Wednesday, June 5, 2024

නිල් අහසත් රළු පොළවත් එක් වේවිද කවදාවත්


බන්දුලගේ රචනා කලාව හැම විටම බොහෝ නැවුම් පරිකල්පනයෙන් අපුර්වත්වයෙන් පිරි රමණීය භාෂා භාවිතයක්. කාව්‍යමය අලංකාරත්වයෙන් විවිත්‍ර වූ ගීත රචනා කර තිබෙනවා. ඔහුගේ වදන් ගබඩාව පිරිලා - ගීත රචකයකුට තිබිය යුතු ප්‍රබල රසිකත්වයක්, සංවේදිතාවක් ඉතා සියුම්ව ඉදිරිපත් කළ හැකි. පුදුමාකාර දක්ෂතාවක් තියනවා.

බන්දුල කියන්නෙ අපුරු පුද්ගලයෙක්. ඉතා සක්‍රියව, කාර්යක්ෂමව නිර්මාණ ක්ෂේත්‍රයේ නියැළී සිටින ගීත රචකයෙක්, ලේඛකයෙක්, මාධ්‍යවේදියෙක්. ඔහු තරම් නිර්මාණකරුවන් සමඟ සබඳතා පවත්වන, උදව් කරන කෙනෙක් මට හමු වී නැහැ. මම කියන්නේ සයිබීරියන් දුම්රියේ යනවනම් යායුත්තේ බන්දුල සමඟයි. ඔහු සමඟ කාලය ගෙවද්දී වෙහෙස දැනෙන්නේ නෑ.
කුලරත්න ආරියවංශ

--------------------------------------------------------------------------------------------------------

හිත මහ පුදුම තැනක් දිදුලන මහරු මිණක්
හසරැල් වතල වතක් විටෙකදි නොනිම් දුකක්
හිත මහ පුදුම තැනක් හිත මහ පුදුම තැනක්

නවතින්නැයි කී විට හිත නිනව් නැතිව දුවනවා
ඉක්මණ රිසි වූවිට හිත නැවතුණ තැන ඉන්නවා
ලද දේ ඉවත හෙළන නොලැබෙන දේම යදින
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරණවා
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරණවා

අනුන් ළඟම දැවටී හිත ඉතින් මවෙත රැඳෙනවා
අසරණවූ දා වෙන්වී මදෙස බලා ඉන්නවා
හිතකට හිමිදේ හැර අන් හැමදේම හිතන
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරණවා
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරණවා

ගායනය: සුනිල් එදිරිසිංහ
පද රචනය: බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය: එච්.එම්. ජයවර්ධන
---------------------------------------------------------------------------------------------------

රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කළ පවට

තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
මල් විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ

නුඹෙ කඳුළැලිද සයුරේ රළ නඟන්නේ
හද සුසුමන්ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ

ගායනය - සුනිල් එදිරිසිංහ
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
---------------------------------------------------------------------------------------------------
සත් මහලින් බැස එන්නම්
ඔබ මා පිළිගන්නවනම්
ආදරයේ පියගැටපෙල පාර කියාවී

මහ පොළොවට පිළිගන්නම්
සිටුසැප හැර එනවානම්
ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳ වේවී

සිරියහනේ පොකුරු පිචිච මල් තනිවේවී
දුකට කරුණු අහස අසාවී
පන් පැදුරේ අළුත් පැතුම් දළු ලියලාවී.
ඒ පැදුරෙන් අප නොවැටේවී

සත් මහලට පෑයු සඳ පැලටත් ඒවී
ඔබේ ලොවට එලිය වැටේවී
සඳ නාවත් මගේ පැලේ එළිය ගලාවී
ඔබට පුරා හඳ පරදීවී

ගායනය - නිරෝෂා විරාජිනී සහ කරුණාරත්න දිවුල්ගනේ
පද - බන්දුල නානායක්කාරවසම්
තනුව - මහින්ද බණ්ඩාර
---------------------------------------------------------------------------------------------------
සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඬින් ගෙන
පැදකුණු නොකළත් සිරියහනේ
පෙරුම්පුරා මා කුසට පැමිණි බිළිඳු
මට රජ පැටියෙක්

හංකිති කවමින් කුස තුළ සක්මන් කරනා
නුඹ දඟයකු වේ දැයි නිකමට මෙන් මට සිතෙනා
පැටියෝ….
නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත්
නුඹෙ හිස පළඳන්නේ
වෙනසක් නැති එක ආදරයයි
ආදරයයි ….

කුස තුළ දැරුවැයි මතු බුදුවන පැතුමන් නෑ
ලේ කිරිකර පෙවුවැයි උදම් අනන්නට රිසි නෑ
පැටියෝ….
නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත්
මා නුඹට පුදන්නේ -
සැබෑව දිදුළන ජීවිතයයි
ජීවිතයයි ….

ගායනය - නිරෝෂා විරාජිනී
පද - බන්දුල නානායක්කාරවසම්
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
---------------------------------------------------------------------------------------------------
දේදුන්නේ සත් පාට හංගලා
හිනැහෙන්නේ කොහි සිටද හැංගිලා ...//
පීදෙන්නේ සුවඳින්ම නෑවිලා
ඔබෙ නමට රොන් සදා
ඔබෙ උයනෙමයි

රෑ සඳේ සිනිඳු කිරණත් එපා
ලා ඉරේ අරුණු දහරත් එපා
ගී සරේ මිහිරි පිළිරැව් එපා
ජීවිතේ ඔබ ගෙනේ නම්
රෑ සඳේ සිනිඳු කිරණත් එපා
ලා ඉරේ අරුණු දහරත් එපා

මාරුතේ සුමුදු සිහිලත් එපා
හීනයේ අරුම දැහැනත් එපා
පාමිනේ කිකිණි රසු දැල් එපා
ආදරේ ඔබම වේ නම්
මාරුතේ සුමුදු සිහිලත් එපා
හීනයේ අරුම දැහැනත් එපා

ගායනය - නිරෝෂා විරාජිනී
පද - බන්දුල නානායක්කාරවසම්
තනුව - සුරේෂ් මාලියද්දේ
---------------------------------------------------------------------------------------------------
දැදුරු සිතක දෙසඳුන්
ගල්වන්නට ආ විහඟී
කඳුළු නැතත් ඇයගෙන්
ගිනිගත් මේ සිත විරහී ...

රත් පැහැ ගැන්වුණු සඳුගේ එළියත් හරි උණුසුම් 
නිර්මල සිතකින් ඔබ පුදනා පෙම මට නොතරම්
මට නොතරම්

දෙවැනිය වී ඔබ ගෙනෙන පහන් දල්වනු කෙලෙසින් 
දෙවැනි වරට දල්වන්නට සිළුවක් නැතිය ඉතින්
නැතිය ඉතින්


ගායනය: සුනිල් එදිරිසිංහ
පද රචනය: බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
---------------------------------------------------------------------------------------------------
මල් ගිනිගෙන පූජාසනයේ
හදවත ඇවිලෙයි මරු කතරේ
බිඳුන බඳුන දෝත දරා
දිවියම ඉන් ගිලිහෙද්දිත්
ඔබ තවමත් සිහින කොදෙව්වේ

නියං අහස කළුවර නෑ
පේළි වැස්ස අහළක නෑ
කර සුළඟින් විලිලන අහසේ
වලාකුළින් ඇයි ඔබ වැහි මලු අයැදින්නේ

ලතා ළපලු පැහැසර නෑ
මලිති ගීය සවනට නෑ
අවුල්ව ගිය මහද අසපුවේ
අඳුර නොදුටු සේ
ඇයි සෙනෙහස අයදින්නේ


ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
---------------------------------------------------------------------------------------------------
හංස ගීතය ගයා හමාරයි සුදු හංසිනී
හංස බඳ වට විදා දිලුණු
අත්තටු ගිනි ගනී

සඳේ කිරණ විල්ලුද ලූ මඟ දෙස ඈ නෙතු අයා
ඇගේ සිහින ඔබ දෝතින් ගෙන එන රෑ එළි කළා
හිමේ සිසල දුරු කළ ඉර පාමුල 
කඳුළක් තියා
ඔබේ රුවක් හෝ නොදැකම විලටත් නොකියා ගියා

ප්‍රමාද වූ පෙම්වතුනි ඉවුරු දෑලේ වැළපෙනා
ඔබේ හැඬුම් හඬ කඳු සසැලූවද ඈ නොඅසනා
දැවී සිඳී ගිය අත්තටු යුවලට නෙත් පෙති තියා
බලන් විලේ තනි කැකුළක් ඇහැරෙයි විවරණ පතා

ගායනය – ප්‍රදීපා ධර්මදාස
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - මර්වින් පෙරේරා
---------------------------------------------------------------------------------------------------
නොහිම් අහසක ඉමක් සොයනුව
සරණ විහඟක තටු රිදී
ගෙවා යන්නට තවත් සිය ගව්
වලාවෙන් විවරණ යදී ..

නොනිම් රළ මැද සිනාසෙන දුර
ඈත වෙරළක හසරැලි
පියාඹන්නට අනන්තය වෙත 
මඟට නෙතු දල්වා හිඳී

හෙටට හිමි මල් අද සිනාසේ
රේණු සසැලී රොන් ගලා ඒ

පිපෙන්නට හෝ මියෙන්නට මිස
අළුත් පොකුරක යළි පිපෙන්නට
මලක් කෙදිනකදෝ
නටුව අත හැර අතින් අත රැඳුනේ

ගායනය - ලක්ෂ්මන් විජේසේකර සහ නන්දා මාලිනී
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
---------------------------------------------------------------------------------------------------
මගේ කඳුළු වැල්
ඔබට සිනා රැල්
මගේ සුසුම් වැල්
ඔබට පවන් රැල් ...

ප්‍රේමය මල් සුවඳක් සේ
හමා ආ දිනේ
කෙළෙස සිතන්නද එය මං
මෙවන් චණ්ඩ මාරුතයක් සේ
හැඟුම් පියාපත් සිඳී කියා

ප්‍රේමය සඳ එළියක් සේ
ගලා ආ දිනේ
කෙළෙස සිතන්නද එය මං
මෙවන් රුදුරු ගිනි දැල්ලක් සේ
සිතුම් වලාවන් දවයි කියා

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
---------------------------------------------------------------------------------------------------
ගඟක් සේ ඔබ ගලා ඒ නම්
මුව දොරක් වී ඔබව හමුවන්නම්
මලක් සේ ඔබ පෙති සලයි නම්
පවන් රළ වී ඔබව සිප ගන්නම්

පලා පැහැයෙන් දිදුළ කඳුවලියේ
අතුළ පිණි මතුයේ
පලා පැහැයෙන් දිදුළ කඳුවලියේ
අතුළ පිණි මතුයේ
සඳක් සේ මා ඔබට දැල්වෙන්නම්
ඔබේ කඳුළැලි පෙමින් පිසලන්නම්

දෑස රවටන මිරිඟු දිය තලයේ
වැටෙන උණු කඳුළේ
දෑස රවටන මිරිඟු දිය තලයේ
වැටෙන උණු කඳුළේ
අරුත වී මා ඔබේ ළග ඉන්නම්
මිරිඟු දිය මැඩ කෙම්බිමක් වෙන්නම්


ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සහ කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව - එම්. ආර්. චූලසිංහ
---------------------------------------------------------------------------------------------------
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණි මං බඳිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි

ගඟේ වතුර නැ ඉහළට ගලා ගියේ
අසෙනි හඬින් නැ කඳු බිම් සසල වුනේ
ගඟ කවදා හෝ මුවදොර හමුවෙනවා
ලොව කැළඹුනු දා කඳු බිම් හැකිලෙනවා

‍අනාථ සයුරක වැහි දිය දෝත ඔබයි
අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි
ඔබ මට ළඟ බව ඉඳුරා මම දනිමි
ඔබ වට කහවනු පවුරට මහ දුරකි

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් සහ සුනිල් එදිරිසිංහ
පද රචනය - බන්දුල නානානයක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
---------------------------------------------------------------------------------------------------
පාන තියා බුදු සාධුට හිමිදිරියේ
හැමදා දෙන්නා
ගෙදරින් එනවා
ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනි කරලා
කෝච්චියේ විරිඳු කියන්නට එනවා
අපි කෝච්චියේ විරිඳු කියන්නට එනවා

ඉගෙන ගන්න ආස උනත් ඉස්කෝලේ පහු කරලා
එන්නේ අපි ඒ දිහාවවත් නොබලා
අම්මා රැක ගන්නේ අපි කවි කියලා

බිංගේ තුළ කළුවර වෙයි පුරුදු එළිය ළඟ එනවා
කොළඹට යන කාටත් තිසරණ පතලා
මේං වැන්ද ජය ලැබෙන්ට අත් බැඳලා

ඊළඟ නැවතුම ආවම බැහැල යනව නුවර බලා
ඇත්නම් සතයක් දමන්න පිං සළකා
අහිතක් නෑ කාසි නැතත් අපි යනවා

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සහ ලෙළුම් රත්නායක
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආනන්ද ගමගේ
---------------------------------------------------------------------------------------------------
අබ මිටක් සෙව්වාය පෙර කල කිසාගෝතමියක්
දෙදරු හා හිමි නැතිව වැළපුනි පටාචාරාවක්
කවුරුදැයි මා ඔවුන් අතරෙහි නොම හැඟේය මටත්
කියාදෙනු මැන හිමියණේ මට නිසරු දිවියෙ අරුත්

සුජාතා හා විශාඛා ඈ නොයෙක කුලවමියන්
අනේ ඔබ ළඟ වැටී පෙර ලද පරම සුවය අසම්
එවන් මා හද අපිස් දිවියෙහි නොමඳ අඳුර දකිම්
මලක් කොට සිත ඉරක් සේ දිසි ඔබේ නමට පුදම්

රුවන් මාලිග කසුන් අභරණ ඇතත් මේ දිවියේ
රැඳී ඇති සැප අහෝ කිව මැන මගේ බුදු සමිඳේ
ඔබේ බුදු බණ මහී තලයේ ඇසෙන පෝ දිනයේ
ඇසේ කඳුළක් තබා යන්නෙමි සසර පිදුම ලෙසේ

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
---------------------------------------------------------------------------------------------------
පරසතු කුසුමක් මා තුරුළට ආවා
ලෝකය මොහොතක් නතර වුණා
දියණි දෙනෙත් සැලුනා
අප යළිදු උපන්නා
ඒ දියණි නිසා

උයන් පුරා මං සුවඳ ඉසිනවා
රුවන් වලාවන් යහන සදනවා
ඇසින් කඳුළු වී සතුට ගලනවා
සුරන් සමඟ දූ කුමරි නිදනවා

සවි වී සියළු යස ඉසුරු කිරුළු ලා
නොවිඳි මහිම දියණිය ගෙන එනවා
ලොවම එරෙහි වෙද ඒ දුක පිසදා
දියණි යළිදු අපගේ ලොව වෙනවා

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සහ ආචාර්ය රෝහණ වීරසිංහ
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
---------------------------------------------------------------------------------------------------
නිල් අහසත් රළු පොළවත් 
එක් වේවිද කවදාවත්
පන් පැදුරත් සත් මහළත් 
මුහු වේවිද කවදාවත්
මුහු වේවිද කවදාවත්

උදාගිරේ තනි තරුවයි ඔබ මට
වැළපෙන බිම් මල මාදෝ
කහවනු පවුරින් වටවුණු සිරගේ
පතනා කෙම් බිම වේදෝ
පතනා කෙම් බිම වේදෝ

ක්සිතිජ ඉරක් වී නෙතු රවටනු ඇයි
නැති ලෙස සිතක් කයක්
අහසින් පොළවට බැස ආවොත් ඔබ
නෑ නොව හිතට දුකක්
නෑ නොව හිතට දුකක්

ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ගුණදාස කපුගේ
---------------------------------------------------------------------------------------------------


ප.ලි 
කාලේකට කලින් ලියලා දාන්න හදාපු එකක් ...ලියපුවා මකලා නිකමට මෙහෙම පොස්ට් කරන්න හිතුනා බ්ලොග් එක තියෙනවාද බලන්න...සමා අවසර 

22 comments:

  1. බන්දුල ගැන කුලරත්න ආරියවංශගේ අර්ථකතනය හරියටම හරි. ඔහුගේ කලා හැකියාවට, සිත නිමන කටහඞට මම වශී වුනේ "රෑ ඉරපාන" අහලා. අන්තිමට රේටිංස් අඩුයි කියලා "රෑ ඉරපාන" නවත්තන කාලෙ ආවාම, ඔහු ඒ ගැන කතා කල පසුතැවීම මටත් දැණුනා. හැමදෙයක්ම වාණිජකරනය වූ මේ සමාජෙ, හොඳ නිර්මාණ වල මිල නියම කරන්නෙ වෙළෙන්ඳො වීම අවාසනාවක්.

    ReplyDelete
    Replies
    1. බස්සෝ කාලෙකට කලින් අපි බ්ලොග් ලියද්දී මාතලන් දාපු කොමෙන්ට් එකක් මතක් උනා රෑ ඉරපාන ගැන .....

      //මචං ඉන්දික මම් ගහලා ඉන්නේ.. මම හිතන්නේ ගහන වෙලාවේ කිය සීන් තමයි නිවැරදිම.. මාතලන් කියන්නේ චාටර් පොරක්.. ඒත් ඒ චාටර් පොර රෑ ඉර පානට මාර විදියට ලව් කරා.. ඒක හැම තැනම කියන්න ඕනත් නෑ. බන්දුල නානාට මම බොක්කෙන්ම ලව්.. බන්දුල අපිව මිනිස්සු ටච් නොකරපු තැනකට ගෙනිච්චා.. මම සන්නාටත් මාඅ ආදරෙයි.. ඒත් සන්නට බන්දුල එක්ක හැරෙන්නත් බෑ.. ඒ ගැන ඕන තැනක විවාදෙකට මාතලන් රෙඩි.. බන්දුල උඹ ආයෙ වරෙන්.. අපි නිගඬයි.. ඒත් අපි උඹට ආදරෙයි.. උඹ අපිට ගොඩක් දේ කියලා දුන්නා.. උඹ අපිව ඇන්දුවා.. ඔව් උඹ අපිව සින්දු කියන්න මොනවද කියලා, කියලා දුන්නා.. උඹ ඔච්චර කතා කරන්න ඕන නෑ.. මම උඹට ඇත්තම කියන්නම්.. මම ඔක්කෝම ඇහුවා.... ඒත් මගේ බොක්කටම වැදුන තැනකින් මම නවතින්නම්..

      මගේ විශ්ලේෂනය ඒ තරම් සහාසිකද මන්දා.. කාට හරි මතක නම් කියපන්.. එච්චරයි.. එපමණයි..

      Delete
  2. "රෑ වැඩ මුරය" රටට විදේශ විණිමය ගේන "නූතන සන්නාලියන්ගේ" දුක්බර කතාව ලස්සනට කියාපානවා. ඒක මටත් පෞද්ගලික අත්දැකීමක් වෙන්නේ, මමත් නිශාචර පක්සියෙක් නිසා.

    රටේ වැඩි දෙනෙකුට ඔවුන් ලාභ "ගාමන්ට් කෑලි" වුන අතර , ඇතැමුන් ඔවුන්ගේ අසරණකම, හුදකලාව තාවකාලික සම්බන්ධතා සඳහා අවභාවිතා කලා. සෙසු සමාජය මේ
    අසරණියන් දෙස බැලුවෙ වපර ඇසින්.

    ReplyDelete
    Replies
    1. දෑස යොමාගෙන පහන් කණුව යට
      බලා හිඳින විට දනෝ කියති මට
      මා ගතවට දැවෙනා රුදු ගින්නට
      ලොව හැම දන හැමදා බිලිවන වග
      එනමුදු මෙතුවක් පහන් කණුව යට
      දුබල එළිය යට බලා හිඳින මට
      එගිනි අවුළුවා ලන මිනිසුන් මිස
      එගිනි නිවන කිසිවකු හමුවී නැත

      (මොනිකා රුවන්පතිරණ

      Delete
  3. //කාලේකට කලින් ලියලා දාන්න හදාපු එකක් ...ලියපුවා මකලා නිකමට මෙහෙම පොස්ට් කරන්න හිතුනා බ්ලොග් එක තියෙනවාද බලන්න...සමා අවසර//

    හෙහ්, හෙහ් බ්ලොග් එක තාම තියෙන එක ගැන සතුටුයි. මේ අපූරු කලා කාරයා ගැන ඇගයීමක් කල එක ගැන ස්තූතියි.👌🙏💐🪻🌻

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. බොහොම ස්තුතියි මිත්රයා

      Delete
  4. මිහිරි ගීත එකතුවක්!

    ReplyDelete
    Replies
    1. Litseeker මේ බොහොම කුඩා ප්‍රමාණයක් මම හිතන්නේ

      Delete
  5. දීපිකා ප්‍රියදර්ශනී ගේ සින්දු කිහිපයක් ඇරෙන්න අනික්වා අහල නැහැ

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් අජිත් අයියා බබා වෙන්න හදනවා ....ජයවේවා

      Delete
    2. නෑ ඉතින් ප්‍රශ්නේ මම අහන්නේ හැම වෙලේම එකම සින්දු සෙට් එකක්. ඒකෙන් අයින් වෙන්න ඕනේ

      Delete
  6. මේ ගී ටික බැලුවහම හිතුනෙ ඔහුගෙ බොහෝ ගීපද වලට සුමියුරැ තනු එකතු කරල තියෙන්නෙ රෝහන වීරසිංහ බවයි.

    මට ඔහු ලියපු ගී අතරින් පළවෙනියටම මතකයට එන්නෙ... 'කටු අකුලේ මල් ඇහැරේ' ගීය. එයත් මේ පෝස්ට් එකට එකතු කරන්න පුලුවන් නම් තවත් අගෙයි !

    ReplyDelete
    Replies
    1. නමියෝ අඹ යාලුවෝ ගීත ඔක්කොම එතුමාගේ ...මම අළුතුන් ගීත එකතු කරන්න කම්මලි හිතුනා බන් ...

      Delete
  7. අගෙයි අගෙයි හිටං.

    ReplyDelete
    Replies
    1. ලේකම් තුමා තැන්ක්ස් හිටං

      Delete
  8. බන්දු උල්පතකි ගී පදවැල් උනන
    ඔහු ලියු ගී රැසකි - එකිනෙක පරදවන
    එක ලිපියකින් කිව හැකිදෝ එතතු ගැන
    තවෙකක් ඉදිරි දිනෙකදි හෝ ලියනු මැන!

    ReplyDelete
    Replies
    1. එක ලිපියකින් කිව හැකිදෝ එතතු ගැන

      Delete
  9. හම්මට...! වෙල්කම් බෑක් ය කිව්ව...

    ReplyDelete
  10. ඔහු සුවිශිෂ්ට පද රචකයෙක්. රෑ ඉරපානෙන් පසු ඉඳුවර පොකුණ පිපුම සතුටක්!

    ReplyDelete
    Replies
    1. ඉඳුවර පොකුණ අහන්න බැරි වුනා

      Delete