Monday, December 19, 2016

"නුඹේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින්"


මම එබඳු වෙනත් මිනිසකු ගැන නොදනිමි. මා දන්නා මහලු ම ඉලන්දාරියා ඔහු ය. නූගත් ම උගතා ඔහු ය. වඩාත් ම ගැමි නාගරිකයා ද ඔහු ය. එසේ ම වාණිජකරණයට හසු නොවී, ගමට වී පාඩුවේ, උපේක්ෂා සහගතව සිටින, අලෙවි වීමට වඩාත්ම විභවයක් සහිත නිර්මාණකරුවා ද ඔහු වන්නේ ය. මා එසේ පවසන්නේ ඇයි?

ගල්ගමුවේ මොරගොල්ලාගම මඩදොඹේ විදුහලෙන් හේ හෝඩිය පමණක් සමත් විය. හෝඩිය පමණක් සමත්ව සාහිත්‍ය අනුමණ්ඩලය නියෝජනය කළ එක ම ලාංකිකයා පොඩිරත්න අඟමලේ විය යුතු ය. එමෙන් ම, ඔහු සිංහල භාෂාව ඉතා ම ව්‍යක්තව හසුරවන අතළොස්සක් දෙනාගෙන් කෙනෙකි. ඔහු ලියා ඇති කාව්‍ය, ගීත හා කෙටි කතා කියවන ඔබට, සමහර විට ගැටපද විවරණ අවශ්‍යයැයි හැඟෙන්නේ එහෙයිනි . ඔහු දමිළ බස ද ඉතා ව්‍යක්තව හසුරුවයි. දමිළ බසින් අලංකාරව අකුරු අමුණයි. ඔහුගේ ඉංගිරිසිය ද ජාම බේරා ගැනීමට ප්‍රමාණවත් ය. හෝඩියට පමණක් අධ්‍යාපනය ලැබූ මේ නූගතා තරම් උගතෙක් නැතැයි මා පැවසුවේ එහෙයිනි. ජාතික රූපවාහිනිය හා ජාතික පුවත්පත් නිබඳවම ඔහුගේ සේවය බලාපොරොත්තු වුව ද, වාණිජකරණය ඔහුට රුචි නොවේ.

හැටපහ පැන්නද ඔහුගේ මිතුරන් බොහෝ දෙනෙක් තරුණයෝ ය. ඔහු තරම් ප්‍රශ්නයක් දෙස නවීන ලෙස බැලීමට හා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සමත් තරුණයන් කීදෙනෙක් අප අතර සිටීදැයි ප්‍රශ්නයකි. චින්තනයෙන් පමණක් නොවේ. ගතින් ද ඔහු තරුණයෙකි. හේ ප්‍රාංශු දේහධාරී ය. නිරෝගී ය. මුහුණ සිනාවෙන් ප්‍රභාමත් ය. ඔහු හඳුනාගැනීමට නම් ඔබ භාෂණයේදී මනාව ඉවසිලිමත් විය යුතුයි. ඔහු පවසන දෙයට සූක්ෂ්මව සවන් දිය යුතු ය. ඔහු දිගහරින ජීවන අත්දැකීම් පමණක් නොව, ඒවා පිළිබඳ ඔහුගේ දැක්ම ද ග්‍රහණය කරගත යුතු ය. කතාබහට ඔහු ගමන් සඟයකු වැනි ය.

මේ ආඛ්‍යානය තරමක අතිශෝක්තීන්ගෙන් ගහන බව ඔබ දැනටමත් තීරණය කර සිටිනවා විය හැකි ය. එහෙත්, මේ යථාර්ථය බව මම නැවතත් ඔබට පවසමි. හොඳයි ,ඔහුගේ මේ කථනයට සවන් දෙන්න.

Wednesday, November 16, 2016

" මතකේ තිබේ ද ඒ යුගේ "

1932 සැප්තැම්බර් 13 වෙනිදා ඇල්පිටියේදී උපත ලද  "මරියාකොලන්දේ ක්‍රිස්ටි රොක්සාමි" වැඩි දෙනා අතර ප්‍රසිද්ධ වූයේ “රොක් අයියා”, “රොක්සාමි මාස්ටර්” යන ආදරණීය නම් වලිනි. සිය මවගේ සහ පියාගේ  ආභාෂය නිසාත් සංගරලිංගම් නම් සංගීත ගුරුවරයා නිසාත්  ඔහුට සංගීතය පිළිබඳව ඇල්මක් ආශාවක් ඇති වූ බවත් පැවසේ. සුසිල් ප්‍රේමරත්නගේ ගීතයක් සඳහා ගිටාර් වාදනය කිරීමට ගුවන් විදුලියට ගිය රොක්සාමිට එතැන් සිට දිගින් දිගටම ගුවන් විදුලියේ දොර විවෘත වූ අතර රොක්සාමිගේ සොහොයුරු ඇන්තනි සාමි ද ඒ වන විට වාදනයේ නිපුණයෙකු වූ හේතුවෙන් මේ දෙදෙනාටම ආර්.ඒ. චන්ද්‍රසේන සංගීතඥයාගේ අනුග්‍රහය නොමඳව ලැබිණි.

ආර්. මුත්තුසාමිගේ  සංගීත අධ්‍යක්ෂණය යටතේ ‘බණ්ඩා නගරයට පැමිණීම’ චිත්‍රපටයේ වයලීනය වාදනය කළ රොක්සාමිට සංගීත අංශයෙන් ඉදිරියට යාමට අතහිත දුන් අය අතර තබ්ලා වාදක එම්. ආරියදාස, ජේ.ඒ. සත්‍යදාස, ටී.එෆ්. ලතීෆ් ද වෙයි.
1962 වසරේ ශාන්ති කුමාර් සෙනෙවිරත්න ගේ “සංසාරේ” චිත්‍රපටයෙන් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ බි.එස්. පෙරේරා ගේ හදිසි වියෝව නිසාය. එතැන් සිට මිය යන තෙක් චිත්‍රපට 55ක ඔහු සංගීත අධ්‍යක්ෂණය කර ඇත.

Monday, October 24, 2016

"ඔබට බැඳි ප්‍රේමෙ වැඩිවීලා"

වැලිතොට අගම්පොඩි සාරොන් ද සොයිසා සහ පානදුර පින්වත්තේ ගී කියනගේ ජෙයිසනෝනා ද සිල්වාට දාව අගම්පොඩි ජුලියට් ද සොයියා 1915 අප්‍රේල් මස 22 වැනි දින බළපිටි‍ය, වැලිතර නිවසේදී උපත ලැබුවේ දරුවන් 8 දෙනකුගෙන් යුත් පවුලක කුලුඳුල් නිවුන් දරු උපතේ වැඩිමහල් දරුවා ලෙසය.මූලික අධ්‍යාපනය ලද්දේ වැලිතර ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයෙනි.ඒ. ජේ. ද සොයිසා හෙවත් "සොයිසා මාස්ටර්" යනු කවුරුන්දැයි වත්මන් පරපුර නොදන්නවා ඇති නමුත් ඔහු අතින් ලියැවි රස ගැන්වුණු මධුර ගී එදා මෙන් අද ද එකසේ ජනප්‍රියත්වයේ පවතී.

පාසල් අවදියේ පටන් කලා රසිකයෙකු වූ ඔහු ස්වකීය කලා ජීවිතය අරඹා ඇත්තේ වේදිකා නාට්‍ය ශිල්පියකු ලෙසිනි. එවක ඔහුගේ සමකාලීනයන් වූ හර්බට් එම්. සෙනෙවිරත්න, උපාලි වනසිංහ යන අය සමඟ ඔහු ‘සිදුහත්’, ‘සිරිසඟබෝ’ වැනි වේදිකා නාට්‍යවලට දායක වී ඇත.

සොයිසා සිංහල සිනමාවට සම්බන්ධ වන්නේ ගීත රචනා ක්ෂේත්‍රයෙනි. ඒ, බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ ‘අයිරාංගනී’ චිත්‍රපටයෙනි. ඉනික්බිතිව ජයමාන්නගේම ‘මතභේදය’, ‘දෛව විපාකය’, ‘වනලිය’, ‘හදිසි විවාහය’, ‘ජීවිත පූජාව’, ‘මංගලිකා’ වැනි සිනමාපටවලට ද ඔහු ගීත රචනා කළේය. ඔහු ලිවූ මුල්ම ගීතය වූයේ මොහිදින් බෙග් සමඟ රුක්මණී දේවිය ගායනා කළ 'තරු පායන ආකාසේ ගීතයයි'(අයිරාංගනී 1954),

*රාණී එන්කෝ නැගී මපෙම්' - රුක්මණී දේවි, මොහිදින් බෙග්
   (අයිරාංගනී 1954),
*පෙම් සිහින ලෝකේ මායා' - රක්මණී දේවි, මොහිදින් බෙග්
   (මතභේදය 1955),
*පෙම් මල් මාලා නෙළා ගොතාලා'-රුක්මණී දේවි,මොහිදින් බෙග්
   (මතභේදය 1955),
*ආදර පාන සුදා' - 'දෙවියන් කෝ සමන් දෙවියන්' - රුක්මණී දේවි
   (මතභේදය 1955),
*මල් සරාට ප්‍රේම ලෝකෙ' - සුජාතා පෙරේරා
   (සත පනහ 1965),
*සුරතලියේ සුකුමලියේ'-මොහිදින් බෙග්, ෂර්ලි බ්ලයිත්
   (දෛව විපාකය 1956),
*සාගර හිමිය සොයා'-මොහිදින් බෙග්, මේබල් බ්ලයිත්
   (දෛව විපාකය 1956),
*සුදෝ සුදු රන්'- මොහිදින් බෙග්
   (දෛව විපාකය 1956) ,
*සරාගොයියා හරි මිනිහා'- මේබල් බ්ලයිත්
   (වනලිය 1958)

ආදී සුමධුර ගීත ඔහු ලියූ චිත්‍රපට ගීත අතරෙන් කිහිපයක් පමණි.ඔහු ලියූ ගීත 'ජීවිත පූජාව', 'මංගලිකා', 'රහස් දූපත', 'ඇතුල්වීම තහනම්', 'ප්‍රවේසම්වන්න', 'සල්ලි මල්ලි සල්ලි', 'සිහිනය', 'ලන්ඩන් හාමු' යන චිත්‍රපට සඳහා ඇතුළත් විය. එසේම දෙබස් රචකයකු ලෙස 'සිහිනය', 'වෙන ස්වර්ගයක් කුමටද', 'හෙට ප්‍රමාද වැඩියි', 'දරුවා කගේද', 'සත පනහ', 'ස්විප් ටිකට්', 'ඇතුල්වීම තහනම්', 'ලන්ඩන් හාමු' සහ 'දෙහදක දුක' යන චිත්‍රපට ප්‍රධාන වේ. 

Monday, September 26, 2016

"සමාජයේ කරදර හිරිහැර මැද මිහිර පතුලෙ ගිලුනා"

1930 ජූනි 16 දා කොළඹ දී උපත ලද සාලි මාස්ටර් දරුවන් හය දෙනෙකුගෙන් යුතු පවුලක පස් වැන්නාය.සාලිගේ පවුලේ කිසිවෙකු සංගීතයට සම්බන්ධ වී සිටියේ නැති වූවත් ඔහුගේ හිත සංගීතය සඳහා ඇදී ගියේ කුඩා කල ගවුස් මාස්ටර්ගේ සර්පිනා වාදනය දැකීමෙනි .ගවුස් මාස්ටර් අනුකරණය කරමින් පුරුදු පුහුණු වුන සාලි අවුරුදු 15දී පමණ වනවිට හොඳ සර්පිනා වාදකයෙකු වුයේය .1948 දී ඔහු වෘත්තීය සර්පිනා වාදකයෙකු බවට පත් වී ක්ෂේත්‍රයට පිවිසි අතර "සාලි මාස්ටර්" නමින්  එවකට ප්‍රභූ නිවෙස්වල පැවැති  බජව් ,පැදුරු සාජ්ජ වල සහ එළිමහන් ප්‍රසංගවල සර්පිනා වාදනය කිරීම  සිය රැකියාව කර ගත්තේය.

ජනප්‍රිය වාදකයෙකු බවට පත් වුවද සංගීතය හදාරා නොතිබූ බැවින් ඒ පිළිබඳව දැනුමක් ඔහු සතු නොවිනි. මේ අතර ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගැනීම සඳහා සාලිට මහඟු අවස්ථාවක් උදාවිය .ඉතිහාසයේ පළමූ වරට මූස්ලිම් සංගීත ශිල්පීන් සඳහා සංගීත පන්තියක් ඇරඹෙන්නේ 1960 දශකය ආරම්භයේය. ඒ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළේ එවකට ලංකා කලා මණ්ඩලයේ මූස්ලිම් කටයූතු භාරව සිටි එම්. බී. එම්. ගවූස් මහතාය.

 "රජයේ ලලිත කලායතනයේ චිත්‍ර අංශයේ ආචාර්යවරයකු වූ ගවූස් (සංගීතවේදියා නොවේ) මේ සංගීත පන්තිය මෙහෙයවීම සඳහා යොදවා ගත්තේ එම ආයතනයේ ම සංගීත අංශයේ ආචාර්යවරයකු වූ සංගීත විශාරද එස්. ද එස්. ජයසේකර මහතාය. (ගායිකා චම්පා කල්හාරිගේ පියා) යි. 1963 දෙසැම්බර් 21 වනදා සිට සතියේ දින තුනක් පස්වරු 5 සිට 8 දක්වා රජයේ සංගීත විද්‍යාලය තුළදී පන්ති පවත්වන ලදී. මොහොමඩ් සාලි, ජේ. ඇම්. ඇම්. සාදික්, හරූන් ලන්ත්‍රා, සූබයර් කරීම්, ඇම්. බී. හසන් අලියාර්, ඒ. එච්. ඒ. සහර්දීන්, මොහිදින් බෙග්, ඇම්. එල්. අයිදුරූස්, ඕ. ෂරීෆ්, ඇම්. සූබයිර් කරීම්, එස්. එම්. එම්. බූහාරි, ඒ. එම්. එම්. මොහිදීන්, එම්. අයි. එම්. අමීන්, ටී. එම්ි. තාජූදීන්, එන්. එම්. මහරුෆ් ආදී මූස්ලිම් සංගීත ශිල්පීහූ 40 දෙනෙක් පමණ ජයසේකර මහතාගෙන් සංගීතය උගත්හ. පූරා තෙවසරක් පමණ මේ පන්ති පැවැත්වූණූ අතර සෑම වර්ෂයක් අවසානයේම පරීක්ෂණයක් පවත්වන ලදී. මේ ශිෂ්‍ය කණ්ඩායම අතර මොහොමඩ් සාලි කැපී පෙනිණි."
(සූනිල් ආරියරත්න, ගාන්ධර්ව ආපදාන)

Monday, August 22, 2016

"පදික වේදිකා කෙළිබිම කර ගත් කාටත් නොපෙනෙන දරුවෝ"

හොඳම දේ ළමයින්ට දෙන්නැයි ලෙනින් කියා තිබේ. ඔහු එසේ ප්‍රකාශ කළේ එක්‌දහස්‌ නවසිය තිස්‌ ගණන්වලදී සෝවියට්‌ සංගමයේ හටගත් මහා දුර්භික්‍ෂයක්‌ සහ අස්‌වනු පරිහානියට පත්වීම නිසා ඇති වූ ආහාර හිඟයේදී ය. "හොඳම දේ ළමයාට කවන්න. ඉතිරි යමක්‌ තිබුණොත් අපට කත හැකියි. අනාගතය වෙනුවෙන් ජීවත් විය යුත්තේ අප නොව ළමයා ය." යනුවෙන් ඔහු කීය.මෙතෙක්‌ කලක්‌ අපි අපේ දරුවන්ට දී ඇති හොඳම දේ මොනවාද ??.



(අන්තර්ජාලයේ දුටු වීඩියෝ පටිය නැරඹු විට සහා මගේ ආදරණිය මිතුරෙකු වූ Chiran Windsor මුහුණු පොතට එකතු කල ගීත ගොන්නක් හැමෝමත් එක්ක බෙදා ගන්න මෙතනට ගෙනාවා )
------------------------------------------------------------------------------------------

Thursday, July 21, 2016

"සඳකැන් දහරින් - දෙනුවන් පිරිලා"

(පින්තුරය පුලස්ති එදිරිවීර මහතා විසින් අඳින ලද්දකි ) 
ගාල්ල මහින්ද විද්‍යාලයේ 16 හැවිරිදි සිසුවකුව සිටිමින් ම සිය ලේඛන කලාවට කිත්සිරි නිමලශාන්තයන් අත්පොත් තැබුවේ "කොතැන හෝ වරදක් ඇත" නමින් කාව්‍ය සංග්‍රහයක් එළි දක්වමිනි. බැංකු ලිපිකරුවකු ලෙස ලැබුණු සිය පළමු ජීවන වෘත්තිය මාස කිහිපයකින් ම හැරපියා ඔහු පුවත්පත් කලාව සිය යාවජීව ජීවන වෘත්තිය ලෙස තෝරා ගත්තේ සමහර විට එකී කොතැන නමුත් වැරදුණු තැනක් නිවැරදි කරගන්නට සිතුණු නිසා විය හැක. පන්ඩිත් ධර්මරත්න, මාර්ටින් වික්‍රමසිංහ, අරිසෙන් අහුබුදු වැනි ගත් කතුවරුන්ගේ ඇසුර  ලැබූ ඔහු දිවයින පුවත්පතේ වසර 17ක් සේවය කරමින් අවසන එහි විශේෂාංග කර්තෘ වරයා වූ ඔහු වසර 2000 දී දිනපතා ලක්බිම පුවත්පතෙහි ආරම්භයත් සමඟ එහි ප්‍රධාන කතුවරයා විය. බොහෝ ඇසූපිරූ තැන් ඇති ඔහුගෙන් පුවත්පත් කලාව තුළ ගුරුහරුකම් ගත් පිරිස බොහෝය. එමෙන් ම සිංහල භාෂාවේ සුරැකුම, නිවැරදි භාවිතය පිළිබඳව බොහෝ සෙයින් උනන්දුවූ පුවත්පත් කලාවේදියෙකු ලෙස ද ඔහු සැලකේ. 

Thursday, July 7, 2016

"මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති"



"සිරියාමෙ සාරා" ගීතය ගැයූ දා සිට සරුසාර කීර්තිය ඔහුගේ ජීවිතය ලුහුබැන්දේය. ප්‍රසාදය ඔහුගේ ජීවිත පිල්කඩෙහි ලැගුම් ගත්තේය. ජනානන්දය ඔහුගේ ජීවිත දොරටුව අසල නේවාසික විය. එහෙත් ජෝති ඒ සියල්ලට උඩින් පැන ඔහුට ඔහුට ආවේණික සරල රේඛාවෙන් හුස්‌ම ගත්තේය. නිහතමානී නිමල සුවඳ පෙනහළු තුළ පිරි තිබිණි. කීර්තියේ විජිතයෙන් බිමට බැස චාම් මිනිසා වෙසෙන බිම් මහලට පැමිණ පැදුරක්‌ එළා එතැන වාඩි විය. පොදු මිනිසා හුස්‌මගත් නවාතැන් පොළ ඔහුගේ ජය භූමිය විය.

කිසිම ගාන්ධර්වයකුගෙන් ඔහු සිප්සත ඉගෙන නොගත්තේය. සංගීතායතනයක හෝඩිය නොකීවේය. එහෙත් ඕනෑම ස්‌වර රචනයක නාද රිද්මය ඉවෙන් දැන සිටියේය. මිනිසා උපතින් ගෙනෙන බොහෝ දේට වැඩි යමක්‌ ජෝති මව්කුසින් රැගෙන ආවේය. පොදු මිනිසාගේ හදගැස්‌ම හැඳිනීම මව් කුසේදීම ඔහු ලැබූ දායාදයක්‌ විය. ඔහු ගීතයේ රිද්මය මව්කුසේදී උගත්තේය.

ඔහු උපන් නැකැත් තිථිය මේ රටේ මහා සම්ප්‍රදායන් වෙනස්‌ කළේය. මහ කඳු සිඛර පෙරැළෙන්නා සේ සංගීත සම්මතයන් සමතලා විණි. ජෝති ගීයක්‌ ගායනා කරන විට මිහිකතද සෙළැවිණි. එතරම් මියුරු රිද්මයක්‌ද චලනයක්‌ද ඔහුගේ කටහඬෙහි විය. ඔහුගේ මුව විටින් ගලා ආ රස රැව් පොදු මිනිසාගේ ක්‍ෂද්‍ර ගීන්නට ද අහරක්‌ විය. එය ඔවුන්ගේ ජීවන රිද්මයේ සත්‍ය සලකුණ විය. ජෝතිගේ හඬින් තමන්ගේ ආත්මයේ නිනාදය නිදහස්‌ ගුවන් කුස තටුසලනු  ඔවුහු අසා සිටියහ. රිදී තිරය ලෙස බලා සිටි සාමාන්‍ය මිනිසාගේ නෙතෙහි නළුවා නොරැදුනත් සවණෙහි ජෝති අමරණීය විය.

- ධර්මසිරි ගමගේ
---------------------------------------------------------------------------------------------------

Sunday, June 26, 2016

"අහස වැසි වසිනා නමුත් - කවදාද ඒ වැහි වහින්නේ නොදනිම්"


1971 දෙසැම්බර් 20 වන දිනයයි ..විද්‍යා විෂය හදාරන 8 වසරේ සිසුවෙකු ගුවන් විදුලියේ ගීතයක් පටිගත වී එය ප්‍රචාරය වන්නේ කෙසේදැයි බැලීමට ආශාවෙන් හා දැඩි කුතුහලයකින් ගුවන් විදුලියේ 5වන මැදිරිය වෙත යනවා .එදින ප්‍රචාරය වන වැඩසටහනක් සඳහා එක ගීතයක අඩු බව දැන ගන්නා ඔහු සිය මතකයේ රැඳී තිබු කවි පද කීපයක් ලියා  වාදක මණ්‌ඩලයේ සිටි නෙවිල් ප්‍රනාන්දු නම් වූ සංගීතඥයාට ලබා දෙනවා.නෙවිල් ප්‍රනාන්දු එවේලේම ගිටාරයේ තත් පිරිමදිමින් නිර්මාණය කළ මධුර තනුවක් නිර්මාණය කරනවා .එදා ගුවන් විදුලි සංස්ථාවේ සින්දු පටිගත කරනවා බලන්න ගිය කොල්ලා පස්වැනි මැදිරියෙන් එළියට ආවේ ගීත රචකයෙක් වෙලා. ඒ සුජාතා අත්තනායක ගැයූ  "මංගල කසී සළු" ගීතය නිර්මාණය වන්නේ එලෙසයි .ගී පද රචකයා වන්නේ ශ්‍රී ලාංකේය සුභාවිත ගීතයේ සුන්දරත්වය උදෙසා මහා විසල් මෙහෙයක් කරපු "සුනිල් ආර්. ගමගේ" නම් සොඳුරු මිනිසායි ...
ඔහුගේ අතිශය ජනප්‍රියත්වයට පත් "ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය" ගීතය බිහිවූයේද ගුවන් විදුලියේ නව පදමාලා වැඩසටහනට තැපෑලෙන් යොමු කළ පද මාලාව ගුණදාස කපුගේ වෙත යොමුවීමෙනි. සුනිල් එදිරිසිංහයන් සරල ගී වැඩසටහනකට තෝරාගත් "පුර පෝය හඳට" ගීතයද ඔහු තැපෑලෙන් යෑවූ පද වැලකි. රෝහණ වීරසිංහයන්ගේ ප්‍රථම ගුවන් විදුලි ගීතය වූ "සමාවෙන්න ගුරුතුමාණෙනි" ගීතයද සුනිල් ආර්. ගමගේ නව පද මාලා වැඩසටහනට යොමු කළ ගීතයකි.

අවුරුදු හතළිස් පහකට ආසන්න කාලයක් ශ්‍රී ලාංකීය ගී කෙත පෝෂණය කල සුනිල් ආර්.ගමගේ නම් අපුරු  ගී පද රචකයාගේ  නිර්මාණ කීපයක් ඔබ වෙනුවෙන් ...........

Monday, June 6, 2016

"රාජ සභා මණ්ඩප වල ජයට නටාලා"


එදා පුංචි තිරයේ, වේදිකාවේ, සිනමාවේ මෙන්ම ප්‍රසංග වේදිකාවේ ද ඔහු රඟපෑ චරිතයන් මෙන්ම ගායනයන් ද වසර ගණනාවක් ගතවුනත් අදත් ප්‍රේක්ෂක රසික හදවත්වලින් දුරස් නොවී පවතී.ඒ  අන් කවරෙක් නොව ජනප්‍රිය නළුවකු හා ගායකයකු ලෙසින් අප ආදරයය කල  ග්‍රැන්විල් රොඩ්රිගෝය .

මෝදර, "ද ලා සාල්" විද්‍යාලයෙන් හා කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය යන පාසල් වලින් අධ්‍යාපනය හැදෑරූ ග්‍රැන්විල්, සංගීතය කෙරෙහි යොමුවන්නේ පාසල් වියේදීමයි. නිරතුරුව ඔහු අත රැඳුනේ බොක්ස් ගිටාරයයි. "කවදා හෝ සංගීතඥයෙකු වන්නෙමි" යන සිතුවිල්ල මේ කාලයේදී තම සිත්හී මෝදු වෙමින් තිබූ බව පසු කලෙක ග්‍රැන්විල් මාධ්‍යයට පවසා ඇත. ඔහු මුතුවැල්ල ශාන්ත ජෝන් දේවස්ථානයේ ගායන වෘන්දයේ නිත්‍ය සාමාජිකයෙක්ව සිටියදී බොහෝ පැසසුම් ලැබුවේය. 

කේමදාසය මාස්ටර්ගේ ඇසුරේ කලා කෘතින් වලට දායකවීමට ලැබීම  ඔහු ලද ඉමහත් වාසනාවකි .කේමදාසයන් ද රජ වැඩ කෘතියට ග්‍රැන්විල් සහභාගි කරවා ගන්නේ, ඔහුගේ සංගීත කුසලතාව හා රංගනයේ හැකියාවන් ද  මනාව හඳුනා ගත් නිසයි .

වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයෙදී මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර, හා ධම්ම ජාගොඩ යන ක්ෂේත්‍රයේ දැවැන්තයින්ගෙන් ගුරුහරුකම් ලබා ගන්නට තරම් වාසනාවන්ත වනවා.  ග්‍රැන්විල් , ඔහු තුල සැඟවී ගත් නිසග කුසලතාවන් ඔප මට්ටම් කර ගැනීමටත් මෙය ඔහුට මහඟු අවස්තාවක් වනවා . "මනමේ", "සිංහබාහු", "මහාසාර", "සුභ සහ යස", "ඒකාධිපති" හා "සක්යා", වේදිකාවේ දී ඔහු ප්‍රතිභාව පෙන්වූ නාට්‍යවේ.

Sunday, May 22, 2016

"අපට ඔබේ දෑත දෙන්න වැටුණු තැනින් නැගිට එන්න"

දෙවැනි මෙහෙයුමට අපි සුදානම්. විපතට පත් අපේම වුන්ගේ නිවෙස් පිරිසිදු කර දෙන්නට. ශ්‍රම දායකත්වය දිය හැකි අය සටහනක් දාන්න සම්බන්ධකරගත හැකි විදියත් එක්කම. එසේම අපට මෙන්න මේ දේ හැකිනම් ලබා දෙන්න.
රබර් හෝස්, මොප්, වයිපර්, ඉදල් කොසු, විශබිජ නාශක ද්‍රව්‍ය, ඒවා පහත ස්ථානයට භාර දෙන්න අප ඒවා ලබා ගන්නම්.
ඉහත ද්‍රව්‍ය ඔබට පිරිනමන්න හැකිනම් ඒවා නො 455 ගාලුපාර කොල්ලුපිටිය (කාගිල්ස් බෑන්ක් ඉදිරිපස) සමුපකාර රක්ෂණ සමාගමේ ආරක්ෂක අංශට භාර දෙන්න. එසේම අපව දැනුවත් කරන්න 0777210068 නලින්, 0719283200 පුබුදු.
(අපේ නලින් දිරුක්ෂ බුකියේ දමා තිබුන පණිවිඩය මෙතැනට ගත්තේ බ්ලොග් කියවන හැමෝටම දැනුම් දීමට .අපි එකතුවෙලා පුළුවන් දෙයක් කරමු )

-------------------------------------------------------------------------------
අපට ඔබේ දෑත දෙන්න
වැටුණු තැනින් නැගිට එන්න....

අප හැම දෙනාම වැටුණු වලෙන් ගොඩට ගන්න
ජන නායකයිනි එක තැනකට එකතු වන්න 
තරහ මරහ ටිකකට අමතක කරන්න
කුලල් කකා බෑ මේ රට ගොඩ නගන්න

බිඳ වැටුණු රටට හදවතින්ම පිහිට වන්න
මහ ජනතාවනි එකා වගේ එකට ඉන්න 
එපා ජාති ආගම් කුලමල තකන්න
හිතමු අළුත් ශ්‍රී ලංකාවක් හදන්න

ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න 
ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ 
ගායනය - සුනිල් එදිරිසිංහ
----------------------------------------------------------------------
සාමානයෙන් කොච්චර කැළණි ගගේ වතුර වැඩි උනත් නාගල ගම් වීදිය උඩින් වතුර දාන්නේ කලාතුරකින්. 89 ගංවතුරෙන් සැගවුන තමන්ගේ අම්මා සොයන තරුණයෙක් ගැන කපුගේ මහත්තය නිරංජලා සරෝජිනි මහත්මිය එක්ක කිව්ව ගිතයක් මතක් වුනා ..

නාගල ගම් වීදියේ..
නාගල ගම් වීදියේ වතුර ගැලූ වංගියේ
තෙමිච්ච කිකිලි වගේ ලෑලි පැලේ උඹ උන්නා..
කටකර අම්මණ්ඩියේ..

කැළණි ගඟානෝ උතුරා ගංවතුරක් ගැලුවා
වතුර බැස්ස සුමානෙ අද අපි උඹවත් සෙව්වා
වැලි තරමට බෑ කද නම් උහුලන්නට බෑ
කටකර අම්මණ්ඩි කොහෙද කවුරුත් දන්නෑ
නාගල ගම් වීදියේ වතුර ගැලූ වංගියේ
තෙමිච්ච කිකිලි වගේ ලෑලි පැලේ උඹ උන්නා..
කටකර අම්මණ්ඩියේ..

ඔහේ පාලුවට ගිය ඒ ලෑලි පැලත් වනසා
බුල්ඩෝසර් ගියා දොහක මහ ගජසෙන් බිඳදා
අනේ අනිච්චං කියල කිවුව කෙනෙක් නෑ
කටකර අම්මණ්ඩි කොහෙද දන්න කෙනෙක් නෑ
නාගල ගම් වීදියේ වතුර ගැලූ වංගියේ
තෙමිච්ච කිකිලි වගේ ලෑලි පැලේ උඹ උන්නා..
කටකර අම්මණ්ඩියේ..

ගායනය: ගුණදාස කපුගේ සමඟ නිරංජලා සරෝජිනි

Thursday, May 12, 2016

"මධු සැලෙ දොර වසා මා වෙතට පැමිණෙන්න "



සිංහල සිනමා ක්ෂේත්‍රය තුළ ඡායාරූප ශිල්පියෙකු, සංස්කාරකරවරයෙකු, නිෂ්පාදකවරයෙකු, අධ්‍යක්ෂකවරයෙකු ලෙස ඔහු අතින් සිදුවූ මෙහෙවර සුවිසල්ය. සිනමාවෙන් රූපවාහිනී ටෙලි නාට්‍ය නිර්මාණයට ආගමනය වූ ලබන නිහාල්සිංහගේ භූමිකාව මෙරට ටෙලි නාට්‍ය වංශකථාවෙහි ද සටහන් වී ඇත්තේ ඔහුගේ සිනමා වාර්තා මෙන්ම විශිෂ්ට වාර්තා ලෙසය.ටෙලි නාට්‍ය ඉතිහාසයෙහි ප්‍රථම වර්ණ ටෙලි නාට්‍යය වූ දිමුතු මුතු ඔහුගේ මහරු ඵලයකි. අද දවසේ වුව, නිසරු ටෙලි නාට්‍ය නරඹා හෙම්බත් වී සිටින ප්‍රේක්ෂකයනට දිමුතු මුතු ගෙනෙනා ආස්වාදය මිහිර සුන්දර ය. "රේඛා" සංගීතමය ටෙලි නාට්‍යය මෙන්ම, "සුදු සහ කලු" ටෙලි නාට්‍ය ද නවකයන් මෙන්ම ප්‍රවීණයන් ද පුංචි තිරයට හඳුන්වා දුන් නිහාල්සිංහ නිෂ්පාදන වේ. දේවිකා මිහිරාණි, අමරසිරි කලන්සූරිය, චන්ද්‍රලේඛා පෙරේරා, ලක්ෂ්මන් විජේසේකර හා ගාමිණි ෆොන්සේකා ආදීහු ඒ අතර වුනා .

ඩී. බි නිහාල්සිංහ ටෙලිසිනේ ආයතනය ආරම්භ කලා . ඔහු වසර දහයක්‌ එහි ප්‍රධාන විධායක ලෙස කටයුතු කලා . ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේද ප්‍රථම ටෙලි නාට්‍ය මලාව ලෙස "දිමුතු මුතු" ඔහු විසින් නිර්මාණය කළේය. දේවිකා මිහිරානි" ප්‍රථම ටෙලි නිළිය වූවා මෙන්ම, අමරසිරි කලංසූරියද ටෙලි නළුවකු වූයේ දිමුතු මුතු ඔස්‌සේය.ඉන්පසු නිහාල්සිංහ "රේඛා" ටෙලි නාට්‍ය මාලාව අධ්‍යක්‍ෂණය කළේය. ‘රේඛා’ ටෙලි නාට්‍ය අපේ ටෙලි නාට්‍ය වංශ කතාවේ පළමු වැනි සංගීතමය ටෙලි නාට්‍යය යි. 

Sunday, May 8, 2016

"හිරු පායා එන සුන්දර මොහොතක"


මීගමු පුරවරයෙන් බිහි වූ අසූව අනූව දශකයන්හි වඩාත් ජනාදරයට පාත්‍ර වූ ‘හිරු පායා එන සුන්දර මොහොතක’, ‘ගම හැරදා සිදාදියට’, ‘සුදු සේල අගින්’,'කවියන්ගේ රස හැඟුම'  වැනි රසික සිත් සතන් පිනවූ ගීත රැසක හිමිකරු ය.ඒ විල්බට් ඇන්තනී නම් වන අපූර්ව ගායකයා ය,සංගීතවේදියා ය.

කරුණාරත්න අබේසේකරයන් මෙහෙය වූ “මැලිබන් ගුවන් තොටිල්ල“ ආධුනික ගී ප්‍රසංගය (1965) වැඩ සටහනේ දී එච්. ආර්. ජෝතිපාලයන් ගැයූ ඇලෝයි ගුණවර්ධනයන් ලියූ “පායා ඇයි හිනැහෙන්නේ“ ගීතය ගයා ජයග්‍රහණය කොට ගුවන් විදුලි ගායන ශිල්පියෙකු වීමේ භාග්‍ය හිමි කර ගත් විල්බට් “කවියන්ගෙ රස හැඟුම“ ගීතය මුලින්ම ගුවන් විදුලියට ගායනා කරන විට ඔහුට වයස අවුරුදු විස්සක් වත් සම්පුර්ණ වී නොතිබිණ .එමෙන්ම වයස අවුරුදු 15 දී පමණ මීගමුවේ පැවති ගායනා තරඟයකදී තමා “මීගමු ගීත රාජයා" ලෙස තේරීම ද එම තරඟයේ විනිශ්චය මණ්ඩලයේ සිටි ලතා වල්පොල ගායන ශිල්පිනිය සමඟ පසු කලෙක යුග ගී ගායනා කිරීමට තමාට අවස්ථාව ලැබීම පිළිබඳ ව ද විල්බට් සිය ගායනා දිවියේ විශේෂිත සිදුවීම් ලෙස සැලකුවේ ය.

වයස අවුරුදු 12 දී පමණ “රම්‍යලතා“ සහ “සොහොයුරෝ“ චිත්‍රපට වල ළමා චරිත නිරූපණය කරමින් කලා ක්ෂේත්‍රයට එක් වූ විල්බට් ගේ හඬ මුලින්ම චිත්‍රපටයකදී යොදා ගන්නා ලද්දේ කවි ගායනයක් සඳහා ය. ඒ “මිස් මල්ලිකා“ චිත්‍රපටයේ ය. පසු කලෙක “හොඳින් නැත්නම් නරකින්“ චිත්‍රපටයේ “නාඬන් මගේ සුදු බට්ටිච්චෝ“ ගීතය ගයමින් පසුබිම් ගායකයෙකු වූ විල්බට් පසුව “ඔබ මට විශ්වාසයි“ - “අතුරු මිතුරු“ - “නොහඬන් ලඳුනේ“ - “සුර දරුවෝ“ - “ඔබ මගේම වේවා“ සහ “කුමරි බඹසර හැඬු දා“ ඇතුළු චිත්‍රපට කිහිපයකම පසුබිම් ගීත ගායනා කළේ ය. “සුදු නංගියා“ - “සුදු සේල“ සහ “සමනල කාලේ“ (සංජීවනී වීරසිංහ සමඟ) විල්බට් ගැයූ ගී ඇතුළත් වූ කැසට් පට වන අතර ලතා වල්පොල, ප්‍රෙඩී සිල්වා, ග්‍රේෂන් ආනන්ද, උරේෂා රවිහාරි සහ සංජීවනී වීරසිංහ සමඟ විල්බට් යුග ගී ගයා ඇත.

ඔහු ගීත ගායනා කළේ අතළොස්සයි. ඒ සියල්ල ගොඩක් අදටත් ජනප්‍රියයි. හැබැයි එතුමාගේ හැකියාව ගැන අදටත් අපේ සංගීත ක්ෂේත්‍රයේ අය දැනුවත් නැහැ කියලයි මට හිතෙන්නේ . ඔහුට තිබුණේ හරිම වෙනස් ගැඹුරු හඬක් වගේම සොඳුරු නිහඬ මනුස්සයෙක්.

Sunday, May 1, 2016

"මේ පිපාසිත ලෝතලේ"

ශ්‍රී ලාංකික ගීත ක්‍ෂේත්‍රයේ නොමැකෙන යුගයක්‌ නියෝජනය කළ මහා ගායකයකු  වූ ඔහු නමින් "ජයසිංහ ආරච්චිගේ මිල්ටන් පෙරේරා" හෙවත් "ඡේ. ඒ. මිල්ටන් පෙරේරාය". ප්‍රකට තබ්ලා වාදකයකු වූ ඡේ. ඒ. එඩ්වින් පෙරේරා (තබ්ලා පොඩි අපුහාමී) සහ ප්‍රේමවතී වික්‍රමාරච්චි නම් යුවළට දාව වර්ෂ 1937 මැයි මස 05 දින කොළඹ කොටහේනේදී මිල්ටන් මෙලොව එළිය දුටුවේය. කොටහේන නිල් වීදිය මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු සිය පියාගෙන් හා මොහමඩ් ගවුස්‌ මාස්‌ටර්ගෙන් සංගීතය හැදෑරීය. ඔහු මුලින්ම සංගීත ක්‍ෂේත්‍රයට එක්‌වන්නේ තබ්ලා වාදකයකු වශයෙනි. සංගීත භාණ්ඩ වාදනයෙහි සමතෙක් වූ ඔහූ ඉතා දක්ෂ තබ්ලා වාදකයෙක් ද වේ. ලංකා ගුවන් විදුලි සේවයේ ගීත ගායනා පරික්ෂණ වලින් ඉතා විශිෂ්ට ලෙස සමත් වූ මිල්ටන් පෙරේරා සිය ලයාන්විත මෝහනිය කටහඬ නිසාම ගීත ගායනා ලෝකයේ ජනප්‍රිය ගායකයෙක් වූයේය. සිතට විරහා වේදනාවත්, නෙතට කඳුළත් නංවන්නට සමත් වූ මිල්ටන්ගේ හැඟුම්බර ශෝකි ගීත රාවය ආදරයෙන් වෙන්වීමේ දොම්නස අගේට කියා පෑවේය.

මිල්ටන් ගායනයට ප්‍රවිෂ්ට වූයේ ඔහුගේ මිතුරු එච්. ආර්. ජෝතිපාලගේ ඇරියුමකටය. ජෝතිගේ බොහෝ ගීතවලට තබ්ලාවෙන් සහාය වූයේ මිල්ටන්ය. මිල්ටන්ගේ මුල්ම ගීතය වන්නේ‘නයාදෝර්’ චිත්‍රපටයේ ආ ගී තනුවකට අනුව ගැයු ‘ආලෙහි බැඳි ජීවිත අඳුරේම ගිලේවි’ නම්වූ ගීතයයි  . පසු කලෙක මිල්ටන්ම පුවත් පතකට පැවසු පරිදි ජෝතිපාලයන් සමග පැවැති මිත්‍රත්වය ඔහුගේ ජනප්‍රියත්වයට බෙහෙවින් ඉවහල් විය .

මෙම ගායක දෙපළ හා සම්බන්ධ  "අනංග වාදය "  එදා මෙරට ගීත ශ්‍රාවකයන් තුළ මහත් ආන්දෝලනයක්‌ ජනිත කරන්නට සමත් විය. ගීතයකට පිළිතුරු ගීතයක් වන පරිදි බිහිවූ මෙම ගී පෙළ රසික හදවත් අමන්දානන්දයට පත්කරන්නට සමත් විය .  ජෝති මිය ගිය පසු මිල්ටන් මෙය සනිටුහන් කලේ මේ ආකාරයෙනි ,,,,,,,,,,,,,,,,,,,

"බිතු සිතුවම් රූ වාගේ දුක සැප දෙකෙහිම පැවතී ..
හිත මිතුරු මගේ ජෝතී 
ගියෙ ඇයිද මගෙන් වෙන්වී....

ගී හඬට ඔබේ බැඳිලා 
මම ආවෙමි ඔබ සොයලා 
ඇසුරේ සිත සනසාලා සිටියෙමි ගුනකඳ හඳුනා ..
මා යන මග ජෝති සදා 
ඔබ වෙන්වී යන්න ගියා...

ආදරයේ ගී රාවේ 
සිහිනෙන්ඳ ඇසෙනු වාගේ ඔබ නැති ලොව තනිවූ දා මිතුදම කඳුලක් වුයේ ...
සසරෙ උපදින වාරේ 
ඔබ හමුවේවා ආයේ..."

Thursday, April 21, 2016

"දෑතේ එල්ලී මියුරු කතා කී"

නවක ගීපද රචකයන් ගායක ගායිකාවෝ සංගීතවේදීන් ජාතික තලයට ඔසවා තැබීමේ අදිටනින් විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ පුරෝගාමියෙක්‌ ලෙස ස්‌වර්ණ ශ්‍රී බණ්‌ඩාර හා ගුණදාස කපුගේ රජරට ගුවන් විදුලි වංශ කතාවට එක්‌වේ.ස්වර්ණ ශ්‍රී බණ්ඩාර අවුරුදු 46 ක් වැනි කෙටි ජීවිත කාලයට ඔහු පල්ලේගම හේමරතන හිමියන්, මහින්ද චන්ද්‍රසේකර, මහින්ද දිසානායක, සේන නානායක්කාර, බ්‍රැඩ්මන් ජයවීර, කේ.එම්.අයි. ස්වර්ණසිංහ, ඇබෝගම වසන්ත බණ්ඩාර, මහින්ද පතිරගේ, චුල්ල ජයවර්ධන, කරුණාරත්න දිවුල්ගනේ, පොඩිරත්න අංගමලේ ඇතුළු තව බොහෝ දක්ෂයින් රටට හඳුන්වා දුන්නා. ස්වර්ණ ශ්‍රී අපිට හිටපු ප්‍රවීණ කවියෙක්, ගීත රචකයෙක්, නාට්‍යකරුවෙක්, ගුවන් විදුලි සන්නිවේදකයෙක් වගේම ජනශ්‍රැති පර්යේෂකයෙක්.හැත්තෑව දසකයේ මැද භාගයේ පමණ ගීත රචකයෙකු ලෙස ගෞරවය දිනාගත් ස්වර්ණ ශ්‍රී බණ්ඩාර සාමා චිත්‍රපටයට ගීත රචනා කිරීමෙන් ක්ෂේත්‍රයට එක් විය. ප්‍රතිභා සම්පන්න කවියෙකු වූ ස්වර්ණ ශ්‍රී කවියේත් ගීතයේත් වෙනස මැනවින් වටහාගත්තෙකි. ගීතයේ අන්තර්ගතයට උචිත ආකෘතිය තෝරාගැනීම ඔහුගේ ගීතවල දැකිය හැකි විශේෂ ලක්ෂණයකි.
                    ගීත රචකයකු විදියට ස්වර්ණ ශ්‍රී ලියලා තිබෙන්නේ ගීත ස්වල්පයක් විතරයි. ඒ ගීත ඔහු තමාගේ ‘සුදුමුතු කුඩ යට’ නම් වූ ගීත රචනා කෘතියට එකතුකර තිබෙනවා. මෙම ගීත රචනා සංග්‍රහය පළවුණේ 1993දී. වෘත්තියෙන් ගුවන්විදුලි ශිල්පියෙක් ව සිටියත් ස්වර්ණ ශ්‍රී කිසිම දවසක ගායක ගායිකාවන් පසුපස්සේ ගිහින් ගීත ලියූ රචකයෙක් නොමෙයි. ඔහු අමරදේවයන්ට වුණත් ගීතයක් ලිව්වේ අදාළ ගීතය තැපෑලෙන් යවමින්. ඔහුට එතුමන් හමුවුණේ ඊට හුඟ කාලෙකට පස්සේ පවත්වපු අමරදේව උපහාර උළෙලකදී බවත් කියැවෙනවා.
                 ස්වර්ණ ශ්‍රී ගමේ මුල් තිබුණු සම්ප්‍රදායේ තිරසාරව පිහිටා වූ සිටි සැබෑම ජන කලාකරුවෙක්. කවුරුහරි කෙනෙක් ඔහුගෙන් ගම කොහේදැයි ඇහුව්වොත් ‘අපි වන්නියේ එවුන්’ යැයි කියන්නයි පුරුදු වෙලා හිටියේ.අවුරුදු 11 ක පමණ කාලයක් ස්වර්ණ ශ්‍රී රජරට ගුවන් විදුලියේ සේවය කළා. එහිදී ඔහු ඉදිරිපත් කළ ‘පිළේ පැදුර’ ‘සංහිඳ’ ‘සම්භාෂා’ නිර්මාණ’ ‘එක්තැන් සවිය’ ‘රචනා මුළුව‘ වැනි වැඩසටහන් ඉතාම විශිෂ්ට මට්ටමක තිබුණු බවයි විචාරකයන්ගේ අදහස. ‘පිළේ පැදුර’ රජරට සේවයේ ජනප්‍රියම විචිත්‍රාංගය ලෙස වාර්තා වෙනවා.රජරට කැකුළු, නව පදමාලා, මී බිඳු, නිර්මාණී, තෝතැන්න, කැටපත් පවුර, සංහිඳ, සම්භාෂා, කෘෂි රටා , පිලේ පැදුර ඔහු ඉදිරිපත් කළ වැඩසටහන් කිහිපයක්.
ඒ අතර ම පොත්පත් ලිවීමත් කළා...

Monday, April 4, 2016

"නුවන් පියෙන තුරා ඉඳිමු අපි හස‍රැල්ලෙන්"



                                              කිසිදිනක නොමියෙන සත්‍යයේ හඬ කපුගේ 
ගාලු දිස්‌ත්‍රික්‌කයේ ගඟබඩපත්තුවේ මිරිස්‌වත්ත නම් වූ පිටිසර ග්‍රාමයේ ඇල්ලලමුල්ල කපුගේ ප්‍රැන්සිස්‌ සහ දෝන සිරිබද්දන ඇලිස්‌නෝනා යුවළට 1945 අගෝස්‌තු මස 07 වැනිදා උපන් පිරිමි දරුවාට "ඇල්ලල මුල්ල කපුගේ ගුණදාස" යන නම තබන විට ඒ දෙමව්පියන් මේ කුඩා බිළි¹ කවදා හෝ දවසක රටේම ආදරය දිනා ගන්නා මිනිසකු වේ යෑයි සිතන්නට නැත.

ක්‍රමයෙන් වැඩෙන ගුණාදාස දරුවාව කවුරුත් පාහේ හැඳින් වූයේ කලුමහත්තයා" යන ආදරණීය නාමයෙනි. ඒරමුල්ල කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පහේ ශිෂ්‍යත්වය සමත්ව කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වූ කලුමහත්තයාට දෛවයේ අපූරු තීරණයකට අනුව සංගීතය හදාරන්aනට අවස්‌ථාව ලැබිණි. ඔහුගේ මුල්ම සංගීත ගුරුවරුන් වූයේ ඩබ්. චූලරත්න සහ එන්. ඩී. ප්‍රේමසිරි මහත්වරුන්ය. කලු මහත්තයාගේ මාමණ්‌ඩිය වූ එස්‌. එඩ්මන් මහතා වෘත්තියෙන් විදුහල්පතිවරයකි. සංගීතය පිළිබඳ මනා ප්‍රායෝගික දැනුමක්‌ තිබූ ඔහු ගමේ වේදිකා නාට්‍ය ටීටර් සඳහා සර්පිනා වාදනය කරමින් සංගීතය පිළිබඳ අත්දැකීම් රැසක්‌ හිමිකරගත් අයෙකි. එඩ්මන් මාමාගේ මග පෙන්වීම අනුව යමින් කලු මහත්තයා සංගීතය තම දිවියට වඩාත් සමීප කර ගත්තේය. එඩ්මන් මාමා නිතර සහභාගි වූ ගමේ ටීටර් සඳහා කලුමහත්තයාවද එක්‌කරගනිමින් ඔහු ලවා ගීත ගායනා කිරීමටද උනන්දු වූයේ කලුමහත්තයා තුළ ගායනයට කිසියම් දක්‍ෂතාවක්‌ උපතින්ම තිබෙන බව හඳුනාගත් නිසාවෙනි.

කලුමහත්තයා අපි මෙතැන් සිට කපුගේ කියා අමතමු 

කරන්දෙණිය මහ විදුහලෙන් පසුව ගාල්ල නාගොඩ විදුහලේත්, ඉන්පසුව අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලෙත් අධ්‍යාපනය හදාල කපුගේ 1959 වසරේ ගාලු දිස්‌ත්‍රික්‌කයේ පාසල් අතර පැවැති ගායනා තරගයේ ප්‍රථම ස්‌ථානය හිමිකර ගත්තේය. තම පාසල් දිවියේ තවත් එක්‌ කඩඉමක්‌ පසුකරමින් 1963 වසරේදී ඔහු රජයේ ලලිත කලායතනයට (හේවුඩ්) ඇතුළුවිය. 1965 වසරේද කලුමහත්තයා ඉන්දියාව බලා පිටත් වන්නේ ලක්‌නව්හි භාත්කණ්‌ඩි සංගීතය විද්‍යාලයේ වැඩිදුර සංගීත අධ්‍යාපනය ලබාගැනීමටයි. ඔස්‌තාද් ලෙලේ, පණ්‌ඩිත් හරි ශංකර් මිස්‌රා, ඔස්‌තාද් මක්‌ෂුඩ් අලි, පණ්‌ඩිත් රතන ජංකර් සහ සිතා ශිරන් සිං වැනි ප්‍රවීන සංගීත වේදීන්ගේ ගුරු හරුකම් යටතේ කළ ඔහුගේ අධ්‍යාපන කටයුතු නිමා වූයේ 1969 වසරේදී සංගීත විශාරද උපාධිය හිමිකර ගිනිමිනි. 

Wednesday, March 2, 2016

"එදා ඇසුණු ගී "


1960 දශකයේ අවසන් වසර කිහිපය අතරින් එක්තරා දිනයකි
ගුවන් විදුලියේ 06 වන මැදිරිය කෙමෙන් කාර්යබහුල වෙමින් පවති 
ඒ තවත් නොබෝ වේලාවකින් පටිගත කිරීමට සංගීතමය වැඩසටහනක් වෙනුවෙනි
ලැයිස්තුගත කර ඇති ගී අතරින් එකක් තෝරා අප කථානායකයා වෙත කලින් ලබාදී තිබුනෙන් ඔහු එය පුහුණුවන්නට සුදානමින් සිටින්නේ වාදක මන්ඩල ප්‍රධානියා ගේ අවසරය ලැබෙන තෙක්ය

වාදක මණ්ඩලයේ ඔහු හොඳින් හඳුනන්නේය

මැදිරියට ඇතුඵවුනු උස් පුද්ගලයා හඳුනාගන්නට ඔහු ට අසිරු නොවේ , ඒ රටේ තොටේ නමක් දිනා සිටි පී එල් ඒ සෝමපාලයන් ය. 

එක් පසෙක රොක්සාමි මාස්ටර් ය ඔහු දැහැන් ගතව වයලිනය සෙමෙන් හඩවනු පෙනේ 

ඔහු පසුපසින් එඩිගා පෙරේරා වින්සටන්ටිද අල්විස් ඒලියන් ද සොයිසා වයලීන් අතැතිව අසුන්ගෙන සිටිති

ඈත කොනේ තාල තරංග වාදකයා නව යවිවනයෙකි ඒ රංජිත් බෝගෝඩ ය

තවත් නොබෝ වේලාවකින් පටිගතකරන්නට නියමිත ගීතයේ සංගීත අධ්යක්ෂවරයා මැදිරියට ඇතුඵ වෙමින් තමා දෙසට පියමං කරනු ඔහු දකි  

එහෙත් ඔහු පසුපසින් සෙමින් හා අසීරුවෙන් පා තබමින් ළමා සාරියකින් සැරසි එන මෙ හිරිමල් යුවතිය කවුරුන්ද ??????

දැනගන්න වුවමනා නම් මෙතැනින් "එදා ඇසුණු ගී " අඩවියට ගොඩවදින්න

--------------------------------------------------------------------------------------------------------
ප.ලි
මෙන්න පැරණි ගීත රස විඳින හිතවතුන්ට වටිනා කියන බ්ලොග් අඩවියක් .ගිහින් බලන්න ....මුහුණු පොතේ ඉතාමත් වටිනා ලිපි පලකරන "ප්‍රභාත් රාජසූරිය " මහත්මයා බ්ලොග් එකක් පටන් ගත් බව අද තමයි දැන ගත්තේ ..ඔන්න මුහුණු පොතෙන් බොලොග් වලට තවත් සාමාජිකයෙක් කැන්දන් ආවා ..හැමෝම සහයෝගයක් දෙමු ...ජයවේවා !!!

Saturday, February 27, 2016

"හිත මිතුරෝ නෑයෝ ඔබ කැඳවා ගිය ඉරණම් ගමනේ"



ප්‍රවීණ ගීත රචකයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ අජන්තා රණසිංහයන් සුවහසක් රසික හදවත් තුළ සටහන් කළේ නොමැකෙන මතකයක්. කලා ලොව වෙනුවෙන් අනුපමේය මෙහෙවරක යෙදුනු ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ නාමය හෙළ ගී කෙත තුළ නොමැකෙන මතකයක් සටහන් කළා.හැත්තෑව දශකයේ මුල්වරට තුන්පත් රටා නමින් 1971 වර්ෂයේ සුනිල් සරත් පෙරේරා සමග ගී පොතක් ලියා පළකළ ඔහු අනතුරුව 1978 වර්ෂයේදී "විකසිත පෙම්" නමින් දෙවන ගිත එකතුව ලියා පළකලා .ලේක්හවුස් ආයතනයේ උප කර්තෘවරයෙකු ලෙස ද කටයුතු කළ ආචාර්ය අජන්තා රණසිංහයන් ගුවන්විදුලි සංස්ථාවේ උපදේශකයෙකු ලෙස ද කටයුතු කළා. 
ආචාර්ය අජන්තා රණසිංහයන් අමරදේවයන්ගේ සිට නව පරපුරේ ශිල්පින් දක්වා සිංහල ගීත කලාවට එකතු කළ ජනප්‍රිය ගීත රාශියකි. ඒ අතරින් කුරුම්බැට්ටි මැෂිමේ, විකසිත පෙම් පොකුරු පියුම්, රන් කෙන්ඳෙන් බැඳ, පුංචි දවස්වල නින්දට යද්දී, රෑ පැල් රකින, රෑ දුරු රට, සිරිමා බෝ මැද ආදී ගීත රැසක් අදටත් රසික සිත් සතන් අතර අමරණීයව පවතී.ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් ගැයූ, ආශා නිරාශා මැවූ,මල් පොකුරු පොකුරු ,සිරිමා බෝ මැඩ මුනිඳුන් වැඩ හිඳ ,මල් ලියකම් රැඳි පෙම් සිතුවම් ඇඳි ,මංගල මල් දම පතා හිඳිමි මම කන්ද පාමුල වංගුවේ,පොඩි විහඟ තුඩේ මියුරු කතා ,සායම් පෙඟූ ලවන් පුරා ,තිසා වැවේ දිය රේඛා මත සීතල දිය තලාවේ දුරුතු මහේ ,ඉතින් ඊට පස්සේ ,වැනි ගීතද  දැක්විය හැක.
විවිධ කෘති රැසක් ද ලියා පළ කළ අජන්තා රණසිංහයන් ගේ කෘති අතර ‘මට ළඳුනි වරම් නැත‘, ‘වින්කල් බාස්', ‘ක්‍රිස්තුනි කරුණාකළ මැනව‘ වැනි නවකථා හා ‘සොල්දාදුවා පෙරළා පැමිණියේද‘ කෙටිකතාව ද සුවිශේෂී ස්ථානයක් ගනී.ඔහුගේ සුවිශේෂී ගීත නිර්මාණ පෙළහරක්වූ ‘සෝපාකලා‘ ගීත එකතුව 1995 වසරේදී රාජ්‍ය සාහිත්‍ය සම්මානයට ද පාත්‍රවිය.

සරල ගීත හා චිත්රපට ගීත ඇතුළුව ගීත මහා සම්භාරයක් දැයට දායාද කළ එතුමා අද කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී අපෙන් සමුගත්තා ...අපෙන් සමුගත් ඔබට සුභ ගමන් කලාකරුවාණෙනි !!!!!!!!!!!
(ඔහුට උපහාරයක් ලෙස කලකට පෙර සරසවිය පුවත්පත සමග කල සාකච්ඡාව පල කරනවා)
----------------------------------------------------------------------------------------

Tuesday, February 9, 2016

“ආවේ වන බඹරෙක් වගේ”

ඔහුටම ආවේනික වූ හඬක් සහ රැඟුමක් නිසා ඔහුගේ ගීත අපුරු වෙනසක් ඇති කළේය .1970 දශකයේ සිට මේ දක්වාම තමන්ගේ අනන්‍යතාවය පවත්වා ගනිමින් තවමත් අප අතර ජනප්‍රිය මේ සොඳුරු කළා කරුවා වන්නේ " මඩවල හේවගේ පෝල් ප්‍රනාන්දු " නොහොත් "බයිලා කුමරුය".1951-නොවැම්බර් -24 වන දින උපත ලද මෙතුමා 70 දශකයේ බයිලා ගී දැවැන්තයින් අතර තරුණයෙකු වූ නිසාම පෝල් ප්‍රනාන්දු බයිලා කුමරු (Prince of Baila) ලෙස එවක හැදින්විය .


පාසල් කාලයේ සිටම ගී ගැයීමට දැක්වූ හැකියාව නිසා 1969 දී මොරටුවේ පැවැත්වුව "69 ආධුනික ගීත " තරගාවලියෙන් ගායන අංශයෙන් ජයග්‍රහණය කළේය .එය ඔහුගේ ගායන ජිවිතයේ කඩයිමක් විය ."ලාබම්බාස් " සංගීත කණ්ඩායමේ "ප්‍රියා පිරිස් " පොල්ගෙ දක්ෂතාවය දැක ඔහුට අත දීමට ඉදිරිපත් විය .1970 දී පෝල් තම ප්‍රථම ගීත තැටිය එළි දැක්විය .ඉන් පසු රවී රණසිංහ රචනා කොට මිල්රෝයි ධර්මරත්න තනු නිර්මාණය කල “එගොඩ ගොඩේ මල් නෙලනා මල් එතනෝ” ගීතය මහත් ජනප්‍රියත්වයට පත් විය. . "මාලා ඔබ ගැනම සිතාලා" , "තොප්පි වෙළෙන්දා",“සුපුන් සඳක් අහසේ පා වුණා, නෙලුම් කුමාරි” ඔහුගේ ගීත අතර විශේෂ ගීත වේ. 1974 ඔහුගේ කුළුදුල් යුග ගීතය එළි දැක්විණ. “ආවේ වන බඹරෙක් වගේ” ගීතය ඔහු සමඟ ගායනා කළේ අනුලා ප්‍රනාන්දු විසිනි. එම වසරේදීම එළි දැක්වුණු “පාන් මාමා” ගීතය ලොකු පොඩි කා අතරත් ජනප්‍රිය ගීත අතරට එකතු විය."දෝන කතරිනා, මමත් ෆර්නැන්ඩෝ ", “අරුණලු පැතිරෙන, රුවන් මාලිගා නැත මා හට, මගේ පාසල් කාලය, බ්‍රෝකර් බිල්ලා” සහ ඔහු විසින්ම තනු නිර්මාණය කළ “සමන් මලී කොහේ සිටන් ඔබ” ඇතුළු මාධ්‍යවලින් ප්‍රචාරය වූ සහ නොවූ ගීත 150 අධික ප්‍රමාණයක් ඔහු විසින් එළි දක්වා ඇත. ක්ලැර්න්ස් විජේවර්ධන, ලාල් තේනබදු, නිශ්සංක විමල සුරිය, ප්‍රියා පිරිස්, සුනිල් ධර්මසේන ,ස්වින්ටන් ප්‍රනාන්දු,හේමසිරි හල්පිට, රොලින්සන් ප්‍රනාන්දු, ඇතුළු බොහෝ තනු හා ගීත රචකයන් ඔහුගේ නිර්මාණ පිටුපස සිටියහ .."මගේ පාසල් කාලය" ගීතය අදටත් තරුණ වැඩිහිටි කාගෙත් ප්‍රසාදය දිනා ගත් ගීතයක් විය. 70 දශකයේ සිට මේ දක්වා ම එක ලෙස තම ගීතවල ජනප්‍රියත්වය රඳවා ගන්නට පෝල් ප්‍රනාන්දු  නම් අපුරු පුද්ගලයට හැකිවිය .තවත් කාලයක් අපි වෙනුවෙන් ගී ගැයීමට එතුමාට දිඝායුෂ පතමු !!!!

--------------------------------------------------------------------------------------------

Thursday, January 28, 2016

"කැලෑ මල් පිපෙයි සුවඳ දිදී තුරු වදුලේ වනන්තරේ"


"මම උපන්නේ සියඹලාණ්ඩුවේ. ඒ 1955දී. තාත්තා ගොවියෙක්. තාත්තා මාව කර උඩ තියාගෙන හැතැප්ම දෙකක් ඉස්කෝලෙට අරන් යනවා හැමදාම. යන පාරෙ ගොයම් ගස් වැවිලා තියනවා. ඒවා මගේ ඇඳුම්වලයි ඇෙඟයි ගෑවෙන නිසයි කර උඩ තියාගෙන යන්නේ. තාත්තා හුඟක් දවස්වලට ඉස්කෝලෙ ඇරෙනකම් පාසල ඉදිරිපිට කඩපිලේ පත්තර බල බලා ඉන්නවා. එනකොට මං පයින් එනවා. මගදි දොළක් ළඟදි මම කියනවා නාගන්න ඕනෑ කියලා. තාත්තා ගලක් උඩට වෙලා බලන් ඉන්නවා. මං ඇඳුම් ටික ගලවලා හෙළුකොට්ටෙන්ම නාගන්නවා. අපි හේන් කොටන කාලෙට තාත්තායි අම්මායි අපි සේරමයි ඉන්නෙ හේනෙ පැලක් හදාගෙන."

Wednesday, January 20, 2016

" පන පලයන් ලබන සුමානේ "


1933 මැයි 14 වැනි දින දෙමටගොඩ කැටවලමුල්ලේදී උපත ලැබු ජෝර්ජ් ලෙස්ලි රණසිංහයන් සිප් සතර හැදෑරුවේ කොළඹ ආනන්ද විදුහලෙනි.ආනන්දයේ මෙත්තානන්ද යුගයේදී එහි සිංහල සාහිත්‍ය සංගමයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ලෙස්ලිට මෙත්තානන්ද විදුහල්පතිවරයාගේ ආශිර්වාදයෙන් මහා ගත්කරු මාර්ට්න් වික්‍රමසිංහ මහතා මුණ ගැසුණේ විදුහලෙහි සාහිත්‍ය සංගමයේ කාර්‍යයන් සඳහා උපදෙස් ලබා ගැනීමටය. සාහිත්‍ය විෂය මුල් කරගෙන ආරම්භ වූ එම ඇසුර ලෙස්ලි ආනන්දයෙන් සමුගෙන ජනමාධ්‍ය ශිල්පියෙකු ලෙස කටයුතු කිරීමට අත්තිවාරම දමන ලදී. ජෝර්ජ් ලෙස්ලි රණසිංහයන් මෙරට මුල් පෙලේ පුවත්පත් කතුවරයකු, සිනමා ලේඛකයකු, ගීත නිබන්ධකයකු හා චිත්‍රපට තිරකතා රචකයකු ලෙස ද අගනා මෙහෙවරක් කළ යුග පුරුෂයෙකි.

Tuesday, January 5, 2016

"ඔබ නැති මා ජීවිතයේ තනි වී"


90 දශකයේ සංගීත ක්ෂේත්‍රය බැබළ වූ තරු අතර ප්‍රින්ස් උදය ප්‍රියන්ත මුල් පෙළේම සිටී. එවකට ඔහුගේ සී.ඩී. තැටි සහ කැසට් පට සඳහා වෙළෙඳ‍පොළේ විශාල ඉල්ලුමක් තිබිණ. නාලිකා තුළ නිරන්තරයෙන් ප්‍රින්ස්ගේ ගීත ප්‍රචාරය කෙරිනි. "කදුලු ගංගා ගලා ,මා එදා කියු දේ, මා හඩවලා ,මහද ප්‍රේමාදරේ ,නිල් වන් ගුවන් ගැබේ , ඔබ හා  ගෙවු අතීතේ , ඔබ හමුවු දිනේ, ඔබ පැ පෙම් සිනා , පෙම්වතුන් සිනා සේ, සාප කරන්න එපා  , සමුදෙන්න සමුගන්න නම් ,   සද කුමාරියක් , සද රේණු වෑහේනා, සිතින් ඉවසන්න බැ ,සුදු මල් පොකුරක් , සුදු වැලි විසිරුනු  , වෙරළ කොනක" වැනි ජනප්‍රිය ගීත ගොන්නක් ප්‍රින්ස් අපට ගයා ඇත.... 

එකල යෞවනියන්ගේ සිහින කුමරා වූ ප්‍රින්ස් උණ රෝගයක් නිසා  පහුගිය දෙසැම්බර් 17 වැනිදා කරාපිටිය රෝහලට ඇතුළත් වුන ප්‍රින්ස් සතියක් විතර දැඩි සත්කාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා අනතුරුව මේවන විට කොළඹ නවලෝක රෝහලේ වැඩි දුර ප්‍රතිකාර සඳහා ඇතුලත් කර තිබෙනවා.ඔහුගේ මතකය අමතකව ඇත.වචන උච්චාරණය අපහසුය.දියරමය ආහාර පමණක් නාලයක් අධාරයෙන් දෙනු ලබයි.


තමන්ගේ අම්මාගේ වියෝව දරාගන්න බැරි වුන ප්‍රින්ස් 2014 අවුරුද්දේ ඇතිවුන කම්පනය නිසා ඩුබායි වලදි රෝහල්ගතව ප්‍රතිකාර අරන් තියෙනවා.මවගේ වියෝවෙන් පසු ප්‍රින්ස් ජීවත් වෙලා තියෙන්නේ තමන්ගේ සහෝදරිය වන ශිරෝමී ප්‍රියංගිකාගේ නිවසේයි .ප්‍රින්ස්ගේ මේ රෝගී තත්ත්වයට අවශ්‍ය එන්නත් වලට විශාල මුදලක් වැය වෙනවා කියලා ප්‍රින්ස්ගේ සහෝදරිය වන ශිරෝමී සඳහන් කරනවා . ඔහුට මේ වෙලාවෙ මුදල් අවශ්‍යයි.ඔහුගේ ජීවිතේ පැවැත්ම ඇත්තේ ඔබ අතේ....කලින් ප්‍රින්ස්ගේ සමකාලින ගායකයෙක් වන "නාමල් උඩුගම" ගායන ශිල්පියාට උදව් උපකාර කල අයුරින්ම අපි එකතු  වී මෙතුමාට උදවු කරමු ..   

ප්‍රින්ස් උදයප්‍රියන්ත මහතාට උදව් උපකාර කළ හැකි කෙනෙක් ඉන්නවා නම් ඔහුගේ සහෝදරිය වන ශිරෝමී ප්‍රියංගිකාට 0769111838 කතාකරලා වැඩිදුර විස්තර දැනගන්න. මෙන්න උපකාර කරනවා ශිරෝමී ප්‍රියංගිකා මහත්මියගේ ගිණුම් අංකය  , ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඇල්පිටිය ශාඛාව ගිණුම් අංක "100948803862".


+++++++++++++++++++++++++++++++++++++++++++++++++

මා එදා කියූ දේ ඔබට මතක නැතිදෝ
කියූ වදන් මතකේ තියා ගන්න බැරිදෝ
මේ වතාවෙ පමණයි සමා දෙන්නෙ මා නම්
අයෙත් මතක නැති නම් කියන්නේ ම නෑ මයි

කිරි කෝඩු නෑ පෙරදා වගේ
ඔබ දැන් මගේ සොඳුරී ප්‍රියේ
තරහින් නොවේ කීවේ ළ‍ඳේ
වෙනදා වගේ සෙනෙහේ මගේ

මා එදා කියූ දේ...

ඔබ මා ලැබූ මැණිකක් වගේ
රිදවන්නෙ ඇයි මට මේ වගේ
කිසිදා ලොවේ වෙන් වෙන්නෙ නෑ
සිඳිලා මගේ මේ ආදරේ

මා එදා කියූ දේ...

ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත
--------------------------------------------------------------------------------

සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්
හද පිරුණු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින් 
සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්

පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
එනමුත් මගේ හදින් වෙන්වන්නෙ නෑ
දෙතැන තනි වී සදා 
හෙලන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ළඟින්

තිබුණත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ
ඔබ ගැන පැතු සිතින් වැලපෙන්නදෝ
කඳුළු හසරැල් මවා
ම සිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ළඟින්


ගායනය ; ප්‍රින්ස් උදය ප්‍රියන්ත
සංගීතය ; ජයන්ත දිසානායක
ගී පද ; ලලිත් වසන්ත
--------------------------------------------------------------------------------

වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ 
වෙන්වන්නට මුණගැසෙමු යළි 

වෙරලේ හැපෙනා දළ රළ අතරේ
මුමුණයි හෙමිහිට අපේ කථා
රැල්ලට හසුවී වෙනතක ගිය මුත් 
සුදු වැලි මුමුණයි අපේ කතා

ඔබ හා දොඩනට ගත සිත ශක්තිය 
නැති ලෙස හදවත හඬා වැටේ
එනමුදු අප පෙම් කතාව නිම වී 
සමුගන්නම් අද තරහ නොවී

ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත
--------------------------------------------------------------------------------

පිණි වැටෙනා මල් යායේ
පාවී යයි සුනිල් වලා
බොඳ මීදුම් කඳු අතරේ
ඔබව සොයා මා එන්නේ

නිල්වන් දෑසින් මා මත් කරනා 
සුන්දර අරුණැල්ලේ
රන්වන් සමනල තටු සලමින් යන 
ඔබ වෙත මා එන්නේ

එකම ඉසව්වක බැඳී සිටින සඳ
හමුවන්නට නොහැකිය ළතැවී
සිත රැඳි පැතුමන් පොදි බැඳ එන අද
ඔබට කියන්නට ප්‍රිය ළඳුනේ

අපේ ලොවක තනි වෙන්නට පැතුමන්
කොතරම් පිරුණත් වරම් නැතේ
බාධක හමුවේ නොසැලී ඉමු අපි
භවය පුරා පෙම්වතුන් ලෙසේ

ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත
--------------------------------------------------------------------------------

විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
මේ මුළු ජීවිතේ ඔබ තව දන්නෙ නෑ
මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා
ඔබ නැති මා ජීවිතයේ තනි වී

සඳ ගිලිලා තරු නිවිලා
මගෙ ලෝකේ මා කඳුලේ ගැලිලා
ඔබ සතුටේ ඇතැයි සිතා
කඳුල තුලින් හිනැහෙමි තවමත් මා

දළු දාලා මල් පිපිලා
ඔබ ලෝකේ හිනැහේවා සැමදා
හදට ඔබේ දුක ආ දා
මම එතැනයි පමා නොවෙමි කිසිදා


ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත
සංගීතය/ ගී පද - රූකාන්ත ගුණතිලක
--------------------------------------------------------------------------------

පෙම්වතුන් සිනාසේ 
අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනියේ
විසඳුම් සොයනු කෙසේ...

මා තුරුළේ හිඳිනා උණුසුම් යහනාවේ
ඉකි බිඳිමින් හැඬුවා මතක ද ගං තීරේ
මගෙ ලොව ඔබ වේ නම් සැකයෙන් ඇයි ද මෙසේ
ඔබ මිස වෙන සතුටක් කොයිබ ද මියුලැසියේ...

මළ හිරු බැස යද්දී සඳු පායා ඒවී
අලුත් ඉරක් පායා හෙට දිනයක් ඒවී
අද ශෝකෙන් වෙලිලා යහනේ සැතපේ දෝ
අරුණලු උදා වෙලා මුව විකසිත වේ දෝ

ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත
ගී පද: නිහාල් ගම්හේවා
සංගීතය: නිහාල් ගම්හේවා
--------------------------------------------------------------------------------

සමුදෙන්න සමුගන්න නම්
හඬවන්නෙ ඇයි මේ තරම්
නොරිදා සිතින් බැඳිපෙම් නමින්
සමුදෙන්න සමුගන්න නම්

ඔබගේ ලොවෙහි සැතපී දිවා රෑ
මා ගෙව් අතීතේ පුරා
කවුදෝ ඔබේ සිතෙහි සැඟවී
එනිසා මෙසේ වේවිදෝ

සිතුදේම නොමවේ පැතුමන් නිමාවී
කුරිරුයි ඔබේ චේතනා
ළංවී මෙසේ දෑසේ වෙලී
එනිසා මෙසේ වේවිදෝ....

ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත

--------------------------------------------------------------------------------