Sunday, May 31, 2015

ඇය යන්න ගියා මැකිලා ...



                    අපෙන් සමුගත් ආදරණීය කලාකාරණිය , සෝමලතා සුබසිංහ මැතිණිය මෙරට කළාවේ උන්නතිය සඳහා කළා වූ මෙහෙය අපමණය.වේදිකා නාට්‍ය රචිකාවියක්, අධ්‍යක්ෂකවරියක් හා නාට්‍ය ගුරුවරියක්ද වන ඇය ළමයින් වෙනුවෙන් විශාල නාට්‍ය ප්‍රමාණයක් නිර්මාණය කර ඇත.ඇය සිය රංගන දිවියට පා තබන්නේ පේරාදෙණිය සරසවියේ දී සරච්චන්ද්‍රයන්ගේ ‘රත්තරන්' නාට්‍යයේ චරිතයකට පණ පොවමිනි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘එලොව ගිහින් මෙලොව ආවා' නාට්‍යයේ රගපෑමෙන් ඇය ජනප්‍රියත්වයට පත්වූ අතර මූදු පුත්තු, නරිබෑණා,ලිය තඹරා, හිරු නැති ලොව, අන්ගාරා ගඟ ගලා බසී  වැනි නාට්‍ය තුළින් ඇය රංගන කෞෂල්‍යයන් විදහා පෑමට සමත් වූවාය. ගුණසේන ගලප්පත්ති , හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන, රංජිත් ධර්මකීර්ති ආදි ප්‍රවීනයන්ගේ නාට්‍ය බොහොමයක ප්‍රධාන චරිත රැසක් ඇයගේ රංගනයෙන් හැඩ විය.ඇය අවසන් වරට රඟපානු ලැබූයේ සිය දියණිය වූ කෞෂල්යා ප්‍රනාන්දුගේ ‘සොඳනළු මරණය' නාට්‍යයේය. නාට්‍යය නිෂ්පාදිකාවක් ලෙස විකෘති ,මවකගේ සංග්‍රාමය ,යදම් වැනි නාට්‍යය නිෂ්පාදනය කල අතර ඇය‍ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් 'ළමා හා යොවුන් රංග පීඨය' නමින් නාට්‍ය පුහුණු පාසලක් ආරම්භ කර ළමා මනසට ගැලපෙන අපූරු නිර්මාණ බිහි කළ ඇය හිම කුමාරි, ගමරාළ දිව්‍ය ලෝකේ ගිය හැටි, වලස් පවුල, පුංචි අපට දැන් තේරෙයි වැනි නාට්‍ය නිර්මාණය කර සම්මානයටද පාත්‍ර වූවාය.චිත්‍රපට ක්ෂේත්‍රයේ ද ඇය සිය රංගන දක්ෂතා මුදා හල අතර ඒ අතර තිස්ස අබේසේකරයන්ගේ මහගෙදර චිත්‍රපටයේ මලවින්න වලව්වේ ළමාතැණි ,මඩොල්දූවේ උපාලි ගිනිවැල්ලගේ නපුරු කුඩම්මා ද ඇයම විය.සිනමාව තුළ මඩොල් දූව, මහගෙදර, විරාගය, මේ මගේ සඳයි, සුදු කළුවර, තිලක හා තිලකා සහ සිරිබෝ අයියා වැනි චිත‍්‍රපට ගණනාවක සිය රංගන කුසලතාව විදහා දැක්වීමට සමත් වූ ඇය , සිංහල නාට්‍ය කලාවෙි ප්‍රබල කාන්තා නියෝජනයක් වූ සෝමලතා සුබසිංහ නාට්‍ය ‍වෙිදිනිය සිය දිවි රග මඩලින් සමු ගත්තාය.ඇය ජීවන රඟහලෙන් නික්ම යන මේ මොහොතේ ඇයට උපහාර පිණිස මෙම කෙටි සටහන තබමි .ඔබට නිවන් සුව !!!!


විභාගෙ විභාගෙ..

විභාගෙ විභාගෙ
එහෙ බැලුවත් විභාගෙ
මෙහෙ බැලුවත් විභාගෙ
විභාගෙ තමයි අපේ අභාගේ ....

විහිලුවකට හිනාවකට විනෝදෙකට වෙන වැඩකට ....
නෑ වෙලාව විභාගේ...
එකේ ඉඳන් දොලහ දක්වා ලොකු පොඩි හැම පන්තියකම
ඇතෙක් බරට විභාගේ ...
ඉරක් හඳක් ගහක් කොලක් මනුස්සයෙක් පෙනෙන්නෙ නැහැ
ඔහු සැප දුක අහන්න් නැහැ
කන්නෙ බොන්නෙ අඳින්නෙ නැහැ
විභාගේ ................

අම්ම තාත්තා අයිය අක්කා නංගි මල්ලි විතරක් යෑ
නැන්දා මාම බාප්පා මහප්පා යහලුවො යෙහෙලියෝ අහල පහල අය
කොහොමද ලමයෝ විභාගේ?
තව සුමානෙකින් ප්‍රතිපල එයි
කොහොමද විභාගෙ ප්‍රතිපල ?
ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල
බස් එක කෝච්චියේ පාර තොටේ
යන එන හැම තැන කොහොමද ප්‍රතිපල
විභාගෙ ප්‍රතිපල වසංගතේ

ඒ විතරක් යෑ
විද්‍යා විශයද කලාවද?
කලාව කිව්වොත් මලා වගේ
චී චී චී ලැජ්ජ නැද්ද?
අපේ එකෙක් කලාව කරන්න
කවුද උබ දිහා බලන්නේ
විද්‍යාවයි ගනන් ගන්නේ
අඩු ගනනේ වානිජ වත්
ඉතින් පුතේ නම්බුවක් නෙ
ෆේල් උනත් විද්දියාවෙන් විභාගේ කොරලා ...

(සෝමලතා සුභසිංහ මහත්මියගේ විකෘති වේදිකා  නාට්‍යයෙන්)

එහෙම උනේ නැතොත් ඉතිං

යුනිවර්සිටි එකයි ඇත්තේ
මෙකල්ෆකලටි එකයි ඇත්තේ
අපි ඔක්කොම හැටක් ඇත්තේ
ෆැකල්ටියට පහයි ගත්තේ ...
ඉතින් අපී මක්කරන්ද
වරෙන් කෙල්ලේ ගෙදර යන්න
ගෙදර ගොහින් මක්කොරන්න
දීග තලෙක කොහොම යන්නේ
ගෙදර තමයි ඉන්න වෙන්නේ
පාරේ බැහැලා කොහොම යන්නේ
යුනිවර්සිටි එකයි ඇත්තේ...
ඉතින් අනේ කොහොමද අපි
ඔක්කොම ඔය ෆැකල්ටි යන්නේ ..
අම්ම කියයි උඹ දොස්තර වෙයන් දුවේ
උඹ දොස්තර වෙයන් පුතේ
එහෙම උනේ නැතොත් ඉතිං පුතේ
අපට පුතේ මගක් නැතේ.
තාත්ත කියයි ඉංජිනේරුවා වෙයන් පුතේ
ඉංජිනේරුවා වෙයන් දුවේ
එහෙම උනේ නැතොත් ඉතිං පුතේ
අපට පුතේ මගක් නැතේ...

(සෝමලතා සුභසිංහ මහත්මියගේ විකෘති වේදිකා  නාට්‍යයෙන්)

ටියුෂන් ටියුෂන්...

ටියුෂන් බයෝ
ටියුෂන් පියෝ
කෙමෙස්ට්‍රි ෆිස්ක්ස්,
ජීව විද්‍යා රසයන
විද්‍යා භෞතික විද්‍යා
ගණිත මිනිත ක්‍රම
ඕන එකක් ඇත
අහන්න අපගෙන්
මොනවද ඕනෑ..
ටියුෂන් ටියුෂන්.........

(සෝමලතා සුභසිංහ මහත්මියගේ විකෘති වේදිකා  නාට්‍යයෙන්)




මූදු පතුල යට ඉඳලා

මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පාකරලා
මගෙ දෝතට පුතු ආවා
මූදු පතුල යට ඉඳලා..
සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා
සුදු පාටින් ටිකිරි සිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා
මූදු පතුල යට ඉඳලා..
වෙරළෙන් කිරි කවඩි සොයා කෙනේක් පුතුට ගෙන එනවා
තවාත් කෙනේක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා
ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුනනවා
ඒවායින් .වඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා
පුතුගෙ ඉණේ පළඳනවා

නා‍ට්‍ය‍ය‍ - මූදු පුත්තු (ගුණසේන ගලප්පත්ති)
ගායනය - සෝමලතා සුබසිංහ

රි‍දී‍ ර‍ත්‍ත‍ර‍න්‍ ඇ‍ඳ‍ගෙ‍න

රි‍දී‍ ර‍ත්‍ත‍ර‍න්‍ ඇ‍ඳ‍ගෙ‍න
හැට්ට රෙද්ද උජාරුවට
අස්සය පිට නැග යනකොට
දකින දකින අය කියාවි
ආං යනව කළුහාමිගෙ දූයි කියල
කළුඅප්පුගෙ දූයි කියල
කනකර බඩු දුන්නෙ කවුද
කළුහාමියි දුන්නෙ ඒව
සුදු අස්වය දුන්නෙ කවුද
කළුඅප්පුයි දුන්නෙ ඌව
අම්ම දුන්න කනකර බඩු
අප්ප දුන්න සුදු අස්වය

රි‍දී‍ ර‍ත්‍ත‍ර‍න්‍ ඇ‍ඳ‍ගෙ‍න
හැට්ට රෙද්ද උජාරුවට
අස්සය පිට නැග යනකොට
දකින දකින අය කියාවි
ආං යනව කළුහාමිගෙ දූයි කියල
කළුඅප්පුගෙ දූයි කියල

නා‍ට්‍ය‍ය‍ - එ‍ලො‍ව‍ ගි‍හි‍න්‍ මෙ‍ලො‍ව ආ‍වා (මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර)
ගා‍ය‍න‍ය‍ - ජයලත් මනෝරත්න / සෝමලතා සුබසිංහ

අන්ගාරා ගඟ අසබඩ

අන්ගාරා ගඟ අසබඩ
කළුවර මැද සුදු තිරයක
සිනමා පටයක් සෙමින් දිග හැරේ

ඉතාලියෙන් මෙතෙර ගෙනා මේ සිනමා කතන්දරේ
සයිකලයක් අහිමි වූ මිනිසකුගේ කඳුළැල්ලයි
ඔහුගෙ සුසුම් වැලපිල්ලයි
සිනමා හල හැම දෑසක් රිදී තිරේ රැඳී රැඳී

අසරණ වූ මිනිසාගේ  ඉරියව් හා ඇත වෙලී
ඔහුටත් ඇත අඹුදරුවෝ පාපැදියෙන් දිවි රැකෙනා
එවන් මහඟු බයිසිකලේ හොරෙන් අරන් ගිහින්

රෝම නගරෙ විදි පුරා ඔහුගේ ඒ කඳුළයි
දූලි ගැටෙන නගරය මැද ඔහුගේ ඒ සුසුමයි

ගී පද : ආචාර්ය අජන්තා රණසිංහ
සංගිතය : ප්‍රේමසිරි කේමදාස
ගැයුම: ටී.එම්.ජයරත්න, අයිවෝ ඩෙනිස්,එඩ්වඩ් ජයකොඩි සහ සුනිලා අබේසේකර
(සෝමලතා සුභසිංහ මහත්මිය රඟපෑ අන්ගාරා ගඟ ගලා බසී වේදිකා නාට්‍ය ගීතයක්)



(මහගෙදර චිත්‍රපටයේ මලවින්න වලව්වේ ළමාතැණි )




(එතුමියට  උපහාරයක් ලෙස "රුව ගුණ සුවඳ"  වැඩසටහන මේ සමගම අමුණනවා  )

ගීත සියල්ල මෙතැනින්

23 comments:

  1. ඇයට නිවන් සුව!
    විකෘති එකේ තියෙනවා නේද තව සින්දුවක් “අම්ම කියයි, උඹ දොස්තර වෙයන් පුතේ“ කියලා.

    ReplyDelete
    Replies
    1. "අම්ම කියයි උඹ දොස්තර වෙයන් පුතේ
      තාත්ත කියයි උඹ දොස්තර වෙයන් පුතේ
      එහෙම නැතොත් ඉතිං පුතේ
      අපට පුතේ මගක් නැතේ...."

      ඔව් මචෝ ...මම මේක ලිව්වේ ඉතාම කෙටි වෙලාවකින් .සමාවෙයන් ඒ වගේ නිර්මාණ මෙතනට ගේන්න බැරි උනාට ..

      Delete
    2. //මම මේක ලිව්වේ ඉතාම කෙටි වෙලාවකින් .සමාවෙයන් ඒ වගේ නිර්මාණ මෙතනට ගේන්න බැරි උනාට //

      ඒකට කමක් නෑ මචෝ. ඒ නිර්මාණත් දාල මේ ලිපිය අප්ඩේට් කරහන් පුළුවන්නම්. මොකද මේවා ගොඩක් වටින්නෙ තව කල් යද්දි, අපෙන් පස්සෙ එන පරම්පරාවලට. ඒක නිසා පුළුවන් කමක් තියෙනවනම් අනිත් නිර්මාණත් හොයල මේ ලිපිය අප්ඩේට් කරල දාහන්.

      Delete
    3. ඔන්න මනා පොඩ්ඩ පොඩ්ඩ අප්ඩේට් කළා ...

      Delete
  2. හොඳ වටිනා ලිපියක් සිංදු. මේ වගේ වටිනා මිනිස්සු නැති වීමෙන් ඇති වෙන හිඩැස පුරවන්න දැන් ඉන්න අයට පුළුවන්ද කියන එක තමා ගැටළුව. එතුමියට නිවන්සුව ප්‍රර්ථනා කරනවා!!!

    ReplyDelete
    Replies
    1. මටත් තියන ප්‍රශ්නේ ඕකම තමයි මචෝ ....දැන් "ඉරජ්ලා නුතන පරපුරේ ගාන්ධර්වයෝ " කරවලා තියන කාලයක්නෙ ....අනික මේ කාලේ කලාකාරන්ට අපල කාලයක්ද ලබලා වගේ .මේ ටිකට කීදෙනෙක් ගියාද ?

      Delete
  3. බොග දාන උන් අතරෙන් ඉස්සෙල්ලම ළිපියක් දැක්කේ උඹගෙන්. විකෘති නාට්ටිය පාසල් ළමෞන් අතරේ බොහෝම ජනප්‍රිය උනා. මම ඉස්සෙල්ලම නාට්ටිය බැලුවේ නවරඟහලේ පාසල් දර්ශණය. ඊට පස්සේ නාට්ටියට වහ වැටිලා, කීප සැරයක්ම බැලුවා. නිල්මිනි සිගේරා සහ චාන්දනි සෙනෙවිරත්න එහෙම කළා ළෝකෙට ආවේ මේ නාට්ටියෙන් මම හිතන විදියට.

    එද පැවති අධ්‍යාපන ක්‍රමය නිර්ධය ලෙස ප්‍රශ්ණ කරපු නාට්ටියක් විකෘති කියන්නේ. නමුත් කරුමෙක මහත කියන්නේ ඊට පස්සේ අද වෙන කොට ඇඩියුකේසොන් සිස්ටම් එක ඊටත් පල්ලෙහාට වැටිලා තියෙන්නේ. ටියුෂන් වසංගතයක් වීමෙන් නැවතිලා නැතුව ඒක අපේ සංස්කෘතික අංගයක් බවට පත් වෙලා. එහෙම නැවතුනා නම් ඒත් දුකක් නෑ.

    රටේ කරුමෙට දරුවන්ට කුණුහබ්බ කියලා ආතල් ඩුන්න බන්දුල ගුණවර්ධන වගේ නොම්මර එකේ හරක් කුණුහබ්බ සමාජ ගත කිරීමටත් ඉදිරිපත් වෙලා. කලටි පොල් කඩන්න ආපු එකම ටියුෂන් කාරයෙක්ගෙන් වත් තඹ දොයිතුවක වැඩක් නෑ. අම්බ ෆේල්.

    ReplyDelete
    Replies
    1. මාතේ අය්යේ මේ මිනිස්සු තමයි අනාගතේ දැක්කා ..එත් කරුමෙකට ඒවා අපේ උන්ට තේරෙන්නේ ඒවා ඒ විදිහටම උනාට පස්සෙයි ......මගෙත් කැමතිම වේදිකා නාට්‍යයක් .
      මෙන්න තියනවා අවුරුදු 30කට පස්සේ මුල් නාට්යේ රඟපාපු සෙට් එක ආයෙත් සෝමලතා සුබසිංහ මැතිනියට උපහාරයක් වශයෙන් වේදිකා ගත කරලා ...තිස් වසරකට පසු වේදිකා ගතවූ විකෘති

      Delete
  4. සින්දුවෝ, මේ වෙලාවේ මම ඉන්නේ ගෙදරින් ඈත. හරිම අමාරුවෙන් මේ කොටන්නේ නුපුරුදු කම්පියුටරයකින්. උඹට ස්තුතියි මේ රටක්, ලෝකයක් වටිනා අග්‍රගන්‍ය කලාකාරිය වෙනුවෙන් මෙහෙම අනුස්මරණ සටහනක් තැබීම ගැන.

    ඇය ගැන පොතක් ලියවෙවා කියා මා ප්‍රාර්ථනය කරනවා. අනාගත පරපුර ඇගේ අගය දැනගන්න ඕනේ. ඇගේ වටිනාකම අපේ රට හරියට තේරුම් ගත්තේ නැහැ කියලයි මමනම් හිතන්නේ. වෙන රටකනම් ඇයට දේවත්වයෙන් සලකනවා.

    ඇයට නිවන්සුව අත්වේවා!

    ReplyDelete
    Replies
    1. //ඇගේ වටිනාකම අපේ රට හරියට තේරුම් ගත්තේ නැහැ කියලයි මමනම් හිතන්නේ. වෙන රටකනම් ඇයට දේවත්වයෙන් සලකනවා.//
      ++++++++++++++++++++++++++
      කියන්න තියන ඔක්කොම ඒ වාක්‍යයෙන් කියලා විචාරක මහත්තයෝ ...
      හැමෝගේම අගය තේරෙන්නේ ඒ මිනිස්සු නැති උනදාට ....

      Delete
  5. වටිනා මෙහෙයක් කළ වටිනා කලාකාරිනියක්.ඇයට නිවන් සුව.
    ලියූ ඔබට ජයවේවා..!!

    ReplyDelete
  6. අප අතරට නැවත එන්න මැතිණියනි රසයෙහි තිර විවර කරගෙන

    ReplyDelete
    Replies
    1. සදහටම නික්‌ම ගියත් හෙට දවසටත් ඇවැසි කලා කාරිනිය ...

      Delete
  7. සෝමලතා මහත්මියට සුභ ගමන්. මගේ ඉල්ලීම හැකිනම් ඉවරනොකරපු මෙහෙයට ආයිත් පාරක් ඇවිත් යන්න එන්න අපි අතරටම.. පෝස්ට් එකනම් දී බෙස්ට්. සින්දුවා උඹට ස්තූතියි අපූරු මතකයන් ගොඩක් එක මිටකට කැටිකර දුන්නාට..

    ReplyDelete
    Replies
    1. //මගේ ඉල්ලීම හැකිනම් ඉවරනොකරපු මෙහෙයට ආයිත් පාරක් ඇවිත් යන්න එන්න අපි අතරටම.//
      ++++++++++++++++++++++
      ඇයි මචෝ හැමෝගේම අගය ජීවත්වෙලා ඉන්න කොට තෙරුන් ගන්නේ නැත්තේ ?????
      මැරුණම ඒ අගය වැඩි වෙන්නේ ඇයි ? අනේ මන්දා බන් .මේක අම්මටසිරි ලංකාව නිසා වෙන්න ඇති .

      Delete
  8. Replies
    1. බොහොමත්ම ස්තුතියි කමියෝ ...

      Delete
  9. බොහොම වටිනා සටහනක් සිංදුවෝ ලියලා තියෙන්නේ.. මොකද මම හිතන්නේ මම ඇතුළු සමහර දෙනෙක් ඇයගේ ඇතැම් නිර්මාණයන් ගැන දන්නේ නැහැයි කියලා..

    ඇයට සුබ ගමන් කියල ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  10. නිවන් සුව පතනවා මේ ජේෂ්ඨ කලාකාරිනියට..නළාකාරිනියන් අතර කලාකාරිනියො බොහොම අඩු යුගයක් මේ...

    ReplyDelete
  11. උඔට ස්තුතියි ... ඇයට උපහාරයක් විදිහට සටහනක් තබපු එකට..
    විකෘති නාට්‍යය ඒ දවස්වල අපිට හෙන ගැම්මක්...ඇයගෙන් පසුව ඒ නට්‍ය පවත්වගෙන කරගෙන යනනෙ නැතිවෙයිද?

    ReplyDelete
  12. සමාජ සත්කාරයක්. එකම තැනින් ඇය ගැන අපිට දැන ගන්නට සැලැස්වීම. තුති ඔබට

    ReplyDelete