Wednesday, September 2, 2015

"සුන්දර මොහොතේ මා සිහිවෙනවද"


මිනිසා විසින් මිනිසාටම වරද කළෙන්
වැළලුන මිනිස්‌කම හාරමු යළිඳු වළෙන්
මානව බැති පෙමේ ලොව්තුරු කමල විලෙන්
නාවමු මනස සාමයෙ රං වතුර කළෙන්

අනුවණ කමින් නීති ඇය එළියට දැම්මා
ඒ සාපයෙන් ලොව විඳි දුක්‌ නැති නිම්මා
දැලේ දෙනෙත් සැනසිලි කිරිදෙන පෙම්මා
සාමය තමා මුළු ලෝකයට මැ අම්මා

(ඩෝල්ටන් අල්විස්)

1928 දෙසැම්බර් 07 වැනි දින බෙන්තර ප්‍රදේශයේ උපත ලැබූ ඩෝල්ටන් අල්විස්‌ මහතා අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙනි. පියාගේ ඉල්ලීම පරිදි වෛද්‍යවරයකුවීම පිළිබඳ අදහසක්‌ තිබුණත් පසු කාලයේදී එය වෙනස්‌ වී රජයේ ලලිත කලායතනයදී චිත්‍ර කර්මය හැදෑරීය. එයින් පසු යූ. ඒ. එස්‌. පෙරේරා මහතාගේ මඟපෙන්වීම යටතේ කවි ලොවට පිවිසි ඔහු ගුවන්විදුලියේ දී විවිධ වැඩසටහන් මගින් රසිකයන්ගේ හදවත් දිනා ගත් ඩෝල්ටන් අල්විස්‌ ප්‍රබුද්ධ ගීත රචකයකු බවට පත්විය. ඔහුගේ විශේෂය වූයේ ලියූ ගේය පදවල නිවහල් සිතුවිලි තිබීමයි. බොරැල්ල තරුණ බෞද්ධ සමිති පුස්‌තකාලයේ පුස්‌තකාලයාධිපති ලෙස කලක්‌ සේවය කළ ඩෝල්ටන් අල්විස්‌ මහතා පොතපතේ දැනුම ලබාගත් ගීත රචකයෙකි.

ඔහු ලියූ දේශාභිමානී ගීත අතර "සසර වසන තුරු" ගීතය ජනාදරයට ලක්‌ වූවකි. අපේ ජනවහර ඇසුරෙන් නිර්මාණය කරන ලද මෙම ගීතය තුළ බෞද්ධ අදහස්‌ ද තිබීම විශේෂයකි. දේශාභිමාන ගීතයක්‌ ලෙස ප්‍රකට ඔහු ලියූ "නිවහල් සිතුවිලි සිතනා සිතක්‌ උදාරයි" ගීතය අපේ රට ජාතිය පිළිබඳව හැඟීම් අති කරවන්න දරන ප්‍රයත්නය ළඟා කරනුයේ රටේ අවට ඇති සම්පත් පෙන්වීමෙනි. මවුබිමේ වගකීම කුඩා කාලයේදීම ලබාදිය යුතු බවත් ඒ පිළිබඳ යුතුකම හා වගකීම දරුවාගේ සිතට ඇතුළු කිරීමට මේ තුළින් ඔහු උත්සාහ කරයි. උඩඟුලියන්, අවසන් ලියුමයි, කවුරුදෝ අර කවුළුවෙන්, කුණ්‌ඩලකේෂි, රන්දහදිය, නිසංසල රෑ, තාරකා ඇස්‌ වැනි ගීත රසික මතකයෙහි අදත් පවතී.

ලේඛකයකු ලෙස ඩෝල්ටන් අල්විස්‌ මහතා රිවිරැසහි ශාස්‌ත්‍රීය ලිපි පළ කළහ. කවියෙහි බස්‌වහර, කවියෙහි ප්‍රතිභාවය පිළිබඳ දිගින් දිගට ලිපි ලියූ ඩෝල්ටන් "කොනේ කාමරේ" නමින් නාට්‍යයක්‌ ද ලියා ඇත.

ඩෝල්ටන් අල්විස්‌ පිළිබඳ සිය මතකය අවදි කරමින් ආචාර්ය පණ්‌ඩිත් අමරදේවයන් සඳහන් කරන්නේ "මා මිතුරු ඩෝල්ටන් අල්විස්‌ මියගිය බව ඇසූ කෙණෙහි මසිත් ගැබ සිසාරා රැව් දුන් ගී පද සමූහයයි මේ. සසර වසන තුරු, නිවහල් සිතුවිලි, කුණ්‌ඩලකේෂි, උඩඟුලියන්, රන්දහදිය, නිසංසල රෑ, තාරකා ඇස්‌, ඈත නීල ආකාසේ, ඈ ගී නූතන සිංහල ගී පලසෙහි විසුළ මල් පෙති සේය. රසික මතකයෙහි අදත් ගලා යන්නේ ඒ ගී මල් සුවඳයි. එදා ගුවන්විදුලියේ ළමා පිටියෙන් නිබැදුම් බහ තේරූ ඩෝල්ටන් අල්විස්‌ කුමරුවන් පසුගියදා මියයන විට නූතන සිංහල ගුවන්විදුලි ගීතයේ ගමන්මඟ හෙළි පෙහෙළි කළ ප්‍රවීන කවියකු බවට පත්ව සිටීම කියා පෑවේය. සකුවට, පාලියට මෙන්ම හුදු හෙළයට වුවද අනිසි ලෙස ගැති නොවී ගැමි වහරත්, පුර වහරත්, සේ වහරින් පැහැපත් කොට තමාටම ආවේණික සුගම සුකුමාර බස්‌ වහරක්‌ ඇසු කිරීම ඩෝල්ටන් ගී ආර සුරැසු වෙසෙසේ ගුණයයි" යනුවෙනි.

මිතුරන් අතරේ ඉතා ගුණ ගරුක යහපත් මිතුරකු වූ ඩොල්ටන් අල්විස් 1987 අගෝස්තු 01 වැනි දා සියල්ලන්ගෙන් වෙන් වී යන්නට ගියේය.
-------------------------------------------------------------------------------------
*බකිණි ගහේ බකිණි මලෙන්

බකිණි ගහේ බකිණි මලෙන් පාර අසන්නේ
කුරුන්ද ළඟ දෙල්ගහ යට නිවෙස තියෙන්නේ
කවදද එන්නේ
කවදද එන්නේ

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියම එන්නේ
තනියම එන්නේ

කැකිරි වැලේ මල් පිපිලා ගෙයි පිලිකන්නේ
ඒ මල් පෙති වලින් ඔබට පවන් සලන්නේ
දෙමාපියන්නේ වරද නොවන්නේ

සේල වළලු රන් පවලම් නැතුවයි එන්නේ
හදේ සුවඳ ආදරයයි අරගෙන එන්නේ
හනිකට එන්නේ
හනිකට එන්නේ

පද රචනය- ඩෝල්ටන් අල්විස්
ගායනය - එඩ්වඩ් ජයකොඩි සමග පුණ්‍යා කත්‍රිආරච්චිපද 
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
---------------------------------------------------------------
*මගේ නීල නෙතු සඟළින්

මගේ නීල නෙතු සඟළින්
මොනවද ඔබ ඉල්ලන්නේ
නළලේ කුංකුම තිලකය
ඔබට නේද අමතන්නේ

මගේ නීල නෙතු සඟළින්
මිදුලේ නිල් බුනීල මල්
හැන්දෑවේ කාන්තියෙන්
ඔබ මට දුන් ඔබේ කවිය
උදුරාගෙන කියවනවා

මගේ නීල නෙතු සඟළින්
මොනවද ඔබ ඉල්ලන්නේ
නළලේ කුංකුම තිලකය
ඔබට නේද අමතන්නේ

හඳ එළියේ කාන්සියේ
ඒ කවියේ රස වින්දා
එදා රැයේ මගේ දෑස
ඔබේ නමින් ඉකි බින්දා

පද රචනය- ඩෝල්ටන් අල්විස්
ගායනය - ඉන්ද්‍රනි බෝගොඩ
තනුව - චන්ද්‍රදාස බෝගොඩ
--------------------------------------------------------------------------------
*සසර වසන තුරු

සසර වසන තුරු නිවන් දකින තුරු ...
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා හේතු වාසනා

රත්නමාලි සෑ කිරණයි 
මහ බෝ සෙවණයි
තිසා වැවයි සීගිරියයි 
මගේ උරුමයයි ...

සසර වසන තුරු
නිවන් දකින තුරු ...
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා 
හේතු වාසනා

පද රචනය- ඩෝල්ටන් අල්විස්
ගායනය - පණඩිත් ඩබ්.ඩී. අමරදේව
තනුව - පණඩිත් ඩබ්.ඩී. අමරදේව
-------------------------------------------------------------------
*කවුරුදෝ අර කවුළුවෙන්


කවුරුදෝ අර කවුළුවෙන් 
හිනාවී එබිකම් කලේ...
ඒ හිනාවෙන් මා වෙලන්නද
මා වෙලාගෙන මට තලන්නට
ඈ හිනාවෙන්නේ...

හිතින් මට බැ ඈත යන්නට 
ඒ නුවන් දැහැනින් මිදීලා...
කවුළුවේ දොර හදින් හැරගෙන
නෙත් ලඟින් ඉන්නම්....

කතා නොකරන තාරකාවක් 
පාර කීවත් මම නොයන්නම්...
කවුළුවෙන් දොර හදින් හැරගෙන
නෙත් ලඟින් ඉන්නම්....

පද රචනය- ඩෝල්ටන් අල්විස්
ගායනය : සනත් නන්දසිරි
සංගීතය : සනත් නන්දසිරි
-------------------------------------------------------------------------------
*නිවහල් සිතුවිලි සිතනා

නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි 
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැළුම් වර ජෝතිය පිනෙන් උදාරයි 

නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙ
නවෝදයේ තෙද ‍රැඳි හිරු පිපී දිලෙන්නෙ 
පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි 

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැළුම් වර ජෝතිය පිනෙන් උදාරයි 

පද රචනය- ඩෝල්ටන් අල්විස්
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ පිරිස
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
----------------------------------------------------------------------------
*හදේ සුසුමක් පතිත වීමෙන්


හදේ සුසුමක් පතිත වීමෙන්
බකිණි මල් පෙති පර නොවේවා
ඔබේ සුවඳැති හිනා පියුමෙන්
මගේ හදවත සුවඳ වේවා

ලොවේ කෙදිනද ආදරේ 
මඟදෙපස කරදර හමුනොවන්නේ
ගමේ පිපි මලගමේ තනිවී 
මා නිසා නොවැ දුක් විඳින්නේ 

සුවඳ නැති මල් ඉරිසියාවෙන් 
ඔබේ රුව දැක උමතු වන්නේ
ඇගේ මුවගින්දොලේ ගීතය
හේන අසලින් මට ඇසෙන්නේ

නීල අහසේසේද පටුනේ
සැඳෑ කාලේ නැළැවි නැළවී 
ඈත පාවෙන වලාකුළ සේ 
වරළ පිට මැද උනාලන්නේ
එහි සුගන්දය ගීතයක් වී 
මගේ තනියට අසල ඉන්නේ 

පද රචනය- ඩෝල්ටන් අල්විස්
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
තනුව - ඩී.ආර්. පීරිස්
----------------------------------------------------------------------
*රන් දහදිය බිංදු බිංදු

රන් දහදිය බිංදු බිංදු
ඉසුරු සුවඳ රැන්දු රැන්දු
රන් දහදිය බිංදු බිංදු
ඉසුරු සුවඳ රැන්දු රැන්දු
ගතිනි හලා - ගයමු
රන් ගොයමේ සින්දු සින්දු
රන් ගොයමේ සින්දු සින්දු
රන් ගොයමේ සින්දු සින්දු

දෑතේ රන් වළලු දඟේ
ගෙල බැඳි රන් මාල අගේ
රන් ගොයමේ නෙළන නඟේ
සිරියාවයි රටට මගේ 

නෙළුම් කෙතේ ලන්දු ලන්දු
සොඳුරු කිඳුරු ලන්දු ලන්දු 
දෙවි පිහිටෙන් - ගයමු
රන් ගොයමේ සින්දු සින්දු
රන් ගොයමේ සින්දු සින්දු

බුලතේ රස දුටිමි තොලේ
මට නොවෙදෝ මුකුළු කළේ
රන් ගොයමේ නෙළන කළේ
මන බැදුනා පබළු වැලේ
 
පද රචනය- ඩෝල්ටන් අල්විස්
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
------------------------------------------------------------------
*ආශාවේ මල් වැටෙන් එබී

ආශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළූ ඔඹ මගේ කළූ
නයන කළූ ඔඹ මගේ කළූ

රෑ නිල් අහසේ නිදන සඳවතී .
අදින සළු.. මිදුලෙ එලූ
අදින සළු.. මිදුලෙ එලූ

සුන්දර නින්දේ මා සිහිවෙනවද
කියනු කළූ මට කියනු කළූ

ආශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළූ ඔඹ මගේ කළූ
නයන කළූ ඔඹ මගේ කළූ

පායන සඳ සේ රුසිරු හසරැළී .
දෙතොල වෙලූ.. නයන කළූ
දෙතොල වෙලූ.. නයන කළූ

සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කළූ මට කියනු කළූ...

පද රචනය- ඩෝල්ටන් අල්විස්
ගායනය - බණ්ඩාර අතාවුද
තනුව - ගුණදාස කපුගේ
-------------------------------------------------------------------------
*මගේ දෑස ඔබේ කියා

මගේ දෑස ඔබේ කියා 
ඔබ පවසනවා මම සැනසෙනවා
ආදරයේ අනන්ත මං තලාව ඔස්සේ 
මගේ නුවන් ගමන් කලේ ඔබ පිටු පස්සේ 

මගේ දෑස ඔබේ කියා 
ඔබ පවසනවා මම සැනසෙනවා
ඔබේ අතින් නළලේ තැබූ කුංකුම තිලකේ 
ඔබගේ රුව නොදැක සොවින් නළලත වැලපේ 

මගේ දෑස වැලපෙන උණුසුම් කඳුලැල්ලේ 
ඔබේ දෙපා ගමන් කරයි හිතු සැනසිල්ලේ 
මගේ දෑස ඔබේ කියා 
ඔබ පවසනවා මම සැනසෙනවා 

පද රචනය - ඩෝල්ටන් අල්විස්
ගායනය - නන්දා පතිරණ
සංගීතය - ප්‍රේමදාස අතුකෝරල 
---------------------------------------------------------------------------
*උඩඟු ලියන් ගොතා බඳින


උඩඟු ලියන් ගොතා බඳින
නීල වරළ සරසන්නට
මා පිපුණේ නැත මේ දෙරණේ

හිස් මිනිසුන්-කුස් පුරවන
සිත් පිනවන-බස් දොඩවන
බොජුන් මේස මත සුවඳ හලන්නට
මා පිපුණේ නැත මේ දෙරණේ

රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
රණ විරුවකුගේ අවසන් ගමනට
යන මහ ජනතා පා දූවිලෙන්
තැලී වෙළී සැනහී මිය යන්නෙම්

මගේ පරම පැතුම එයයි
මගේ පරම පැතුම එයයි
එමගට මා විසි කරන්න

පද රචනය - ඩෝල්ටන් අල්විස් 
සංගීතය - පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව
ගායනය - නන්දා මාලනී 
--------------------------------------------------------------------
*එගොඩහ යන්නෝ  


එගොඩහ යන්නෝ 
මෙගොඩහ යන්නෝ 
තවකවුරුද ඉන්නේ ..

ගඟුල අනෝමයි 
අද මට වෙහෙසයි
යනවා නම් එන්නේ ..

මම මේ ගඟුලේ 
අඟුලේ නැගලා 
එගොඩ මෙගොඩ යනවා 

පමා නොවන්නේ 
අඳුර වැටෙන්නේ
යනවා නම් එන්නේ

පද රචනය - ඩෝල්ටන් අල්විස් 
සංගීතය සහ ගායනය - ෂෙල්ටන් පෙරේරා
---------------------------------------------------------------------------
*තුන් තුඹ මල් තුඹ මල්

තුන් තුඹ මල් තුඹ මල්
තුන් තුඹ මල් තුඹ මල්
තුන් තුඹ මල් තුඹ මල්
තුන් තුඹ මල් තුඹ මල්

තුන් තුඹ මල් රෙද්ද ඇඳල
බණ්ඩි වළලු දෑත දමාලා
මම දොර ළඟ බලා ඉන්නවා
අනේ තාම ආවෙ නැහැනෙ
ආවෙ නැහැනෙ ආවෙ නැහැනෙ
මල් දුන්නෙන් වඩින ඉලන්දාරියා

තුන් තුඹ මල් තුඹ මල්
තුන් තුඹ මල් තුඹ මල්
තුන් තුඹ මල් රෙද්ද ඇඳල
බණ්ඩි වළලු දෑත දමාලා

ගෙදරට එන පාර කිව්ව
පණිවිඩ හත අටක් යැව්ව
අනේ තාම ආවෙ නැහැනෙ
ආවෙ නැහැනෙ ආවෙ නැහැනෙ
මල් දුන්නෙන් වඩින ඉලන්දාරියා

තුන් තුඹ මල් තුඹ මල්
තුන් තුඹ මල් තුඹ මල්
තුන් තුඹ මල් රෙද්ද ඇඳල
බණ්ඩි වළලු දෑත දමාලා

රටක් වටින කෙනෙක් එක්ක
මටත් හනික දීග යන්ඩ
උදව් දෙන්ඩ ආවෙ නැහැනෙ
ආවෙ නැහැනෙ ආවෙ නැහැනෙ
මල් දුන්නෙන් වඩින ඉලන්දාරියා

පද රචනය- ඩෝල්ටන් අල්විස්
ගායනය - චන්ද්‍රානි ගුණවර්ධන
--------------------------------------------------------------------------
*දාගැබ් මහා වැව් බැන්දේ


දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ
සීගිරි ගලේ කවි ලිව්වේ නුඹයි පුතේ
නගුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ
පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ

අම රස දිව බොජුන් ගිජු කුසයට වළඳා 
සිලි සිලි සිනිඳු දිව සළුපිලි ඇඳ පළඳා 
මහජනයාට වැදි බණ කියමින බොළඳා 
සැප විඳි එකා නිරයට නොයතිද මළ දා 

ඉර හඳ අදත් පායනවා හද අරණේ 
මගෙ රට ණයට කෑවේ නැහැ නොවැ පොරණේ 
හෙළ දරුවන් එදා මේ සිංහල දෙරණේ 
ඔවුනගෙ දහදියයි  ලද උත්තම සරණේ 

පද රචනය - ඩෝල්ටන් අල්විස් 
සංගීතය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
------------------------------------------------------------
*අවසන් ලියුමයි

අවසන් ලියුමයි ඔබට ලියන්නේ
විරහා කඳුළු රැඳි පෑනෙන්
කියවා හැඬුවත් මට නම් කම් නැ
මගෙ හිත අද තද නින්දේ

එයා පැලැන්දූ මංගල මුදුවේ
ආඩම්බරකම මම දුටිමී
ගෙල වට කරගෙන ළමැදේ ලගිනා
මංගල මාලය මම දුටිමී

අබරණ අන්දන රන්වන් ඉහිලු
සදාතනික ආදරය නොවේ
කියවා හැඬුවත් මට නම් කම් නැහැ
මගෙ හිත අද තද නින්දේ

පෑන තවත් දේ ලියන්න කීවත්
මොනවා ලියන්නද මීට වඩා
මේ ගැන අන් කිසිවෙකු නැහැ දන්නේ
වෙන දීගෙක ගිය ඔබට වඩා

අබරණ අන්දන රන්වන් ඉහිලු
සදාතනික ආදරය නොවේ
කියවා හැඬුවත් මට නම් කම් නැහැ
මගෙ හිත අද තද නින්දේ

අවසන් ලියුමයි........

පද රචනය - ඩෝල්ටන් අල්විස් 
ගායනය - ෂෙල්ටන් පෙරේරා
---------------------------------------------------------------
*හිතේ පිපෙන මල්

හිතේ පිපෙන මල්
හිත රිදවන මල්
අනේ කුමට පිපෙනවාද
අහක බලන මල් ....

අතීතයේ මල් 
ඈතට ගිය මල්
මතක සුවද යළි එවලා
දෑස තෙමන මල් ....

සපු දුනුකේ මල්
නයන ලෝල මල්
ඒ මල් පෙති තුලින්
සවන සනහන කවි මල් ...

හිතේ පිපෙන මල් ....
ගමේ පිපෙන මල්
නිහතමානි මල්
එවන් සොදුරු මල්
ලොවුතුරු බුදුන් දකින මල් ...


හිතේ පිපෙන මල් ....

පද රචනය- ඩෝල්ටන් අල්විස්
ගායනය : විජේසුන්දර වේරගොඩ

"මෙන්න සින්දු ටික"
---------------------------------------------------------
ප.ලි 
වැරදි අඩු පාඩු තියනවානම් පෙන්වා දෙන්න ...
විස්තර උපුටා ගත්තේ අන්තර් ජාලයෙනි 

54 comments:

  1. මම ආසාවෙන් රස විදින ගීත ටිකක් මෙ.වචනයෙන් වචනය හරි ලස්සනට ගලපලා මිහිරි පද මාලාවක් එක්ක ගීතයක් නිර්මාණය කරනවා කියන්නේ ලේසි පහසු කාර්යක් නෙවෙයි.අපේ පැරණි පද රචකයන්ට ඒ හැකියාව හරි අපූරැවට පිහිටලා තිබුනා.ඩෝල්ටන් අල්විස් මහතා ඒ ගණයේ විශිෂ්ට පද රචකයෙක්.ඒත් අද කාලේ පද රචකයන්ගේ ගීතයි ඒවා ගායනා කරන ගායකයන්ගේ මරලතෝනි හඩයි ඇහෙද්දි දැනෙන්නේ හරි කණගාටුවක්.කලාව,කලා මාධ්‍ය ,ශ්‍රවකයා ,ගීතයක අර්ථරසය වැනි කිසි දෙයක් ගැන මෙ අය හිතන බවක් පෙන්න නැ.

    ReplyDelete
    Replies
    1. සාධරයෙන් පිලිගන්නවා මනෝ මන්දිර ...
      මේවා බලලා හරි හැදෙන්න අලුත් පරපුරට තවත් අවස්ථාව තියනවා ..
      ජයවේවා !!!

      Delete
  2. බිලා කියන්න නියම සිංදුවක්
    බකිනි ගහේ..
    හෙට ඉතුරැ කමෙන්ටුව

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං කමෙන්ට්ස් වලත් මතුසම්බන්දයි කියලා දානවද මෙන්ඩො?? 😉

      Delete
    2. මෙන්ඩට වෙන මොනාට මතු සම්බධයි කියන්නද මචෝ ....කොමෙන්ට් කරුවන්ගේ සංගමේ සම සභාපති නොවැ ...හැක්

      Delete
  3. කැමතිම ගීත ගොන්නක්.කැමතිම ගී පදරචකයෙක්..

    සින්දු ටික ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දෙන්න බෑ?

    ReplyDelete
    Replies
    1. ඔන්න තියනවා සින්දු ටික ..

      Delete
  4. //නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙ
    නවෝදයේ තෙද ‍රැඳි හිරු පිපී දිලෙන්නෙ
    පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
    හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි

    එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
    යශෝ කැළුම් වර ජෝතිය පිනෙන් උදාරයි//

    උඩ සින්දු දෙකක් විතර අදමයි ඇහුවෙ.
    අපේම කියල දැනෙන ආරකට තමා පද බැඳිල තියෙන්නෙ.

    ReplyDelete
  5. අකුරු අතරින් මිහිර මවන එක ලේසි නෑ.. අලහං බං ඒ වචන කොච්චර මටසිලිටියට ඒත් අර්ථාන්විතව ගලපලාද? සැබෑ දක්ශයෙක්..
    (සීගිරි ගලේ කවි ලිවේ ඩෝල්ටන්.. ප්‍රේමදාස යුගයේ කාටූනයක තිබූ වැකියක්.නිධාන කතාව මතකයි ද?)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මටත් ඔය සීන් එක යන්තම් මතකයි.

      Delete
    2. මෙන්න මේක ගැන නේද ඔය කියන්නේ ?

      සීගිරි ගලේ කවි ලිව්වේ ඩෝල්ටන්
      සාගර මහා වැව් බැන්දේ ඩෝල්ටන්
      දාගැබ් පිළිම ඉදිකෙරුවේ ඩෝල්ටන්
      පැදුරේ මෙදා නිදියන්නෙත් ඩෝල්ටන්
      (රංචාගොඩ ළමයා )

      ස්තුතියි ගබෝ උඹේ වටිනා අදහස් වලට ...
      ජයවේවා !!!!

      Delete
    3. මදාවීයො උඹට අනිවා මතක තියෙන්න ඕනෑ ...මොකද කැලා පත්තර උඹට වඩා කාටද බන් මතක ...හැක් හැක්
      ජයවේවා !!!

      Delete
  6. ඩෝල්ටන් කියන නම ශ්‍රී ලංකා ගුවන් විදුලියේ නිතර ඇහෙන නමක් වෙලා තිබුණා. හැබැයි එහෙම වුනේ මම හිතන්නේ සින්දුවක ගායකයගෙ නමට අමතරව රචකයාගෙ සහ සංගීත රචකයගෙ නමත් කියන එක අනිවාර්ය වුනාට පස්සේ.

    ReplyDelete
    Replies
    1. ෂෙල්ටන් පෙරේරයි, මිල්ටන් පෙරේරයි මැරුණට පස්සේ ඩෝල්ටන් ගෙදරදි මෙහෙම කියලා තියෙනවා.

      ‘ෂෙල්ටන් - මිල්ටන් - ඊළඟට ඩෝල්ටන්’ ......

      ඩුඩ් අය්යේ ගුවන් විදුලියේ තවම සින්දුවක ගායනය ,ගී පද ,සංගීතය යන තුන් කට්ටුවම ගැන කියනවා ...අනිත් fm වල තමයි මේක නැත්තේ ...
      ජයවේවා !!!

      Delete
  7. උඹනම් දෙයියෙක් නෙවේ දේවාලයක්, මේ සමහර සින්දු ඩෝල්ටන් අල්විස්ගේ කියල ද්නගත්තේ දැන්. කොහොමත් උඹ පොස්ට් එකක් දැම්මම එකේ තියෙන හුඟක් දේවල් දැනගන්නේ එදාමයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉවාන් , පුංචි ආඩම්බරයක් දැනෙනවා උඹලා අහලා නැති ගීතයක් හොයලා දුන්න කියලා ...

      //උඹනම් දෙයියෙක් නෙවේ දේවාලයක්,// බලපන් උඹ මාව නිකම්ම ගඩොල් ගොඩක් කොලා ....හැක්

      Delete
  8. ගස්ලබ්බා කිව්වා වගේ කෙනෙක් තම නිර්මාණ විදිහට ඩෝල්ටන්ගේ ගී පද පලකල බවත් ප්‍රසිද්ධයි. අවසාන කාලයේ සුපුරුදු පරිදි දුක් විඳපු කලාකරුවෙක් කියලා අහලා තියෙනවා.
    (මේ...තෝ ඉස්සර වගේ දිගටම ලියපිය හරිද)

    ReplyDelete
    Replies
    1. හිටපු ජන අධි පති යෙක් නේ මචෝ ...උගේ පුතානේ අර ආයෙමත් එහෙම යුගයක් ගෙන්න ට්‍රයි කොරන්නේ ...

      //'ප්‍රේමදාස සූරීන්' ගේ 'ගොළු මුහුද' නව කතාව කියවන විට අරිසෙන් අහුබුදු මතක් වන ලෙසට ය// මේ තියෙන්නේ තව එකක් ..නිර්මාණ මංකොල්ලයක් .
      //(මේ...තෝ ඉස්සර වගේ දිගටම ලියපිය හරිද)// එතකොට කොහොමද බන් උඹලගේ බ්ලොග් කියවන්නේ ...පුළුවන් විදිහට ලියනන්නම් මචෝ ....අර ඉවාන් ලා වාගේනම් දවසට දෙකක් ලියන්න නම් බෑ ...හැක් හැක්

      Delete
  9. ආ මෙන්න..

    http://www.divaina.com/2010/07/30/cineart05.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශෝ ...සුනිල් අරියරත්නත් මෙතුමා ගැන ලියලා තියනවා මේ විස්තර ටිකම ...

      Delete
  10. ඇත්තමයි සදාකාලික රසයක් සින්දු ඇනෝ.....
    පෝස්ටුව හරිම ල්සසනයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සබරේ ....ඒ රසය ආයෙත් අපිට දෙන්න නම් ඒ වැනි අය වලෙන් නැගිටලා එන්න ඕනෑ ..
      ජයවේවා !!!

      Delete
  11. කඔහෙන් හරි ඇහුනොත් නතර වෙලා හරි ආසාවෙන් අහන සින්දු ටිකක්.

    ReplyDelete
    Replies
    1. මෙන්නෝ මු දැන් සින්දු අහන්න පුරුදු වෙලා ..නියමයි හැක්
      ස්තුතියි මචෝ ..
      ජයවේවා !!!

      Delete
    2. උඹලා ඉතින් නිදහසේ ඉන්න දෙන්නෙ නෑනෙ. :D

      Delete
  12. හතර විළි ලැජ්ජාවෙ සංතෝසෙ බෑ. මෙතන ආශාවේ මල් වැටෙන් එබී, අවසන් ලියුම, එගොඩහ යන්නෝ. ආසම සිංදු ටිකක් උනාට මක් වෙනවද මේවයෙ රචකයාව දැන ගත්තෙ අදයි බං.

    ඇත්තටම ගීතයක ගායකයට පමණක්ම අවදානය යොමු කිරීම අපි මේ මිනිස්සුන්ට කරන බලවත් අසාධාරණයක්.!!

    ReplyDelete
    Replies
    1. //ඇත්තටම ගීතයක ගායකයට පමණක්ම අවදානය යොමු කිරීම අපි මේ මිනිස්සුන්ට කරන බලවත් අසාධාරණයක්.!!// +++++++++++++++++++++++++++++++++++++
      මෙන්න මේ නිසා තමයි මම වැඩියෙන්ම ඒ ගැන ලියන්න හිතුවේ ..
      ස්තුතිය් මචෝ
      ජයවේවා !!

      Delete
  13. සින්දු , ඔය ඩෝල්ටන් අල්විස්ව එක සැරයක් වැඩ තහනම් කරලා සින්දුවක් නිසා ආයෙත් වැඩ ලැබුනා කියලා මං අහලා තියෙනවා. හරි සුන්දර විදිහට හිතන්න පුලුවන් සුන්දර මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. මමත් අහලා තියනවා මචෝ ඔය කතාව .ගුවන් විදුලියේ හිටපු සභාපති කෙනෙක් කියලා තිබුනා සසර වසනා තුරා ඒ වගේ ලිපියක් ලියන්න නොලැබේවා කියලා ...
      බොහොම ස්තුතියි සහෝ ...
      ජයවේවා !!!

      (දවස් කීපයකට මේ පැත්තේ එන්න වෙන්නේ නැ .....හැමෝටම ජයවේවා !!!)

      Delete
  14. ඔං උඹට පොල් ගෙඩියක්... (අතහිත මදාවියාගෙනි)

    මේ සිංදු ටික දැකලා ආපහු පොඩි කාලෙට ගියා. ඉස්තූතියි බං. උඹ මේ කරන්නෙ ජාතික සේවයක්.

    ReplyDelete
    Replies
    1. සොරි වේවා රිප්ලයි පරක්කු උනාට ...
      මම උඹලාගේ අතිතකාමය අවුස්සනවාද ? හැක්
      ස්තුතියි මචෝ ...

      Delete
  15. තැන්කූ මචං , උඹ හින්ද තමයි සිංදු ලියපු අය වගේම , ගායකයො , සිංදු මේව සේරම අපි දැනගන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කම්මලේ ...මම ගොඩක් වෙලාවට පද රචකයා සහ තනු නිර්මාණ කරුවා ගැන කියන්න උත්සහ කරන්නේ ඒ අය ගැන කවුරුත් වැඩිය කතා කරන්නේ නැති නිසා ...

      Delete
  16. මමත් ආසම සිංදු ගොඩක් මෙතන තියෙනවා...
    ගී පද රචකයා කවුද කියන එක දැන ගත්තේ දැන්, මම පොඩ්ඩක් ඔළුව අවුල් සහගත වෙච්ච ජීවියෙක් නිසා ලියපු එකා නෙමෙයි, කියපු එකා කවුද කියලවත් දැනගෙන නෙමෙයි ගොඩ වෙලාවට සිංදු අහන්නේ...
    කෙසේ නමුත් ඔබගේ දැනුවත් කිරීම වටිනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකු ...දැන් වත් පොඩ්ඩක් මේ ගැන හොයලා බලලා සින්දුව අහපන් ...

      Delete
  17. කෝ.....update නෑනෙ......ඉක්මනට....ඉක්මනට.......

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා අමිල ...update ??????

      Delete
    2. Update කිව්වෙ අලුත් අදහස්.....තව ලිපි......

      Delete
  18. කෝ.....update නෑනෙ......ඉක්මනට....ඉක්මනට.......

    ReplyDelete
  19. කෝ.....update නෑනෙ......ඉක්මනට....ඉක්මනට.......

    ReplyDelete
  20. අර ජනාධිපති ප්‍රේමදාස මහත්තයා ලියුවැයි ප්‍රසිද්ධ " සීගිරි ගලේ කවි ලිව්වේ" ගීතයත් ඩෝල්ටන් අල්විස් ගේ රචනයක් කියලා කථාවක් තිබ්බා නේද? ඔබට වෙලාවක් ඇති විටක ඉයන්ගෙ අඩවිය ටත් ඇවිත් යන්න.

    ReplyDelete
  21. අති විශිෂ්ඨ ගේය පඳ රචකයකු හා සුන්දර මිනිසකු ගැන පරිපුර්ණ සටහනක් මගේ මිත්‍ර @සිංදු ඇනෝ මෙහි තබා ඇත්තේ ,,,,, දිවියෙන් සමුගත් කලාකරුවෙකුටත් ගරහන තම ක්‍රේෂ්ත්‍රයේම හැපින්නියන් සිටිනා මෙවන් කාලයක ඒ තුමන් ජීවත්ව නොසිටීම වාසනාවක් ,,,,,,,,,

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා සිරි අය්යේ ...
      ජයවේවා !!!

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. සිංදු මල්ලි,මමත් හිතන් හිටියෙ "සීගිරි ගලේ කවි ලිව්වේ" ප්‍රේමදාස උන්නැහැ කියල නොවැ.අවුල නිරවුල් කලාට ස්තුතීයි!

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. සිංදු මල්ලි,මමත් හිතන් හිටියෙ "සීගිරි ගලේ කවි ලිව්වේ" ප්‍රේමදාස උන්නැහැ කියල නොවැ.අවුල නිරවුල් කලාට ස්තුතීයි!

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. කව්රුදෝ අර කවුලුවෙන්උල් ගායනය "ශාන්තිදේව"

    ReplyDelete
  28. කව්රුදෝ අර කවුලුවෙන් මුල් ගායනය "ශාන්තිදේව"

    ReplyDelete
  29. හරිම ලස්සන සිංදු ටිකක්

    ReplyDelete