Friday, April 21, 2017

"නියඟයත් වැසිත් සදන අහස - සේම විඳිමු ගැරහුම් "





වීඩියෝව දැකලා මතක් වුනා ගීත කීපයක් එකම තැනකට ගන්න හිතුවේ ....තව මේ වාගේ ගීත මතක් කරමුද ? (මිනිස්කම ගැන ,දුප්පත් කම ගැන ලියවුන ගීත )

Monday, March 13, 2017

"හත් වලාමෙ වෙච්චි දේට"

ප්‍රවීණ පුණත්පත් කලාවේදියකු සහ ජනප්‍රිය ගී පද රචකයකු වූ දෙල්තොට චන්ද්‍රපාලයන් 1938 පෙබරවාරි 28 වැනිදා උපත ලැබූ අතර එච්.ඇම්. කුඩලිගම කවියා ගේ යොමු කිරීමක් අනුව එවකට ජනතා පත්‍රයේ කතුවරයාව සිටි ජ්‍යෙෂ්ඨ තම පුවත්පත් කලාවේදී ඩී.එෆ්. කාරියකරවනයන් විසින් දෙල්තොට චන්ද්‍රපාලයන් , සිළුමිණ පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ ධුරයද හෙබවිය.තවද දිනමිණ සහ ලංකාදීප පුවත්පත්වල ප්‍රධාන කර්තෘ ලෙස දිගු කාලයක් සේවය කළේය.ජන දින, ජන සතිය, ලංකාදීප ආදි පත්තරවල උප කතු වරයකු වූ දෙල්තොට සිය ප්‍රගතිශීලී චින්තනය නිසා සමහර ආයතන වලින් විසි වී ගිය නමුදු කාලයාගේ අවෑමෙන් යළිත් ඒ තැන්වලින් ම ඉස්මතු ව නැගී සිටියේ ය.

විපරීත වී යමින් පවතින සමාජ ආකල්ප මෙ ලෙස තියුණු උපහාසයට ලක් කරන දෙල්තොට චන්ද්‍රපාල ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු, ගත්කතුවරයකු, ගීත නිබන්ධකයකු වශයෙන් කීර්තිමත් නමක් දිනා ගැනීමට පෙර රසික ප්‍රතිචාරයට ලක්වූයේ කිවිවරයකු වශයෙනි.ඔහු ඉංගිරිසි සිංහල දෙබසෙහිම හසළ ලේඛකයෙකි.කලාවටම ජීවිතය කැප කළ ඔහු මනුස්සත්වයෙන් පිරුණු හදවතක් තිබූ සුන්දර මිනිසෙකු විය.

‘මල පොතේ අකුරු බෑ කිව් මිනිහා, එක කුඩයක් යට ගෑවී නොගෑවී, පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩාගෙන, මල් ගෙන ආවේ නෑ සමිඳුනි’ වැනි ජනප්‍රිය ගීත රැසක් රචනා කරමින් ගීත ක්ෂේත්‍රයට අමිල සේවයක් කළ චන්ද්‍රපාලයන් ළමා පොත් විශාල ප්‍රමාණයක් ද රචනා කළේය. 2006 ඔක්තෝම්බර් 03 වැනිදා ඔහු මෙලොව හැර ගියේය.ඔහු ගේ ජනපි‍්‍රය ගීත නිබන්ධන ඊයේ අද මෙන් හෙටත් රසික ප්‍රතිචාරයට ලක්වෙමින් පවතිනු නොඅනුමානය.

------------------------------------------------------------------------------------

Sunday, January 29, 2017

"සිත් සනහාලන මුතුවන් වරුසා"


1932 ජනවාරි 21 වැනිදා තලංගම දී උපත ලැබූ පසිඳුගේ ප්‍රේමදාස පෙරේරා පාසල් යන කාලයේදීම පුවත්පත් සඟරා ආදියට කවි සහ ලිපි ලිවීම ආරම්භ කළ ඔහු සිළුමිණ, ලංකාදීප, ජනතා, පුවත්පත් සඳහා වැඩි වශයෙන් ලිපි, කෙටි කතා, කවි ආදිය ලීවේය. ‘බටහිර ලේඛකයෝ’ නම් කෘතිය රචනා කරමින් ග්‍රන්ථකරණයට පිවිසි ඔහු ‘ජගත් සුරංගනා කතා, සීනි ගෙදර නපුරු ආච්චි, අමරණීය පුද්ගලයෝ, සිතිවිලි රේඛා, පද්‍ය තරංගනී, නව සඳක්, පාළු අඳුර නිල් අහස මමයි, මිහිර පැතූ ආදරේ, පූජෝපහාරය සහ චීන මධුසමය’ වැනි පොත් විශාල සංඛ්‍යාවක් රචනා කළේය.මා නවකතා, නවකතා, කෙටි කතා ග්‍රන්ථ ලියා රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබුහ .

තලංගම ප්‍රේමදාස සම්මානනීය ගීත රචකයකු ද  වූයේය.තලංගම ප්‍රේමදාස යන නාමය වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ ගුවන් විදුලිය නිසාය. සිරි අයියාගේ ළමා පිටියෙන් ගුවන් විදුලියට එක් වුණු ඔහු, විචිත්‍රාංග රැසක් සහ ගීත විශාල ප්‍රමාණයක් රචනා කළේය. විල්බට් ඇන්තනි ගැයූ ‘හිරු පායා එන සුන්දර මොහොතක’, රෝහිත විජේසූරිය ඇතුලු පිරිස ගැයූ ‘රන් විමනේ දොර ඇරිලා’, ‘රත්නදීප රත්නදීප ලංකදීප සෝබනී’ වැනි දේශාභිමානී ගීත ද, සෝමතිලක ජයමහ ගැයූ ‘දස බිම්බර මාර සෙනඟ’, ‘බුදු හිමිගේ මුව කමලේ’ සහ වික්ටර් රත්නායක ගැයූ ‘සිත් සනහාලන මුතුවන් වරුසා’ වැනි බොදු බැති ගීත ද ,කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ ‘බයිසිකල් හොරා’ චිත්‍රපටයේ එන ජේ. ඒ. මිල්ටන් පෙරේරා ගැයූ ‘ජීවිත රෝදේ කැරකෙනවා’, ‘කතුරු මුවාත් ‘ චිත්‍රපටයට ඇතුළත් වූ ‘කතුරු මුවාත් පිහිය මුවාත්’ යන ගීත ලියුවේ ද තලංගම ප්‍රේමදාසයන්ය . ඔහු ලියූ සුනිල් එදිරිසිංහ ගැයූ සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ ‘අධිෂ්ඨාන’ චිත්‍රපටයෙහි එන ‘මායා මිරිඟුව පිරුණු ලෝතලේ’ නම් වූ ගීතයට 1979 දී පැවති මුල්ම ජනාධිපති සම්මාන උලෙළේදී සම්මානයක් ද හිමි විය.

තිමති වීරරත්න අධ්‍යක්ෂණය කළ ‘රජ දවසක්’ චිත්‍රපටයේ තිර නාටක රචකයා වූයේ ද තලංගම ප්‍රේමදාසය. සතිස්චන්ද්‍ර එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ ‘හොටබරි යුද්දේ’ වේදිකා නාට්‍යයෙහි රචකයා ද ඔහුය.‘සූකිරි’ සහ ‘යහළු’ තලංගම ප්‍රේ්මදාසයන් අතින් සංස්කරණය වූ ළමා පුවත්පත්ය. ඔහු භාෂා පරිවර්තකයකු ලෙස ලංකා ගමනා ගමන මණ්ඩලයෙහි සේවය කළේය. 1986 ඔක්තෝබර් 24 වැනිදා ඔහු මෙලොවින් සමු ගත්තේ අම්මට සිරි ලංකාවේ තවත් කිසිම ඇගයීමක් නැති කලාකරුවෙකු ලෙසය .... 
(විස්තර උපුටා ගත්තේ සරසවිය පුවත් පතින් )

Monday, December 19, 2016

"නුඹේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින්"


මම එබඳු වෙනත් මිනිසකු ගැන නොදනිමි. මා දන්නා මහලු ම ඉලන්දාරියා ඔහු ය. නූගත් ම උගතා ඔහු ය. වඩාත් ම ගැමි නාගරිකයා ද ඔහු ය. එසේ ම වාණිජකරණයට හසු නොවී, ගමට වී පාඩුවේ, උපේක්ෂා සහගතව සිටින, අලෙවි වීමට වඩාත්ම විභවයක් සහිත නිර්මාණකරුවා ද ඔහු වන්නේ ය. මා එසේ පවසන්නේ ඇයි?

ගල්ගමුවේ මොරගොල්ලාගම මඩදොඹේ විදුහලෙන් හේ හෝඩිය පමණක් සමත් විය. හෝඩිය පමණක් සමත්ව සාහිත්‍ය අනුමණ්ඩලය නියෝජනය කළ එක ම ලාංකිකයා පොඩිරත්න අඟමලේ විය යුතු ය. එමෙන් ම, ඔහු සිංහල භාෂාව ඉතා ම ව්‍යක්තව හසුරවන අතළොස්සක් දෙනාගෙන් කෙනෙකි. ඔහු ලියා ඇති කාව්‍ය, ගීත හා කෙටි කතා කියවන ඔබට, සමහර විට ගැටපද විවරණ අවශ්‍යයැයි හැඟෙන්නේ එහෙයිනි . ඔහු දමිළ බස ද ඉතා ව්‍යක්තව හසුරුවයි. දමිළ බසින් අලංකාරව අකුරු අමුණයි. ඔහුගේ ඉංගිරිසිය ද ජාම බේරා ගැනීමට ප්‍රමාණවත් ය. හෝඩියට පමණක් අධ්‍යාපනය ලැබූ මේ නූගතා තරම් උගතෙක් නැතැයි මා පැවසුවේ එහෙයිනි. ජාතික රූපවාහිනිය හා ජාතික පුවත්පත් නිබඳවම ඔහුගේ සේවය බලාපොරොත්තු වුව ද, වාණිජකරණය ඔහුට රුචි නොවේ.

හැටපහ පැන්නද ඔහුගේ මිතුරන් බොහෝ දෙනෙක් තරුණයෝ ය. ඔහු තරම් ප්‍රශ්නයක් දෙස නවීන ලෙස බැලීමට හා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සමත් තරුණයන් කීදෙනෙක් අප අතර සිටීදැයි ප්‍රශ්නයකි. චින්තනයෙන් පමණක් නොවේ. ගතින් ද ඔහු තරුණයෙකි. හේ ප්‍රාංශු දේහධාරී ය. නිරෝගී ය. මුහුණ සිනාවෙන් ප්‍රභාමත් ය. ඔහු හඳුනාගැනීමට නම් ඔබ භාෂණයේදී මනාව ඉවසිලිමත් විය යුතුයි. ඔහු පවසන දෙයට සූක්ෂ්මව සවන් දිය යුතු ය. ඔහු දිගහරින ජීවන අත්දැකීම් පමණක් නොව, ඒවා පිළිබඳ ඔහුගේ දැක්ම ද ග්‍රහණය කරගත යුතු ය. කතාබහට ඔහු ගමන් සඟයකු වැනි ය.

මේ ආඛ්‍යානය තරමක අතිශෝක්තීන්ගෙන් ගහන බව ඔබ දැනටමත් තීරණය කර සිටිනවා විය හැකි ය. එහෙත්, මේ යථාර්ථය බව මම නැවතත් ඔබට පවසමි. හොඳයි ,ඔහුගේ මේ කථනයට සවන් දෙන්න.

Wednesday, November 16, 2016

" මතකේ තිබේ ද ඒ යුගේ "

1932 සැප්තැම්බර් 13 වෙනිදා ඇල්පිටියේදී උපත ලද  "මරියාකොලන්දේ ක්‍රිස්ටි රොක්සාමි" වැඩි දෙනා අතර ප්‍රසිද්ධ වූයේ “රොක් අයියා”, “රොක්සාමි මාස්ටර්” යන ආදරණීය නම් වලිනි. සිය මවගේ සහ පියාගේ  ආභාෂය නිසාත් සංගරලිංගම් නම් සංගීත ගුරුවරයා නිසාත්  ඔහුට සංගීතය පිළිබඳව ඇල්මක් ආශාවක් ඇති වූ බවත් පැවසේ. සුසිල් ප්‍රේමරත්නගේ ගීතයක් සඳහා ගිටාර් වාදනය කිරීමට ගුවන් විදුලියට ගිය රොක්සාමිට එතැන් සිට දිගින් දිගටම ගුවන් විදුලියේ දොර විවෘත වූ අතර රොක්සාමිගේ සොහොයුරු ඇන්තනි සාමි ද ඒ වන විට වාදනයේ නිපුණයෙකු වූ හේතුවෙන් මේ දෙදෙනාටම ආර්.ඒ. චන්ද්‍රසේන සංගීතඥයාගේ අනුග්‍රහය නොමඳව ලැබිණි.

ආර්. මුත්තුසාමිගේ  සංගීත අධ්‍යක්ෂණය යටතේ ‘බණ්ඩා නගරයට පැමිණීම’ චිත්‍රපටයේ වයලීනය වාදනය කළ රොක්සාමිට සංගීත අංශයෙන් ඉදිරියට යාමට අතහිත දුන් අය අතර තබ්ලා වාදක එම්. ආරියදාස, ජේ.ඒ. සත්‍යදාස, ටී.එෆ්. ලතීෆ් ද වෙයි.
1962 වසරේ ශාන්ති කුමාර් සෙනෙවිරත්න ගේ “සංසාරේ” චිත්‍රපටයෙන් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ බි.එස්. පෙරේරා ගේ හදිසි වියෝව නිසාය. එතැන් සිට මිය යන තෙක් චිත්‍රපට 55ක ඔහු සංගීත අධ්‍යක්ෂණය කර ඇත.

Monday, October 24, 2016

"ඔබට බැඳි ප්‍රේමෙ වැඩිවීලා"

වැලිතොට අගම්පොඩි සාරොන් ද සොයිසා සහ පානදුර පින්වත්තේ ගී කියනගේ ජෙයිසනෝනා ද සිල්වාට දාව අගම්පොඩි ජුලියට් ද සොයියා 1915 අප්‍රේල් මස 22 වැනි දින බළපිටි‍ය, වැලිතර නිවසේදී උපත ලැබුවේ දරුවන් 8 දෙනකුගෙන් යුත් පවුලක කුලුඳුල් නිවුන් දරු උපතේ වැඩිමහල් දරුවා ලෙසය.මූලික අධ්‍යාපනය ලද්දේ වැලිතර ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයෙනි.ඒ. ජේ. ද සොයිසා හෙවත් "සොයිසා මාස්ටර්" යනු කවුරුන්දැයි වත්මන් පරපුර නොදන්නවා ඇති නමුත් ඔහු අතින් ලියැවි රස ගැන්වුණු මධුර ගී එදා මෙන් අද ද එකසේ ජනප්‍රියත්වයේ පවතී.

පාසල් අවදියේ පටන් කලා රසිකයෙකු වූ ඔහු ස්වකීය කලා ජීවිතය අරඹා ඇත්තේ වේදිකා නාට්‍ය ශිල්පියකු ලෙසිනි. එවක ඔහුගේ සමකාලීනයන් වූ හර්බට් එම්. සෙනෙවිරත්න, උපාලි වනසිංහ යන අය සමඟ ඔහු ‘සිදුහත්’, ‘සිරිසඟබෝ’ වැනි වේදිකා නාට්‍යවලට දායක වී ඇත.

සොයිසා සිංහල සිනමාවට සම්බන්ධ වන්නේ ගීත රචනා ක්ෂේත්‍රයෙනි. ඒ, බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ ‘අයිරාංගනී’ චිත්‍රපටයෙනි. ඉනික්බිතිව ජයමාන්නගේම ‘මතභේදය’, ‘දෛව විපාකය’, ‘වනලිය’, ‘හදිසි විවාහය’, ‘ජීවිත පූජාව’, ‘මංගලිකා’ වැනි සිනමාපටවලට ද ඔහු ගීත රචනා කළේය. ඔහු ලිවූ මුල්ම ගීතය වූයේ මොහිදින් බෙග් සමඟ රුක්මණී දේවිය ගායනා කළ 'තරු පායන ආකාසේ ගීතයයි'(අයිරාංගනී 1954),

*රාණී එන්කෝ නැගී මපෙම්' - රුක්මණී දේවි, මොහිදින් බෙග්
   (අයිරාංගනී 1954),
*පෙම් සිහින ලෝකේ මායා' - රක්මණී දේවි, මොහිදින් බෙග්
   (මතභේදය 1955),
*පෙම් මල් මාලා නෙළා ගොතාලා'-රුක්මණී දේවි,මොහිදින් බෙග්
   (මතභේදය 1955),
*ආදර පාන සුදා' - 'දෙවියන් කෝ සමන් දෙවියන්' - රුක්මණී දේවි
   (මතභේදය 1955),
*මල් සරාට ප්‍රේම ලෝකෙ' - සුජාතා පෙරේරා
   (සත පනහ 1965),
*සුරතලියේ සුකුමලියේ'-මොහිදින් බෙග්, ෂර්ලි බ්ලයිත්
   (දෛව විපාකය 1956),
*සාගර හිමිය සොයා'-මොහිදින් බෙග්, මේබල් බ්ලයිත්
   (දෛව විපාකය 1956),
*සුදෝ සුදු රන්'- මොහිදින් බෙග්
   (දෛව විපාකය 1956) ,
*සරාගොයියා හරි මිනිහා'- මේබල් බ්ලයිත්
   (වනලිය 1958)

ආදී සුමධුර ගීත ඔහු ලියූ චිත්‍රපට ගීත අතරෙන් කිහිපයක් පමණි.ඔහු ලියූ ගීත 'ජීවිත පූජාව', 'මංගලිකා', 'රහස් දූපත', 'ඇතුල්වීම තහනම්', 'ප්‍රවේසම්වන්න', 'සල්ලි මල්ලි සල්ලි', 'සිහිනය', 'ලන්ඩන් හාමු' යන චිත්‍රපට සඳහා ඇතුළත් විය. එසේම දෙබස් රචකයකු ලෙස 'සිහිනය', 'වෙන ස්වර්ගයක් කුමටද', 'හෙට ප්‍රමාද වැඩියි', 'දරුවා කගේද', 'සත පනහ', 'ස්විප් ටිකට්', 'ඇතුල්වීම තහනම්', 'ලන්ඩන් හාමු' සහ 'දෙහදක දුක' යන චිත්‍රපට ප්‍රධාන වේ. 

Monday, September 26, 2016

"සමාජයේ කරදර හිරිහැර මැද මිහිර පතුලෙ ගිලුනා"

1930 ජූනි 16 දා කොළඹ දී උපත ලද සාලි මාස්ටර් දරුවන් හය දෙනෙකුගෙන් යුතු පවුලක පස් වැන්නාය.සාලිගේ පවුලේ කිසිවෙකු සංගීතයට සම්බන්ධ වී සිටියේ නැති වූවත් ඔහුගේ හිත සංගීතය සඳහා ඇදී ගියේ කුඩා කල ගවුස් මාස්ටර්ගේ සර්පිනා වාදනය දැකීමෙනි .ගවුස් මාස්ටර් අනුකරණය කරමින් පුරුදු පුහුණු වුන සාලි අවුරුදු 15දී පමණ වනවිට හොඳ සර්පිනා වාදකයෙකු වුයේය .1948 දී ඔහු වෘත්තීය සර්පිනා වාදකයෙකු බවට පත් වී ක්ෂේත්‍රයට පිවිසි අතර "සාලි මාස්ටර්" නමින්  එවකට ප්‍රභූ නිවෙස්වල පැවැති  බජව් ,පැදුරු සාජ්ජ වල සහ එළිමහන් ප්‍රසංගවල සර්පිනා වාදනය කිරීම  සිය රැකියාව කර ගත්තේය.

ජනප්‍රිය වාදකයෙකු බවට පත් වුවද සංගීතය හදාරා නොතිබූ බැවින් ඒ පිළිබඳව දැනුමක් ඔහු සතු නොවිනි. මේ අතර ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගැනීම සඳහා සාලිට මහඟු අවස්ථාවක් උදාවිය .ඉතිහාසයේ පළමූ වරට මූස්ලිම් සංගීත ශිල්පීන් සඳහා සංගීත පන්තියක් ඇරඹෙන්නේ 1960 දශකය ආරම්භයේය. ඒ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළේ එවකට ලංකා කලා මණ්ඩලයේ මූස්ලිම් කටයූතු භාරව සිටි එම්. බී. එම්. ගවූස් මහතාය.

 "රජයේ ලලිත කලායතනයේ චිත්‍ර අංශයේ ආචාර්යවරයකු වූ ගවූස් (සංගීතවේදියා නොවේ) මේ සංගීත පන්තිය මෙහෙයවීම සඳහා යොදවා ගත්තේ එම ආයතනයේ ම සංගීත අංශයේ ආචාර්යවරයකු වූ සංගීත විශාරද එස්. ද එස්. ජයසේකර මහතාය. (ගායිකා චම්පා කල්හාරිගේ පියා) යි. 1963 දෙසැම්බර් 21 වනදා සිට සතියේ දින තුනක් පස්වරු 5 සිට 8 දක්වා රජයේ සංගීත විද්‍යාලය තුළදී පන්ති පවත්වන ලදී. මොහොමඩ් සාලි, ජේ. ඇම්. ඇම්. සාදික්, හරූන් ලන්ත්‍රා, සූබයර් කරීම්, ඇම්. බී. හසන් අලියාර්, ඒ. එච්. ඒ. සහර්දීන්, මොහිදින් බෙග්, ඇම්. එල්. අයිදුරූස්, ඕ. ෂරීෆ්, ඇම්. සූබයිර් කරීම්, එස්. එම්. එම්. බූහාරි, ඒ. එම්. එම්. මොහිදීන්, එම්. අයි. එම්. අමීන්, ටී. එම්ි. තාජූදීන්, එන්. එම්. මහරුෆ් ආදී මූස්ලිම් සංගීත ශිල්පීහූ 40 දෙනෙක් පමණ ජයසේකර මහතාගෙන් සංගීතය උගත්හ. පූරා තෙවසරක් පමණ මේ පන්ති පැවැත්වූණූ අතර සෑම වර්ෂයක් අවසානයේම පරීක්ෂණයක් පවත්වන ලදී. මේ ශිෂ්‍ය කණ්ඩායම අතර මොහොමඩ් සාලි කැපී පෙනිණි."
(සූනිල් ආරියරත්න, ගාන්ධර්ව ආපදාන)