Tuesday, July 21, 2015

"ජීවිතේ පොත පුරා ලියැවෙන ආදරේ කවියක් වෙමී"





ගායන ශිල්පී මිල්ටන් පෙරේරා වෙනුවෙන් හැටේ දශකය අගදී ලියු ‘කඳුළු අතරට සිනා රැලි වෙමි,’ ගීතයේ පටන් දයා ද අල්විස් ලියා ඇති ගේය පදවැල් ගණනින් තුන්සියය ඉක්මවයි. නිවේදිකාවක් ලෙසින් ගුවන් විදුලිය සමගින් 1964 දී එක්වුණු දයා ඉන් සමුගත්තේ දශක තුනක් ඉක්මවූ යුගයක් ශ්‍රාවක සවන් සැනහීමෙන් අනතුරුවයි. ඇගේ ලිපි ලේඛන සම්භාරය අතර කෙටිකතා මෙන්ම පුවත් පත් තීරු ලිපිද බොහොමයි. 

(රාම කුමරුනේ ගීතය)
*ඔබ අතින් රචනා වූ රාම කුමරුනේ ගීතය මහත් ආන්දෝලනයකට තුඩුදුන් ගීතයක්. අපි එතැනින් කතාව පටන් ගනිමු.
මම ඉගෙන ගත්තේ මහනුවර අම්පිටියේ කාමල් හිල් කන්‍යාරාමයේ. එහිදී අපිට කියවන්න නියමවෙලා තිබුණේ ඉංගී්‍රසි පොත්පත් පමණයි. ඔය අතරේදී අපේ විදුහලට අලුතින් සිංහල ගුරුවරියක් පත්වෙලා ආවා. එතුමිය තමයි අපේ විද්‍යාලයේ පුස්තකාලයට සිංහල පොත් ගත්තේ. එතකන් ඉංගී්‍රසි පොත් පමණක් පරිහරණය කරපු අපිට මේක ලොකු ආස්වාදයක් වුණා. අපි සිංහල පොත් ගෙදර අරගෙන ගිහින් කියෙව්වා. මම කියවපු එම සිංහල පොත් අතරේ ඉතා කුඩා ළිහිණි පොතක් තිබුණා. මට දැන් ඒ පොතේ නම මතක නැහැ. ඒ පොතේ රාම - රාවණා කතාව තිබුණා. හැබැයි ඒ කතාව මම එතෙක් දැනගෙන හිටිය රාම - සීතා කතන්දරය නෙවේ. එයට වෙනස් කතාවක් ඒකෙ තිබුණා. ඒ කතාවට අනුව සීතාව නැවැත රාම භාරත දේශයට රැගෙන ගියායින් පස්සේ රාවණ ගැන ඇය සිහි කරනවා. එපමණක් නොවේ. රාවණගේ රූපය ඇන්ද බුලත් කොළයක් ඇයගේ කොට්ටය යට ඇය තබාගෙන සිටිනවා. මෙයින් පෙනී යන්නේ රාවණ පිළිබඳ මතකය ඇයට ආස්වාදයක් වූ බවයි.ඒ වගේම රාවණට ඇය ගරු කළ බවයි. ඇත්තටම ඒක එහෙම වෙන්න ඕන කියල මමත් හිතනවා. මොකද සීතාගෙ පතිවත රැකගෙන ඉන්න පුළුවන් වුණේ රාවණ රජුගේ සහයෝගයෙන්. සීතාට විතරක් තනියෙන් පතිවත ආරක්ෂා කරගන්න බැහැනේ. මේ හේතුව නිසා වෙන්න ඇති ඇය රාවණගේ රූපය සහිත බුලත් කොළයක් තමන්ගේ කොට්ටය යට තියාගෙන හිටියේ මේ කාරණය මගේ හිත තදින් පැහැරගත්ත. රාවණ රජු සැබෑ ආදරවන්තයෙක් බව මට හැඟුණා. මොකද සැබෑ ආදරවන්තයෙක් කියන්නේ තමන්ගේ ප්‍රියම්බිකාව අනාථ කරල පැත්තකට දාන කෙනෙක් නෙවෙයිනේ. රාවණ රජුට ඕනකමක් තිබුණ නම් එය කරන්න බැරි කමක් තිබුණෙත් නැහැ.එහෙත් සීතාව නැවත රාම රැගෙන යනතුරු රාවණ ඇයගේ පතිවත ආරක්ෂා කළා. මේ සිද්ධිය තමයි මට මේ ගීතය ලියන්න මූලික වුණේ. එය ගීතයක් බවට පත්වීම පිටුපසද එක්තරා සිදුවීමක් තියෙනවා. අපට හිටපු ඉතාම දක්ෂ ගීත රචකයෙක් තමයි කේ. ඩී. කේ. ධර්මවර්ධන. ඔහු ඒ දවස්වල මාත් සමඟ එකට ගුවන් විදුලියේ වැඩ කළේ. ඔහු වින්සන්ට් ප්‍රේමසිරි ගායකයාණන්ට ගීතයක් රචනා කරනවා රාම - සීතා සිද්ධිය පදනම් කරගෙන.

"සීතාවනි ඔබ හැඩරුව ඇති බව -දිවිහිමියෙන් පතිදම් සුරකින බව" යනුවෙන් තමයි එම ගීතය ආරම්භ වෙන්නේ. ඔය ගීතය ප්‍රචාරය වනවිට මට නැවැත මං අර කියවපු රාම - සීතා කතන්දරය සිහිවෙනවා. ඒ පිළිබඳ මම එවකට අපිත් සමඟ සේවයේ යෙදුණු දයා තෙන්නකෝන්ට පැවැසුවා. දයා තෙන්නකෝන් යමක් දිහා අලුතින් බලන්න පුළුවන් කෙනෙක්. ඔහු මට කිව්ව කේ. ඩී. කේ. ගෙ ගීතයට පිළිතුරක් ලෙස එය ලියන්න කියලා. මම ඒ පදවැල ලියල මාලනි බුලත්සිංහලට දුන්නා. එච්. එම්. ජයවර්ධන සංගීතවත් කළා. ඉන්පසු එය ගුවන් විදුලිය හරහා ප්‍රචාරය වෙනකොට අපේ රටේ පිළිගත් කලාකාරියන් රාශියක් එම ගීතය හරහා රාම - සීතා කතාව විකෘති කර ඇති බවත් සීතා පිළිබඳ වැරැදි චිත්‍රයක් මවා ඇති බවත් ප්‍රකාශ කොට එම ගීතය ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස එවක ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වූ රිජ්වේ තිලකරත්න මහතාගෙන් ඉල්ලා සිටියා. මේ ආන්දෝලනය දිගින් දිගටම යනකොට එතුමාට මේ සම්බන්ධ පියවරක් නොගෙන සිටීමට බැරිවුණා. ඒ නිසා දවසක් මටත් කතා කරල එතුමාගේ කාමරේට මේ ගීතය ඉතා සුපරික්ෂාකාරීව ශ්‍රවණය කළා. ගීතය අහල ඉවර වුණාට පස්සේ එතුමා ඒ ගීතය ගැන හරියට සතුටු වුණා. එතුමා කිව්ව එහි කිසිදු වරදක් නැහැ කියලා. ඒ වගේම සාම්ප්‍රදායික කතාවට මගේ අතින් වෙලා තියෙන නව අර්ථකථනයටද එතුමා පැහැදුණා. ඒ නිසා නිල වශයෙන් එම ගීතය තහනමකට ලක් වුණේ නැහැ. නමුත් විරෝධකරුවන්ගේ දැඩි විරෝධය නිසා නොනිල වශයෙන් එම ගීතය ස්වයං වාරණයකට ලක්වුණා වගෙයි. ඒ නිසා මෙම ගීතය වැඩිය ප්‍රචාරය වුණේ නැහැ. ඔබ වැනි කිහිපදෙනකු හැරුණු විට මෙවැනි ගීතයක් මාලිනි බුලත්සිංහල ගායනා කරනවා කියාවත් එම ගීතය මගේ රචනයක් බව වත් දන්නේ නැහැ.

Sunday, July 5, 2015

"දෑස නොපෙනුනත් මගේ "


ලංකාවෙන් පහලවූ හොදම බටනලා වාදකයා
* ජීවිතය ගැන කතා කරන්න කලින් මට කියන්න දෙනෙත් නොපෙනෙන ඔබ කොහොමද ස්‌වර ප්‍රස්‌ථාරයක්‌ නොදැක අලුත් ගීතයකට බටනලාව වාදනය කරන්නෙ?
කොළයක්‌ බලාගෙන මියුසික්‌ කරන එකට වඩා මගේ විදිය වෙනස්‌. මම කරන්නෙ මට අදාළ “මියුසික්‌ පාට්‌” එක. තවත් කෙනෙකුට කියල එකපාරක්‌ අහන්න සලස්‌වගන්නවා. ඒක ඉක්‌මනින්ම මගේ හිතට වැටෙනවා. කිසිම ප්‍රශ්නයක්‌ වෙන්නෙ නෑ. අනෙක්‌ අය වාදනය කරනකොට මම මගේ කොටස මතකයෙන් වාදනය කරනවා. හැබැයි එතැනින් එළියට එනකොට මම ඒ මතකය හිතින් අයින් කරල දානවා. ආයෙත් ඕන වුණ දවසට ඒක එක පාරක්‌ ඇහුවාම මට ඇති. නැවතත් මට ප්‍රශ්නයක්‌ නැතිව වාදනය කරන්න පුළුවන්.

* ඔබ උත්පත්තියෙන්ම අන්ධද?
නෑ. මම ජාති අන්ධයෙක්‌ නෙමෙයි. මම ලෝකය දැකල තියෙනවා. ඒත් ඒ කාලය මේ ජීවිතයෙන් දශමයක්‌ තරම්.
* දෙනෙතින් ලෝකය දුටු ඒ සීමිත කාලය තුළ අද ඉතිරිව ඇති මතකයන් මොනවාද?
පාසල් යනකොට දැක්‌ක පරිසරය, ගස්‌වැල්වල ලස්‌සන. දියකඩිතිවල නාන්න ගිය හැටි, යාළුවන් එක්‌ක සෙල්ලම් කළ හැටි, පාසලට ගිය පාර දෙපැත්තේ හිටිය හරකාබාන අදටත් මගේ මතකයේ තියෙනවා. ඒ කාලය කෙටි වුණත් ඒවා ජීවිතයේ සුන්දර මතකයන් මට.

* ඔබ අන්ධ වුණේ කොහොමද?
එතකොට මට වයස අවුරුදු 04 යි. පාසල් ගමන පටන් ගත්තා විතරයි. ඒ කාලේ ප්‍රතිශක්‌තිකරණ එන්නත දෙන්නෙ ඉස්‌කෝලෙදි. ඉස්‌කෝලෙදි එහෙම ප්‍රතිශක්‌තිකරණ එන්නතක්‌ ලබාගන්න මම නිවාඩුවට ගෙදර ආවම ලෙඩ වෙනවා. මුළු ඇඟේම ගෙඩි දාලා ඇඳෙන් නැගිටින්න බැරි තරමට ලෙඩ වෙනවා. දෙමාපියෝ මාව මහ ඉස්‌පිරිතාලෙට අරන් යනවා. එතනදි මට ඉන්ජක්‌ෂන් 24 ක්‌ ගහනවා. මේ ඉන්ජක්‌ෂන් විසිහතරින් 12 ක්‌ ගහනකොට ඇහේ මස්‌දළු ආවා. හැබැයි තුවාල සනීප වුණා. ඒ තුවාල සනීපවෙලා මම ඉස්‌පිරිතාලෙන් එළියට එන්නෙ එක ඇහැක්‌ හොඳටම අන්ධ කරගෙන.

* එක ඇහැක්‌ පෙනුනනම් ඔබ පූර්ණ අන්ධ භාවයට පත් වෙන්නෙ?
දෙමාපියො මාව සනීප කරන්න පුළුවන් කියල හිතල ගම්පළ පැත්තෙ වෙද මහත්තයෙක්‌ ළඟට අරන් ගියා. එයාගෙ නම ඉලවතුරේ නොතාරිස්‌ රාළහාමි. මට මතකයි අපි වෙද මහත්තයා ළඟට යනකොට එයා වයලින් එකක්‌ වාදනය කරමින් ඉන්නවා. එයා රෝගීන්ට බෙහෙත් කරන්න කලින් හැමදාමත් උදෙන්ම වයලින් එක ගහන එක පුරුද්දක්‌. අපි මාස එකහමාරක්‌ වෙද මහත්තයාගෙ ගෙවල් ළඟ මුස්‌ලිම් ගෙදරක නැවතිල බෙහෙත් ගත්තා. නන්නාඳුනන වුණාට ඒ මුස්‌ලිම් ගෙදර අය මට සිදුවුණ දේ අහල අපිව නතර කරගත්තෙ නිකන්.කොහොම වුණත් එතන මාසයක්‌ ඉන්නකොට මගෙ අනිත් ඇහැත් පේන්නෙ නැතිව ගියා. එතැනින් මම ගෙදර ආවෙ පූර්ණ අන්ධ පුද්ගලයෙක්‌ වෙලා.

* වෙද මහත්තයා වයලින් ගහනවා ඇහිලද සංගීතයට යොමු වන්නෙ?
නෑ. එදා මම හිටිය අසනීප තත්ත්වයත් එක්‌ක ඒක වින්දනාත්මක දෙයක්‌ වුණේ නෑ. මට තිබුණ අමාරුවත් එක්‌ක මම වෙදා දැක්‌කෙත් කරදරකාරයෙක්‌ විදියට.

* ලෝකය නොපෙනීම නිසා ඔබට තනිකමක්‌ දැනුණෙ නැද්ද?
අම්මා තාත්තා ජීවත්ව සිටිනතාක්‌ මට තනිකම දැනුණෙ නෑ. ඒත් දෙමාපියො නැතිවුණාට පස්‌සෙ තනිකම කියන එක ගොඩාක්‌ දැනෙන්න ගත්තා. අම්මා තාත්තා ඉන්නකොට මට තිබුණේ එයාලා එළවගෙන යන ජීවිතේ කියන මේ වාහනේ ඉඳගෙන ඉන්න එක විතරයි. ඒත් එයාලා නැතිව මේ වාහනේ තනිව එළවන්න වුණාම තමයි ඒක කොච්චර අමාරුද කියල තේරෙන්නෙ. තනිකම කියන එක මට දැනුණෙ ඒ අමාරුකමත් එක්‌ක.

* අන්ධවීම ජීවිතය ගොඩනඟා ගන්න බාධාවක්‌ කියල දැනුණද?
පැහැදිලිවම. විශාල කරදර ගොඩකට මුහුණදීලා බජාර් භාෂාවෙන්ම කියනව නම් ලොකු ගේමක්‌ දීලා මේ තත්ත්වයට ආව කෙනෙක්‌ මම.

* ඒ බාධකවලට මුහුණදීලා ජීවිතය ගොඩනඟා ගන්න අදහස්‌ කරන්නෙ කොයි කාලෙදිද?
දෙමාපියො නැතිවීමත් එක්‌ක පවුලෙ ආර්ථිකය දුර්වල වෙනවා. ඒ එක්‌කම සහෝදර සහෝදරියන්ට මාව බලා ගන්න එකත් ප්‍රශ්නයක්‌ වේගෙන එනව කියල මට තේරෙනවා. ඒ වෙනකොට අන්ධයෙක්‌ නම් යාචක කම තමයි උරුම කියන තැන සමාජයෙ තිබුණෙ. මමත් නිකම්ම හිටියොත් මටත් උරුම එතැන කියන එක මට තේරුණා. ඒ නිසා මම ජීවිතයට මුහුණ දෙන්න හිතට ගත්තා.

* මියුසික්‌වලට හිත යොමු වුණේ කොහොමද?
දවසක්‌ මම ලොකු අම්මලාගෙ ගෙදර ගිහින් ඉන්නකොට ලොකු අම්මගෙ පුතා මවුත්ඕගන් එකක්‌ වාදනය කරනවා මට ඇහුණා. මටත් ඒක ගහන්න ආස හිතිලා මම ඒක ටිකකට ඉල්ලුවා. ඒත් කටේ කෙළ ගෑවෙයි කියලද කොහෙද මට ඒක දුන්නෙ නෑ. පස්‌සෙ අම්මා මට මවුත් ඕගන් එකක්‌ අරන් දුන්නා. මේ කාලේ දුලාරි චිත්‍රපටයේ “සොහානිරාත්” ගීතය බොහොම ජනප්‍රියයි. රෙඩිෆියුෂන් එකෙන් ඔය ගීතය ඇහෙනකොට සංගීතයට තිබුණ ඇල්ම තව වැඩිවුණා.

* බටනලාවට කලින් මවුත්ඕගන් එකද පුරුදු වුණේ…?
නැහැ. මම මුලින්ම පුරුදු වුණේ ජපන් මැන්ඩලින් එක ගහන්න. ඒක මම ඉගෙන ගත්තෙ අපේ අයියට සංගීතය උගන්වන්න ආව ඡේ. එම් අමරනාත් ගුරුතුමාගෙන්. ඊට පස්‌සෙ තබ්ලාව ඉගෙන ගත්තා. ඊටත් පස්‌සෙ තමයි බටනලාව ඉගෙන ගත්තෙ.

* ගුරුතුමා ඔබට උගන්වන්න විශේෂ ක්‍රමවේදයක්‌ භාවිත කළාද? ඔබ ඉගෙන ගන්න කොයිතරම් කැපවීම් කළාද?
මට පොත් බලන්න බැරි නිසා කටපාඩම් කරවන එක තමයි කළේ. අදත් ඒ අධ්‍යාපනය තමයි මා පසුපස එන්නෙ. සමහර දවස්‌වලට උදේ නවය විතර ඉඳලා රෑ දහය විතර වෙනකන් ඉගෙන ගන්නවා.

* ඔබට ගුවන් විදුලියට එන්න අවස්‌ථාව නොලැබුණා නම් මේ ජීවිත කතාව වෙනස්‌ වෙන්න තිබුණා නේද?
සමහරවිට. කොහොමත් ගුවන් විදුලියට ඇවිත් සෝලෝ එකක්‌ ගහන්න මට ලොකු ආශාවක්‌ තිබුණා. ඒ අවස්‌ථාව උදාවුණේ ගමේ යාළුවෙක්‌ මාව සිරිල් පෙරේරාගේ එම්. ජී. ඩී. කලායතනයට එක්‌ක ගිය නිසා. ඔහු මම ගැහුව සොලෝ එකක්‌ අහලා මෙහෙම කිව්වා. ඔයා ගුවන්විදුලියට එක්‌ක යනව නම් ඒක කරන්න පුළුවන් එකම එක්‌කෙනයි මම දන්නෙ. ඒ එදිරිවීර සරච්චන්ද්‍ර කියලා ඔහු මාගේ හැකියාව සරච්චන්ද්‍ර මහත්තයට පෙන්නුවා. ඒ වෙනකොට ගුවන්විදුලියේ හිටිය අධ්‍යක්‍ෂ නෙවිල් පෙරේරා. සරච්චන්ද්‍ර මහත්තයාගෙ යාළුවෙක්‌. එයාට කියල සරච්චන්ද්‍ර මහත්තයා මාව ගුවන් විදුලියට එක්‌ක ගියා. මේ ගමන එන්න ඒක ලොකු පාලමක්‌ වුණා.

* බදුල්ල වගේ ඈත පළාතක ඉඳන් ඒ කාලෙ හැටියට කොළඹ සමාජයත් එක්‌ක ගනුදෙනු කරද්දි බාධක ආවෙ නැද්ද?
ලොකුම බාධාව තිබ්බෙ මම ඒ වගෙ ඈත පළාතක හිටපු එක. ඇන්ටන් අල්විස්‌ මහත්තයා දවසක්‌ මට අවස්‌ථාව ලබා දුන්නා ප්‍රේමදාස ජනාධිපතිතුමා හිටිය වේදිකාවක සොලෝ එකක්‌ ගහන්න.ඒ කාලෙ එතකොට එතුමා නාගරික මන්ත්‍රීවරයෙක්‌. මගේ මතකයේ හැටියට. එදා ප්‍රේමදාස මහත්තයා ජනතාව ඉදිරියේ පොරොන්දු වුණා මේ කැලෑ මල කොළඹට ගේනවා කියලා. කිව්වත් වගේ එතුමා බලයට ආවාම මාව කොළඹට ගෙනත් මාළිගාවත්තෙ ෆ්ලැට්‌වල නිවසක්‌ දුන්නා. අවුරුදු තිහක්‌ මම ඒ නිවසෙ ඉඳන් තමයි මේ ගමන ආවෙ.

* ජීවිතයේ දී වඩාත් සතුටු වූ දවස මතකද?
අවස්‌ථා දෙකක්‌ තියනවා. එකක්‌ තමයි 1969 දී ලංකාවෙ හිටිය දක්‌ෂතම බටනලා වාදකයන් සහභාගි වූ දක්‌ෂතමයා තෝරා ගැනීමේ තරගයක්‌ තිබුණා. ඒකෙන් විශිෂ්ටතමයා වුණේ මම.එදා වගේම 2012 අවුරුද්දෙ ඉන්දියාවෙ ස්‌ටේඡ් එකකදි සෝලෝ එකක්‌ ගහන්න මගේ තිබුණ ආශාව ඉටුවූ දවසත්. ජීවිතේ වඩාත් සතුටු වූ දවසක්‌. එදා ඉන්දියාවෙ හිටිය සංගීතය පිළිබඳ පණ්‌ඩිත්ලා, ඔක්‌ස්‌තාර්ලා මගෙ අත්දෙක අල්ලගෙන මාව අගය කළා. සමහර අය මට ඇවිත් වැන්දා. ක්‍රිෂ්ණා දෙවිඳුන්ගෙ උපන්දිනය වෙනුවෙන් පැවති උත්සවයකදී තමයි මේ අවස්‌ථාව මට ලැබුණේ.

* වඩා වේදනාකාරී මතකයනුත් තියනවද?
මට ආශාවක්‌ තිබුණා රවි ශංකර් ඉස්‌සරහ මගේ දක්‌ෂකම, පෙන්නල එයාගෙන් වචනයක්‌ අහගන්න. කුවීන්ස්‌ හෝටලයේදී මට ඒ අවස්‌ථාව ලැබුණා. එතැනදි රවී ශංකර් මාව අගය කරල,මාව මැදි කරල ඔක්‌ස්‌තාර් අල්ලාර් අක්‌තයි, රවී ශංකරුයි දෙපැත්තෙ ඉඳන් ෆොටෝ එකක්‌ ගත්තා. ඩන්ස්‌ටන්ද සිල්වා තමයි ඒ ඡායරූපය ගත්තෙ. රවි ශංකර් එතනදි කිව්වා මාව ඉන්දියාවට එවන්න එයා උදව් කරන්නම් කියල. මේ වෙනකොටත් ඒක සූදානම් කරල තියෙන්නෙ කියල ඒ අවස්‌ථාවෙ ඩන්ස්‌ටන් ද අල්විස්‌ කිව්වා. ඒත් ඒ දිනේ කවදාවත් මගෙ ජීවිතේට ආවෙ නෑ. අර ඡායාරූපය මට ලැබුණෙත් නෑ. අනික මම කලින් කිව්ව බටනලා වාදකයන් සහභාගි වූ තරගයේ දී මම විශිෂ්ටතමයා වුණාම ඉන්දියා තානාපති කාර්යාලයෙන් ඉන්දියාවෙ යන්න මට ශිෂ්‍යත්වයක්‌ ලෑස්‌ති කළා. මට ලැබුණ ඒ අවස්‌ථාව ගත්තෙ වෙන කෙනෙක්‌.

* ඒ පුද්ගලයා ප්‍රසිද්ධ කෙනෙක්‌ද?
ඔව්. ඔහු කව්ද කියල මම දැන්ම කියන්නෙ නෑ. දැන් එයා ජීවතුන් අතර නෑ. මගේ ජීවිතය ගැන මේ දවස්‌වල පොතක්‌ ලියවෙනවා. එයා කව්ද කියලත්, මට ගුවන්විදුලියේ දී ආව බාධක,මාව කපන්න උත්සාහ කළ අය කව්ද කියලත් ඒ පොතෙන් කියනවා.

* ආදරය වගේ හැඟීම් ඔබ කාලයක්‌ යන තුරු දරන් හිටියෙ කොහොමද?
මනුෂ්‍යයෙකුට දැනෙන හැඟීම් මටත් තිබුණා. ඇත්ත. ඒත් මම කවදාවත් හිතුවෙ නෑ මට කසාද බඳින්න පුළුවන් වෙයි කියල. ඒ නිසා මම ඒ හැඟීම යටපත් කරගෙන හිටියා. ඒත් මම ගැන පත්තරේ පළවුණ ලිපියක්‌ දැකල මගේ බිරිඳ වන කුසුමා මට ලිපියක්‌ එවා තිබුණා. මට උදව් කරගෙන මා ළඟින් මේ ජීවිතයේ ඉන්න කැමැතියි කියල.

* ඇයගෙ ගෙදරින් විරෝධයක්‌ ආවෙ නැද්ද?
විරෝධයක්‌ ආවා. ඒ නිසා තමයි අපි හිතුවක්‌කාර තීරණයක්‌ ගත්තෙ. ඊට පස්‌සෙ අපි අපේ ජීවිතය සැලසුම් කළා. එයා කළේ විශාල පරිත්‍යාගයක්‌. එයාට මේ ජීවිතයේ වෙන පින්
කරන්න ඕන නෑ. මට සලකගෙන හිටිය එකම ඇති.

* සංගීතයට අමතරව ඔබ ලෝකය පිළිබඳ දැනීම ලබාගන්නෙ කොහොමද?
දැනීම ගන්න මම පාවිච්චි කරන්නෙ ගුවන් විදුලිය. මොකුත්ම දන්නෙ නැතිව මියුසික්‌ විතරක්‌ දැනන් හිටියට වැඩක්‌ නෑ කියල මම දන්නවා. ඒ නිසා පොත් ගෙන්න ගෙන හිතවතුන්ට කියන්න කියල මම අහන් ඉන්නවා.

* විධිමත් අධ්‍යාපනයක්‌ නොලැබුණ එකට කනගාටුවක්‌ තියනවද?
විධිමත් අධ්‍යාපනය කියන්නෙ පාසලකින් ලබාගන්න දැනීමටනෙ. මට ඒ අවස්‌ථාව නැතිවුණත් ලෝකය ගැන මම ඉගෙන ගෙන තියනවා. මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙ බාහිර කථිකාචාර්යවරයෙක්‌ ලෙස 2012 වසර වෙනකන් වැඩකළේ පාසලකින් ලබාගත්ත දැනීමෙන් නෙමෙයි.

* ආගම ඔබේ ජීවිතයට බලපාන්නෙ කොහොමද?
ධර්මය ඉගෙන ගත්ත නිසා තමයි මම මේ ජීවිතයෙ තියෙන යථාර්ථය ඉගෙන ගත්තෙ. ජීවිතේ කඩාවැටෙන්නෙ නැතිව මේ ගමන එන්න ආගමික නැඹුරුව ඉවහල් වුණා.

* ඔබ අද ජීවිතේ තෘප්තිමත් නම් ඒ ඇයි?
මම කාටවත් ණය නෑ. මම කාටවත් බරක්‌ නොවී ජීවත්වෙලා තියනවා. ඒකයි හේතුව.


(දිවයින පුවත්පතෙන් උපුටා ගැනීමකි)

--------------------------------------------------------------------------------------------------

හේමපාල පෙරේරා සංගීත නිර්මාණය කල නිර්මාණ කීපයක් ...

නොනිත් පැතුම් ..........

නොනිත් පැතුම් නිම්හිම් සොයනා
මන්දාරම සේ අහස් තලේ
මායා අඳුරින් දසත වසා පැතිරේ
ඉර හඳ මොහොතක් සුසුම් නඟයි
මායා පටලය සිඳෙන තුරා

අන්ධ අඳුර මැද කාලය පියඹයි
ඉර හඳ අඳුරේ සුසුම් නඟයි
මන්මත් සිතිවිලි විදුලිය රේඛා
මේඝ ඝර්ජනා නඟා දිවෙයි.

නිමේෂයක ඒ අඳුර සුසුම් ලයි
ඉර හඳ යලි ලොව අරා නැඟෙයි
සිතැඟි කළඹවා හද රැඳි ආශා
නිසරු සිහින බිඳ දෙනෙත් අරියි

ගී පද - රෝහණ වෙත්තසිංහ 
ගී තනු - වී.හේමපාල පෙරේරා 
ගායනය - සුනිල් එදිරිසිංහ 
1982 "අධිෂ්ඨාන" චිත්‍රපටයෙන්

මං කවිකාරිලු  .....

මං කවිකාරිලු  මං කවිකාරිලු
ගජමන් නෝනට වැඩි කවිකාරිලු
ආල වඩන කවි සිංදු ගොතන්නට
ඉස්සර ඉඳලම මං කවිකාරිලු

දහසක් රස විඳි කවි පද ගැයු මුත්
ඒ එක කවියක් හිතේ රැඳී නැත
මගෙ සංසාරේ දුක් සනසාලන
සෙනෙහස ගැන එක කවක් කියා නැත
පිං නැති දෝ ඒ කවිය කියන්නට
මේ කවිකාරිට මේ කවිකාරිට

මව් පදවිය ලද අම්මාව‍රුනේ
කොතෙකුත් දරුවන් මං නළවා ඇති
මගේම දරුවෙක් නළවා ගන්නට
එක කවියක්වත් මං කියලා නැති
පිං නැති දෝ ඒ කවිය කියන්නට
මේ කවිකාරිට මේ කවිකාරිට

ගේය පද:  නිමල් රත්නසිරි රූපසිංහ
සංගීතය : වී. හේමපාල පෙරේරා
ගැයුම:  නිරංජලා සරෝජිනී

දුනුකෙයියා මලක් වගේ..........

දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
වැටකෙයියා මලක් වගේ සුවද දැනෙනවා
පසළොස්වක සද වාගේ එළිය ගෙනෙනවා
මගේ අම්මා මට ජීවන සුවය සදනවා............

සංසාරෙන් සංසාරෙට එකට ආ බැදී 
කෙනෙක් නොමැත දරුවෙකු හට 
මවක සේ ලැදී.........
අම්මා යන සමාධියට ඉදිමි සමවැදී
ඔබෙ ගුණ කීමට හෝඩියේ 
අකුරු මට මදී..............//

සිවු බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ
ඔබ දුටුවම මගෙ දුක්ගිනි නිමෙනවා අම්මේ
සක්විති රජවරුනගේ දණ ඔබ ලග නැම්මේ
සිරිමා බෝ මුල මතු දින 
බුදුවෙනු අම්මේ.............//

ගායනය : සුජාතා අත්තනායක
පද රචනය : හේමසිරි ද අල්විස් 
සංගීතය - වී .හේමපාල පෙරේරා

සිතුම් කැරලි කැන්........

සිතුම් කැරලි කැන් පබා කැළුම් මැද
උදේ හවා හමුවී
උතුම් සබඳ ගති විදහා මගේ සිත
සනසාලනු මැනවී...

ලොවෙහි අනිත් සුන්දරත්වයන් මැද
පසන් දසුන ඔබ වෙයි
ඉරත් ඔබයි මගෙ සඳත් ඔබයි සුදු
සැපත් දුකත් ඔබමයි...

මගේ කියන්නට ඔබත් නොවී නම් 
අද මා දිළින්දෙකී
එසේ නොවන්නට කිසිත් නොදත් මා
තවමත් බිළින්දෙකී...


පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වී. හේමපාල පෙරේරා
ගායනය : පර්සි විජේදාස

ගලා යන විට අනෝමා ගඟ.......

ගලා යන විට අනෝමා ගඟ
අසෙකු හා අසරුවෙකු දැක දැක
කසාවත් හැඳ තපෝ වනයට
ඔබ ගියායැයි අසා ඇති මට
හිමියනේ අද ඔබේ බුදු රුව
පැතුම් සහසක් හිතේ උපදයි

බවුන් වඩනට තරම් තැන්පත්
සිතක් මට නැත මටත් අවනත
පියවි රුව දැක පියවි බුදු බණ
අසා ගන්නට සිතක් මට ඇත

ගලායන විට අනෝමා ගඟ.......

වනන්තරයක නිසලතාවය
වේළුවනයේ නිහැඬිභාවය
අනේපිඩු ලෙස ඉපදුනාමය
මගේ සිතටත් පසක්වන්නේ
ඒ නියායෙන් හිමියනේ
මෙතේ බුදු බුදුවන දිනේ
අනේපිඩු සිටු විලස ඉන්නෙමි
පැහැදි බුදු බණ අසාගන්නට

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වී. හේමපාල පෙරේරා
ගායනය : පර්සි විජේදාස

සිත කලඹන විට පිළිසරණින් තොර...........

සිත කලඹන විට පිළිසරණින් තොර
ලොවෙහි දසත සිය දහස් දෙනා
සිව් සිය ගව් දුර තනිවී සිටියද
මට ඔබෙ පිළිරුව මතක් වුණා
සිත කලඹන විට පිළිසරණින් තොර...

දෙබැම සදමිදෝ නෙත් තරු නැති දා 
නළලත දේදුනු වලින් නවා
නාදලු වැනි තොල්පෙති ද පලක් නැත
හසරැලි නොනඟන රැය ද දිවා...

සිතට රිදුම්දෙයි දෙපයට පෑගෙන
මහ පොළොවේ වැලි කැටෙන් පවා
මට ම නොතේරෙයි මල්සර කුමටද
විද්දේ මල් හී මලින් මවා...

සිත කලඹන විට පිළිසරණින් තොර...

දෙඅත පුරා පැළඳූවට කුමට ද
මට හිමිකම් නැති මැණික් මුතූ
ගෙලට දමන්නට අවසර නැති දා
මාල තනන්නද මලින් විසූ...

සිත ද සිතන්නේ වියරු වැටුණ සේ
එක දෙයමය සිය වරක් සිතූ
සිත සනසන්නට පවසනු සොඳුරියෙ
ඔබ මට හමුවන දිනක් මතූ...


පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස් 
තනුව සහ සංගීතය : වී. හේමපාල පෙරේරා
ගායනය : පර්සි විජේදාස

සරා සඳ වැනි වුවන හසුරණ..........

සරා සඳ වැනි වුවන හසුරණ
දෙනෙත් ලිය ගොමුවේ
උදා බැල්මට දසත දිවයන
මසිත එක් තැන් වේ
විවේකය සුව මවා හිනැහෙන
ඔබේ රුව හමුවේ
මටත් දවසක් නැතැයි යන බස 
ඉබේටම බොරුවේ...

උදා හිරු හා සැඳෑ හිරු මෙන්
දැකුම්කළු සීලෙන්
සිනා මවමින් ගලා බැස එන
ගමන පිය ලීලෙන්
දෙපා මැන යන ඉදිරි මඟ හිඳ 
බලන මුදු තාලෙන්
මමත් ජීවත් වන්න වෑයම්
කරමි ඔබෙ නාමෙන්...

සඳක් මොකටද ඉරක් නැතිවද
අඳුර ඉවසන්නම්
හිතක් හිතකට පුදන සෙනෙහස 
මමත් ගෙන එන්නම් 
පුරුද්දක් ලෙස සසර වසනා
තුරුම ළඟ ඉන්නම්
මගෙත් තනියට කෙනෙක් ඇති බව
සිතෙයි මට දැන් නම්...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වී. හේමපාල පෙරේරා
ගායනය : පර්සි විජේදාස

සඳ කාන්ති දෙන රාත්‍රියේ.........

සඳ කාන්ති දෙන රාත්‍රියේ
මේ රංග මණ්ඩපයේ
නාට්‍යාංගනාවී 
දන මන උන්මාදවී

දිගු නීල නයන හෙළා
මිණි මෙවුල නිතඹ සලා
මිණි සළඹ පාද තබා රඟන්නී
දන මන උන්මාදවී

මදහසිනි මුව සරසා
මත් කොවුල් හඞ පරදා
සත්සරින රස අමුණා ගයන්නී
දන මන උන්මාදවී

ගී පද - සුනිල් ජේ. සේමසිංහ 
ගී තනු - වී. හේමපාල පෙරේරා 
ගායනය - සුනිල් එදිරිසිංහ

සඳ පාන සේ උදාවී.....

සඳ පාන සේ උදාවී
ආකාස ගංගාවේ පාවී 
මල් යාය සේ සිනාසී 
හමුවෙන්න මා ගං තොටේදී
රළ වැල්ල සුදු වැල්ලේ වැතිරී
පාවාඩයක් වී එලේවී
සුර ලන්දු පෙම් ගී ගයාවී
පිනි බිංදු ඇත පන් ඉසීවී

දෑතේ බැඳී පෙම් හැඟුම් දී
පියමැන්න සුර දුතිකාවී
සමුදෙන්න මට යන්න වෙන්වී
ඔබ ඉන්න රෑ සිහිනයක් වී

ගී පද - හේමශ්‍රි ද අල්විස් 
ගී තනු - වී. හේමපාල පෙරේරා 
ගායනය - සුජාතා අත්තනායක 


හේමපාල පෙරේරා ගේ ශාස්ත්‍රීය ගිටාර් වාදනයක් ..


හේමපාල පෙරේරා ගේ බැංජෝ ගිටාර් වාදනයක් ..


හේමපාල පෙරේරා @ "රජත සර " 


හේමපාල පෙරේරා ගේ ගී අනුවාදන කීපයක් ..

"තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාලුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ
සුවඳ මා ළඟින්" 

"පායා ආ සඳ අඳුරු වලාවෙන්
මා ඉදිරියෙදිම වැසුණා
සෝකය තාපය පාලුව අතරින්
ඉකි බිඳ හැඬුවා ඇසුණා"


MP3 ගී අනුවාදන කීපයක් මේතැනින් ගන්න


------------------------------------------------------------------------------------------
ප.ලි
වැරදි අඩු පාඩු තියනවානම් පෙන්වා දෙන්න ...
විස්තර උපුටා ගත්තේ දිවයින පත්‍රයේ ලිපියකින් .විස්තර හැමෝමත් එක්ක බෙදාගන්නයි වුවමනා උනේ ...