Thursday, July 7, 2016

"මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති"



"සිරියාමෙ සාරා" ගීතය ගැයූ දා සිට සරුසාර කීර්තිය ඔහුගේ ජීවිතය ලුහුබැන්දේය. ප්‍රසාදය ඔහුගේ ජීවිත පිල්කඩෙහි ලැගුම් ගත්තේය. ජනානන්දය ඔහුගේ ජීවිත දොරටුව අසල නේවාසික විය. එහෙත් ජෝති ඒ සියල්ලට උඩින් පැන ඔහුට ඔහුට ආවේණික සරල රේඛාවෙන් හුස්‌ම ගත්තේය. නිහතමානී නිමල සුවඳ පෙනහළු තුළ පිරි තිබිණි. කීර්තියේ විජිතයෙන් බිමට බැස චාම් මිනිසා වෙසෙන බිම් මහලට පැමිණ පැදුරක්‌ එළා එතැන වාඩි විය. පොදු මිනිසා හුස්‌මගත් නවාතැන් පොළ ඔහුගේ ජය භූමිය විය.

කිසිම ගාන්ධර්වයකුගෙන් ඔහු සිප්සත ඉගෙන නොගත්තේය. සංගීතායතනයක හෝඩිය නොකීවේය. එහෙත් ඕනෑම ස්‌වර රචනයක නාද රිද්මය ඉවෙන් දැන සිටියේය. මිනිසා උපතින් ගෙනෙන බොහෝ දේට වැඩි යමක්‌ ජෝති මව්කුසින් රැගෙන ආවේය. පොදු මිනිසාගේ හදගැස්‌ම හැඳිනීම මව් කුසේදීම ඔහු ලැබූ දායාදයක්‌ විය. ඔහු ගීතයේ රිද්මය මව්කුසේදී උගත්තේය.

ඔහු උපන් නැකැත් තිථිය මේ රටේ මහා සම්ප්‍රදායන් වෙනස්‌ කළේය. මහ කඳු සිඛර පෙරැළෙන්නා සේ සංගීත සම්මතයන් සමතලා විණි. ජෝති ගීයක්‌ ගායනා කරන විට මිහිකතද සෙළැවිණි. එතරම් මියුරු රිද්මයක්‌ද චලනයක්‌ද ඔහුගේ කටහඬෙහි විය. ඔහුගේ මුව විටින් ගලා ආ රස රැව් පොදු මිනිසාගේ ක්‍ෂද්‍ර ගීන්නට ද අහරක්‌ විය. එය ඔවුන්ගේ ජීවන රිද්මයේ සත්‍ය සලකුණ විය. ජෝතිගේ හඬින් තමන්ගේ ආත්මයේ නිනාදය නිදහස්‌ ගුවන් කුස තටුසලනු  ඔවුහු අසා සිටියහ. රිදී තිරය ලෙස බලා සිටි සාමාන්‍ය මිනිසාගේ නෙතෙහි නළුවා නොරැදුනත් සවණෙහි ජෝති අමරණීය විය.

- ධර්මසිරි ගමගේ
---------------------------------------------------------------------------------------------------

”ජෝතිපාලගේ නමට මුලින් එච්.ආර්. අකුරු දෙක එකතු වෙලා තියෙන්නේ උපතින්ම ලද භාග්‍යයකට යි. ජෝති මගේ හොඳ මිත්‍රයෙක්ව සිටියා. අපි එකට එකම වාහනේ එක අසුනේ ඉඳගෙන ආ ගිය ගමන් අපමණයි. අපි කරපු කතා බහ පිළිබඳව ලියුවොතින් මුළු පත්තරයම පිරෙන්න ලියන්න පුළුවන්.

මේ මුළු රටේම ඉන්න මිනිස්සුන්ගෙන් භාගයකට වැඩි දෙනකු ජෝතිපාල කියන්නේ කවුද කියලා දැනගෙන උන්නා. ඒ වගේම ඒ හැමදෙනාම දැනගෙන උන්නා, ජෝතිපාල කියන්නේ හිත හොඳ රත්තරං මිනිහෙක් කියලත්.

ඒ හින්දා තමයි මම එච්.ආර්. කියන්නේ ‘හදවත රත්තරං’ කියලා ජෝතිව හැඳින්වූවේ. ඇත්තටම කුහකකම, ඊර්ෂ්‍යාව, මසුරුකම වගේ නොමිනිස් ගතිගුණ නොතිබුණු පිරිසුදු අවංක නිහතමානී හදවතක් ජෝතිට තිබුණා. එහෙම මිනිසාගේ හදවත රත්තරං. රත්තරං හැමදාම රත්තරං මිස වෙන ලෝහයකට හැරෙන්නේ නැහැ. ඒ වගෙයි, ජෝතිපාලත් හැමදාම රත්තරං.”

”සමහරු හිතුවේ ජෝති මැරුණාට පසු ඔහු අවසාන වෙයි කියලයි. ජෝති මහ පොළොවේ පය ගහලා උන්නු රත්තරං මිනිසෙක්. ඔහු ගායනා කළ ඔහුගේ ගීත වලට ඔහුගේ හඬින් සාධාරණය ඉටු කර පොදු ජනතාවට කලාකරුවෙක් ලෙස සේවයක් කළ සැබෑ කලාකරුවෙක්. රත්තරං උපදින්නේ මහ පොළොවෙන්. එසේම හැමදාම මහ පොළොවේ රත්තරං තිබෙනවා. ජෝති ගායනා කළ ගීතත් මේ මහ පොළොවේ හැමදාම පවතිනවා. ඒ නිසාත් ජෝතිපාල හැමදාම රත්තරං ජෝතිපාලම තමයි.”

 -නිහාල් නෙල්සන්
---------------------------------------------------------------------------------------------------

එච්. ආර්. ජෝතිපාල නැතුව ගියාම හුඟ දෙනකුට පාඩු වුණා. මං හිතනව වැඩියෙන්ම පාඩු වුණේ අර දුප්පත් අම්මටයි. යාළුවො අඬන්න ඇති. මිත්‍රයො අඬන්න ඇති. හිතවත්තු හිතවතියො. ඒ සියලු ඇස්‌වලට වඩා කඳුළු ගලන්න ඇත්තේ ඒ දුප්පත් අම්මගෙන්. ඒ අම්ම තරම් අඬන්න නැතුව ඇති කවුරුවත්. 

එච්. ආර්. ජෝතිපාල නැතිවීමෙන් යාළුවෙකුට, හිත මිත්‍රයෙකුට, දරුවො පවුලෙ උදවියට වගේම මහා පාඩුවක්‌ වෙච්ච තවත් ලංකාවෙ මිනිහෙක්‌ ඉන්නව නම් ඒ විජය කුමාරතුංගයි. මට තරම් පාඩුවෙලා නෑ කාටවත්. අවුරුදු විස්‌සක්‌ නළුවෙක්‌ හැටියට ජීවත් වෙච්ච මට අවුරුදු විස්‌සක්‌ මගේ හඬින්ම මං වගේම මටම ගැලපෙන විදිහට අවුරුදු විස්‌සක්‌ තිස්‌සෙ මට සිංදු කිව්ව එච්. ආර්. ජෝතිපාල මැරුණාම ඒ හඬ මට ලබාදෙන්න වෙනකෙකුට තියා මටවත් පුළුවන් කමක්‌ නෑ. ඒකයි මට තියෙන පාඩුව. ඒ අපි කාටත් තියෙන පාඩුවක්‌. ජෝතිපාල අපි අතරින් වෙන් වුණා. රසික රසිකාවියන්ට පාඩුයි. හිතවතුන්ට දෙමවුපියන්ට ඒ සියලු දෙනාටම පාඩුයි. නමුත් ඒ පාඩුවෙන් අඬල වැඩක්‌ නෑ. වැළපිල වැඩක්‌ නෑ. ජෝතිපාල අපෙන් අයින්වෙලා ඉවරයි. මේ ආත්මෙ අපිට මුණගැහෙන්නෙ නෑ. පිළිරූ හැදුවත්, උත්සව පැවැත්තුවත් කිසිදාක එච්. ආර්. ජෝතිපාලයි අපියි මෙලොව මුණ ගැහෙන්නෙ නෑ. ඒක අපිට ස්‌ථිරයි. 

අපිට තව ජෝතිපාල කෙනෙක්‌ අවශ්‍ය නෑ. එක ජෝතිපාලයි හිටියෙ. මීට පස්‌සෙ අවශ්‍යත් ඒ ජෝතිපල විතරයි. ජෝතිපාලල දෙන්නෙක්‌ අපට අවශ්‍ය නෑ. බිහිවෙන්නෙත් නෑ. ජෝතිපාල, තව ජෝතිපාලල බිහි නූනට මේ රට තියෙන තුරු එච්. ආර්. ජෝතිපාල මේ රටේ සදාකල්හිම 

රැඳෙනව කියන එක අපිට විශ්වාසයි. එමනිසා අපි ප්‍රාර්ථනා කරමු, මේ උපන් බිමේ, ලංකාවෙ තාම ඉපදිලා නැති දරුවන්ට මේ ප්‍රතිභාපූර්ණ කලාකාරයගෙ, ගායකයගෙ හඬින් අනාගතයේ දී රසාස්‌වාදයක්‌ විඳින්න එදා නොහිටිය යාළුවො, මිත්‍රයො, හිතවත්තු, පත්තරවල උදවිය. ලේඛකයො, කලාකාරයො සියලු දෙනා එක්‌කහු වෙලා ජෝතිපාලව සදාකල්හි අපි ජීවත් කරවමු කියන යෝජනාවෙන් ජෝතිපාල සදාකල්හිම ජීවත් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. 

- විජය කුමාරතුංග
---------------------------------------------------------------------------------------------------

කොළඹ කැටවලමුල්‍ලේ පදිංචිව සිටි මාතර එච්. ආර්. ජේම්ස් හා ඇහැලියගොඩ  එම්. කේ. ‍පොඩිනෝනා පෙරේරාගේ වැඩිමහල් පුතණුවන් ලෙස 1936 පෙබරවාරි 12 වැනි දින උපන් හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල හෙවත් එච්. ආර්. ජෝතිපාල කුඩා  සන්දියේ පටන්ම ගීත ගායනයට  දැක්වූයේ  පුදුම ලෙන්ගතුකමකි. කොටින්ම කියනවා නම් ඔහු සිංදු පිස්සෙකි. ආධුනික ගායකයකු හැටියට සංගීත පාටිවල ගීත ගැයුවේ තම ගමන් මගේ කඩඉමක් වශයෙනි.මේ අතරතුරු ජෝතිපාලගේ මුල්ම රැකියාව වූයේ ආමර් වීදියේ සුලෙයිමාන් පුද්ගලික රෝහ‍ලේ බෙහෙත් බෝතල් ශුද්ධ කිරීමයි. ටික කාලයක් සතුටින් කළ එම රැකියාවට තිත තැබුවේ සේවකයකු සමග ඇති කරගත් ආරවුලක් හේතුවෙන්ය. එතැනින් නික්මුණු ඔහු කොළඹ ඇම්. ඩී. ගුණසේන සහ සමාගමේ  පියන් වැඩේ කළේය. ජෝතිපාල ආධුනිකයකු ලෙසින් ගීතයක් සඳහා පළමු ස්ථානය දිනා ගත්තේ 1952 දීය. රැජින ලොසින්ජර් සමාගම මගින් මෙහෙයවනු ලැබූ එම ගුවන් විදුලි වැඩසටහනට සුක්රියා හින්දි ගීතය ගායනය  කොට තෑගි වශයෙන් ලොසින්ජර් පාර්සලයක් ලබා ගත්තේය. ආධුනික පැයෙන් ජය ගත් ඔහු ජයග්‍රාහී  පෙළපාලිය නම් වැඩ සටහනට  සහභාගි විය. ඉන්ද පළමුවැනියා වු ඔහු පාකර් 51 අගනා පෑනක් දිනා ගැනීමට සමත් වූයේ සහජ  හැකියාවන් ඔප් නංවමිනි.
ජෝතිපාල සරල ගීතයකට සහය ගායනයෙන් දායක වන්නේ 1952 දීය. ඒ “බව්ජු බව්රා” හින්දි චිත්‍රපටයේ ගී තනුවකට අනුව වසන්තා සන්දනායක ගැයූ “මහවැලි නදියේ ගඟ අසබඩ සැදියේ” ගීතයටය. සිංහල සිනමාවේ ජනප්‍රිය පසුබිම් ගායනයට 1956 දී සිරිල් පී. අබේරත්නයන්ගේ “සුරතලී” චිත්‍රපටය සඳහා “සිරියා මේ සාරා” ගීතය ගායනා කරමින් රිදී තිරයට එක් විය.ප්‍රථම  ස්වතන්ත්‍ර චිත්‍රපට ගීතය ලෙසින් “වාසනාව පෑදේවී” ගීතය  “දස්කම” (1958) චිත්‍රපටය සඳහා ඇන්ජලීන් ද ලැනරෝල් (ගුණතිලක) ගායනා කළේය .ගී පද රචකයා කරුණාරත්න අබේසේකර වූ අතර සංගීත අධ්‍යක්ෂවරයා එඩ්වින් සමරදිවාකරය.

ඔහු “කස්තුරි සුවඳ”, “තුෂාරා”, “ස්වීප් ටිකට්, “හිත හොඳ මිනිහෙක්”, “කවුද රජා”, “හොඳට හොඳයි”, “වාසනා”, “සංගීතා” සහ වෙනත් ජනප්‍රීය චිත්‍රපටද ඇතුලත්ව චිත්‍රපට සිය ගණනක් සඳහා ගීත ගායනා කළේය. මෙම සම්මානලාභී ගායකයා “ඇතුල්වීම තහනම්”, “සුලලිත සොබනි”, “සුජීවා, “සූකිරි කෙල්ල”, “අභිරහස”, “බෝනික්කා”, “ශාන්ති” සහ ඔහුගේම නිෂ්පාදනයන් වන “සුමිතුරෝ” සහ “ඔබයි මමයි” යන චිත්‍රපට සඳහා අමතක නොවන චරිත නිරූපණයක් ද  කලේය.ගීත හයදහසකට වැඩි ප්‍රමාණයක් ගායනා කර ඇති මේ අසාහය ගායකයා 1987 ජුලි 7වන දින අපෙන්  සමුගෙන ගියද ඔහුගේ මතකය තවත් දශක ගණනාවක් ඉදිරියට යනු ඇත  .......
---------------------------------------------------------------------------------------------------

සංගීත මඬලේ 
ප්‍රතිරාව නැං වූ
නිර්මාණ ගී 
ශිල්පියානෝ
සීගිරි ලෙනේහි 
රූ අප්සරාවන්
ඇන්දා වූ ඒ 
සිත්තරානෝ
කවි ගී ලියුවෝ 
පිළි රූ නෙළුවෝ
වෙන් වී ගියත් ලොව 
මුවාවෙන්
ආකාස තලයේ ඔවුහු සරන්නෝ
දෙවි දේවතාවන් විලාසෙන්
ප්‍රාකාර හෝරාව සිහසුන් පවා ලෝ 
වැනසේවි නටඹුන් සොබා දී
ගංගා තලා සාගාරේ වාලුකා වී වැලපේවී 
ලෝකාන්තයේ හී
ඔබගේ කලාවයි යුගයෙන් යුගේ හී මේ 
කල්පයේ ශේෂ වන්නේ
අප හෘර්ද කැටපත් පවුරේ සදාකල් ප්‍රතිරූප ඔබගේ

නාමෙන් ඔබේ මා ලයේ වේදනාවෝ කම්පාව 
හඬනා වූ යාමේ
විස්කම් කලාකාමි මිතුරෝ ඔබේ ගී ඇසේවා
මිහිතලා ඇති තුරා නාමයෙන් ඔබේ අරුත මල් පිපේ

මිනිසා පිපාසෙන් හඬනා දිලින්දන් දන්නේ 
ඔබගේ කලාවයි
ගිනියම් දවාලේ මිනිසුන් හෙලූ ඒ දා බිංදු 
ඔබගේ කලාවයි
ලිය මඬුළු අතරේ ගිනි පළිගු අතරේ රේඛාව 
ඔබගේ කලාවයි
මේ සක්වලේ හී ඔබගේ කලාවෙන් මිතුරෝ 
ඔබත් ජීවමානයි

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද රචනය – අජන්තා රණසිංහ
සංගීතය - සරත් ද අල්විස්
---------------------------------------------------------------------------------------------------
හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ ...
හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ...
අපෙ ආදරේ.. ආදරේ.. අපෙ ආදරේ...

පෙම් සුව විඳිනු වගේ
ප්‍රීතියක් ඇත්තෙ නෑ
මගෙ හද පෙම් රස උතුරන්
මෝරලා එයි සෙනේ ..

රැල්ලයි වෙරලයි වාගෙනේ
ඈත්ව යන්නේ නෑ සෙනේ
අපෙ ආදරේ.. ආදරේ.. අපෙ ආදරේ..

පෙම් සුව විඳිනු වගේ
ප්‍රීතියක් ඇත්තෙ නෑ
මගෙ හද පෙම් රස උතුරන්
මෝරලා එයි සෙනේ ..

හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ ...
හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ...
අපෙ ආදරේ.. ආදරේ.. අපෙ ආදරේ...

ගායනය - එච්. ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක 
පද රචනය - ?
සංගීතය - පී. එල්. ඒ. සෝමපාල
‘ස්විප් ටිකට්’ (1965)
---------------------------------------------------------------------------------------------------
හිතේ දුකක් නැතී මිනිහා 
මේ ලෝකේ දැනගත් මිනිහා 
එයා තමයි දුක නැති මිනිහා
ඕ ඔ ඔව් 
එයා තමයි දුක නැති මිනිහා

මෑණියො මා නැළවූ ආදරේ
දැක්කේ නෑ දෑසින් මාගෙ දෑස් පෙනේ
අක්කාගේ ප්‍රේමෙ හින්දා ඒ තමා
හෝ අක්කාගේ ප්‍රේමෙ හින්දා ඒ තමා
දැණුනේ නෑ ප්‍රීතියෙණි ජීවිතේ
දුක්වන්නේ නෑ මං අක්කා හින්දා මේ සෑමදා

හිතේ දුකක් නැතී මිනිහා 
මේ ලෝකේ දැනගත් මිනිහා 
එයා තමයි දුක නැති මිනිහා
ඕ ඔ ඔව් 
එයා තමයි දුක නැති මිනිහා

පිපුණු මල වගෙ හාදු දී
නටති හෑම දෙනා වී පොදී
ස්ථිර නෑ මේවානම් සෑමදා 
මල පරවෙන්න වාගේ යයි මැරී
නෑදෑයෝ හා මේ වස්තූ
ගෙනියන්නෙ නෑ අපි

හිතේ දුකක් නැතී මිනිහා 
මේ ලෝකේ දැනගත් මිනිහා 
එයා තමයි දුක නැති මිනිහා

ඕ ඔ ඔව් 
එයා තමයි දුක නැති මිනිහා ..

ගායනය - එච්. ආර්. ජෝතිපාල
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - ආර්. මුත්තුසාමි
---------------------------------------------------------------------------------------------------
සරා ස‍ඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වලා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
තනිවේ අඳුරේ සුසුමේ වෙලිලා

වැතිරී සීත මීදුම් පායේ හදේ වේදනා 
හඬා වැටේ එදා ඇසූ ඔබේ ගීතිකා

සරා ස‍ඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වලා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා

සැඟවී ඈත මේ හිම යායේ ඔහේ පාවෙලා 
මිලාන වී ගියා ද ඒ සිනා වාසනා

සරා ස‍ඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වළා තලේ ඔබේ දෑසේ සිනහා මැවීලා
තනිවේ අඳුරේ සුසුමේ වෙලිලා 

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව - සරත් දසනායක
---------------------------------------------------------------------------------------------------
වටපිට බලන් ඉන්න හැමටම වැඳලා
අපි අවසර පතලා
නටනවා ගයලා
දෙන්නම් පදේ මමත් ආලප් කරලා
නුඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා

මුදලක් ඇතොත් අතේ ඔබගෙන් ලැබෙනා
දවසක් දෙකක් බඩේ ගින්දර නිවෙනා
හැඟුමන් මෙන්න අපේ සතුටක් ගෙනෙනා
වරදක් වුනොත් අපිට සමාව ඕනා

දිලිඳුන් තුටින් ඉඳියි ලොව සුව විඳලා
නිරිඳුන් දුකින් ඉඳියි සැනසුම පතලා
දෙපිලක් බෙදී මෙසේ ඇයි කල් ගෙවලා
කවුරුත් එකා වගේ ඉමු සුව සොයලා

වටපිට බලන් ඉන්න හැමටම වැඳලා
අපි අවසර පතලා
නටනවා ගයලා
දෙන්නම් පදේ මමත් ආලප් කරලා
නුඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා

රසවත් සින්දු කියලා මසුරන් සොයනා
දුප්පත් කමින් ලෝකෙ අපි අද තැවෙනා
උන්නත් නැතත් අපිත් සතුටින් නැටුවා
හිතවත්කමට අපේ පණ හරි දෙනවා

වටපිට බලන් ඉන්න හැමටම වැඳලා
අපි අවසර පතලා
නටනවා ගයලා
දෙන්නම් පදේ මමත් ආලප් කරලා
නුඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා 

ගායනය - එච්.ආර්. ජෝතිපාල සමග චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය - හේමසිරි හල්පිට
තනුව - ප්‍රියා සූරියසේන
---------------------------------------------------------------------------------------------------
මේ දෑස මගේ පින්වන්තයි
තේරුණේ දැන් තමයි
රන් රූපෙ ඔබේ පෙම්වන්තයි
තේරුණේ දැන් තමයි

ළඟ දුනුකේ මලකී
දුර මහනෙල් මලකී
උඩවැඩියා මලකී
මල් මැද මල් ළඳකී

රණ මයුරා වරලයි
අඩ සඳවන් නළලයි
නීල උපුල් දෙනෙතයි
නාරිලතා ගමනයි

හද බැදෙනා වයසේ
පහන ලෙසේ නිවසේ
ඔබ සැරදේ සුවසේ
පතනෙමි මං එක් සේ

පද රචනය –කරුණාරත්න අබේසේකර
සංගීතය – පී. එල්. ඒ. සෝමපාල
ගායනය - එච්.ආර්. ජෝතිපාල
---------------------------------------------------------------------------------------------------
පාළු සුසානේ ප්‍රේම පුරානේ
කඳුලු විලාපේ මා තමයි
අප දෙදෙනාගේ එදා සෙනේ
සැමරුම් කිසිදා මැකී නොයේ
මට අමතක නෑ ඔබට මතක නෑ

ප්‍රානය අද හෝ හෙටින් නිමා වී
ආදරයක් මිය යාවී දෝ
හදවත ගොළු වී ඔබේ නාමයෙන්
ජීවතයක් නවතීවී දෝ
මා විමසන්නෙමි කියන්න කෝ මට
කෙලෙසද මේ ලෙස කුරිරු වුණේ

මගෙ අත්තටු බිඳ පියා සලාලා
යන්නට ඔබ පැතු චේතනා
ඔබයි දිනුවේ පරාජිතයි මා
මේකද මට දුන් වාසනා
ආදර රේඛා සුසුම් හෙලා වී
කම්පා කරවා මහීතලේ

දෛවය මේ නම් සුදු අපි නාඬමු
හමු වෙමු මතු සංසාරයේ
කුරා කුහුඹුවෝ හෝ නොදැවේවා
ඇවිලෙන මේ ගිනි ජාලයේ
ඔබ නොව ළඳුනි මමයි සදාකල්
අසරණ වූයේ කුමාරියේ

පද රචනය – අජන්තා රණසිංහ
සංගිතය - සරත් ද අල්විස්
ගායනය - එච්.ආර්. ජෝතිපාල
---------------------------------------------------------------------------------------------------
මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති
හද මගේ පිදු හැටී සිහිවේ නොනැවතී
මේ ගී . . .

සිතු පැතු අන්දම රෑ දිවා
අමුතුම ලොවක් මවා
මටමා අමතක වූවා සිහිය පැන ගියා
බලාපොරොත්තුවෙ කඩ තිර ඉරා
පාළුව විඳ දරා ඉවසමි දිවි තුරා
මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති

එකම සිනාවට ගී දාහක්
බිහි වේ මගේ මුවේ
ඇති වුණි නම් අවබෝදේ අද මේ 
විලස නොවේ
කොතැනක සිටිය ද මේ ලෝ තලයේ
සැපෙන් හැම කලේ වෙසෙනු මැන මලේ
මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති

ද රණංසිය වාගේ නිවෙසෙහිම මගේ
සිටියට වෙනතක බැඳීලා
දොර තියේ ඇරිලා
දස දහසක් රෑ පසුවනු ඇතේ
මෙවන් රැයක් නම් කිසි දින එනු නැතේ

පද රචනය – කරුණාරත්න අබේසේකර
සංගීතය – පී. එල්. ඒ. සෝමපාල
ගායනය - එච්.ආර්. ජෝතිපාල
---------------------------------------------------------------------------------------------------
චන්දන ඇල්ලෙන් නාලා
අංජන මල් මී ගාලා
හැංගුන බඹරා ආවා
ලස්සන රහසක් කීවා

මලට මුවා වී ඉන්නේ
මල් පෙති යට සැඟවෙන්නේ
හදකට තුරුළුව ඉන්නේ
ලෝකය නෑ එය දන්නේ

දහසක් නෙත් යොමු වන්නේ
එනමුදු නෑ හඳුනන්නේ
ඇසි පිය යට සැඟවෙන්නේ
සිහින ලොවේ හමු වන්නේ

එක කුසුමකි පිබිදෙන්නේ
එක වන බඹරෙකි ඉන්නේ
දෙබරුන් සේනා ඉන්නේ
වෙනසක් නෑ සිදු වන්නේ

පද රචනය – ධර්මසිරි ගමගේ
සංගීතය – එම්. එම්. ඒ. හක් සහ ටී. එෆ්. ලතීෆ්
ගායනය - එච්.ආර්. ජෝතිපාල
---------------------------------------------------------------------------------------------------
ආදර මල් පවනේ
ඈ යන මේ ගමනේ
කොහෙදෝ යන්නේ – කව්දෝ දන්නේ
දුලීකා - දුලීකා

චංචල සිතුවිල්ලේ - මංගල ඕවිල්ලේ
නැළ වී යන්නේ ඈ මෙසේ
පෙම් මල් උයනට දෝ
කඳුලැලි මුහුදට දෝ

වේදනා කන්දේ ඉඳලා
ආදරේ දැක අත වනලා
සුළඟේ පාවී - සුසුම් හෙළා වී
දුලීකා - දුලීකා

පද රචනය – ධර්මසිරි ගමගේ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගායනය - එච්.ආර්. ජෝතිපාල
---------------------------------------------------------------------------------------------------
ජීවිතේ තරුණ කාලේ එක සේ නොරැ‍‍ෙඳ්
සොයමී සෑම වේලේ සිතුදේ පැතුදේ

ආදර රසේ සිතුසේ ලබන සේ
බඹරා බමන සේ යම් මම් නිදහසේ
සතුටයි දුකයි එක සේ දැනේ
අනන්ත සුන්දර දිවි මල් උයනේ

රෑ ගණඳුරේ දිලෙනා පහන සේ
බාදා මැද මෙසේ බලමී ලොව රසේ
අහසයි බිමයි නිවසයි මගේ
හෙටක් කෙරේ නැහැ විශ්වාසේ

දාවල රැයේ වෙනසක් මට නැතේ
ඔබගේ මගෙ අතේ ඇති දේ නැති වෙතේ
උන්න ගමන් යන්න යතී
මිනිස්සු මෙලෙසයි මේ ලෝකේ

පද රචනය – කරුණාරත්න අබේසේකර
සංගිතය – ආර්. මුත්තුසාමි
ගායනය - එච්.ආර්. ජෝතිපාල
---------------------------------------------------------------------------------------------------
සිරිය මෙ සාරා නැගේ වී හද මෝරා
දි ප්‍රේමේ අම ධාරා හෝ ප්‍රේමේ අම ධාරා

ප්‍රේමේ නුරා ගීත රාවේ ඇසෙන්නා
මේ පෙම් මල් පිපිලා මා හර්දේ පිරෙන්නා
හෝ . . . හෝ . . .
දින රාජයා ඈත අහසෙ දිලෙන්නා
දී ප්‍රේමේ අම ධාරා . . . හෝ ප්‍රේමේ අම ධාරා

ගංගා පිරීලා ඉතිරී ගලන්නා
ආලේ රසේ මා හදේ හී නැගෙන්නා
මේ සන්ද්‍යා ශ්‍රියාවෝ නැගේ හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා හෝ ප්‍රේමේ අම ධාරා

මල් ලෝකෙ සරලා ගුම් නාදෙ දීලා
බඹරා ගියා සේ පෙම් ගී ගයාලා
යාවී මෙ දැන් පෙම් කුමාරි සොයාලා
දී ප්‍රේමේ අම ධාරා . . . හෝ ප්‍රේමේ අම ධාරා

පද රචනය – විල්ෆ‍්‍රඩ් සිල්වා
සංගීතය – ටී. ආර්. පාපා
ගායනය - එච්.ආර්. ජෝතිපාල
---------------------------------------------------------------------------------------------------
පන්දම් අල්ලා ගත් නම්බු නාමේ
දැන් කාලෙ අවලංගුයි නෝනේ
දුප්පත් අපි රජවරු මේ කාලේ

පින්වන්ත ඔබගේ මේ සිංහල රාජ්ජේ
ඇයි තාමත් පරදේසින් වාගේ
මේ දේසේ ඔබගේ– මේ දෙසේ අපගේ
ඇයි ඔබ යන්නේ වල්මත් වෙලා

බොරු ලොක්කන් ලෝකේ
දැන් සොක්කන් වාගේ
මේ කාලේ නෑ ගානක් ගන්නේ
ගමේ කොල්ලො එන්නෙ
පන්දම් ගලවන්නේ
ඊට පස්සෙ යන්නේ ලොක්කන් වෙලා

මේ නෝනා වාගේ නෝනාලා අපගේ
ඇයි තාමත් සිංහල වී නැත්තේ
පාට ගාපු මූනේ සායම් සේදෙන්නේ
ඔය සමහර තාලේ හරි යන්නෙ නෑ

පද රචනය – කරුණාරත්න අබේසේකර
සංගීතය – එම්. කේ. රොක්සාමි
ගායනය - එච්.ආර්. ජෝතිපාල
---------------------------------------------------------------------------------------------------
ලස්සන ලෝකෙක ඉපදීලා
නූපන් හෙට ගැන නො තැවීලා
හද සැණකෙලියේ වල්මත් වීලා
රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ

ජීවන බරකින් පැටලීලා නෑ නෑ වෙන්නෙ මුලා
සිතු දේ පැතු දේ කරලා 
නිම් නැති ගමනක යෙදිලා
අරමුණ කොහිදැයි නෑ දන්නේ
රහයි ජීවිතේ

දුක සැප කිර කිර බල බලා
ඇතමුන් දිව රෑ තැවේ
පල නැත හෙට ගැන සිත සිතා
හිනැහෙනු ලස්සන ළඳේ
උපතත් කුමට ද රජවී හඬ හඬ ඉන්නට සිදු වී
විනෝද දහනක අපි ඉන්නේ
රහයි ජීවිතේ

පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
සංගීතය - සරත් දසනායක
ගායනය - එච්.ආර්. ජෝතිපාල
---------------------------------------------------------------------------------------------------
බඹරා වගේ ඇත තවම විසේ
සල්ලි නැතේ මට විස්කි නැතේ

යහළු වෙලා සිටි අය නැතේ
වැටී ගියත් අප එකා වගේ
ගල් මුල් ආවත් බය නෑ බය නෑ
අපට හිතට දුක නෑ

පැතුම් සැබෑ වන ජීවිතේ
අලුත් දසුන් නව ලෙවෙන් මැවේ
මා යන ගමනේ බැමි නෑ බැඳුනේ
ගිමන් පවස නොදැනේ

පද රචනය - සෝමපාල ලීලානන්ද
සංගීතය - සරත් දසනායක
ගායනය - එච්.ආර්. ජෝතිපාල
---------------------------------------------------------------------------------------------------
අතීත දිවියේ අනන්ත අඳුරේ විඩාව නිම වේ
මිලාන දෙනෙතේ වියෝග කඳුලේ
සිනාව මතු වේ

උදාර මවගෙ සෙනේහෙ දැඩිවේ
සිතේහි පුතුගේ
අසාර කතරේ තුෂාර සිසිලයි
දයාව මව ගේ

විනීත මවගේ පැතීම නොතකා
ගියාම දුකසේ අඬන්න වූයේ
සුනීත දිවියේ ප්‍රභාව මැකිලා
අනාථ අඳුරේ සිටින්න වූයේ
තුසීත විමනෙන් අපාය වෙත මා
ගියාසෙ කඳුලැලි හෙලන්න වූයේ
සමාව ඉල්ලා දෙපා වඳීන්නයි
රත්‍රන් අම්මා බලන්න ආවේ

විනාසෙ ගැලුනු ඔබේම පුතනු
ලැබීම පිටුපා දයාව අම්මේ
සමාව ඉල්ලා දෙපා වඳින්නම්
සමාව දෙනු මැන පුතාට අම්මේ

අමාව මෙන් කී අමා වදන් මා
ගියානෙ නොතකා රත්‍රන් අම්මේ
නිමා නොවන දුක් නිමා නොවන සේ
මෙමාට ලැබුණා රත්‍රන් අම්මේ
මෙමා තවත් නැහැ අතහැර යන්නේ
ඔබේම ළඟමයි රත්‍රන් අම්මේ
සමාව ඉල්ලා දෙපා වඳින්නම්
සමාව දෙනු මට රත්‍රන් අම්මේ

පද රචනය – කරුණාරත්න අබේසේකර
සංගීතය – පී. එල්. ඒ. සෝමපාල
ගායනය - එච්.ආර්. ජෝතිපාල
---------------------------------------------------------------------------------------------------
නවමිණි රන් මුතු ඇත පිරිලා
කප්රුක මැවිලා අතු ලියලා
ඔබෙ ප්‍රතිමාවක් නැති රජ දහනක
කුමටද සක්විති රජෙකු වෙලා

වැලි කතරෙහි කෙම් බිම් හැදිලා
දිය නැති විල් තුළ මල් පිපිලා
ඔබේ සුවඳවත් නැති ලිය ගොමුවක
කුමටද මට සමනලෙකු වෙලා

දිනපති තරුපති එකතු වෙලා
දෙපසේ සිටියත් සිනහ සලා
ඔබේ දසුන නැති පරාදීසයක
කුමටද සිය වසරක් ඉඳලා

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද රචනය –කරුණාරත්න අබේසේකර
සංගීතය - සරත් දසනායක
---------------------------------------------------------------------------------------------------

කුරුල්ලනේ මේ රජ කුමරිට කුමාරයෙක් නෑ
සොයා දෙතොත් ලස්සන කුමරෙකු ලැබෙයි හුඟක් පින්
ඕනේ නෑ කවුරුවත්.. මා ගාවින් ඔහු ඉන්නවා
කොයි දෝ ඔහු ඉන්නේ... කවුදෝ කියනු වහා...
කුරුල්ලනේ මේ රජ කුමරුට කුමාරියක් නෑ
සොයා දෙතොත් ලස්සන කුමරිය ලැබෙයි හුඟක් පින්...

කොයී ගියත් මා ළඟින් ම ඉන්නේ
හරි ආදරෙන් ඔහු කතා කරන්නේ
දෑස නලවා බැලුම් හෙලන්නේ
ඔහු රජුයි මම තමා කුමාරී ආදරේ රජ මාළිගෙ ඉන්නේ
මී පැණී රස කතා කියාදී මේ මගේ ළඟ දැනුත් ඉඳීවී
මා නිසයි ඔහු ලොවේ උපන්නේ
කවුද කිව්වොත් පුරෝල දෙන්නම් තෑගි මල්ලක් මං
කවුදෝ ඒ මෝඩයා දන්නෑ කවුදෝ කියා
මේ මා ගාවින් ඉඳී...
ඔබනේ ඒ මෝඩයා...

ආදරියේ...
එකක් කියන්නම්...
මේක ඇත්තයි නොවේ කොලොප්පන්
මහා පඬිවරයෝ කියා තියෙනවා..
ආදරෙන් බැඳෙනා සියල්ලොම මෝඩයෝ කියලා..
මාත් ඒ වාගේ කෙනෙක් වුණා නම්
මෝඩ වූයේ ඔයා නිසානේ
ඒ නිසා යළි පෙමෙන් බැඳෙන්නෑ
නුවණ ඇත්තෙකු වගේ සිතාලා මා ඉතින් යන්නම්
නෑ නෑ මං මෝඩයා....
ඔබ ඥාණවන්තයා.....

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: පී. එල්. ඒ. සෝමපාල
ගායනය: එච්. ආර්. ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලක
"සුරේකා" (1974 )චිත්‍රපටියේ ගීතයකි.
---------------------------------------------------------------------------------------------------
ප.ලි.
එච්.ආර්.ජෝතිපාල නම් වූ ඒ අසහාය ගායකයාගේ 29 වැනි ගුණ සමරුව වෙනුවෙන් කෙටි සටහනක් .
තොරතුරු අන්තර් ජාලයෙනි ...වැරදි  පාඩු පෙන්වා දෙන්න .ගීත දහස් ගණනකින් තෝරා ගත් කීපයක් එකතු කලේ .එකතු කරන්න වුවමනා ගීත මතක් කරන්නෝ ..

32 comments:

  1. මිනිසා පිපාසෙන් හඬනා දිලින්දන් දන්නේ ඔබගේ කලාවයි
    ගිනියම් දවාලේ මිනිසුන් හෙලූ ඒ දා බිංදු ඔබගේ කලාවයි
    ලිය මඬුළු අතරේ ගිනි පළිගු අතරේ රේඛාව ඔබගේ කලාවයි
    මේ සක්වලේ හී ඔබගේ කලාවෙන් මිතුරෝ ඔබත් ජීවමානයි …

    මේක කරන්න බෑ බං.. මං දාන්න ආව සිංදුව උඹ මහපලවෙනියටම දාලා . අරින්නෑ ..මාත් දානව :D

    ජෝති.………………………මැරිලා අවුරුදු තිහකට කිට්ටුන්වෙලත් අදටත් ලංකාවේ අංක එකේ "තරුව" …

    ආයෙ මොන සම්මානද බං..

    ReplyDelete
    Replies
    1. මගේ මිතුරෝ මගේ මිතුරෝ
      උඹ දන්නේ නෑ ලොවේ අඟනෝ
      සුන්දර වස්තු......... හැක හැක්

      ජෝති දශක හැටකටත් වඩා කාලයක් තවමත් "සුපර්ස්ටාර් " මචෝ .ජෝතිගේ සින්දු නැත්නම් දැන් ඉන්න "සුපර්ස්ටාර්"ලට කියන්න සින්දුත් නැ ..
      "ලෝක වාර්තාව වන්නේ ජෝතිපාලයන්ගේ අභාවයෙන් පසුව ඔහු ගායනා කරන ලද පැරණි ගීත යොදා ගනිමින් දැනට චිත්‍රපට 100 කට වඩා නිර්මාණය වී තිබීමයි" කියලා ඔන්න පත්තරෙත් තිබුනා ...
      ස්තුතියි මචෝ ..

      Delete
    2. //ඔන්න පත්තරෙත් තිබුනා ...//

      උඹත් ඕව දැනගන්නෙ පත්තරෙන්ද .. හිටං :D

      Delete
  2. වැතිරී සීත මීදුම් යායේ හදේ වේදනා ..
    හඩා වැටේ එදා ඇසූ ඔබේ ගීතිකා..

    සරා සදේ සිනා සේලේ.. ගිලිහී වැටිලා..

    හැකිනම් නැවත එන්න.. සදාකාලික මිත්‍රයා!!

    ReplyDelete
    Replies
    1. "නාමෙන් ඔබේ මා ලයේ වේදනාවෝ කම්පාව
      හඬනා වූ යාමේ
      විස්කම් කලාකාමි මිතුරෝ ඔබේ ගී ඇසේවා
      මිහිතලා ඇති තුරා නාමයෙන් ඔබේ අරුත මල් පිපේ "

      ස්තුතියි කමියෝ ...

      Delete
  3. හදවත රත්තරං ජෝතිට, මාලිගාවත්ත පැත්තේ කොල්ලෝ තවත් නම්බු නාමයක් දීලා තිබුනා... උඹ මාව හම්බ උන වෙලාවක අහපන්.. ඒවා මෙතන ලියන්න බෑ...

    ReplyDelete
    Replies
    1. මාතේ අතරින් පතරින් අහලා තියනවා ....මේකත් ඒ වාගේ කතාවක් වාගේ .මුණ ගැහුණම අහන්නම් ...
      ස්තුතියි මචෝ ..

      Delete
  4. ජෝති ගැනනං කතා කරන්න වචන නෑ. ඒ වගේ ගායකයෙක් ලංකාවෙ ආයෙ බිහිවෙන්නෙ නෑ.
    කවුරුහරි මොනව හරි ඉල්ලගෙන ආවොත් ඇඳගෙන ඉන්න සරම හරි ගලෝල දෙන ජාතියෙ මනුස්සයෙක් කියල මම බලපු ලිපියක දැක්ක.
    විජයගෙ කටහඬට ගැලපෙන්න සින්දු කියන්න තිබ්බ හැකියාව තමයි උපරිමම.

    ReplyDelete
    Replies
    1. ජෝති වාගේ වෙන්න යන එවුන් නම් බොහොමයි ..එත් ජෝති කියන්නේ ජෝතිම තමයි ....

      Delete
  5. අද ජෝති ගුණ සමරු දවස දේශපාලක්යෝන්ට ඉරිසියා හිතෙනවා ඇති

    ReplyDelete
    Replies
    1. අනිවා මචෝ ...ජෝති බෙදාගන්න බැරිව මරා ගන්නවා ඇති ..හැක්

      Delete
  6. පත්තරයා උඩ කියලා තියෙනවා වගේ අදටත් ලංකාවේ නොම්බර එකේ ගායකයා ජෝති.

    ReplyDelete
    Replies
    1. අදට විතරක් නෙවෙයි මචෝ තව අවුරුදු ගානක් නො එකේ ගායකයා වෙයි .ජෝති දැකලවත් නැති එවුන්නේ ජෝතිගේ සින්දු කියන්නේ ,,,

      Delete
  7. ජෝතිපාල ගැන අපේ රටේ ජනතාවගේ අදහස් හරියටම එලියට ආවේ, 1970 දශකයේ පුවත්පත් ඔස්සේ පැවැත්වුණු, 'ප්‍රබුද්ධ - පීචන්' වාදයෙදීයි. ජෝතිපාල, මිටන් පෙරේරා, මොහිදීන් බෙග්, නිහාල් නෙල්සන්, ඇන්ටන් ජෝන්ස්, වගේ අය පීචන් ගායකයන් බවත්, අමරදේව, නන්දා මාලනී, සනත් නන්දසිරි, සිසිර සේනාරත්න, වැනි අය ප්‍රබුද්ධ ගායකයන් බවත්, කියවෙන වාදයක් තමා, පුවත්පත්වල කොටස් වශයෙන් පළවුණේ. මේ නිසා, ඇත්තවශයෙන්ම, ජෝතිපාලගේ සිත රිදුන බව ඔහු විසින්ම ප්‍රකාශයට පත්කර තිබුණා.

    හින්දි තනුවලින් මිදී, හොඳ සංගීත අධ්‍යක්‍ෂ වරුන් යටතේ, ජෝතිපාල ගායනා කල සෑම ගීතයක්ම පාහේ, ප්‍රබුද්ධ ජනතාවගේ සිත්ගත්තා.

    ReplyDelete
    Replies
    1. කැපිලි කෙටිලි මැද්දෙන් ආව දුෂ්කර ගමනක් ...අන්තිමේදී හැමෝටම ජෝති නැතිව බැරි වුනා ...

      Delete
  8. ජෝතිපාල කියන්නේ ඉතින් ඕන සාදයකදී නැතුවම බැරි ගායකයෙක්. අර දකින දසුනේ, පට පොදක්, දුලීකා මම කැමතිම සින්දු.

    ReplyDelete
    Replies
    1. ජෝතිගේ සින්දු තෝරා ගන්න පට්ට අමාරුයි අජිත් අය්යේ ..හලන්න ගීත නැති තරම් .ඔක්කොම ජනප්‍රියයි ..

      Delete
  9. සමනළ මුදුනේ සිරිපද සිඹ සිඹ
    උදා ඉරක් පායයි
    සැනසිලි සුව දෙන නව මල් සුවඳින්
    දැහැමි දැයක් පිබිදෙයි //

    කුලමල ධනබල නොතකන හෙළ දැය
    සුදු බුදු රැස් පැතිරෙයි
    සම මෙත් කරුණා බුදු බණ පදයක
    සිහිලෙන් රට සැනහෙයි //

    සමනළ මුදුනේ..

    මිනිසා මිනිසෙකු විලසින් එළඹෙන
    නව යුගයක් ඇරඹෙයි
    තුන් සිංහලයම අත්වැල් බැඳගෙන
    නිවහල් සුවය විඳී //

    සමනළ මුදුනේ..

    ReplyDelete
  10. සුගත ලෝනා සම්බුද්ධ රාජා
    සුගත ලෝනා සම්බුද්ධ රාජා
    ශ්‍රීපද පත්මේ පුදනේමී
    දී භක්ති පූජා...දී භක්ති පූජා....
    සුගත ලෝනා සම්බුද්ධ රාජා

    භව රෝගෙට ඔසුවක් සොයනා නියා
    රජ සම්පත හැරදා නික්මී ගියා...//
    පාමීදම් පුරා ඝෝර මරසෙන් නසා
    බෝධිමූලේ වෙසගේ බුදු වූ නියා

    සුගත ලෝනා සම්බුද්ධ රාජා
    ශ්‍රීපද පත්මේ පුදනේමී පුදනේමි
    දී භක්ති පූජා...දී භක්ති පූජා....
    සුගත ලෝනා සම්බුද්ධ රාජා

    තුන් ලෝකය පිබිදී ආලෝකදී
    සුද්ධෝදන පුතු දම් නායක වී //
    අහස දෙදරා ගියා පොළොව ගුගුරා ගියා
    ශාක්‍ය රජ මේ වෙසගේ බුදු වූ නියා
    හෝහෝහෝ.....
    සුගත ලෝනා සම්බුද්ධ රාජා
    ශ්‍රීපද පත්මේ පුදනේමී පුදනේමි
    දී භක්ති පූජා...දී භක්ති පූජා....
    සුගත ලෝනා සම්බුද්ධ රාජා

    ReplyDelete
    Replies
    1. මං දැක්කා ළඟදි මේක සකුරා රේන්ජ් එකේ කොල්ලෙක් කියනවා ..

      Delete
    2. https://m.youtube.com/watch?v=5-RyJCsbLZo

      Delete
    3. ෆලැෂ් බැක් එකේ කිංස්ලි ජෝතිව මැරුවා කාලයක් ..

      Delete
  11. මම හිතුවේ උඹ කවමදාවත් ජෝතිගැන ලියන එකක් නෑ කියලා.මොකද ඒ මතෘකාව කවමදාවත් ලියලා ඉවරකරන්න බැරි එකක් නිසා. සිංහල සංගීත ඉතිහාසය ගැන කතාකරපන්.හැබැයි අනුමාතෘකා 3ක් වෙන්කරපන්.
    01.සුනිල් ශාන්ත.
    02.h.r.ජෝතිපාල.
    03.ක්ලැරන්ස් විජේවර්ධන.

    "ඔබට මතක නෑ....මට අමතක නෑ...."

    ReplyDelete
    Replies
    1. කටුස්සෝ බොහොම ස්තුතියි මචෝ..ලියන්න හිතාගෙන ඉන්න කලාකරුවෝ දෙන්නෙක් මතක් කළා ...

      Delete
  12. Replies
    1. බොහොම ස්තුතියි අයියේ ..

      Delete
  13. ඒ මනුස්සයව මතක් කරපු එකත් පිනක් බං. ඒ කාලෙ ප්‍රබුද්ධයෝ "පීචං ගායකයා" කියල පහත කරපු ජෝතිපාලගේ සිංදු දැන් දැන් වැඩියෙන් කියවෙන්නෙ ඇයි? හදවතට කිට්ටු නිසා, හදවතේ රැඳිල තියන නිසා..එල එල..

    ReplyDelete
    Replies
    1. කියන්න තියන ඔක්කොම උඹේ කොමෙන්ට් එකේ තියනවා සජ්ජෝ ....

      Delete
  14. අපි ජෝතිලට පස්සෙ පරම්පරාව උනාට ඒ සින්දු තාමත් අමරණීයයි....
    අපූරු විස්තරයක් ගොඩක් දේවල් දැනගත්ත....🙌🙌🙌🙌🙌

    ReplyDelete
    Replies
    1. //අපි ජෝතිලට පස්සෙ පරම්පරාව උනාට ඒ සින්දු තාමත් අමරණීයයි//+++
      ඔන්න ඔය දෙතමයි බන් ඇත්ත ...කාලෙන් කාලෙට එක එක රැලි ආවත් ජෝති හැමදාම ඉන්නවා ....

      Delete
  15. ඉස්සර අපි ජෝතිපාලගේ සිංදු කෑලි කිය කිය කලිසම් කොට ඇඳන් ගමේ ගෙවල් වල සෙල්ලම් කල හැටි මතක් වුණා.. ඒ දවස් වලත් ජෝතිපාලගේ සිංදු කෑලි නිකන් රස්තියාදු ටයිප් එකට තමයි ගණන් ගත්තේ.. ජෝතිපාල මැරුණු දවසේ ඉඳල ඒ අදහස් පට ගාල වෙනස් වුණා... හෙහ්..

    ReplyDelete
  16. ජෝතිගෙ ස්ක්‍රීන් වොයිස් එක ලගින් යන්නවත් ඊට පස්සෙ හඩක් බිහි උනේ නෑ...ඔහු වැනි චරිතයක් ජීවමානව දැකබලාගන්නවත් අපේ පරපුරට වාසනාවක් නැතුව ගියා.

    ReplyDelete