Monday, September 26, 2016

"සමාජයේ කරදර හිරිහැර මැද මිහිර පතුලෙ ගිලුනා"

1930 ජූනි 16 දා කොළඹ දී උපත ලද සාලි මාස්ටර් දරුවන් හය දෙනෙකුගෙන් යුතු පවුලක පස් වැන්නාය.සාලිගේ පවුලේ කිසිවෙකු සංගීතයට සම්බන්ධ වී සිටියේ නැති වූවත් ඔහුගේ හිත සංගීතය සඳහා ඇදී ගියේ කුඩා කල ගවුස් මාස්ටර්ගේ සර්පිනා වාදනය දැකීමෙනි .ගවුස් මාස්ටර් අනුකරණය කරමින් පුරුදු පුහුණු වුන සාලි අවුරුදු 15දී පමණ වනවිට හොඳ සර්පිනා වාදකයෙකු වුයේය .1948 දී ඔහු වෘත්තීය සර්පිනා වාදකයෙකු බවට පත් වී ක්ෂේත්‍රයට පිවිසි අතර "සාලි මාස්ටර්" නමින්  එවකට ප්‍රභූ නිවෙස්වල පැවැති  බජව් ,පැදුරු සාජ්ජ වල සහ එළිමහන් ප්‍රසංගවල සර්පිනා වාදනය කිරීම  සිය රැකියාව කර ගත්තේය.

ජනප්‍රිය වාදකයෙකු බවට පත් වුවද සංගීතය හදාරා නොතිබූ බැවින් ඒ පිළිබඳව දැනුමක් ඔහු සතු නොවිනි. මේ අතර ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගැනීම සඳහා සාලිට මහඟු අවස්ථාවක් උදාවිය .ඉතිහාසයේ පළමූ වරට මූස්ලිම් සංගීත ශිල්පීන් සඳහා සංගීත පන්තියක් ඇරඹෙන්නේ 1960 දශකය ආරම්භයේය. ඒ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළේ එවකට ලංකා කලා මණ්ඩලයේ මූස්ලිම් කටයූතු භාරව සිටි එම්. බී. එම්. ගවූස් මහතාය.

 "රජයේ ලලිත කලායතනයේ චිත්‍ර අංශයේ ආචාර්යවරයකු වූ ගවූස් (සංගීතවේදියා නොවේ) මේ සංගීත පන්තිය මෙහෙයවීම සඳහා යොදවා ගත්තේ එම ආයතනයේ ම සංගීත අංශයේ ආචාර්යවරයකු වූ සංගීත විශාරද එස්. ද එස්. ජයසේකර මහතාය. (ගායිකා චම්පා කල්හාරිගේ පියා) යි. 1963 දෙසැම්බර් 21 වනදා සිට සතියේ දින තුනක් පස්වරු 5 සිට 8 දක්වා රජයේ සංගීත විද්‍යාලය තුළදී පන්ති පවත්වන ලදී. මොහොමඩ් සාලි, ජේ. ඇම්. ඇම්. සාදික්, හරූන් ලන්ත්‍රා, සූබයර් කරීම්, ඇම්. බී. හසන් අලියාර්, ඒ. එච්. ඒ. සහර්දීන්, මොහිදින් බෙග්, ඇම්. එල්. අයිදුරූස්, ඕ. ෂරීෆ්, ඇම්. සූබයිර් කරීම්, එස්. එම්. එම්. බූහාරි, ඒ. එම්. එම්. මොහිදීන්, එම්. අයි. එම්. අමීන්, ටී. එම්ි. තාජූදීන්, එන්. එම්. මහරුෆ් ආදී මූස්ලිම් සංගීත ශිල්පීහූ 40 දෙනෙක් පමණ ජයසේකර මහතාගෙන් සංගීතය උගත්හ. පූරා තෙවසරක් පමණ මේ පන්ති පැවැත්වූණූ අතර සෑම වර්ෂයක් අවසානයේම පරීක්ෂණයක් පවත්වන ලදී. මේ ශිෂ්‍ය කණ්ඩායම අතර මොහොමඩ් සාලි කැපී පෙනිණි."
(සූනිල් ආරියරත්න, ගාන්ධර්ව ආපදාන)

ප්‍රභූ නිවෙස්වල පැවැති සාදවල සර්පිනා වාදනය කිරීමෙන් එවකට ජනප්‍රියත්වයට පත් ව සිටි සාලි මාස්ටර් ගේ සිහිනයක් සැබෑ වූයේ 1958 දීය.  චිත්‍රපට වාද්‍ය වෘන්දයක සර්පිනා වාදනය කිරීම ඒ සිහිනයයි.  සංගීතවේදී ආර්.ඒ. චනද්‍රසේනයන්ගේ මග පෙන්වීම ඔස්සේ ඔහු "වනලිය" චිත්‍රපටය සඳහා සර්පිනාව වයමින් චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසියේය.1963 දී ඔහූ පළමූවරට චිත්‍රපට සංගීත අධ්‍යකෂණයට යොමූ වූයේ "මංගලිකා" චිත්‍රපටයෙනි. එතැන් සිට චිත්‍රපට 18 ක පමණ සංගීතය මෙහෙය වූ ඔහූ ඇතැම් චිත්‍රපටවලදී ප්‍රේමසිරි කේමදාස, ඇල්ප්‍රඩ් කොරෙයා, ෂෙල්ටන් ප්‍රේමරත්න, ෂෙල්ටන් පෙරේරා, මොහිදින් බෙග් සහ සරත් දසනායක වැනි සංගීතවේදීන්ද හවූල් කර ගනිමින් සම සංගීත අධ්‍යක්ෂණයේ යෙදුණේය.

සාලි මාස්ටර් සංගීතය මෙහෙයවීමේ කටයූතුවල වෘත්තීමය වශයෙන් යෙදුණූ නිසා චිත්‍රපට නිෂ්පාදකවරුන්, අධ්‍යකෂකවරුන් සහ ගායන ශිල්පීන්ගේ වූවමනාව මත හින්දි සහ දෙමළ අනූකාරක ගී රැසක් නිර්මාණය කළේය. ඒවා බෙහෙවින් ජනප්‍රිය විය.ඒ නිසාම ගුව්න්විදුලි සංගීත ක්ෂේත්‍රයේදී ද බොහෝ දෙනා ඔහු ලවා හින්දි හෝ දෙමළ තනු ඇසුරෙන් ගීත නිර්මාණය කර ගත්හ.. "සැලෙන ලෙළෙන දළුව විලස නිතඹ නළෝලා" (එච්. ආර්. ජෝතිපාල) "ඔබේ ප්‍රේම නගරේ" (ජේ. ඒ. මිල්ටන් පෙරේරා) ,"සුවඳට මල මෙන්" (රූපා ඉන්දුමතී / ලක්ෂ්මන් රොද්‍රිගෝ) වැනි ගීත ඊට නිදසුන් ය.

එසේ වුවද මොහොමඩ් සාලි ස්වතන්ත්‍ර මධූර තනූ රැසක් හෙළ ගීත කලාව වෙනූවෙන් දායක කර ඇත. ඒ අතර,ජේ. ඒ. මිල්ටන් පෙරේරා ගැයූ "සඳුන් ගසක එති සමන් ලතාවක", "ඔබ තරමට මා නැළවූ", "රුවන් මැදුර ඔබම ඉදිකෙරූ", "වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ", "ඇස රැඳුණූ රැඳුණූ තැන්වල", "අහන්න මගෙ හොඳ පූංචි පූතේ" වැනි ගීතද එච්. ආර්. ජෝතිපාල ගැයූ "ඇස් දෙක වාගෙ හිටිය", "මූලදී බැන්ද ආදරයක මිහිර දැන්", "රන් ඇට පොට රිදී හවඩි" වැනි ගීතද, මිල්ටන් මල්ලවාරච්චි ගැයූ "ඔරුවක පාවෙන", "පායා ආ සඳ", "ඈත එපිට දුර ආකාසේ" වැනි ගීතද කැපී පෙනේ.

සාලිගේ ගී තනු ජනප්‍රිය වීමත් සමගම ඔහු සොයා එන සංගීත ශිල්පීන්ගෙන් ද අඩුවක් නොවිය .සමහර ශිල්පීන්ගෙන් ඔහුට තනු නිර්මාණයට ලැබුනේ බ්‍රිස්ටල් පැකට් එකක් පමණි .බ්‍රිස්ටල් පැකට් එකක් දී තනු නිර්මාණය කරගත් සමහර ශිල්පින් කැසට් පට වලට ඒ ගීත ගයා මුදල් උපයා ගත්තත් අඩුම තරමින් "තනු නිර්මාණය " සාලි මාස්ටර්ගේ කියා නම වත් සඳහන් කිරීමට තරම් වත් උත්සහ ගෙන නැත. .මුදල් ලැබුණත් නොලැබුණත් සැහැල්ලුවෙන් විනෝදයෙන් ජිවත් වූ සාලි මාස්ටර් 1987 සැප්තැම්බර් 17 වැනි දින නොසිතු ලෙස ලෙඩ ඇඳට වැටුණු අතර පවුලේ හම්බ කළ එකම තැනැත්තා එක්තැන් වීම නිසා සාලි පවුලම අන්ත අසරණ විය .විදුලියත් ,ජලයත් විසන්දි කෙරිණ. .ඉතාමත් අසරණව මාස කීපයක් දුක් වින්ද සාලි මාස්ටර් 1988 අප්‍රේල් 13 වන දින අවසන් හුස්ම හෙළිය ."මොහොමඩ් සාලි " යනු සිංහල සංගීතය ගැන කතා කරන විට කිසි විටෙක අමතක කළ නොහැකි චරිතයකි .
--------------------------------------------------------------------------------------------
විමන් ඉඩ ඇතේ
පැල්පත්වල ද ඉඩ ඇතේ
එයින් පල නැතේ
සැතපෙමි ඔබගෙ හදවතේ

මනෝමය රුවන්
දොරටුවෙ පියන් යුග ඇරෙයි
මගේ සිත කලින් නොපිරූ
මිහිරකින් පිරෙයි

අහිංසක අපේ
හිත් මල් දෙකකි පිරිසිඳු
ළඟින් පසුවුණත්
කිලුටක් නොවෙයි බිඳකුදු

සහස් වර මුවින් පිටවෙන
මියුරු සිතුවිලී
රහස් ලෙස තබාගමි
නෙත් පියෙන තුරු යළී

ගී පද - කරුණාරත්න අබේසේකර
සංගීතය  - මොහොමඩ් සාලි
ගායනය  - මිල්ටන් පෙරේරා
--------------------------------------------------------------------------------------------
මා අවදි කළා ඔබ දිනිඳා සේ
අරුණෝදේ..
වැටහෙන්නෙ ම නෑ දන්නෙ ම නෑ
මේ සිදු වූ දේ...

මගෙ දෙතොල පෙඟේ දෑස තෙමේ
හද හිනැහෙනවා
වෙනදා නොමැතී අරුම හැඟුම්
මල් පිබිදෙනවා...

මධුරිය ආව ද මා ආව ද
නෑ වැටහෙන්නේ
සත්සර නැඟිලා හද වීණා
හඬ පැතිරෙන්නේ...

සිතුවිලි බඹරුන් ආයෙත්
වෙන අතක නොයේවා
අපෙ සබඳ රුවන් විමානයට
එළිය වැටේවා...

ගායනය -ජේ. ඒ. මිල්ටන් පෙරේරා
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - මොහොමඩ් සාලි
--------------------------------------------------------------------------------------------
දිස්නෙ දෙන සඳ
රැස් දියේ අතුරා තියා
මාගෙ දෙනෙතේ රන්
නෙළුම් මල් පාවුණා...

පෙම් විලේ මා
සිහින උල්පත දෝ ඔයා
මාගෙ දෙනෙතේ රන්
නෙළුම් මල් පාවුණා...

සිහින ලෝකේ මා
ඇතේ ආ ආදරේ පෑදූ සදා...
දෑස පියවා ලා තබාලා
ළංවෙලා ඉඳලා ගියා

දන්නෙ නෑ මං
ආව දෝ ඔබ මා සොයා...
මාගෙ දෙනෙතේ
රන් නෙළුම් මල් පාවුණා

දිනෙක දෑසෙන් ආදරේ දුන්
මිහිර ආවාදෝ සොයා...
ඒ ලෙසේ මා එන්න ආවා
කෝ උන්නතැන් මා දන්නේ නෑ
මිහිරියේ මා රන් වලාවේ සැංගුණා...

මාගෙ දෙනෙතේ
රන් නෙළුම් මල් පාවුණා
දිස්නෙ දෙන සඳ
රැස් දියේ අතුරා තියා...

ගී පද  : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : මොහොමඩ් සාලි
ගායනය : ජී. එස්. බී. රානි පෙරේරා සහ මොහිදීන් බෙග්
--------------------------------------------------------------------------------------------
ඉගිල්ලී වහා යන්නට ඇගේ පැල සොයන්
කුරුල්ලෝ ඔබේ පියපත් යුවළ මට දියන්
අනන්තෙට පවා පියඹන ලොවේ සිව් කොනේ
සුළං කුමරියේ ඇගෙ හඬ අරන් එනු මැනේ

ඇගෙ දෙනෙත් ලෙසින් නිල් බර දසුන දැනේවා
තරු දෙකක් මගේ දෑසට හැම රැයේ පෙනේවා

ඇගේ සොමි වතේ පිළිරුව නිති සිහිවෙද්දෙන්
නිශා කලේ හැමදාකම හඳ පායද්දෙන්

කල්පනා බරින් නොපිරී නොගොස් දස අතේ
ඉන්න මා ළඟින් ඇය සිහි කර දිදී සිතේ

අනන්තෙට පවා පියඹන ලොවේ සිව් කොනේ
සුළං කුමරියේ ඇගෙ හඬ අරන් එනු මැනේ

ගී පද : කරුණාරත්න අබේසේකර
සංගීතය: මොහොමඩ් සාලි
ගායනය: මිල්ටන් පෙරේරා
--------------------------------------------------------------------------------------------
ඔබේ ප්‍රේම නගරේ
තැනූ ප්‍රේම මැදුරේ
නවාතැන් සොයා පැමිණි මා
ගියේ ඇයි ද හැරදා දමා...

අමා ගීතයක් වී ඔබේ ගී පොතේ
පෙරා මිහිර පිර වූ හදේ මී විතේ
ඔබෙන් හමු නොවේ දැන්
එසේ වුව ඔබෙයි මම්
එදා මෙන් සදා මිහිරියේ...

සඳේ සීත කැල්මයි ඉරේ රාෂ්ඨයයි
සමානයි ද නැහැ නේද රසවන්තියේ
සිතා කල්පනාවෙන්
සිනාවෙන් දයාවෙන්
රැඳේවා මගේ හදවතේ...

ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: මොහොමඩ් සාලි
ගායනය: මිල්ටන් පෙරේරා
--------------------------------------------------------------------------------------------
ඈත එ පිට දුර ආකාසේ
වලාකුළුවලින් රිදී
බලා එබිලා ඇදී
ස්වර්ණ වර්ණ තරුවක් දිලිසේ

මගෙ දෑසේ ආලෝකේ දීලා
උතුරාවි ඒ රශ්මි මාලා
පුරවන්න මේ පාළු ජීවේ
පායන්න රන් තාරකාවේ

රෑ මෙන් ම දහවල් මුළුල්ලේ
ඒ තරුව හිනැහී නිදැල්ලේ
මගෙ ජීවිතේ මල් කැදැල්ලේ
දිලිසේවි නො නිවී තුරුල්ලේ

ගායනය - මිල්ටන් මල්ලවආරච්චි
ගී පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - මොහොමඩ් සාලී
--------------------------------------------------------------------------------------------
ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනැල්ලා
ගොවිරාළ ගොඩට ඇවිල්ලා...

ගලන දොළෙන් ඇඟ සෝදාලා
කිරල ගහේ හෙවනට වීලා
නෙළුම් කොළේ එතන තියාලා
ටිකිරි මැණිකෙ ඇඹුල බෙදනවා...

නියර දිගේ ගොවියෝ එනවා
බෙදන ඇඹුල රස කර කනවා
ඔමරි හිනා හඬ පැතිරෙනවා
මුළු ගමට ම කිරි ඉතිරෙනවා...

ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: මොහොමඩ් සාලි
ගායනය: මොහිදීන් බෙග්
--------------------------------------------------------------------------------------------
කඳුළු පිරුණු දෑසේ ඇඟිළි තුඩු තබා
පිසදා සිනා සී පිපි ලා මලක් සේ
සිනහසෙන්න මැණිකේ

රෑ සීත ඈතින් ගලා ලා
වෑහේවි සඳකැන් නුරා
මා හා රැඳී ලා අත්වැල් බැඳී ලා
ඉන්න මහද සෙවණේ

පාවේව ඒ දුක් අතීතේ
ආලෝකෙ අලුතින් ලබා
මා හා දයාවේ මුතු මල් තලාවේ
එන්න යන්න රහසේ

ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: මොහොමඩ් සාලි
ගායනය: ලක්‍ෂ්මන් රුද්‍රිගු
--------------------------------------------------------------------------------------------
ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ
ඇති ඉහළම සතුටයි මෙලොවේ
සඳ කිඳුරියේ ඔබෙ පිය සෙවනේ
ලොව සොඳුරුය පින්බර ළඳුනේ
ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ
ඇති ඉහළම සතුටයි මෙලොවේ....

මිහිරියෙ ඔබ අහසෙහි සඳු වේ
මගෙ සිතිවිලි එහි ඇති කඳු වේ
ඒ තරමට සෙනෙහස මතු වේ
නිහඬව නිදියයි සිත නතු වේ....

සපු මලේ පිපුණු තනි ඉත්තේ
මගෙ සුවඳ ද ඔබ අරගත්තේ
මතු දින මා පරවිය යුත්තේ
ඔබෙ මොළකැටි අත් යුග මත්තේ....

ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: මොහොමඩ් සාලි
ගායනය: එච්. ආර්. ජෝතිපාල
--------------------------------------------------------------------------------------------
මුළු ලොව ලැබුනත් වෙනස් නොවේ
මගෙ එක වස්තුව ඔබයි දුවේ
ඇත්තද තාත්තේ . . .

කිව්වට ගුණ කඳ නැත නිම්මා
නෙත් දෙක වාගෙයි ඔබෙ අම්මා
වාසනාවන් . . .

වරදක් වී දඬුවම් දෙනදා
හොර බොරු නොකරනු දුව කිසිදා
නෑ කරන්නේ . . .

වරදට ආයුෂ අඩුයි ලොවේ
හොඳ පවතියි හැමදාම ලොවේ
හැබැයි හැබැයි . . .

මුළු ලොව ලැබුනත් වෙනස් නොවේ
මගෙ එක වස්තුව ඔබයි දුවේ
ඇත්තද තාත්තේ

නැති බැරි අය හට පිහිට වෙනූ
ඇති තැන හැකි දෙය පිණට දෙනූ
ඒක එහෙමයි . . .

සැප මෙන් දුක ඉවසා ඉන්න
හිනැහී සිත සනසා ගන්න
හ හා හොඳයි . . .

මුළු ලොව ලැබුනත් වෙනස් නොවේ
මගෙ එක වස්තුව ඔබයි දුවේ
ඇත්තද තාත්තේ . . .

ගී පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - මොහොමඩ් සාලි
ගායනය  - මිල්ටන් පෙරේරා සමඟ දමයන්ති ඒකනායක
--------------------------------------------------------------------------------------------
ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ
තොටියෙකි මා මේ සිතල වතුරේ
ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ
පායා එන්න සඳේ මට දී ආලෝකේ
පාළු වෙලා මගෙ ලෝකේ
ඕ ඇයි පාළු වෙලා මගෙ ලෝකේ

තෝරා දෙන්න වහා නැගෙනා මේ සෝකේ
පාළු වෙලා මගෙ ලෝකේ
ඕ ඇයි පාළු වෙලා මගෙ ලෝකේ
ඇගෙ තනිය මකා දී
ඇගෙ ඇසුර ලබා දී
සනසන්න හිතේ දුක පහ කරලා

මාගේ වෙහෙස නිවා සතපා හිනැහෙන්නේ
කවුද කියා නැත දන්නේ
ඕ කොයි කවුද කියා නැත දන්නේ
ජීවේ අඩුව මකා පුරවා සනසන්නේ
කවුද කියා නැත දන්නේ
ඕ කොයි කවුද කියා නැත දන්නේ
බත රසට උයාලා කොළ පතට බෙදාලා
ගෙන එන්න කෙනෙක් දෙනු මැන සොයලා

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය  - මොහොමඩ් සාලි
--------------------------------------------------------------------------------------------
අම්මාගේ උකුලේ නැළවී
තාත්තාට සුරතල් වෙවී
පාසල් ගොසින් උදය කාලේ
පසුවීලා යයි මාගේ බාලේ

දෙගුරුන්ගේ අවවාද අසලා
අවුරුද්ද අවුරුද්ද ගෙවලා
ලොකු පොත් සොයාලා කියෝලා
ඉගෙනීම අවසාන කරලා

ලංකාව රට මා උපන්න
මගේ ජාතියේ නාමේ ගන්න
පුළුවන් තරම් වෙහෙසවන්න
පතමී හොදින් මා හැදෙන්න

ගී පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - මොහොමඩ් සාලි
ගයනය - දමයන්තී ඒකනායක
--------------------------------------------------------------------------------------------
විදුලි දුම්රියේ චංචල නාදය
සවනත වැකෙන සඳේ...
කඳුළු පිරි දෙනෙතින් අතරින් මිහිරක්
මතුවිය සැලෙන හදේ...

සීත කඳුකරේ මීදුම අධිකයි
පමා වුණෙමි සොඳුරේ...
රූපවාහිනී අංජන රේඛා
නළඟන ඔබද ළදේ...

ආදර සුවඳින් දසතම මත්වෙන
වසන්ත සුළඟෙ හැපී...
සාගර ජල මත පාවෙන උයනේ
මී විත පුරමු අපි...

මිනිසා පළමුව සඳ තරණය කළ
විසිතුරු කතන්දරේ
දුර සඳ මඬලේ සිනමා මැදුරක
නරඹමු නිසංසලේ...

පාවෙන සඳකැන් සිසිලෙන් නෑවෙන
ආදර සඳුන් වනේ...
නරඹමු සුරඹුන් රඟදෙන රැගුමන්
පියඹන අවන් හලේ...

මිනිසුන් හෙට දින සොයමින් වෙහෙසෙන
පරසතු කුසුම් විලේ ...
ජයපැන් තොලගා අමරණීය වන
කුමරුන් මමය ඔබේ....

ගී පද : දයානන්ද කුමාරසිරි
සංගීතය: මොහොමඩ් සාලි
ගායනය: රූපා ඉන්දුමතී සමග ලක්ෂ්මන් රුද්‍රිගු
--------------------------------------------------------------------------------------------
වසන්ත දූතය වසන්ත දූතය
අරුමැසි හඬනගනා
ගයන්න ගීතය ගයන්න ගීතය
දෙසවන රස කරනා දෙසවන රස කරනා
පබාකුමාරියෙ පබාකුමාරියෙ
නොබා කැලුම් හෙලනා

අවන්පතින් මට පවන් සලනු මැන
ගිනිදන ගිම් නිවනා ගිනිදන ගිම් නිවනා
රසසිලිලාරය මදුරය මිහිරිය
හදවත මත තැවරූ
නගන්න මදහස පුදන්න සනහස
පෙරදින මට නුහුරූ
පබාකුමාරියෙ ..........

ඔබටම සීමිත සුමදුර ගීතෙකි
මෙය නැත පෙර ගයලා
එය සිතතුල මිස නොලියනු මියුලැස
පොත් ඉරුවක පෙරලා
වසන්ත දූතය......

ගායනය :රූපා ඉන්දුමතී/ලක්ෂ්මන් රුද්‍රිගෝ
සංගීතය :මොහොමඩ් සාලි
ගී පද  :කරුණාරත්න අබේසේකර
--------------------------------------------------------------------------------------------
සඳකිරණින් පැළට ඔබේ එළිය වැටෙනවා
තුරු සෙවනින් මිදුල වටේ සුවය දැනෙනවා

කවුළුවකින් කුමරි ඔබේ මුහුණ පෙනෙනවා
මැදුර තුලින් සොඳුරි මගේ සැපත ගෙනෙනවා

මහ නිලයක බලතල ගැන මගෙ සිත හිඳුනා
නව රසයක සිත පිරිසිඳු පෙමකට හැරුනා

සිටු පවුලක කුමරියෙ ඔබ ගැන බිය තිබුනා
අඩු කුළයක ඉපදුනු මට ඔබෙ අත ලැබුනා

සිටුවරු රජවරු කුළවතු අප දෙස බලලා
හිනැහෙයි අද අපහට උන් කුළ-මළ ඇදලා

එක හිත වගෙ දුක සැප දෙක එක ලෙස සලකා
අත් වැල් බැඳ මහ මග බැස යමු අපි දෙදෙනා..

ගී පද - විමලදාස පෙරේරා
ගායනය - ලතා දිසානායක සහ මිල්ටන් පෙරේරා
සංගීතය -මොහොමඩ් සාලි
--------------------------------------------------------------------------------------------
එක ගගක ඉවුරු දෙක කවදා
කොතැන මුණගැසේදෝ
එහි ගලන ජලය හෙට වියළී
මගදි නතරවේදෝ.......

අඩනින්දෙ දුටුව මල් සිහිනේ
දිනෙක සැබෑවේදෝ
සැඩ සුළගෙ දැල් වූ රං පහනේ
එළිය යළි නිවේදෝ

අද දකින දෙතරු නිල් අහසේ
හෙටද මට පෙනේදෝ
ඔබෙ සමරු පොතෙහි කොළ පෙගිලා
සිතුවම් බොදවේදෝ.....

ගී පද :කරුණාරත්න අබෙිසේකර
සංගීතය:මොහොමඩ් සාලි
ගායනය:‍රූපා ඉන්දුමතී
--------------------------------------------------------------------------------------------
මදුමල ලෙස මුදු මගේ ප්‍රියාදර
මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කරකර ඔබට ලියන එක
මට ඇති එක සතුටයි

අපමණ සිතුවිළි බිහිවී තෙරපී
එකිනෙක පැටලෙන්නේ
කොහොම පටන්ගෙන මොනව ලියන්නද
නැතමට වැටහෙන්නේ
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
කීමට ඇති සැමදේ
පරවි රැජිනියේ එදාවගෙ අදත්
ඔබට තවම මම ආදරෙයි....

හිතගොළුවෙනවා අත වෙව්ලනවා
හදවත ගැස්සෙනවා
ලිපියෙහි කොළයට මුහුණ යොමනවිට
නෙත්දෙක පියවෙනවා
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
කීමට ඇති සැමදේ
පරවි රැජිණියේ එදාවගෙ අදත්
ඔබට තවම මම ආදරෙයි....

ගායනය :මිල්ටන් මල්ලවාරච්චි
ගී පද  :කරුනාරත්න අබේසේකර .
සංගීතය :මොහොමඩ් සාලි .
--------------------------------------------------------------------------------------------
ඔබ කොහෙදෝ අද කෝ කොතැනේ
කා සොයා කොයිබ දෝ පිය මැන්නේ
දිව රෑ නොබලා සොඳුරේ
දිව රෑ නොබලා සොඳුරේ...

ඔබ කොතැනේ මගෙ ලොව එතැනේ
ආදරේ සිත පුරා උතුරන්නේ
ඔබගේ සෙවණේ මිහිරේ
ඔබගේ හෙවණේ මිහිරේ...

කූඩුව දාලා...
ළා දළු අතරේ කූඩු වූ කුරුල්ලන්...
වන අරණේ ගඟ බඩ ඉවුරේ
රස ගීත ගයා මුළු ලොවම අසා වී
ඈ මාගේ සහකාරී
සතුටේ කඳුළේ යා වූ
සතුටේ කඳුළේ යා වූ...

ජීවිත කාලේ...
හදවත යා වූ ආදරෙන් පැතූ අත
හිමි සඳුවේ ඔබ හිමි සඳු වේ
බවකතර දරා මා ආවෙමි මිහිරේ
ජීවිතේ මධු දැහැනේ
ආදරයේ සුව යහනේ...

ඔබ කොහෙදෝ අද කෝ කොතැනේ
කා සොයා කොයිබදෝ පිය මැන්නේ
අද කෝ කොතැනේ සොඳුරේ...
ඔබගේ හෙවනේ මිහිරේ...

ගායනය : වී වර්ධරාජා සහ සුජාතා අත්තනායක
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : මොහොමඩ් සාලි
--------------------------------------------------------------------------------------------
පෙරපර දෙදිගම මුළු මහ දෙරණෙ
එකමෙක විශ්මිත රුවනාරයි
උදාගිරෙන් හිරු උදාව එනතුරු
හෙළදිව ඔබහට මට බාරයි

වට ඇති සමුදුර බැම්මෙන් එපිටට
අඟළක් අප හට හිමි නැත්තේ
පැතුම් පතාගෙන බිහිකළ මව මෙන්
දිනු බිම ඔබ රැක ගත යුත්තේ

දෙදහස් පන්සිය වසරක ඉතිහස
කලු මැද මැද සිට පලක් නැතේ
මිලාන මවුබිම සුවපත් කළහොත්
මුතු උපදී ඔබෙ සොහොන් කොතේ

ගායනය් - ලක්ෂ්මන් රොද්‍රිගෝ /රූපා ඉන්දුමතී
ගී පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - මොහොමඩ් සාලි
--------------------------------------------------------------------------------------------
රන් ඇට පොට රිදී හවඩි කොහෙන් ගෙනෙන්නේ
මල් වැල් ඉහිරුණු චීත්ත කොහෙන් සොයන්නේ
රෑන් රෑන් දිගට හවරි කොහෙන් ලබන්නේ
ආදරයක් පොදී බැඳගෙන මොටද උපන්නේ ...

ඈත එපිට ලන්දෙ ඉඳන් මුකුළු කරනවා
ඇගේ රුවට දෙවට දිගේ කැකුළු පිපෙනවා
මා තනිවම ඈ තනිවම දෙතැන තැවෙනවා
ඇගේ මුව හසරැලි බලන්න යන්න හිතෙනවා ....

නියර දිගේ නිතඹ සැලෙන රුවක් පෙනෙනවා
ගොයම් කරල් ලජ්ජාවෙන් බිමට හැරෙනවා
දියට ගොසින් දිය නාගෙන මදෙස බලනවා
ආදයරක් ඉවසන හැටි පුදුම හිතෙනවා ...

ඕවිට ළඟ කෙකටිය මල් පියර හලනවා
ඇගේ පලට සමීරයෙන් සුවඳ ගෙනෙනවා
තනිකඩ ජීවිතය මගේ සිහින මවනවා
අත්වැල් නැති ආදරයක් මට හිමිවෙනවා ...

ගායනය - එච් ආර් ජෝතිපාල
ගී පද - ජෝජ් ලෙස්ලි රණසිංහ
සංගීතය - මොහොමඩ් සාලි
--------------------------------------------------------------------------------------------
හෙළ ජාතික පියුම් විලේ සුවඳ කැකුලු මල් වැනී
අතමිට මොලවා සුරකින දෙය මොනවද දරුවනේ
සව්සිරියෙන් සපුරන්නට උදාවන අනාගතේ
රන් මිණි මුතු වැනි අදහස් ඇත මිට මොළවා අතේ

රට අදිරදවාදෙන් මුදා නිදහස් සුව වලඳවා
ලංකා මව හිනැහේ තොල් පෙති මදහස රැළි මවා
දෑ අභිමානය අනුරාගය බිහිකල හදතුලේ
අනගාරික ධර්මපාල හිමි සමරමු සින්හලේ

පුරන් අප්පු කැප්පෙටිපොල ගුණානන්ද හිමි එදා
පෑ විකුමන් ලියැවී ඇත ලක් ඉතිහාසයෙ මෙදා
ගංගාවක් යයිසිතා ල සත්සයුරක් වූව පුතේ
රට ජාතිය සුඛිත කරමු නොඉඳින්නට හාමතේ

ගායනය -අයිරින් ද අල්විස් / ලක්ෂ්මන් රුද්‍රිගෝ
ගී පද - හේම ශ්‍රී ද අල්විස්
සංගීතය -මොහොමඩ් සාලි
--------------------------------------------------------------------------------------------
පෙමවත තරහා වෙලා
නිහඩව ඉන්නේ ඇයි
ඔබගේ නපුරු කමට
මා සිත තනි කම රන්දා ....

පෙමවත තරහා වෙලා
පෙරදා බැඳුනු සෙනේ
අඩුවක් නැ මෙතෙක් වුනේ
පෙම්බර හිමියනි මාගේ
මා සිත රිදවන්න එපා
නෙතු කඳුලැලි පුරවන්න එපා ...

කඳුලක දුක රඳවා
ඔබ අද යහනයට වැදී
මියුරස ශිනයෙන් මගේ
මා සිත රිදවන්න එපා
ගොළුවත රකිමින් ඉන්න එපා ...

ගායනය - සුජාතා අත්තනායක
ගී පද - සුනිල් ආර් ගමගේ
සංගීතය - මොහොමඩ් සාලි
--------------------------------------------------------------------------------------------
ආලෙහි බැඳී ජිවිත අඳුරෙහි ගැලේවි
සැමදාම ලොවේ නැහැ සැප
ශෝකයම සදාවී ආලෙහි බැඳී....

ලැබූ ජිවිතේ සුළු දේකි ඔබේ ඇයි රස වින්දේ
වැනසී යන මායාවකි එය නොලැබෙයි දුන් දේ
පුදුමේකි රජුන් කිවිඳුන් පඩිඳුන් හා සමගා
දන නමැති ලොවේ මේ බිහිසුණු ආලය හින්දා ...
මේ ආලය හින්දා ...

ඉරි තැලුණු හැදින් වැගිරුණු ලේ බිඳුවැල් මත හා
කෝ සොඳුරු බවක් මේ ප්‍රේමය මුසුවුන තැන හා
මේ ආලයමයි කෙනෙකුගේ සුර සැප ගෙන දෙන්නේ
මේ දේම තමා ජිවිත ගණනක් වනසන්නේ ..
ජිවිත වනසන්නේ ...

ගායනය - මිල්ටන් පෙරේරා
සංගීතය -මොහොමඩ් සාලි
ගී පද - ඇලෝයි ගුණවර්ධන
--------------------------------------------------------------------------------------------
සඳුන් ගසක එති සමන්ලතාවක මල් පරවී යනවා
ඔබේ නමට පිදු මගෙ හදවත්මල තවමත් පිබිදෙනවා
මගේ හද තවමත් බැබලෙනවා
ආදර නදියක පැදගිය ඔරුවක් කුනාටුවක වැදුනා
සමාජයේ කරදර හිරිහැර මැද මිහිර පතුලෙ ගිලුනා
ඔබේ නම නොමැකෙන ලෙස ඇඳුනා

සිතුදේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි
කියන දහම විලසේ
මිණිමුතු පැතුමට ලැබුනද ගල්කැට
නොලැබී මා සිතුසේ
මමයී ඔබේ හිත ඔබ මාගේ අත
කියා එදා කීවා
හිරුට පියුම ලෙස මුහුදට සඳ ලෙස
කියමින් රැවටෙව්වා අනේ සුදු ඔබ මා රැවටෙව්වා

ආලය පිලබද නොමැකෙන සටහන්
ඇත මගෙ සොඳුරු ළයේ
මා ළය ඔබ වෙත තිබු සෙනෙහස ගැන
අටුවා මොටද ප්‍රියේ
නොලැබෙන දෙයකට හඩා පලක් නැත
මම මෙහි සැනසෙන්නම්
සුදු ඔබෙ නාමෙන් හොදනම රැකගෙන
මම හැමදා ඉන්නම්
මෙසේ මා ගී ගයමින් ඉන්නම්

ගායනය - මිල්ටන් පෙරේරා 
සංගීතය -මොහොමඩ් සාලි 
ගී පද - ලලිත් එස්‌ මෛත්‍රිපාල
--------------------------------------------------------------------------------------------
ඇස රැඳුන රැඳුන තැන්වල
මුව මඬල හිනැහුණා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා

දුක් පැදුර දිගැර අලසව ඇත
හද ගිමන් හලේ
නින්දකට නොවැටි තැවි තැවි
මුළු රැය පහන් කළේ

රෑ කවුද හෙමින් එළැඹී මගෙ
කනට මුව තියා
මින්දදගේ දුන්නෙ මල් හී
පහකැයි කියා ගියා

වැසු විමන් පියන් පියවා
රඳවන්න මට හිතයි
උඩු හිතට වැඩිය ඔබ ගැන
විමසන්නේ යටි හිතයි

ගී පද – කරුණාරත්න අබේසේකර
සංගීතය - මොහොමඩ් සාලි
ගායනය – මිල්ටන් පෙර්රා
--------------------------------------------------------------------------------------------
නිසසල හදවත සසලව කැළඹෙයි ගත සිත අවිවේකයි
සසිකාමිණියේ මටම නොතේරෙන එකම රහස මේකයි

දහසක්‌ දෙන මැද රසතැන් මුසුවෙන ගීතනු ලියැවෙනවා
මියුලැස්‌ පරදන ඔබේ ඇස්‌ අභියස මගෙ දිව ගොත වෙනවා
තෙරපෙන සිතුවිලි පටලැවි බිඳි බිඳි මුනිවත ගිලිහෙන්නේ
එහි නැත අරුතක්‌ වදන් වැලක්‌ මිස ඇයි මා ගොළුවෙන්නෙ

සැතපෙන යාමෙදි යටිහිත අවදිව ඔබ සිහිගංවනවා
කුටියෙහි සරතැස රැවැති විමන් ලෙස හසරැලි නංවනවා
දෙසවන් සනහන ඒ ලෙංගතු හඞ දෙසවන් වෙත එද්දෙන්
දෙනයන කළ පින් දෙනයන පිනවන ඔවු මට පලදෙද්දෙන්

ගී පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - මොහොමඩ් සාලි
ගායනය - එච්.ආර් ජෝතිපාල 
--------------------------------------------------------------------------------------------
ප.ලි
අපේ රටේ හිටිය තවත් වටිනා කලාරුවෙක් ගැන කෙටි සටහනක් .මෙහි අඩංගු විස්තර ගොඩක් ගත්තේ සුනිල් ආරියරත්නගේ "ගාන්ධර්ව අපදාන "පොතෙන් .අපි නිතරම රස විඳින ගීත බොහොමයක තනු රචකයා සාලි මාස්ටර් වෙන්න පුළුවන් .මෙතැන සාලි මාස්ටර්ගේ ස්වතන්ත්‍ර ගීත වගේම අනුකාරක ගීතද පල කරලා තියනවා .

වැරදි අඩුපාඩු ඇත්නම් පෙන්වා දෙන්න ..

39 comments:

  1. සිංහල සින්දුවට පෙරේත මට මේක රහ බේරෙන් ලිපියක් වගේම නොදන්න වැදගත් කරුණු කීපයක්ම ඇති ලිපියක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අපි එකම රෑනේ කුරුල්ලෝ නොවැ මචෝ .....බොහොම ස්තුතියි
      ජයවේවා !!!

      Delete
  2. අම්ම අප්පා පත්තරේ දැක්ක වගේ ජය වේවා හැක්

    ReplyDelete
    Replies
    1. ආං ටෙස්ලා උඹව හොයනවා :D

      Delete
    2. අම්මා ,අප්පා .පත්තරේ දාලා ටෙස්ලා හොයනවා ...හැක් හැක්

      Delete
  3. සුපිරි ලිපියක් . .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුකා ..

      Delete
  4. //සමහර ශිල්පීන්ගෙන් ඔහුට තනු නිර්මාණයට ලැබුනේ බ්‍රිස්ටල් පැකට් එකක් පමණි // මෙය දුටු මට මතක් වූයේ අන්ධ ගායක හෙන්රි කල්දේරා මහතාට මුහුණදීමට සිදුවූ සිදුවීමකි. දිනක් සංගීත සංදර්ශනයකට කැඳවාගෙන ගිය ඔහුට ගීත ගැයීමෙන් පසුව ලියුම් කවරයක් හා කුඩා පාර්සලයක් සංවිධායක ම්ණ්ඩලය විසින් ලබාදී ඇත. නිවසට පැමිණ බලද්දී එහි තිබී ඇත්තේ රැපියල් 25 ක් සහ බිස්කට් පැකට්ටුවකි.

    ReplyDelete
    Replies
    1. ඒ සිද්දිය ප්‍රසිද්ධ රහසක් වාගේ නේද මල් මල්ලි ...ඒ කාලේ හැමෝම වැඩ ගත්තේ බෝතලේට ,බ්‍රිස්ටල් පැකට් එකට .....ඒක නිසා ඒ මිනිසුන්ගේ අවසන් කාලය හොදින් ගත කරන්න තිබුණු අවස්තාව නැති ව ගියා

      Delete
    2. තව එකක් තමා බං මේ මාස්ටර්ලට ඕන උනේ වැඩේ හරියට කරන්න.ගාන ගැන ලොකුවට එලෙව්වෙ නෑ.ඔවුන් මේ සිංදුවකින් ලොකු ආත්ම තෘප්තියක් ලැබුවා කියල මං හිතන්නෙ.

      Delete
    3. ඒ කාලේ රිඟින් ටෝන් තිබුනා නම් මේ මිනිස්සු කෝටිපතියෝ නේද මචෝ ...

      Delete
    4. අද රිඟිං ටෝන් විතරයි සිංදු නෑ

      Delete
    5. අද කොහොමත් ටෝන් එක විතරයි මචෝ ...වැඩ නැ ...

      Delete
  5. පැරණි සිංහල ගීතයට පෙම් බැඳිමට මා පොළඹවන ලද ගීත බොහොමයක හිමිකාරිත්වය සාලි මාසටර්ගේ බව දැන ගත්තේ පසුකාලීනවයි..
    කුඩා අවධියේදී නිරන්තරයෙන් ම ගුවන් විදුලියෙන් ගීත ඇසෙද්දී මගේ සිත ඒ යම් යම් ගීත වෙත බැඳුණේ ඒවායේ තනු සහ ගායනාවන් හි මට දැනුණු මිහිරි බව නිසායි..
    පදමාලාවේ අරුත් නොතේරෙන, ගීතයක නිර්මාපකයන් කවුදැයි නොදන්නා වයසක දී තනුවට සහ ගායනයට මගේ සිත ඇද බැද තබා ගත් ඒ ගීත හැම එකක් ම පාහේ ඉහත පළ වී තිබෙනවා...

    සාලි මාස්ටර්ගේ මියුරු නිර්මාණයන්හි රැඳි ළයාන්විත බවයි ඒ...

    මොහමඩ් සාලි - මිල්ටන් පෙරේරා එකතුවේ සුමධුර ම ගීතයන් හි පද රචකයා කරුණාරත්න අබේසේකරයන් වීමත් විශේෂයි...
    ඒ අතරට ප්‍රේමකීර්ති ද අල්විසුන් රචනා කළ"මා අවදි කළා ඔබ දිනිදා සේ" , ලක්ෂ්මන් රොද්‍රිගෝ ගයන "කඳුළු පිරුණු දෑසේ" සහ ජෝතිපාලයන්ගේ "ඔබ දැකුමින් මා නෙත ලැබුවේ" යන ගීතයන් එදා මෙන් ම අදත් මගේ ප්‍රියතම ගීතවනවා.......

    මෙසේ සුමධුර ගීත නිර්මාණයන් බිහිකළ සංගීතඥයින් පිළිබඳව මතකයන් ක්‍රමයෙන් රසික සිත් වලින් ඈත්වෙමින් යන යුගයක ඔහුගේ නිර්මාණයන් නව රසික පරපුර වෙත නැවත හඳුන්වාදීමක් මෙවන් ඉදිරිපත් කිරීම් තුළින් සිදුවන බව මගේ හැඟීමයි...
    ඒ සත්කාර්යය වෙනුවෙන් මගේ ස්තූතිය ඔබට.....සිංදු ඇනෝ..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඩිනාලි ....ඔබ තුමියගෙන් ලැබුණු සහයෝගය නිසා තමයි මේ පොස්ට් එක ඉක්මන් වුනේ ....

      Delete
  6. හදවතින්ම ආස කරන කරන සිංදු බොහෝමයක අයිතිකාරය සාලි මාස්ටර් නෙවැ සිංදුවො බලං ගියාම.ගොඩක් ඒව සාලි මාස්ටර්ගෙ කියල අදයි දන්නෙ.කට පුරා මාස්ටර් කීවහැකි මනුස්සයෙක්.ඕ යේස්

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම මචෝ ගොඩක් අය සින්දුව කියන කෙනා විතරයි දන්නේ .අනිත් දෙන්නා ගැන කිසිම දෙයක් දන්නේ නැ ....හේතුව මොකක් වෙන්න පුලුවන්ද ?

      Delete
  7. ඉරාජ්ගේ ගිණියම් රෑ වීඩියෝ එක බලලා අපේ සීයා හිරිවාතෙ හැදිලා මළා.

    ReplyDelete
    Replies
    1. සීයගෙ හිරිඔතප් බිඳෙන්න ඇති.

      Delete
  8. ඒ මුස්ලිම් කලාකාරයින්ගෙන් වැඩිදෙනා මැලේද?
    දැන් මුස්ලිම් (මැලේ හෝ මුවර්) කලාකරුවන් සංසන්දනාත්මකව අඩුයි නේද?

    ReplyDelete
    Replies
    1. ප්‍රා මේ ගැන නම් මම වැඩිය දන්නේ නැ ...මේ ගැන හොයලා බලලා ලියන්නම් මචෝ...

      Delete
    2. මොහිදීන් බෙග් පමණක් නොව සිංහල සංගීතය හා බැඳුණු තවත් මුස්ලිම් මැලේ හා දෙමළ ශිල්පීන් රැසකි. මොහොමඩ් ගවුස්, අහමද් මොහිදීන්, ඒ.ආර්.එම්. ඉබ්‍රාහිම්, මොහොමඩ් සාලි, ආර්. මුත්තුසාමි, ටී.එෆ්. ලතීෆ්, හරුන් ලන්ත්‍රා, ජී.එස්.බි. රාණි, ඒ.ජේ. කරීම් හා රොක්සාමි ඒ අතුරින් මගේ මතකයට එක්වරම ගලා එන නම් කීපයකි.

      ‘සංගීතඥයන්ට ආගමක් නැත’ යනු ප්‍රකට ඉන්දියානු කියමනකි. හින්දු හා මුස්ලිම් සංගීතඥයෝ අතීතයේ සිටම භාරත සංගීත ක්ෂේත්‍රය පෝෂිත කළහ. හින්දු මහාරාජවරු හා රජවරු වෙත මුස්ලිම් සංගීතඥයෝ ද, මුස්ලිම් රජවරු වෙත හින්දු සංගීතඥයෝ ද සේවය කළෝ ය. ගාන්ධර්ව සභාවන්හිදී වැඩි සැලකිලි ලැබුණේ උසස් සංගීතයට මිස ඔවුන්ගේ ජාතියට හෝ ආගමට නොවේ.
      http://www.silumina.lk/2013/06/09/_art.asp?fn=av13060917

      Delete
  9. මොහොමඩ් සාලි කලාකරුවාණන් පිළිබඳව ඔබ ලියු මේ සටහන කාලිනය මක්‌ නිසාද යත් ගීත කලාව අවරට යන මේ යුගයේ ද 70 දශකයේ ගී අගයන අල්පයක්‌ රසිකයන් පවා ඒවයේ සැබැ නිර්මාණකරුවන් නොසලකා හරින්නට පුරුදුව ඇති නිසයි
    ගී තනු නිර්මාපකයන් ඉතා සංවේදි මිනිසුන් නිසාම ජීවිත ලෝ දහම හමුවේ ඔවුන් සැලෙයි එයින් දිවිමග කෙටිකරගනී ඔවුන් දිවමන් ව සිටියදී මෙවන් ඇගයිම් කරන්නෝ හමුවේ තුටු සිතැතිව දිගායු විඳින්නට වරම් ලැබෙන්නට තිබිණි
    ඔහු ඉතා නිර්මානශීලී කලාකරුවෙකි

    රූපා ඉන්දුමතී ලක්‍ෂමන් රොද්‍රිගෝ ගැයූ විදුලි දුම්රියේ නම් නවමු තේමාවක්‌ රැගත් ගීයේ තනුව
    මිල්ටන් පෙරේරා ගේ සියඵ සත්වයො නිදුක්‌ වෙත්වා ගීයේ සිත් පහන් කරවන අන්තර් නාදමාලා

    ප්‍රේමකීර්ති ලියු රූපා ගැයූ දෙරණ මෙනි දුක්‌ උහුලනා තත් නම් විශීෂ්ඨ මව් ගුණ ගීයට නිර්මාණය කල දෑස්‌ තෙත්වන අන්තර් වාද්‍ය ඛන්ඩ
    කරුණාරත්න අබේසේකරයන් මොරිස්‌ දහනායක වෙත ලියා දුන්
    තම්බපන්නි ජන්මභූමි ශ්‍රී ලංකා පින්බරයි දේශාභිමානී ගීයට පණදුන් හමුදා තූර්ය වාද්‍ය සංගීතය

    ඔවුන්ට ලැබිය යුතුව තිබු කෘතගුණය හිමිකරදුන්නාද යන්න සැලකිය යුතුය

    ශ්‍රී ලංකාව එදත් අදත් කලාකරුවන් අගයන රටක්‌ නොවේ මෙහි ඒ කටයුත්තේ නිරතවන්නෝ පෙරළා ඇගයිම් නොව ඒ වෙනුවට කොන් කිරීම් හා රැවටිම් තම උරුමය බව පිළිගත යුතුය

    ReplyDelete
    Replies
    1. //ශ්‍රී ලංකාව එදත් අදත් කලාකරුවන් අගයන රටක්‌ නොවේ මෙහි ඒ කටයුත්තේ නිරතවන්නෝ පෙරළා ඇගයිම් නොව ඒ වෙනුවට කොන් කිරීම් හා රැවටිම් තම උරුමය බව පිළිගත යුතුය//++++++++++++++++++++++++++++++++++
      මෙන්න මේක තමයි ප්‍රභාත් මහත්තයෝ තිත්ත ඇත්ත ...කරුමෙට මේක අම්මටසිරි ලංකාවනේ....
      වෙනදා වගේම වටිනා කියන අදහස් දැක්වීම ගැන බොහොම ස්තුත්යි ...!!!

      Delete
  10. මෙය දැකුමෙන් මා නෙත ලැබුවේ.. ඇති ඉහලම සතුටුයි මෙලොවේ..

    ReplyDelete
    Replies
    1. දෙසවන් සනහන ඒ ලෙංගතු හඞ දෙසවන් වෙත එද්දෙන් ....හැක් හැක්

      Delete
  11. ඉක්බිති සියල්ලෝම සතුටින් ජිවත්වූහ.. වගේ එකම අවසානයක්... මේක මේ නිර්මාණ ශිල්පීන්ගෙ වරදද නැත්නම් ලංකාවෙ ක්‍රමේ අවුලක්ද.... හරිම ඛේදවාචකයක් මේක..

    ReplyDelete
    Replies
    1. මේක මචෝ 60,70 ව 80 දශකයේ වැරැද්ද ...අනික මේ අම්මට සිරි ලංකාවනේ .මැරුණට පස්සේ අපිට සිටි වටිනා දක්ෂ කලාකරුවෙක් දැයට අහිමි වුනා කියලා බෝර්ඩ් එකක් ගහනවා ..ඒකම ඇතිනේ .සැමරුම් උත්සව තියලා සංවිධානය කරන එවුන්ගේ ප්‍රසිද්ධිය වැඩි කරගන්නවා ...එච්චරයි

      Delete
    2. 60,70,80 යුගයේ කලාකරුවන්ගේ වැරැද්ද කිව්වොත් වඩා නිවැරද්‍යි මං හිතන්නෙ.මොකද මේ යුගයෙ බහුතරයක් කලාකරුවො නිර්මාණ කෙරුවෙ බොහෝවිට ලාබ අපේක්ශාවෙන් නෙවෙයි... කොටින්ම සල්ලි පස්සෙ දිව්වෙ නෑ..

      Delete
    3. ඒක ඇත්ත ..අනික ඒ කාලේ කලාව කියන දේ බිස්නස් එකක් වුනේ නැනේ මචෝ .

      Delete
  12. ජීවිත කාලෙ ඇතුලතදි ආසකරපු ගීත බොහොමයක හිමිකරු මොහොමඩ් සාලි කියල අදයි දන්නෙ.

    අපේ පිවිතුරු හෙල සංගීතය තම්බියෙකුට කිලිටි කරන්න දෙන්න හොඳ නෑ

    ReplyDelete
    Replies
    1. කමෙන්තුවේ දෙවනි කෑල්ලට තිත්දෙකයි ඩී දාන්න අමතක වුනා. උඹ දාගනිං

      Delete
    2. කමෙන්තුවේ දෙවනි කෑල්ලට තිත්දෙකයි ඩී දාන්න අමතක වුනා. උඹ දාගනිං

      Delete
    3. හැක් හැක් ......මචන් ඒකාලේ තම්බි ..දැන් ඉන්නේ ISIS laa ..

      Delete
  13. ටිකක් දුක්බර සටහනක් සින්දු ඇනෝ. මෙච්චර ලස්සන් සින්දු වලට තනු දුන්නේ ඔහු කියුවම.

    ReplyDelete
    Replies
    1. අපි ගායකයා ගැන විතරයි හොයන්නේ ..ඒ නිසා මෙවැනි පුද්ගලයින් යට යනවා ඉබේම ...බොහොම ස්තුතියි අයියේ ...

      Delete
  14. රස වෑහෙන ලිපියක් මචං. ලිපිය පල වෙලා සෑහෙන දවසකින් මේ කියවන්නෙ. විදුලි දුම්රියේ ගීතය රචනා වෙන අවදියේ ලංකාවෙ සමාජයෙ රූපවාහිනී කියලා වචනයක් තිබුනෙ නෑ. නමුත් ඒ රචකයා අනාගතය වේලාසන දැක්ක නිසාද මන්දා රූපවාහිනී කියන වචනය තමන්ගෙ රචනාව තුල ඇතුලත් කරලා තියෙනවා.

    සාලි මාස්ටර්ගෙ මධුර මනෝහර තනු ගැන කියන්න වදන්න නෑ...පායා ආ සද, මධු මල ලෙස ගීත ද්විත්වයත් මිල්ටන් පෙරේරා වෙනුවෙන් නිර්මාණය කර තිබෙන ගීත කීපයත් ඒ වගට සාක්ෂි. හදවතට එකගව කලාව කල අය මුදල් හම්බ කලේ බොහොම අඩුවෙන්. ඒ ඇත්තන්ගෙ අවසාන කාලය බොහෝවිට දුක්බර එකක්ම උනා. මතකනෙ ලන්ත්‍රා මහත්මයාගෙ අවසාන කාලෙ...

    මෙවැනි රසාලිප්ත ලිපි මගින් පාඨක අපගේ මනස පෝෂණය කරන බොට මගේ අවංක ආදර ස්තූතිය. මෙවැනි ලිපි තව තවත් ලියවේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුතියි සිරෝ .....

      Delete
  15. මැලේ ජාතික සංගීතඥයින් ගැන කතා කිරීමේදී,කලාශූරී ස්ටැන්ලි ඕමාර් මහතා ගැනද සිහිපත් කළ යුතුමයි. ජෝතිපාලයන්ගේ ප්‍රථම ගීතයවූ "මගෙ රන් රාජිනී" පද රචනා කර සංගීතවත් කළේ එතුමායි.එසේම ජෝතිපාලට මුදලින් ආධාර කළේත් එතුමායි.එතුමා දක්‍ෂ වයලීන වාදකයෙක්.චිත්‍රපට කිහිපයකම සංගීතය මෙහෙයවුවා.
    සිංහලයන්ට වඩා හොඳින් එතුමා සිංහල දැන සිටියේ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නිසා විය යුතුයි.එතුමාගේ සිංහල අකුරු මුතු ඇට වගේ පියකරුයි.ඔහු ඉතාම සුහදශීලී, නිහතමානී, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම කලාකරුවෙක්. මුදල් පසුපස හඹා නොගිය එතුමා, මැතකදී අප අතරින් වෙන්ව යන තුරුම ගත කළේ බොහොම සරල චාම් දිවි පෙවෙතක්.

    ReplyDelete