Tuesday, January 15, 2019

"එන්ඩද මැණිකේ මමත් දිය­ඹටා - නෙළන්න කෙක­ටිය මල්"



ඇය නමින් ලීලා අශෝ­කාය. දැන් ඇගේ වයස අවු­රුදු අනු­එකකි. යොවුන් වියේදි බොහෝ හැඩ­කා­රව සිටි­න්නට ඇතැයි ඈ දෙස බැලු බැල්මට පෙනේ.

“මගේ නම හේවා ගීග­නගේ ලීලා­වතී. මම උපන්නේ එක්ද­හස් නව­සිය විසි හතේ ජූලි හත්වැ­නිදා. මගේ පියා නැති වෙලා තියෙන්නේ අයි­යයි මමයි පුංචි කාලේ. අම්මා නැවත විවාහ වෙලා තියෙ­නවා. අපේ බාප්පා කව­දා­වත් අපට වෙන­ස්ක­මක් කළේ නැහැ. ඔහු කලා­වට බොහෝම කැමැති කෙනෙක්. ඒ නිසා ඔහු අපේ කලා හැකි­යා­වන් දියුණු කර ගැනී­මට උදව් කළා.”

ඇය සිය අතීත මතක අවදි කර­න්නට වූයේ බොහෝ සෙමෙනි. ඇයට දැන් බොහෝ අතීත තොර­තුරු අම­ත­කය. නමුදු බොහෝ වේලා කල්පනා කිරී­මෙන් පසු ඇය සිය අතී­තය සිහි­පත් කරයි.

“මං ඉගෙන ගත්තේ කොළඹ මියු­සි­යස් විද්‍යා­ලයේ. අපේ ගෙවල් තිබුණේ තිඹි­රි­ග­ස්යායේ. එක්ද­හස් නව­සිය හත­ළිස් අටේ නිද­හස් උත්ස­ව­යට ජාතික ගීය ගයන්න අප තෝරා ගත්තා. කරු­ණා­රත්න ගුරු­තු­මිය තමයි අප තෝරා ගත්තේ මර්ස­ලින් ජය­කොඩි පිය­තුමා අපට ගීය පුරුදු කරන්න ආවා මත­කයි. මේ ඉන්නේ මගේ අනෙක් යෙහෙ­ළියෝ.”

ඇය සිය ලිපි­ගො­නු­වෙන් ගන්නා ලද දිනමිණ පුවත් පතක පළවූ ඡායා­රූ­ප­යක් අපට පෙන්ව­න්නීය. ඇගේ ලිපි ගොනුවේ බොහෝ මතක වස්තු ඇත. ඒ අතර ඇයගේ විභාග සහ­තික මෙන්ම පාසල් කාලයේ ඇය විසින් අඳින ලද සිතු­වම් ආදිය ද වේ.

“අපේ අම්මාට පැරණි තොර­තුරු හොඳට මත­කයි. නමුත් මේ මොහොතේ සිදු­වන දේ මොහො­ත­කින් අම­ත­කයි. මට මත­කයි අපි පුංචි කාලේ ගෙදර සර්පි­නා­වක් තිබුණා. අම්මා ඒ දව­ස්වල අම්මගේ පාසල් ජීවි­තය වගේම ඇගේ කලා ජීවි­තය ගැන තොර­තුරු කිය­නවා. අපි දැක්කේ හැම­දාම අපේ අම්මා සතු­ටින් ඉන්නවා.” ලීලාගේ පුතු රීසා පව­සන්නේ තම මව දෙස බල­මිනි.

“මගේ අම්මා ජොස­ලින් පෙරේරා. තාත්තා හේවා ගීග­නගේ එන්දෝ­රිස්. මියු­සි­සි­යස් විද්‍යා­ල­යෙන් පසුව මම මර­දාන මැදි විදු­හලේ ඉගෙන ගත්තා. එහිදි මම චිත්‍ර අදින්න, රවි­කි­ඤ්ඤාව, සර්පි­නාව වාද­නය කරන්න ඉගෙන ගත්තා. එම විදු­හලේ චිත්‍ර කලා ගුරු­ව­රයා වුණේ එච්. පී. චාල්ස් මහ­ත්තයා. මගේ මාමා කෙනෙක් තමයි ඒ කාලේ හෙළ හවුලේ සාමා­ජි­ක­යෙකු වුණු වෙ. ම පෙරේරා.”

ලීලා මහ­ත්මිය අතීත තොර­තුරු සිහි­පත් කරන අතරේ ඇගේ පුතු ඇයට යම් යම් සිදු­වීම් සිහි­පත් කරයි. ඇයගේ ගායන දිවිය ඇරැ­ඹියේ කෙසේ­දැයි අපි විම­සීමු.

ඒ අතී­තය සිහි­පත් කරන විට ඇගේ වත ප්‍රභා­මත් විය.

“මම ඉස්කෝ­ලෙත් සින්දු කිව්වා. ගුවන් විදු­ලියේ සින්දු කියන්න ගියා. දැන් ගුවන් විදු­ලිය තියෙන තැන නෙ‍ෙමයි එදා ගුවන් විදු­ලිය තිබුණේ. අප හිටිය තඹි­රි­ග­ස්යායේ ගේ ඉස්ස­ර­හින් නිතර ගුවන් විදු­ලි­යට යන එන ශිල්පීන් යනවා. ඒකාලේ ඇල්බට් පෙරේරා ගුවන් විදු­ලි­යට එන්නේ වාදන ශීල්පි­යෙක් හැටි­යට. අපි ගයන විට ඔහු වාද­නය කර­නවා. සම­හර දව­ස්ව­ලට පප්පා මාව ඇල්බට් පෙරේ­රාගේ නිවෙ­සට එක්ක­ගෙන යනවා.

ඒ ගාය­නය පුරුදු වෙන්න. සර්පි­නාව වාද­නය කර­න්නත් කෙනෙක් යනවා. එහෙම පුරුදු වෙලා තමයි අපි ගායනා කෙරුවේ. ඇල්බට් පෙරේරා පසුව අම­ර­දේව වුණා. මට මත­කයි ඔහු ඒ කාලේ හැම­දාම පුහුණු වීම් වලට එන්නේ ප්‍රමාද වෙලා. ඒ නිසා තමයි අපි ඔහුගේ නිවෙ­සට යන්නේ. ඒ කාලේ ඔහු ගායනා කළේ නැහැ. හේවා­ගී­ග­නගේ ලීලා­වති වුණු මගේ නම ගායන ලෝක­යට හරි­යන ලෙසින් ලීලා අශෝකා කියලා වෙනස් කෙරුවා.”

ලීලා අශෝකා ගී ගය­න්නීය. ඇයට යුග ගී ගැයි­මට ද ඒ අතර අව­ස්ථාව ලැබෙ­න්නේය. ඒ සුනිල් ශාන්ත සම­ඟය. එමෙන්ම ඇයට ආනන්ද සම­ර­කෝන් සම­ඟද යුග ගී ගය­න්නට ලැබිණි. අවා­ස­නාව නම් මේ ගී අද අස­න්නට නොලැ­බී­මය. සුනිල් ශාන්ත යනු ගුවන් විදු­ලියේ එක්තරා යුග­යකි. නමුදු ඔහුට ගුවන් විදු­ලියේ රැකි­යාව අහිමි වුයේය.

“ඒ කාලේ ඉන්දි­යා­වෙන් රතන් ජන්කර් ඇවිල්ලා ගුවන් විදු­ලියේ ශිල්පින් ශ්‍රේණි­ගත කෙරුවා. මේ පරි­ක්ෂ­ණ­යට සුනිල් ශාන්ත මහ­ත්මයා ගියේ නැහැ. ඔහු කිව්වේ ඔහුට වඩා අඩු සුදු­සු­කම් තියෙන කෙනෙක් ගාවට යන්නේ නැහැ කියලා. අපි පරි­ක්ෂ­ණ­යට ගියා. මම ගුවන් විදු­ලියේ බී ශ්‍රේණියේ ගායි­කා­වක්. මට මත­කයි සුනිල් ශාන්ත මහ­ත්මයා අපි පාරේ යන­කොට දැක්කොත් වාහ­නය නතර කර­නවා. නමුත් කව­දා­වත් ඔහු ගැහැනු අය ඉස්ස­ර­හින් නග්ග ගත්තේ නැහැ. පිටි පස්සේ අසු­නට තමයි නග්ගවා ගත්තේ. ඒ වගේ තමයි ඔහු කිසිම කෙනෙක් එක්ක ආවාට ගියාට කතා කළේ නැහැ. මට ඔහුගේ යුග ගී වලට සහාය වීමට ලැබුණා. සම­හර ගීවල පේළි­යයි දෙකයි ගයන්න ලැබුණේ. මෙවන් පිටි­සරේ ගීතයේ නම් පේළි ගොඩක් ගයන්න තිබුණා. ඒ කාලේ මම ගුවන් විදු­ලියේ ගී බොහෝ­ම­යක් ගැයුවා. විවි­යන් ද සිල්වා බොර­ලැස්ස මගේ පාසල් යෙහෙ­ළි­යක්. ඒ කාලේ මම ගුවන් විදු­ලි­යට ගවුම් ඇඳ­ගෙන යන්නේ. සම­හර දව­ස්ව­ලට සාරි ඇද­ගෙන ගියා මත­කයි.”

ගුවන් විදු­ලිය ගැන පරැණි ගී ගැන සිහි­පත් කරන විට ඇයට සතු­ටුය. ඇය ගී මුමු­නයි. ගුවන් විදු­ලි­යට ගිය තරුණ ලීලාට ගුරු පත්වී­මක් ලැබෙ­න්නේය. ඇය කලක් මර­දානේ පාස­ලක ඉගැ­න්නු­වාය. ඒ පාස­ල්වල නම් කීමට දැන් ඇයට හරි හැටිද මතක නැත.

කෙසේ වුවත් පළමු නිද­හස් උත්ස­ව­යේදී ජාතික ගීය ගායනා කළ; එකල සංගීත ක්ෂේතයේ ප්‍රවී­ණ­යන් සමඟ යුග ගී ගැයූ ඇයට ඒ සිය­ල්ලෙන් වෙන්වී­මට සිදු­වන්නේ විවා­හ­යත් සම­ඟය.

“මම කෙටි කාල­යක් තැපැල් කන්තෝ­රුවේ සේවය කළා. ඒ කාලේ තැපැල් කන්තො­රු­වට ඔහු එනවා ලියුම් විදුලි පණී­වුඩ ආදිය යවන්න. ඔහු සේවය කළේ රජයේ වෙළෙද ආය­ත­න­යක. ඔහු මුස්ලිම් ජාති­ක­යෙක්. ඔහුගේ නම එම්. ඒ. කම­ල්ඩීන්. අපේ සම්බ­න්ධ­යට කවු­රු­වත් කැමති වුණේ නැහැ. නමුත් අපි විවාහ වුණා. මම පන්සල් ගියා ඔහු පල්ලි ගියා. මට පුතාලා තුන්දෙ­නෙක් ඉන්නවා.

එයා බොහෝම හොඳට අපට සැල­කුවා. නමුත් මම ගුව­න්වි­දු­ලි­යට යන­වට ගීත ගායනා කර­න­වාට ඔහු තැමති වුණේ නැහැ. ඔහු කිව්වේ මගේ ගී ගුවන් විදු­ලියේ ප්‍රචා­රය කරන්න එපා කියලා ලියු­මක් දෙන්න කියලා. මම ඒ විදි­හට කෙරුවා. ඒකයි මගේ ගී ගුවන් විදු­ලියේ නැත්තේ. නමුත් යුග ගී එහෙම්ම තියෙ­නවා.” ඇගේ හඬ දුක්බ­රය. ගී ගාය­න­යෙන් ඈත් වීම ඇයට දුකක් වන්නට ඇති බව අපට හැඟණි. ඇය පරණ තෝම්බු අතරේ තිබු චිත්‍ර එකින් එක ඇද අපට පෙන්ව­න්නට වුවා. ඒ චිත්‍ර හරි අපූ­රුය. ඒ චිත්‍ර අතර ඇය සමත් වූ චිත්‍ර, සංගීත පරි­ක්ෂ­ණ­වල සහ­තික පත් ද විය. ඇය මේ සියල්ල ඉතා ඕනෑ­ක­මින් ආරක්ෂා කර ගෙන සිටි­න්නීය.

“අම්මා හැම­දේම හරි පරි­ස්ස­මට එකතු කර­නවා. මේ තියෙන්නේ අම්මා තරුණ කාලේ ජේ. ඩී පෙරේරා කියන චිත්‍ර ශිල්පියා ඇය සිතු­ව­මට නගපු එකක්. මේ චිත්‍රය කලා­භ­වනේ තියෙ­නවා. ඒකෙන් ගත්ත රූප­යක් තමයි මේ තියෙන්නේ. අම්මා හැම­දාම බොහෝම ස්වාධින චරි­ත­යක්. මම හුඟක් උත්සාහ කළා අම්මාගේ ගීත හොයන්න. නමුත් සුනිල් ශාන්ත මහ­ත්මයා එක්ක ගැයූ ගීත අත­රින් හත­රක් විත­රයි තියෙන්නේ. සරත් ද අල්විස් කියන්නේ මගෙ මාමා. ඔහු මගේ අම්මගෙ බාල මල්ලි. අද වෙන කොට බොහෝ දෙනා දන්නේ නැහැ අම්මා ජීවත්ව සිටින බව.”

රීසා පව­සන්නේ දුකෙනි. සුනිල් ශාන්ත­යන්ගේ සිය­වැනි සමරු උලෙ­ළට ද ලීලා අශෝකා මහ­ත්මි­යට සහ­භාගි වීමට අව­ස්ථාව ලැබිණි. නමුදු ඇය ගැන සමා­ජය කතා කරන්නේ නැති තරම්ය. මීට වසර දහ­ප­හ­ළො­ව­කට පෙර ඇය හා කතා ක‍ළේ නම් අතීත ගුවන් විදු­ලිය හා එහි ගත කළ ජීවි­තය මෙන්ම නිවේ­දි­කා­වන් නිවේ­ද­ක­යන් ගායන ශීල්පීන් ගැන වටිනා කතා බහක නිරත වන්නට ඉඩ තිබිණී.

අවු­රුදු අසූව අසූ පහේදි පමණ ඇය විසින් කාන්සිය මඟ­හ­රවා ගැනී­මට ඇඳි සිතු­වම් මෙන්ම මැහුම් නිර්මාණ ආදිය ඇය එකින් එක පෙන්වයි. පාසල් වියේදි ප්‍රද­ර්ශ­ණ­ව­ලට තිය­න්නට ඇදි සිතු­වම් ද ඒ අතර විය. හෝරා තුන­හ­ත­රක් ඇය හා ගත­ක­ර­මින් ගෙවූ කාලය මන­රම්ය. තවත් ඇය නොවෙ­හෙසා අපි ඇයට සමු දුනිමු. ඇය ඒ පැය කිහි­ප­යම අපට අප නොදන්නා අතී­ත­යක් සිහි­පත් කර දුන්නාය.

“කෑම සොය­න්නට මේ පැටි­ය­න් හට ඈත වනේ සැරුවා...”

ඒ ගෙවුණු කාලය පුරා ඇය මුමු­නන ලද ගී පද­යයි. තවත් විටෙක‍,

“එන්ඩද මැණිකේ මමත් දිය­ඹටා

නෙළන්න කෙක­ටිය මල්...” යනු­වෙන් ගුරු දෙවි සුනිල් ශාන්ත­යන් ගයන ගීයක පද වැලක් මුමු­න­න්නිය. වයස ගෙවී ගිය ද ඇගේ ගී හඬ තව­මත් සොඳු­රුය.

ඡායා­රූප - තුෂාර ප්‍රනාන්දු
-------------------------------------------------------------------------------------------
මෙවන් පිටිසරේ මේ දුගී පැලේ 
වෙසෙන මිහිරි සොඳුර ඔබයි 
කැලෑ මල මගේ...

ඔබෙන් මිදී මටත් සැපක් කොයිද කුමාරී 
කැලෑ මලේ ඔබයි මගේ පරෙයි කිරිල්ලි 
මගේ පෙම් ලොවේ පහන ඔබ මැ වෙති ළඳේ 
සදා ලැඟුම් ගනිම් ඉතින් ඔබේ තුරුල්ලේ...

ඔබේ තුරුල්ලේ ඔබේ තුරුල්ලේ
සදා ලැඟුම් ගනිම් ඉතින් ඔබේ තුරුල්ලේ...

සිහින් ඉඟට රෝස පාට සාරියක් වෙළා 
ඊට කැපෙන සේද හැට්ටයක් ද අන්දවා 
සුවඳ තෙල් දමා සමන් කැකුළු වළලු ලා
බෙදා වරල බැන්ද කලට හහ් හ හා හහා...

හහ් හ හා හහා... හහ් හ හා හහා...
බෙදා වරල බැන්ද කලට හහ් හ හා හහා...

හීන් වළලු දෙකක් කොමල අත් දෙකේ රුවා 
දෙපා පියුම් සදා රිදී සළඹ පළඳවා 
නළල මැදට දී කොකුම් තිලකයක් අගේ 
සරා ගතොත් සරස්වතී වගේ පෙනේවි...

වගේ පෙනේවී වගේ පෙනේවී
සරා ගතොත් සරස්වතී වගේ පෙනේවි...

ගායනය -සුනිල් සාන්ත - ලීලා අසෝකා
ගී පද - හියුබත් දිසානායක 
සංගීතය - සුනිල් සාන්ත

-------------------------------------------------------------------------
උපුටා ගත්තේ දිනමිණ පුවත් පතින් .මේ විස්තර අන්තර් ජලයෙන් ඉවත් වෙන නිසා මෙතැනට ගෙනාවා .

10 comments:

  1. ++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  2. වටිනා තොරතුරක් පලකලාට ස්තුතියි ඇනෝ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .ගොඩාක් වටිනා ලිපි අන්තර් ජාලයෙන් ඉවත් වෙලා දැන්

      Delete
  3. අගය කරමි ඔබේ උත්සහයට ..............

    නන්දා මාලිනි නොදන්නා රටේ ඇය ගැන දැනගැන්ම කුමන කතාද ?

    ඇගේ හඩ මමත් හදුනන්නේ සුනිල් සාන්තගේ ගීයෙන් පමණි ...

    ReplyDelete
  4. සුනිල් ශාන්ත , ආන්නද සමරකෝන්, ශ්‍රී වන්ද්‍රරත්න මානවසිංහ , මහගම සේකර, ලාංකීය ගීත සාහිත්‍යයේ මුදුන් මල්කඩ වැනි අයයි . මෙහි සඳහන් ඇල්බටි පෙරේරා යනු කවුදැයි වත්මනක් පරපුරට අමුතුවෙන් කියා දිය යුතුය.

    ReplyDelete
  5. කදිම සටහනක්. "එන්නද මැණිකේ මමත් දියඹටා" ගීතය  ආනන්ද සමරකෝන් ශූරින් ලියා ගැයුවක් ලෙසයි මට නම් මතක.

    ReplyDelete
  6. ඉතා වටිනා ලිපියක්..නමුත් එන්ඩද මැණිකේ මමත් දියඹට ,,,ගීතය ආනන්ද සමරකෝන් ශූරීන්ගේ ලෙස නිවැරදි වියයුතුයි...

    ReplyDelete