Sunday, June 25, 2017

නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන දයාව වෑහෙනවා..



70 දශකයේ මෙරට ගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගයේ, සුභාවිත ගීතයෙන් කලාකෙත පෝෂණය කරන්නට සිය නිර්මාණ දායකත්වය සැපයූ ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා, සිය නිර්මාණ ඔස්සේ මෙරට ගීත ශ්‍රාවකයින්ගේ රුචිකත්වය වර්ධනයට මහඟු මෙහෙවරක් ඉටුකළ ගීත රචකයෙකි.

පණ්ඩිත් අමරදේවයන්ගේ සිට වර්තමාන නව පරපුර දක්වාම සිය නිර්මාණ තිළිණ කරමින් ගීත සාහිත්‍යයේ වර්ධනයට ඔහු කළ මෙහෙවර අමිලය.

සුනිල් සරත් පෙරේරා ගීත රචනා කලාවට පිවිස ඇත්තේ ගුවන් විදුලියේ ළමා මණ්ඩපයෙනි. ඔහු සිය ප්‍රථම ගීතය රචනා කර ඇත්තේ කරුණාරත්න අබේසේකර ගේ ‘මිණි කිංකිණි’ වැඩසටහනටය. ගීතය ගායනා කර ඇත්තේ ලාලිනී සේමසිරිය.ගී තනු නිර්මාණය තිලකසිරි ප්‍රනාන්දුගේය.

ගීත රචකයෙකු වශයෙන් නිර්මාණ ඔස්සේ කළ මෙහෙවරින් නොනැවතී ඔහු රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්ව සිටි අවදියේ ගීතය රූපවාහිනි මාධ්‍යයට රැගෙන ඒමේ සුවිශේෂිතා හඳුන්වා දෙමින් ‘මනෝහාරී’ ප්‍රාසාංගික වැඩසටහන හඳුන්වා දුන්නේය.

”මනෝහාරි ප්‍රාසාංගික වැඩසටහන මුල් කාලයේ හඳුන්වා දුන්නේ ගීත සාහිත්‍යයට ප්‍රාසාංගික මුහුණුවරක් එක්කරමින්. එදායින් පස්සේ අද වනතුරු එය අනුකරණය කළා මිස ඉන් එහා ගිය නිර්මාණාත්මක දෙයක් කරන්න හිතුවේ නෑ. එදා ‘මනෝහරි’ කළේ මාධ්‍ය අවකාශය තුළ කරපු විශේෂිත අත්දැකීමක් විදියට. ජනපි‍්‍රය, විදග්ධ සහ ජන සංස්කෘතික තුන අතර ගොඩනඟපු පාලමක් විදියට මෙය හඳුන්වා දෙන්න පුළුවන්.

’පෙර දිනයක මා පෙම් කළ යුවතිය’, ‘අනෝතප්ත විල’, ‘මේ මහ කන්ද’, ‘කන්දෙන් ලන්දෙන්’, ‘නිල්ල මැදින් රැල්ල දිලෙන’, ‘පියාසර කර ආමි’, ‘සනරාමර හිමි’ ඇතුළු ගීත රැසක් පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් රචනා කළේය. ‘මගේ රටට දළදා හිමි සරණයි’, ‘ඈත එපිට ගම්මානෙන්’, ‘යශෝදරා’, ‘සැන්දෑ කළුවර’, ‘සිනා නඟන්නී’, ‘නවාතැනින් ඈ යනවා’ සංගීත් නිපුන් සනත් නන්දසිරි වෙනුවෙන් රචනා විය.

මේ අතර සෝමතිලක ජයමහ ගයන ‘මහා වරුසාවට පසු’, ‘ඔබ ඇසේ මුදු පහස’, ‘ඔබ දැකුමෙන් යළි’, ‘ගලා යයි ගඟ’, දයාරත්න රණතුංග ගයන ‘සැන්දෑ අහසේ’, ‘මේ අපේ මාතෘ භූමියයි’, නීලා වික්‍රමසිංහ ගයන ‘උදාවුණ හිරු’, ගුණදාස කපුගේ ගයන ‘පසක් කොට ඇති’ ආදියද සුනිල් සරත් පෙරේරා අතින් රචනා වූ ඒවාය.

සුනිල් සරත් පෙරේරා පරිසර සාහිත්‍යයටත් බෙහෙවින් ආදරය කරන කලාකරුවෙකි. ‘සොබා පරිසර සඟරාව‘ ඔහු අතින් නිමවූවකි. ‘ගීත පද රචනා විමර්ශන’, ‘විද්‍යුත් මාධ්‍ය උපදේශන විග්‍රහය’ වැනි ග්‍රන්ථ කිහිපයක්ද රචනා කර ඇති ඔහු කලක් පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වශයෙන්ද, රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් ද, ශි‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති වශයෙන්ද කටයුතු කළ අත්දැකීම් සපිරි පරිපාලකවරයෙකි.

”අද බොහෝ වෙලාවට අපට ඇසෙන්නේ හරසුන් බොළඳ ගී පද. විශේෂයෙන් ඒවායේ කිසිදු අර්ථ රසයක් නෑ. ගීතය කියන්නේ සාමූහික ප්‍රයත්නයක්. ඒ වගේම ගීතය සාහිත්‍ය අංගයක්. අදත් අපි අමරදේවයන්ගේ, සුනිල් එදිරිසිංහගේ ගීත රස විඳින්නේ ඒ සාහිත්‍ය අංගය ගීතවල නොමඳව තිබෙන නිසා. ගීතය කියන සාමූහික කලා මාධ්‍යය සංගීතඥයාගෙන් රසවත් වෙනවා. සාහිත්‍යය සදාකාලික වෙනවා. අද ඉන්නේ ගායකයෝ නොවෙයි ඝෝෂකයෝ. අපට ඇහෙන්නේ අරුත් සුන් ඝෝෂාවක් විතරයි.


(උ .ගැනීමකි )

♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫

ඔබ මා සමඟ - අතිනත ගන්නා දවස
මේ මහ කන්ද - බැලුවා හිඳ ගම් සිරස

ඔබ මා අතැර - වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා - හොරැහින් මදෙස

වෑ දිය නිල්ල - සුදු නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහුබඳින කිරලා - හඬා වැටෙයි

නොකියූ රහස හද උතුරා - වාං දමයි
මතකය සුවඳ - තවමත් මා හදට දැනෙයි


පද - සුනිල් සරත් පෙරේරා
ගායනය සහ සංගීතය – විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේවයන්
♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫
මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි

නුඹ සඳක් වෙලා පායා
මට එළිය වුණු වගයි
නුඹ සඳක් සේම බැස යයි
මට ඉතිරි කළුවරයි

මගෙ මතක එපමණයි
සඳ එළිය අයිති ලොවටයි
සඳ අයිති අහසටයි
පිණි කඳුළු බිංදු විතරක්
මේ බිමට වැටෙනු ඇයි
මට ඉතිරි එපමණයි


ගායනය - සුනිල් එදිරිසිංහ
ගේය පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫

මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්‌කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි

ඇළ දොළ පාමුල ගොළුවුන ගීයකි
අප හදවත් බැඳි සොඳුරු සෙනේ
අද නොදකින ඔබ හෙට දකිනාතුරු
මඟ බලමින් මා සිත ලතැවේ

ඔබ මට හමුවුන මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවඳයි
විටකදි නැගුනත් සැක බිය ශෝකය
පිවිතුරු සෙනෙහස හද උතුරයි

පදමාලාව - සුනිල් සරත් පෙරේරා
තනුව - රෝහණ වීරසිංහ
ගායනය - සෝමතිලක ජයමහ
♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫


සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්
කාලය කවුලු දොරින් මිය යනවා
සැන්දෑ අහසේ........
ඈත අතීතෙන් පියවර නගමින්
කණ වැල අල්ලන් කවුදෝ එනවා
බලාපොරොත්තුව ලයට තුරුල් වී
ඈ එන පෙර මග බලා සිටිනවා
සැන්දෑ අහසේ.....

දුකට මිහිර දෙන පාලුව තනිකම
මා වට දැවටී කඳුළු සලනවා
අදත් එදා මෙන් නුපුරුදු සුවඳක්
ඒ අතරේ මා වෙතට ඇදෙනවා


ගායනය - දයාරත්න රණතුංග
♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫

ඈත එපිට ගම්මානෙන් නැග එන
බටලී හඬ අතරේ..
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ..//

මලානිකව හද එලිය ගලා එන
අම්බලමක හෙවනේ..//
බලාහිදිමි ඔබ හිදින විමන් දොර
දැල්වෙන එලිය බදේ..

ඈත එපිට ගම්මානෙන්...

වේදනාව නෙතු අගට ගලාලා
ඉකිලන නිහඬ රැයේ..//
නීල නුවන් තරු කැට බොදවෙනවා
කාටත් හොර රහසේ..

ඈත එපිට ගම්මානෙන්...

ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : සුනිල් සරත් පෙරේරා
♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫


කන්දෙන් ලන්දෙන් බැස දිවැ එන්නේ..
මා දං බෝවිටියා රස දන්නේ..
නින්දේ දුටු සිහිනය එලි වන්නේ..
සැන්දෑ කුමරිය ගඟට බසින්නේ..

පුරා උදුල ඇගෙ වත සොමි උන්දා
සරා සදක් වේ සිත බැදි ලොල්ලා
නුරා බසක් වී හද එලි දල්ලා
පුරා බඳුන් වී සතුට ගෙනැල්ලා..

කන්දෙන් ලන්දෙන්...

නවම් මහේ මගෙ පැලට වඩින්නේ
උවම් මොටද ඉන් දුක් දුරුවන්නේ..
දෑත සුරල් ගී රබන් වයන්නේ
ගීත සවන් වී බඳුන් පිරෙන්නේ..

කන්දෙන් ලන්දෙන්...

ගායනය : පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය : සුනිල් සරත් පෙරේරා
♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫

පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා...
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා..//

නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා..//
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා

හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා..//
නෙත් අදන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකි යනවා..

එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පූදිනවා..//
නොකා නොබී දුක් වින්ද අතීතය
යළි මට සිහිවෙනවා..

පෙර දිනයක මා...

ගායනය  : පණ්ඩිත් ඩ්බ්.ඩී. අමරදේව
පද රචනය : සුනිල් සරත් පෙරේරා
සංගීතය : පණ්ඩිත් ඩ්බ්.ඩී. අමරදේව
♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫

ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිද මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා...
ඇය යන්න ගියා මැකිලා...
පිණි කඳුලක් මල්පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කදුවැටි අතරේ
සඳ එලියේ මං පෙත පාදා
රහසක් සඟවා ගොළුවූ හදකින්
යන්න ගියා මැකිලා

ඇය යන්න ගියා මැකිලා...

යලි කවදාවත් හමුනොවෙනා බව..
මද පවණක් හිස අතගා කීවද..
අදහාගන්නට නොහැකිය කිසිදින..
ඇය යලි නොයෙතැයි ගිම්හානෙට පෙර..

ඇය යන්න ගියා මැකිලා...

ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : සුනිල් සරත් පෙරේරා
සංගීතය : එච් එම් ජයවර්ධන
♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫


පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..
කෙලෙස් නේරංජාව තරණය
කලේ අප මහ බෝ සතා..
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..

නිසල බෝ මැඬ වෙසෙන අතරෙදි
සසල කෙරුමට අචල හිමි සිතු
නොයෙක් වෙස් පෑ සිතුම් සේනා
ගෙවා ඇත රුදු මාර දෙව් පුතු..

පසක් කොට ඇති...

පෙරුම් දම් බලයෙන් මරුන් බිඳ
බවුන් වඩවා බුදු වු ලොව්තුරු
සහන් එළියක් ලෙසින් මතුවින
නසා තිලොවක අවිදු ගණඳුරු...

පසක් කොට ඇති...

ගායනය : ගුණදාස කපුගේ
සංගීතය : ගුණදාස කපුගේ
පද රචනය : සුනිල් සරත් පෙරේරා
♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫
ප.ලි.
(වැරදි අඩුපාඩු පෙන්වා දෙන්නෝ .ගොඩක් දවසකින් ලියන්න බැරි වුනා .කම්මැලි වෙලා වාගේ .මෙතුමාගේ ඔබ කැමති ගීත සඳහන් කරන්න .පොස්ටුවට එක් කරන්නම් .)

18 comments:

  1. ජයවේවා සින්දු ඇනෝ...

    එතුමාට උපහාරයක්ම වේවා !!!

    ReplyDelete
    Replies
    1. උබ දැකපු කල් කෝල් එකක් දීපන්කො

      Delete
    2. ස්තුතියි මචෝ .....!!!

      Delete
  2. එතුමා පිළිබඳව ලියැවුණු වටිනා ලිපියක්. ස්තූතියි.

    ජයවේවා!!!

    ReplyDelete
  3. වොහ්.. පට්ට!!!

    සංගීතේ ගායනේ නැතුව වචන ටික කියාගෙන ගියත් ඇති බං..

    ReplyDelete
    Replies
    1. ගේය පද රචකයින්ගේ අවසන් පුරුක් කීපය අතරින් එක් පුරුකක් මම හිතන්නේ මචෝ ,,

      Delete
  4. එල ද බ්‍රා ...
    සමහර සිංදුවල පද මතක නැහැ සෙට් උන වෙලාවක සින්දුවක් කියන්න ඒ වෙලාවට උබගේ මේ පොස්ට් ගොඩක් වටිනවා

    ReplyDelete
  5. අද අපිට වෙලා තියෙන්නේ මේ සින්දු ටික මත යැපෙන්න් අතමයි මොකද ඉස්සරහට සින්දු නෙවේ ලියන්නේ යාන් හෑලි ඒවායේ විරිත් නෑ එළිසමය නෑ උදාහරණයකට

    මම අද උදේට කෑවා පාන්
    හවසට මම අද කන්නේ කේක් .... ආ.. ආ...

    ReplyDelete
    Replies
    1. ඔයා එනකන් මම හිටියා ..
      ඔයා අරුගේ කාරෙකට නැග්ගා ..
      කමක් නැහැ එනගමන් මෙතනින් බහින්න ...
      මම ගෙදරට පරිස්සමට ඇරලානම්

      Delete
    2. //අද අපිට වෙලා තියෙන්නේ මේ සින්දු ටික මත යැපෙන්න//++++++++++++++++++++++++++++

      Delete
  6. Replies
    1. කට උත්තරත් නැති වෙලා මචෝ ඉන්නේ ....

      Delete
  7. නියමයි... සුනිල් සරත් පෙරේරා නිතර සහභාගී වන 'සඳ ගිරි මුදුන' බලනවා. බොහෝ දෙවල් ඉගෙන ගන්න පුළුවන් වැඩසටහනක්. ගීත රචකයන් එක්ක පිළිසඳර තියන වැඩසටහන් වලට මම වැඩියෙන්ම කැමති. සින්දු ගොඩේ රත්න ශ්‍රී ලියපු එකකුත් තියනවා :)

    ඇය යන්න ගියා මැකිලා කියන්නෙ මම මෑත කාලෙ අහපු ලස්සනම සින්දුවක්.

    ReplyDelete
  8. ආයෙ හැරිල බලල ඇදක් කුදක් කියන්න නැති රත්තරන් වටින සින්දු ටිකක්....

    ReplyDelete