“මම තවමත් පුංචි ළමයකු විදිහටයි හැගෙන්නේ. වයසින් මුහුකුරා ගියත් මම තවමත් මගේ ළමා වයස දෑතින් බදා ගන්නවා. කයින් වැඩිහිටියකු වූ මම සිතින් පුංචි ළමයෙක්.”
(ළමා පරපුරේ අමරණීය වූ වීරයා - ටයි මහත්තයා )
"මුහුද මගේ ගොඩ බිමයි නැව මගෙ නිවහන තමයි
සියලු සතුන් මගෙ තමයි දොස්තර හොඳ හිත මමයි"
පරම්පරාවෙන් පරම්පරාවට සවන්පත් හි රැඳෙන මෙම ගීතයේ පදවැල් එකිනෙකට ගළපමින් ප්‍රේමකීර්ති ද අල්විස් නමැති දක්ෂ ගේය පද රචකයාත් එහි තනුව නිර්මාණය කළ ජාතික රූපවාහිනි සංගීත අංශයේ එවකට අංශ ප්‍රධානියා වූ සෝමසිරි ඉලේසිංහයනුත් දොස්තර හොඳ හිත කාටුන් චිත්‍රපට මාලාවේ මුල්ම කථාංගය වූ බෑයි කියල බෑ චිත්‍රපටය සඳහා අනුපමේය දායකත්වයක් ලබා දුන්හ. ප්‍රේම් මිය යන තෙක්ම ටයි මහතාගේ බඩ බැඳගත් එකම ගීත රචකයා විය. මා බඩ බැඳගත් යනුවෙන් විශේෂණ පදයක් ප්‍රේම් වෙනුවෙන් ලියා තබනුයේ ඔහු ටයි මහතා හමුවන සෑම විටකදීම පාහේ ටයි මහතාගේ ඉදිරියට නෙරා ආ බඩ වටා අත යවමින් බැරි බරගාතේ වුව ද ඔහුව තමන් දෙසට ඇද ගනිමින් තම දත් පෙළෙහි දෙපස පිහිටුවා තිබූ නල දත් දෙකම ප්‍රදර්ශනය වන සේ සිනහවීමට ප්‍රේම් පුරුදු වී සිටි බැවිනි.
දොස්තර හොඳ හිත කථා මාලාවට අන්තර්ගතව කාටුන් සංගීත කණ්ඩායමක් විය. ටයි මහතා විසින් එය නම් කරන ලද්දේ "ලා තණ කොළ පෙත්තාස්" යනුවෙනි. ප්‍රේම්ගේ පද්‍යවලට සෝමපාල රත්නායක ගේ තනු වලට එම කණ්ඩායම් ගීත ගායනා කරන ලද්දේ දීපිකා පි‍්‍රයදර්ශනී ප්‍රමුඛ අතුලගේ කළුබෝවිල ගෝල බාල පිරිස විසිනි. දීපිකාගේ ප්‍රථම ගායන ප්‍රවේශය ද මෙය විය. පසු කලෙක දී ප්‍රාසංගික කලාව ජනතාව අතරට ගෙන යාම සඳහා රූප රචනාවෙන් සුරු විරුකම් පෑ රවීන්ද්‍ර මුණසිංහ ද එම ගායනා අත් වැලෙහි නිත්‍ය ගායකයෙකු විය.
මිමී 16 චිත්‍රපටය හඬකැවීම් අංශයට අයත්ව තිබූ යන්ත්‍රයේ එහාට මෙහාට යවමින් එහි ඇති කුඩා මොනිටරයෙන් ප්‍රදර්ශනය වන දර්ශනයන් නරඹමින් චිත්‍රපටයේ චරිතයන් ඉංගී‍්‍රසි බසින් කියාපාන දෙබස් ටයි මහතා විසින් ලියා ගන්නා ලදී. පසුදින ඔහු සංස්ථාවට පැමිණෙන්නේ ඔහු විසින් ම නම් ප්‍රසිද්ධ කළ දොස්තර හොඳ හිත, චව්චව්, දියරකුස්, ටොම් වැනි චරිතයන්ගේ මුවඟට සරිලන ලද දෙබස් අන්තර්ගත සිංහල පිටපත ද රැගෙනය. ලා තණ කොළ පෙත්තාස් ගායක කණ්ඩායම විසින් ගායනා කරන ලද ගීතයේ තේමාව ප්‍රේම් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව අදාළ කථාංගය ලූප්වලට කැඩීම ටයි මහතා අතින්ම සිදුවේ. එක් කථාංගයක් ලූප් 16 කින් පමණ සමන්විත වේ. එසේ කොටස් කර ගත් දොස්තර හොඳ හිත කතාව පෙට්ටියක බහාලමින් කලට වේලාවට ශීලා කටුගම්පල මෙනෙවිය විසින් ටයිප් කර දෙනු ලැබූ සිංහල පිටපත ද රැගෙන අදාළ හඬ ශිල්පීන් සමඟ රජයේ චිත්‍රපට අංශයට යාම එකල අතුලගේත් මගේත් දෛනික රාජකාරිය විය.
දොස්තර හොඳ හිතෙන් පසුව හා හා හරි හාවා, පිස්සු පූසා, ගලිවර්ගේ සිව්සැරිය වැනි කාටුන් චිත්‍රපට සේම සම්භාව්‍ය ගණයේ චිත්‍රපට සේ සැලකෙන විදේශීය චිත්‍රපට පෙළක් ද සිංහල බසින් හඬ කැවීම් සඳහා පෙළ ගැසුණි. සිටුවර මොන්ත ක්‍රිස්තො, මල්ගුඩි දවස ඒ අතරින් ප්‍රධානවේ. පිටරට දේ අපේ දේ කර ගැනීමට ටයි මහතාගේ ප්‍රාග්‍රණ්‍යයට හේතු වූයේ ඔහු සතු වූ ද්වි භාෂා දැනුම වේ. ඔහුගේ දෙබස් සරල සුගම වේ. ඒවායේ මුල් දෙබස් ඛණ්ඩයන් තිබුණේද යන්න ගැනවත් ප්‍රේක්‍ෂකයන්ට නොසිතෙන අයුරින් එම වදන් අපේ කර ගැනීමට ටයි මහතා සමත් විය. ජපන් සංස්කෘතියේ පරම්පරා ගැටුම ප්‍රතිම්භනය කරන ලද ඕෂීන් චිත්‍රපට මාලාව මෙයට දිය හැකි කදිම නිදසුන වේ. කුසුම් පීරිස්, සුනන්දා හෙට්ටිආරච්චි, නිහාල් ජයවර්ධන, පබෝධා සංදීපනී, ගීතා කාන්ති ජයකොඩි වැනි ප්‍රවීණ හඬකැවීම් ශිල්පීන්ගේ දායකත්වය ඕෂීන් ප්‍රාණවත් ජීව ගුණයෙන් ආඪ්‍ය වූ ටෙලි නාට්‍ය මාලාවක් හැටියට ප්‍රේක්‍ෂකයන් වෙතට ගෙන යාමට මහෝපකාරී වූහ.
හඬකැවීම් ශිල්පය වෙනුවෙන් මෙසේ පුරෝගාමී මෙහෙවරක් සඳහා තම නිසඟ ප්‍රතිභාව ජාතියට දායාද කරන ලද ටයිටස් තොටවත්ත නම් අග්‍රගණ්‍ය කලාකරුවා, ගුරුවරයා සිහිපත් කර අතුල රන්සිරිලාල් මහතාගේ පුරෝගාමීත්වයෙන් ජාතික රූපවාහිනිය සතු හඬකැවීම් මැදිරිය ටයිටස් තොටවත්ත හඬකැවීම් මැදිරිය යනුවෙන් නම් කිරීම ප්‍රශංසනීය කරුණකි. එම උත්සවයට ටයි මහතාගේ නිර්මාණකරණයේ යෝධ සෙවණැල්ල සුජාතා තොටවත්ත මහත්මියට ඇරයුම් කිරීම ද, එතුමා වෙනුවෙන් මේ භවයේ දී කළ හැකි මහා පුණ්‍ය කර්මය සඳහා හඬකැවීම් ශිල්පය සමාජගත කිරීම වෙනුවෙන් තමන්ගේ ප්‍රතිභාව විහිදුවා ලූ එහෙත් අප අතහැර ගොස් සිටින කරුණාතිලක හඳුවල, ගැමුණු විජේසූරිය, ධර්ම ශ්‍රී මුණසිංහ, වික්ටර් මිගෙල්, එල්සන් දිවිතුරුගම, මර්සි එදිරිසිංහ, නිහාල් ජයවර්ධන, ලෙස්ලි රාමනායක, රෝයි ජයවර්ධන, ඇනස්ලි ඩයස්, සැමුවෙල් රුද්‍රිගු සමඟ ප්‍රේමකීර්ති ද අල්විස් යන ශ්‍රේෂ්ඨ කලාකරුවන් ටයි මහතා සමඟ මධු විතක් තම සුරතෙහි රඳවා ගෙන එලොව සිට බලා සතුටු වෙනු නියතය.
(අනුර මාධව ජයසේකර)
*බැහැයි කියල බැහැයි කියල බෑ....
බැහැයි කියල බැහැයි කියල බෑ
බෑ කියලා බැරිය මලේ
බෑ කියලා බැරිය නඟේ
බෑ කියලා බෑ බෑ බෑ...
මල් පිපුනේ සුවඳ දෙන්න බෑ යි කියල බෑ
තටු ලැබුණේ පියාඹන්න බෑ යි කියල බෑ
අත් ලැබුණේ වැඩ කරන්න බෑ යි කියලා බෑ
මේ ලෝකේ කිසිම දෙයක් බෑ යි කියලා බෑ
අපි හැදුනේ රට රකින්න බෑ යි කියලා බෑ
රට වෙනුවෙන් වැඩ කරන්න බෑ යි කියල බෑ
යුතුකම් ඇත ඉටු කරන්න බෑ යි කියල බෑ
නඟේ මලේ කිසිම දෙයක් බෑ යි කියලා බෑ’
ගායනය: "ලා තණකොළ පෙත්තාස්"
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සෝමසිරි ඉලේසිංහ
(දීපිකා ප්‍රියදර්ශනී පීරිස්,රසාදරී පීරිස්, රවීන්ද්‍ර මුණසිංහ සහ පිරිස)
*සුළඟ සුළුයි වැඩි බර නෑ...
සුළඟ සුළුයි වැඩි බර නෑ
එය සුළුකොට තකන්නෙපා...
සුළුවෙන් එන සුළඟ රත් ව
සුළි සුළඟක් ඇති වෙනවා...
හුස්ම ඩිංග දෙන සුළඟම
මහ ගස් කඳු බිම ලනවා...
"හිත ඇත්නම් පත කුඩාය"
කිසිම විටෙක සිතන්නෙපා...
බයට බය වුණොත් සැමදා
කිසිම වැඩක් බැරි වෙනවා...
බය බය කර ගත්තෝතින්
කවදත් ජය හිමි වෙනවා...
හොඳ හිත නිරතුරු හද මත
පුර සඳ මෙන් බබළනවා...
"හිත ඇත්නම් පත කුඩාද"
කියන වදන සිහි වෙනවා...
ගායනය: "ලා තණකොළ පෙත්තාස්"
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සෝමපාල රත්නායක
*දේසේ හැටියට වාසේ...
දේසේ හැටියට වාසේ
කළොත් නේද සන්තෝසේ
හිම වලසා හිමාලයේ
හිම කඳු අතරේ
වලස් හමෙනි ඇඟ පුරවා
උණුසුම ගත්තේ
අපේ රටේ උපන් සතා
අපේ ම උරුමේ
පිට රට හම පෙරෙව්වොතින්
වැනසෙයි මිතුරේ
කොණ්ඩෙ ඇඳුම වෙනස් කරලා
නොවේය කිසි දා
සිංහල රට රජ වූයේ
ඉස්සර දරුවෝ
ඇඳුමින් අප මොඩ් වුණාට
ඇතුළෙන් හිස් වී
රට ජාතිය ආගම
මක් වෙවිද දරුවෝ
මොණරා පිල් විදහුව්වා ට
පිල ගැලවුණ දා
කළු කුමාට වැඩිය අන්ත
නොවේද අඳුරේ
රට ට ඔබින දේ පමණක්
වැඩට ගෙන සොඳා
මළත් කමක් නෑ ඉන්පසු
දුවේ මගෙ පුතේ
දේසේ හැටියට වාසේ
කළොත් නේද සන්තෝසේ
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය : සෝමපාල රත්නායක
ගායනය : "ළා තණකොළ පෙත්තාස්"
*මුහුද මගේ ගොඩබිමයි.......
මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි.....
සතුන් සමග දොඩමලු වී
කරන රහස ඔහු සතු
දැන ගන්නට දඟදැමු..
පිරිසක් පිරිහේවි ලූ.....//
මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි.....
අයුක්තියට ඉඩ නැතේ
යුක්තිය ලොව රජ වෙතේ
වෛරෙන් වෛරය නොවේ..
මෛත්‍රියෙන් ජය ලැබේ.......//
මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි.....///
ගායනය : "ළා තණකොළ පෙත්තාස්"
ගී පද : ප්‍රේම කීර්ති ද අල්විස් මාමා
ගී තනු : සෝමපාල රත්නායක
*කුමාර ලීලෙන් සැන් පවුඩර් ගා ...
ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..
ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..
කුමාර ලීලෙන් සැන් පවුඩර් ගා ඉලංදාරි හැඩවෙයි
ආදර වන්නම් තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
ඔපේට රැවටී හිතූ මතේ පෙම් කෙරුවෝතින් වරදී
දෙමාපියන් ගේ ආශීර්වාදෙන්
විවා වුණොත් ජයවෙයි...
ආලය කියනා මාලය වැටුනොත් රජුන් ද පිස්සන් වෙයි
අට වැනි එඩ්වඩ් රජකම ඇරියේ ආලය හින්දාමයි
ආලෙන් පැරදුණු අය වස විස බී ජීවිත වනසාලයි
දුරදිග නොබලා කලොත් අපොයි ඔව්
ලව් එක ඉලව් ම වෙයි...
නාහෙට නාහන ඉලංදාරිකම ඔය වයසට ඔහොමයි
ඉලක්කෙ වැරදුණු දවසට ආලෙන් විපත්ති වෙනු බොහොමයි
දරුවන් යුතුකම අම්ම තාත්තා වැඩිහිටි බස් ඇහුමයි
එහෙම නොවේ නම් ඔපේ හපේ වෙයි
අපායට ම වැටෙතෙයි...
ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..
ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සෝමපාල රත්නායක
ගායනය: "ළා තණකොළ පෙත්තාස්"
*සැබෑ මූණ හංගාගෙන...
සැබෑ මූණ හංගාගෙන
මූණු බැඳන් රෑ අඳුරේ
නටන නැටුම් කවදා හෝ
නටන්න වෙනවා එළියේ...
ඇත්ත මුණ ඇති සැටියෙන්
පෙන්වා සිටියොත් හිරු සේ
ලජ්ජා වෙන්නට කරුණක්
ඇති වෙන්නෑ සියළු කලේ
බොරුවට ආයුෂ ඩින්ගයි
ලබා දිනුම සුළු මොහොතයි
සඟවනු බෑ කිසිම දිනක
බොරුව උඩට ඉස්මතු වෙයි
මැණික් කටය වැනිය ඇත්ත
අගය අඩු නොවෙයි බබලයි
ඇත්තට ඇති තැන බොරුවෙන්
මකන්න බෑ සහතිකයි ...
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සෝමපාල රත්නායක
ගායනය: "ලා තණකොළ පෙත්තාස්"
*ඕං රීං කට්ටු කට්ටු...
අන වින කොඩිවින පැන්නිලි
හූනියම් ද නොයෙක් ජාති
හිත හොඳ නම් පිරිසිදු නම්
වදින්නෙ නෑ ජාති ජාති..
කෙනෙක් නහන ලෙසින් සිතේ
ඉරිසියාව මනන්නෝ
ඒ සිතිවිලි මන්තරෙන්ම
නෙක කොඩිවින කරගන්නෝ
මල් පොකුවක් වගේද නැ
පිහියක් දෑතට ගන්නෝ
මුහුණ එක්ක තරහ වෙලා
නහය කපන් දඟලන්නෝ
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සෝමපාල රත්නායක
ගායනය: "ලා තණකොළ පෙත්තාස්"
*අඩි ගාණක් වළක් කපලා
අඩි ගාණක් වළක් කපලා
අඩි ගාණක් අනුන් හෙළ ලා
අඩියක්වත් ඉහළ යන්න
නුඹට බෑ පුතේ
අනුන්ට කැපූ වළේ
වැටෙන්නෙ නුඹයි බොලේ...
උගුල් ඇදලා අගුල් දාලා
මඟුල් කන්න නුඹට බෑ
පය ලිස්සා ගියොත් වලට
වැටෙනු වළක්වන්න බෑ
බොරුවෙන් වැඩ බොරු වෙයිමයි
බොරුවෙන් ජය ලබනු බෑ
ඒවා තාවකාලිකයි...
ලණු ඇදලා මඟ අහුරා
කෙනෙකු බිමට දමනු බෑ
හැමදාමත් හැම කෙනාම
බොරුවෙන් රවටන්න බෑ
බොරුවෙන් බොරු මහ බොරුවට
ආයුෂ වැඩි කලක් නෑ
ඒවා තාවකාලිකයි...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : සෝමපාල රත්නායක
ගායනය : ළා තණකොළ පෙත්තාස්
*සූට් බූට් දිග කලිසම්.......
සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්,
අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මු..
පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු..
තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා..
මේ විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා..
හිස්පලුවෙක්ගේ විලසා කුණු කූඩෙන් බෙල්ල දමා..
බොරු බේගල් ඇද බාලා...
සහචරයින් කරයි මුලා...
අන් කුසගිනි නිවන උලා කට බලියන් ඉන්න එකා..
මීයා කටට වැටුනු වහා සිල්ගත් සේමා..
තම වාසිය ලැබෙන තුරා පුරු පුරු ගා කෙඳිරි ගගා..
බිම පෙරලී වැඳ වැටිලා කකුලෙ වෙලෙයි මේකා..
හොරා කෑම බැරිවුන දා දත් විලිසා නිය විහිදා..
කොන්ද නමා දුන්න ලෙසා පහුරු ගායි පූසා....
පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු...
ගායනය : ගැමුණු විජේසුරිය
ගී තනු: සෝමසිරි ඉලේසිංහ
ගී පද : ටයිටස් තොටවත්ත
*හා හා හරි හාවා...
හා හා හරි හාවා
කැලේ මැදින් ආවා
හිටගෙන ගඟ ගාවා
වටපිට ඇහැ ලෑවා..
තබා නිකට ගාවා
වීණාවක් ගෑවා
මිහිරි සින්දු කිවා
නැටුම් ටිකක් පැවා
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පිරිස්
*මාමා වලස් මාමා ...
මාමා වලස් මාමා
නැන්දා වලස් නැන්දා
කවුරුද කවුරුද රංඩුකරන්නේ
නැන්දයි මාමයි රංඩු කරන්නේ....
මොකටද මොකටද රැඳු කරන්නේ
වැඩකට නැතිවලු ගහ බන ගන්නේ
මාමා වලස් මාමා
නැන්දා වලස් නැන්දා..
දෙන්නා දෙමල්ලෝ රණ්ඩු කරන්නේ
අහල පහල මැසිවිලි වට වෙන්නේ
දේ දොර දියුණුව අඩාළ වෙන්නේ
ඒ නිසා සමගිව වැඩ කරපන්නේ ...
මෙන්න සින්දු ටික
--------------------------------------------------------------------
ටයිටස් තොටවත්තයන් හඬ කැවීම් සඳහා යොදා ගත් මැදිරිය ‘ටයිටස් තොටවත්ත හඬකැවීම් මැදිරිය’ ලෙස පසුගිය දා විවෘත කරන ලදී. එතුමාට උපහාරයක් ලෙස පුංචි මගෙන් පුංචි අපි හැමෝටම සින්දු ටිකක් ....
වැරදි අඩුපාඩු පෙන්නා දෙන්න .මතකයන් හැමෝමත් එක්ක බෙදා ගන්න එක් වෙන්න ...