Saturday, October 13, 2018

නිහඬ කල්පනා ලොවක තනිවෙලා


හේමසිරි හල්පිට.......වෙදදුව හෙවත් වාද්දුවේ උපත ලද හේමසිරි හල්පිට වාද්දුව මැදි විදුහලේ අධ්‍යාපනය ලබන කාලයේ සිටම ලිවීමට ඇබ්බැහි වූවෙකි.එම වකවානුවේ ලංකාදීප,වනිතා විත්ති,ඇතුළු පුවත්පත්,සඟරා රාශියකට ලිපි ලිවීමෙන් ඔහූ කලා ලොවට ඇතුලත් විය.ගී පදරචනයේ අති දක්ෂයෙකු හැටියට සැලකුම් ලැබූ හල්පිටගේ සුරතින් ගී නිර්මාණ 6000ට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය විය. ජනප්‍රිය ගායක නිහාල් නෙල්සන් මහතා විසින් ඔහු වෙත දෙන ලද අභියෝගය නොවන්නට හල්පිට ගීත රචකයෙකු නොවීමට ද තිබුණි.එය ශ්‍රී ලංකාවේ දෙවන කැසට් පටය ලෙසද දැක්විය හැක.එහෙත් එය නිහාල් නෙල්සන් මහතාගේ ප්‍රථම කැසට් පටයයි."ගුනේ අයියගේ බජවු කාමරේ"ලෙස හැඳින්වූ එය ශ්‍රී ලංකාව සිසාරා අති ජනප්‍රිය විය.හල්පිටගේ මෙන්ම නිහාල් නෙල්සන් මහතාගේ මුල් නිර්මාණය වූ එය තවත් අති දක්ෂ සංගීත අධ්‍යක්සකවරයෙකු වූ ලාල් තේනබදු මහතාගේ මුල්ම ගී තනු නිර්මාණයයි.එපමණක් ද නොව ඔහු ජිප්සීස් වෙනුවෙන් රචනය කරන ලද ලුණු දෙහි,කුරුමිට්ටෝ,ඔජායේ ද ප්‍රෙඩ් සිල්වාට රචනා කල තේ කුඩය,එඩ්වඩ් ජයකොඩි වෙනුවෙන් රචනා කරන ලද "නිහඬ කල්පනා ලොවක තනිවෙලා"මෙන්ම කීර්ති පැස්කුවල් වෙත රචනා කල "නීල අහසේ සැදැ වලාවන්" නාමල් උඩුගමට රචනා කල "නිසල වෙලා හද "ග්‍රෂන් ජයමහ වෙත රචනා කල "සුදු මීදුම"රූකාන්ත-චන්ද්‍රලේඛා යුවලට රචනා කල "මනලෝලි මනමාලියේ"මෙන්ම මායා දමයන්ති මහත්මියට රචනා කල "පුර හඳ ලෙස ඔබ සමකල",සශිකා නිසන්සලාට "සඳ රෑට රෑට"T M ජයරත්න මහතා ට රචනා කල "සොවින් බර නුවන්"සහ "සීගිරි ළඳුනේ" මෙන්ම ගැලක්සීස් වෙනුවෙන් රචනා කල "සඳ බොඳවී"සහ "සඳ සිසිලේ"ගීත ද වුහ.එපමණක් ද නොව HR ජෝතිපාල මහතාට සහ මායා දමයන්ති මහත්මියට "ඔබට දිවුරා කියන්නම් "චිත්‍රපටය ඇතුළු චිත්‍රපට 200ට පමණ පසුබිම් රචනය කළේය.මේ අපූරු කලාකරුවා 2006 අප්‍රේල් මස 28 වන දින මෙලොව හැර ගියේය.

-------------------------------------------------------------------------------------------------
එතුමා ගැන චන්ද්‍රලාල් තේවහෙට්ටිගේ සරසවි පුවත් පතේ ලියු සටහන පහතින්

-"අප හැරදා ඔහු නික්ම ගියේ 2006 අප්‍රේල් 28 වනදායි. මගේ මතකයේ හැටියට ඔහු මට මුලින්ම හමුවන්නේ 70 දශකයේ මුල් අවධියේ විය හැක. ඒ ප්‍රවීණ ගීත රචක සරත් මුණසිංහයන්ගේ (මීගහවෙල සුමන ශාන්ත හිමි නමින් දැනට පැවිදිව සිටින) මධුබිංදු සඟරාවට මා විසින් විවිධ ලිපි කලාකරුවන් ගැන ලියන අවධියයි.

එවකට මධුබිංදු කාර්යාලය මරදානේ ජීවන සේයා චිත්‍රාගාරයේ උඩු මහලේ පවත්වාගෙන ගියේය. හල්පිටත් ගායක - ගායිකාවන්ගේ ජීවන තොරතුරු මධුබිංදු වෙත ලියා එවයි. ඒ අතරතුර ඉඳහිට පැමිණ හමුවී සතුටු සාමිච්චියේ යෙදී සිට ඉවත්ව යයි. එවකට මා ප්‍රසංග වේදිකාවේ නිවේදකයකු වශයෙන් අගනුවරට හා තදාසන්න ප්‍රදේශයන්හි කාගේත් කථා බහට ලක්වී සිටියාහ. කාලයාගේ අවෑමෙන් හල්පිටත් සමග පසු කලෙක ගම් පළාතේ අවුරුදු උත්සවයන්හි නිවේදන කටයුතුවල නියැලෙන්නට මග පෑදුණි.

කලකට පෙර දිනක් වාද්දුව ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් සඳහා ශිල්පීන් සම්බන්ධීකරණය කරමින් නිවේදන කටයුතු සඳහා මා සහභාගි විය. පසුකලකදි හල්පිට විසින්ම මා හට පවසා සිටියේ එදා මා නිවේදක වශයෙන් ප්‍රසංගය ඉදිරිපත් කළ දිනයේ උදේ එම උත්සවයේම අංගයක් වූ බයිසිකල් ධාවන තරගයේ නිවේදන කටයුතු හල්පිට කළ බවත් රාත්‍රියේ මා ප්‍රසංගය මෙහෙයවන ආකාරය ඔහු බලා සිටිය බවත්ය.

එම සිද්ධිය සරත් ද අල්විස් සහ නිහාල් නෙල්සන්ට දිනක් මා ඉදිරියේ පැවසූ බව මතකයි. විවිධ උත්සව අවස්ථාවන් ආවරණය කරමින් කල එළියට ආ හල්පිට ස්වකීය කුසලතාව හා වාසනා මහිමය නිසාම සංගීත ප්‍රසංග නිවේදකයෙකු හැටියට මුළු රටේම ජනප්‍රියත්වයට පත් විය.

ඉතා කෙටි කලකින් ඔහුට කැසට්පට සංයුක්ත තැටි මෙන්ම චිත්‍රපට රාශියකට ගීත දහස් ගණනක් රචනා කරන්නට වාසනාව උදා විය. කලක් ප්‍රසංග වේදිකාවේ අතිශය කාර්ය බහුලම නිවේදකයා වූයේ හල්පිටයි.

සමහර අවස්ථාවකදී ප්‍රසංග වේදිකාවේදී අප දෙදෙනාම එකට නිවේදන කටයුතු කරන විට මා විසින් ඔහු හඳුන්වා දෙන්නේ ප්‍රසංග වේදිකාව ආක්‍රමණය කළ මහා කළු සිංහලයා හේමසිරි හල්පිට කියායි. ඔහු කම්මැළිකමට නිකරුණේ කාලය ගෙවූ අයෙකු නොවේ.

ජීවිතයේ හැම තත්පරයකම කාර්ය බහුලව සිටි හල්පිට ලැබෙන ආරාධනය මුදල හෝ නොතකා සහභාගි වේ. මුල් වකවානුවේ ප්‍රසංගවලට ගියේ යතුරු පැදියෙනි. මටත් සමහර දිනක ඔහුගේ යතුරුපැදිය පිහිට වී ඇත.

ඉතාමත් කඩිසර බවින් තම රාජකාරිය අකුරටම ඉටුකරන හල්පිට වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු බව වැඩිදෙනෙකු නොදන්නා අප්‍රකට කරුණකි. ජීවිත සටන ජයගන්නට නොපසුබට උත්සාහයක් දැරූ ඔහු කාර්යබහුලත්වය නිසාම අධික දුම්වැටි භාවිතයට පෙලඹුණි. ඒ හේතුවෙන රෝගී වූ බවක් මා අසා ඇත.

අවධියෙන් සිටින හැම විටම හල්පිටගේ පන්හිද සුරතේ රැඳී ඇත්තේ ගීතයක පද පේළි ගළපන්නටයි. අප නොසිතූ මොහොතක ලක් දෙරනේ සහෘද සංගීත කාමීන්ගේ හදවත් කම්පා කරමින් අකාලයේ ඔහු අපෙන් සමුගත්තේ 2006 අප්‍රේල් 28 වෙනිදාය. ඔහුගේ ආදාහන උත්සවයට බොරැල්ල කනත්තට සපැමිණි කලාකාමි ජනගඟ හල්පිටගේ ලෙන්ගතු භාවයට හොඳම නිදසුනකි.

වියෝවෙන් දස වසරක් සපිරෙන මේ මොහොතේ හේමසිරි හල්පිට මිතුරාට නිවන් පුර රුවන් දොර විවර වේවායි පතමු

(චන්ද්‍රලාල් තේවහෙට්ටිගේ)



ඔහු පිලිබඳ ස්වාධින රුපවාහිනියේ ප්‍රචාරය වුනු "සෙනෙහසේ නවාතැන"
-----------------------------------------------------------------------------------------------------------


නිදි නැති රෑ යාමේ සීතේ සීතේ සීතේ
සුමියුරු වේ මාගේ ගීතේ ගීතේ ගීතේ
සවන් සැනහේවා රාව පැතිරේවා
සැවොම තුටු වේවා වාසනාවේවා
ගී පොත මා සතු වේවී

ලොව ගී රජ දහනක් වේවී
මීවිත පිරි ඉතිරේවී
ඔබ ඒ මිහිරෙන් නැළවේවී
සිතට කොඳුරා ඔබට කියනා
රහස ගීය තමා

පාළුව ඈතක පාවි
සහනේ සැනසුම් සිහිවේවි
මේ ලෙස කාලය යාවී
අද රෑ ගතවී එළි වේවී
අදට තිබෙනා හෙටද ලැබෙනා
සතුට ගීය තමා

ගායනය - එච්.ආර් ජෝතිපාල
ගී පද - හේමසිරි හල්පිට
සංගීතය - සරත් ද අල්විස්

-----------------------------------------------------------------------------------------------------------
මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ලංවෙලා
රෑ තරු වාගේ නිවුණා මැලවීලා
මා දෑසේ දී වේදනා ...

මා දෑතේ වේලිලා එදා
රෑ සීතේ සඳපානේ පියනැගුවා
ඒ ඡායා සිහිනේ යාවීඈ මාගේ
නෙතු දැලේ දුක සැදුවා...

සෝ ගීතේ සවනේ යාවී
මා ලෝකේ තනිවූ සේ මට හැඟුනා
ඈ මා හා පෙරදා මැවූ
ඒ මායා මීදුම් සේ දුර ඇදුනා
මේ මල් යායේ...

ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - සුනිල් ධර්මසේන
ගී පද - හේමසිරි හල්පිට
-----------------------------------------------------------------------------------------------------------
සොවින් බර නුවන් විදාලා
තැවුල් පැවසුවා හඬාලා
යොවුන් ආදරේ අපේ
ගියේ ඇයි මෙසේ බිඳීලා

හදේ ජනිත වු අමාවන්
සැබෑ ආදරේ අපේ
මුසාවන් නිසා අනුන්ගේ
බිඳිලා ගියා
අහංකාර වු සිනාවෙන්
අපේ ආදරේ ලවාලු
ලොවේ චෝදනා නිසා මැවෙයි වේදනා

සදාතනික වු හැඟිමෙන්
මගේ ජිවිතේ පුරා
යා වුනා කියා සිතුමුත්
ඔබේ ආදරේ
කඳුලින් කොපුල් තෙමාලු
මගේ ආදරේ මකාලු
ඔබේ චේතනා නිසා සිතේ වේදනා

ගායනය : ටි.එම්.ජයරත්න
ගී පද : හේමසිරි හල්පිට
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
-----------------------------------------------------------------------------------------------------------
මා ආදරේ
යාලුවෙක් අවිල්ලා
රෑ සිහිනයෙන්
ආදරේයි කියාලා
රැ පාලුවේ වේදනා නිවාලා
මා සිහිනයෙන් ආවෙමි සොයාලා

රෝස මල් කුමාරියේ කියා
කී නිසා එදා රැයේ ඔයා
වේදනා ලොවේ හැඩූ මගේ
සෝ තැවුල් ඉබේ නිවී ගියා
කීවේ ඒ වගේ පැතුම් මවා..ආදරේ නිසා....

ජිවිතේ අනන්තවූ සුවේ
ආදරෙන් අපේ ලොවේ මැවේ
වේදනා නැතේ මගේ සිතේ
ආදරේ සදා වෙනස් නොවේ
සීනලෝකයෙන් මිදී වහා...එන්න මා සොයා....

ගායනය - ටී එම් ජයරත්න/ නීලා වික්‍රමසිංහ
පද රචනය - හේමසිරි හල්පිට
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
-----------------------------------------------------------------------------------------------------------
සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ
වේදනා නිවේ.. මට දැනේ සුවඳ ආදරේ...
මල් පිපී ඔබේ මගේ අනාගතේ
වාසනා මැවේ.. ඔබ මගේ පැතුම ජීවිතේ...

මා ඔබේ කියා කියූ දිනේ වෑහුණාය
හදවතින් සෙනේ...
ඒ පැතූ ලෙසේ මා සදා ඔබේ
ආදරේ අපේ බිඳී නොයේ...

ශෝක වේදනා නිමා වෙලා
ජීවිතේම ගීතයක් වුණා...
වාසනා ගෙනා ප්‍රාර්ථනා නිසා
ආදරේ අපේ සෑබෑ වුණා...

ගායනය - චරිතා ප්‍රියදර්ශනී ..
පද රචනය - හේමසිරි හල්පිට
සංගීතය - සරත් ද අල්විස්
-----------------------------------------------------------------------------------------------------------
යුග යුග ගානේ එක මඟ ආවේ
ආදරයෙන් බැඳිලා
ඔබ හිරු වාගේ දිවියට මාගේ
ආලෝකය දුන්නා
මා පැතුවාසේ ආදර දෑසෙ
වෑහේ ආදරයේ......

ආදර තරඟ නැගී
මේ පෙම් විලෙහි ජලේ
මා හද ඔකඳ වුනේ
ආදරයට යි ඔබේ
ඔබ හැම භවයේ
සෙවනැල්ලක් වී
මා සමඟම ආවා....

මා ලද ලබැඳි සෙනේ
මා සිත පුබුදු කළේ
මා ඔබ නිරන්තරේ
ආදර ලොවක රැඳේ
රුදු මරු කතරේ
දිය බිඳුවක් වී
මා ඔබ වෙත ආවා....

සංගීතය:-වික්ටර් රත්නායකයන්.
ගී පද:-හේමසිරි හල්පිට.
ගායනය :-අබේවර්ධන බාලසූරිය/ නිරංජලා සරෝජිනී.
-----------------------------------------------------------------------------------------------------------
අසෝක වනයේ සරන්නේ
අසෝක මල් දෝ නෙලන්නේ
අසෝකමාලා යයි කියන්නේ
ඔයා ද රූපවන්තියේ

කුමාර ලීලා පෙනෙන්නේ
කුමාර තාලෙන් වඩින්නේ
කුමාරයෙක් ද මා නොදන්නේ
උදාර රාජ වංශයේ

කුමාරියක් වගේ
අහිංසකාවියේ
දුකින් දුගී පැලේ
තැවෙන්නෙපා මෙසේ

කුලේ ධනේ බලේ
නැතේ ලඳේ අගේ
සමානතාවයේ
හැඟුම් සිතේ ඇතේ

උසස් නොවූ කුලේ
උපන්නෙමී ලොවේ
දුකින් දුගී පැලේ
වෙසෙන්නෙමී මං

අසෝකමාලියේ
සුපෙම්බරාවියේ
අසන්නකෝ ලඳේ
පැතුම් මගේ හදේ

ඔබේ රුවයි මගේ
නෙතේ ඇඳී ගියේ
සෙනේහයයි මගේ
හිතේ පිරී තියේ

හැඟුම් ඇතත් සිතේ
සිතත් බියෙන් සැලේ
පහත් රොඩී රැහේ
ළඳක් වෙමී මං

ගායනය - ඔල්බන් පෙරේරා සහ මායා දමයන්ති පෙරේරා
පද රචනය - හේමසිරි හල්පිට
තනුව - සරත් ද අල්විස්
-----------------------------------------------------------------------------------------------------------
සිනහ කඳුළු එනවා - යනවා
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ
බවයෙන් බවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ
සිනහ කඳුළු එනවා යනවා

මේ සීත කතරේ නැවතී ඉන්නා
අම්බලමයි මාවතේ
මේ පාළු කතරේ ඔබ මා හමු වූ
යා යුතු මග මෙය වේ
අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවා
මායාවේ නළුවො අපි
භවයෙන් භවේ . . .

නොනිවන්න මිතුරේ පහනේ ඡායා
කිසිදා මේ අත්වැලේ
සුදිලේ වී සැමදා නාමේ ඔබගේ
හිරු සේ ආකාසයේ
ජය ගන්න මතුදා පැරදුම පැරදිය යුතුවේ
මේ ලෝක රඟ මඬලේ

පද රචනය - හේමසිරි හල්පිට
සංගීතය - සරත් ද අල්විස්
ගායනය - එච්.ආර් ජෝතිපාල /ග්‍රේෂන් ආනන්ද
-----------------------------------------------------------------------------------------------------------
නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි
කරන චෝදනා මොනව දෝ කියා නොම හැගෙයි
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැඳුණ ඔබ කෙරේ එලෙසමයි

ඉවත පාවෙලා යන්න සිතුණි දෝ මා කෙරෙන්
වෙන අයෙක් කෙරේ බැඳුණි දෝ ඔයා ආදරෙන්
සිහිනයක් ලෙසින් බොඳ වෙලා නොයන් මා සිතින්
හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින්

අසරණයි මෙමා වැරැදි නෑ කළේ කිසි දිනේ
ඔබ සිතේ සමා දෙනු මැනේ ළඳේ පා සෙනේ
හදවතේ බිඳී වේදනා සුසුම් පා වුණේ
නැතිව දෝ අපේ සිත් එදා ලෙසින් යා වුණේ

ගායනය - එඞ්වඞ් ජයකොඩි
ගී පද - හේමසිරි හල්පිට
සංගීතය - සුනිල් ධර්මසේන
-----------------------------------------------------------------------------------------------------------
නොසැලෙන්න කඳූලක් දෑසින් ඔබ මා කෙරේ
නොසැලෙන්න කඳූලක් දෑසින් ඔබ මා කෙරේ
රිදවන්න සැමදා හඩනා හඳ මේ වගේ
නොසැලෙන්න කඳූලක් දෑසින් ඔබ මා කෙරේ

මාහා මේ මල් මාවතේ මාහා ඔබ සිතූසේ
මාහා මේ මල් මාවතේ මාහා ඔබ සිතූසේ

පායා ඈතට පාවුනේ මායා සිහිනය සේ
පායා ඈතට පාවුනේ මායා සිහිනය සේ

ගායනය/සංගීතය :යොහාන් අර්ජුන
ගී පද - හේමසිරි හල්පිට
-----------------------------------------------------------------------------------------------------------
ගී කොවුල් නාදයෙන් මා සවන් මත්වෙලා
සිතින් ඒ සූවේ යන්නෙපා වෙන්වෙලා
මා සෙවූ ආදරේ මේ ලොවේ නැ ලදේ
සිතිං වේදනා වින්දා රැ දිවා...

සිය නෙත් කොනින් පෑවා ආයාචනා
ඇගේ වදන් කීව ආරාදනා
රොන් ගන්න නම් ආදරේ මල්වනේ
සිතින් මංමුලා වෙන්නේ නැ මා ලඳේ

සිහිනෙන් පවා ආදරේ සිහිනයේ
නෑ යාවුනේ නින්දේදී රාත්‍රියේ
ලංවෙන් එපා ආදරේ යාවෙලා
සිතින් මංමුලා වෙන්නේ නැ මා ලඳේ

ගායනය - ටි.එම් ජයරත්න
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - හේමසිරි හල්පිට
-----------------------------------------------------------------------------------------------------------
පුර හඳ ලෙස ඔබ සම කළ මගෙ මුහුණේ
නළලත මා සිත්තම් කළ කුංකුම තිලකේ
ඔබ දුටු ලස්සණ ඇයි බොඳවී මැකුනේ
පෙර ලෙස පැහැබර නැතිවද නළලේ තිලකේ

ඇසුරින් මිදීලා ඔබ සමුගෙන යාදෝ
මිහිරෙන් පිරී ලොව අමිහිරි වේදෝ
ඔබ සිටු කුමරියකට බහ දුන්නාදෝ
මට පිටුපා ඇගෙ අතිනත ගන්නේදෝ

ඔබගෙන් වියෝවී ලොව මා තනිවේදෝ
සිත මා විකල්වී අසරණ වේදෝ
මගෙ සිත තුළ තෙරපෙන දුක දන්නේදෝ
එය මා කෙලෙසක ඉවසා ගන්නේදෝ

ගායනය – මායා දමයන්ති පෙරේරා
පද රචනය - හේමසිරි හල්පිට
තනුව හා සංගීතය - සරත් ද අල්විස්
-----------------------------------------------------------------------------------------------------------
තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින්
මම දැක්කෙ හුඟ කලකට පස්සෙ ලෙච්චමී
මගෙ ලෙංගතුකමට ඉතිං කාගෙත් ඇස් වහල හොරෙන්
තනිපංගලමේ ඉදින්නේ වරෙන් ලෙච්චමී

දැක්කම ඔය වගෙ කියාවි මටම කරච්චල් කොරාවි
මාත්තියා මොකද්ද මට විහිළු කරන්නේ
ලැයිමෙ ඈයො පද හදාවි පූච්චානම් මට කියාවි
ආඬවනේ ඕවට මම කැමතිම නෑනේ

සිදාදියේ වේල් පොළට නුඹ එක්කරගෙන යන්නම්
අත පිරෙන්න හිත පිරෙන්න මණි බඩු අරගෙන දෙන්නම්
මාත්තියා එක්ක අපෝ මට බැරියෝ ඒකටනං
වත්තෙ ඉඳිල්ලත් නැතිවෙයි මට මොකටද ඔය කෝලම්

වත්තෙ මහත්තයා වෙලත් විඳගෙන මේ නව නින්දා
‍මම මේ හැටි වද විඳින්නෙ නුඹ හට ආදරෙ හින්දා
අපෙ අප්පගෙ ආඩපාල අහන්න මට බැරි හින්දා
මාත්තියා දන්නෙ නැද්ද ගිය සුමානෙ මම බැන්දා

ගායනය - ෆ්‍රෙඩී සිල්වා/ කලාවතී සිනනසාමී
ගී පද - හේමසිරි හල්පිට
-----------------------------------------------------------------------------------------------------------
නීල අහසේ සැඳෑ වලා
ඇ‌දෙනා යාමේ සිහිලේ
ළං වී
ගංගා තීරේ හිඳිමූ තනි වී
ආ‌දර සිහිනේ සුවේ මවා
සීත සෙවනේ මුවා වෙලා

ආ‌දර දෑසේ සිනා සලා
බැඳිලා වෙලිලා මාගේ දෑතේ
කො‌ඳුරා රහසේ කියනා වදනේ මා සිත සැනහී
නිවේ නිවේ.......

මා වෙත යාවී සෙනේ පුදා
හිඳිනූ සැමදා මාගේ ලෝ‌කේ
ළඳුනේ ඔබගේ සුවඳේ රැඳිලා
මා සිත සැනහී නිවේ නිවේ

ගී පද - හේමසිරි හල්පිට
සංගීතය- ලෝ‌රන්ස් ෆනෑන්ඩු
ගායනය - කීර්ති පැස්කුවල්.
-----------------------------------------------------------------------------------------------------------
ලය පාරනා නෙතු දැවු අදුරු රැයේ
ඒ දුක් සුසුම් මගේ සිතුම් ඉවත නොයේ
මා තනිවෙලා ඉකි ගැසු නිසල පැයේ
ගිලිහී ගියා බැදි ආදරේ
දුක යා වුනා අද මා කෙරේ...

පෙර දිනයේ සිත තැවිලා‍
මා හරදා ගිය ලදුනේ
මා මනසේ ගිණි අවුලා
මිරිගුවේ වෙළී සොයම්ද
දිය බිදක් කෙසේ

මල නොතලා රොන් උරලා
වන බඹරා ඉගිළෙනවා
ඒ විලසේ සිත රවටා
මිරිගුවේ වෙලී ලබන්න
හැකිද ආදරේ

ගායනය - සනත් නන්දසිරි
ගී පද - හේමසිරි හල්පිට
සංගීතය - කැලරන්ස් විජේවර්ධන
-----------------------------------------------------------------------------------------------------------
සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ
අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ
හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි තියෙනව මගෙ කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

පච්ච සිරා ලා එතකොට කොච්චි ඇලාලා
ගුෂ්පි රොබාලා එහි මෙහි සොමිය සොයාලා
සැප විඳලා මෂා වෙලා පීචං වීලා
කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා
නළුමන්ට්ස් ලා නිලිමන්ට්ස් ලා කැමර කටා ලා
අලි වංශෙං වැඩ පෙන්නන සුපර් මෑන්ස් ලා
බර පොරවල් ෆොරීන් කකුල් එකට වැටීලා
ටූ තව්සන්ඩ් ත්‍රී තව්සන්ඩ් යයි විසිකරලා
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

ටින්කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන්
පේස්ටු පේස් එනවා නම් වැඩ අතින් පයින්
ඔය සෙවල කිවල වැක් කෙරුවොත් තෙල් වීදාගමින්
ගල් වැලි කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන්
කොත නං කොත කුරුස වලට මගෙ ළඟ ඉඩ නැත
ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත

ගායනය- නිහාල් නෙල්සන්
තනුව - නිහාල් නෙල්සන්
සංගීතය- ලාල් තේනබදු
රචනය- හේමසිරි හල්පිට
-----------------------------------------------------------------------------------------------------------
ආශාවේ ආශාවේ පායා
රෑ සිහින මායාවේ සේයා
දෑසේ සිනා හද සීතල මේ සිත
මී පැණි දේ මට තව ළං වෙලා
මේ යාමේ...

ආශාවේ ආශාවේ පායා
පා වේවී පා වේවී සේයා
ප්‍රේමේ අමා රස වෑහෙන මීවිත
මා දෙතොලේ ඇත මට ළං වෙලා
මේ යාමේ...

මා ඔබ හා අද යාළු වෙලා
ඒ සතුටේ සිත මෝදු වෙලා
මා සනසාලා මා සතපාලා
වෑහීලා හද ආරාධනා...

සීගිරියේ බිතු රූ විලසේ
මා මිතුරේ අපි යාළු වෙලා
ජීවිතයේදී මේ භවයේදී
පෑහීලා අපි ප්‍රේමේ රසේ...

සඳ පාන ලෙසට මේ
හිරු තාප මිහි තලේ
ඇති දාට හිතට ආදර සරණා

ජීවිතයේ රස හා බැඳුණේ
ආදරයේ මුව ගෑ කොතැනේ
සාගරයේදී යා වෙමු පෑහී
ආසාවේ අපි ආදරයේ

ලෝකය මේ සැදුණේ තැනුනේ
ප්‍රේම දයා සෙනෙහේ මතිනේ
යාළුවනේ මේ මා හද යා වූ
ආසාවේ මන ආදරයේ

බැඳි දාට පෙම් ලොවේ
කුළ බේද ලෝකයේ
සිදු වූවෙ කොහෙද
නෑ කිසි සරණා

ගායනය - එච්. ආර්. ජෝතිපාල, ග්‍රේෂන් ආනන්ද
සංගීතය - සරත් ද අල්විස්
ගී පද - හේමසිරි හල්පිට
චිත්‍රපටය - ‘ඔබටයි පි‍්‍රයේ ආදරේ‘
-----------------------------------------------------------------------------------------------------------
නිල් උපුලී මල් කැකුළී
නිල් උපුලී මල් කැකුළී
මගේ සිතේ සැංගී නොයේ
මිහිරාවියේ ආදරේ
නිල් උපුලී මල් කැකුළී
නිල් උපුලී මල් කැකුළී...

මා ජීවිතේ සංවේදනා
පාවිලා යාවී මල් මී වැහේවී
ආරාධනා ඉඟි පෑවාදෝ
දෑසින් කියා පෙම් සුවේ
නිල් උපුලී මල් කැකුළී
නිල් උපුලී මල් කැකුළී...

මාගේ ළයේ පෙම් කල්පනා
නෑවීලා යාවී ඉන් මා සෑහේවී
ආයාචනා ඉඟි පෑවාදෝ
පෑහෙන්න මේ මල් ලොවේ
නිල් උපුලී මල් කැකුළී
නිල් උපුලී මල් කැකුළී

ගායනය - කීර්ති පැස්කුවෙල්
ගී පද - හේමසිරි හල්පිට
සංගීතය - පද්මසිරි පැස්කුවෙල්
-----------------------------------------------------------------------------------------------------------
ප.ලි ....ගීත ගොන්නකින් කීපයක් පමණයි ..විස්තර අන්තර්ජාලයෙන් සහ පුවත් පත් වලින් .අඩුපාඩු කොමෙන්ටු මගින් පුරවන්න .



14 comments:

  1. කොච්චර සිංදු අහනවද රචකයා කව්ද නොදැන.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. අනිවා මචන් ...අනික දැනගන්න ක්‍රමයක් ඇත්තෙත් නෑනේ .

      Delete
  2. බොහොම ස්තුතියි සින්දුවෝ !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන් ...කාලෙකින් බ්ලොග් එක මතක් වුනා .ඒකයි

      Delete
  3. ++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  4. ගොඩක් වටිනව මචං... මේ මනුස්සයට ඇගයීමක් ලැබුණේ මැරුණට පස්සෙ. මම හිතන්නෙ අපේ ගායක ගායිකාවොත් වග කියන්න ඕනේ. ප්‍රසංගයකදී වත් මේ මිනිස්සු ගැන සඳහනක් කරන්නෙ නෑ. කලත් නම විතරයි බොහෝ වෙලාවට. රත්න ශ්‍රී, බන්ධුල නානායක්කාරවසම් ටිකක් හරි දන්නෙ, රේඩියෝ ශෝ, ටීවී ප්‍රෝග්‍රෑම්ස් වලට සම්බන්ධ වුණ නිසයි.

    ReplyDelete
    Replies
    1. මේක අම්මටසිරි ලංකාවනේ මචෝ ...කලාකරෙයෙක්ගේ විස්තරයක් හොයා ගන්න තියෙන අමාරුව දන්නේ ඒවා හොයන මිනිස්සු .ගුවන් විදුලියේ දැන් ඉන්න එවුන් පවා දන්නේ නැ ....මේ මිනිස්සුන්ගේ විස්තර හොයාගන්න ක්‍රමයක් හදන්න බැරි කළා සංගම් තමයි තියෙන්නේ ...මැරුණට පස්සේ අපගේ සාතිශය සංවේගය කියනවා ..එච්චරයි

      Delete
  5. බොහොම අගය කල යුතුයි හේමසිරි හල්පිටයන් පිලිබදව තැබු මේ සටහන ඔවුන් නිර්මාණකරණයේ යෙදුනු සමයේ එදා වාග්මාලාවෙන් කියන්නේ නම්

    මසුරන් වටී ...............!

    නිදි නැති රෑ යාමේ ... සිනමා ගීතයක් එය 1988 අම්මේ ඔබ නිසා සිනමා පටයේ ඇතුළත් වු බවයි මතක ......

    හේමසිරි හල්පිටයන්ගේ ඇතැම් නිර්මාණ නිසා ඔහුව ප්රබුද්ධයන් නොසළකා හැරියත් ඔහු සුප්රබුද්ධයෙක් ....








    ReplyDelete
  6. සරල පොදුවේ හැමට රස විදි හැකි පද .... අපුරු ලිපියක් . සැබෑ ගෞරවයක් ...

    ReplyDelete
  7. "ඉපදී ලොවේ නවාතැන්පලේ"
    ගීතය රචනා කලේ නැසීගිය ප්‍රවීණ ගීත රචක "උපාලි ධනවලවිතානයන්" මෙය හේමසිරි හල්පිටයන්ගේ රචනාවක් ලෙස සදහන් කිරීම නිවැරැදි විය යුතුයි.

    Prasad Fernando

    ReplyDelete
  8. සිංහල ගීත සමූහයේ මා මෙතුමා ගැන පෝස්ටුගත ගත කලේ මේ ලිපිය මේ ආකාරයෙන්ම. ඒ සටහන තොරතුරු ඒ ලෙසම උපුටා ගැනීම කරමින් මේ බ්ලොග් සටහන ලියවී තිබෙනවා.
    මේ මා සක්‍රීයව දායකත්වයක් දෙන "පැරණි සිංහල ගී රසික හවුල" සදහා මුල් පෝස්ටුව ඒ අයුරින්ම නැවත පලකල ලිංකුවයි.

    https://www.facebook.com/groups/paranisinhalageerasikahawula/permalink/2371037359623261/

    ReplyDelete