Thursday, January 28, 2016

"කැලෑ මල් පිපෙයි සුවඳ දිදී තුරු වදුලේ වනන්තරේ"


"මම උපන්නේ සියඹලාණ්ඩුවේ. ඒ 1955දී. තාත්තා ගොවියෙක්. තාත්තා මාව කර උඩ තියාගෙන හැතැප්ම දෙකක් ඉස්කෝලෙට අරන් යනවා හැමදාම. යන පාරෙ ගොයම් ගස් වැවිලා තියනවා. ඒවා මගේ ඇඳුම්වලයි ඇෙඟයි ගෑවෙන නිසයි කර උඩ තියාගෙන යන්නේ. තාත්තා හුඟක් දවස්වලට ඉස්කෝලෙ ඇරෙනකම් පාසල ඉදිරිපිට කඩපිලේ පත්තර බල බලා ඉන්නවා. එනකොට මං පයින් එනවා. මගදි දොළක් ළඟදි මම කියනවා නාගන්න ඕනෑ කියලා. තාත්තා ගලක් උඩට වෙලා බලන් ඉන්නවා. මං ඇඳුම් ටික ගලවලා හෙළුකොට්ටෙන්ම නාගන්නවා. අපි හේන් කොටන කාලෙට තාත්තායි අම්මායි අපි සේරමයි ඉන්නෙ හේනෙ පැලක් හදාගෙන."


අතීතාවර්ජන බොහොමයක් කියවා ඇති ඔබට් මේ සියල්ල තවත් වචන පෙළක් පමණක් වන්නට පුළුවන් , මන්ද අද දුක්බර අතීතය මාකට් කිරීම කලාවක් ලෙසට ඉදිරියටම ඇවිත් තියෙන නිසා, ඒත් මඩෙහි නෙලුම් මල් පිපෙයි. සැබෑ කළාකරුවා කිසිවිටෙක සිය පෞද්ගලික ජීවිතය මාකට් කරන්නට යන්නේ නැත . මේ හේරත් මුදියන්සේලාගේ ජයවර්ධන එහෙම නැත්නම් එච්.එම් ජයවර්ධන නම් වූ සොඳුරු කලාකරුවා. ඉහතින් දැක්වුණේ ඔහුගේ අතීතාවර්ජනය.

එච්.එම් ඉගෙන ගන්නේ අති දුෂ්කර වූ සියඹලාණ්ඩුවේ , ඔහු සියඹලාණ්ඩුව ඉස්කෝලෙ ඉඳලා ශිෂ්‍යත්වයක් ලැබිලා පස්සර මහා විද්‍යාලයට යනවා. ඔහුගේ  සංගීත ගුරුතුමා වන්නේ පස්සර විද්‍යාලයේ ඞී.ඒ. සුබසිංහ මහත්මයා . යාලුවෙක් බටනලාව වාදනය කරනවා දකින එච්.එම් ට ඒ ගැන ඇතිවෙන්නේ ලොකු ආසාවක්.ඉතින් ඉල්ලගත්ත බටනලාවක් අරන් එය පිඹින්න ගත්තත් ඒ පිළිඹඳ හැකියාවක් නැති නිසා නේවාසිකාගාරයේ නාන කාමරයට ගිහින් එම බටනලාව පිඹිනවා.ඞී.ඒ. සුබසිංහ මහත්මයා එනම් සංගීත ගුරුවරයා හිටියේ එච් .එම්ලාට අල්ලපු කාමරේ. ඔහුට තේරෙනවා මේ තරුණයාගේ උනන්දුව , "නාන කාමරේ ඇතුළෙ නළා පිඹ පිඹ ඉන්නෙ නැතුව මගේ සංගීත පන්තියට ඇවිත් ඉගෙන ගන්නවා" ඒ තමා මහා සංගීත වේදියෙක් බිහිවෙන්න අඩිතාලම වැටුණු මුල්ම වචන ටික . එදා ඉඳලා එච් .එම් ජයවර්ධන ශිෂ්‍යා සුබසිංහ මාස්ටර්ගෙන් සංගීතය පිළිබඳව ඉගෙන ගන්න  පටන් ගන්නවා ...

මේ අතර හුදෙකලාවේ ඉවසගන්න බැරිවුණු එච්. එම්. තාත්තාට ලියලා යවනවා, මාව එක්‌කගෙන යන්න නැත්නම් පාසලේ පොකුණට පැනලා මැරෙනවා කියලා. එත් එච්. එම්. ගේ තාත්තා කලබල වුනේ නෑ.කොහොම හරි එච්.එම් ගේ හිත හදන්න තාත්තා සමත් වෙනවා , කාලෙකට පස්සේ ඉගෙනනීමේ කටයුතු අහවර කරපු එච්.එම්. බාප්පා කෙනෙක්ගේ උදව්වෙන් ලී ඉරන්න පටන් ගන්නවා ,හේන් වගා කරනවා ,ගමේ ලියුම් බෙදන වැඩේ කරනවා ..

මේ අතර තමයි ගුවන් විදුලියේ බටනලා වාදකයකුට වේකන්සි එකක් පත්තරේ දාලා තියනවා එච්.එම් දකින්නේ . එච් එම් ඉල්ලුම් කරනවා .ගුවන් විදුලියේ සම්මුඛ පරීක්ෂණයට යනවා. ඉන්ටර්වීව් බෝඞ් එකේ ඉන්නේ "ඞී.ආර්. පීරිස්, සෝමදාස ඇල්විටිගල සහ තව දීපාල් නාත්" කියලා ඉන්දීය සංගීතඥවරිය. සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් එච් .එම් එයින් අසමත් වෙනවා. ඉන් පසුව ඔහු යනවා අමරදේව මාස්ටර් මුණ ගැහෙන්න .එතුමන්ව හමු වෙලා මේ ගැන විස්තර ඔහුට කියනවා  .අමරදේව මාස්ටර් ඉදිරියේදී "සිහිල් සුළං රැල්ලේ" ගීතය වාදනය කරනවා . ඉන් පසු වුන සිදු වීම් ඔහුගේම වචනවලින්,

 "අමරදේව මාස්ටර් කිව්වා හරි ඉතිං ඔයාට ප‍්‍රශ්නයක් නැහැනේ කියලා. මට ඒ වනවිට ස්වර කියවන්න බැරිකමක් තිබුණේ. ඉයර් එකට ප්ලේ කරන්න පුළුවන්. අමරදේව මට නොටේෂන්වලට ප්ලේ කරන හැටි කියලා දුන්නා. පස්සේ මට වසන්ත ඔබේසේකර ඞී.ආර්. පිරිස්ට ලියුමක් දුන්නා. ඔන්න ඊට පස්සේ ගුවන් විදුලියේ අනියම් බටනලා වාදක කියන තනතුර ලැබුණා. මට ආවෙ කැපිල්ලක්. ඔබේසේකරගේ ලියුම තමයි වැඩ කළේ. ඔය කාලෙ මම සිංදුවකුත් කිව්වා ගංගාව මමයි ගීතය. ලිව්වේ ආනන්ද පද්මසිරි. දවසක් සිංදු තුනක් රෙකෝඞ් කරන්න තිබුණා. මම ඉස්සරහ ප්ලේස් එකකින් දෙකක් දාගෙන ඇවිත් වැඬේට සෙට්වුණා. එදා මට සිංදු කියන්නම බැරිවුණා. ඇල්විටිගල මාස්ටර් මට දොස් කියලා පොඩි අවුලකුත් වුණා. මං ක‍්‍රමයෙන් තේරුම් ගත්තා ගායනා කරන එක නෙමෙයි මගේ ක්ෂේත්‍රය කියලා."

ටී.එම්. ජයරත්නගේ සරල ගී වැඩසටහනකට “සියක් ආයු ලැබ මගෙත් ආයුගෙන” ගීතය සඳහා තනුවක් එච්.එම්. ජයවර්ධනයන් අතින් නිර්මාණය වන්නේ ඔය අතරතුරදී. ඊට පස්සේ  ටී.එම්. ජයරත්න සඳහා නිර්මාණය කළ “ඔබ හා මෙමා”, “රත්තරන් නෙත් දෙකින්” වැනි ගීත සමාජයේ ජනප්‍රිය වෙනවත් එක්කම වගේ  එච්.එම්. ජයවර්ධනයන්ගෙන් ගී තනු නිර්මාණය කරගන්න  බො‍හෝ ගායක ගායිකාවෝ උනන්දු වුනා .

නන්දා මාලිනිය වෙනුවෙන් එච්.එම්. නිර්මාණය කළ ගීත ඇයගේ සංගීත දිවිය ආලෝකවත් කිරීමට හේතුවූවා කිව්වොත් ඒඅතිශයෝක්තියක් නෙවෙයි කියන එක හොඳින්ම වැටහෙනවා මේ සිංදු දිහා බැලුවම  . “ඔබයි රම්‍ය සඳකිරණ”, “මා හඬනා කඳුළු ගලා”, “පූජාසනයේ”, “පෙම් ලොවේදී දුටු”, “ප්‍රේමය නම්”, “කඩමණ්ඩියේ දොල අයිනේ” වැනි ඉතා මියුරු ගීත ඒ අතරින් කීපයක් .

පණ්ඩිත් අමරදේවයන්ගේ ඉඳලා  අද බිහිවන නවක ගායක ගායිකාවන්ට පවා ගී තනු නිර්මාණය කර ඇති එච්.එම්. ජයවර්ධනයන් අතින් බිහිවී ඇති ගී තනු සංඛ්‍යාව දහසකට ආසන්නයි..

එච්.එම්. "කැලෑමල්, ආරාධනා, මුහුදුලිහිණි, බුද්ධ පුත්‍ර" සහ තවත් චිත්‍රපට කීපයකටත් සංගීත නිර්මාණය කරනවා . එක් වසරක මුහුදුලිහිණි චිත්‍රපටය සඳහා නිර්මාණය කළ සංගීතය වෙනුවෙන් ජනාධිපති සම්මානය ඔහුට හිමිවෙනවා . ඒත් ඔහුගේ දැක්මේ තියෙන විශිෂ්ටත්වය කොපමණද කියා පසක් වුනේ ඔහු ඒ සම්මානය ප්‍රතික්ෂේප කලහමයි . ඔහු එසේ කලේ  ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් “තුන්වැනි යාමය” චිත්‍රපටයට නිර්මාණය කළ සංගීතය තම නිර්මාණට වඩා උසස් බව ප්‍රකාශ කරමින්. සංගීත ලෝකයේ මෙවන් සිදුවීමක් වුනු එකම අවස්තාව මෙය වන්නටත් පුළුවන් . එච්.එම්. ජයවර්ධන යනු එවැනි ඍජු ගතිගුණ සතු ඉතා දුලබ මනුෂ්‍යයෙක්.කිසිම සංගීත විද්‍යාලයකට නොගිය මේ අපූරැ සංගීතවේදියා , සම්මානවලට පොරකන , ගහ බැණ ගන්නා සමාජයක තමුණට ලැබුණු සම්මානය පවා තම හෘදසාක්ෂියට එකඟව ඒ සුදුසු පුද්ගලයාට පරිත්‍යාග කළා . 

එවන් උතුම් මිනිසාට අපගේ සහයෝගය අවැසි මොහොත මෙයයි. පුද්ගලයින් අගය කල යුත්තේ මිය ගිය පසුව නොව ජීවත්ව සිටියදීමය . මේ වනවිට ඔහු ශාරීරිකව තරමක් දුර්වල වී ඇත. ඒ ඔහු පෙළෙන වකුගඩු රෝගය නිසාය. ඔහු පෙළෙන අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි තත්ත්වයන් නිසා ඔහුට වකුගඩු ශල්‍යකර්මය කිරීමේ හැකියාව නැත. මේ වන විට ඔහු ප්‍රතිකාර ගන්නේ කණ්ඩලමේ කිරිබණ්ඩා වෙද මහතාගෙනි. එම ප්‍රතිකාරවලින් රෝගය පාලනය වී තිබුණද ඖෂධ සඳහා විශාල මුදලක් වැයවේ. මෙම රෝගයෙන් මිදීමට කළ ප්‍රතිකාර හේතුවෙන් මේ වන විට ඔහු සතු සියල්ල ක්ෂය වී ගොස්ය. අපට අපගේ යුතුකම් ඉටු කරන්නට , රටක් නැලවූ  සංගීතවේදියානන්ට පිහිටක් වන්නට  මේ එළඹි සමයයි. එච්. එම්. ඔබට චිරං ජයතු!!!!
(පින්තූර අන්තර් ජාලයෙන් ගත්තේ)



"තඹරවිල "
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
මෙම ප‍්‍රවීණ සංගීත වේදියාගේ ප්‍රතිකාරවලට විශාල මුදලක් වැයවේ. ඒ වෙනුවෙන් උපකාර කරන්න කැමති අය ට පහත සඳහන් තොරතුරු ඔස්සේ සම්බන්ධ විය හැක.

එච් එම් ජයවර්ධන
ගිණුම් අංකය 100453595479
සම්පත් බැංකුව
බොරැල්ල ශාඛාව

එතුමාගේ ජංගම දුරකථන අංකය - 077 306 4873
---------------------------------------------------------------------------------------
වාසනා වේවා
වාසනා වේවා
පින්බර යුවතිය කුල කුමරිය වී
මංගල මල් නැකතේ
පෙම්බර කුමරෙකු අතිනත ගෙන ඈ
දීගෙක යන දවසේ
වාසනා වේවා
වාසනා වේවා

කුළුඳුල් මංගල පියවර තබනා
නොඉඳුල් සුන්දර යුවලකි අගනා
චාමර සේසත් සැ‍ළෙමින් සදනා
ආශිර්වාදෙන් ආසිරි වේවා

සිතුවිලි පිවිතුරු නම් අද දවසේ
හෙට දවසත් එලෙසින් පිවිතුරු වේ
දිවි මඟ සෙත් මල් පිපෙන පැ‍යේ
පිවිතුරු බව රැකවරණය වේ

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - කැමිලස් ‍පෙරේරා
තනුව - එච්.එම්. ජයවර්ධන
(මංගල තෑග්ග චිත්‍රපටි‍යෙන්)
---------------------------------------------------------------------------------------
මා හඬනා කඳුළු ගලා
සැදුනු කඳුළු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි... සිනාසුනේ ඇයි..

ඔබ දෙපසින් ගලාගියේ
ඔබට හැඬූ කඳුළු නේද
මලක මෙළෙක තිබුණු හදක්
ගලක් කලේ ඇයි... ගලක් කලේ ඇයි..

සියුමැළි හද රිදවන්නට
හද රිදවා හිනැහෙන්නට
ඔබ නොපෙළූ අසරණ මට
සතුරු උනේ ඇයි... සතුරු උනේ ඇයි..

ගායනය - නන්දා මාලිනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - එච්.එම්. ජයවර්ධන
---------------------------------------------------------------------------------------
එක යායට මල් පීදුන බිම් තීරේ
පාර දිගේ කණින් කණට
කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ

රාස්සිගේ අව්ව වැටී දඹරන් වූ ඔබේ කෙහෙරැලි
සුළං සමග පොරබැදුවා
ඔබට මතක නැති උනාට අදවගේ මතකයි මට

එක යායට මල් පීදුන බිම් තීරේ
පාර දිගේ කණින් කණට
කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ

ගොපලු කොලුගෙ බටනලාව සංගීතය මවන අතර
දොලේ දියෙන් පාදෙව්වා
ඔබට මතක නැති උනාට අදවගේ මතකයි මට

එක යායට මල් පීදුන බිම් තීරේ
පාර දිගේ කණින් කණට
කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ ...

කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - එච්.එම්. ජයවර්ධන
---------------------------------------------------------------------------------------
සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනි දැල්
ඔබම කෙරේ සිත බැඳුණු දිනේ සිට
මගෙම හැඟෙයි ඔබ නම් ...

සඳ එළිය වගේ ඇවිදින්
හද නොපැතු දිනෙක රහසින්
බැස නොයන් මසිත් අහසින්
අත පොවනු නොහැකි දුරකින්

සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනි දැල්
ඔබම කෙරේ සිත බැඳුණු දිනේ සිට
මගෙම හැඟෙයි ඔබ නම්

සිලි සිලිය පවා සුළඟින්
තනි මැකුවෙ ඔබගෙ සුවඳින්
මේ දිවිය අතර මඟකින්
මග නතර නොකොට හිනැහෙන්

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - විපුල ධර්මපි‍්‍රය ජයසේකර
තනුව  - එච්.එම්. ජයවර්ධන
---------------------------------------------------------------------------------------
විහඟ ගීතය නිහඬ ඇයි
කියනු මැන කොඳුරා
නොපෙනෙනා දුර
ඈත කුටියක සිරවෙලා
විහඟ ගීතය
නිහඬ සුසුමක නැවතිලා

ලදළු මැලවී තුරු ලතා තැති ගැනී
සිරස සරසන මලක්වත් නැහැ පිපී
අඳුර රජවී අනේ දුනු හි ඇනී
නිහඬ කුටියක විහඟ ගී ගොළු වුනී

විහඟ ගීතය නිහඬ ඇයි
කියනු මැන කොඳුරා
නොපෙනෙනා දුර
ඈත කුටියක සිරවෙලා
විහඟ ගීතය
නිහඬ සුසුමක නැවතිලා

කඳුළු වගුරා පහුරුගා දෙස් තියා
ප්‍රගීතයකට කොහොම තැවෙමුද හඬා
පියාඹන්නට නාද දී නිදහසේ
විහඟ ගීතය මුදා ගෙන එමු සඳේ

විහඟ ගීතය නිහඬ ඇයි
කියනු මැන කොඳුරා
නොපෙනෙනා දුර
ඈත කුටියක සිරවෙලා
විහඟ ගීතය
නිහඬ සුසුමක නැවතිලා

ගායනය - අමරසිරි පීරිස් සහ මාලිනී බුලත්සිංහල
පද රචනය - නිලාර් එන්. කාසිම්
තනුව - එච්.එම්. ජයවර්ධන
---------------------------------------------------------------------------------------
සීතල පිණි බිංදු බිංදු
රෑ තරු මත රැන්දු රැන්දු
ඇගේ නුවන් තෙමී කැළුම් පාවේ
ආදර සුව සිහින කැන්දු
මීවිත මුව රැන්දු රැන්දු
මගේ සිතුම් ඇගේ පැතුම් යාවේ

පීදෙන සඳ රේණු පාවී
මේ මාවත සුවඳ දේවි
සොඳුර ඔබේ මගේ සිතැඟි යාවේ
මේ රෑ නැඟි රෑහි ගීත
තනි වී සවනේ රැඳේවි
ඔබ මා වෙත රැඳී ඉන්න සිහින ලතාවේ

රෑ කල යහනේ රැඳේවි
මා හා තනියට හිඳීවි
නිබඳ මගේ සිතේ තනිය පාවේ
ඔබ මා ගැයු ප්‍රේම ගීත
ගොළු වී දෙහදේ රැඳේවි
යළි මා වෙත ළඟා වන්න හංස ලතාවේ

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව  - එච්.එම්. ජයවර්ධන
---------------------------------------------------------------------------------------
හැන්දෑකරේ අඹ මල් වට බඹරු නටන්නා
නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා ...

මලේ සුවඳ මත් ඹබරුන් මලට ගෙනාවේ
සඳේ එළිය සඳ සෙවණට සිහිල ගෙනාවේ
ගඟේ ඉවුර ගඟ දිය මුහුදට ගෙන ආවේ
මගේ හිතට මේ තනිකම කවුරු ගෙනාවේ

හැන්දෑකරේ අඹ මල් වට බඹරු නටන්නා
නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා

දොලේ හඬට ගී සීපද කොතැන ඇසේදෝ
දිවේ රහට ලුණු ඇඹුලක් බතට ලැබේදෝ
හිතට නුහුරු ආල හැඟුම් හිත උහුලාදෝ
දුකට කියන මේ ගී පද කාට ඇහේදෝ

හැන්දෑකරේ අඹ මල් වට බඹරු නටන්නා
නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා ...

ගායනය – ආචාර්ය රෝහණ වීරසිංහ
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව  - එච්.එම්. ජයවර්ධන
---------------------------------------------------------------------------------------
ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා

ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳඑළියේ මං පෙත පාදා
රහසක් සඟවා
ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා

යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - සුනිල් සරත් පෙරේරා
තනුව - එච්.එම්. ජයවර්ධන
---------------------------------------------------------------------------------------
මේ ගඟ මේ දුර කතර ගෙවා
ඇයි මෙතනින් සයුරේ වැටුණේ
මේ හැටි දුර පියමං කරලා
ඇයි මම ඔබ ළඟ නතර වුණේ

මේ විල මේ නිල් දියෙන් පිරී
ඇයි මේ මල විල මත පිපුණේ
මා හද විල පතුලෙන් මතු වී
ඇයි ඔබෙ ආදර මල පිපුණේ
ඇයි ඔබෙ ආදර මල පිපුණේ

මේ විස කටු ගස ළඟ ඉපදී
ඇයි මේ මල් වැල එහි එතුණේ
ගිලිහී යන්නට ඔබෙ සුරතේ
ඇයි මගෙ මේ ඇතැඟිලි බැඳුණේ
ඇයි මගෙ මේ ඇතැඟිලි බැඳුණේ

ගායනය - නිරංජලා සරෝජිනී
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව  - එච්. එම්. ජයවර්ධන
---------------------------------------------------------------------------------------
මිනිසෙකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගෙයි වහලෙට බරකි
පාන්දරින් පැරදුණු ඒ මිනිහා
හැන්දෑවෙත් අසු පිටට නගී ...

හෙට මම ගෙදරට සුර සැප දෙනවා
අද රෑ ලුණු මිරිසෙන් ගත වෙනවා
කාසි මල්ල සතෙකුගෙ පිට යනවා
දූ දරුවන් පැදුරේ නිදියනවා

ඉරණම් විසඳුම සතෙකුට දෙනවා
තිරිසනෙකුට මිනිසෙකු පරදිනවා
දරුවන් බිරිඳත් ගිනි උහුලනවා
හීනෙන් නුඹ තව ගෙවල් හදනවා

ගායනය - සුනිල් එදිරිසිංහ
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - එච්.එම්. ජයවර්ධන
---------------------------------------------------------------------------------------
කැලෑ මල් පිපෙයි සුවඳ දිදී තුරු වදුලේ වනන්තරේ
අමා ලොල් බමර පිරිස ඇදේ මලින් මලට හිමින් සැරේ
සිනා ‍රැල් නැගේ ගිගිරි නදින රේණු සැලී නිරන්තරේ
සදා කල් අඬා වැලපීමයි කැලෑ මලේ කතන්දරේ

සලෙල දනන් කුල්මත් කල ඔමරි ලතාවයි
මල් උයනේ සුවඳ සැදූ කිඳුරු ලතාවයි
මලක් පිපී හිනැහෙන්නේ එකම වතාවයි
මේ සුපිපුණු එවැනි කැලෑ මලෙක කතාවයි

ලඳුනි නුඹෙන් තොර ලොවකට නොමැත සිනාවන්
නෙත රසඳුන් මියුරු වදන් නොමැත අමා වන්
මල් පත්තිනි අම්මාවරු වන් වනිතාවන්
මල්නෙලඳුන් අතරතුරේ වාසනාවන්

ගායනය - සුනිල් එදිරිසිංහ
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - එච්.එම්. ජයවර්ධන
---------------------------------------------------------------------------------------
සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ
වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ 

කඳුළක් නොසැලු නෙතකින්
හසරැල් සොයන්නෙපා 
ලැබුණත් බිඳුණු හදකින්
සෙනෙහස සොයන්නෙපා

සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ
වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ

සිසිලක් නොමැති අහසින්
වැසි දිය යදින්නෙපා 
ලැබුණත් බිඳුණු හදකින්
සෙනෙහස සොයන්නෙපා

සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ
වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ ....

ගායනය - සුනිල් එදිරිසිංහ
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - එච්.එම්. ජයවර්ධන
---------------------------------------------------------------------------------------
හිත මහ පුදුම තැනක්
දිදුලන මහරු මිණක්
හසරැල් වතල වතක්
විටෙකදි නොනිම් දුකක්
හිත මහ පුදුම තැනක්
හිත මහ පුදුම තැනක්

නවතින්නැයි කී විට හිත නිනව් නැතිව දුවනවා
ඉක්මණ රිසි වූවිට හිත නැවතුණ තැන ඉන්නවා
ලද දේ ඉවත හෙළන නොලැබෙන දේම යදින
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරණවා
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරණවා

අනුන් ළඟම දැවටී හිත ඉතින් මවෙත රැඳෙනවා
අසරණවූ දා වෙන්වී මදෙස බලා ඉන්නවා
හිතකට හිමිදේ හැර අන් හැමදේම හිතන
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරණවා
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරණවා

ගායනය: සුනිල් එදිරිසිංහ
පද රචනය: බන්දුල නානායක්කාරවසම්
තනුව : එච්.එම්. ජයවර්ධන
---------------------------------------------------------------------------------------
බුදුන් වඳින මේ දෑතින් 
වැඳල කියන්නම් අම්මේ
අක්කා මෙන් ඔය හිත නෑ පාරන්නේ මං

හිත හැදෙන්න මට ඇහෙන්න
එපා මුසා බස් පොඩි දූ
පව් පුරවා ගන්ට එපා මොටදෝ මායම්

මං දඟකාරියැයි කියා
වැඩිමල් දූ හිසේ තියා
මට විතරයි හැම තහංචි සැරවැර සරදම්

පතා කියාගෙන ආ දේ
ඒ හැටියට වෙයි කරුමේ
හැදෙනව නම් මගෙ දූටත් මේවා පාඩම්

හැමදාමත් අම්මා ළඟ
කිරිල්ලියක් ඉන්නවාද
පියාඹන්න කියාදෙන්නෙ ඇගෙ අම්මා නම්

වැස්ස හුළඟ කුණාටු මැද
ඉන්නයි තම දිවි රැක ගෙන
පියාඹන්න කියා දෙන්නෙ කුරුලු මවක් නම්

අපෙ අම්මා දීග ගියේ 
දෙමාපියන් අණ බලාද?
අක්කා කළ දේ වැරදියි එහෙම වුණා නම්

පණ්ඩිත කම් නොකියා තව
අහවරනම් ගේ දොර වැඩ
හොඳයි බලා ගත්තානම් පොත පත පාඩම්

ගායනය - අනුලා බුලත්සිංහල සමග ඊශා ඉන්ද්‍රචාපා බුලත්සිංහල
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව - එච්.එම්. ජයවර්ධන
---------------------------------------------------------------------------------------
කොහොම අතැර දමා යමු ද මේ හිතවත් කම්
පෙර සසරින් ආ දේවල් ආලවන්ත කම් ....

ඉර කියන්නෙ අත් හරින්න අපේ සබඳකම්
සඳ කිව්වෙත් එපා කියා මේ හිතවත්කම්
මොනවාදෝ මේ හැටි අපි කළ නොපනත්කම්
ඉර හඳ තරු දන්නවා ද අපෙ යහපත්කම්

කොහොම අතැර දමා යමු ද මේ හිතවත් කම්
පෙර සසරින් ආ දේවල් ආලවන්ත කම් ...

ඇළත් දොළත් ගලා යන්නෙ කරමින් සරදම්
ගසුත් වැලුත් බලා ඉන්නෙ දෙවමින් අවමන්
මුළු ලෝකෙම ඇයි කරන්නෙ මෙහෙම නපුරුකම්
ඇළ දොළ ගහකොළ දන්නෙ ද අපෙ මනුස්සකම්

කොහොම අතැර දමා යමු ද මේ හිතවත් කම්
පෙර සසරින් ආ දේවල් ආලවන්ත කම් ...

ගායනය - නිරංජලා සරෝජිනී
පද රචනය - සමුද්‍ර වෙත්තසිංහ
තනුව - එච්. එම්. ජයවර්ධන
---------------------------------------------------------------------------------------
කැලෑ මල් පිපෙයි සුවඳ දිදී තුරු වදුලේ වනන්තරේ
අමා ලොල් බමර පිරිස ඇදේ මලින් මලට හිමින් සැරේ
සිනා ‍රැල් නැගේ ගිගිරි නදින රේණු සැලී නිරන්තරේ
සදා කල් අඬා වැලපීමයි කැලෑ මලේ කතන්දරේ

සලෙල දනන් කුල්මත් කල ඔමරි ලතාවයි
මල් උයනේ සුවඳ සැදූ කිඳුරු ලතාවයි
මලක් පිපී හිනැහෙන්නේ එකම වතාවයි
මේ සුපිපුණු එවැනි කැලෑ මලෙක කතාවයි

ලඳුනි නුඹෙන් තොර ලොවකට නොමැත සිනාවන්
නෙත රසඳුන් මියුරු වදන් නොමැත අමා වන්
මල් පත්තිනි අම්මාවරු වන් වනිතාවන්
මල්නෙලඳුන් අතරතුරේ වාසනාවන්

ගායනය - සුනිල් එදිරිසිංහ
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - එච්.එම්. ජයවර්ධන
---------------------------------------------------------------------------------------
ඉස්සර මං ගිය පාසැල ඇරිලා
පුංචි පැටව් පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන හූ හඬ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා
මේ දරු දැරියන් නොදුටුව දෑසින්
එක දරුවෙක් තනිවී එනවා

ගහකොළ සෙලවී ඔහු දෙස බැලුවා
බිම්මල් හිනැහී හිස වැනුවා
ඒදඞු මංකඩ තිත්ත පැටව් රැළ
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්නද
පුංචි දෙපා එකතැන රැඳුණා

ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැල පේලි සැදී හිඳ
මුතු ඇහිඳියි මදටිය ගාලේ
ගිනි මද්දහනේ කුසගිනි නොදැනී
තාමත් ඔහු මේ වන නිල්ලේ

පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුලක් නැඟුවා
ඔහුට මුවාවී පාසැල් යන්නේ
මා දැයි නිකමට මට හිතුණා

ගායනය - සුනිල් එදිරිසිංහ
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - එච්.එම්. ජයවර්ධන
---------------------------------------------------------------------------------------
ඔබ ඈත සඳ වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ - ඔබ මා
ළඟ ඉන්නා

අප දුරින් දුරක වුව තනියේ
නෙත් සරින් පමණි හමු වූයේ

ඒ ඈත් බවෙහි හද බඳුණේ
සෙනෙහසේ සොඳුරු බව පිරුණේ

මධු සඳ තරු අද හමුවීලා
සිටියද ඔබ මා ළං වීලා

ඒ දුරක එදා අප පිපිලා
තිබූ සොඳුරු සෙනේ ගඟ සිඳිලා

ගායනය - බණ්ඩාර අතාවුද
පද රචනය - ජයලත් මනෝරත්න
තනුව - එච්.එම්. ජයවර්ධන
---------------------------------------------------------------------------------------
පේ‍්‍රමයේ රුදුරු බව එයයි...
මිදි යුෂ යැයි රැවටී හලා හල විෂ බිව්වේ ඇයි මා...
පෙම් දැල මැද පැටලී සුසුම්ලා මුළා වුනේ ඇයි මා"...
පේ‍්‍රමයේ මධුර බව මෙයයි...

ඔබයි රම්‍ය සඳ කිරණඝන අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළියගිම්හාන කාලේ
සදානන්ද කරවූ ඔබේ මධුර රාවෙන්
පිපී ආමි අරවින්දයක් සේ තටාකේ

පේ‍්‍රමය නම් කිමැයි ඔබ මට කියාදුන්නෙහිය
දැන් මගේ පරමාර්ථය ඔබය
මගේ පරමාදර්ශය ඔබය
මගේ ඒකායන ප‍්‍රාර්ථනයද ඔබය

ඔබයි රම්‍ය සඳ කිරණ...

උදාවූ සුපෙම්දම් මුසුන් වී රැඳේවා
මගේ පුංචි ලොකේ තැවුල් දුක් නොවේවා
පේ‍්‍රමයේ ද්වාරය ඔබ මට විවර කළෙහිය
දැන් මගේ අතීතය ඔබය 
මගේ වර්තමානය ඔබය
මගේ උත්තරීතර අනාගතයද ඔබය

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - එච්. එම්. ජයවර්ධන
ගායනය - නන්දා මාලිනී
---------------------------------------------------------------------------------------
පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
පූජාසනයේ ඔබ හිඳුවා

ඉසුරින් කිත් යසසින් බබළන දා
ඔබගේ බැණුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
සිනාසුණත් එය වරදක් වේ

කිරියෙන් පැණියෙන් උතුරා යන කළ
ලොව ඔබ පාමුල හඬා වැටේ
අත මිට හිඟ වී බෙල සුන් වන කළ
ලොව ඔබ හිස මත කඩා වැටේ

ගායනය - නන්දා මාලිනී
ගී පද - සුනිල් ආරියරත්න
තනුව - එච්. එම්. ජයවර්ධන
---------------------------------------------------------------------------------------
කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතුව හිටියත් ගොළු වෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුඟළට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී

රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - එච්. එම්. ජයවර්ධන
ගායනය - නන්දා මාලිනී
---------------------------------------------------------------------------------------
ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දැතින් බදා
සිප ගත් එදා සිහිවෙනවා
සිප ගත් එදා සිහිවෙනවා

භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආ ගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
නැග ආ ස්‌වරේ
එක්‌වූ දිනේ සිහිවෙනවා
එක්‌වූ දිනේ සිහිවෙනවා

ඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙත්
එක්‌වී වෙලී සෙනෙහස සෙවූ
ඒ සොඳුරු දා සිහිවෙනවා
ඒ සොඳුරු දා සිහිවෙනවා

පද රචනය - විමලා රංජනී පීරිස්‌
තනුව - එච්. එම්. ජයවර්ධන
ගායනය - ටී. එම්. ජයරත්න
---------------------------------------------------------------------------------------
ප.ලි
වැරදි අඩුපාඩු පෙන්වා දෙන්න ...ඉවාන්ට සහ පත්තර මල්ලිට බොක්කෙන්ම ස්තුතියි දැක්වූ සහයෝගයට .....(තෝරා ගත් ගීත කීපයක්  පමණයි පල කලේ ..හැමෝම ගාව මේ සින්දු තියන නිසා අප්ලෝඩ් කලේ නැතෝ )

මෙම මස 31 වෙනි දින ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ශාලාවේ දී එච්.එම්. ජයවර්ධන ප්‍රණාම මියැසි ප්‍රසංගයක් පැවැත්වෙනවා. හැකිනම් සහභාගී වෙන්න ආරාධනා කරනවා ...වැඩි විස්තර සඳහා -072 4888484   




61 comments:

  1. මලක් පිපී හිනැහෙන්නේ එකම වතාවයි
    මේ සුපිපුණු එවැනි කැලෑ මලෙක කතාවයි..

    මන් ආසම සිංදුවක් මචෝ.. කාලෙකින් ඇහුවේ නෑ.. පොස්ට් එක දැක්ක ගමන් කරේ යූ ටියුබ් එකේ සින්දුව අහපු එක :)
    හරිම කණගාටුදායක කතාවක් හැමදාම වගේ අහන්න ලැබෙන.. පුළුවන් උදව්වක් කරන්න බලමු. ඉරිදා ගම්පහ යනවනම් මාත් එන්නම්.. කියපන්.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මචෝ ..හැමදාම ලියන්න වෙලා තියෙන්නේ මෙවැනි දේවල් විතරමද කොහෙද ...ඉරිදා ගම්පහ යනවානම් කියන්නම් ..ලව් පුසත් එනවා කිවා ...
      පුළුවන් විදිහට උපකාර කරමු ...
      ජයවේවා !!!!

      "මල් පත්තිනි අම්මාවරු වන් වනිතාවන්
      මල්නෙලඳුන් අතරතුරේ වාසනාවන්"

      Delete
  2. පත්තරේක තිබිල මෙතුමගෙ අසනීප තත්වය දැනගත්ත. ඉරිදට මගුලක් තියන හින්ද එන්න බැරිවෙයි.

    ReplyDelete
    Replies
    1. දැන් වසර දෙකකට වැඩයි මයේ හිතේ මෙහෙම අසනීපය වැඩි වෙන්න පටන් ගෙන ....
      මොන මගුලක්ද යකෝ .....හැක්
      ජයවේවා !!!

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. කලාකරුවන් මේ වගේ තත්වෙකට ඇද වැටෙන්න කලින් ගොඩ ගැනීම කළ යුතු දෙයක් වගෙයි පේන්නේ දැං..

    ReplyDelete
    Replies
    1. යුගයේ අවශ්‍යතාවයක් වාගේම අපේ යුතුකමක් කියලයි හිතෙන්නේ දේශෝ ....
      බොහොම ස්තුතියි ...
      ජයවේවා !!!!

      Delete
  5. සින්දුවෝ......................

    අහිංසක වැඩි සද්ද බද්ද නැති සංගීත ලෝකයේ ඉන්න සැබෑ පොරක්.... (පොරවල් කියලා පෙන්නන්න හදන මිනිස්සු අතරේ සෑබෑ පොරක් තමා මේ) හැකි උදව්වක් කරමු........ ජයවේවා

    ReplyDelete
    Replies
    1. //සංගීත ලෝකයේ ඉන්න සැබෑ පොරක්//
      ++++++++++++++++++++++++++++
      බොහොම ස්තුතියි කුරුට්ටෝ ජයවේවා !!!!

      Delete
  6. "කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී" කියන ගීතය මම ආසකරනම ගීතයක්.මේ හැම ගීතයක්ම එක වගේ අර්ථවත් ලස්සනයි.කොහොම උනත් ප්‍රතිභාපූර්ණ කලාකරුවෝ බොහෝමයකගේ ජීවිත වල අවසාන කාලය ගෙවිලා යන්නේ මේ විදියට.ඔවුන් අවසානයේ ගොඩක් අසරණ වෙලා කාගේවත් පිහිටක් නෑ.

    ReplyDelete
    Replies
    1. මටනම් මේ දේ ගැන හිතාගන්න බෑ. කසුන් කල්හාර තාත්ත ගැන බලන්නෙ නැද්ද ?

      Delete
    2. //කොහොම උනත් ප්‍රතිභාපූර්ණ කලාකරුවෝ බොහෝමයකගේ ජීවිත වල අවසාන කාලය ගෙවිලා යන්නේ මේ විදියට.ඔවුන් අවසානයේ ගොඩක් අසරණ වෙලා කාගේවත් පිහිටක් නෑ.//+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
      මනෝ මෙන්න මේක තමයි තිත්ත ඇත්ත මචෝ ...

      Delete
    3. කම්මලේ කසුන් උදවු කරනවා කියලා තමයි එච් .එම් නම් කියන්නේ ....එත් තනියම ඇදගෙන යන්න බැරිව ඇති ...

      Delete
  7. උදව්වක් කරන්නම් පඩිය ගත්තහම. එතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා.

    සින්දු ඇනෝ, පොඩි උදව්වක් කරනවද?

    රත්න ශ්‍රි ලියපු, කපුගේ ගායනා කල “සබඳ අපි කඳු නොවෙමු“ සිංදුවෙ සංගීතය කාගෙද?
    ----
    ප්‍රියන්ත

    ReplyDelete
  8. එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
    මට කරන්න පුලුවන් එච්චරයි සහෝ. සමාවෙන්න දහස් වාරයක්..

    ReplyDelete
    Replies
    1. මහේෂ් වචනෙකින් හරි දිරියක් වෙන්න පුලුවන්නම් එකත් මහඟු පිනක් මචෝ ...
      බොහොම ස්තුතියි ...
      ජයවේවා !!!

      Delete
  9. කොහොමද මාලිනී බුලත්සිංහල ගැන නොකියා එච් එම් ගැන කියන්නේ. මාලිනී මේ මනුස්සයාව බලාගත්තේ අම්මා කෙනෙක් වගේ. අගේ අකල් වියෝව එච් එම් ව තව දුරටත් මල් පැණි වඩියට සමීප කළා.

    අපිට පුළුවන් දෙයක් කරමු.

    ReplyDelete
    Replies
    1. විචා මම වැඩිය ඒ ගැන ලියන්න හිතුවේ නෑ ...එච්.එම් මාලනී නැති වුනාට පස්සේ ගොඩක් තනි වුනා .මාලනී ගැන වෙන කතා කරන්න පුළුවන් .ඒ ගැන පස්සේ කතා කරන්න ඉඩ තියාගත්තා ...
      බොහොම ස්තුතියි ..
      ජයවේවා !!!

      Delete
    2. අහල තියෙන විදිහට හරිම සන්වේදී කතාව.. ඒක ලියමු ඉක්මනටම

      Delete
    3. ලියමු ලියමු මචෝ ..

      Delete
  10. කසුන් කල්හාර කොයි

    ReplyDelete
    Replies
    1. කසුන් උදවු කරන බවක් තමා දන්නේ මචෝ ...

      Delete
  11. තාමත් ඔහු තුලින් නිර්ව්‍යාජ ගැමිකම දිස්වෙනවා.එදා දුටු ඔහුමයි තාමත් දකින්නේ.මේ සොදුරු කලාකරුවා රැක ගැනීම හැමෝගෙම වගකීමක් . පුලුවන් දෙයක් කරන්නම්. ප්‍රසංගය බලන්න ආසාව තිබුනත් දුර නිසා නොහැකියි.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි ගිමහානි ...හැමෝම පුළුවන් විදිහට උදව් කරමු ..
      ජයවේවා !!!

      Delete
  12. ඔහුගෙන් ඇසුනු නාද මාලා ව්‍යාජයක් නෙමෙයි... ඔහු අත්විඳින හැඟීම්,වේදනාවන් සංගීත භාණ්ඩ ,තනු,නාදමාලා ඔස්සේ අපට සමීප උනා..
    එතුමන්ට සුවය පතමු.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මචෝ කිසිම සංගීත විද්‍යයලයක ඉගෙන ගන්නේ නැතිව 10 ශ්‍රේණියට පමණක් ඉගෙන ගත්තු මේ මනුස්සයා මෙහෙම නිර්මාණ කරන එක ඇත්තටම ආශ්චර්යයක් ...

      බොහොම ස්තුතියි මචෝ ...
      ජයවේවා !!!!

      Delete
  13. සියක් උල්පත් මවා දී
    නිසලවම හිදිනා
    නමක් නැති මහ කන්ද ඔබ
    අප්පච්චී....

    ඔබෙන් දිය ලැබ සාර වූ
    තුරුණු කෙත්වතු දෙස බලා
    නොපෙනෙනා තරමින් සිනා සී
    නිසලවම හිදිනා
    අප්පච්චී...

    මෙහෙවරට ආවැයි සිතා
    වෙහෙස නොබලා වෙහෙසෙනා
    තෙත් ගුණය මෙත් ගුණය සගවා
    අකම්පිත වත පා
    අප්පච්චී....

    - කසුන් කල්හාර -

    ReplyDelete
    Replies
    1. පත්තරේ මේ ගීය උපුටා දක්වන්න හරි කැමති බවක් දැක්කා.. ඇත්තටම සුන්දර ගීයක්.ඔය ගීය රචනා කරන්නේ 2004/05 වගේ කාලෙක උසස්පෙල ජීව විද්‍යාව හදාරන සිසුවියක්.අරමුණු කරගන්නේ රසායනවිද්‍යා උපකාරක පංති පවත්වන පින්නපොල ගුරුතුමාව.මැය පංතියේදී චිට් ලෙසින් ගුරුතුමාට එවූ නිසඳැස් කාව්‍ය එකතු කරලා 'අප්පච්චි' කියල කැසට් එකක් ගුරුතුමාගේ වියදමින් නිකුත් කෙරුනා.බුද්ධ දර්ශනයේ පැතිකඩ විදහා දක්වමින් සිසුන් හික්මවීම මෙතුමාගේ විශේෂ ලක්ශනයක්.
      (ඔව් ඔව්... ගස්ලබ්බව ගහල පන්නලා තියෙනවා තමයි.ඒත් ආයෙ ගිහිං හැංගිලා හිටියා කියන ඒව අහගෙන.යන්තං ගොඩගියෙ එහෙම.)

      Delete
    2. ඔව් බොක්කෝ.. මේක මං හරිම ආස සිංදුවක්.අප්පච්චී කියන තැන මුළු සිංදුවෙම හරය තියනවා..ඊයෙ පෙරේදා තාත්තෙක් උණා වෙච්චි අමුතුවෙන් කියන්න ඕනැ නෑ නෙවැ..කසුන් කියන්නෙත් මගෙ ෆේවරිට් එකක්.අනික කනබොන මනුස්සය .හැක්

      Delete
    3. ගස් ...මේ ගීතය රචනා කරලා තියෙන්නේ "ජයතිලක කම්මැල්ලවීර " නේද ? කසුන්ගේ සජීවී ප්‍රසංගයකදී කසුන් සඳහන් කළා ...

      Delete
    4. පත්තරයෝ උඹට බොක්කෙන්ම ස්තුතියි දුන්නු සහයෝගයට ...
      කන බොන මිනිස්සුන්ට අපි කොහොමත් මනාපයි නොවැ ...
      ජයවේවා !!

      Delete
    5. සිංදු ඇනෝගේ මතයට අභියෝග කරන්න තරම් ශක්තිමත් මතකයක් නෑ... එහෙම වෙන්නත් පුළුවන්.. ගස්ලබ්බ පටලගෙනද දන්නෑ නෙව

      Delete
  14. කේමදාස මස්ටර් හා සමාන වූ ලන්කාවෙ විශිෂ්ටතම සංගීතඥයා. එකම වෙනස මාස්ටර්ට විදිමත් සංගීත අධ්‍යාපනයක් තිබීම. ඒත් මාස්ටර්ට වඩා එච් එම් ට සංගීතමය පරිකල්පන ශක්තියක් තිබ්බ. බීමත් කම නිසා තමයි මේ ඔක්කොම. අපිට හැකිපමන කාලයක් ‍රැකගන්න ඕන සම්පත්. මේ ප්‍රෝග්‍රැම්එක බලනකොට එච් එම් ට තියෙන ආදරේ දෙගුන තෙගුන වෙනව. "කැලෑමලේ කතන්දරේ..."

    https://www.youtube.com/watch?v=TpQ4BJoeWYc

    ReplyDelete
    Replies
    1. උඹත් එක්ක 100% එකඟයි මචෝ ...පොස්ට් එක හදිසි කල නිසා වීඩියෝ කෑලි ටික අමුණන්න බැරි උනා ..හෙට මේටික අප්ඩේට් කරන්නම් ...
      ජයවේවා !!!

      Delete
  15. ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...

    පුළුවන් දෙයක් කරමු මචං...
    හැබැයි මේ ඉරිදා එන්න වෙන්නේ නැහැ මචං, සති දෙකකට ගමේ ගිය ගෙදර උන්දෑ සහ කොළු පැටියව ආපහු එක්කගෙන එන්න ගමේ යන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලොකු ....වෙන දවසක සෙට් වෙමු එහෙනම් ..
      ජයවේවා !!

      Delete
  16. ප්‍රසිද්ධිය පස්සේ එලවගන නොගිය සංගීතය සහ මනුස්සකම ජීවිතය කරගත්තු මුණිවරයෙක්.සද්දේ දාලා නොකීවාට හිතන විදිහට ලංකාවේ වැඩිම ගීත ගානක් සංගීතවත් කරලා ඇත්තේ මෙතුමා වෙන්න ඇති.ඔය එෆ්.එම් චැනල්වලින් මෙතුමා සංගීතවත් කරපු සිංදුවක් ප්‍රචාරයවෙන සැරේකට රුපියල ගානේ ගෙවුවනම් මේ මිනිස්සු අද යන්නේ හෙලිකොප්ටර් වල. මේ මිනිස්සුන්ට මෙහෙම අසරණ වෙන්න දෙන්න බෑ බං.පුළුවන් උදවුවක් කරමු.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ රෝහණ වීරසිංහට පස්සේ වැඩිම තනු නිර්මාණය කරලා තියෙන්නේ එච්.එම්.
      කටුස්සෝ උඹ කියලා තියනවා වාගේ ගීතයකට සත 25 ක් දීලා තිබුනත් ඇති ...වැඩේ තියෙන්නේ මේක අම්මට සිරි ලංකාවනේ ....
      බොහොම ස්තුතියි මචෝ ...
      ජයවේවා !!!

      Delete
  17. මම හුඟක්ම ආස කරන සංගීත වේදියෙක්. මම ආසම ' ඇය යන්න ගිය මැකිලා ' ගීයේ තණු නිර්මාණයට.

    ඔහු අසනීපයෙන් කියලා මේ වෙනකන් දැනන් හිටියේ නෑ.

    ReplyDelete
    Replies
    1. "මාලිනී බුලත්සිංහල ලංකාවෙන් පිටත්ව යන්නට පෙර සුනිල් සරත් පෙරේරා නම් ප්‍රවීණ ගීත රචකයා ඇයගේ සැමියා වන ප්‍රවීණ සංගීතඥ එච්. එම්. ජයවර්ධනට එක්‌ සුවිශේෂී පදරචනයක්‌ ගෙනවිත් දුන්නේය. එය අමරසිරි පීරිස්‌ට ගායනය සඳහා ලියූ ගීයකි. එච්. එම්. ට භාරදුන්නේ තනුවක්‌ යොදා සංගීතවත් කර අමරසිරි පීරිස්‌ නම් මහා හඬ පෞරුෂයෙන් ගායනා කරවන්නටය. එහෙත් මාස ගණනක්‌ ගත වූවත් ඒ ගීතයට තනුවක්‌ නොදැමිනි. ගේ පිටිපස ගඩොල් ගොඩක ඒ පදරචනය අව්වට වේලෙමින්, පින්නට තෙමෙමින් අකුරු බොඳවී මාස ගණනාවක්‌ම තිබිණි.

      මාලිනී ඇමරිකාවේ සිටින අතරතුර එච්. එම්. අතින් ඒ ගීතයට තනුවක්‌ යෙදිනි. අපූරුව තනුවක්‌ තැනිනි. 2001 මාර්තු 29 දාට පෙර දිනක එච්. එම්. අයියා අමරසිරි අයියාට ගීතය භාර දුන්නේය. ඒ ගීතය මෙසේය.

      ඈ යන්න ගියා මැකිලා
      වන සිරසක තුරු සෙවනැලි අතරේ
      ගී ගයමින් ඉඳ මා තුරුලේ

      අමරසිරි ඒ ගීතය ගායනා කළේය. ඊට දින කිහිපයකට පසු මාලිනි අක්‌කා යළි ලංකාවට පැමිණියාය. ඒ... මිහිදුම් සළුවෙන් මුහුණ වසා නොව, මිහිදුම් සළුවක්‌ වැනි සිනිඳු සුදු සේලයකින් මුලු ගතම වසාගෙනය... ඒ ගීතයෙන් කීව ලෙසම ගී ගයමින් ඉඳ අප තුරුලේ මාලිනි බුලත්සිංහල යන්නට ගියාය. ඕ මැකී ගියාය...................

      http://www.divaina.com/2014/03/30/nimna06.html


      බොහොම ස්තුතියි දිනේෂ් ...

      Delete
  18. මට පුදුම නව පරපුර නාමල්ලට ප්‍රින්ස්ලට උදව් කරද්දි.. ප්‍රවීනයෝ කියන වේසිගේ පුතාලා සහ වේසියෝ මේ මනුස්සයා වෙනුවෙන් මක්කාවත් නොකරන එක ගැන..

    ReplyDelete
    Replies
    1. නන්දා මාලිනී යමක් ඔහු වෙනුවෙන් කල බව දන්නවා.එච්.එම් ම වරක් කියා තිබුනා ඔහු හමුවන්න පැමිණි නන්දා මාලිනි "ශ්වේත රාත්‍රිය" ප්‍රසංගයෙන් ලැබූ මුදල් කියා ලිපි කවරයක් දී ගිය බවත්.ඇය ගිය පසු විවෘත කල කවරයේ රුපියල් ලක්‍ෂයක් තිබු බවත්.

      Delete
    2. පුද්ගලිකව උදව් කරනවා කියලා නම් ආරංචියි මාතේ ..වැඩේ තියෙන්නේ මේකේ ඉන්න පරණ සෙට් එකත් අම්බ හිගන්නුනේ ....ඉතින් කොහොමද බන් තව එකෙකුට උදව් කරන්නේ ...

      Delete
    3. පරණ පරපුරට සල්ලි නෑ බං. අමරදේවගේ ගේ බැංකුවට සින්න වෙලා පිස්සු කෙළ කෙළ ඉන්න කොට තමයි ගෙයක් අහ්දල දීලා ඔය පදිංචි කරල තියෙන්නේ. නන්දා මාලිනී, සනත් නන්දසිරි සහ සුනිල් එදිරිසිංහට නම් යමක් කමක් තියෙනවා. ටී.එම්., අයිවෝ ඩෙනිස්, අමරසිරි පීරිස්, වික්ටර් රත්නායක වගේ අය අදත් මහ ඉස්පිරිතාලේ පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්න මිනිස්සු.

      උන් භාතිය සංතුශ්ලා වගේ කෝටිපතියෝ නෙවෙයි.

      Delete
  19. "කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී" සින්දුව දැක්කම මට මතක් වෙන්නේ බං එක වතාවක් මම ඔය සින්දුවේ තියෙන්නේ "මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා" කියන පේළිය එක කෙල්ලෙක් එක්ක චැට් කරන කොට යැව්වා.එකී මට කිව්වා "ෂා ඔයාගේ අදහස් කවි වගේ ලස්සනයි" කියලා හිටං.

    "රෝහණ වීරසිංහයන්" වගේම අලංකාර තනු නිර්මාපකයෙක්. රෝහණ වීරසිංහයන් ගයන සිංදු නම් අහලා තියෙනවානේ.එත් අපි මෙතුමා ගයන සින්දු අහලා නැත්තේ එතුමා ගායනයෙන් බැහැරව ඉන්න නිසා ඇතිනේ.

    හදවත් සැනසූ කලාකරුවාට ඉක්මන් සුව පතමි..!

    ReplyDelete
    Replies
    1. //"ෂා ඔයාගේ අදහස් කවි වගේ ලස්සනයි" කියලා හිටං.// උඹත් සුටින් මාටින් බලනවාද ? එකෙත් යනවා ඔයවාගේ කතාවක් ..හැක්

      බොහොම ස්තුතියි මනෝජ් ..
      ජයවේවා !!!

      Delete
    2. ආ සුටින්,මාටින් මට එක අමතක වුනා බං.මේක මේ අද ඊයේ වෙච්චි එකක් නෙමේ දැන් අවුරුදු කිහිපයකට කලින් වෙච්චි දෙයක්.මම කියන්න හැදුවේ මේ සින්දු වලට අපි කොයි තරම් කැමති වුනත් මෙව්වා නිකමටවත් අහපු නැති අපේ සම වයස් වල උනුත් ඉන්නවා කියන එකයි.

      Delete
    3. //මම කියන්න හැදුවේ මේ සින්දු වලට අපි කොයි තරම් කැමති වුනත් මෙව්වා නිකමටවත් අහපු නැති අපේ සම වයස් වල උනුත් ඉන්නවා කියන එකයි.//මේකනේ මනෝජ් ගීත ලියාපු මනුස්සයත් ඒ ගීතය වැඩිය අහලා නෑ කියන කාලයක්නෙ මචෝ මේක ...

      Delete
  20. කොහේ කොතනද වැරද්ද වෙලා තියෙන්නෙ කියල මට හිතාගන්න බෑ. මේ තියෙන තත්වෙ අනුව කලාකරුවන් සඳහා කිනම් හෝ වැඩපිලිවෙලක් රාජ්‍ය අනුග්‍රහයෙන් අරඹන්න වෙයි. දෙයියනේ මේ රටක් වටින ජීවිත.

    ReplyDelete
    Replies
    1. "අප කොහේද මේ යන්නේ
      රට කොහේද මේ යන්නේ
      කොතැන තිබෙන වරදක්දෝ
      කවදා වුනු වරදක්දෝ
      කවදා කොතැනක කවුරු කරපු වරදක්දෝ.......
      (ගුරු තරුව )

      ඡන්දයක් එන කොට කියන බයිලා විතරයි මචෝ ....
      ජයවේවා !!!

      Delete
  21. එතකොට තාත්ත වෙනුවෙන් තිබ්බ ප්‍රසංගෙ සිංදු කියන්න සල්ලි ඉල්ලුව පුතා එයා වෙිද;වෙන කවුරු හරි වෙන්ටැ
    හාකො අපි නං ඕව දන්නෑ

    එච් එම් ගෙ තනු වලිං හැඩ වෙච්ච සිංදු කීයක් නං අපි පෙරේත කමේ අහනවද මචං
    ඉරිද එන්න වෙන්නෑ බං මට ලෙක්චස් තියේ
    එක්සෑම් කට උඩ තියං ඒක කට් කරන්න හිතකුත් ෑ බං

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මචෝ ..මිනිස්සු කියනවා අපි අහනවා ...කසුන් ගැන කාගෙවත් හිතේ හොඳ ආකල්පයක් නැ මේ ගැනනම් ...
      එක්සැම් එක කරගනින් ඔක්කොටම කලින් ..
      ජයවේවා මය්යෝ ...

      Delete
  22. තමංට හම්බවෙන සම්මානෙ වෙන කෙනෙක් වෙනුවෙන් පරිත්‍යාග කරනව කියන්නෙ සෑහෙන පරිත්‍යාගශීලී කමක්.

    මොහුට ඉක්මන් සුව පතනවා!

    ReplyDelete
  23. Arthawath padha rachanaawan saha praweena gaayaka/gaaikawange handa samaga, H.M.Jayawardhana wani daksa musician kenekge gee thanuwak ekathu unaama geeyak hadhawathata kindhaa basina eka arumayak nowei.

    methuma sangeethawath kala godaak geetha walata man kamathi...

    merhumata ekman suwaya prarthana karanawa.

    ReplyDelete
  24. එතකොට කසුන් කල්හාර තාත්තා ගැන බලන්නෙ නැද්ද?මට හිතට ආවෙ ඒකයි.

    ReplyDelete
    Replies
    1. ඔහු හරිම වෙනස් කෙනෙක්...කොටින්ම කසුන්ගෙ ප්‍රසංගයකදි ඔහුගෙ නවතම සීඩි එක තාත්තට තමයි පළමුවෙන් පිලිගන්වන්නෙ...නමුත් අනිත් දරුවො වගේ ඔහු වැන්දෙ නෑ...තාත්තට අතට අත දුන්නා හරිම කෘතිම විදියට...

      Delete
  25. කසුන් මම අහල තියන විදිහට ඇතුලාන්තයෙන් සතෙක්..

    ReplyDelete
  26. සංගීතවේදීන් අතර මම ඉතාම කැමති මනුස්සයෙක්...ඔහුගෙන් තනු දාගන්න මගේ මිතුරන් ගියාම ඒ අයට සැලකූ විදිය මම දන්නවා...අලුත් පරණ භේදයක් නැතුව තමන්ගෙ ශාස්තරෙන් උදව් කල කෙනෙක්. ඉතාම කණගාටු වෙනවා අද ඔහු පත්වී තිබෙන තත්වය දැක්කම. බිරිද මාලනී උන්නා නම් මේ විපත වෙන්නෙ නෑ කියලා ඔහුම පුවත්පතකට කියා තිබෙනු දුටුවා...මෙතන දක්වා ඇති ගීත ගත්තම සිංහල සරළ ගීතයේ හොඳම අස්වැන්නක් කියලා කියන්න පුලුවන්...ඔහුගේ දියණියගේ අභාවයෙන් පස්සෙ තමයි මධුවිත සමග ඔහුගෙ ගණුදෙනුව වැඩි වී තිබෙන්නෙ.

    උඹගෙ ඔත්තුව ලැබිලත් මට 31 වෙනිදා වැඩේට යන්න බැරි උනං ගොයියො...

    ReplyDelete
  27. මේ කතාව පත්තරේක ගියා මයෙ හිතේ. කසුන් කල්හාරටත් තනියම කරගන්න අමාරු බව තමා තිබුනෙ. වකුගඩු අමාරුවක් හැදුනම සල්ලි කියන දේවල් කොච්චර තිබුනත් මදි. මං අත්දැකීමෙන් දන්නවා. වෛද්‍යවරු කියන දේවල් ඇහුවම ගෙදර ඇවිත් නින්ද යන්නෙ නෑ මචෝ.

    කලාකරුවාණනි ඔබට ඉක්මවන් සුව පතමි.

    ReplyDelete
  28. හුගක් දවසකින් උබ බලන්න ආවෙත්.
    ඇයි මචෝ ඇමතුමක් වත් දුන්නේ නැත්තේ මම එක්ක තරහා වෙලාද

    ReplyDelete