ රන් වළලු දඟේ
ගෙල බැඳි රන් මාල අගේ
රන් ගොයමේ නෙළන නඟේ
සිරියාවයි රටට මගේ 

නෙළුම් කෙතේ ලන්දු ලන්දු
සොඳුරු කිඳුරු ලන්දු ලන්දු 
දෙවි පිහිටෙන් - ගයමු
රන් ගොයමේ සින්දු සින්දු
රන් ගොයමේ සින්දු සින්දු

බුලතේ රස දුටිමි තොලේ
මට නොවෙදෝ මුකුළු කළේ
රන් ගොයමේ නෙළන කළේ
මන බැදුනා පබළු වැලේ
 
පද රචනය- ඩෝල්ටන් අල්විස්
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
------------------------------------------------------------------
*ආශාවේ මල් වැටෙන් එබී

ආශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළූ ඔඹ මගේ කළූ
නයන කළූ ඔඹ මගේ කළූ

රෑ නිල් අහසේ නිදන සඳවතී .
අදින සළු.. මිදුලෙ එලූ
අදින සළු.. මිදුලෙ එලූ

සුන්දර නින්දේ මා සිහිවෙනවද
කියනු කළූ මට කියනු කළූ

ආශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළූ ඔඹ මගේ කළූ
නයන කළූ ඔඹ මගේ කළූ

පායන සඳ සේ රුසිරු හසරැළී .
දෙතොල වෙලූ.. නයන කළූ
දෙතොල වෙලූ.. නයන කළූ

සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කළූ මට කියනු කළූ...

පද රචනය- ඩෝල්ටන් අල්විස්
ගායනය - බණ්ඩාර අතාවුද
තනුව - ගුණදාස කපුගේ
-------------------------------------------------------------------------
*මගේ දෑස ඔබේ කියා

මගේ දෑස ඔබේ කියා 
ඔබ පවසනවා මම සැනසෙනවා
ආදරයේ අනන්ත මං තලාව ඔස්සේ 
මගේ නුවන් ගමන් කලේ ඔබ පිටු පස්සේ 

මගේ දෑස ඔබේ කියා 
ඔබ පවසනවා මම සැනසෙනවා
ඔබේ අතින් නළලේ තැබූ කුංකුම තිලකේ 
ඔබගේ රුව නොදැක සොවින් නළලත වැලපේ 

මගේ දෑස වැලපෙන උණුසුම් කඳුලැල්ලේ 
ඔබේ දෙපා ගමන් කරයි හිතු සැනසිල්ලේ 
මගේ දෑස ඔබේ කියා 
ඔබ පවසනවා මම සැනසෙනවා 

පද රචනය - ඩෝල්ටන් අල්විස්
ගායනය - නන්දා පතිරණ
සංගීතය - ප්‍රේමදාස අතුකෝරල 
---------------------------------------------------------------------------
*උඩඟු ලියන් ගොතා බඳින


උඩඟු ලියන් ගොතා බඳින
නීල වරළ සරසන්නට
මා පිපුණේ නැත මේ දෙරණේ

හිස් මිනිසුන්-කුස් පුරවන
සිත් පිනවන-බස් දොඩවන
බොජුන් මේස මත සුවඳ හලන්නට
මා පිපුණේ නැත මේ දෙරණේ

රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
රණ විරුවකුගේ අවසන් ගමනට
යන මහ ජනතා පා දූවිලෙන්
තැලී වෙළී සැනහී මිය යන්නෙම්

මගේ පරම පැතුම එයයි
මගේ පරම පැතුම එයයි
එමගට මා විසි කරන්න

පද රචනය - ඩෝල්ටන් අල්විස් 
සංගීතය - පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව
ගායනය - නන්දා මාලනී 
--------------------------------------------------------------------
*එගොඩහ යන්නෝ  


එගොඩහ යන්නෝ 
මෙගොඩහ යන්නෝ 
තවකවුරුද ඉන්නේ ..

ගඟුල අනෝමයි 
අද මට වෙහෙසයි
යනවා නම් එන්නේ ..

මම මේ ගඟුලේ 
අඟුලේ නැගලා 
එගොඩ මෙගොඩ යනවා 

පමා නොවන්නේ 
අඳුර වැටෙන්නේ
යනවා නම් එන්නේ

පද රචනය - ඩෝල්ටන් අල්විස් 
සංගීතය සහ ගායනය - ෂෙල්ටන් පෙරේරා
---------------------------------------------------------------------------
*තුන් තුඹ මල් තුඹ මල්

තුන් තුඹ මල් තුඹ මල්
තුන් තුඹ මල් තුඹ මල්
තුන් තුඹ මල් තුඹ මල්
තුන් තුඹ මල් තුඹ මල්

තුන් තුඹ මල් රෙද්ද ඇඳල
බණ්ඩි වළලු දෑත දමාලා
මම දොර ළඟ බලා ඉන්නවා
අනේ තාම ආවෙ නැහැනෙ
ආවෙ නැහැනෙ ආවෙ නැහැනෙ
මල් දුන්නෙන් වඩින ඉලන්දාරියා

තුන් තුඹ මල් තුඹ මල්
තුන් තුඹ මල් තුඹ මල්
තුන් තුඹ මල් රෙද්ද ඇඳල
බණ්ඩි වළලු දෑත දමාලා

ගෙදරට එන පාර කිව්ව
පණිවිඩ හත අටක් යැව්ව
අනේ තාම ආවෙ නැහැනෙ
ආවෙ නැහැනෙ ආවෙ නැහැනෙ
මල් දුන්නෙන් වඩින ඉලන්දාරියා

තුන් තුඹ මල් තුඹ මල්
තුන් තුඹ මල් තුඹ මල්
තුන් තුඹ මල් රෙද්ද ඇඳල
බණ්ඩි වළලු දෑත දමාලා

රටක් වටින කෙනෙක් එක්ක
මටත් හනික දීග යන්ඩ
උදව් දෙන්ඩ ආවෙ නැහැනෙ
ආවෙ නැහැනෙ ආවෙ නැහැනෙ
මල් දුන්නෙන් වඩින ඉලන්දාරියා

පද රචනය- ඩෝල්ටන් අල්විස්
ගායනය - චන්ද්‍රානි ගුණවර්ධන
--------------------------------------------------------------------------
*දාගැබ් මහා වැව් බැන්දේ


දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ
සීගිරි ගලේ කවි ලිව්වේ නුඹයි පුතේ
නගුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ
පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ

අම රස දිව බොජුන් ගිජු කුසයට වළඳා 
සිලි සිලි සිනිඳු දිව සළුපිලි ඇඳ පළඳා 
මහජනයාට වැදි බණ කියමින බොළඳා 
සැප විඳි එකා නිරයට නොයතිද මළ දා 

ඉර හඳ අදත් පායනවා හද අරණේ 
මගෙ රට ණයට කෑවේ නැහැ නොවැ පොරණේ 
හෙළ දරුවන් එදා මේ සිංහල දෙරණේ 
ඔවුනගෙ දහදියයි  ලද උත්තම සරණේ 

පද රචනය - ඩෝල්ටන් අල්විස් 
සංගීතය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
------------------------------------------------------------
*අවසන් ලියුමයි

අවසන් ලියුමයි ඔබට ලියන්නේ
විරහා කඳුළු රැඳි පෑනෙන්
කියවා හැඬුවත් මට නම් කම් නැ
මගෙ හිත අද තද නින්දේ

එයා පැලැන්දූ මංගල මුදුවේ
ආඩම්බරකම මම දුටිමී
ගෙල වට කරගෙන ළමැදේ ලගිනා
මංගල මාලය මම දුටිමී

අබරණ අන්දන රන්වන් ඉහිලු
සදාතනික ආදරය නොවේ
කියවා හැඬුවත් මට නම් කම් නැහැ
මගෙ හිත අද තද නින්දේ

පෑන තවත් දේ ලියන්න කීවත්
මොනවා ලියන්නද මීට වඩා
මේ ගැන අන් කිසිවෙකු නැහැ දන්නේ
වෙන දීගෙක ගිය ඔබට වඩා

අබරණ අන්දන රන්වන් ඉහිලු
සදාතනික ආදරය නොවේ
කියවා හැඬුවත් මට නම් කම් නැහැ
මගෙ හිත අද තද නින්දේ

අවසන් ලියුමයි........

පද රචනය - ඩෝල්ටන් අල්විස් 
ගායනය - ෂෙල්ටන් පෙරේරා
---------------------------------------------------------------
*හිතේ පිපෙන මල්

හිතේ පිපෙන මල්
හිත රිදවන මල්
අනේ කුමට පිපෙනවාද
අහක බලන මල් ....

අතීතයේ මල් 
ඈතට ගිය මල්
මතක සුවද යළි එවලා
දෑස තෙමන මල් ....

සපු දුනුකේ මල්
නයන ලෝල මල්
ඒ මල් පෙති තුලින්
සවන සනහන කවි මල් ...

හිතේ පිපෙන මල් ....
ගමේ පිපෙන මල්
නිහතමානි මල්
එවන් සොදුරු මල්
ලොවුතුරු බුදුන් දකින මල් ...


හිතේ පිපෙන මල් ....

පද රචනය- ඩෝල්ටන් අල්විස්
ගායනය : විජේසුන්දර වේරගොඩ

"මෙන්න සින්දු ටික"
---------------------------------------------------------
ප.ලි 
වැරදි අඩු පාඩු තියනවානම් පෙන්වා දෙන්න ...
විස්තර උපුටා ගත්තේ අන්තර් ජාලයෙනි 

Thursday, August 13, 2015

ටයි මාමාගේ "ෆ්ලෑෂ් බෑක් "

“මම තවමත් පුංචි ළමයකු විදිහටයි හැගෙන්නේ. වයසින් මුහුකුරා ගියත් මම තවමත් මගේ ළමා වයස දෑතින් බදා ගන්නවා. කයින් වැඩිහිටියකු වූ මම සිතින් පුංචි ළමයෙක්.”
(ළමා පරපුරේ අමරණීය වූ වීරයා - ටයි මහත්තයා )


"මුහුද මගේ ගොඩ බිමයි නැව මගෙ නිවහන තමයි
සියලු සතුන් මගෙ තමයි දොස්තර හොඳ හිත මමයි"

පරම්පරාවෙන් පරම්පරාවට සවන්පත් හි රැඳෙන මෙම ගීතයේ පදවැල් එකිනෙකට ගළපමින් ප්‍රේමකීර්ති ද අල්විස් නමැති දක්ෂ ගේය පද රචකයාත් එහි තනුව නිර්මාණය කළ ජාතික රූපවාහිනි සංගීත අංශයේ එවකට අංශ ප්‍රධානියා වූ සෝමසිරි ඉලේසිංහයනුත් දොස්තර හොඳ හිත කාටුන් චිත්‍රපට මාලාවේ මුල්ම කථාංගය වූ බෑයි කියල බෑ චිත්‍රපටය සඳහා අනුපමේය දායකත්වයක් ලබා දුන්හ. ප්‍රේම් මිය යන තෙක්ම ටයි මහතාගේ බඩ බැඳගත් එකම ගීත රචකයා විය. මා බඩ බැඳගත් යනුවෙන් විශේෂණ පදයක් ප්‍රේම් වෙනුවෙන් ලියා තබනුයේ ඔහු ටයි මහතා හමුවන සෑම විටකදීම පාහේ ටයි මහතාගේ ඉදිරියට නෙරා ආ බඩ වටා අත යවමින් බැරි බරගාතේ වුව ද ඔහුව තමන් දෙසට ඇද ගනිමින් තම දත් පෙළෙහි දෙපස පිහිටුවා තිබූ නල දත් දෙකම ප්‍රදර්ශනය වන සේ සිනහවීමට ප්‍රේම් පුරුදු වී සිටි බැවිනි.

දොස්තර හොඳ හිත කථා මාලාවට අන්තර්ගතව කාටුන් සංගීත කණ්ඩායමක් විය. ටයි මහතා විසින් එය නම් කරන ලද්දේ "ලා තණ කොළ පෙත්තාස්" යනුවෙනි. ප්‍රේම්ගේ පද්‍යවලට සෝමපාල රත්නායක ගේ තනු වලට එම කණ්ඩායම් ගීත ගායනා කරන ලද්දේ දීපිකා පි‍්‍රයදර්ශනී ප්‍රමුඛ අතුලගේ කළුබෝවිල ගෝල බාල පිරිස විසිනි. දීපිකාගේ ප්‍රථම ගායන ප්‍රවේශය ද මෙය විය. පසු කලෙක දී ප්‍රාසංගික කලාව ජනතාව අතරට ගෙන යාම සඳහා රූප රචනාවෙන් සුරු විරුකම් පෑ රවීන්ද්‍ර මුණසිංහ ද එම ගායනා අත් වැලෙහි නිත්‍ය ගායකයෙකු විය.

මිමී 16 චිත්‍රපටය හඬකැවීම් අංශයට අයත්ව තිබූ යන්ත්‍රයේ එහාට මෙහාට යවමින් එහි ඇති කුඩා මොනිටරයෙන් ප්‍රදර්ශනය වන දර්ශනයන් නරඹමින් චිත්‍රපටයේ චරිතයන් ඉංගී‍්‍රසි බසින් කියාපාන දෙබස් ටයි මහතා විසින් ලියා ගන්නා ලදී. පසුදින ඔහු සංස්ථාවට පැමිණෙන්නේ ඔහු විසින් ම නම් ප්‍රසිද්ධ කළ දොස්තර හොඳ හිත, චව්චව්, දියරකුස්, ටොම් වැනි චරිතයන්ගේ මුවඟට සරිලන ලද දෙබස් අන්තර්ගත සිංහල පිටපත ද රැගෙනය. ලා තණ කොළ පෙත්තාස් ගායක කණ්ඩායම විසින් ගායනා කරන ලද ගීතයේ තේමාව ප්‍රේම් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව අදාළ කථාංගය ලූප්වලට කැඩීම ටයි මහතා අතින්ම සිදුවේ. එක් කථාංගයක් ලූප් 16 කින් පමණ සමන්විත වේ. එසේ කොටස් කර ගත් දොස්තර හොඳ හිත කතාව පෙට්ටියක බහාලමින් කලට වේලාවට ශීලා කටුගම්පල මෙනෙවිය විසින් ටයිප් කර දෙනු ලැබූ සිංහල පිටපත ද රැගෙන අදාළ හඬ ශිල්පීන් සමඟ රජයේ චිත්‍රපට අංශයට යාම එකල අතුලගේත් මගේත් දෛනික රාජකාරිය විය.

දොස්තර හොඳ හිතෙන් පසුව හා හා හරි හාවා, පිස්සු පූසා, ගලිවර්ගේ සිව්සැරිය වැනි කාටුන් චිත්‍රපට සේම සම්භාව්‍ය ගණයේ චිත්‍රපට සේ සැලකෙන විදේශීය චිත්‍රපට පෙළක් ද සිංහල බසින් හඬ කැවීම් සඳහා පෙළ ගැසුණි. සිටුවර මොන්ත ක්‍රිස්තො, මල්ගුඩි දවස ඒ අතරින් ප්‍රධානවේ. පිටරට දේ අපේ දේ කර ගැනීමට ටයි මහතාගේ ප්‍රාග්‍රණ්‍යයට හේතු වූයේ ඔහු සතු වූ ද්වි භාෂා දැනුම වේ. ඔහුගේ දෙබස් සරල සුගම වේ. ඒවායේ මුල් දෙබස් ඛණ්ඩයන් තිබුණේද යන්න ගැනවත් ප්‍රේක්‍ෂකයන්ට නොසිතෙන අයුරින් එම වදන් අපේ කර ගැනීමට ටයි මහතා සමත් විය. ජපන් සංස්කෘතියේ පරම්පරා ගැටුම ප්‍රතිම්භනය කරන ලද ඕෂීන් චිත්‍රපට මාලාව මෙයට දිය හැකි කදිම නිදසුන වේ. කුසුම් පීරිස්, සුනන්දා හෙට්ටිආරච්චි, නිහාල් ජයවර්ධන, පබෝධා සංදීපනී, ගීතා කාන්ති ජයකොඩි වැනි ප්‍රවීණ හඬකැවීම් ශිල්පීන්ගේ දායකත්වය ඕෂීන් ප්‍රාණවත් ජීව ගුණයෙන් ආඪ්‍ය වූ ටෙලි නාට්‍ය මාලාවක් හැටියට ප්‍රේක්‍ෂකයන් වෙතට ගෙන යාමට මහෝපකාරී වූහ.

හඬකැවීම් ශිල්පය වෙනුවෙන් මෙසේ පුරෝගාමී මෙහෙවරක් සඳහා තම නිසඟ ප්‍රතිභාව ජාතියට දායාද කරන ලද ටයිටස් තොටවත්ත නම් අග්‍රගණ්‍ය කලාකරුවා, ගුරුවරයා සිහිපත් කර අතුල රන්සිරිලාල් මහතාගේ පුරෝගාමීත්වයෙන් ජාතික රූපවාහිනිය සතු හඬකැවීම් මැදිරිය ටයිටස් තොටවත්ත හඬකැවීම් මැදිරිය යනුවෙන් නම් කිරීම ප්‍රශංසනීය කරුණකි. එම උත්සවයට ටයි මහතාගේ නිර්මාණකරණයේ යෝධ සෙවණැල්ල සුජාතා තොටවත්ත මහත්මියට ඇරයුම් කිරීම ද, එතුමා වෙනුවෙන් මේ භවයේ දී කළ හැකි මහා පුණ්‍ය කර්මය සඳහා හඬකැවීම් ශිල්පය සමාජගත කිරීම වෙනුවෙන් තමන්ගේ ප්‍රතිභාව විහිදුවා ලූ එහෙත් අප අතහැර ගොස් සිටින කරුණාතිලක හඳුවල, ගැමුණු විජේසූරිය, ධර්ම ශ්‍රී මුණසිංහ, වික්ටර් මිගෙල්, එල්සන් දිවිතුරුගම, මර්සි එදිරිසිංහ, නිහාල් ජයවර්ධන, ලෙස්ලි රාමනායක, රෝයි ජයවර්ධන, ඇනස්ලි ඩයස්, සැමුවෙල් රුද්‍රිගු සමඟ ප්‍රේමකීර්ති ද අල්විස් යන ශ්‍රේෂ්ඨ කලාකරුවන් ටයි මහතා සමඟ මධු විතක් තම සුරතෙහි රඳවා ගෙන එලොව සිට බලා සතුටු වෙනු නියතය.

(අනුර මාධව ජයසේකර)


*බැහැයි කියල බැහැයි කියල බෑ....

බැහැයි කියල බැහැයි කියල බෑ
බෑ කියලා බැරිය මලේ
බෑ කියලා බැරිය නඟේ
බෑ කියලා බෑ බෑ බෑ...

මල් පිපුනේ සුවඳ දෙන්න බෑ යි කියල බෑ
තටු ලැබුණේ පියාඹන්න බෑ යි කියල බෑ
අත් ලැබුණේ වැඩ කරන්න බෑ යි කියලා බෑ
මේ ලෝකේ කිසිම දෙයක් බෑ යි කියලා බෑ

අපි හැදුනේ රට රකින්න බෑ යි කියලා බෑ
රට වෙනුවෙන් වැඩ කරන්න බෑ යි කියල බෑ
යුතුකම් ඇත ඉටු කරන්න බෑ යි කියල බෑ
නඟේ මලේ කිසිම දෙයක් බෑ යි කියලා බෑ’

ගායනය: "ලා තණකොළ පෙත්තාස්"
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සෝමසිරි ඉලේසිංහ
(දීපිකා ප්‍රියදර්ශනී පීරිස්,රසාදරී පීරිස්, රවීන්ද්‍ර මුණසිංහ සහ පිරිස)

*සුළඟ සුළුයි වැඩි බර නෑ...

සුළඟ සුළුයි වැඩි බර නෑ
එය සුළුකොට තකන්නෙපා...
සුළුවෙන් එන සුළඟ රත් ව
සුළි සුළඟක් ඇති වෙනවා...
හුස්ම ඩිංග දෙන සුළඟම
මහ ගස් කඳු බිම ලනවා...
"හිත ඇත්නම් පත කුඩාය"
කිසිම විටෙක සිතන්නෙපා...

බයට බය වුණොත් සැමදා
කිසිම වැඩක් බැරි වෙනවා...
බය බය කර ගත්තෝතින්
කවදත් ජය හිමි වෙනවා...
හොඳ හිත නිරතුරු හද මත
පුර සඳ මෙන් බබළනවා...
"හිත ඇත්නම් පත කුඩාද"
කියන වදන සිහි වෙනවා...

ගායනය: "ලා තණකොළ පෙත්තාස්"
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සෝමපාල රත්නායක

*දේසේ හැටියට වාසේ...

දේසේ හැටියට වාසේ
කළොත් නේද සන්තෝසේ

හිම වලසා හිමාලයේ
හිම කඳු අතරේ
වලස් හමෙනි ඇඟ පුරවා
උණුසුම ගත්තේ

අපේ රටේ උපන් සතා
අපේ ම උරුමේ
පිට රට හම පෙරෙව්වොතින්
වැනසෙයි මිතුරේ

කොණ්ඩෙ ඇඳුම වෙනස් කරලා
නොවේය කිසි දා
සිංහල රට රජ වූයේ
ඉස්සර දරුවෝ

ඇඳුමින් අප මොඩ් වුණාට
ඇතුළෙන් හිස් වී
රට ජාතිය ආගම
මක් වෙවිද දරුවෝ

මොණරා පිල් විදහුව්වා ට
පිල ගැලවුණ දා
කළු කුමාට වැඩිය අන්ත
නොවේද අඳුරේ

රට ට ඔබින දේ පමණක්
වැඩට ගෙන සොඳා
මළත් කමක් නෑ ඉන්පසු
දුවේ මගෙ පුතේ
දේසේ හැටියට වාසේ
කළොත් නේද සන්තෝසේ

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය : සෝමපාල රත්නායක
ගායනය : "ළා තණකොළ පෙත්තාස්"

*මුහුද මගේ ගොඩබිමයි.......

මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි.....

සතුන් සමග දොඩමලු වී
කරන රහස ඔහු සතු
දැන ගන්නට දඟදැමු..
පිරිසක් පිරිහේවි ලූ.....//

මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි.....

අයුක්තියට ඉඩ නැතේ
යුක්තිය ලොව රජ වෙතේ
වෛරෙන් වෛරය නොවේ..
මෛත්‍රියෙන් ජය ලැබේ.......//

මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි.....///

ගායනය : "ළා තණකොළ පෙත්තාස්"
ගී පද : ප්‍රේම කීර්ති ද අල්විස් මාමා
ගී තනු : සෝමපාල රත්නායක

*කුමාර ලීලෙන් සැන් පවුඩර් ගා ...

ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..
ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..

කුමාර ලීලෙන් සැන් පවුඩර් ගා ඉලංදාරි හැඩවෙයි
ආදර වන්නම් තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
ඔපේට රැවටී හිතූ මතේ පෙම් කෙරුවෝතින් වරදී
දෙමාපියන් ගේ ආශීර්වාදෙන්
විවා වුණොත් ජයවෙයි...

ආලය කියනා මාලය වැටුනොත් රජුන් ද පිස්සන් වෙයි
අට වැනි එඩ්වඩ් රජකම ඇරියේ ආලය හින්දාමයි
ආලෙන් පැරදුණු අය වස විස බී ජීවිත වනසාලයි
දුරදිග නොබලා කලොත් අපොයි ඔව්
ලව් එක ඉලව් ම වෙයි...

නාහෙට නාහන ඉලංදාරිකම ඔය වයසට ඔහොමයි
ඉලක්කෙ වැරදුණු දවසට ආලෙන් විපත්ති වෙනු බොහොමයි
දරුවන් යුතුකම අම්ම තාත්තා වැඩිහිටි බස් ඇහුමයි
එහෙම නොවේ නම් ඔපේ හපේ වෙයි
අපායට ම වැටෙතෙයි...

ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..
ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සෝමපාල රත්නායක
ගායනය: "ළා තණකොළ පෙත්තාස්"

*සැබෑ මූණ හංගාගෙන...

සැබෑ මූණ හංගාගෙන
මූණු බැඳන් රෑ අඳුරේ
නටන නැටුම් කවදා හෝ
නටන්න වෙනවා එළියේ...

ඇත්ත මුණ ඇති සැටියෙන්
පෙන්වා සිටියොත් හිරු සේ
ලජ්ජා වෙන්නට කරුණක්
ඇති වෙන්නෑ සියළු කලේ

බොරුවට ආයුෂ ඩින්ගයි
ලබා දිනුම සුළු මොහොතයි
සඟවනු බෑ කිසිම දිනක
බොරුව උඩට ඉස්මතු වෙයි

මැණික් කටය වැනිය ඇත්ත
අගය අඩු නොවෙයි බබලයි
ඇත්තට ඇති තැන බොරුවෙන්
මකන්න බෑ සහතිකයි ...

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සෝමපාල රත්නායක
ගායනය: "ලා තණකොළ පෙත්තාස්"

*ඕං රීං කට්ටු කට්ටු...

අන වින කොඩිවින පැන්නිලි
හූනියම් ද නොයෙක් ජාති
හිත හොඳ නම් පිරිසිදු නම්
වදින්නෙ නෑ ජාති ජාති..

කෙනෙක් නහන ලෙසින් සිතේ
ඉරිසියාව මනන්නෝ
ඒ සිතිවිලි මන්තරෙන්ම
නෙක කොඩිවින කරගන්නෝ

මල් පොකුවක් වගේද නැ
පිහියක් දෑතට ගන්නෝ
මුහුණ එක්ක තරහ වෙලා
නහය කපන් දඟලන්නෝ

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සෝමපාල රත්නායක
ගායනය: "ලා තණකොළ පෙත්තාස්"

*අඩි ගාණක් වළක් කපලා

අඩි ගාණක් වළක් කපලා
අඩි ගාණක් අනුන් හෙළ ලා
අඩියක්වත් ඉහළ යන්න
නුඹට බෑ පුතේ

අනුන්ට කැපූ වළේ
වැටෙන්නෙ නුඹයි බොලේ...

උගුල් ඇදලා අගුල් දාලා
මඟුල් කන්න නුඹට බෑ
පය ලිස්සා ගියොත් වලට
වැටෙනු වළක්වන්න බෑ
බොරුවෙන් වැඩ බොරු වෙයිමයි
බොරුවෙන් ජය ලබනු බෑ
ඒවා තාවකාලිකයි...

ලණු ඇදලා මඟ අහුරා
කෙනෙකු බිමට දමනු බෑ
හැමදාමත් හැම කෙනාම
බොරුවෙන් රවටන්න බෑ
බොරුවෙන් බොරු මහ බොරුවට
ආයුෂ වැඩි කලක් නෑ
ඒවා තාවකාලිකයි...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : සෝමපාල රත්නායක
ගායනය : ළා තණකොළ පෙත්තාස්





*සූට් බූට් දිග කලිසම්.......

සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්,
අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මු..
පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු..

තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා..
මේ විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා..
හිස්පලුවෙක්ගේ විලසා කුණු කූඩෙන් බෙල්ල දමා..
බොරු බේගල් ඇද බාලා...
සහචරයින් කරයි මුලා...

අන් කුසගිනි නිවන උලා කට බලියන් ඉන්න එකා..
මීයා කටට වැටුනු වහා සිල්ගත් සේමා..
තම වාසිය ලැබෙන තුරා පුරු පුරු ගා කෙඳිරි ගගා..
බිම පෙරලී වැඳ වැටිලා කකුලෙ වෙලෙයි මේකා..

හොරා කෑම බැරිවුන දා දත් විලිසා නිය විහිදා..
කොන්ද නමා දුන්න ලෙසා පහුරු ගායි පූසා....
පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු...

ගායනය : ගැමුණු විජේසුරිය
ගී තනු:  සෝමසිරි ඉලේසිංහ
ගී පද : ටයිටස් තොටවත්ත



*හා හා හරි හාවා...

හා හා හරි හාවා
කැලේ මැදින් ආවා
හිටගෙන ගඟ ගාවා
වටපිට ඇහැ ලෑවා..

තබා නිකට ගාවා
වීණාවක් ගෑවා
මිහිරි සින්දු කිවා
නැටුම් ටිකක් පැවා

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පිරිස්



*මාමා වලස් මාමා ...

මාමා වලස් මාමා
නැන්දා වලස් නැන්දා

කවුරුද කවුරුද රංඩුකරන්නේ
නැන්දයි මාමයි රංඩු කරන්නේ....
මොකටද මොකටද රැඳු කරන්නේ
වැඩකට නැතිවලු ගහ බන ගන්නේ

මාමා වලස් මාමා
නැන්දා වලස් නැන්දා..

දෙන්නා දෙමල්ලෝ රණ්ඩු කරන්නේ
අහල පහල මැසිවිලි වට වෙන්නේ
දේ දොර දියුණුව අඩාළ වෙන්නේ
ඒ නිසා සමගිව වැඩ කරපන්නේ ...


මෙන්න සින්දු ටික
--------------------------------------------------------------------

ටයිටස් තොටවත්තයන් හඬ කැවීම් සඳහා යොදා ගත් මැදිරිය ‘ටයිටස් තොටවත්ත හඬකැවීම් මැදිරිය’ ලෙස පසුගිය දා විවෘත කරන ලදී. එතුමාට උපහාරයක් ලෙස පුංචි මගෙන් පුංචි අපි හැමෝටම සින්දු ටිකක් ....
වැරදි අඩුපාඩු පෙන්නා දෙන්න .මතකයන් හැමෝමත් එක්ක බෙදා ගන්න එක් වෙන්න ...