Thursday, July 21, 2016

"සඳකැන් දහරින් - දෙනුවන් පිරිලා"

(පින්තුරය පුලස්ති එදිරිවීර මහතා විසින් අඳින ලද්දකි ) 
ගාල්ල මහින්ද විද්‍යාලයේ 16 හැවිරිදි සිසුවකුව සිටිමින් ම සිය ලේඛන කලාවට කිත්සිරි නිමලශාන්තයන් අත්පොත් තැබුවේ "කොතැන හෝ වරදක් ඇත" නමින් කාව්‍ය සංග්‍රහයක් එළි දක්වමිනි. බැංකු ලිපිකරුවකු ලෙස ලැබුණු සිය පළමු ජීවන වෘත්තිය මාස කිහිපයකින් ම හැරපියා ඔහු පුවත්පත් කලාව සිය යාවජීව ජීවන වෘත්තිය ලෙස තෝරා ගත්තේ සමහර විට එකී කොතැන නමුත් වැරදුණු තැනක් නිවැරදි කරගන්නට සිතුණු නිසා විය හැක. පන්ඩිත් ධර්මරත්න, මාර්ටින් වික්‍රමසිංහ, අරිසෙන් අහුබුදු වැනි ගත් කතුවරුන්ගේ ඇසුර  ලැබූ ඔහු දිවයින පුවත්පතේ වසර 17ක් සේවය කරමින් අවසන එහි විශේෂාංග කර්තෘ වරයා වූ ඔහු වසර 2000 දී දිනපතා ලක්බිම පුවත්පතෙහි ආරම්භයත් සමඟ එහි ප්‍රධාන කතුවරයා විය. බොහෝ ඇසූපිරූ තැන් ඇති ඔහුගෙන් පුවත්පත් කලාව තුළ ගුරුහරුකම් ගත් පිරිස බොහෝය. එමෙන් ම සිංහල භාෂාවේ සුරැකුම, නිවැරදි භාවිතය පිළිබඳව බොහෝ සෙයින් උනන්දුවූ පුවත්පත් කලාවේදියෙකු ලෙස ද ඔහු සැලකේ. 

එමෙන් ම ඔහු ඉතාමත් නිර්මාණශීලී ගීත රචකයකු විය. ඔහු ලියූ ගීතයන් අදටත් අප අතර නිරන්තරයෙන් රැඳී ඇත්තේ එබැවිනි."අකීකරු හිනාවෙන් ,මා නෙතු පියවි, නොබලන් කුමරිය (ටී.එම්. ජයරත්න) රහසේ හඬනා අප හැඟුම් ( ක්ලැරන්ස් විජේවර්ධන) ආදරයේ වේදනාව (නන්දා මාලිනී) සඳකැන් දහරින් - වෙදහාමිනේ ටෙලිනාට්‍ය සඳහා( මාලිනී බුලත්සිංහල) ලොවේ කොයි කාටත් හොරෙන් ( රෝහණ සිරිවර්ධන) ආදරේ නෑ ආදරේ ( සනත් නන්දසිරි ),  පෙනේ ඔබ රුව යාන්තමින් (දයාරත්න රණතුංග )  වැනි ගීත කීපයක් පමණි .මෙයින් ගීත වැඩි ප්‍රමාණයක් තනුවට අනුව වචන ලියු ඒවා විය .....

කිත්සිරි නිමල්ශාන්ත නම් වූ සෞන්දර්යවාදියා පිළිබඳ අදහස් ප්‍රකාශ කළ ගීත රචක සූනිල් සරත් පෙරේරා මහතා මෙසේ කීය. "කිත්සිරි චින්තනය කෙරෙහි දැඩි බලපෑමක් කළ පූවත්පත් කලාවේදියෙක්. කිත්සිරි නිරවූල්ව කල්පනා කළ කෙනෙක් බව ඔහූ ලියූ කතුවැකිවල නිරවූල් භාෂාවෙන් පැහැදිලි වෙනවා. ඔහූ ලියූ ගීතවලට වඩා ඇතැම් කතුවැකි ගීතාත්මක වූ අවස්ථා තිබෙනවා. තමාටම ආවේනික වූ භාෂාව තුළ ජීව ශක්තිය තිබූණා. කිත්සිරි නිමල්ශාන්ත හූදෙකලා කලාකරුවෙක්. ඒ බව ඔහූ ලියූ ගීතවලින් පැහැදිලි වෙනවා. භාෂාව වාදනය කිරීමේ හැකියාව ඔහූට තිබූණා. එය අමරදේවයන් වයලීනය වාදනය කරනවා වගේ. ඔහූ ලියූ ගීතවල තිබූණේ එකිනෙකට වෙනස් වූ ආකෘති. නොබලන් කුමරිය, රහසේ හඬනා අප හැඟුම්, ආදරයේ වේදනාව හදට දැනූනූ යම් දවසක, සඳකැන් දහරින් දෙනූවන් වැහිලා, ලොවේ කොයිකාටත් හොරෙන්, ආදරේ නෑ ආදරේ... ඇතුළු කිත්සිරි ලියූ ගීතවල ගීතාත්මක කාව්‍යෝක්තිය කුමක්ද යන්න වටහාගත හැකියි. "

1956 දී මෙලොව එලිය දුටු නිමල් ශාන්තයන් 2002 ජනවාරි 14 වෙනි දින අපෙන් සමු ගත්තේය ....

-----------------------------------------------------------------------------------
ඉර හඳ තරු යට
අත් වල බැඳ ගෙන
පොළෝ මෑණියන් ඇකයේ නැලවෙන
එකම සොයුරන් වෙමුය අපි

හැම සුදු කළු යැයි
උනුන් භේද වී
අනුන් නසා තම තමන් නසෙන්නට
අවි මානාගෙන කිමද කිපී

මිනිසත් බව ලද
කවුරුත් නෑයෝ
නොඉඳ මෙලෙස එරෙහිව මතු දා
හිනැහෙමු වැලපෙමු එකට වැටී ..

කිත්සිරි නිමල් ශාන්ත
-නොබලන් කුමරිය - 1993
-----------------------------------------------------------------------------------
කිරි මදු වැල් කිරි මදු වැල් කිරි අම්මේ
මමත් කිරට අඬනා දරුවෙකි අම්මේ
ගිනියම් වූ පුරවරයක සුසුම් ලමිනි ඉන්නේ
ආදරයෙන් හිස අත ගා තැවුල් නිවා පන්නේ

රුදුරු උරග සේනාවේ විස දල වැද දුකිනේ
කුරිරු රුපුන් මැද හිඳිනෙමි නිබඳ තැළුම් කමිනේ
හිනා මුවක් දයා සිතක් ලෙන්ගතුවක් නොපෙනේ
මේ ගමනේ අරුත කිමැයි කියා දියන් අම්මේ

අනුන් දහදියෙන් සව් දිය පුරනා මිනිසුන්නේ
නිසරු රැුඟුම් වියරු නැටුම් මා සිත රිදවන්නේ
රන්මසු ලුහු බඳින ලොවක ලතෙත් ගුණය නොරැුඳේ
අසරණ මගෙ හිත සනහා දිරිය දියන් අම්මේ

කිත්සිරි නිමල් ශාන්ත
-නොබලන් කුමරිය - 1993
-----------------------------------------------------------------------------------
තැනෙක නැටුම් තැනෙක ගැටුම්
දහස් මුවින් නැගෙන සුසුම්
නොයෙක වෙසින් එන විගඩම්
සකිසඳ කිම මේ සරදම්...

දනින් වැටෙන්නට දන්නෝ
සැණින් මෙදා ජය ගන්නෝ
මිනිස් හැඟුම් නොතකන්නෝ
පිදුම් ලබා වැජඹෙන්නෝ..

දනෝ තැවෙත් උනුන් හැපී
හඬත් අයෙක් සයින් වැටී
කෙනෙක් නටත් තුටින් පිපී
විකල් ලොවක් බලන් සකී

කිත්සිරි නිමල්ශාන්ත
-නොබලන් කුමරිය- 1993 මාර්තු
-----------------------------------------------------------------------------------
අකීකරු හිනාවෙන් කවුළු දොර ළඟට වී
එදා වාගේ අදත් හිඳින් දඟකාරියේ
පුංචි රතු මල් වැටුණු දිග ගවුම ඇඳ ඇවිත්
හිඳින් දඟකාරියේ එදා වාගේ අදත්..

සිහින් සිරි පොද වැස්ස වැටෙන සැන්ඳෑ සමේ
පහන් තාරකාවන් පිපී එනතුරු රැයේ
පෙර වගේ හිනැහෙන්න ළංවෙන්න
සොඳුරු දඟකාරියේ...

සිඟිති පා පොඩි තබා දුව ඇවිද ගෙමිදුලේ
අකීකරු හිනාවෙන් කවුළු දොර ළඟට වී
එදා වාගේ අදත් හිඳින් දඟකාරියේ
පුංචි රතු මල් වැටුණු දිග ගවුම ඇඳ ඇවිත්
හිඳින් දඟකාරියේ එදා වාගේ අදත්

සිහින් සිරි පොද වැස්ස වැටෙන සැන්ඳෑ සමේ
පහන් තාරකාවන් පිපී එනතුරු රැයේ
පෙර වගේ හිනැහෙන්න ළංවෙන්න
සොඳුරු දඟකාරියේ............

සිඟිති පා පොඩි තබා දුව ඇවිද ගෙමිදුලේ
හොරෙන් වාගේ ඇවිත් හිනා වී හැංගිලා
කෙළිදෙලෙන් ඒ දවස් අමතකද
කියන් දඟකාරියේ............

ගී පද - කිත්සිරි නිමල් ශාන්ත
ගායනය - ටි.එම් ජයරත්න
සංගීතය -ක්ලැරන්ස් විජේවර්ධන

-----------------------------------------------------------------------------------
ලොවේ කොයි කාටත් හොරෙන්
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
ඔබේ සිත් යහනේ…

නින්ද නොමැතිව හිඳින විට ඔබ
කවුළු දොර ළඟ මග බලා
සුළං රැල්ලේ එතී එන්නම්
මුවැත්තියෙ මා ඔබ සොයා…

සුසුම් කවි ගී සෙමින් මුමුණන
ඔබේ තනි නොතනිය මකා
ළසඳ කැල්මේ වෙලී එන්නම්
රුවැත්තියෙ මා ඔබ සොයා…

පද - කිත්සිරි නිමල් ශාන්ත
සංගීතය - ඩයමන්ඩ් පෙරේරා
ගායනය - රෝහණ සිරිවර්ධන
-----------------------------------------------------------------------------------
ආදරයේ වේදනාව
හදට දැනුනු යම් මොහොතක
හුදකලාව නොතැවී යලි
එන්න මා සොයා...
එන්න මා සොයා...//

දේදුනු පැහැයෙන් දිදුලන
ආදර විජිතය හැරදා...
රැගෙන පලා ගිය මොහොතක
නොතැවී යලි ඈ සිහිකර
එන්න මා‍ සොයා...
එන්න මා‍ සොයා...
ආදරයේ වේදනාව...//

ජීවිතයට මිහිර ලතැවුල
ඔබ තුරුලට ලංවූදා
නොතැවී හිද තනියහනේ
මතක සුලං රොදක එතී
එන්න මා‍ සොයා...
එන්න මා‍ සොයා...
ආදරයේ වේදනාව...//

ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - කිත්සිරි නිමල් ශාන්ත
සංගීතය - රෝහණ වීරසිංහ
-----------------------------------------------------------------------------------
සඳකැන් දහරින් - දෙනුවන් පිරිලා..
දෙනුවන් කැළුමින් - පියුමන් සැලිලා..

හිරිපොද වැහි වැටිලා...
කුරහන් මල් තෙමුනා...
හිවුඩු පිපෙන සුළගේ...
සුවඳ මැකී වියැකී...

ඉද්ද සමන් පිපිලා..
වන පෙත හිනැහෙනවා..
කොවුලිදු ගී ගැයුවා
ගං දොරකඩ රැදිලා...

ගායනය : මාලිනී බුලත්සිංහල
පද රචනය : කිත්සිරි නිමල් ශාන්ත
සංගීතය : ප්‍රේමසිරි කේමදාස

-----------------------------------------------------------------------------------
නොබලන් කුමරිය
නිසසල මා දෙස
සසල ඔබෙ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනමා ලොව
කලඹනුනොහැක ඉතින්

ළදකගේ සෙනෙහස
නොපතමි කිසිදා
නිදහස අගයන්නෙම්
නුරා පිරුනු නෙතු වෙනතක දල්වා
සමුගත මැනව ඉතින්

සුපුරුදු තනිකම පාලුව මිහිරියි
හිදිනෙමි සැනසිල්ලෙන්
ආදර රැහැනින් මහද වෙලන්නට
ඔබහට නොහැක ඉතින්

පද රචනය - කිත්සිරි නිමල් ශාන්ත
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - ටී. එම්. ජයරත්න

-----------------------------------------------------------------------------------
රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සඳු පායනා රැයේ
පිණි සේ තරු සේ
තනි වී තැවෙනා පෙම් සුසුම්

හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා
මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඬනා අප හැඟුම්...

සඳ රෑ සිහිනේ සෙවණැල්ල සේ වෙලී
ඉමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳී
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඬනා අප හැඟුම්...

රචනය: කිත්සිරි නිමල් ශාන්ත
සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය - නීලා වික්‍රමසිංහ / ක්ලැරන්ස් විජේවර්ධන

-----------------------------------------------------------------------------------
ආදරෙ නෑ ආදරේ
කවුරැවත් නෑ ආදරේ
ආදරේ නෑ ආදරේ
කවුරැවත් නෑ ආදරේ........

විථියේ අතිනත වෙලා
තරැළු වී හිඳ හිනැහිලා
පෙම්වතුන්ගෙ ඒ සුවේ නෑ
මගේ හදවත තනිවෙලා......

ආදරෙ නෑ ආදරේ.....

පාළුවේ හිඳ මගබලා
දැස කඳුලින් බොඳවෙලා
ආදරේ සුව මට උරැම නෑ
හඬයි හදවත තනිවෙලා.......

ආදරෙ නෑ ආදරේ.....

රචනය: කිත්සිරි නිමල් ශාන්ත
සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය : සනත් නන්දසිරි
-----------------------------------------------------------------------------------
ප.ලි.
අකාලයේ අප අතරින් සමුගත් සොඳුරු මිනිසෙක් පිලිබඳ කෙටි සටහනක් ලියන්න හිතුනා ..ඔහු පිලිබඳ ගොඩක් විස්තර හොයා ගන්න බැරි වුනා ...මේ ටිකත් අන්තර් ජාලයෙන්  හා පුවත්පත් වලින් උපුටා ගත්තේ ...වැරදි අඩුපාඩු පෙන්වා දෙන්න ....(නිමල් සාන්තයන්ගේ පින්තූරය මා වෙත එවූ ප්‍රභාත් චින්තක සහෝදරයාට සහ එය සිතුවම් කල  පුලස්ති එදිරිවීර මහත්මයාට බෙහෙවින්ම ස්තුතියි ....)




37 comments:

  1. නොබලන් කුමරිය" මම අසා කරන සින්දුවක්.(අපි දිහා ඉතින් කුමරියෝ වැරදිලා බැලුවොත් තමයි ඉතින්...:D )

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ආඩම්බර කම් පෙන්වාලා
      මඟ හැර යනවාදෝ
      උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි
      ඒ බව දන්නවදෝ

      ඕං නංගි ආයෙ කිව්වෙ නෑ කියන්ඩෙපා පස්සෙ ඈ.. හැක හැක

      Delete
    3. මනෝජ් මොකෝ බන් හොරෙන් බලන්නේ ..හැක් හැක්

      "මෙතුවක් ආ මුත්
      හුදෙකලාව මා
      දිවි මඟ රුදු කටු කොහොල් දිගේ
      තව දුර යන්නට
      සිතට දිරිය නෑ
      කවුරුද මට අත්වැල වන්නේ "

      -නොබලන් කුමරිය- 1993 මාර්තු

      Delete
    4. @පත්තරේ ....

      නෙතට හමුවේවා
      ඔබේ රුව
      කලාතුරෙකින් හෝ
      දිනෙක යලි
      නෙතට හමු වේවා !!

      -නොබලන් කුමරිය- 1993 මාර්තු

      ඕං නංගි ආයෙ කිව්වෙ නෑ කියන්ඩෙපා නේහ් ....හැක් හැක්

      Delete
  2. මම ආසයි ලොවේ කොයිකාටත් හොරෙන් කියන සිංදුවට... ඒකෙ පද සහ රෝහණගේ හඬත් හොඳට ගැලපෙනවා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම රෝහණ සිරිවර්ධනගේ හඩට මමත් කැමතියි ..අනෙක
      "ලොවේ කොයි කාටත් හොරෙන්" ලැගුම් ගන්න හැමෝම කැමතියි නේද කවිඳු ...හැක් හැක්

      Delete
  3. මම වඩාත් කැමති සනත් නන්දසිරි ගේ ආදරේ නෑ ආදරේ ගීතයට. එය සරලයි මිහිරියි. ඇහෙනකොට මොකක්දෝ පාළුවක් හිතේ ලැගුම් ගන්නවා.

    ReplyDelete
    Replies
    1. //ඇහෙනකොට මොකක්දෝ පාළුවක් හිතේ ලැගුම් ගන්නවා//
      +++++
      "ආදරේ සුව මට උරැම නෑ
      හඬයි හදවත තනිවෙලා......."

      Delete
  4. ආසා සින්දු ගොඩක් ලියල තියනවා නේද බං

    ReplyDelete
    Replies
    1. ඔව් බන් එක ගීතයකට වත් අකමැතියි කියන්න බෑ ..

      Delete
  5. මං වැඩියම ආස කිරි මදුවැල් සිංදුවට..

    ReplyDelete
    Replies
    1. මම කැමති "ආවර්ජනා " කියන එකට මචෝ ..ඒක පට්ට

      වලා විනිවිඳ නීල අහසේ
      දිලේ තනි තරුවක්
      මළානික මතකයේ සුවඳින්
      නැඟෙ හද සුසුමක්

      සිඟිති දිගෑඟිලි තුඩින් මා හිස
      හෙමින් පිරිමදිමින්
      දයාවෙන් ඔබ බලා හුන් හැටි
      දැනුදු සිහි කරනෙම්

      ඇසෙන නො ඇසෙන හඬින් කොඳුරා
      ඔබ කියූ එවදන්
      අසනියක ලෙස මතුව මේ රෑ
      මගේ හද පාරයි ...

      -නොබලන් කුමරිය- 1993 මාර්තු

      Delete
  6. වැරද්දක් අඩුපාඩුවක් නැහැ.

    ඔහුගේ භාෂා ඥානය සහ ගීතමය චිත්ත සන්තානය කොතරම් පුළුල්ද යන්න, මේ නිර්මාණ වලින් මොනවට පැහැදිලි වෙනවා. කාලීනව, ගීත සාහිත්‍යය තුල සිදුවන භාෂා විපර්යාස පිළිබඳව, පර්යේෂණයක් කරන කෙනෙකුට, මේ ගීත රචනා, මහඟු අත්වැලක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි විචා .....

      Delete
  7. ඉතාමත් වටිනා සටහනක්.

    කිත්සිරි මහත්තයාගේ ජීවිතයේ අවසාන අවුරුදු දෙක ඔහු සමග ගත කිරීමේ අවස්ථාව මට ලැබුණේ දිනපතා ලක්බිම පුවත්පත ආරම්භ කරත්දීම මා ඊට එක්වූ නිසයි. සිංහල භාෂාව පිළිබඳ ඔහුගේ දැනුම විශිෂ්ටයි. ඔහු තරම් නිර්මාණශීලී පුවත්පත්කලාවේදියෙකු මා තවත් දැක නෑ. ව්‍යාකරණානුකූලව, නිවැරදි අක්ෂර වින්‍යාසය සහිතව ලියන්නට ඔහු දුන් ගුරුහරුකම් තවමත් මගේ සිතේ තදින් සටහන්ව තිබෙනවා. ඒ හැම දේටත් වඩා ඔහු මනුෂ්‍යත්වයෙන් පිරිපුන් පුද්ගලයෙක්.

    ඇත්තටම කියනවා නම් මේ සමහර ගීත ඔහු විසින් ලියැවුණු බව මා දැන සිටියේ නෑ. ඒ උදාර මිනිසා ගැන මතකය අවදි කර බොහෝ දෙනෙකු සමග බෙදා හදා ගැනීම ගැන ඔබට බෙහෙවින්ම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. නිලුක සාදරයෙන් පිලිගන්නවා ඔබව !!!
      මට මෙතුමා ගැන විස්තර හොයාගන්න ක්‍රමයක් නැතිව හිටියේ .පස්සේ හැම තැනින්ම ටික ටික එකතු කරගෙන හදපු සාරාංශයක් මේ ....කලින් හඳුනාගෙන තිබුනානම් මේ ලිපියට හොඳ වටිනාකමක් දෙන්න තිබුනා ...බොහොම ස්තුතියි ..

      Delete
  8. Mahinde thamai eyaageth iskole

    ReplyDelete
  9. කිත්සිරි නිමල්ශාන්තයින් ගේ අනෙකුත් කාව්‍ය සංකල්පනාවනුත් ගීත බවට පත් නොවුණේ ඇයි කියලා හිතෙනවා.. ඒවා එතරම් ම ගීතවත්... අරුත්බරයි වගේම හෘදයංගමයි...
    ඔහුගේ ගීත අතුරින් "ලොවේ කොයි කාටත් හොරෙන්" මුලින් ම ගීතයක් බවට පත් වුණ පද රචනාව බව "නොබලන් කුමරිය"හි සඳහන් කරලා තිබෙනවා..
    ඒ සොඳුරු ගීතයේ තනුව සහ සංගීතය නිර්මාණය කළ ඩයමන්ඩ් පෙරේරාගේ මුල්ම නිර්මාණයත් එය බව ඒ පොතේ කියවෙනවා...
    ඒ දෙ-කුළුඳුල් නිර්මාණයේ මධුර බව නම් අපමණයි..
    ඒ ගීතයත්,"සඳකැන් දහරින්" සහ "රහසේ හඬනා" යන ගීතත් සිතේ රැඳිලා තියෙන්නේ කිසිදා නොගිළිහෙන ලෙසින්..
    මෙවන් සුමධුර, සොඳුරු , හදවත හා බැඳුණු ගී රචනා කළ ආදරණීය සහෘදයන් අඩු වයසින් , අකාලයේ අප හැරයන්නේ ඇයි??
    මහගමසේකර, බණ්ඩාර විජේතුංග, ප්‍රේමකීර්ති, උපාලි ධනවලවිතාන,කේ ඩී කේ ධර්මවර්ධන,කරුණාරත්න අබේසේකර මෙන් ම දයානන්ද ගුණවර්ධනයන් ද , කිත්සිරි නිමල්ශාන්ත මෙන් ම අකාලයේ අප හැරගියෝ වෙති...
    මේ ආදරණීයයන් සිහිපත් කෙරෙන සෑම විට ම මගේ සිතේ පැන නඟින මේ පිළිතුරක් නැති පැනය අදත් එසේම යි.....
    ස්තුතියි සිංදු ඇනෝ.....!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනාලි හැමදාම වාගේ වටිනා අදහස් ගෙනහැර දැක්වුවාට .....
      //මේ ආදරණීයයන් සිහිපත් කෙරෙන සෑම විට ම මගේ සිතේ පැන නඟින මේ පිළිතුරක් නැති පැනය අදත් එසේම යි..//++++++++++++++++++මේකට කියන්න වෙන්නේ අපේ කරුමේද රටේ කරුමෙද කියල තමයි ..සුනිල් ශාන්තගේ ගීතය තමයි හැමදාම ...

      Delete
  10. මේ සමහර් ගීත අහල රසවිඳල තිබුනට මේ රචකයා ගැන ඇහුවෙ අද.. අපි කොච්චරනම් අන්ධද.. කවදාවත් දෙනෙත් පෑදෙන එකකුත් නෑ මෙහෙම හිටියම. :-(

    ReplyDelete
    Replies
    1. හරි මචෝ දැන් දැනගත්තානේ ,,දැන්ම අන්ධවෙලා කොහොමද දරුවන්ගේ ඇස් පාදන්නේ ගුරු සිසු තුමනි ...

      Delete
  11. අප‍ේ ර‍ටේ 'සිංහල පුවත්පත් තීරු ලිපි කලාව' ගැන පුරෝගාමී පර්යේෂණය කළේ කිත්සිරි නිමල්ශාන්ත මහතා විසින්. මගේ පර්යේෂණයක් සඳහාත් ඔහුගේ පර්යේෂණ කෘතිය විශාල පිටිවහලක් වුණා. ඔහු වැඩ කළ භාෂා පරාසය වඩාත් පුළුල්. ඔහු වැනි 'සාරවත් මිනිසුන්' අහිමි වීම අපේ රටේ පුවත්පත්කලාවේත් පාඨකයින්ගේත් අවාසනාව. අකල්හි ඔහුගේ නික්ම යාම සිතට දුකක්. ඔහු ගැන යළි සිහිපත් කරන ඔබේ ලිපිය වටින වැඩක්.අැත්තටම ඔහු හැදෑරිය යුතු මිනිසෙක්.

    ReplyDelete
    Replies
    1. කිත්සිරි නිමල්ශාන්ත මහතා වඩාත් අවධානයෙන් ලිපියක් කියවන අාකාරය පැත්තකින් පෙනෙන ලෙසට පුලස්ති විසින් අඳින ලද චිත්‍රයක් තිබෙනවා. එය ඔහුගේ අනන්‍යතාව දැක්වෙන අපූරු නිර්මාණයක්. ඒ චිත්‍රයත් මේ ලිපියට එකතු කරන්න පුළුවන්නම් අගෙයි.

      Delete
    2. බොහොම ස්තුතියි ප්‍රභාත් ඔබගේ වටිනා අදහස් වලට ....චිත්‍රය එවන්න ..අපි ඒක මෙතනට කරමු ...ජයවේවා !!!1
      sinduano@gmail.com

      Delete
    3. එය සොයාගන්න උත්සාහ කරමින් ඉන්නේ. මට දවස් කිහිපයක් දෙන්න. මම එවන්නම්.

      Delete
    4. බොහොමත්ම ස්තුතියි සහෝ ...ජයවේවා !!!!!!!

      Delete
  12. කිත්සිරි ලිව්ව බොහොම ජනප්‍රිය ගීතයක් වන සනත් නන්දසිරි ගයන "එදා මෙදා තුර කඳුලට විවරව" ගියත් මතක් කරමු සිංදු මල්ලි.

    ReplyDelete
    Replies
    1. උපාලි මහත්තයෝ ඒ ගීතය ලිව්වේ විමල් ජයශාන්ත කියන රචකයා ...මෙන්න වැඩි විස්තර
      ------------------------------------
      හරියටම ගීතයේ උපන් දිනය කිව්වොත් 1975 සැප්තැම්බර් මස දහනම වැනිදා ය. මෙම ගීතයේ රචකයා වන්නේ විමල් ජයශාන්තයන් ය. මෙය ඔහු ලියූ ප්‍රථම මෙන් ම අවසාන ගීතය බව ඇසූ විට ම සිත උපන්නේ සියුම් දුකකි. ඒ සහෘද ශෝකය තවත් තීව්‍ර වූයේ ඔහු ද අද ජීවතුන් අතර ද නැතැයි යන්න ඇසීමෙනි.
      http://www.silumina.lk/2010/07/11/_art.asp?fn=av10071113&p=1

      Delete
  13. කිත්සිරි ලිව්ව බොහොම ජනප්‍රිය ගීතයක් වන සනත් නන්දසිරි ගයන "එදා මෙදා තුර කඳුලට විවරව" ගියත් මතක් කරමු සිංදු මල්ලි.

    ReplyDelete
  14. මෙතුමා පුවත්පත් කලාවේදියෙක් ලෙස දැන උන්නට මේ තරම් සරු ගීත රචකයෙක් කියලා දැන ගත්තෙ අද...බොට ස්තූතියි ඒ බව දැනුවත් කොලාට...

    ReplyDelete
    Replies
    1. උඹලත් දන්නේ නැ කිව්වාම අනිත් වුන් ගැන කුමන කතාද සිරෝ .....
      ජයවේවා !!!

      Delete
    2. ලොවේ කොයි කාටත් හොරෙන් දැන් ඇහුවා...ඔරිජිනල් මියුසික් එක්ක ඒ සින්දුව මේ ඇහුවමයි...මාර ලස්සනයි...

      Delete
  15. නොදන්නා ගොඩක් අදත් දැනගත්තා..බොහොම ස්තුති ඇනෝ

    ReplyDelete
  16. සඳකැන් දහරින් සිංදුවට මම හෙන ආසයි.. යු ටියුබ් එකෙන් සිංදුව බා ගත්තා.. හෙහ් හෙහ්.. අනිත් සිංදුත් හෙන ආසම ඒවා..මේ සටහන් ලියන එක හෙන වටිනවා ඇනෝ මචං.. අපි වගේ මේවා ගැන නොදන්නා මිනිස්සු කොච්චර ඉන්නවා ද.. එල

    ReplyDelete
  17. අකාලය වියෝ වූ අපූරු කලාකාරයෙක් ගැන මෙසේ සටහන් කර තැබුවාට ස්තූතියි. ගූගස් සර්ච් කරන වෙලාවලදී මේ වගේ පොස්ට් නිසා තමයි අපිට නියම තොරතුරු ලබා ගන්න පුලුවන් වෙන්නේ.

    ReplyDelete