Monday, December 12, 2022

මටම දා වුන පැටවුනට සහ මටද අම්මා වන්



“යාවීධ මාතා භගිනි සඛී ච

දාසී ච භරියාති ච යා පවුච්චති.

සීලෙ ඨිතත්තා චිරරත්න සංවුතා

කායස්ස භෙදා සුගතිං වජන්ති තා.”

 





සඳ එළිය ගලයි - සයුර දිගේ - ගෙමිදුලට මගේ
ඔබ ඔරුව පෙනේ - සිතිජ ඉමේ - හිතට දුක දැනේ
මඳ පවන නිසල වී - රළ පෙළට තුරුළු වී
වැහි ළිහිණි රෑන් පමණි - මගේ දුකට හඬන්නේ

ඔබ සුවදායක උණුසුම හදවතට දැනි දැනී
මේ නිසල රැයේ තනිකම මුළු සිරුර ගිනි ගනී//
රළ නඟන අඳෝනා - හද බිඳෙන වේදනා
පාළු පැල්පතේ මගෙ තනි නොතනි මකන්නේ
සඳ එළිය ගලයි.....

දුක රන්දා යයි මිහිදුම ගොඩ බිමට පෙනි පෙනී
මේ හිමිදිරියේ හිරිගඩු සියොළඟම නැඟි නැඟී//
දුර ඇදෙන ඔරු බඳේ - පිණි කඳුළු බිඳු රැඳේ
මාගෙ හදවතේ දුක ඔබ පමණි නිවන්නේ
සඳ එළිය ගලයි.....

(සමිතා මුදුන්කොටුව - වික්ටර් රත්නායක, වික්ටර් රත්නායක)

කළේ පැන් ඇත - නැවුම් රහ නැත - මොකද මන්දා ළිඳට වූයේ
පුළුස්සා ගත් රොටිය කරවී - මොකද මන්දා ළිපට වූයේ
හදාගත් ලුණු මිරිස රහ නැත - මොකද මන්දා දිවට වූයේ

සැලේ ගහකොළ සුළඟ ඇත එද - සිහිල කොයි අත ගියාදෝ
කෝළ බව මුසු සිනා හඬ නැත - සවන් බිහිරිව ගියාදෝ
කළේ පැන් ඇත....

පුරුදු නිවහන නුහුරු වී නම් කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම බිරින්දෑ නෑගම් ගොහින් ///

(සුනිල් එදිරිසිංහ/කේ. ඩී. කේ. ධර්මවර්ධන/රෝහණ වීරසිංහ)


අතින'ත ගත් දා ඉඳලා
තම හිමිට සරණ - දූ පුතුන් සරණ කළ
බිරින්දෑවරුන් සංසාරේ
බුදුවරු වෙන්නද පෙරුම් පුරන්නේ//
බිරින්දෑවරුන් සංසාරේ //

කරදර ලිප ලා - උයා පිහා ගෙන
සැමියාටයි දරුවන්ටයි කවලා
උන්ගෙම සතුටින් කුස පුරවා ගෙන
දුක් ගිනි කන්දක සැතපෙනවා
අතින'ත ගත් දා ඉඳලා....

කඳුළැලි වියලා - හදතුළ සඟවා
සෙනෙහස ආදරයෙන් බෙදලා
ගෙයි ගිනි ලිප මුල්ලකට දමාලා
සත් ගුණ පමණක් මොලවනවා
අතින'ත ගත් දා ඉඳලා....

(සේනානායක වේරලියද්ද/මහින්ද කේ. ප්‍රේමසිරි/සේනානායක වේරලියද්ද)


සසරේ මහ සයුරේ තනි වූ විට ඔබ පහුරක් වූවා
කතරේ ජීවන ගැල පදවන දා ඔබ තරුවක් වූවා
මා ආදර පිය ළඳුනේ

කරදර බාධක මඟ අහුරන දා
සිනාසෙමිනි ඉදිරියට ගියේ
සම්පත පොදි බැඳ දොරට වඩින සඳ
කිසිදා ඔබ නැත උඩඟු උනේ
මා ආදර පිය ළඳුනේ

බර උසුලා ගෙන යන මේ ගමනේ
සිවු මං සල්වල විඩා නිවා
ඔබ ළඟ නැතිනම් ගමන නොයා හැක
අත්වැල සවියයි ඔබ ළඳුනේ
මා ආදර පිය ළඳුනේ
සසරේ මහ සයුරේ.....

(එඩ්වඩ්  ජයකොඩි /තිස්සසිරි පෙරේරා/පී. බී. කවිරත්න)

තාත්තා උනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින//

මට පෙර උරුම ආලය දරු කැළට දෙමින්
රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
නුඹ දුටු මුල් දිනේ වත් හද නොනැඟි පෙමින්
උතුරයි ම'සිත තව නුඹ වෙත තුරුළු වෙමින්

බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ
අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස
නොහැඟේ ළඟින් හිඳ මගෙ හිස සිඹින සඳ

(අමරදේව/සුනිල් ආරියරත්න/රෝහණ වීරසිංහ )

හඬන පොඩි පුතු නළව ගන්නට නිදන මට රහසින්
රැයේ තුන් යම නිදි වරා නුඹ නොවිඳිනා දුකකින්
කහට පොද ගෙන කුරුළු කූජන සමඟ ළඟ ඉඳිමින්
සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින්

ලිහා බත් මුල බුදින මොහොතක මිතුරු කැළ සමඟින්
වහා දස අත සුවඳ පිරුණා නුඹේ ගුණ සුවඳින්
කම්හලේ දැති රෝද නැඟු රළු පරළු හඬ අතරින්
නුඹේ හදවත ගැහෙන රාවය මට ඇහේ රහසින්

අපට අපමය පිහිට පිළිසරණයද යන හැඟුමින්
සැපත දුක ළඟ සමව සැනසී නිබඳ ඉවසීමෙන්
මටම දා වුන පැටවුනට සහ මටද අම්මා වන්
සොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිඳුන්.....

(පොඩිරත්න අඟමලේ / සුනිල් එදිරිසිංහ / ? )

වැවක් පුරා එක සීරුවට සුදු නෙළුම් පිපුණැයි මට හිතුණා
එදා නුඹ ඇහැ ගැහුණු දොහේ
අමාවක දා හඳ පායාලයි එදා මට හිතුණා.


(චන්ද්‍රිකා සිරිවර්ධන - එඩ්වඩ් ජයකොඩි)