Tuesday, April 3, 2018

කොවුල් සරින් මියුරු - අවුරුදු ඇවිදින් සුමිතුරු...!


සිංහල අවුරුදු ගී හැදුණේ මෙහෙමයි

හෙළයේ මහා මංගල්‍යය “සිංහල දෙමළ අලුත් අවුරුද්ද” ය. ශ්‍රී ලාංකේය ජන ජීවිතය සමඟ බැඳී පවතින සංස්කෘතිකාංගයක් ලෙස සැලකෙන මෙම අවුරුදු සමය තේමා කරගෙන ගුවන් විදුලි, චිත්‍රපට සහ කැසට් ගී රැසක් නිර්මාණය වී ඇත. එම ඇතැම් ගී දශක ගණනාවක් පැරැණි නමුත් අදත් අපේ මතකයේ රැඳී ඇති ගීත වේ. ඒ මතක සමඟින් “සිංහල අවුරුද්ද” විෂය කර ගත් ජනපි‍්‍රය ගීත කීපයකට ගී පද රචනයෙන් සහ ගායනයෙන් දායක වූ කලාකරුවන් කීප දෙනකු සමඟ කරන ලද ආවර්ජනයකි, මේ.

“සිංහල අවුරුද්දේ - මංගල ගී සද්දේ” (ජයන්ත වීරසේකර / සුනිල් ශාන්ත) - “බුලත් හුරුල්ලක් ගෙන අවුරුදු එනවාලු” (මර්සලින් ජයකොඩි පියනම / ෂර්ලි පෙරේරා) - “වඩින්න අප වෙත අවුරුදු කුමරියනේ” - (මහගමසේකර / පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව) - “මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී” (අරිසෙන් අහුබුදු / පණ්ඩිත් අමරදේව) - “අතුරු මිතුරු දඹ දිවතුරු ගහ වැල මල් ලන පියකරු” (සුනිල් සරත් පෙරේරා / පණ්ඩිත් අමරදේව) - “බඹරුන් පිස්සු වැටිලා මල් සිඹැ සිඹැ යන මාසේ” (නිමල් ගුණරත්න) - “බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද” (පියසිරි විජේරත්න) - “මේ අවුරුදු කාලේ හිනාවෙයන් රාලේ” (ජයතිස්ස බොරළුගොඩ / ලයනල් රන්වල) - “සිරි ලංකාවම එක නුවරක් වෙයි” (මහාචාර්ය සුනිල් ආරියරත්න / ටී. එම්. ජයරත්න) - “කිරි ඉතිරේවා නව වසරේ” (චිත්‍රානන්ද අබේසේකර / විශාරද දයාරත්න රණතුංග) - “කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ” (ආචාර්ය අජන්තා රණසිංහ / මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි, සුජාතා අත්තනායක) - “කොහෝ මල් වාරම්” (ආචාර්ය අජන්තා / එච්. ආර්. ජෝතිපාල, සුජාතා) - “ආවා අවුරුදු දේවී” (කරුණාරත්න අබේසේකර / ජෝතිපාල) - “නව අවුරුදු දා බක් මාසේ” (තිස්ස ඩයස් / ජෝතිපාල) - “මී බී මත්වුණු කොවිළිඳු” (සුනිල් ගුණවර්ධන / කෝලිත භානු දිසානායක, නිර්මලා රණතුංග) - “පුංචි පැලත් මේ කාලේ මාළිගා රජ මාළිගා දොළොස් මහේ නැකත ඇවිල්ලා” (විජය කුමාරතුංග, චන්ද්‍රලේඛා පෙරේරා) වැනි සිංහල අවුරුද්ද විෂය කරගෙන නිර්මාණය වී ඇති ගීතාවලියට චිත්‍රපට ගීත ක්ෂේත්‍රයෙන් එක් වූ “ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා” (“ධීවරයෝ” චිත්‍රපටයට කරු / මොහිදින් බෙග්, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, මල්ලිකා කහවිට) - “කන්ද උඩින් සඳ පායන ලීලා” (“බක්මහ දීගේ” චිත්‍රපටයට දයානන්ද / ආචාර්ය වික්ටර් රත්නායක) - “බුලත් අතයි රබන් හඬයි කොහා හඬන මිහිරි නදයි” (“පොඩි මල්ලී” චිත්‍රපටයට ධර්මසිරි ගමගේ / සමූහ ගැයුමකි) - “මී අඹ අත්තේ කොහෝ කොහෝ” (“චංචල රේඛා” චිත්‍රපටයට ආචාර්ය අජන්තා / මිල්ටන් මල්ලවආරච්චි, නීලා වික්‍රමසිංහ) වැනි ගීත ද මේ වසන්ත සමයේ උදාන ගීතයන් ය.

ජනප්‍රියම ගීතයකට දායක වෙන්න ලැබුණා
ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා
ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ලා වරෙල්ලා වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා...!

(පද - කරුණාරත්න අබේසේකර)
(ගායනය - මොහිදින් බෙග්, ක්‍රිස්ටි ලෙනාඩ්, මල්ලිකා කහවිට)

සිංහල අවුරුදු ගී අතරින් වැඩි ජනප්‍රියත්වයක් හිමි කර ගත් “ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා” ගීතය නිර්මාණය කිරීමේ දී ගායනයෙන් දායක වූ ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා මෙම ගීතය පිළිබඳ අප සමඟ මතක අවදි කරමින් මුලින්ම අප සමඟ කතාබහට එක්වූවේ මෙලෙසින් ය.

“මම, මොහිදින් බෙග් සහ මල්ලිකා කහවිට සමඟයි මේ ගීතය ගායනා කළේ. මේ ගීතය නිර්මාණය කරන්න දායක වූ ගී පද රචක කරුණාරත්න අබේසේකර, සංගීතඥ එම්. කේ. රොක්සාමි වගේම රඟපෑමෙන් දායක වුණු ගාමිණි ෆොන්සේකා සහ විජිත මල්ලිකා ඇතුළු කිසිවකු මේ වන විට ජීවතුන් අතරේ නැහැ. ඉන්නේ මල්ලිකා කහවිටයි මමයි විතරයි.

මේ ගීතය රූපගත කළේ හැඳල විජය චිත්‍රාගාරය අසල එළිමහනේදියි. ගාමිණි, විජිත මල්ලිකා සමඟ මමත් පෙනී සිටියා ඒ ජවනිකා වල. අපි ඒ රූප රාමුවල ගීතය ගයමින් නටනවා.

ගාමිණි වෙනුවෙන් ගායනය කළේ බෙග්. ඉන්පසු අවුරුදු හතළිහක් පමණ කාලයක් ගෙවී ගිහිල්ලත් තවමත් මේ ගීතය හැම සිංහල අවුරුද්දකදීම ඇහෙද්දී හරිම සතුටක් දැනෙන්නේ,

මේ රටේ ජනපි‍්‍රයම ගීතයකට ගායනයෙන් දායක වෙන්න ලැබීම ගැන.”

අමරදේවයන්ගේ තනුවඉතා කදිමයි
සුනිල් සරත් පෙරේරා
අතුරු මිතුරු දඹ දිවිතුරු - ගහ වැල මල් වන පියකරු
කොවුල් සරින් මියුරු - අවුරුදු ඇවිදින් සුමිතුරු...!

(පද - සුනිල් සරත් පෙරේරා)
(ගායනය - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව)

“ගුවන් විදුලියේ විශේෂ සිංහල අවුරුදු වැඩ සටහනකටයි ‘අතුරු මිතුරු දඹ දිවතුරු’ ගීතය මම මුලින්ම ලියුවේ. පසුව රූපවාහිනියේ ‘අවුරුදු සිරිත’ වැඩ සටහනේ තේමා ගීතය ලෙස මේ ගීතය යොදා ගැනීම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. සිංහල අවුරුද්ද තේමා කරගෙන මේ ගීතය පමණක් නොවේ, තවත් ගීත කිහිපයක් මං ලියා තිබෙනවා. ‘දුහුළු වළා පෙළ පාවඩ එළලා අවුරුදු කුමරිය එනවා’ (දීපිකා ප්‍රියදර්ශනී පීරිස්) - ‘බක් මහේ නැකත් ඇවිත් ලක් දනන් සුවපත් කරයි’ (එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී පීරිස්) - ‘සැණකෙළි සිරි සිරිලක රඳවා ඔන්චිලි චිලි වාරම් ගයනවා’ (රොඩ්නි වර්ණකුල) වැනි ගී ඒ අතර තිබෙනවා. සිංහල අවුරුද්ද මම රසවින්ද ගමත් සමඟ බැඳුණු සංස්කෘතික වශයෙන් අගයක් ඇති උත්සව සමයක්. මගේ පියාගේ පුරුද්දක් තිබුණා අවුරුද්දට කන්දේ විහාරේ යන. ඒ වගේම උග්ගල්බොඩ තිබුණු ගම් මඩුව බලන්නත් අපි ගියා. බාල, තරුණ, වැඩිහිටි කාටත් ප්‍රබෝධවත් මානසිකත්වයක් ඇති වන කාලයක් ලෙස මේ සිංහල අවුරුදු කාලය හඳුන්වන්න පුළුවන්. ‘අතුරු මිතුරු දඹ දිවතුරු’ ගීතයට පණ්ඩිත් අමරදේවයන් යොදා ඇති තනුව ඉතා කදිමයි. ඔන්චිල්ලා උඩ යනවා වැනි හැඟීමක් දනවන තනුවක්නේ මේ ගීතයට අමරදේවයන් යොදා තිබෙන්නේ. මේ ගීතය ශ්‍රවණය කිරීමේදී ප්‍රබෝධවත් මානසිකත්වයක් ඇති වෙන බවයි මගේ වැටහීම.

හැම අවුරුද්දකම නොවරදවා මේ ගීය ඇසෙනවා
දයාරත්න රණතුංග
කිරි ඉතිරේවා නව වසරේ
ප්‍රීතියෙන් සාමයෙන් පා නගා
ජය මගේ
සතුටු සාගරේ ගිලෙමු
මේ නව වසරේ
කිරි ඉතිරේවා නව වසරේ...!

(පද - චිත්‍රානන්ද අබේසේකර)
(ගායනය - දයාරත්න රණතුංග)

මෙම වසන්ත සමය එළැඹෙන විට කොහෝ ගී නාදය නොවරදවාම ඇසෙන්නාක් මෙන් සංගීතඥ සහ විශාරද ගායන ශිල්පී දයාරත්න රණතුංගයන්ගේ හඬින් ගැයෙන “කිරි ඉතිරේවා නව වසරේ” ගීතය ද නොවරදවාම ඇසෙන්නේ ය.

තරමක අසනීප තත්ත්වයෙන් පසු වුවද දයාරත්නයන් අපේ කතාබහ මග නොහැරියේ ය. “මගේ මේ ගීතය ජනප්‍රිය වෙන්න පෙර ‘බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද’ ගීතය තමයි සිංහල අවුරුදු ගීත අතර ගුවන් විදුලියේ ජනප්‍රිය වෙලා තිබුණේ. ‘කිරි ඉතිරේවා’ ගීතය 1978 දීයි චිත්‍රානන්ද අබේසේකරයන් මට ලියා දුන්නේ. ඒ කාලේ ගුවන් විදුලියේ උන්නු රෝහිත විජේසූරියගේ තනුව සහ සංගීතයටයි මං මේ ගීතය ගායනය කෙරුවේ. මෙය හැම සිංහල අවුරුද්දකදීම නොවරදවාම ඇහෙන ගීතයක්නේ. මේ රටේ ජනතාවට ආසිරි ප්‍රාර්ථනා කරන ජනතා ප්‍රසාදය හිමි වූ මෙවැනි ගීතයක් ගයන්න ලැබීම මගේ ගායන දිවියේ භාග්‍යයක් ලෙස මං සලකනවා.”

මෙය ‘බෞද්ධ’ - ‘හින්දු’ අලුත් අවුරුද්ද විය යුතුයි!
මහින්ද දිසානායක
මිණිමුතු මල් මාල දමා
බක් මාසේ
නිල්ල මැදින්
එබී බලනවා
අවුරුදු කුමරි
වසන්ත සමයේ
රූප ශ්‍රියාවී...!

(පද - මහින්ද දිසානායක)
(ගායනය - ජැක්සන් ඇන්තනී, කුමාරි මුණසිංහ)

“මම මේ ගීතය ලියුවේ 1998 දී ‘මියුරුසර වසන්තේ’ ගී වැඩ සටහනේ ‘වැව් බැඳී දනව්වෙන් ගී දිය දෝතක්’ නමින් නාට්‍ය ස්වරූපයෙන් ඉදිරිපත් කළ රූපවාහිනී නිර්මාණයටයි. දැන් සිංහල අවුරුදු සමයේ දී මෙම ගීතය නිතර ප්‍රචාරය කරනවා. මගේ ගම අනුරාධපුර දුනුමඬලාව සුන්දරයි. ඒ වගේම කටුකයි. මෙහි මිනිසුන් විවේකයක් නැතුවම වැඩ කරන ජන කොටසක් වුවත් දුක දිනා සෞන්දර්ය විඳිනවා. මෙහි මිනිසුන්ගේ කෘෂිකාර්මික ජීවන රටාව බැලුවාම ඔවුන්ට මේ අවුරුදු දවස් වලදී තමයි විවේකයක් ලැබෙන්නේ. අවුරුදු නැකැත් වලින් ඔවුන් නව ජීවයක් ලබනවා. බක් මාසේ වෙන කොට කුඹුරු වල ගොයම් පැහිලා රන්වන් කරල් තියෙන්නේ. මේ පරිසරය, මිනිස්සු, මේ ගීතය ලියද්දී මගේ මනස් රූ අතරේ ඹ්වමාන වුණා. එහෙත් මෙවැනි ගීතයකින් පොදුවේ මේ රටේ සියලුම ජනතාව නියෝජනය විය යුතු හෙයින් ‘සත හට සෙත දෙන නැකැත් බලන්නට කදමලු බැඳගෙන නෑගම් යන්නට’ වැනි යෙදුම් යොදා ගෙන මේ ගීතය පද රචනය කළා. මේ ගීතය ලියද්දී මා කුඩා කාලයේ දී පටන් දැක පුරුදු පරිසරය, සිංහල අවුරුද්ද සහ දැන ඉගෙන ගෙන සිටි කාරණා ඇසුරු කරගත්තා.

ජෝති වෙනුවෙන් ලියැවුණු අවුරුදු ගීයක්!
තිස්ස ඩයස්
නව අවුරුදු දා බක් මාසේ
දේශයේ ග්‍රාමයේ
සාමය රැව් පිළිරැව් නැගේ
නව අවුරුදු දා බක් මාසේ...!

(පද - තිස්ස ඩයස්)
(ගායනය - එච්. ආර්. ජෝතිපාල)

“මුලින්ම මා ජෝතිපාලයන්ට ගීත ලියූ “අම්මා” කැසට් පටයට තමයි මේ ගීතය ඇතුළත් වුණේ. එම කැසට් පටයේ නිෂ්පාදක හෙන්රි ප්‍රනාන්දුයි සිංහල අවුරුදු ගීතයක් ලියන්න කියා ආරාධනා කළේ. ‘කිරි ඉතිරේවා නව වසරේ’ ගීතයේම තනුවටයි ‘නව අවුරුදු දා බක් මාසේ’ ගී පද රචනය කෙරුවේ. සරත් වික්‍රම සංගීතයේ දී වෙනසක් කළා. ‘අම්මා’ කැසට් පටය ලංකාවේ අලෙවි කිරීමට පෙර මැද පෙරදිග රටවලයි අලෙවි කළේ. එහිදී ජෝතිපාලයන් සමඟ ඇන්ජලින් ගායනා කළ ‘දෙදෙනා දෙරටක අද අවුරුදු සමරනවා’ ගීතයටත් විශාල ජනප්‍රියත්වයක් හිමි වුණා. මේ ගීත සංකල්පනාවෙන් පැවසෙන්නේ රටවල් දෙකකට වී සිංහල අවුරුදු සමරන සැමියකු සහ බිරියකගේ සංවාදයක්. මගේ මිතුරන්ට මෙන්ම මේ රටේ තව බොහෝ දෙනකුට මේ අත්දැකීමට මුහුණ දීමට සිදු වී තිබුණා. එම අත්දැකීම් ද ඇසුරු කරගෙන තමයි මේ ගීතය රචනා කෙරුවේ.

(උපුටා ගත්තේ - ජෝජ් රොබ්සන් ද සිල්වා)
-------------------------------------------------------------------------------------
කන්ද උඩින් හඳ පායන ලීලා
ලන්ද වෙලේ රුක් අත්තන පිපීලා
මන්ද කොහෝ හඬලනු හැංගීලා
එන්න තමා බක් මහ ළංවීලා

දුන්න බහක් හින්දා මම කැන්දා
යන්න කෙනෙක් ඇත ආදරෙ හන්දා
උන්නෙ මෙතෙක් නැකතක් එන සන්දා
ඉන්න එතෙක් ඉවසන්න ද මන්දා

ගායනය - අමිතා වැදිසිංහ
සංගීතය - සෝමදාස ඇල්විටිගල
ගී පද රචනය - දයානන්ද ගුණවර්ධන
-------------------------------------------------------------------------------------
කොහෝ කොහෝ
කොහේ ඉඳන්
කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන් පදේ
උඹට ඇහෙනවදෝ
කොහෝ කොහෝ

කජු නාඹර රස මී අඹ
ගස් යට වැහි වැහැලා
කොහෝ අන්න අර බලපන්
මී වද පැණි පිරිලා

කොහෝ කොහෝ
බක් මාසේ මඟුල් නැකත් මටත් කියනවදෝ

රබන් හඬට බඹරු නටන
ලස්සන ගම් මැද්දේ
කොහෝ උඹත් ගී කියපන්
සිංහල අවුරුද්දේ

කොහෝ කොහෝ කොහේ ඉඳන්
කොහෝ කියනවදෝ
අවුරුද්දට අපේ ගමේ නෑගම් එනවදෝ

සංගීතය - සනත් නන්දසිරි
ගායනය - සනත් නන්දසිරි, සුජාතා අත්තනායක
ගී පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
-------------------------------------------------------------------------------------
මේ අවුරුදු කාලේ

මේ අවුරුදු කාලේ හිනාවෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
අ අ ආ ආ..
දොං තරිකිට කැත්ත දොදොන්
පිළිවට කර කැත්ත දොදොන්
දමා තැල්ල ඩිඟිසි ඩිගොයි
දමා තැල්ල තක තෙයියත්තා

කැවුම් කොකිස් තෙලේ බැදෙයි
කැවිලි සුවඳ සිතට දැනෙයි
බා.. බා.. බා... රන් කිකිළි
ඊයේ උදේ ගිය කිකිළි
බා.. බා.. බා...
ගතිරිඤ්ඤ රිඤ්ඤං ගති ගතගෝ
ගති ගත ගෝ
ඔන්චිලි චිලි වාරම් ගම දෙවනත් වන්නා
මැංගිරි ඩිනිකෝ අවුරුදු ආවෝ
දොං තරිකිට කැත්ත දොදොන්
පිළිවට කර කැත්ත දොදොන්
දමා තැල්ල ඩිඟිසි ඩිගොයි
දමා තැල්ල තකතෙයියන් තා
ගමේ රබන් දොරට වඩී
සිනා මුහුණු අවට පෙනේ
බා... බා.. බා... රන් කිකිළි
ඊයෙ උදේ ගිය කිකිළි
තාම ආවෙ නැ කිකිළි
බා.. බා.. බා...
ගතිරිඤ්ඤං රිඤ්ඤං
ගති ගතගෝ ගති ගත ගෝ
සිංහල අවුරුද්දේ මල් කැකුලක් සේ දිලිසේ
මැංගිරි ඩිනිකෝ
අවුරුදු ආවෝ

පද රචනය – ජයතිස්ස බොරලුගොඩ
සංගීතය – ලයනල් රන්වල
ගායනය – රන්වල සංගීත කණ්ඩායම
-------------------------------------------------------------------------------------
මල් ගොමු  ගුමු ගුමු ගන්වන්නී
මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරන් කන් පිනවන්නී
මුළු ලෝ උයනක් කරවන්නී

ජම්බු ගහට රත පොරවන්නී
බක් මී ගහ කහ අන්දන්නී
අඹ දළු ළා රත තවරන්නී
ලෝ කත විසිතුරු කැරලන්නී

එරබදු පැහැයෙන් දුලවන්නී
නා ගස් සුවඳින් බැඳලන්නී
විලේ නෙලුම් මල් පොබයන්නී
නෙත ගිය ගිය පණවන්නී

ගමේ මෑ පුහුලම් ඉදවන්නී
සොරුන් බවට වවුලන් ලන්නී
නෙ තැනැ වවුලු පළවල් දෙන්නී
ගම් දරුවන් හට වැඩ දෙන්නී

මල් සර හට ගී සපයන්නී
යොවුනන් සිත් ඉන් බැඳලන්නී
දෙක දෙක එක් කැර ඈඳන්නී
නොමිලේ කපු කම් කරවන්නී

වෙන් වූවන් සිත කලඹන්නී
පරණ තරහ හැම යට ලන්නී
ආයෙත් එකමුතු කරවන්නී
පවුල් අවුල් විසඳාලන්නී

කොල්ලන් කෙල්ලන් බැඳලන්නී
මහලු සිතෙත් කෙළි රිසි ලන්නී
ගෙයි ගෙයි බක් වෙස් ගන්වන්නී
අවුරුදු කිරි බත උයවන්නී

දස දෙස සුවඳින් බැඳලන්නී
ගතට සිතට නව පණ දෙන්නී
කුඹුරට ආසිරි සලසන්නී
රට වටැ සොම්නස ගෙනැ යන්නී

සංගීතය හා ගායනය - ඩබ්ලිව්. ඩී. අමරදේව
ගී පද රචනය - අරිසෙන් අහුබුදු
-------------------------------------------------------------------------------------

ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ලා වරෙල්ලා වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා
කොවුලා බට ලී පිඹිනවා කොට්ටෝරුව බෙර ගහනවා
ලේන ගසයි කයිතාලම අවිච්චියා එහි නටනවා

කැවුම් කොකිස් මුං අළුවා කිරිබත්වල රස බැලුවා
ගමේ ළඳුන් කොමල පපා උදේ රබානක් පැලුවා
හබුන් කටයි සුබ නැකතයි දෙගුරුන් හට බුලත් අතයි
ලැබූ අලුත් අවුරුද්දේ කිරි ඉතිරෙයි අපට සෙතයි

ගායනය - මොහිදීන් බෙග්
ගායනය සහාය - ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා සහ පිරිස
සංගීතය - එම්. කේ. රොක්සාමි
ගී පද රචනය - කරුණාරත්න අබේසේකර
-------------------------------------------------------------------------------------
නව අවුරුදු දා බක් මාසේ
නව අවුරුදු දා බක් මාසේ
දේශයේ ග්‍රාමයේ සාමය රැව් පිළි නැගේ
නව අවුරුදු දා බක් මාසේ
ගමින් ගමට දේශයේ
නව අවුරුදු සාමයේ
රැව් පිළි රැව් හඬදිදී
මල් බුලතින් සැරසෙති
පන්සලේ හඬ නැගි ගාන්ඨාර රැව් දෙති
නව අවුරුදු දා බක්මාසේ
රබාන රත් කර හොඳින්
පියන් නගයි නව රැඟුම්
කොහෝ ඉඳන් ගී ගයයි
රබාන හැඬවෙන හඬින්
අක්කලා මල්ලිලා එක්කලා නැකත ළංවෙලා
නව අවුරුදු දා බක්මාසේ

ගායනය - එච්. ආර්. ජෝතිපාල
-------------------------------------------------------------------------------------
මී අඹ අත්තේ
මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොළොස් මහේ මඟුල් දොහේ
රබාන රත්වෙන නැකත් වෙලාවට
නලාව පිඹපන් කොහෝ කොහෝ

ගිරා නිලෙන් දිලි ගොයම් ලියද්දේ
උඩින් උඩින් වර පෙත්තප්පු
හෝරාවෙන් නොනගතේ ගෙවෙද්දී
නෑගම් එනවද පෙත්තප්පු

ගම් මැද්දේ සරු අවුරුද්දේ
පච්ච වඩම් පළඳා
හිසතෙල් ගානා ආදර නැකතින්
ඉහෙන් බහින උවදුරු දුරු වී

නෙත් දෙක වාගේ අයිය නගාලට
පින් පල දේ අවුරුදු ජය වී
එක මව් කුසයේ ඉපදේවා අප
මතු මතු සංසාරේ

ගායනය - මිල්ටන් මල්ලවආරච්චි, නීලා වික්‍රමසිංහ
සංගීතය - සරත් දසනායක
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
-------------------------------------------------------------------------------------
ප.ලි
ලිපිය උපුටා ගත්තේ සිළුමිණ පත්තරෙන් ....වෙබ් ලින්කුව වැඩ නැති නිසා පොස්ට් එකක් විදිහට දැම්මේ හැමෝටම බලන්න ...

18 comments:

  1. නියමයි මචං!! කාළෙකට පස්සේ නැකතටම ඇවිත්! කාළෙටම ගැළපෙන තාලේ බ්ලොගක් අරන්. ජයවේවා!! 

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇනෝ මචෝ ....ජයවේවා !!!

      Delete
  2. දැං දැං පැමිණිම බොහොම දුර්වලයි ඈ ... රෙජිස්ටරෙන් නම අයින්කරනවා හොදද.... බුකියට වෙලා අලතම්බනවා ඉදගන

    ReplyDelete
    Replies
    1. අනේ සර් අනුකම්පා නොසිතේදෝ ......

      Delete
  3. Replies
    1. අනිවා මෙන්ඩෝ අවුරුදු කාලෙට විතරක් මතක් වෙන බලකායක්නේ ඔය

      Delete
  4. උඹට මතකද අපි පොඩි කාලේ ගියා තව සින්දුවක්
    "සතුට ගෙනල්ලා සැපත පුරාලා
    නව අවුරුදු ඇවිදිල්ලා//

    ඕක දෙමළෙනුත් කියනවා , දැන් ඇහෙන්නෙම නැති ගානයි

    ReplyDelete
    Replies
    1. එක පාරටම මතකයට එන්නේ නැනේ බන් .මේ සින්දුවේ මුල නෙවෙයි නේද ?..

      Delete
  5. අගෙයි අගෙයි. කොහොමත් අවුරුද්ද කිට්ටු වෙනකොට තමයි හැම චැනල් එකකටම ඔය සින්දු ටික පුස් එහෙම සුද්ද කරල මකුළු දැල් කඩල ප්ලේ කරන්න මතක් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අන්නේකයි ප්‍රසා මමත් මේ බ්ලොග් එක සුද්ද කරලා පටන් ගත්තේ .....

      Delete
  6. රංචු ගැසි බංචි කවඩි පොළන හිනාවයි (පොඩි මල්ලී) මේ අතර සුවිශේෂී ගීයක් එය මා දන්නා තරමින් ඩෙස්මන්ඩ් ද සිල්වා වෙනුවෙන් වික්ටර් රත්නායක සංගීවත් කල එකම ගීතයයි

    පන්ඩිත් අමරදේව ගේ
    නීල කොබෙයි රෑණ ඇදී (මහගම සේකර)
    නව වසරේ නව ඉරැගේ නව සදුගේ (‍සේකර)
    දොඩම් කපාලා ඇඹුල් තනාගෙන (ඩොල්ටන් අල්විස්)

    රතට රතේ මල් පිදෙන එරබුදු වැටියේ ප්රියා සුරියසේන
    දේදුණු පාට සමනළයෝ අහසේ රංචු වෙවි - චන්ද්රලේඛා පෙ‍රේරා

    මේවත් ජනප්රිය අවුරැදු ගී

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රභාත් මහත්තයෝ ..තව ගොඩාක් තියනවා .මතක් කරනවා නම් ,මම මේ බ්ලොග් එක පොඩ්ඩක් අවුරුද්දට සුද්ද කරන්න මේ ලැස්ස්තිය

      Delete
  7. අජන්තා රණසිංහ ලියපු සනත් නන්දසිරි එක්ක සුජාතා අත්තනායක ගයන "කොහෝ කොහෝ" ගීතයේ "කජු නාඹර රස මී අඹ" කොටසේ වචනේ අජන්තා රණසිංහ ලියන්න ඇත්තේ "මදය සැදුණු හොඳින් නොමේරූ කජු ඇට" වලට දකුණු පළාත් ජනවහරේ කියන "කජ්ජුනාඹර" කියන වචනය නිසා කියලා හිතනවා. අපිත් දකුණේ වුනත් ලිඛිත මූලාශ්‍රයකින් තහවුරු කර ගන්න නවනැලියේ විජේතුංගගේ "ප්‍රාදේශීය ජනවහර" පොත බලන්න.

    ReplyDelete
  8. The 8 Best Casino in New Jersey - JamBase
    The 여수 출장샵 8 Best Casino in New 고양 출장샵 Jersey is 동두천 출장안마 at 847 N.J. We 여주 출장샵 have a wide range 김천 출장샵 of table games, slots and video poker, and we offer the biggest online

    ReplyDelete