Thursday, April 21, 2016

"දෑතේ එල්ලී මියුරු කතා කී"

නවක ගීපද රචකයන් ගායක ගායිකාවෝ සංගීතවේදීන් ජාතික තලයට ඔසවා තැබීමේ අදිටනින් විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ පුරෝගාමියෙක්‌ ලෙස ස්‌වර්ණ ශ්‍රී බණ්‌ඩාර හා ගුණදාස කපුගේ රජරට ගුවන් විදුලි වංශ කතාවට එක්‌වේ.ස්වර්ණ ශ්‍රී බණ්ඩාර අවුරුදු 46 ක් වැනි කෙටි ජීවිත කාලයට ඔහු පල්ලේගම හේමරතන හිමියන්, මහින්ද චන්ද්‍රසේකර, මහින්ද දිසානායක, සේන නානායක්කාර, බ්‍රැඩ්මන් ජයවීර, කේ.එම්.අයි. ස්වර්ණසිංහ, ඇබෝගම වසන්ත බණ්ඩාර, මහින්ද පතිරගේ, චුල්ල ජයවර්ධන, කරුණාරත්න දිවුල්ගනේ, පොඩිරත්න අංගමලේ ඇතුළු තව බොහෝ දක්ෂයින් රටට හඳුන්වා දුන්නා. ස්වර්ණ ශ්‍රී අපිට හිටපු ප්‍රවීණ කවියෙක්, ගීත රචකයෙක්, නාට්‍යකරුවෙක්, ගුවන් විදුලි සන්නිවේදකයෙක් වගේම ජනශ්‍රැති පර්යේෂකයෙක්.හැත්තෑව දසකයේ මැද භාගයේ පමණ ගීත රචකයෙකු ලෙස ගෞරවය දිනාගත් ස්වර්ණ ශ්‍රී බණ්ඩාර සාමා චිත්‍රපටයට ගීත රචනා කිරීමෙන් ක්ෂේත්‍රයට එක් විය. ප්‍රතිභා සම්පන්න කවියෙකු වූ ස්වර්ණ ශ්‍රී කවියේත් ගීතයේත් වෙනස මැනවින් වටහාගත්තෙකි. ගීතයේ අන්තර්ගතයට උචිත ආකෘතිය තෝරාගැනීම ඔහුගේ ගීතවල දැකිය හැකි විශේෂ ලක්ෂණයකි.
                    ගීත රචකයකු විදියට ස්වර්ණ ශ්‍රී ලියලා තිබෙන්නේ ගීත ස්වල්පයක් විතරයි. ඒ ගීත ඔහු තමාගේ ‘සුදුමුතු කුඩ යට’ නම් වූ ගීත රචනා කෘතියට එකතුකර තිබෙනවා. මෙම ගීත රචනා සංග්‍රහය පළවුණේ 1993දී. වෘත්තියෙන් ගුවන්විදුලි ශිල්පියෙක් ව සිටියත් ස්වර්ණ ශ්‍රී කිසිම දවසක ගායක ගායිකාවන් පසුපස්සේ ගිහින් ගීත ලියූ රචකයෙක් නොමෙයි. ඔහු අමරදේවයන්ට වුණත් ගීතයක් ලිව්වේ අදාළ ගීතය තැපෑලෙන් යවමින්. ඔහුට එතුමන් හමුවුණේ ඊට හුඟ කාලෙකට පස්සේ පවත්වපු අමරදේව උපහාර උළෙලකදී බවත් කියැවෙනවා.
                 ස්වර්ණ ශ්‍රී ගමේ මුල් තිබුණු සම්ප්‍රදායේ තිරසාරව පිහිටා වූ සිටි සැබෑම ජන කලාකරුවෙක්. කවුරුහරි කෙනෙක් ඔහුගෙන් ගම කොහේදැයි ඇහුව්වොත් ‘අපි වන්නියේ එවුන්’ යැයි කියන්නයි පුරුදු වෙලා හිටියේ.අවුරුදු 11 ක පමණ කාලයක් ස්වර්ණ ශ්‍රී රජරට ගුවන් විදුලියේ සේවය කළා. එහිදී ඔහු ඉදිරිපත් කළ ‘පිළේ පැදුර’ ‘සංහිඳ’ ‘සම්භාෂා’ නිර්මාණ’ ‘එක්තැන් සවිය’ ‘රචනා මුළුව‘ වැනි වැඩසටහන් ඉතාම විශිෂ්ට මට්ටමක තිබුණු බවයි විචාරකයන්ගේ අදහස. ‘පිළේ පැදුර’ රජරට සේවයේ ජනප්‍රියම විචිත්‍රාංගය ලෙස වාර්තා වෙනවා.රජරට කැකුළු, නව පදමාලා, මී බිඳු, නිර්මාණී, තෝතැන්න, කැටපත් පවුර, සංහිඳ, සම්භාෂා, කෘෂි රටා , පිලේ පැදුර ඔහු ඉදිරිපත් කළ වැඩසටහන් කිහිපයක්.
ඒ අතර ම පොත්පත් ලිවීමත් කළා...


* සල්මල් - ළමා ගී - (ආචාර්ය දයාරත්න රණතුංග සමග)
* පරපුටුවෝ - අනුවර්තන නාට්‍යය - රාජ්‍ය සම්මාන - 1975
* ගැමි දිවිය සහ වප් මගුල - ශාස්ත්‍රීය
* සංහිතාධ්වනිය - ආයුර්වේදය පිළිබඳ
* අල්මේදලා බෝල ගසති - කෙටිකතා- රාජ්‍ය සම්මාන
* සකිසඳ බලව - පද්‍ය ආඛ්‍යානයක්
* කැදැල්ලේ කුරුල්ලෝ - යොවුන් නවකතා
* සංහිඳ - ජනශ්‍රැති පර්යේෂණ අධ්‍යයනයක්
* සුබ්‍රමනියම් - කෙටිකතා - 1977 රුසියානු සම්මානයක් හිමි විය

ඒත් බොහෝදෙනෙකුට ස්වර්ණ ශ්‍රී බණ්ඩාර අමතක වෙලා. අලුත් පරම්පරාව ඒ කවුද කියලාවත් දන්නෙ නෑ. එතුමා පිළිබඳව ප්‍රවීන කළා කරුවන් දැක්වූ අදහස් කීපයක් ...

*මඩවල එස්.රත්නායක දුටු ස්වර්ණ ශ්‍රී 

හැත්තෑව දසකයේ මැද භාගයේ පමණ ගීත රචකයෙකු ලෙස ගෞරවය දිනාගත් ස්වර්ණ ශ්‍රී බණ්ඩාර සාමා චිත්‍රපටයට ගීත රචනා කිරීමෙන් ක්ෂේත්‍රයට එක් විය. ප්‍රතිභා සම්පන්න කවියෙකු වූ ස්වර්ණ ශ්‍රී කවියේත් ගීතයේත් වෙනස මැනවින් වටහාගත්තෙකි. ගීතයේ අන්තර්ගතයට උචිත ආකෘතිය තෝරාගැනීම ඔහුගේ ගීතවල දැකිය හැකි විශේෂ ලක්ෂණයකි. සම්භාව්‍ය සාහිත්‍යය මෙන් ම නූතන සාහිත්‍යයත් විශේෂයෙන් ගැමි සාහිත්‍යයත් අධ්‍යයනය කළ ඔහු සිය ප්‍රතිභාව වඩා රසවත් කර ශ්‍රාවකයා ආනන්දයට පත් කරවීමට පාලි,සංස්කෘත වැනි පෙරදිග භාෂාවලින් ලද ආභාෂය ද ඉවහල් කරගත් බව පෙනේ. ගුවන්විදුලියේ ළමාපිටියෙන් මෙන් ම යෞවන සමාජයෙන් ද බාලවියේ සිට ම ලත් පුහුණුව ප්‍රතිභාපූර්ණ ගීත රචකයෙකු බිහි කිරීමට ඉවහල් වූ බවට සැක නැත. රජරට ගුවන්විදුලි සේවයෙන් උසස් රසික පිරිසක්, ගායක ගායිකාවන් හා ගීත රචකයින් පිරිසක් බිහිකිරීමේ ගෞරවය ස්වර්ණ ශ්‍රී ට හිමි වෙයි.

*පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි

ස්වර්ණ ශ්‍රී බණ්ඩාර කියන්නේ අපේ පිනට පහළ වූ කෙනෙක්. අපේ ජීවිත කාලයටම ඇති එතුමාගේ කෙටි ඇසුරක් වුණත්. එතුමා මාව ඒ පවුලෙම කෙනෙක් හැටියට තමයි සැලකුවේ. බණ්ඩාර මහත්තයාට කෙනෙක් හඳුනාගන්න පුදුම ඉවක් තිබුණේ. ගීත රචකයො , කවියො , ලේඛකයො, නාට්‍යකරුවො විතරක් නෙවෙයි, චිත්‍ර ශිල්පී,කැමරා ශිල්පීන් වැනි සියලු කලාකරුවන්ට එතුමාගෙන් පුදුමාකාර සේවයක් වුණා. මම අද යම් තැනක ද, ඒ ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් නිසා. ස්වර්ණ ශ්‍රී බණ්ඩාර කියන්නේ ගැඹුරු මනසකින් ජීවිතය දිහා බලපු කෙනෙක්. එතුමා හඳුන්වන්න මාගේ ශබ්ද කෝෂයේ තියෙන කෙටි ම වචන කිහිපය, ඔහු අප්‍රමාණ මිනිසෙක්.

 *ප්‍රවීණ ගීත රචක මහින්ද දිසානායක 

වසර1979 රජරට සේවය ඇරඹුවාට පස්සෙ ස්වර්ණ ශ්‍රී බණ්ඩාර මහත්තයා අපිවසොයාගෙන ආවා.  අපේ දක්ෂතා හඳුනාගත්තා.  එතුමාට ලොකු උවමනාවක්තිබුණා,අපේ දක්ෂතා රටට හඳුන්වාදෙන්න.  අපි ගීත රචකයින් බවට පත් කළේඑතුමා තමයි.  නව පදමාලා කියලා ආධුනික නිර්මාණ ශිල්පීන් සොයන වැඩසටහනක් කළා.  එහි දී තෝරාගන්නා ගීත රටේ ජනප්‍රිය ගායක ගායිකාවන් ලවා ගායනා කෙරෙව්වා. මෙතුමා මාව ගීත රචනයට වගේ ම බාහිර පොතපත කියවන්නත් පෙළඹෙව්වා. නිතරම අපිව මුණගැහිලා ධෛර්යවත් කළා.  එතූමා අපිට සෙවණ දුන් මහා වෘක්ෂයක් වගේ.  අපි අද යම් තැනක ඉන්නවා ද, ඒ ස්වර්ණ ශ්‍රී බණ්ඩාර නිසා..

*ප්‍රවීණ ගීත රචක මහින්ද චන්ද්‍රසේකර

බණ්ඩාර මහත්තයා කොළඹින් මෙහාට ආවට පස්සෙ එයාට ලොකූ උවමනාවක්තිබුණා මෙහෙ අහිංසක ළමයි ඉහළට ගන්න.  එයා නිතරම කිව්ව දෙයක් තමයි,මේ අත්වල කරගැට පිපුණ ළමයි කොහේ හෝ ඉහළ තැනක ඔසවා තබන්න ඕනකියන එක. එයා නිතරම වැඩ කළේ ඒ අරමුණ ඇතිව.  අද ඉන්න පරපුර බණ්ඩාරමහත්තයා නැත්නම් නෑ. අපට නිතරම ගුරුහරුකම් දුන්නා, බැන්නා, අගය කළා.එතුමා අපට නිර්මාණ පාසලේ ප්‍රින්සිපල් වගේ. හරිම ස්වාධීන, අදීන මනුස්සයෙක්.එයාට ලොකු පෞරුෂයක් තිබුණා.එයා නොබිය ව හැම වැඩක්ම එයාගේ අරමුණටගෙන ගියා .

--------------------------------------------------------------------------------
*ස්වර්ණ ශ්‍රී බණ්ඩාර අයියාට (ප්‍රණීත් අබේසුන්දර මහත්තයාගේ සංහිඳ පාමුල පොතෙන්.ගීතය අහන්න නම් හොයා ගන්න බැරි වුනා )

මහා මූකලානේ නරි හූ කියාදෝ
වෑ කන්දේ උලමා ඉකිබිදීදෝ
පිලේ පැදුර හොරු අරගෙන ගියාදෝ
අත්තප්පේ'ඹටත් තනිකම දැනේදෝ

නුඹ ආදරේ කෙරුවේ සිංහල කමට
දෙස බස රැසට උස්මිටිකන් නැති අයට
නුඹ ඇද්දේ නැහැ අන්සතු දේ පැලට
නුඹ නැත්තේ නුඹ ඕනෑ කල අපට

පැල්පත් ගොඩේ මිස මහා මාළිගා පිට
නැහැ නැවතුණේ ගොදුරු ලොබින් රජ සැපට
නුඹ දුටු සිහින අප දකිනා දිනක හෙට
බොහෝ දෑ කරන්නට හැකිවෙයි රටට

ගී පද -ප්‍රණීත් අබේසුන්දර
සංගීතය - සනත් නන්දසිරි
ගායනය - එඩ්වින් නවමුනි ආරච්චි

--------------------------------------------------------------------------------
*දෑතේ එල්ලී මියුරු කතා කී

දෑතේ එල්ලී මියුරු කතා කී
සුරතල් දෝණියනී
කාලයේ රියසක මහලු මගෙන් ඔබ
ඈතට ගෙනියන්නේ

බොළඳ මියුරු බස් සවන් නිමාලූ
කැකුළු සිනා රස සිත සනහාලූ
අතීත සිහිනය බොඳ වී දිය වී
ඈතට පාවෙන්නේ

පරපුර වදන ලෙසින් වෙහෙසෙන ඔබ
ඇස නැළ වූ පිනවූ සිත
මතක වරායෙන් නොපෙනෙන ඈතට
වැලිබත පාවෙන්නේ

පද රචනය : ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
සංගීතය : විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේව
ගායනය : විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේව
-------------------------------------------------------------
*වැහි පොද වැටිලා

වැහි පොද වැටිලා
බිම් මල් පිපිලා
සුදු පාටට මුතු කුඩ ඉහලාලා

සුදු මුතු කුඩ යට
පිණි පාවඩ පිට
කඩියෙක් යනවා රජෙක් වගේ
කඩියෙක් යනවා රජෙක් වගේ...

කඩියට යන්නට පාර තියනකොට
කඩියට ඉන්නට ගෙයක් තියනකොට
කඩියට කන්නට කෑම තියෙන කොට
ඌ නම් මේ ලොව රජෙක් වගේ
ඌ නම් මේ ලොව රජෙක් වගේ....

පද රචනය : ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
ගායනය : නීලා වික්‍රමසිංහ
සංගීතය : නන්දා මාලනී
-----------------------------------------------------------------------
*ආශා දෑසින් දකිනා සිහිනේ

ආශා දෑසින් දකිනා සිහිනේ
මිහිර මැකී යනවා
ඒ සිහිනේ පුතු තනිකම ඉපදී
හද තුළ තෙරපෙනවා ..

ආ මඟ දෑලේ පිපි මල් කර වී
නෑ ඵල හට ගන්නේ
සිතුවිලි මී මැසි පොදි නැත මී බැඳ
උන්මය රිදවන්නේ ..

තණ්හා දෑතින් පැතුමේ වරපට
ගිලිහී බිම වැටිලා
දෛවයෙ ගොනු ඇද ජීවන ගැල ගෙන
ආ මඟ දිග යනවා

ඈත අතීතයෙ සිහින මැදින් යළි
ජීවනයට යනවා ...
ආශා දෑසින් දකිනා සිහිනේ
මිහිර මැකී යනවා
ඒ සිහිනේ පුතු තනිකම ඉපදී
හද තුළ තෙරපෙනවා ..

ගායනය : දේවානන්ද වෛද්‍යසේකර
පද රචනය : ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
තනුව : දේවානන්ද වෛද්‍යසේකර
සංගීතය : ඩබ්ලිව්. ඩී. අමරදේව
--------------------------------------------------------------
*මගෙ හද මඬල මල් යහනකි 

මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී
ඔබේ හද මඬල කටු යහනකි ප්‍රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී
මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී

සිනා සිසී දෝතින් යහන තැනූ ලියේ
මුවාවට ගොසින් ඉකිබිඳ හැඬුව ලියේ
මටම නොවෙයි කාටත් පෙම් බැන්ද ලියේ
මදෙස බල බලා නාඬන් කුමාරියේ

පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇදුනු ලියේ
මල් සුවඳකට බැඳී වරලස ඉනුව ලියේ
පවලම් පොටෙන් ගිලිහුණු තාරකාවියේ
කරපු පවට නාඬන් දේවතාවියේ

පද රචනය : ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
සංගීතය සහ ගායනය : ගුණදාස කපුගේ
-------------------------------------------------------------------.
*ඔබ රූ සිරියෙන් මන්මත් වී මම

ඔබ රූ සිරියෙන් මන්මත් වී මම
නොකෙලෙමි අනුවණ කම්
මුලා වුණේ ඔබ මුලා නොවිමි මම
මනමේ කුමාරියේ

ඔබ රූ සිරියෙන් ඔහු නැණ ගුණයෙන්
මාගේ විජිතය කෙලෙසී යනු දැක
සටන් වැදිමි මම සටන් වැදිමි මම
මනමේ කුමාරියේ

හැඩි දැඩි අප හට හුරු වූ වන ගැබ
අපගේ උරුමය රකිනා රිසියෙන්
සටන් වැදිමි මම සටන් වැදිමි මම
මනමේ කුමාරියේ

ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද රචනය : ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
සංගීතය : ඩබ්ලිව්. ඩී. අමරදේව
---------------------------------------------------------------------
*දොවන තරම් බුරුළු පුරා

දොවන තරම් බුරුළු පුරා කිරි ගෙන දෙඤ්ඤං
කියන දුරක් බර පටවන් කුර ගාටන්නං
පරඬැල් කොළ උලා කකා බඩ පුරවඤ්ඤං
මසට නොදෙන්නට ඔය පිටි පතුල ඉඹින්නම්

පුරු ඇඳගත් නළල වටේ පබළු වැල බැඳන්
කර ගැහිච්ච බෙල්ල වටේ ගෙජ්ජි වැල බැඳන්
නුඹයි මමයි හාද වෙලා ගියපු සුබ ගමන්
හිතට එනවා මසට නොදෙන් පතුල ඉඹින්නම්

මං අඬද්දි බඩගින්නට උඹත් හැඬු හැඬුම්
අපෙ අම්මගෙ කණ වැටිලා උඹට දුන් කිරෙන්
සංසාරෙන් එතෙර වෙලා උන්දැ ගිය ගමන්
උඹත් යමන් පින් සිදුවෙයි මසට නොදෙන් මං

ගී පද - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
ගී තනු - එච්. එම්. ජයවර්ධන
ගායනය - සුනිල් එදිරිසිංහ සමග නිර්මලා රණතුංග
---------------------------------------------------------------------
*උදාර සිංහල යශෝ කිර්තිය 

උදාර සිංහල යශෝ කිර්තිය
අහස උසට රැව්දෙන සංකේතය
පුත ඔබ ඉපදුන සිංහල භූමිය
වසා සැලෙන මේ සිංහ ධජය වේ

මිනිමුතු සැදුනේ කෙත්වතු පැසුණේ
විරුවන් දිනුවේ මේ සෙවණේ
පුත ඔබ ඉපදුන පුත ඔබ මියයන
මිහිකත වැඩුනේ මේ සෙවනේ
මිහිකත වැඩුනේ මේ සෙවනේ

අදීන හෙළ ගති එඩිතර සිහ ගති
පෙරයුරු වූයේ මේ සෙවනේ
පුත ඔබ මියයන පුත ඔබ ඉපදුන
මිහිකත වැඩුනේ මේ සෙවනේ
මිහිකත වැඩුනේ මේ සෙවනේ

ගී පද - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - බන්දුල විජේවීර /එඩ්වඩ් ජයකොඩි
---------------------------------------------------------------------
*සෙල් කුලේ මහා කළා නිකේතනේ

සෙල් කුලේ මහා කළා නිකේතනේ මැවූ
ගල් තලේ පවා උදාන ගීතයක් ලියු
ඒ උදාර පරපුරේ උදාන හඬ ඔබයි පුතේ
ඒ හඬින් උදම් වේවි ගයන්නෙමි යශෝ ගැයුම්

වැසි බිඳෙන් මහා තඩාග පෙළ නිමා කෙරූ
සාර වූ කෙතින් අසාර වූ පොළෝ වැසූ
ඒ උදාර පරපුරේ උදාන හඬ ඔබයි පුතේ
ඒ හඬින් උදම් වේවි ගයන්නෙමි යශෝ ගැයුම්

රණ බිමෙහි පවා මෙතින් රුපුන්ට අභය දී
විමුක්ති භුමියේ සටන් වැදී හිසත් පිදු
ඒ උදාර පරපුරේ උදාන හඬ ඔබයි පුතේ
ඒ හඬින් උදම් වේවි ගයන්නෙමි යශෝ ගැයුම්

ගී පද - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - බන්දුල විජේවීර
---------------------------------------------------------------------
*නුඹ හැරදා උදනැක්කේ

නුඹ හැරදා උදනැක්කේ මා මෙහි ආ දවසේ
උඹ හිටියා ඉඳිකඩ ළඟ පිනි කඳුලැලි වැස්සේ
ගල්ගිරියා කඳු මුදුනේ උළමා හඬ ලෑවා
අප්පච්චිගේ සොහොන් කොතේ කණාමැදිරි උන්නා

මහා නියරේ පැන එද්දී
පය පැටලී වැටුනා
වැටකෙයියා මල් සුවඳේ
හිත ගැස්සී ඇඩුනා

විදුලි පහන් පංකා යට මසිත අවුල් වෙනවා
එන යන ලිපි ගොනු අස්සේ
දුක් ගැනවිලි එනවා
දුම් රොටු දුවිලි මැද්දේ
ඒ මේ අත යනවා
නාඩන් මේ දුක දාලා
දෝණියේ මා එනවා ..

ගී පද - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
සංගීතය /ගායනය - දයාරත්න රණතුංග
---------------------------------------------------------------------
*දෑස නිල්ල මැකී ගොසින්

දෑස නිල්ල මැකී ගොසින්
අන්ද අඳුර මතුවෙන තුරු
ඔබ එන පෙර මඟට වෙලා
එළිපත්තේ මා සිටියා

සුරා මතින් සැලෙන නෙතින්
කිසිත් නොමැති හිස් දෝතින්
පය පැටලෙන බමන ගතින්
පුරුදු පරිදි ඔබ එන විට
හද විණා තත් හැඬුවේ
අනුකම්පිත මඳ ස්වරයෙන්

මට සෙනෙහස නොපා ඔබේ
කම්පිත වී ස්නේහයෙන්
බල මැන ගෙට කර පොවලා
නිරුවත් කය වකුටු කරන්
නිදන ඔබේ කිරි දරුවන්

ගී පද - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
ගායනය - මාලනී බුලත්සිංහල
සංගීතය - ඩබ්ලිව්. ඩී. අමරදේව
---------------------------------------------------------------------
ප.ලි

හැමදාම කියනවා වාගේ තවත් කිසිම ඇගයීමකට ලක් නොවූ කලාකරුවෙක් වූ ස්වර්ණ ශ්‍රී බණ්ඩාර ගැන බොහෝ කාලයක සිට ලියන්නට සිතුවත් තොරතුරු සොයා ගැනීමට තිබුන අපහසුව නිසා පරක්කු  වුනා.
වැරදි අඩුපාඩු පෙන්වා දෙන්න .තව මෙහි සඳහන් නොවුන විස්තර ඇතොත් සඳහන් කරන්න .විස්තර සොයා ගැනීමට උදව් වුන හැමෝටම බොහොමත්ම ස්තුතියි ...

50 comments:

  1. නියමයි සින්දු, ස්තූතී.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කස්සා ...

      Delete
  2. Very good article. Thanks for the post.

    ReplyDelete
  3. මේ මමත් කැමතිම පදරචකයෙක්.ඇත්තෙන්ම කාල්‍යේ වැලි තලාවෙන් මැකි යන මේ සොඳුරු මිනිසුන්ගේ රුව අපට අහිමි කරනෙ මහා සාහිත්‍යක්.ඒ අඩුව දැන් තදින්ම දැනෙන්න පටන් අරන්.

    ReplyDelete
    Replies
    1. //කාලයේ වැලි තලාවෙන් මැකි යන මේ සොඳුරු මිනිසුන්ගේ රුව අපට අහිමි කරනෙ මහා සාහිත්‍යක්.//+++++++++++++++++++++++
      අපි අසරණ වෙලා වාගේ .....මේ මිනිස්සු ඉක්මනින් ගියා මනෝ වටිනා දේවල් අපිට දීලා .ඒ අඩුපාඩුව පුරවන්න දැන් ජිවත් වෙලා ඉන්න දෙතුන් දෙනාට බැරි වෙලා තියනවා ...

      Delete
  4. වැදගත් මිනිසුන් ගැන මෙහෙමවත් සටහනක් තැබීම ගැන ස්තුත්යි සින්දු ඇනෝ. කවදාවත් ඇස ගැටී නොමැති මුත් මෙතුමාගේ යහලුවන් මොහු හඳුන්වන්නේ රත්තරන් මනුස්සයෙක් කියලා.

    අපේ පත්තර මල්ලි මෙතුමා ගැන තව විස්තර දන්නවා ඇති.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අරූ අය්යේ ....මෙහෙම හරි උඹලා නැවත දකින්න ලැබීම සතුටක් .
      පත්තරයා දන්නා විස්තරයක් නැ බන්......හැක්

      Delete
  5. බොහොම පින් ස්වර්ණ ශ්‍රී මහත්තයව මතක් කලාට...
    අන්තර්ජාලය සපිරෙන්නේ මේ වාගේ සටහන් වලින්..

    වැහි පොද වැටිලා ගීය මම දවසක දැම්මා පහල ලින්ක් එක ඇත
    මඩවල මහත්තයා ස්වර්ණ ශ්‍රී ගේ කැමතිම ගීය ඒක
    http://hadageepotha.blogspot.com/2014/05/blog-post.html

    ReplyDelete
    Replies
    1. තිස්ස අය්යේ ස්වර්ණ ශ්‍රී ගැන විස්තර හොයාගන්න ගොඩක් කල ගියා .රජරට සේවයේ "රන්ජිත් " අයියා විස්තර දෙන්නම් කිව්වා .මට එයාව හමු වෙන්න බැරි වුනා .ස්වර්ණ ශ්‍රී ගේ දියණිය contact කරගන්න උත්සහ කළා .ඒකත් බැරි වුනා .බැරිම තැන තමයි මේ ටික දැම්මේ ...තිස්ස අය්යාගේ පොස්ට් එක ඒ කාලෙම කියෙව්වා ...බොහොම ස්තුතියි ..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මම ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන්ගේ දෙවන මුණුපුරා, බොහොම ස්තුතියි මෙම ලිපිය පල කලාට, තවත් තොරතුරු අවශ්‍යනම් හෝ නැවතත් ලිපියක් කරන්න අවශ්‍යනම් මට පවුලේ සියලුදෙනා සම්බන්ද කර දිය හැකි.
      -නවිඳු මායාදුන්නේ-

      Delete
    4. සාදරයෙන් පිලිගන්නවා නවිඳු ..මම මේ විස්තර හොයන්න රජරට සේවයේ "රන්ජිත් රූපසිංහ "මහත්තයාව සම්බන්ද කරගත්තා .නමුත් හමුවෙන්න බැරිවුනා ..දයානන්ද රත්නායක අයියා උත්සහ කල ස්වර්ණ ශ්‍රී මහත්තයාගේ දුවණිය සම්බන්ද කරන්න .ඒකත් බැරි වුනා .ඒ නිසා තමයි මම මේ පොඩි විස්තර ටික පොස්ට් කලේ ..නැවත අපි හොද ලිපියක් පල කරමු ....හමුවීම සතුටක් ....ජයවේවා !!!

      Delete
    5. බොහොම සන්තෝසයි ලිපිය ගැන. වෙලා තියෙන මහන්සියට ස්තුතියි කරලා මදි. කැමති වෙලාවක කතා කරන්න. ජය වේවා!!

      Delete
  6. ජාතියේ අවාසනාවට අහිමි වූ අමිල මැණිකක්. ඔහු ලියූ ගීත ස්වල්පය මහමෙරකට වඩා වටිනවා.

    ReplyDelete
    Replies
    1. ගීත මහා ගොඩක් ලියා නැතත් ලියලා තියන ගීත ටික බොහොම වටිනවා විචා ..මේ සමහර ගීත තියෙන්නේ රජරට සේවයේ විතරයි .තව ගීත නාටක බොහොමයක් කරලා තිබෙනවා ..
      බොහොම ස්තුතියි ඔබට........

      Delete
  7. දවසක උබගේ බ්ලොග් එකේ අපේ ඉයන් ගැනත් ලියවෙයි නේද

    ReplyDelete
    Replies
    1. මම ජිවත් වෙලා හිටියොත් ලියනවා අනිවා ....
      එලද බ්‍රා ...

      Delete
    2. මගේ අවුස්ත් අරගෙන ජිවත් වෙයන්
      ඉයන් ගැන ලියපන් සින්දු ලියන ඒක පැත්තෙන් ඌ අපි අතර ඉන්න වැඩ්ඩෙක්

      Delete
  8. අපූරු ලිපියක්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිර්මානි ....

      Delete
  9. අගෙයි....
    ප්‍රිය කරන ගීතයන් හි පද රචනාවන් පිළිබඳව දක්වන උනන්දුව නිසාම මගේ සිත් ගත් ගීතයක පද රචකයා ලෙසින් ස්වර්ණ ශ්‍රී බණ්ඩාර කියන නම මගේ සිතේ සටහන් වී තිබුණා.. ඔහු රජරට සේවය හා සම්බන්ධ කෙනෙක් බව මිස ඉන් එහාට යමක් දැන සිටියේ නැහැ..
    ඒ නිසා ම.....
    හරි ම අගෙයි මේ දැනුවත් කිරීම.....
    ගැටලුවක්.....
    අපේ හිත් වල රැඳී පවතින්න ගීත ලියූ පද රචකයින් වන මෙවන් සුන්දර මිනිසුන් මෙසේ අඩු වයසින් අප හැර යන්නේ ඇයි....?
    කරුණාරත්න අබේසේකර, මහගම සේකර, බණ්ඩාර කේ. විජේතුංග, කේ.ඩී.කේ. ධර්මවර්ධන, ප්‍රේමකීර්ති ද අල්විස් යන මා දන්නා ලැයිස්තුවට මේ නමත් එකතු වෙනවා දැන්....

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි ඩිනාලි ඔබට ...සුන්දර මිනිසුන් ඉක්මනින් යන එක ගැන නම් මටත් තියෙන්නේ ඔබට තියන ගැටළුවම තමයි ...මතක් වෙන්නේ සුනිල් ශාන්ත මහත්තයාගේ ගීතයක් "සුමිහිරි සුවඳැති මල් ඇයි මෙතරම් හනිකට පරවෙන්නේ"

      https://www.youtube.com/watch?v=Vqsivuj2FDY

      Delete
  10. මේ හැදන එකතුව මේ ගැන අධ්‍යයනය කරන කෙනෙකුට සහයක් වෙනවා අනාගතයේ දී... ඒ විතරක් නෙමෙයි අපිටත් ගීත ගැන අලුත් විදිහකට හිතන්න දකින්න උඹ පාර හදනවා සින්දුවෝ.......... අගෙයි රචනය.....

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුට්ටෝ ....මේ ගැන විස්තර දෙතුන් දෙනෙක් හරි කියවලා දැනුවත් වෙනවානම් ඒක තමයි මගේ සතුට ...
      ජයවේවා !!!!

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ආතරයා අකුලෝලාම පලයන් ....හැක් හැක්

      Delete
    2. නොදෝමකිං අ,පා,නූ,වේ !!!

      Delete
  12. වැරදි අඩු පාඩු ඔපෙන්නල දෙන්න ඉතින් අපි ඔයිට වඩා දැනගෙන ඉන්න එපැයි. කිසිම වැරද්දක් අඩු පාඩුවක් නා . උඹේ බ්ලෝග සංගීථය හදාරන එවුන්ට කියවන්න් කියල අධ්‍යාපන අමාත්‍යංශ මගින් නිර්දේශ කරන්න ඕන

    ReplyDelete
    Replies
    1. අනේ බන් මෙහෙම ලිපියක් පොස්ට් කලාම පන බයේ ඉන්න ඕන ..මොකද අපිත් මේ විස්තර හොයාගන්නේ එක එක තැන් වලින් නිසා දෙපාරක් තුන්පාරක් හරි වැරදි තහවුරු කරගන්න ඕනා ..උඹ දන්නවානේ පොඩි අඩුපාඩුවක් දැක්කොත් කට්ටිය සෙට් වෙන විදිහ .ඒ නිසා තමයි එවැනි අඩු පාඩු පෙන්නලා දෙන්න කියන්නේ ....
      බොහොම ස්තුතියි මචෝ ..ජයවේවා !!

      Delete
  13. සින්දු ටිකටත් වැඩිය අර ප්‍රවීන කලාකරුවන්ගේ කොමෙන්ට් ටික හිතට වැදුනා.. ඔබේ රූ සිරියෙන්.. මගේ හද මඩල ආසම සින්දු උනත් උඹ කියුවා වගේ මමත් මෙතුමා ගැන 'ලොකු හැඟීමකින්' හිටියේ නෑ.. ස්තුතියි ඇස් පෑදුවට..

    ReplyDelete
    Replies
    1. දැනෙන සතුට කියා නිමකරන්න බැරියෝ ...
      ස්තුතියි කමියෝ ..ජයවේවා !!
      (උඹයි ,ඉවානුයි ගෙදර ගිහින් එන ගමන්ද ? එක ආසනයේ වාගේ ඉන්නේ .)

      Delete
  14. උඹ එදා මට කතා කරල ස්වර්ණ ශ්‍රී ගෙ පොතක් හොයාගන්න පුලුවං තැනක් තියේද කියල ඇහුවට පස්සෙ දන්න කියන විදියට ඒ දවස් වල ට්‍රයි කරල බැලුවත් හම්බුන් නැති හිංද මං වැඩේ අත්තැරල දැම්ම . ඒ ගැන නං මට ලැජ්ජ හිතුණ උමේ පෝස්ට් එක දැක්කට පස්සෙ.
    මාත් ආසම මනුස්සයෙක්.. ගොම රිටි නිසා යට ගිය මැණිකක්...
    මෙහෙම හරි තොරතුරක් හොයල දැම්මට උඹට පිං මචං...
    ජයෙන් ජයම වේවා...
    තව තවත් වැඩියෙන් ලියවෙන්න ලැබෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. මයියෝ ඒ පොත ගැන නම් කියලා වැඩක් නැතෝ ..පොත් ප්‍රදර්ශනයෙත් තිබුනේ නැ ..මරදානේ හැම පොත් කඩේකම ගියා .අන්තිමට ගොඩගේ එකේ පරණ පොත් වගයක් සේල් දාලා තිබුනා .මම එතන හිටිය අක්කා කෙනෙකුට මගේ දුක කිව්වාම එයා කිවා එක පොතක් තිබුනා කියලා හොයලා දෙන්නම් කියලා .පහුවදා මට කෝල් කරලා කිවා පොත තියනවා එන්න කියලා ...මචෝ ඒ පොතේ වටිනාකම මට දහස් ගානක් වුනාට 10% ඩිස්කවුන්ට් එකක් එක්ක මට පොත ලැබුනේ රු .58.50 ට .....
      බොහොම ස්තුතියි මයියෝ ...
      ජයවේවා !!!

      Delete
  15. අනාගතයට ආයෝජනයක්

    ReplyDelete
    Replies
    1. එහෙම හිතමු රසික ...බොහොම ස්තුතියි ..
      ජයවේවා !!!

      Delete
  16. ඇත්තටම සිංදුවෝ ඔහු අප්‍රමාණ මිනිහෙක්.රජරට සේවය එකලු කල මහ වෘක්ෂයක් වන් චරිතයක්.

    ReplyDelete
    Replies
    1. හැමෝටම අමතක වුන වටිනා මනුස්සයෙක් හැලප අය්යේ ..ලංකාවේ අපි වෙනස් කියන්නේ එකනේ ...කොහෙවත් නැති කබ්බෝ ෆෝම් කරනවා .වෙවැනි චරිත අමතක කරනවා .

      Delete
  17. ඔබ රූ සිරියෙන් කියන සින්දුව කැමතිම එකක්. ස්තූතියි සින්දුවෝ මතක් කරලා දෙනවට.
    http://nelumyaya.com/?p=5620

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත් අය්යේ ..

      Delete
  18. කාලයක් පිළිගැනීමක් තිබුන රජරට සේවය කියන්නෙ දග ගෙයක් කියල.ඒකට හේතුව තමයි තමන්ට නමන්න බැරි නැමෙන්නේ නැති බොහෝ දෙනෙකුට අවසානයේ හිමිවන නවාතැන තමයි රජරට සේවය.හැබැයි ඒ පාලකයින් ඔවුන්ට දඩුවම් දුන්නට හුදී ජනයාට දුන්නෙ මිලකල නොහැකි දායාද.කපුගේ,දිවුල්ගනේ,රන්බණ්ඩා සෙනෙවිරත්න,වැනි ඉතා වටිනා සුසංයෝග බිහිඋනේ රජරට සේවය හරහා.ස්වර්නශ්‍රී ලත් ඒ වගේ ඔප නොදාපු මැණික්.ඒවායේ නියම වටිනාකම එන්න ඒ මැණික් ඔප දැම්මෙ නැහැ එහෙම නැත්තන් ඔප දාන්න දුන්නෙ නැහැ.ඒ ඔවුන්ගේ නොලැබීම නිසා නෙවෙයි..අපේ අවාසනාවන්ත කම නිසා.ජය..

    ReplyDelete
    Replies
    1. උඹ කියන්න තියන හැමදේම ඇත්ත ඇති සැටියෙන්ම කියලා ඉන්දික ..වෙක තමයි තිත්ත ඇත්ත ..වෙන කියන්න දෙයක් නැ ..
      ජයවේවා !!!

      Delete
  19. කාලයක් පිළිගැනීමක් තිබුන රජරට සේවය කියන්නෙ දග ගෙයක් කියල.ඒකට හේතුව තමයි තමන්ට නමන්න බැරි නැමෙන්නේ නැති බොහෝ දෙනෙකුට අවසානයේ හිමිවන නවාතැන තමයි රජරට සේවය.හැබැයි ඒ පාලකයින් ඔවුන්ට දඩුවම් දුන්නට හුදී ජනයාට දුන්නෙ මිලකල නොහැකි දායාද.කපුගේ,දිවුල්ගනේ,රන්බණ්ඩා සෙනෙවිරත්න,වැනි ඉතා වටිනා සුසංයෝග බිහිඋනේ රජරට සේවය හරහා.ස්වර්නශ්‍රී ලත් ඒ වගේ ඔප නොදාපු මැණික්.ඒවායේ නියම වටිනාකම එන්න ඒ මැණික් ඔප දැම්මෙ නැහැ එහෙම නැත්තන් ඔප දාන්න දුන්නෙ නැහැ.ඒ ඔවුන්ගේ නොලැබීම නිසා නෙවෙයි..අපේ අවාසනාවන්ත කම නිසා.ජය..

    ReplyDelete
    Replies
    1. ඩබල් ආදිපාද කම වෙනස් වෙලාද ?

      Delete
  20. ස්‌වර්ණ ශ්‍රී බන්ඩාරයන් විසින් රජරට සේවය කොළඹ ස්‌වදේශිය සේවය ඉක්‌මවා ඒ ප්‍රදේශයේ ජනප්‍රිය කරවුවා

    අප ජීවත්වූ මහනුවර ප්‍රදේශය ඇතුඵ මධ්‍යම පළාතට ද රජරට සේවය ඉතා හොඳින් 1981-88 කාලයේ ශ්‍රවණය වූවා

    වෙළඳ සේවය පවා අතහැර අප ඒ දිනවල රජරට සේවයට සවන්යොමුකලේ ඔශුගේ වැඩසටහන් නිසයි

    පිලේ පැදුර හා නම අමතක වෙනත් වැඩසටහන් ඒ අතර වූවා

    දිවුල්ගනේ මහින්ද දිසානයක වැනනන් ප්‍රාදේශියව ඉස්‌මතු වී ජාතික තලය දක්‌වා ජනප්‍රිය වන්නට මේ කලාකරුවාගේ දායකත්වය ද හේතුවුවා

    ඔහු සේකර මානවසිංහ වැන්නන් තරමි නොවූවත් ඒ ගණයේ විශිෂ්ඨයෙක්‌ බව කිව යුතුය

    වැහි පොද වැටිලා ගීය ඔහු ගේ මතක සුවඳ කුඵගන්වනු ලබනවා

    ඔබ වැන්නන් මෙසේ මේ කලාකරුවන් පිළිබඳව තබන සටහන් ඉතා වැදගත් මක්‌නිසාද යත් වර්තමානිකයන් පැරණි ශිල්පීන්ගේ වතගොත ඇවැසි විටකදී පුස්‌තකාල පරිහරණය කරන්නට තරම් ඉවසිලිවන්ත නොවි ඒ කාරණය අන්තර්ජාලය මගින් ඉටු කරගන්නට තැත් කරන නිසයි එවිට ඔවුන් ඔබේ මේ සටහන් මුලාශ්‍ර ලෙස පරිහරණය කරාවි

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තුවෙන් හිටියම කොමෙන්ටුවක් රාජසුරිය මහත්තයෝ ...
      බොහොම ස්තුතියි ...
      ජයවේවා !!!

      Delete
  21. බොහොම වටිනා විස්තරයක් සින්දු වෝ.
    ඒ වගේම මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයාට කෙරෙන උපහාරයක්.

    ඇත්තම කිව්වොත් මෙතුමා ගැන මගේ දැනීම බොහොම අඩුයි, එත් එතුමා ලියාපු සින්දු කීපයක් ම අහලා තියෙනවා වගේ තමයි මතක.
    මොනා වුනත් රටේ පිනට පහලවෙච්ච නිර්මාණකරුවෙක් .

    ReplyDelete
    Replies
    1. මෙවැනි නිර්මාණ කරුවන් ගැන විස්තර කවුරුත් ලියන්නේ නැ ..මේක අම්මට සිරි ලංකාව නිසා .කොහෙවත් යන කබ්බෝ ගැන නම් පොත් ගනන් ලියලා තියනවා ..
      බොහොම ස්තුතියි මචෝ ..

      Delete
  22. බොහොම ස්තූතියි මාගේ කිරිඅත්තා ගැන මෙවන් ලිපියක් පල කරාට.. ඔබට නැවත තොරතුරු අවශ්‍ය වූ විටක පවුලේ සියලු දෙනා සම්බන්ධ කර දිය හැකියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුත්යි ඔබට .........

      Delete