ලංකාවෙන් පහලවූ හොදම බටනලා වාදකයා
* ජීවිතය ගැන කතා කරන්න කලින් මට කියන්න දෙනෙත් නොපෙනෙන ඔබ කොහොමද ස්වර ප්‍රස්ථාරයක් නොදැක අලුත් ගීතයකට බටනලාව වාදනය කරන්නෙ?
කොළයක් බලාගෙන මියුසික් කරන එකට වඩා මගේ විදිය වෙනස්. මම කරන්නෙ මට අදාළ “මියුසික් පාට්” එක. තවත් කෙනෙකුට කියල එකපාරක් අහන්න සලස්වගන්නවා. ඒක ඉක්මනින්ම මගේ හිතට වැටෙනවා. කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. අනෙක් අය වාදනය කරනකොට මම මගේ කොටස මතකයෙන් වාදනය කරනවා. හැබැයි එතැනින් එළියට එනකොට මම ඒ මතකය හිතින් අයින් කරල දානවා. ආයෙත් ඕන වුණ දවසට ඒක එක පාරක් ඇහුවාම මට ඇති. නැවතත් මට ප්‍රශ්නයක් නැතිව වාදනය කරන්න පුළුවන්.
* ඔබ උත්පත්තියෙන්ම අන්ධද?
නෑ. මම ජාති අන්ධයෙක් නෙමෙයි. මම ලෝකය දැකල තියෙනවා. ඒත් ඒ කාලය මේ ජීවිතයෙන් දශමයක් තරම්.
* දෙනෙතින් ලෝකය දුටු ඒ සීමිත කාලය තුළ අද ඉතිරිව ඇති මතකයන් මොනවාද?
පාසල් යනකොට දැක්ක පරිසරය, ගස්වැල්වල ලස්සන. දියකඩිතිවල නාන්න ගිය හැටි, යාළුවන් එක්ක සෙල්ලම් කළ හැටි, පාසලට ගිය පාර දෙපැත්තේ හිටිය හරකාබාන අදටත් මගේ මතකයේ තියෙනවා. ඒ කාලය කෙටි වුණත් ඒවා ජීවිතයේ සුන්දර මතකයන් මට.
* ඔබ අන්ධ වුණේ කොහොමද?
එතකොට මට වයස අවුරුදු 04 යි. පාසල් ගමන පටන් ගත්තා විතරයි. ඒ කාලේ ප්‍රතිශක්තිකරණ එන්නත දෙන්නෙ ඉස්කෝලෙදි. ඉස්කෝලෙදි එහෙම ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාගන්න මම නිවාඩුවට ගෙදර ආවම ලෙඩ වෙනවා. මුළු ඇඟේම ගෙඩි දාලා ඇඳෙන් නැගිටින්න බැරි තරමට ලෙඩ වෙනවා. දෙමාපියෝ මාව මහ ඉස්පිරිතාලෙට අරන් යනවා. එතනදි මට ඉන්ජක්ෂන් 24 ක් ගහනවා. මේ ඉන්ජක්ෂන් විසිහතරින් 12 ක් ගහනකොට ඇහේ මස්දළු ආවා. හැබැයි තුවාල සනීප වුණා. ඒ තුවාල සනීපවෙලා මම ඉස්පිරිතාලෙන් එළියට එන්නෙ එක ඇහැක් හොඳටම අන්ධ කරගෙන.
* එක ඇහැක් පෙනුනනම් ඔබ පූර්ණ අන්ධ භාවයට පත් වෙන්නෙ?
දෙමාපියො මාව සනීප කරන්න පුළුවන් කියල හිතල ගම්පළ පැත්තෙ වෙද මහත්තයෙක් ළඟට අරන් ගියා. එයාගෙ නම ඉලවතුරේ නොතාරිස් රාළහාමි. මට මතකයි අපි වෙද මහත්තයා ළඟට යනකොට එයා වයලින් එකක් වාදනය කරමින් ඉන්නවා. එයා රෝගීන්ට බෙහෙත් කරන්න කලින් හැමදාමත් උදෙන්ම වයලින් එක ගහන එක පුරුද්දක්. අපි මාස එකහමාරක් වෙද මහත්තයාගෙ ගෙවල් ළඟ මුස්ලිම් ගෙදරක නැවතිල බෙහෙත් ගත්තා. නන්නාඳුනන වුණාට ඒ මුස්ලිම් ගෙදර අය මට සිදුවුණ දේ අහල අපිව නතර කරගත්තෙ නිකන්.කොහොම වුණත් එතන මාසයක් ඉන්නකොට මගෙ අනිත් ඇහැත් පේන්නෙ නැතිව ගියා. එතැනින් මම ගෙදර ආවෙ පූර්ණ අන්ධ පුද්ගලයෙක් වෙලා.
* වෙද මහත්තයා වයලින් ගහනවා ඇහිලද සංගීතයට යොමු වන්නෙ?
නෑ. එදා මම හිටිය අසනීප තත්ත්වයත් එක්ක ඒක වින්දනාත්මක දෙයක් වුණේ නෑ. මට තිබුණ අමාරුවත් එක්ක මම වෙදා දැක්කෙත් කරදරකාරයෙක් විදියට.
* ලෝකය නොපෙනීම නිසා ඔබට තනිකමක් දැනුණෙ නැද්ද?
අම්මා තාත්තා ජීවත්ව සිටිනතාක් මට තනිකම දැනුණෙ නෑ. ඒත් දෙමාපියො නැතිවුණාට පස්සෙ තනිකම කියන එක ගොඩාක් දැනෙන්න ගත්තා. අම්මා තාත්තා ඉන්නකොට මට තිබුණේ එයාලා එළවගෙන යන ජීවිතේ කියන මේ වාහනේ ඉඳගෙන ඉන්න එක විතරයි. ඒත් එයාලා නැතිව මේ වාහනේ තනිව එළවන්න වුණාම තමයි ඒක කොච්චර අමාරුද කියල තේරෙන්නෙ. තනිකම කියන එක මට දැනුණෙ ඒ අමාරුකමත් එක්ක.
* අන්ධවීම ජීවිතය ගොඩනඟා ගන්න බාධාවක් කියල දැනුණද?
පැහැදිලිවම. විශාල කරදර ගොඩකට මුහුණදීලා බජාර් භාෂාවෙන්ම කියනව නම් ලොකු ගේමක් දීලා මේ තත්ත්වයට ආව කෙනෙක් මම.
* ඒ බාධකවලට මුහුණදීලා ජීවිතය ගොඩනඟා ගන්න අදහස් කරන්නෙ කොයි කාලෙදිද?
දෙමාපියො නැතිවීමත් එක්ක පවුලෙ ආර්ථිකය දුර්වල වෙනවා. ඒ එක්කම සහෝදර සහෝදරියන්ට මාව බලා ගන්න එකත් ප්‍රශ්නයක් වේගෙන එනව කියල මට තේරෙනවා. ඒ වෙනකොට අන්ධයෙක් නම් යාචක කම තමයි උරුම කියන තැන සමාජයෙ තිබුණෙ. මමත් නිකම්ම හිටියොත් මටත් උරුම එතැන කියන එක මට තේරුණා. ඒ නිසා මම ජීවිතයට මුහුණ දෙන්න හිතට ගත්තා.
* මියුසික්වලට හිත යොමු වුණේ කොහොමද?
දවසක් මම ලොකු අම්මලාගෙ ගෙදර ගිහින් ඉන්නකොට ලොකු අම්මගෙ පුතා මවුත්ඕගන් එකක් වාදනය කරනවා මට ඇහුණා. මටත් ඒක ගහන්න ආස හිතිලා මම ඒක ටිකකට ඉල්ලුවා. ඒත් කටේ කෙළ ගෑවෙයි කියලද කොහෙද මට ඒක දුන්නෙ නෑ. පස්සෙ අම්මා මට මවුත් ඕගන් එකක් අරන් දුන්නා. මේ කාලේ දුලාරි චිත්‍රපටයේ “සොහානිරාත්” ගීතය බොහොම ජනප්‍රියයි. රෙඩිෆියුෂන් එකෙන් ඔය ගීතය ඇහෙනකොට සංගීතයට තිබුණ ඇල්ම තව වැඩිවුණා.
* බටනලාවට කලින් මවුත්ඕගන් එකද පුරුදු වුණේ…?
නැහැ. මම මුලින්ම පුරුදු වුණේ ජපන් මැන්ඩලින් එක ගහන්න. ඒක මම ඉගෙන ගත්තෙ අපේ අයියට සංගීතය උගන්වන්න ආව ඡේ. එම් අමරනාත් ගුරුතුමාගෙන්. ඊට පස්සෙ තබ්ලාව ඉගෙන ගත්තා. ඊටත් පස්සෙ තමයි බටනලාව ඉගෙන ගත්තෙ.
* ගුරුතුමා ඔබට උගන්වන්න විශේෂ ක්‍රමවේදයක් භාවිත කළාද? ඔබ ඉගෙන ගන්න කොයිතරම් කැපවීම් කළාද?
මට පොත් බලන්න බැරි නිසා කටපාඩම් කරවන එක තමයි කළේ. අදත් ඒ අධ්‍යාපනය තමයි මා පසුපස එන්නෙ. සමහර දවස්වලට උදේ නවය විතර ඉඳලා රෑ දහය විතර වෙනකන් ඉගෙන ගන්නවා.
* ඔබට ගුවන් විදුලියට එන්න අවස්ථාව නොලැබුණා නම් මේ ජීවිත කතාව වෙනස් වෙන්න තිබුණා නේද?
සමහරවිට. කොහොමත් ගුවන් විදුලියට ඇවිත් සෝලෝ එකක් ගහන්න මට ලොකු ආශාවක් තිබුණා. ඒ අවස්ථාව උදාවුණේ ගමේ යාළුවෙක් මාව සිරිල් පෙරේරාගේ එම්. ජී. ඩී. කලායතනයට එක්ක ගිය නිසා. ඔහු මම ගැහුව සොලෝ එකක් අහලා මෙහෙම කිව්වා. ඔයා ගුවන්විදුලියට එක්ක යනව නම් ඒක කරන්න පුළුවන් එකම එක්කෙනයි මම දන්නෙ. ඒ එදිරිවීර සරච්චන්ද්‍ර කියලා ඔහු මාගේ හැකියාව සරච්චන්ද්‍ර මහත්තයට පෙන්නුවා. ඒ වෙනකොට ගුවන්විදුලියේ හිටිය අධ්යක්ෂ නෙවිල් පෙරේරා. සරච්චන්ද්‍ර මහත්තයාගෙ යාළුවෙක්. එයාට කියල සරච්චන්ද්‍ර මහත්තයා මාව ගුවන් විදුලියට එක්ක ගියා. මේ ගමන එන්න ඒක ලොකු පාලමක් වුණා.
* බදුල්ල වගේ ඈත පළාතක ඉඳන් ඒ කාලෙ හැටියට කොළඹ සමාජයත් එක්ක ගනුදෙනු කරද්දි බාධක ආවෙ නැද්ද?
ලොකුම බාධාව තිබ්බෙ මම ඒ වගෙ ඈත පළාතක හිටපු එක. ඇන්ටන් අල්විස් මහත්තයා දවසක් මට අවස්ථාව ලබා දුන්නා ප්‍රේමදාස ජනාධිපතිතුමා හිටිය වේදිකාවක සොලෝ එකක් ගහන්න.ඒ කාලෙ එතකොට එතුමා නාගරික මන්ත්‍රීවරයෙක්. මගේ මතකයේ හැටියට. එදා ප්‍රේමදාස මහත්තයා ජනතාව ඉදිරියේ පොරොන්දු වුණා මේ කැලෑ මල කොළඹට ගේනවා කියලා. කිව්වත් වගේ එතුමා බලයට ආවාම මාව කොළඹට ගෙනත් මාළිගාවත්තෙ ෆ්ලැට්වල නිවසක් දුන්නා. අවුරුදු තිහක් මම ඒ නිවසෙ ඉඳන් තමයි මේ ගමන ආවෙ.
* ජීවිතයේ දී වඩාත් සතුටු වූ දවස මතකද?
අවස්ථා දෙකක් තියනවා. එකක් තමයි 1969 දී ලංකාවෙ හිටිය දක්ෂතම බටනලා වාදකයන් සහභාගි වූ දක්ෂතමයා තෝරා ගැනීමේ තරගයක් තිබුණා. ඒකෙන් විශිෂ්ටතමයා වුණේ මම.එදා වගේම 2012 අවුරුද්දෙ ඉන්දියාවෙ ස්ටේඡ් එකකදි සෝලෝ එකක් ගහන්න මගේ තිබුණ ආශාව ඉටුවූ දවසත්. ජීවිතේ වඩාත් සතුටු වූ දවසක්. එදා ඉන්දියාවෙ හිටිය සංගීතය පිළිබඳ පණ්ඩිත්ලා, ඔක්ස්තාර්ලා මගෙ අත්දෙක අල්ලගෙන මාව අගය කළා. සමහර අය මට ඇවිත් වැන්දා. ක්‍රිෂ්ණා දෙවිඳුන්ගෙ උපන්දිනය වෙනුවෙන් පැවති උත්සවයකදී තමයි මේ අවස්ථාව මට ලැබුණේ.
* වඩා වේදනාකාරී මතකයනුත් තියනවද?
මට ආශාවක් තිබුණා රවි ශංකර් ඉස්සරහ මගේ දක්ෂකම, පෙන්නල එයාගෙන් වචනයක් අහගන්න. කුවීන්ස් හෝටලයේදී මට ඒ අවස්ථාව ලැබුණා. එතැනදි රවී ශංකර් මාව අගය කරල,මාව මැදි කරල ඔක්ස්තාර් අල්ලාර් අක්තයි, රවී ශංකරුයි දෙපැත්තෙ ඉඳන් ෆොටෝ එකක් ගත්තා. ඩන්ස්ටන්ද සිල්වා තමයි ඒ ඡායරූපය ගත්තෙ. රවි ශංකර් එතනදි කිව්වා මාව ඉන්දියාවට එවන්න එයා උදව් කරන්නම් කියල. මේ වෙනකොටත් ඒක සූදානම් කරල තියෙන්නෙ කියල ඒ අවස්ථාවෙ ඩන්ස්ටන් ද අල්විස් කිව්වා. ඒත් ඒ දිනේ කවදාවත් මගෙ ජීවිතේට ආවෙ නෑ. අර ඡායාරූපය මට ලැබුණෙත් නෑ. අනික මම කලින් කිව්ව බටනලා වාදකයන් සහභාගි වූ තරගයේ දී මම විශිෂ්ටතමයා වුණාම ඉන්දියා තානාපති කාර්යාලයෙන් ඉන්දියාවෙ යන්න මට ශිෂ්‍යත්වයක් ලෑස්ති කළා. මට ලැබුණ ඒ අවස්ථාව ගත්තෙ වෙන කෙනෙක්.
* ඒ පුද්ගලයා ප්‍රසිද්ධ කෙනෙක්ද?
ඔව්. ඔහු කව්ද කියල මම දැන්ම කියන්නෙ නෑ. දැන් එයා ජීවතුන් අතර නෑ. මගේ ජීවිතය ගැන මේ දවස්වල පොතක් ලියවෙනවා. එයා කව්ද කියලත්, මට ගුවන්විදුලියේ දී ආව බාධක,මාව කපන්න උත්සාහ කළ අය කව්ද කියලත් ඒ පොතෙන් කියනවා.
* ආදරය වගේ හැඟීම් ඔබ කාලයක් යන තුරු දරන් හිටියෙ කොහොමද?
මනුෂ්‍යයෙකුට දැනෙන හැඟීම් මටත් තිබුණා. ඇත්ත. ඒත් මම කවදාවත් හිතුවෙ නෑ මට කසාද බඳින්න පුළුවන් වෙයි කියල. ඒ නිසා මම ඒ හැඟීම යටපත් කරගෙන හිටියා. ඒත් මම ගැන පත්තරේ පළවුණ ලිපියක් දැකල මගේ බිරිඳ වන කුසුමා මට ලිපියක් එවා තිබුණා. මට උදව් කරගෙන මා ළඟින් මේ ජීවිතයේ ඉන්න කැමැතියි කියල.
* ඇයගෙ ගෙදරින් විරෝධයක් ආවෙ නැද්ද?
විරෝධයක් ආවා. ඒ නිසා තමයි අපි හිතුවක්කාර තීරණයක් ගත්තෙ. ඊට පස්සෙ අපි අපේ ජීවිතය සැලසුම් කළා. එයා කළේ විශාල පරිත්‍යාගයක්. එයාට මේ ජීවිතයේ වෙන පින්
කරන්න ඕන නෑ. මට සලකගෙන හිටිය එකම ඇති.
* සංගීතයට අමතරව ඔබ ලෝකය පිළිබඳ දැනීම ලබාගන්නෙ කොහොමද?
දැනීම ගන්න මම පාවිච්චි කරන්නෙ ගුවන් විදුලිය. මොකුත්ම දන්නෙ නැතිව මියුසික් විතරක් දැනන් හිටියට වැඩක් නෑ කියල මම දන්නවා. ඒ නිසා පොත් ගෙන්න ගෙන හිතවතුන්ට කියන්න කියල මම අහන් ඉන්නවා.
* විධිමත් අධ්‍යාපනයක් නොලැබුණ එකට කනගාටුවක් තියනවද?
විධිමත් අධ්‍යාපනය කියන්නෙ පාසලකින් ලබාගන්න දැනීමටනෙ. මට ඒ අවස්ථාව නැතිවුණත් ලෝකය ගැන මම ඉගෙන ගෙන තියනවා. මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස 2012 වසර වෙනකන් වැඩකළේ පාසලකින් ලබාගත්ත දැනීමෙන් නෙමෙයි.
* ආගම ඔබේ ජීවිතයට බලපාන්නෙ කොහොමද?
ධර්මය ඉගෙන ගත්ත නිසා තමයි මම මේ ජීවිතයෙ තියෙන යථාර්ථය ඉගෙන ගත්තෙ. ජීවිතේ කඩාවැටෙන්නෙ නැතිව මේ ගමන එන්න ආගමික නැඹුරුව ඉවහල් වුණා.
* ඔබ අද ජීවිතේ තෘප්තිමත් නම් ඒ ඇයි?
මම කාටවත් ණය නෑ. මම කාටවත් බරක් නොවී ජීවත්වෙලා තියනවා. ඒකයි හේතුව.
(දිවයින පුවත්පතෙන් උපුටා ගැනීමකි)
--------------------------------------------------------------------------------------------------
හේමපාල පෙරේරා සංගීත නිර්මාණය කල නිර්මාණ කීපයක් ...
නොනිත් පැතුම් ..........
නොනිත් පැතුම් නිම්හිම් සොයනා
මන්දාරම සේ අහස් තලේ
මායා අඳුරින් දසත වසා පැතිරේ
ඉර හඳ මොහොතක් සුසුම් නඟයි
මායා පටලය සිඳෙන තුරා
අන්ධ අඳුර මැද කාලය පියඹයි
ඉර හඳ අඳුරේ සුසුම් නඟයි
මන්මත් සිතිවිලි විදුලිය රේඛා
මේඝ ඝර්ජනා නඟා දිවෙයි.
නිමේෂයක ඒ අඳුර සුසුම් ලයි
ඉර හඳ යලි ලොව අරා නැඟෙයි
සිතැඟි කළඹවා හද රැඳි ආශා
නිසරු සිහින බිඳ දෙනෙත් අරියි
ගී පද - රෝහණ වෙත්තසිංහ
ගී තනු - වී.හේමපාල පෙරේරා
ගායනය - සුනිල් එදිරිසිංහ
1982 "අධිෂ්ඨාන" චිත්‍රපටයෙන්
මං කවිකාරිලු .....
මං කවිකාරිලු මං කවිකාරිලු
ගජමන් නෝනට වැඩි කවිකාරිලු
ආල වඩන කවි සිංදු ගොතන්නට
ඉස්සර ඉඳලම මං කවිකාරිලු
දහසක් රස විඳි කවි පද ගැයු මුත්
ඒ එක කවියක් හිතේ රැඳී නැත
මගෙ සංසාරේ දුක් සනසාලන
සෙනෙහස ගැන එක කවක් කියා නැත
පිං නැති දෝ ඒ කවිය කියන්නට
මේ කවිකාරිට මේ කවිකාරිට
මව් පදවිය ලද අම්මාවරුනේ
කොතෙකුත් දරුවන් මං නළවා ඇති
මගේම දරුවෙක් නළවා ගන්නට
එක කවියක්වත් මං කියලා නැති
පිං නැති දෝ ඒ කවිය කියන්නට
මේ කවිකාරිට මේ කවිකාරිට
ගේය පද: නිමල් රත්නසිරි රූපසිංහ
සංගීතය : වී. හේමපාල පෙරේරා
ගැයුම: නිරංජලා සරෝජිනී
දුනුකෙයියා මලක් වගේ..........
දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
වැටකෙයියා මලක් වගේ සුවද දැනෙනවා
පසළොස්වක සද වාගේ එළිය ගෙනෙනවා
මගේ අම්මා මට ජීවන සුවය සදනවා............
සංසාරෙන් සංසාරෙට එකට ආ බැදී
කෙනෙක් නොමැත දරුවෙකු හට
මවක සේ ලැදී.........
අම්මා යන සමාධියට ඉදිමි සමවැදී
ඔබෙ ගුණ කීමට හෝඩියේ
අකුරු මට මදී..............//
සිවු බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ
ඔබ දුටුවම මගෙ දුක්ගිනි නිමෙනවා අම්මේ
සක්විති රජවරුනගේ දණ ඔබ ලග නැම්මේ
සිරිමා බෝ මුල මතු දින
බුදුවෙනු අම්මේ.............//
ගායනය : සුජාතා අත්තනායක
පද රචනය : හේමසිරි ද අල්විස්
සංගීතය - වී .හේමපාල පෙරේරා
සිතුම් කැරලි කැන්........
සිතුම් කැරලි කැන් පබා කැළුම් මැද
උදේ හවා හමුවී
උතුම් සබඳ ගති විදහා මගේ සිත
සනසාලනු මැනවී...
ලොවෙහි අනිත් සුන්දරත්වයන් මැද
පසන් දසුන ඔබ වෙයි
ඉරත් ඔබයි මගෙ සඳත් ඔබයි සුදු
සැපත් දුකත් ඔබමයි...
මගේ කියන්නට ඔබත් නොවී නම්
අද මා දිළින්දෙකී
එසේ නොවන්නට කිසිත් නොදත් මා
තවමත් බිළින්දෙකී...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වී. හේමපාල පෙරේරා
ගායනය : පර්සි විජේදාස
ගලා යන විට අනෝමා ගඟ.......
ගලා යන විට අනෝමා ගඟ
අසෙකු හා අසරුවෙකු දැක දැක
කසාවත් හැඳ තපෝ වනයට
ඔබ ගියායැයි අසා ඇති මට
හිමියනේ අද ඔබේ බුදු රුව
පැතුම් සහසක් හිතේ උපදයි
බවුන් වඩනට තරම් තැන්පත්
සිතක් මට නැත මටත් අවනත
පියවි රුව දැක පියවි බුදු බණ
අසා ගන්නට සිතක් මට ඇත
ගලායන විට අනෝමා ගඟ.......
වනන්තරයක නිසලතාවය
වේළුවනයේ නිහැඬිභාවය
අනේපිඩු ලෙස ඉපදුනාමය
මගේ සිතටත් පසක්වන්නේ
ඒ නියායෙන් හිමියනේ
මෙතේ බුදු බුදුවන දිනේ
අනේපිඩු සිටු විලස ඉන්නෙමි
පැහැදි බුදු බණ අසාගන්නට
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වී. හේමපාල පෙරේරා
ගායනය : පර්සි විජේදාස
සිත කලඹන විට පිළිසරණින් තොර...........
සිත කලඹන විට පිළිසරණින් තොර
ලොවෙහි දසත සිය දහස් දෙනා
සිව් සිය ගව් දුර තනිවී සිටියද
මට ඔබෙ පිළිරුව මතක් වුණා
සිත කලඹන විට පිළිසරණින් තොර...
දෙබැම සදමිදෝ නෙත් තරු නැති දා
නළලත දේදුනු වලින් නවා
නාදලු වැනි තොල්පෙති ද පලක් නැත
හසරැලි නොනඟන රැය ද දිවා...
සිතට රිදුම්දෙයි දෙපයට පෑගෙන
මහ පොළොවේ වැලි කැටෙන් පවා
මට ම නොතේරෙයි මල්සර කුමටද
විද්දේ මල් හී මලින් මවා...
සිත කලඹන විට පිළිසරණින් තොර...
දෙඅත පුරා පැළඳූවට කුමට ද
මට හිමිකම් නැති මැණික් මුතූ
ගෙලට දමන්නට අවසර නැති දා
මාල තනන්නද මලින් විසූ...
සිත ද සිතන්නේ වියරු වැටුණ සේ
එක දෙයමය සිය වරක් සිතූ
සිත සනසන්නට පවසනු සොඳුරියෙ
ඔබ මට හමුවන දිනක් මතූ...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වී. හේමපාල පෙරේරා
ගායනය : පර්සි විජේදාස
සරා සඳ වැනි වුවන හසුරණ..........
සරා සඳ වැනි වුවන හසුරණ
දෙනෙත් ලිය ගොමුවේ
උදා බැල්මට දසත දිවයන
මසිත එක් තැන් වේ
විවේකය සුව මවා හිනැහෙන
ඔබේ රුව හමුවේ
මටත් දවසක් නැතැයි යන බස
ඉබේටම බොරුවේ...
උදා හිරු හා සැඳෑ හිරු මෙන්
දැකුම්කළු සීලෙන්
සිනා මවමින් ගලා බැස එන
ගමන පිය ලීලෙන්
දෙපා මැන යන ඉදිරි මඟ හිඳ
බලන මුදු තාලෙන්
මමත් ජීවත් වන්න වෑයම්
කරමි ඔබෙ නාමෙන්...
සඳක් මොකටද ඉරක් නැතිවද
අඳුර ඉවසන්නම්
හිතක් හිතකට පුදන සෙනෙහස
මමත් ගෙන එන්නම්
පුරුද්දක් ලෙස සසර වසනා
තුරුම ළඟ ඉන්නම්
මගෙත් තනියට කෙනෙක් ඇති බව
සිතෙයි මට දැන් නම්...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වී. හේමපාල පෙරේරා
ගායනය : පර්සි විජේදාස
සඳ කාන්ති දෙන රාත්‍රියේ.........
සඳ කාන්ති දෙන රාත්‍රියේ
මේ රංග මණ්ඩපයේ
නාට්‍යාංගනාවී
දන මන උන්මාදවී
දිගු නීල නයන හෙළා
මිණි මෙවුල නිතඹ සලා
මිණි සළඹ පාද තබා රඟන්නී
දන මන උන්මාදවී
මදහසිනි මුව සරසා
මත් කොවුල් හඞ පරදා
සත්සරින රස අමුණා ගයන්නී
දන මන උන්මාදවී
ගී පද - සුනිල් ජේ. සේමසිංහ
ගී තනු - වී. හේමපාල පෙරේරා
ගායනය - සුනිල් එදිරිසිංහ
සඳ පාන සේ උදාවී.....
සඳ පාන සේ උදාවී
ආකාස ගංගාවේ පාවී
මල් යාය සේ සිනාසී
හමුවෙන්න මා ගං තොටේදී
රළ වැල්ල සුදු වැල්ලේ වැතිරී
පාවාඩයක් වී එලේවී
සුර ලන්දු පෙම් ගී ගයාවී
පිනි බිංදු ඇත පන් ඉසීවී
දෑතේ බැඳී පෙම් හැඟුම් දී
පියමැන්න සුර දුතිකාවී
සමුදෙන්න මට යන්න වෙන්වී
ඔබ ඉන්න රෑ සිහිනයක් වී
ගී පද - හේමශ්‍රි ද අල්විස්
ගී තනු - වී. හේමපාල පෙරේරා
ගායනය - සුජාතා අත්තනායක
හේමපාල පෙරේරා ගේ ශාස්ත්‍රීය ගිටාර් වාදනයක් ..
හේමපාල පෙරේරා ගේ බැංජෝ ගිටාර් වාදනයක් ..
හේමපාල පෙරේරා @ "රජත සර "
හේමපාල පෙරේරා ගේ ගී අනුවාදන කීපයක් ..
"තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාලුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ
සුවඳ මා ළඟින්"
"පායා ආ සඳ අඳුරු වලාවෙන්
මා ඉදිරියෙදිම වැසුණා
සෝකය තාපය පාලුව අතරින්
ඉකි බිඳ හැඬුවා ඇසුණා"
MP3 ගී අනුවාදන කීපයක් මේතැනින් ගන්න
------------------------------------------------------------------------------------------
ප.ලි
වැරදි අඩු පාඩු තියනවානම් පෙන්වා දෙන්න ...
විස්තර උපුටා ගත්තේ දිවයින පත්‍රයේ ලිපියකින් .විස්තර හැමෝමත් එක්ක බෙදාගන්නයි වුවමනා උනේ ...
අැහැට කදුලක් අාවා සින්දුවෝ..... වටිනා විස්තර ටිකක්.... සටහනක් තැබිය යුතුම කෙනෙක් ගැන සටහනක්... නියමයි... සුපිරියි..
ReplyDeleteස්තුතියි කුරුට්ටෝ ...
Deleteගොඩ කාලෙක ඉඳන් කියන්න හිතාගෙන හිටපු විස්තරයක් මේ ...
මේ මනුස්සයට වෙන්න පුලුවන් අසාධාරණකම් ඔක්කොම වෙලානේ. බටහිර වෙදකමයි පෙරදිග වෙදකමයි දෙකම ඔහුට එරෙහි වුනා. ඉන් පස්සෙ බෙල්ලත් කපලා අනිත් උන් අවස්ථාව ලබා ගත්තා. කියන්න වචන නෑ.
ReplyDeleteඒක ඇත්ත ඩූඩ් :(
Deleteඅපිට මොන දුකක්ද විඳලා තියෙන්නේ මෙතුමාගේ ජිවිතෙත් එක්ක බලපුවාම .කපන්න කපන්න මුවහත් වෙනවා කියන්නේ මේකට තමයි නේද ඩුඩ් ...
Deleteමට මතක් වෙන්නේ මම අද FB එකේ ගැවසෙද්දි දැක්ක පෝස්ට් එකක තිබුණු දෙයක්.
Delete"මොහුගේ ජීවිතය අපට පට්ට වුනාට මේ ජීවිතය අපට උරුම වුනානම් ඔබ එකඟද?"
මොනා කියන්නද ඩුඩ් .....
DeletePerfect! (I love it!)
ReplyDeletethanks macho ..
Deleteබදුල්ල වගේ දුර පලාතකින් ඇවිත් මුළු ලංකාවම අඳුනන ඔහු ධිරිය පුතෙක්. බදුල්ලේ කෙනෙක් හැටියට මටත් අපටත් ආදර්ශයක්, සින්දු ඇනෝටත් තුති මල් මිටක් කළ සත්කාරයට
ReplyDeleteබදුල්ල දැන් දුර නැ ...ඒ ඉස්සර බදුල්ල හැක් .
Deleteඇත්ත හංසමාලි .මේතුමා අද මේ තත්වයෙන් ඉන්නේ ඒ දරා ගැනීමේ ප්‍රතිපලයක් නිසා නේද ?
ජයවේවා !!
(බදුල්ලේ අර ඉවාන්ටයි , කමියටයි බයිලා ගහන්නේ නැතිව මෙතුමාවත් ආදර්ශයට ගන්න කියන්න ඕනෑ .නැත්නම් බදුල්ලේ නමත් ඉවරයි )
ජීවිතය මොන පත්තකින්වත් කරුණාවන්ත නෑ. හැමවිටම අකරුනාවන්තත් නෑ. දෑස් නොපෙනෙන මිනිහෙකුට දෑස් පෙනෙන මිනිසුන් කල අසාධාරණයට නියත දඬුවම් ලැබේවි මොන වෙලාවක හෝ. උඹට පිං
ReplyDeleteඑක දෙයක් නැතිවෙන කොට තව දෙයක් තියනවා ගොඩ යන්න කියලා මෙතුමා ඔප්පු කළා නේද මචෝ ..බලාගෙන යනකොට ඒ කාලේ ප්‍රසිද්ධ උන හැමෝම මේ විදිහටම දුක් විඳලා තියනවානේ .මේ විදිහටම අසාධාරනෙට ලක් වෙලා තියනවානේ .ඒ නිසාද දන්නේ නැ සදා කල් පවතින හොඳ නිර්මාණ බිහිවුනේ ..
Deleteඅරූ මට කැපුවා.. මූ කකුලෙන් ඇද්දා.. කියලා ලත නොවී තම හැකියාවෙන් ඔවුනට කනේ පහරවල් ගැසූ මේ කලාකරුවා වීරයෙක්..!!
ReplyDeleteඅන්න මචෝ උත්තරේ ....
Deleteජයවේවා !!
ස්තුතියි
ReplyDeleteජයවේවා !!!
Deleteඋඹේ ලිපිය කියෝගෙන යද්දී මගෙත් ඇස්දෙක පේන්නේ නැතුව ගියා. ශේප් කරගන්න හැදුවට හරිගියේ නැහැ.
ReplyDeleteපම්ප් එකක් දාන්න යනවා වගේ ගිහින් මුණ හෝදගෙන ආව.
ඇත්තටම මේ මනුස්සයාගේ ධෛර්යය සහ හැකියාව අගයන්න මෙවැනි සටහනක් තැබීම ගොඩක් වටිනවා මචං...
එක තමයි බන් මනුස්ස කම .උඹලා වගේ සංවේදී මිනිස්සු තමයි මචෝ ඉන්න ඕනෑ ..මේ කාලේ බිහිවෙන්නේ රෝබෝවරුනේ ...
Deleteස්තුතියි මචෝ (සමාවෙයන් පරක්කු උනාට )
නියම දිරියවන්ත මිනිසෙක්.
ReplyDeleteඅර සංගීතය ඉගැන්නුවා කියන "ඡේ. එම් අමරනාත්" මහතායි ගිටාර් ගහන්න උගන්වන "අමරනාත්"මහතායි දෙන්නම එක් අයෙක් නෙමේ වෙන්න ඇතිනේ.
"කොතරම් බාධක තිබුණද නිසි කාලයේදී සුදුස්සා සුදුසු තැනට පත්වේ" කියලා ජාතක පොතෙත් තිබුනා මතකයි ....
Deleteස්තුතියි මනෝජ් ....(අමරනාත් මහත්වරු ගැන හොයලා කියන්නම් )
එකම අය වෙන්නෙ කොහොමද බං...ගිටාර් උගන්වන අමරනාත් මහත්මයා මෙයාටත් වඩා බාලයි..
Deleteමේ වගේ වෙලාවට හිතේ හිරවෙන හැඟීම් කියන්න වචන හොයාගන්න අමාරුයි. මිනිහෙක් වට්ටන්න අමාරුයි කියන එකට හොඳම උදාහරණයක්...
ReplyDelete"දිරිය මිනිහෙක් වට්ටන්න අමාරුයි" විය යුතුයි නේද මචෝ ......
Deleteස්තුතියි
දැස නෙපෙනුත් මගේ වැඩිය පාඩු නෑ සිංදුව බිලා කියන හැම වේලාවකම අන්තිමට මම කදුලක් පිහදානවා..
ReplyDeleteඑළද බ්‍රා මචෝ
Deleteස්තුතියි ...
ලිපිය බාගෙට කියවගෙන යද්දි මං බැලුවේ මේ මනුස්සයා 'බදුල්ලේ' කියනෙක අමතක කරලවත් ද කියල.. වෙලාවට එක තැනක ප්‍රශ්ණයක් විදියට අහනව..
ReplyDeleteඋඹ දන්නවද හේමපාල පෙරේරා මහත්මයයි අපේ අම්මයි අම්මගේ යාලු ඇන්ටි කෙනෙකුයි එකට තමයි පොඩි කාලේ සංගීත පන්තියට ගිහින් තියෙන්නේ.. ඒ ඇන්ටි එක්ක පස්සේ යාළු වෙලා තියෙනවා තිමති වීරරත්න.. ඒ කියන්නේ සංගීතගේ තාත්තා.. අපේ අම්ම තමයි සපෝටර්.. හි හි.. පස්සේ තිමති කාරය ඒ ලව් එකත් අතරමග දාල පානදුරේට ගිහින් පැලපදියම් වෙලා.. ඉස්සර ඒ ඇන්ටි අපේ ගෙදර ආවම ඔය ලව් සීන් කිය කියා හිනා වෙනවා.. හේමපාල මහතා දිගටම සංගීතේ ඉගෙන ගත්තත් වයලීන් එකක් අර ගන්න සල්ලි නැතුව අම්ම සංගීතෙ ඉගෙන ගන්න එක නතර කරල.. සමහරවිට ආච්චිලා සීයල හිතුවද දන්නෑ ගෑනු ළමේක් වෙනුවෙන් වයලීන් එකකට වියදම් කරන එක අපරාදයක් කියල..
මේ ලියුම හරිම ආසාවෙන් කියෙව්වේ.. වැඩ එලෝ කෝටියක් මැද.. මේ ටිකත් නොකියම බෑ කියල හිතුනා.. ජය ශ්‍රී!
//මං බැලුවේ මේ මනුස්සයා 'බදුල්ලේ' කියනෙක අමතක කරලවත් ද කියල//
Deleteපිස්සුද කමියෝ ගමේ කම අමතක කරන්නේ කොහොමද ?
මෙන්න මෙහෙම යට ගිය විස්තර තමයි මට දන ගන්න ඕනෑ .උඹලා ඒවා මෙහෙම එලියට දැම්මේ නැත්නම් ඒක හරි අපරාධයක් මචෝ ..හැක් හැක්
මට මතක් උනා අපේ අම්මා මට තබ්ලාවක් වෙනුවට "බට නලාවක් " අරන් දුන්න සිද්දිය ...හය්යෝ සල්ලි ..
මේ විශිෂ්ට කලාකරුවා ගැනත් ලියවේවි කිය මම දැනගෙන හිටියා.හොඳ විස්තරයක් සිංදුවෝ.
ReplyDeleteස්තුතියි හැලප අය්යේ ...
Deleteමට ඕනෑ හැමෝම දන්නා අය ගැන නොදන්නා දේවල් කියන්න .අනික හැමෝම ප්‍රසිද්ධ ය ගැන කියනවානේ .අපි මේකේ නොදන්නා ය ගැන ලියමු ..
හොඳ විස්තරයක්. ස්තූතියි සිංදුව බෙදාහදා ගත්තට.
ReplyDeleteකැපිලල වැඩි වෙද්දි තව තවත් ඔප මට්ටම් වෙනව කියන්න ජීවමාන නිදර්ශනයක්.
ස්තූතියි ආයෙමත් බෙදාගත්තට
//කැපිලල වැඩි වෙද්දි තව තවත් ඔප මට්ටම් වෙනව කියන්න ජීවමාන නිදර්ශනයක්.//
Delete++++++++++++++++++++++++
ස්තුතියි මචෝ .මේවා අපිට උනා නම් ....
වතාවක් රෝයල් කොලීජියේ 'සාගා' ප්‍රසංගයකදී මෙතුමාගෙ බටනලා වාදනයක් ඉදිරිපත් කළා විනාඩි 25ක විතර. මවිල් කෙළින් වෙනවා මතක් වෙන කොටත්. මනුෂ්‍ය භාවය ඉක්මවපු අපූරු දිව්‍යමය ස්වරයක අපි දැහැන් ගත වෙලා උන්නා
ReplyDeleteමෙන්න මේක නේද
Deleteමචෝ ....
අන්න හරි මචෝ මේක තමයි. මාර ලස්සනයි බං. අපිට දැං ඇහෙන කර්ණ කටෝර මියුසික් එක්ක බැලුවම මේව රත්තරං වගේ
Deleteනිර්මාණ ගැන දැනන් හිටියට ඒවා කරේ කවුද කියලා දැන ගත්තේ අදයි. මට හිතෙන්නේ ඇස් පෙනෙන මිනිසුන්ට වැඩිය නොපෙනෙන මිනිස්සුන්ට පරිසරය ගොඩක් ලඟින් දැනෙනවා.
ReplyDeleteසාධරයෙන් පිලිගන්නවා "සිබොකි" .....//මට හිතෙන්නේ ඇස් පෙනෙන මිනිසුන්ට වැඩිය නොපෙනෙන මිනිස්සුන්ට පරිසරය ගොඩක් ලඟින් දැනෙනවා.// මටත් මේක හිතිලා තියනවා ..මෙතුමා ගැන රසවත් සිදුවීම් ගොඩක් තියනවා ..පස්සේවෙලාවක කියන්නම් ..
Deleteස්තුතියි ..
"එයා කළේ විශාල පරිත්‍යාගයක්. එයාට මේ ජීවිතයේ වෙන පින් කරන්න ඕන නෑ. මට සලකගෙන හිටිය එකම ඇති.." - දෑතේ බැඳී පෙම් හැඟුම් දී පියමැන්න සුර දුතිකාවී
ReplyDeleteමටනම් කවදාවත්ම තේරුම් ගන්න බැරි වේවි මේ මිනිස්සු දෙන්නාගේ හිත්...
ඒවා මිනිසත් බව ඉක්මවා ඒවා කියලා හිතෙනවා...
හැමදාම මතක් වෙන්නේ "මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි.... කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි....." මේවා කියෙව්වහම...
හඳ පාන සේ උදාවී ලීවේ හේමසිරි ද හේමශ්රීද ඇන්දු සිනා?
තිස්ස අය්යේ මට හිතෙන්නේ , අපි හැමදේම තියාගෙන තව කොච්චර අඩුපාඩු ගැන කියවනවාද ? අරවා නැ මේවා නැ කියා කියා .මේ මිනිස්සු දැක්කම අපි ගැනම ලැජ්ජාවක් ඇතිවෙනවා .ඔබ තුමා කියනවා වාගේ මේවා මිනිස්ස්කම ඉක්ක්මවා ගිය දෙයක් ....
Delete//හඳ පාන සේ උදාවී ලීවේ හේමසිරි ද හේමශ්රීද//
සමාවෙන්න .හේමශ්‍රි විය යුතුයි .මම නිවැරදි කරන්නම් ....
ස්තුතියි හැමදාම වාගේ ඔබගේ ලෙන්ගතු වචන ...
මම ගොඩක් කැමති පුද්ගලයෙක්. මෙතුමා පුදුම හැකියාවක් තියෙන කෙනෙක්. අපිත් ගොඩක් වාසනාවන්තයි මේ වගේ දක්ෂ මිනිස්සුන්ගෙ හැකියාවන් දකින්න තරම්. සිංදුට ගොඩක් ස්තූතියි මේ ලිපියට.
ReplyDeleteජය වේවා!!!
ස්තුතියි මනා !!
Deleteජයවේවා !!
තවත් පරක්කු නොවී මේක කියවන්න ලැබුන එක භාග්‍යක් අයියණ්ඩී. ඇහැට කඳුලු එන එක නවත්තන්න අමාරුයි. උපතින්ම අන්ධ වෙන එක දරාගන්න පුලුවන්, ඒත් ජීවිතෙන් ටික කාලයක් ලෝකෙ දැකල,ඊලඟට අඳුරු උනාම...
ReplyDeleteමේ තමයි ලෝකයටම පරමාදර්ශි චරිත. විස්තරයට වගේම ගී අනුවාදන ටිකටත් බොහෝම පින්..
මෙතුමා ගැන හිරු ටීවී කරපු සගරාමය වැඩ සටහනක ්තියෙනවා යූ ටියුබ් වල...ඒක බලහං...එතන ගොඩාක් විස්තර තියෙනවා. කියන්න වදන් නෑ අති දක්ශ වාදන ශිල්පියෙක්...ඒ වගේම ගුරුවරයෙක්...සින්දුවා...උඹ දන්නවද ලංකාවෙ විශිෂ්ඨ ගායකයො බහුතරයක් වයලින් වාදකයො බව...අමරදේවයන් / ටී එම් / අමරසිරි පීරිස් / වගේ අය මෙතනදි ඉස්සරහින් ඉන්නවා...ඒකට හේතුව තමය් මේ වාදන භාණ්ඩය වාදනය කරද්දි ඉයර් එක කියලා සංගීතයේදි සිංහලෙන් කියන කාරනය හොදින් දියුණු වීම...මෙතුමාටත් තියෙන ශාරීරික අපහසුතාව නිසා ඒ හැකියාව හොදට පිහිටලා ඇති. සංගීත ඛණ්ඩයක් එක් වරක් ඇහුව ගමන් මතක හිටින විදියට...
ReplyDeleteතනිවෙන්නට මගේ ලොවේ ගීතයේ ආරම්භක සංගීත ඛන්ඩය ආරම්භයේදීම ඇහෙන මැන්ඩලින් වාදනය තනුවෙ තිබිලා නෑ. ඒක මෙතුමා විසින් සංගීතය පටිගත කරන අවස්ථාවේ එයා ගානෙ එකතු කරපු එකක්...
අවුරුද්දකට පෙර ලියූ සටහනක් අද කියවන්න ගත්තේ මේ මහරු සංගීතඥයාගේ මියුරු වාදනයන් කීපයකට ම සවන්දීමෙන් පසුවයි..
ReplyDeleteමෙවන් වටිනා මිනිසුන් ගැන වචන කිහිපයකින් හරි ලියා තබන සටහන කවදා ලියූවත් ලෝකයක් වටිනවා....
ස්තුතියි සින්දු ඇනෝ....
ඒ අපුර්ව නිර්මාණ ශිල්පියාගේ ජීවන තොරතුරු හා නිර්මාණ පිළිබඳ තොරතුරු මෙළෙස එක්තැන් කිරීම හරිම වැදගත්.බෙහෙවින් ම ස්තුතියි
ReplyDeleteස්තුතියි,ඇනා්ෙ! හද පතුලින්ම.
ReplyDeleteඅතිශයින්ම දක්ෂ අහිංසක සුන්දර කලාකරුවකු ගැන සංවේදී සටහනක් සහ සංවේදී සුන්දර මිනිසුන් රැසකග්ෙ සුන්දර අදහස් රැසක් කියවන්නට අවස්ථාවලබාදුන්නාට. ම්‍ෙ විස්තර රැස්කර තබා ගන්නට ඔබ ගන්න මහන්සියෙන් ඔබට ශතයකවත් ආර්ථික වාසියක් නැත යන්න ඉතාමත් පැහැදිලියි. නමුත් ඉන් මා වැනි රසිකයින් ලබන චිත්තාශ්වාදය තුලින් ඔබට අත්වන පුණ්‍ය සම්භාරය අනන්ත යි. අපරිමානයි. හ්ෙමපාලතුමා, ඔබ්‍ෙ මිතුරන් සහ ඔබ වැනි සුන්දර මිනිසුන් අතර ම්‍ෙ අන්දමින්වත් ඇසුර ලැබීම ඉමහත් වු වාසනාවක් බව කිව යුතුමයි!