Friday, January 23, 2015

"මසැසින් නොව මනැසින් ලොව දුටු සොඳුරු මිනිසා"



"තමන් නොදුටු ලෝකය ගැන තම හදවතේ මතු වූ අදහස් ලියා,තනු නිර්මාණයකර, හඬගා කී,ඒ අපූරු මිනිසා හෙන්රි කල්දේරා නම් වූ අපුරු කලාකරුවාට උපහාරයක් පිණිසයි............"

             1937 අගෝස්තු මස 19 වෙනි දින පවුලේ කුළුඳුල් දරුවා ලෙස ඉතා නිරෝගී දරුවකු වශයෙන් හෙන්රි කල්දේරා නම් කුඩා බිළිඳා මෙලොව එළිය දුටුවේය. ඉපදී දින කිහිපයකට පසුව රෝහලේ පසුවූ හෙන්රි කල්දේරා බිළිඳා රෝහලේදී සිදුවූ යම් අතපසුවීමක් හෝ අත්වැරැද්දක් හෝ කුමක් හෝ නොදන්නා කරුණක් නිසා පසුකලෙක පුර්ණ අන්ධ භාවයට පත්විය. ඔහුගේ අන්ධ භාවයට නොයෙකුත් ප්‍රතිකාර කළද ඉන් ඔහුගේ පෙනීම ලබාගත නොහැකි බව ඔවුන්ට ප්‍රත්‍යක්ෂ විය.
          තමන්ට ආබාධිත දරුවෙකු සිටින බව පිළිගැනීමට සූදානම් නොවූ ඔහුගේම පියාණන්ගේ අණසකට යටත්ව  නිවසේ කුඩා කාමරයක තනිවම සිරගත වීමට සිදුවූ කුඩා හෙන්රි කල්දේරාට බාහිර ලෝකය සමග කිසිඳු  සබඳතාවයක් ගොඩ නගා ගැනීමට සිය පියාගෙන් බිඳකුදු අවසරයක් නොලැබුණි. ඔහුගේ මුළු ලෝකයම සිය ආදරණීය මවටත් සහෝදරියන්ටත් පමණක් සීමා වූ අතර සිය පියා නිවසේ සිටින විටදී තම කුඩා කාමරයෙන් එළියට ඒමට පවා ඔහුට අවස්ථාවක් නොලැබුණි.ඔහුගේ ඥාති සහෝදරයෙකු විසින් තනා දුන් පළිඟු (ක්‍රිස්ටල්) ගල් සහිත රේඩියෝ යන්ත්‍රය ඔහුගේ  හොඳම මිතුරා විය. ඔහු එම පළිඟු (ක්‍රිස්ටල්) ගල් සහිත රේඩියෝ යන්ත්‍රයට දිවා රෑ සවන් දුන්නේ එයින් විකාශනය වන සෑම සියළු දෙයක්ම ග්‍රහණය කර ගනිමිනි. එයින් ඇසෙන ඔහුට නොතේරුණ දෑ තම සහෝදරියන්ගෙන් අසා දැන ගත්තේය. එමතුද නොව ඔහු එකී සහෝදරියන් කියවන සිංහල ඉංග්‍රීසි නවකතාවන් ද ඔවුන් ලවා කියවාගෙන ඒවාට සවන් දුන්නේය. ඒවායින් බිඳෙන් බිඳ ජීවිතාවබෝධය ලැබූ ඔහු පියාගේ අණසකට යටත්ව බිත්ති හතරකට කොටුවී සිටීමෙන් නිදහස් වීම සඳහා   පියාගේ අණසකට අභියෝග කරන්නට විය.
         ඔහුට සැමදා එක ලෙස ආදරය කළ දයාබර මෑණියන්ගේ  සහ සහෝදරියන්ගේ දයා කරුණාව මැද ළමා වියේ මුල් අවධිය ගෙවූ කුඩා හෙන්රි ඉන් අනතුරුව පියාගේ විරසක භාවය නිසාම සිය මවගේ සහෝදරියගේ නිවසේ ජීවත් වීමට ගියේය. එහිදී දයාබර වූ මවගේ සොහොයුරියත් ඇයගේ ස්වාමි පුරුෂයාත් හෙන්රිට ඔවුන්ගේ නිවස වඩා සෙනෙහෙබර හා සුරක්ෂිත නවාතැනක් බවට පත් කළ අතර ඒ නිවසේ විසු හෙන්රිගේ දයාබර ඥාති සහෝදර සහෝදරියන් හෙන්රිට ඔහුගේ නිවසේදී අහිමිවූ බොහෝ දෑ ලබා දුන්නේය. මෙසේ තම ළමා වියේ දෙවන අදියර සුවසේ පසු කළ හෙන්රි නැවතත් සිය පියාගේ අණසකට යටවුණු නිවසට ගිය ද සිය පිය සමඟ වූ නොනවතින අරගලය එලෙසම පැවතුණි.
           අවුරුදු 29ක් වයසැති හෙන්රි ඉන් පසු බලහත්කාරයෙන් සිය නිවසින් පිටවී සීදුවේ අන්ධ විද්‍යාලයට ගියේ  අධ්‍යාපන කටයුතු කරගෙන යෑමේ අදිටනිණි. එවකට අන්ධ විද්‍යාලයේ විදුහල්පති හෙන්රිගේ පියාගේ ලිඛිත කැමැත්ත නොමැතිව පාසලට බඳවා ගැනීම රජයේ නීති රීති වලට පටහැණි බව පවසමින් ඔහු බඳවා ගැණීම ප්‍රතික්ෂේප කළේය. මෙහිදී තමා අවූරුදු  29 ක් වයසැති වැඩිහිටි තරුණයෙකු බැවින් තමා සම්බන්ධව තීරණ ගැනීමට තම පියාගේ අවසරය අනවශ්‍ය බව පවසමින් හෙන්රි විදුහල්පතිතුමාගේ මතය හා රජයේ රෙගුලාසිය අභියෝගයට ලක් කළේය. ඔහුගේ එම ස්ථාවරය නිසාම හෙන්රිව අන්ධ විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට බලධාරීන්ට සිදු වූ අතර ඒ සමගින් ඔහුගේ ජීවිතයේ තුන්වැනි ඉපදීමක් වැනි වූ පරිච්ඡේදයක ආරම්භය සළකුණු විය.

(ඊ මෙලකින් උපුටා ගැනීමකි )
---------------------------------------------------------------------------------


01.මෙලොව තිබෙන අමිල නිමල මධුර සැප එපා...

මෙලොව තිබෙන අමිල නිමල මධුර සැප එපා...
උදය සවස වැළඳ වඳිමි අම්මෙ ඔබෙ දෙපා...
මා ඉපදුණු දා කුළුඳුල් සෙනෙහස පිරුණේ
සුදු පැහැ ගැනුනලු රතු රුධිරය සතු අරුමේ
සුව දෙයි මව තුරුලේ චන්දන තුරු අරණේ
සරනා තුරු සසරේ මට ඔබමයි සරණේ....
අගනා මහිමය හදුනණු පිණිස නැත යෙදුම්
නොමියන ගුණයට කරමි ද කෙලෙස මා පිදුම්
හද බැති මල් පුදමී වැඳ දොහොත දී මුදුන්
අම්මේ ඔබමයි මා සසරෙහිදි දුටු බුදුන්....

පද රචනය - කුසුමා සූරිආරච්චි
තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

02.හඬන්නෙපා අම්මේ

හඬන්නෙපා අම්මේ
හඬන්නෙපා අම්මේ
තවත් සඳක් ගෙට පායා එන දා
හඬන්නෙපා අම්මේ
මනාල පෙනුමෙන් මා බබළනවා
නෙතින් දකින්නට පෙරුම් පිරූ ඔබ
සුදු මුව හකුලා එපා අඬන්නට
කඳුළු දරාගෙන ඔබේ නුවන් අග
හඬන්නෙපා අම්මේ...
බිරිඳක් කැන්දන් ආවට අම්මේ
ඔබේ පුතුගෙ නැහැ වෙනසක් වෙන්නේ
සොඳුරිය මා දා ඉවත ගියාදෙන්
ඔබට නොමැත වී මැන මම දෙන්නේ
හඬන්නෙපා අම්මේ...

පද රචනය තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

03.මවගෙ මළගම නිමවිණැයි

මවගෙ මළගම නිමවිණැයි
එතැන දනකට ඇරැයුමයි
කුළඟනක වෙත පින් පිදෙන්නට
පිහිට එහෙනම් මා තමයි

එදා මැදුරට යද්දි මතකයි හැඳි ගැටුණු හඬ සවනතේ
කවුළුවෙන් ආ සුවඳ දිව්වා දුබල ගත රස නහරතේ
එසඳ කොලුවෙකු මුදා එව්වා මුර පැටව් දම්වැල් වුණා
මගේ සියොළඟ සලිත වෙද්දී කිසිත් නැති වග පැවසුණා

එවන් මැදුරේ මෙදා දන්දෙති අහෝ කරුණා දුක දරන්
බුදුන් දෙවියන් මුදුන් කරවා යදියි සුඛ විහරණ වරම්
එදා මා පිටු දුටු අයෙක්මයි මෙදා ආවේ මා සොයා
හිඟන්නන් දානෙකට ඕනෑ අහෝ ලොව දහමක නියා

පද රචනය, තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා
(70 දශකයේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මඟින් තැටිගතකර ප්‍රචාරය කළ මෙම ගීතය , වැඩසටහන් අනුමත කිරීමේ මණ්ඩලය විසින් දෙවනුව පරික්ෂාකර තහනම් කරන ලද ගීතයකි.)

04.පෙනුණු සුව දසුන්....

පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා
දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා
යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

සෙල්ලම් ගෙවල් තනාගෙන වැලි බත් උයා කවා
වල් කොළ කොටා දියේ මුසුකර තේ හදා පොවා
සැලැකූ ළමා වියේ සැලැකිලි නොමැත මඟහැරී
මට ආදරෙයි කියන්නකො මුවගින් අමා පිරී

ඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා
සිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා
සීත සඳ නැඟෙයි පෙරඹර කවුළු දොර අයා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

හමුවුණි අනන්ත මල් රුව මිස සුවඳ නොතැවරි
ලියලයි හදේ පැතුම් වැල ඔබ වෙතම හැරි හැරී
පාළුව ලැගුම් ගනී හද තුළ පතුල එරි එරී
මට ආදරෙයි කියන්නකො මුවගින් අමාපිරි

පද රචනය , තනුව සහ ගායනය - හෙන්රි කල්දේරා

05.ලංකා මගේ ලංකා 

ලංකා මගේ ලංකා
සොඳුරු ලංකා මිහිරි ලංකා
සමනොල මුදුනින් ලැබදෙන සෙවනින්
සුවය විඳින ලංකා
මහවැලි කැළණිය කලුද වලවෙ දිය
සිහිල කැවුනු ලංකා...
ලංකා මගේ ලංකා
සොඳුරු ලංකා මිහිරි ලංකා..
තෙද ඇති විරුවන් හෙල රජ දරුවන්
ලැබූ පිනැති ලංකා...
එවැනි උතුම් ඔබ නමට බැතින් හෙලු
පොහොර ගුණැති ලංකා...
ලංකා මගේ ලංකා
සොඳුරු ලංකා මිහිරි ලංකා..
රුදුරු වුවන් මැඬ රටට දැයට වැඩ
සදනු පිණිස ලංකා..
සසර පුරා නිජ බිම සෙ මගේ ඔබ
තුරුල පතමි ලංකා..
ලංකා මගේ ලංකා
සොඳුරු ලංකා මිහිරි ලංකා..

පද රචනය තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

06.තත් තත් තත් තාර පැටියා

තත් තත් තත් තාර පැටියා
තාත්තා ගෙනා තාර පැටියා
පුතා මගේ තාර පැටියා
තාත්ති අතේ දොයි
තාත්ති අතේ දොයිය පුතේ
තාත්ති අතේ දොයි....
කිරට ගියා අම්මි පුතේ
කිරි එරවා එන්න පුතේ...
කිරි මුට්ටිය අතින් පුතේ
ග‍ඟේ වැටී දොයි
අම්බිලියෝ පිනෝ පිනෝ
වළං කදක් ගෙනෝ ගෙනෝ
අන්න පුතේ මුවා වෙලා
වලාකුලේ දොයි....
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා.....
ගලින් ගලට පනින්නෙ නෑ
බබුට බයේ දොයි
චූටි බබා කෝ කියා
පුතාට දොයියන්න කියා
කෝකිලයා අන්න පුතේ
දිවුල් ගහේ දොයි
දොමි තරිකිට තාං කියා
තරිකිට තක දෝං කියා.....
වැල ගෙඩියත් ආං පුතේ
ගහෙන් වැටී දොයි
ඔන්න බබෝ බිලු එනවෝ
අඬන ළමයි අල්ලනවෝ
අනේ මෙහේ එන්න එපෝ
අපේ පුතා දොයි ....

පද රචනය, සංගීතය සහ ගායනය :- හෙන්රි කල්දේරා

07.මොකද නගෝ හිමිදිරියෙම

මොකද නගෝ හිමිදිරියෙම කුඹුකෙ ළිඳෙන් නෑවේ
පොහොය අදයි වෙහෙර වැඳන් එන්න හිතන් නෑවේ
කවුද නගෝ ඊයේ හවහ ගෙදර දිහා ආවේ
මාව අරන් යන්න හිතන්නැද්ද කෙනෙක් ආවේ
හෙණ එන්නා වාගෙ මොකෝ කතා කරන්නේ
මට දුන් බහ තව කෙනෙකුට කොහොමද දෙන්නේ
දුන්නා නෙවෙයි ඉල්ලු නිසයි ඒ බහ දුන්නේ
ඉල්ලන්නත් කලින් තමයි මේ බහ දුන්නේ
මුසා බහක් කණ වැටුණ ද ගිලිහුණු කාගේ
මළගම දැකගන්නටවත් සිතිල ද මාගේ
ඔහොම තරහ ගන්න ගියොත් වයසට යාවී
එතකොට තනිවෙන්නෙ නැද්ද ඔබෙ සිරියාවී

පද රචනය සංගීත නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා
සහාය ගායනය - අප්සරා ද සිල්වා

08.පෙමින් බැඳෙන්නයි 

පෙමින් බැඳෙන්නයි පෙම් කතා කියන්නයි
මෙයින් මතූ කරන්නෙ නෑ ආරාධනා
ළඟින් ඉඳින්නයි නිරතුරු පැතුම් පතන්නයි
මෙයින් මතූ කරන්නෙ නෑ ආයාචනා....
දෙමාපියන් පවා කියා පෙමින් බැඳෙන්නේ
පැතුම් බිඳී දුකින් තැවී සුසුම් හෙළන්නේ
මේකද මේ ආදරේ මිහිර කියන්නේ
ආදරයෙන් වෙන්වුණු තැන් නැද්ද දිලෙන්නේ
මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ....
කෙනෙක් දිහා නෙතින් බලා හැඟුම් දෙවන්නේ
තවත් කෙනෙක් අතේ වෙලී තොරන් බඳින්නේ
මේකද මේ ආදරයේ මිහිර කියන්නේ
ආදරයෙන් වෙන්වුණු තැන් නැද්ද දිලෙන්නේ
මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ.....

පද රචනය, තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

09.ඊයේ.... උදයේ.... 

ඊයේ.... උදයේ....
ඔබ පෝරුව මත දුටුවා
හිතවතෙකු මගේ ඔබගේ
ඔය සුරත දරා සිටියා
පුරුදු ලෙස මා ඔබ දකින්නට
පැමිණ මංගල සිරියකි දුටුවේ
සබේ කිසිවෙකු ඉබේවත් නැත
ඇසක් මා දෙස යොමා බැලූවේ
කිමද මේ අරුමේ....
මට නොහැඟේ ප්‍රිය සොඳුරේ
සොඳුර හෙට අප අළුත් ලොවකට
පා නගන්නට සැරසෙන අතරේ
එසේ මා දුටු එවන් සිහිනය
මෙසේ අද මා හිතට වද දේ
කිමද මේ අරුමේ....
මට නොහැඟේ ප්‍රිය සොඳුරේ

පද රචනය, තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

10.ඔබ පෑව හස‍රැල්ල 

ඔබ පෑව හස‍රැල්ල මට තේරුනා
ඒ රන් සිනා ‍රැල්ලෙ රස බේරුනා
සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා
ඔය දෑත මට දෙන්න මම ගන්නවා...
හො‍රැහින් බලා යන්නෙ නොබලා වගේ
මම දන්නවා සොඳුර මැණිකේ අගේ
සතුටයි දුකයි හොඳට පුරුදුයි ප්‍රියේ
මට දෙන්න ඔබෙ ආදරේ
පිළිගන්න මගෙ ආදරේ...
හැඟුමක් තිබේ දනිමි සඟවන්නෙපා
දිලිඳු ඔබේ දෑස හඬවන්නෙපා
සඳ සේ සිනා සෙන්න සඳමාලියේ
පෝදාට සඳ පෑ ලෙසේ
පිහගන්න කඳුලැල් ඇසේ...

ගී පද , තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

11.කණ විදින වෙලේ

කණ විදින වෙලේ කඳුළු ග‍ඟේ පතුල බැලූ දූ
අද සතු‍ටු ග‍ඟේ හිනැහෙනවා දාලා කරාබු....
අද සතු‍ටු ග‍ඟේ කිමිදෙනවා දාලා කරාබු....
ආයි දාලා කරාබු...
පුංචි ටිකිරි පාද තියා
කණ්ණාඩිය වෙතට ගියා...
මුවට ලැබුණු අමුතු සිරිය දිහා බලනවා
බොළඳ හිනා ඒ කැඩපත මත නළියනවා
මුදු බොළඳ හිනා ඒ කැඩපත මත නළියනවා
තරු තුනකට එකම හඳයි
හද නිලඹර එළිය කරයි...
තරුයි හඳයි බැබළේවා නිතර දෙවේලේ
මගෙ රට බබළන හඳක් වෙන්න දුව මතු කාලේ
මුලු රට බබළන හඳක් වෙන්න දුව මතු කාලේ
මගෙ පුංචි කුමාරී
සුදු දෝණි තුෂාරී.....

පද රචනය,තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

12.ඔන්න දුවේ හඳ මාමා

ඔන්න දුවේ හඳ මාමා ඈත ඉඳන් එබී බලා
පුංචි අමුත්තෙකුයි හොයන්නේ...
චූටි සිනහ මල් දැකලා සිහිල් සඳේ කැළුම් පෙරා
දූගෙ සුදූ මූණ සිඹින්නේ...
සුබ නැකතින් දිය නාගෙන ගෙට ඇවිදිල්ලා
දෝත පුරා බුලත් අතක් සීයාට දීලා
සාදු කියා පා වඳින්න සීයගේ ආසිරි ලබන්න
දෙන බුලතට දෑත දෙන්න සීයා ඉඳීවා....
කිරිබත් කැටයක් කවන්න දූට ලැබේවා....
කටු අතු රළු බොරළු තිබෙයි පය රිදවන්න
තඹ පිත්තල රන සෙ පෙනෙයි ඇහැ රවටන්න
යන්නෙ කොහේදැයි බලන්න සිහියෙන් පා පොඩි තියන්න
යහ ගුණ අනුදැන හැදුණොත් දූ සිරිදේවී
කාගේත් ආසිරි හමුවේ දූ සැරදේවී...

පද රචනය, තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

13.සුහදිනියේ අනංගයා දිනූ කුමාරි

සුහදිනියේ අනංගයා දිනූ කුමාරි
වගේම ලස්සනයි මෙදා ළඳේ ඔයා
මනාලියේ මනාලයා සොයා ඇවිල්ලා
හිනාවෙලා බලන්න බැල්මකින් දයා
මනාලියේ....
විනීත වූ උදාර දූ පුතුන් ලබාලා
සැපෙන් දිනේ මෙසේ පැතූ පැතුම් දිනාලා
අනන්ත වූ සිහීන රෑ දුටූ අතීතේ
සැබෑ වුනා සැපයි රසයි අනාගතේ....
අලුත් මඟක් කරානෙ පා නඟන්න ඕනා
දිනූ රටේ උතුම් නමක් තබන්න ඕනා
අඬන්නෙපා හඬන්නෙපා සුසුම් හෙලාලා
සිනා සිසී මඟුල් ගමන් වඩින්නකෝ....

පද රචනය,තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

14.සනහසේ සිහිල් නිල්ලේ ලියලවූ දයා දල්ලේ 

සනහසේ සිහිල් නිල්ලේ ලියලවූ දයා දල්ලේ
මල් පිපී සුළං රැල්ලේ සැලි සැලී පෙනේවී
මා ඔබේ කියා කීවේ මුව නැඟූ රිදී රාවේ
මට ගෙනා නැවුම් තාවේ දිවි තුරා රැඳේවී
ඔය නුවන් තලාවේ මා පැතූ දයාවයි
මුව පුරා පෙනෙන්නේ ආදරේ හිනාවයි
දුක සැපේ දෙවේලේ ඔබ ළඟින් ඉඳින්නයි
රෑ දිවා පතන්නේ ඔය හදේ දිලෙන්නයි
පෙම් තොරන් තනාලා පුන්කළස් තියාලා
පෝරුවේ නැඟීලා අප ළඟා කෙරේ දෝ
සැඩ සුළං හමාලා පෙම් පහන් නිවීලා
සෝ සුසුම් නැඟීලා අප වෙනස් කෙරේ දෝ

පද රචනය, තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා
සහාය ගායනය - අප්සරා ද සිල්වා

15.සිසිල සැඳෑවේ

සිසිල සැඳෑවේ මේ අමාවකේ ගුවන් ගැබේ
සඳක් නැඟී වාගේ නොපැතූ රුවක් පෙනේවී
දැනේ සුගන්දේ මල් වෙතින් නොවෙයි ඔයාගෙනුයි
හොරේ මොකෝ හා හා කොයිබද ළඳේ සවාරී
සුන්දර සුපුන් සඳේ රිදී කැළුම් නාලා
මල්මද බිසවු වගේ නුරා රැඟුම් පාලා
සැරසී අගේට පා සුරංගනා ලීලා
ගොම්මන් වෙලේ ඔයා මෙහේ කොහේ දෝ
තවමත් මගේ ලොවට සඳක් නැගී නෑනේ
ඔබ මට සුපුන් සඳක් වෙන්න මගේ නෑනේ
හා හා අගෙයි ළඳේ සිනහ පෙනෙයි මූණේ
පොඩි පැල්පතක් තනා කතා කරන්නම්

පද රචනය, තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

16.සමනොළ සිරිපා

සමනොළ සිරිපා සිඹ සිඹ බැතිබර වැඳුමක යෙදී
අන්න පුතේ හිරු දෙවියෝ මිහිමත මෙහෙයට වඩී
මොළකැටි අත් පා සලමින් කිරි කැටි පොඩි මුව අයා
මා නොදකින විසිතුරු ගැන මට පවසනවද ඔයා
පුතු ඉපදුණු දිනේ මමත් නොලද නුවන් ලැබුවා
මට නොපෙනෙන උදා කිරණ මගේ පුතා දුටුවා
ඒ දෙනුවන් සිහි නුවණින් යොදවා දැය සමය නමින්
මගෙන් රටට නොකෙරුණු ටික ඉටු කරන්න පුතුණේ....
අතීතයක් නැති අයෙකුට හෙටයි දිනක් නෑඟේ
හෙවනට සිටි ගස සමරනු ගල කෙටු ඉර වාගේ
පිබිදෙන මල් දැක නොතලා පුබුදන් පුත පිනි ඉහලා
වැටුණු අයට පා නොම දී සුරත දෙන්න පුතුණේ...

පද රචනය , තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

17.සඳ අරන් ඇවිල්ලා

සඳ අරන් ඇවිල්ලා
පුද දෙන්න බෑ ප්‍රියේ
නොඉඳුල් සිතින් හොවන්නම්
සැනැසුම් අමා දියේ....
සසර වාලුකාවේ මා තනිව හැසුරුණා
පෙළුණු හිත දයාවක සිහිලසට මුසු වුණා
අතැර මා නිසා ලද හැම ඉසුරු සැප සුවේ
පිදුව පෙම නිසා දෙහදක අනගි මුතු මැවේ
අසරණව මුලා වුණු දුක'ඳුරු වනාන්තරේ
අද සසරණයි උදාරයි අප දිවි කතන්දරේ...
නමට නොව ඔයා මිල කළ නොහැකි මැණිකකී
පෙමට පිදූ මේ මට දිවි උවද දිය හැකි
සසර බැමි කඩාලන තුරු එකට මේ වගේ
තබමු අපි ප්‍රියේ පියවර සසර මග දිගේ
අසරණව මුලා වුණු දුකඳුරු වනාන්තරේ
අද සසරණයි උදාරයි අප දිවි කතන්දරේ...

පද රචනය, තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

18.හිනාවෙයන් සුදු සමන් මලේ නුඹ 

හිනාවෙයන් සුදු සමන් මලේ නුඹ
රිසි ලෙස පෙති විදහා
බොළඳ නෑ ඔබ චපල නෑ ඔබ
සුන්දරයි කුසුමේ....
අහිංසක කුසුමේ....
සැණින් උනුවන ඔබේ හදවත
වෙණ තතක් නම් එය වැයූ අය
වැයුම වැරදියි වෙණ වැරදියැයි
ලොවට හඬගාලා කීවා....
ඔබ බොළඳ බව කීවා
හිනාවෙයන් සුදු සමන් මලේ.......
ඔබෙන් හැඩි දැඩි පා දොවාගෙන
දරනු බැරි බර ඔබට පටවා
පැතුම් වැරදියි ඔබ වැරදි යැයි
ලොවට හඬගාලා කීවා.....
ඔබ චපල බව කීවා
හිනාවෙයන් සුදු සමන් මලේ.......

පද රචනය,තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

19.මේ පොඩි ඔරුව මගේ

මේ පොඩි ඔරුව මගේ
සුරකියි දිවිය මගේ
මෙ ගඟේ මමයි එහා මෙහා පදින්නේ
යන එන සියලු දෙනා ඔරුවෙන් එගොඩ වුණා
වොමියේ තමයි මගේ සතේ තියෙන්නේ
තොටියෝ..........තොටියෝ.........
එගොඩ මෙගොඩ දෙගොඩ බලා පදින්නේ
වෙහෙස දැනෙයි මොකද කරන්නේ
අඹු දරුවෝ මෙගොඩ තැවේ ගඟට මගේ දිවිය ගෙවේ
ඝන අඳුරේ මං තනියෙන් සරින්දේ
අනේ සරින්දේ
නැගී වරෙන්නේ......
එගොඩ ගොඩේ කවුදෝ මුර දෙවන්නේ
කළබල ඇයි හනිකට එන්නේ
තද සුළඟේ තරම කියා ගෙනා පහන නිවී ගියා
ඝන අඳුරේ මං තනියෙන් සරින්දේ
අනේ සරින්දේ
නැගී වරෙන්නේ......

පද රචනය , තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

20.මිදුලේ සුදුවැලි තලයේ......

මිදුලේ සුදුවැලි තලයේ මිරිවැඩිසඟලක සලකුණු
දැක මා හද පතුලේ සැකයෙකි උපදින්නේ
මා නිවසෙහි නැති අතරේ කවුරුන් හෝ පැමිණ ති‍බේ
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ....

බිරිඳට සොහොයුරන් නොමැත මා සොයුරු ද අසනීපෙනි
මගේ යහළුවෙක් නිවසට ආවද මන්දා
ඊයෙත් හැන්දෑ වරුවේ මා එනවිට මිදුල පුරා
තිබුණා මිරිවැඩි සලකුණු කාගෙද මන්දා....

අවුල්ව ගිය මනසින් යුතු මා නිවසට ගොඩවැදුණා
මගෙ නෙත ගත සිත වෙහෙසූ රහස හෙලිවුනා
මගේ පාවහන් පළඳා සුරතල් පුතු ඇවිදිනවා
පුංචි දෙතොල් අතරින් කිරි සිනහ මතුවුනා
එවන් සිනහ මල් දුටු සඳ වෙහෙස දුරුවුණා

පද රචනය - ප්‍රේමරත්න පළිහවඩන
තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

21.මල් නටු වැනි පොඩි දෑත දෙපා

මල් නටු වැනි පොඩි දෑත දෙපා
තලන පුතණ්ඩි
මගෙ අතට වෙලා ඇයිද පුතා
මේ හැටි චණ්ඩි
විසිතුරු කෙළිබඩු නැතුවට
පොල් කටු බෙලි කටු අරගෙන
සුර කුමරුන් නොදකින සුරලොවක වදිනවා
සව්සිරි නොපතා සෙනෙහෙ පතා සුරතල් වෙනවා
මෙදියත කිසිවෙකු නොදන්න
අමුතු කතාවක් කියන්න
ඇඟිලි තුඩින් වැලි පොළවේ අකුරු ලියනවා
පොඩි ටිකිරි මුවින් බොළඳ වදන් වැල් ගිලිහෙනවා
දුක දුරුකර දෙවියෙකු සේ
බිය පලවා විරුවෙකු සේ
රට දැය සමයට එක සේ අත හිත දෙන්නයි
එක පැතුම මෙදා පුතු මතු දා මිනිහෙකු වෙන්නයි

පද රචනය, තනු නිර්මාණය සහ ගායනය- හෙන්රි කල්දේරා

22.ඈත හිමේ රන් සමනල කන්ද නඟින්නා 

ඈත හිමේ රන් සමනල කන්ද නඟින්නා
අපි ඈත හිමේ රන් සමනල කන්ද නඟින්නා
අග්ගලා කන් දෝං පුතා
සූකිරි කන් දෝං පුතා
මෙන්න මෙතැන තැනිතලාව
කෝපි බොන්ඩ හොඳ වෙලාව
අපේ බුදුන් අපි වඳින්ට
ඉහළ යන්ට හොඳ වෙලාව
ඈත හිමේ රන් සමනල කන්ද නඟින්නා
අපි ඈත හිමේ රන් සමනල කන්ද නඟින්නා
දඹේ නඟින් දෝං පුතා
හිමේ නඟින් දෝං පුතා
අපේ බුදුන් අපි වැන්ඳෝ
පෙරළි පෙරළි අපි වැන්ඳෝ
සුමන සමන් දෙවි පිහිටෙන්
ගමට යන්න දැන් යමුදෝ
ඈත හිමේ රන් සමනල කන්ද බසින්නා
අපි ඈත හිමේ රන් සමනල කන්ද බසින්නා
අග්ගලා කන් දෝං පුතා
සූකිරි කන් දෝං පුතා

ගී පද තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා


"සින්දු ඔක්කොම මෙතැනින් බා ගන්න"





---------------------------------------------------------------------------------------

ප. ලි


සින්දු ටික ජාලෙන් ගොඩ බා ගත්තේ .සන්ෆලවර් එක්ක කියපු ඒවා තමයි තියෙන්නේ .ඔරිජිනල් ටික හොයලා දෙන්න බලන්නම් .වැරදි අඩුපාඩු තියනවානම් පෙන්නා දෙන්න .මෙතුමා ගැන ඔබ දන්නා විස්තර හැමෝම සමග බෙදා ගන්න ....

41 comments:

  1. සින්දුවෝ..................

    ස්තූතියි සොදුරුතම මිනිසෙකු ගැන අකුරු කෙරුවාට.........

    ReplyDelete
    Replies
    1. අද උදේ මට මෙතුමාගේ සින්දුවක් ඇහිලා තමයි මෙහෙම පොස්ට් එකක් දාන්න හිතුනේ .පට්ටම සොඳුරු මිනිසෙක් මචෝ ....
      ස්තුතියි කුරුට්ටෝ ..

      Delete
  2. අනේ... මචෝ.. මේක කොයිතරම් සංවේදී කතාවක්ද.. මෙතුමාගෙ අඳුරු අතීතය මෙහෙම තවත් අඳුරු කුටියක ගෙව්වා කියලා කවදාවත් අහල තිබුනෙ නෑ. හරිම දුක හිතෙනවා බං. මේ තමයි මේ මහ පොලොවෙ හැබෑවටම පයගහල ජීවත් වෙච්ච නියම මිනිස්සු.

    එතුමගේ හඬ, පාලුව ශෝකය තනිකම පපුව ඇතුලට කිඳා බහින හඬ... ඔහුගේ හැම ගීයකටම මං ඉතාම කැමතියි.

    උඹට පිං මචං මේ කතාව කිව්වට.

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි මනෝ ...
      කියන්න වදන් නෑ ...

      Delete
  3. ඒක හරියට සුරංගනා කතාවක් වගේ. ඇත්තටම මාත් දැනං හිටියේ නැහැ ඔහුට එවැනි අසාධාරණයක් වූ බව. එහෙම තාත්තලත් ලෝකෙ ඉන්නවා ඇති.
    මේ සින්දු බාගයක්ම වගේ අහලා තිබුණත් අනික්වා දැනගත්තේ අද.
    ස්තුතියි සින්දූර්!

    ReplyDelete
    Replies
    1. තව නොදන්නා කතා කොච්චර ඇද්ද බන් ? මට මේක ලැබිලා ගොඩක් කල් .උදේ තමයි මතක් උනේ .අද ඔක්කොම අහපන් ..
      ස්තුත්යි මදාවියෝ ..

      Delete
  4. හෙන් රි කල්දේරා කියන්නේ මගේ ප්‍රියතම ගායකයෙක්. ඒත් මේ ගීත ඔක්කෝම වගේ තනිකර එයාගේ කියලා දන්නෙ අදයි.

    මම කැමතිම ගීත දෙක තමයි. කන විදින වෙලේ සහ මිදුලේ සුදු වැලි තලයේ ගීත දෙක. ඔය මිදුලේ සුදු වැලි තලයේ සින්දුවට කුණු හබ්බ එකකුත් තියෙනවා.. මොකා හැදුවද මන්දා.. ඒකත් පට්ට..

    ReplyDelete
    Replies
    1. ඔව් මතේ ගොඩක් සින්දු එයාම තමයි පද , තනුව , ගායනය කරලා තියෙන්නේ .ඇස් දෙක නොපෙනුනාට බලපන් හොඳට පරිසරය දැකලා තියනවා ..

      මාතේ මම මේලක් දැම්මා ඒ සින්දුවත් .....හැක හැක්

      Delete
  5. දැන නොසිටි බොහෝ දේ දැනගත්ත...
    වැඩ ඇරං වැඩං අරං හපයක් වගේ පැත්තකට විසිවුණ අහිංසක
    ඒ වගේම අමරණිය මනුස්සයෙක්

    ReplyDelete
    Replies
    1. ගොඩක් කලාකරුවන්ට අත් උන ඉරණමක් මහේෂ් මේක ....
      දැන් නම් එහෙම කලාකාරයෝ ලංකාවේ නැනේ .දැන් ඉන්නේ ලේබල් ගහගත්තු සංවේදී කලාකාරයෝ .(නලාකාරයෝ )

      Delete
  6. කල්දේරා ගැන මාත් කොතන හරි ලිව්ව කියල මතකයි. ඒත් උඹ පරිපුරුණ සංවේදි විස්තරයක් දුන්නේ.. බොට ස්තුතියි.. ඒ කාලේ මං ගාව කල්දේරගේ කැසට් එකක් තිබුනා නිතර අහන..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශෝ ...මේකේ සින්දු ටිකත් බාගෙන අහන්න .

      Delete
  7. ස්තුතියි සින්දු.. එවර්ග්‍රීන් සොන්ග්ස් කියන්නෙ මෙව්වටයි.

    ReplyDelete
    Replies
    1. //එවර්ග්‍රීන් සොන්ග්ස් කියන්නෙ මෙව්වටයි//
      +++++++++++++++++++++++++++++
      කුමන කතාද සරත් අය්යේ .අහලා අඩනනත් පුළුවන් , නටන්නත් පුළුවන් .ස්තුතියි

      Delete
  8. මෙච්චර කාලෙකට මං හෙන් රි කල්දේරා ගැන හිතන් හිටියේ අසමසම කටහඬක් තියෙන ගායකයෙක් විදියට විතරයි. බැලුවම ඔහු අසමසම අධිශ්ඨානයක් වගේම අසමසම පරිකල්පනයක් තිබ්බ සුපිරි 'පොරක්' නෙ. පොරක් යන වචනෙ මෙහිදී භාවිතා කරන්නේ ඒ වෙනුවෙන් දෙන්න පුළුවන් උපරිම ගෞරවයද සහිතවයි. උඹල විශ්වාස කරනවද පහල සංගීත කණ්ඩ ලියල තියෙන්නේ කිසිදාක තමන්ගේ ඇස් දෙකෙන් ලෝකෙ දැකපු නැති මිනිහෙක් කියලා..
    //සෙල්ලම් ගෙවල් තනාගෙන වැලි බත් උයා කවා
    වල් කොළ කොටා දියේ මුසුකර තේ හදා පොවා//
    //ඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා
    සිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා//
    //තද සුළඟේ තරම කියා ගෙනා පහන නිවී ගියා//
    //සමනොළ සිරිපා සිඹ සිඹ බැතිබර වැඳුමක යෙදී
    අන්න පුතේ හිරු දෙවියෝ මිහිමත මෙහෙයට වඩී//
    //සුන්දර සුපුන් සඳේ රිදී කැළුම් නාලා
    මල්මද බිසවු වගේ නුරා රැඟුම් පාලා//
    //මේ අමාවකේ ගුවන් ගැබේ
    සඳක් නැඟී වාගේ//
    //පුංචි ටිකිරි පාද තියා
    කණ්ණාඩිය වෙතට ගියා...
    මුවට ලැබුණු අමුතු සිරිය දිහා බලනවා
    බොළඳ හිනා ඒ කැඩපත මත නළියනවා//
    සුපිරි මචන්.. තැන්කූ සින්දූර්

    ReplyDelete
    Replies
    1. මචෝ මේ ටික එන්න ඕනෑ පොස්ට් එකට .මෙටිකත් පොස්ට් එකට එකතු උනානම් පොස්ට් එක සම්පුර්ණයි .මගේ පොස්ට් එකට වඩා උඹේ කොමෙන්ට් එකේ ඔක්කොම තියනවා .ස්තුත්යි කමියෝ ...

      Delete
  9. මම ඉස්සල්ලම මොහුගේ සින්දු ඇහුවේ සන්ෆලවර් එක්ක ඔහු කරපු කැසට් පටයෙන්.එදා ඉදන් මම ඔහුගේ ගීත වලට ආසාකලා.වැඩියෙන්ම කැමතිවුනේ "ඊයේ උදයේ" සින්දුවට.ඔය සින්දුව නිසාම අපි අතර කතාවකුත් කියවුනා විහිළුවට වගේ හෙන්රි කල්දේරා තමයි සින්දු කියන ලොකුම බොරු කාරයා කියලා.(ඔබ පෝරුව මත දුටුවා).කවදාවත් ඔහු පසුපස මේ වගේ කතාවක් ඇති කියල හිතුවෙවත් නෑ.උඹට ගොඩක් ස්තූතියි සින්දූර්.
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. මමත් දැනගත්තේ මට අවා මේලකින් මචෝ ....සන්ෆලවර් සංගීතයට මම එතරම් කැමැත්තක් නැතත් මෙතුමා නැවත කරලියට ගෙනාවේ සන්ෆලවර් .
      ස්තුතියි කසුට්ටෝ ..

      Delete
  10. නියමයි සිංදුවො. කාලෙකට පස්සෙ වෙනද වගේම හොඳ වැඩක්. මම හෙන්රි කල්දේරා මහත්මයගේ ගීත වලට ගොඩක් කැමති කෙනෙක් උනාට එතුමගේ ළමා කාලය ගැන මෙතරම් අමිහිරි කතාවක් තියෙනව කියල දැනගත්තෙ අද. මෙතුමගෙ ඉතාමත්ම මිහිරි ගීත සමුහයක් තිබුනට ඒවා ජනතාව අතරට ගියෙ සන්ෆලවර්ස්(පෞද්ගලිකව මම මේ සංගීත කණ්ඩායමේ සංගීත විලාශයට කිසිම කැමැත්තක් නැහැ) එක්ක කරපු කැසට් පට වලින් බව කවුරුත් දන්න කාරණයක්.
    ඒ හේතුව නිසා එතුමාගේ ගීත ගොඩ දෙනෙක් ආදරයෙන් වැළඳ ගත්තා කීවොත් හරි.
    එතුමා වෙනුවෙන් මෙවැනි උපහාරයක් කිරීම පිළිබඳව සිංදුවාට ස්තුතියි. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. (පෞද්ගලිකව මම මේ සංගීත කණ්ඩායමේ සංගීත විලාශයට කිසිම කැමැත්තක් නැහැ)
      +++++++++++++++++++++++++++
      හිච්චි නගේ බාලේ ඉඳ ඩිශ්ඩි ඩිඩිං
      ළපටි සිතින් මට මතකයි ඩිශ්ඩි ඩිඩිං
      සිතට හොරා මල් පිපුණා ඩිශ්ඩි ඩිඩිං
      මතක නැතෝ අද මොකදො ඩිශ්ඩි ඩිඩිං

      ස්තුතියි මනා ..

      Delete
    2. හෙන ගහපියව් තොපිට :D

      Delete
    3. පිස්සුද මචෝ මට පිස්සුවක් ඇතැ කැමති නැ කියන්න හිටන් ...
      මගේ කැමතිම බෑන්ඩ් එක ...(ඒත් අර ඩිශ්ඩි ඩිඩිං වලට වැඩිය කැමති නැ )
      හැක් හැක් ...
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
  11. ඒ කාලේ මොහු සංදර්ශන වේදිකා වලත් ගායනය කළා. හැබැයි කවදාවත් ප්‍රමාණවත් ඇගයීමකට ලක්වුණේ නැහැ. මොහුගේ පුතා සංගීත කණ්ඩායමකට සම්බන්ධවී සිටියත් පියාගේ ගායන හැකියාව ඔහුතුල තිබුණේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අර සංගීත සංදර්ශනයකදී එඩ්වඩ් ජයකොඩි කල්දේරාට හදුන්වා දුන්නලු .
      ඊට පස්සේ කල්දේරා ඔහුගේ තාලේට ඇහුවලු
      "අකුරු මැකී නැ කියන්නේ මල්ලිද මල්ලි "
      කියලා .හැක් හැක් .මම දවසක් දැක්කා ඔහුගේ පුතා රුපවාහිනි වැඩ සටහනකට ඇවිත් හිටියා කලදෙරාත් එක්ක ..

      Delete
  12. මචෝ .. මෙතුමාගේ ගීත අලුත් පරම්පරාව අතරට ගෙන යද්දි විවේචන තිබුණත් සන්ෆ්ලව්‍ර් සංගීත කණ්ඩායමේ නීල් නම් සොඳුරු මිනිසාගේ දායකත්වය ඉහලින්ම ලැබුනා ... උඹේ මේ පෝස්ට් එකෙන් එතුමාට වචනෙකින් හරි සාධාරණයක් ඉෂ්ට උනා.… මෙන්න මගෙ භක්තිය එකෙන්ම !!!!! රෙෂ්පට් බොස් …

    ReplyDelete
    Replies
    1. ඔබේ සැප මගේ සතුටයි ...
      ග .බ .සේ කැදවුම්කරු මිට වඩා මොනවා හරි කියන්න ඕනා .
      ස්තුතියි බ්‍රෑන්ඩ් එක ගල්
      (උඹ කවදද ගොඩ බහින්නේ .කාගිලිස් වල දැන් ගල් නැතෝ )

      Delete
    2. ලබන සතියේ යකෝ ලබන සතියේ :D . ඕයේස් !!!
      ගල් ඩිංගක් බොන්න ලැබෙන සතුටට කන්ඩ ඔනැත් නෑ බොල .හැක්

      Delete
    3. මචෝ මම ලබන සතියේ ඉතාලි යන්න ඉන්නේ ....

      Delete
    4. මමත් යනවා යකෝ නයිඡිරියාවට හරි...
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
  13. සොඳුරු මිනිසෙක් ගැන සොඳුරු සටහනක්.. හුඟක් ස්තූතියි සින්දු ඇනෝ..

    ReplyDelete
  14. දෙකක් දා ගත්ත වෙලාවට අනිවා කියන සිංදු දෙකක්..
    ඊයේ උදයේ ඔබ පොරැව මත දුටුවා
    මුදුලේ සුදුවැලි තලයේ
    එල ද බ්‍රා
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. එකනේ මචෝ මම කියන්නේ මේ සින්දු වලට අඩන්නත් පුළුවන් නටන්නත් පුළුවන් කියලා ..
      ස්තුතියි මෙන්ඩෝ
      බ්‍රෑන්ඩ් එක ගල්(ග .බෝ .සේ )

      Delete
  15. උඹට මතකද හිරැ එෆ් එම් එකෙන් හෙන්රිගේ වොයිස් කට් එකක් ඉල්ලලා උන්ගේ ප්‍රෙමා්ශන් වලට හෙන්රි අයියා කිව්වලු
    “ මට හිරැ පැව්වත් එකයි නැතත් එකයි...
    මම අන්ධ ගායක හෙන්රි කල්දෙරා කියලා

    ReplyDelete
    Replies
    1. හිකිස් ....ඔව් මචෝ කොල්ලෝ සෙට් වෙලා ඉන්න වෙලාවටත් කල්දේරාගේ සින්දුවක් පටන් ගන්න කලින් ඔහොම එනවුස් කරනවා ..

      Delete
  16. ඔය උඩම තීන සින්දුව ලිව්ව කුසුමා සූරිය ආරච්චි කියන්නෙ අපේ මහගෙවල් ගාව ඉන්න ඇන්ටි කෙනෙක්. ඒ මනුස්සයත් භාගෙට අන්ධයි. බැඳල ඉන්න කෙනා සම්පූර්ණයෙන්ම අන්ධයි, ඒත් ඒ දෙන්නගෙ එකම පුතා දිමුත් අලියෙක් විතර සයිස් හොඳ නිරෝගී කොල්ලෙක් ( පොඩ්ඩක් මොළේ අඩු උනාට මොකද ).

    දිමුතලගෙ අම්ම බොහොම හොඳ සාහිත්‍ය රසිකාවක්. මම ජීවිතේට අහල නැති කවි, කතා ඉස්සර ඒ මනුස්සය කියනව. ඒත් උන්දැගෙ පෙණුම පුන්චි අපිට භයානකයි කියල හිතුන නිසා අපිට ඒව අහන්න හිතුනෙ නෑ. ඒක අපේ කරුමෙ මිසක් උන්දැගෙ වරදක් නෙමෙයි!

    හෙන්‍රි කියන්නෙ ලංකාවෙ නොකියවෙන "වාග්ගේය" කාරයෙක්. කොටිම්ම නොගැයුණු විරුවෙක්. අපිට වඩා හොඳින් ලෝකෙ සුන්දරත්වය වින්ද කෙනෙක්.

    හෙන්‍රිගෙ යෙදුම් හරිම සුන්දරයි. ඒ වගේම සරළයි!

    //සීත සඳ නැඟෙයි පෙරඹර කවුළු දොර අයා// මේ වචන ටිකෙන් කියවෙන්නෙ, ඇස් නොපෙනෙන කෙනෙක් දකින හඳ. ඒක අපි දකින අඳුරු හඳ නෙමෙයි ඇඟට දැනෙන සීතල සඳ. ඔහු මේ සීතල හඳ ගැන තව තැනකදි මෙහෙම කියනව.

    //සිසිල සැඳෑවේ මේ අමාවකේ ගුවන් ගැබේ
    සඳක් නැඟී වාගේ නොපැතූ රුවක් පෙනේවී//


    ඊලඟට බලන්න ඇස් නොපෙනෙන කෙනෙකු යම් සිදුවීමක් මවන සුන්දරත්වය.

    //පුංචි ටිකිරි පාද තියා
    කණ්ණාඩිය වෙතට ගියා...
    මුවට ලැබුණු අමුතු සිරිය දිහා බලනවා
    බොළඳ හිනා ඒ කැඩපත මත නළියනවා
    මුදු බොළඳ හිනා ඒ කැඩපත මත නළියනවා//

    මේ සිදුවීම ඇස් නොපෙනෙන කෙනෙකුට මවා ගන්න මොන තරම් පරිකල්පනයක් තියෙන්න ඕනද! තමන්ගෙම දරුවෙක් ගැන ඔහු මේ ගීය ලියත්දි මොන හැඟීමක් හිතේ තියෙන්න ඇතිද!

    සිංහ්ල ගී ඉතිහාසෙ වෙනමම සලකුණක් තිබ්බ මේ වගේ විශිෂ්ඨ මිනිස්සු ගැන මෙහෙම හරි ලිව්වට උඹට ස්තූතියි මලේ!

    තව එකක්, මේ මනුස්සයව බහුතරයක් දෙනා දැනගත්තෙ සන්ෆ්ලවර් නිසා. ඒ විතරක් නෙමේ හිඟන්නෙක් වගේ නැතුව මනුස්සයෙක් වගේ මැරෙන්න ඉඩ ලැබුනෙත් ඒ නිසා. ඉතින් මොන දේ උනත් උන්ට ස්තූති කරන්නම ඕන.

    ReplyDelete
  17. මම මෙහෙම ලියලා බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වාගේ මතකයන් හැමෝම එක්ක බෙදාගන්න .බොහොමත්ම ස්තුතියි ඉන්දික අය්යේ ...
    උඩ කමියා මතු කලෙත් එතුමා ලෝකය බලපු විදිහ ගැන ...ඒ ගැන විස්තර කරන්න වචන නැ .
    //තව එකක්, මේ මනුස්සයව බහුතරයක් දෙනා දැනගත්තෙ සන්ෆ්ලවර් නිසා. ඒ විතරක් නෙමේ හිඟන්නෙක් වගේ නැතුව මනුස්සයෙක් වගේ මැරෙන්න ඉඩ ලැබුනෙත් ඒ නිසා. ඉතින් මොන දේ උනත් උන්ට ස්තූති කරන්නම ඕන.//
    ++++++++++++++++++++++++++++++++++++++++++++
    අනිවාර්ය්‍යයෙන්ම මේකේ ගෞවරවය නිල් වර්ණකුලට හිමිවෙන්නම ඕනෑ .

    ReplyDelete
    Replies
    1. //අනිවාර්ය්‍යයෙන්ම මේකේ ගෞවරවය නිල් වර්ණකුලට හිමිවෙන්නම ඕනෑ //
      එකගයි.

      Delete
    2. ස්තුතියි මෙන්ඩෝ
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
  18. Excellent article. You can find most of the original songs at http://infolanka.com/miyuru_gee/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අල්විස් මහත්තයෝ ....මම නිතරම ගැවසෙන තැනක් නොවැ ..

      Delete